කාලතුවක්කු වෙඩි හුවමාරුව කොරියානු අර්ධද්වීපයේ ආතතීන් උත්සන්න කරයි
Artillery exchange heightens tensions on Korean peninsula
By Bill Van Auken, 24 November 2010
උතුරු හා දකුනු කොරියාව අතර 22දා ඇතිවූ කාලතුවක්කු වෙඩි හුවමාරුව, වොෂින්ටනයේ කෝපාවිෂ්ට හෙලාදැකීමටත්, වර්ධනය වන මිලිටරි ආතතීන් ව්‍යසනයකට තුඩුදිය හැකිය යන බීජිං හා මොස්කෝවේ අනතුරු ඇඟවීම්වලටත් හේතු විය.
ගැටුම පිලිබඳව දෙරට එකිනෙකාට චෝදනා එල්ල කර ගනිති. එය හටගත්තේ, මතභේදයට තුඩුදී ඇති කහ මුහුදේ උතුරු දේශසීමාව ආසන්නයේ ය. 1953 කොරියානු යුද්ධය අවසානයේ එක්සත් ජනපදය විසින් ඒක පාර්ශවිකව ප්‍රකාශයට පත්කල දේශසීමාව උතුරු කොරියාව කිසි විටෙකත් පිලිනොගත් අතර නිරන්තර ගැටුම්වල වේදිකාවක් බවට පත්ව ඇත.
උතුරු කොරියාවේ වෙරලට සැතපුම් අටක් හා දකුනු කොරියාවට සැතපුම් 50ක් දුරින් පිහිටි අර්බුදකාරී දේශසීමාවට සැතපුම් දෙකක් දුරින් පිහිටා තිබෙන යොන්පියෝන් දිවයිනට උතුරු කොරියානු කාලතුවක්කු වෙඩි වරුසාවක් එල්ල විය. ප්‍රහාරවලින් බොහොමයක් දිවයිනේ මිලිටරි කඳවුරට එල්ල වූ අතර දකුනු කොරියානු නාවිකයන් දෙදෙනෙක් ඉන් මරුමුවට පත්වී සිවිල් වැසියන් තිදෙනෙක් ද ඇතුලු 17ක් තුවාල ලැබූහ. නිවාස සිය ගනනක් ගිනිබත්ව දිවයින මතින් දුම්රොටු නැගෙනු දැකගත හැකිවිය.
ප්‍රහාර හමුවේ දකුනු කොරියාව, යොන්පියෝන් හා ආසන්න දිවයින්වලින් 5,000ක් සිවිල් වැසියන් ඉවත්කර ගත්තේය.
වෙඩි ප්රහාරයන්ගෙන් පසුව දකුනු කොරියාව ෂෙල් වෙඩි 80ක් පමන උතුරට එල්ල කල අතර ප්‍රහාරක ගුවන් යානා දිවයිනට ඉහලින් ගුවන්ගත කලේය. දකුනේ ප්‍රහාරයෙන් සිදුවූ හානි පිලිබඳව ක්ෂනිකව වාර්තා නොවුන නමුත්, දකුනු කොරියාවේ මිලිටරි මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කලේ උතුරේ ගේමියොරි හා මුයුඩෝ නගරවල වෙරලබඩ ස්ථානවලට එමඟින් ”සැලකිය යුතු හානි” සිදුකල බවයි.
උතුරු කොරියානු මිලිටරිය විසින් අප්රකුපිත පලමු වෙඩි මුරය තබන ලද බව සියෝල් ආන්ඩුව චෝදනා කල අතර සිය වෙරල තීරයට ප්‍රහාර එල්ල කරමින් දකුනු කොරියාව ගැටුමට මුල පිරූ බවට පියෝන්ග්යෑන් ආන්ඩුව දොස් නැඟීය.
”අප යලි යලිත් කල අනතුරු ඇඟවීම් මධ්‍යයේ දකුනු කොරියානු සතුරා, අපගේ නාවික මාර්ග දෙසට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් ඉව බව නැති මිලිටරි ප්රකෝපරනයක් ඇවිස්සුවේය” යි උතුරු කොරියාවේ ඉහල මිලිටරි අනදෙන මධ්‍යස්ථානය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටි බව කේසීඑන්ඒ (කොරියානු මධ්‍යම ප්රවෘත්ති ඒජන්සි) ප්රවෘත්ති සේවය වාර්තා කලේය.
කොරියානු අර්ධද්වීපයේ ඕනෑම මිලිටරි ගැටුමකට අනෙකුත් ප්‍රධාන බලවතුන් සෘජුව මැදිහත් වනු ඇත. අන් සියල්ලටත් වඩා එක්සත් ජනපදය හා චීනය කෙලින්ම එයට පටලැවෙනු ඇත. ඊට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපදයේ ජනාධිපති බරක් ඔබාමා, තම ආන්ඩුව දකුනු කොරියාවේ ආරක්ෂාව සඳහා කැපවී සිටින බව 23දා පැවසීය. ”කොරියානු යුද්ධයේ පටන් දකුනු කොරියාව අපගේ මිතුරෙකි. එම මිත්‍රත්වයේ කොටසක් ලෙස අප එරට ආරක්ෂා කිරීමට තදින්ම බැඳී සිටින්නෙමු” ඔහු පැවසීය.
අලුත්ම ගැටුම හටගත්තේ, 70,000ක් දකුනු කොරියානු සෙබලුන් සහභාගී වන ”හෝගුක්” යන වාර්ෂික මිලටරි අභ්‍යාසය අතරතුරය. උතුර ආක්රමනය කිරීමේ පෙරහුරුවක් යයි පියෝන්ග්යෑන්හි දෝෂ දර්ශනයට ලක්ව ඇති, නොවැම්බර් 30 අවසන්වීමට නියමිත දින නවයක අභ්‍යාසයට, දකුනු කොරියානු හමුදා ගොඩබැස්සවීමේ පුහුනුවීම් ද ඇතුලත්ය. එක්සත් ජනපදය සාමාන්‍යයෙන් මෙයට සම්බන්ධ වන නමුත් මෙම මාසයේ මුල එය අභ්‍යාසයෙන් ඉවත්විය.
දකුනේ මිලිටරිය එම ව්‍යාපාරය තුලදී සිය වෙරල තීරයට ෂෙල්වෙඩි ප්‍රහාර එල්ල කල බවට උතුරු කොරියාව චෝදනා කලේය. කෙසේ වෙතත් දකුනු කොරියාව අවධාරනයෙන් කියා සිටියේ, තමන්ගේ කාලතුවක්කු ප්‍රහාර එල්ල කලේ අර්ධද්වීපයෙන් මෙන්ම අර්බුදකාරී දේශසීමාවෙන් ද පිටත බටහිර දෙසට බවය. එදින උදෑසන කාලතුවක්කු ප්‍රහාර පිලිබඳ අනතුරු අඟවන දුරකථන පනිවිඩ උතුරෙන් තමන්ට ලැබුනු බව දකුනු කොරියානු මිලිටරිය පිලිගත්තේය. ”උතුරු කොරියානු මුහුදු සීමාවට දකුනෙන් ෂෙල් ප්‍රහාර එල්ල කෙරෙන විට උතුර නිකම්ම බලා නොසිටිනු ඇත.” එයින් කියැවින.
උතුරු කොරියාවට එරෙහිව බලය පෙන්වීමක් ලෙස යූඑස්එස් වොෂින්ටන් නෞකාව ජපාන නාවික මධ්‍යස්ථානයේ සිට කහ මුහුද බලා යාත්‍රා කරන බව පෙන්ටගනය, 23දා නිවේදනය කලේය.
නවතම යුද අභ්‍යාසය, පසුගිය මැයි මාසයේදී නාවිකයන් 46 දෙනෙකුට මරු කැඳවමින් දකුනු කොරියාවේ චියෝනෑන් යුද නෞකාව ගිල්වා දැමීම හමුවේ, මෙම ප්‍රදේශය තුල එක්සත් ජනපදය හා දකුනු කොරියානු මිලිටරිය විසින් පවත්වන ලද ඒකාබද්ධ අභ්‍යාස මාලවෙන් එකකි. එම නැව ගිල්වා දමනු ලැබුවේ ද උතුරු සීමා මායිම ආසන්නයේ ය. දකුනු කොරියානු පරීක්ෂනයෙන් මෙයට වගකිව යුත්තේ උතුරු කොරියානු ටෝපිඩෝවක් බවට නිගමනය කර තිබුන ද පියෝන්ග්යෑනය එහි වගකීම ප්‍රතික්ෂේප කලේය.
ජූලි හා සැප්තැම්බරයේ පවත්වන ලද පූර්ව මිලිටරි අභ්‍යාස චීනයේ විරෝධයට ලක්ව තිබුනි. දශක හයකට තරම් පෙර චීන හමුදා කොරියානු යුද්ධයේදී සටන්වැද තිබෙන අතර එරට ද කහ මුහුදට මායිම්ව තිබේ. යුද්ධය අවසන් වූයේ සාම ගිවිසුමකට වඩා කොරියානු අර්ධද්වීපය තුල තවමත් යුද තත්වයක් පවතින බව පොදුවේ අර්ථවත් කරන තාවකාලික සටන් විරාමයකින්ය.
ගැටුමෙන් පසුව දකුනු කොරියානු ජනාධිපති ලී ම්යුන්ග් බක් සිය කැබිනට් මන්ඬලයේ හදිසි රැස්වීමක් කැඳවූ අතර තම ඉහල හමුදා නිලධාරීන් මුනගැසුනේය. ආතතීන් තවදුරටත් පැතිරයාම පිලිබඳව අනතරු අඟවමින් ලී ”තවත් කුමන හෝ ප්රකෝපකරනයක” දී උතුරු කොරියාවට එරෙහිව මිසයිල් ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කලේය. යොන්පියෝන්ග් වෙත එල්ල කල උතුරු කොරියානු ෂෙල්වෙඩි ප්‍රහාර ”දකුනු කොරියානු භූමිය ආක්රමනය කිරීමක් සේ සැලකිය හැකි” බව ඔහු පැවසීය.
2008 බලයට පත්වූ තැන් පටන් දක්ෂිනාංශික මහා ජාතික පක්ෂයේ (ජීඑන්පී) සාමාජිකයෙක් වන ලී, ආතතීන් අඩුකිරීම සඳහා ආධාර හා රාජ්‍ය තාන්ත්‍රික පිලිවෙත් යොදාගැනීම මෙන්ම විදේශ ධනපති ආයෝජන සඳහා උතුර විවෘත කිරීම කෙරෙහි යොමුවූ සිය පූර්වගාමීන්ගේ ඊනියා හිරු බබලන ප්‍රතිපත්තිය නොපිට පෙරලමින්, පියොන්ග්යෑනයට එරෙහි දැඩි පිලිවෙතක් අනුගමනය කර තිබේ. ලී යටතේ නව ආයෝජන බෙහෙවින් ක්ෂයවී ගිය අතර ආධාර මුලුමනින්ම පාහේ කපාහරින ලදී.
උතුරු කොරියාවේ අරමුනු පිලිබඳව බටහිර මාධ්‍ය හා බුද්ධිජීවීන් අතර පුලුල් සමපේක්ෂනයක් ඇතිව තිබේ. කහ මුහුදේ ගැටුමෙන් ක්ෂනික ඉක්බිත්තේ, තමන් යුරේනියම් බලගැන්වීම සඳහා කේන්ද්‍රාපසාරී කාර්මික මධ්‍යස්ථාන 2,000ක් සංවර්ධනය කරමින් සිටින බවට ඇමරිකානු විද්‍යඥයෙක් වෙත කල පියොන්ග්යෑනයේ හෙලිදරව්වක් වාර්තා විය. එය සාමකාමී කටයුතු සඳහා බව ඔවුන් අවධාරනය කරන අතර එම පහසුකම් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමේ නව මාධ්‍යයන් බිහිකිරීමේ ශක්‍යතාව පෙන්නුම් කරයි.
බොහෝ දෙනෙක් මෙම ක්‍රියාවන් දකින්නේ, රටේ දුගී ආර්ථිකයෙහි ගෙල සිරකරන සම්බාධක ඉවත්කරවා ගැනීම හා ආධාර ලබාගැනීම සඳහා මීට දෙවසරකට පෙර ආරම්භවූ න්‍යෂ්ටික අවිහරන සාකච්ඡා පිලිබඳ ඊනියා සය පාර්ශවික සාකච්ඡා යලි පටන් ගැනීමට සියොල් හා අනෙකුත් ප්‍රධාන බලවතුන්ට පීඩනය යෙදීමේ උතුරු කොරියානු උත්සාහයක් ලෙසය.
මිලිටරි ක්‍රියාවන්හි අරමුන වන්නේ, උතුරු කොරියාවේ රෝගී නායකයා වන කිම් ජෝ ඉල්ගේ අනුප්‍රාප්තිකයා වීමට යෝජිත, වසර විසි ගනන් මැද භාගයේ පසුවන ඔහුගේ පුත් කිම් ජොන් යුන් කෙරෙහි උතුරු කොරියානු මිලිටරියේ සහාය ගොනුකිරීම බවට ද අදහස් පලව තිබේ. ඉල් මියගොස් ඇති බවට ද මේ සතිය තුල කටකථා පැතිර ගියේය. පෙන්ටගනයේ ප්‍රකාශක කර්නල් ඩේවිඩ් ලැනාන් 23දා පැවසුවේ ”ඔහු ජීවතුන් අතර ද නැද් ද යන්න ගැන මට අදහස් ප්‍රකාශ කල නොහැකි” බවයි.
ඇමරිකානු බුද්ධි අංශ වලට කිට්ටු සම්බන්ධකම් ඇති බුද්ධි මන්ඬලයක් වන ස්ට්රැට්ෆෝ, තවත් හැකියාවක් පිලිබඳව සඳහන් කලේය. එනම්, උතුරු කොරියානු මිලිටරිය තම හිතූ මනාපයේ කටයුතු කර ඇති බවට ය. ”උතුරු කොරියාව තුල සිදුවෙමින් තිබෙන නායකත්ව මාරුව සමඟ මිලිටරියේ නොසංසුන්තාවක් හටගෙන ඇති බවට කටකථා පැතිර තිබේ. දැනට සිදුවන ක්‍රියා උතුරේ මෙහෙයුම් හා පාලන ව්‍යුහය තුල වැරදි සන්නිවේදනය හෝ උතුරු කොරියානු නායකත්වය තුල නොඑකඟතාවන් හෝ පිලිබිඹු කරන බවක් ඉන් කියැවෙන්නේ” යයි ස්ට්රැට්ෆෝ සඳහන් කරයි.
සය පාර්ශවික සාකච්ඡාවල දී එක්සත් ජනපද නියෝජිත කන්ඩායම මෙහෙයවූ හිටපු එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ක්‍රිස්ටෝපර් හිල් ද එවන් අනතුරු ඇඟවීමක් කලේය. ”උතුරු කොරියාව ඉතා දුෂ්කර අභ්‍යන්තර පරිවර්තනයක් තුලින් ගමන් කරමින් සිටියි. කිම් ජෝ ඉල් වෙතින් ඔහුගේ පුතා වෙත බලය මාරුකිරීම සඳහා වන යෝජනා කෙරෙහි එරට මිලිටරියේ උද්යෝගයක් නොපවතින බව ඉතාම පැහැදිලිය. එහි පවතින බරපතල ගැටලු හමුවේ මා සිතන්නේ අභ්‍යන්තරයේ පවතින තත්වය පිටස්තර හැසිරීමෙන් ප්‍රකාශයට පත්වන බවයි.”
ගැටුමට වොෂින්ටනය ප්‍රතිචාර දක්වා ඇත්තේ පියොන්ග්යෑනය දැඩි ලෙස හෙලාදැකීමෙන් හා දකුනු කොරියාවට කොන්දේසි විරහිත සහාය පලකිරීමෙනි.
උතුරු කොරියානු ෂෙල්වෙඩි ප්‍රහාර ”කුපිතකරවන හා ප්රකෝපකාරී ක්‍රියාවක්” යයි ඔබාමා කියා සිටියේය. ධවල මන්දිරය නිකුත්කල ප්‍රකාශයකින්, පියොන්ග්යෑනය සිය ”යුදවාදී ක්‍රියා නතර කල යුතු” බව ද ”අපගේ මිතුරා වන කොරියානු සමූහාන්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් ද කලාපයේ සාමය හා ස්ථාවරත්වය සඳහා ද අප දැඩි ලෙස කැපව සිටින බව” ද කියා සිටියේය.
කෙසේ වෙතත්, කලාපයට අතිරේක හමුදා යැවීමට හා දකුනු කොරියාවේ ස්ථානගත කර ඇති 29,000ක එක්සත් ජනපද හමුදා සීරුවෙන් තැබීමට අදහසක් නොමැති බව පෙන්ටගන් නිලධාරීහු පැවසූහ.
උතුරු කොරියාවට පහර දීමට සෑහෙන තරම් මිලිටරි බලයක් කලාපය තුල එක්සත් ජනපදයට ඇතැයි හමුදා නායකයෝ පැවසූහ. වොෂින්ටනයේදී මාධ්‍යකරුවන් හමුවේ ගුවන් හමුදාපති ජෙනරාල් නෝටන් ස්වෝට්ස් පැවසුවේ ”අවශ්‍ය තරම් ගුවන් ප්‍රහාරක ශක්තියක් හා ඒකාබද්ධ මෙහෙයුම් ශක්තියක් අප සතුව බටහිර පැසිෆික් කලාපය තුල තිබෙන බව උතුරු කොරියානුවන් හොඳින් සිහියේ තබාගත යුතු” බවයි.
මෑත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් වොෂින්ටනය, එක්සත් ජනපදය, රුසියාව, චීනය. ජපානය හා උතුරු-දකුනු කොරියාව ඇතුලත් සය පාක්ෂික සාකච්ඡා යලි ආරම්භ කිරීම ප්‍රතික්ෂේප කලේය.
ජපානය ද දැඩි ස්ථාවරයක් ගෙන තිබේ. ජපාන අගමැති නඔටෝ කාන් පැවසුවේ තමන් සිය ඇමතිවරුන්ට, ”කුමන හෝ අනපේක්ෂිත සිදුවීමක දී ස්ථිර ලෙස ප්‍රතික්‍රියා කල හැකි සූදානම ඇති කර ගන්නා ලෙසට” නියෝග කර ඇති බවයි. ”අපි ඇතිවන ඕනෑම තත්වයකට මුහුන දියහැකි ලෙස සූදානම් වන්නෙමු.”
කෙසේ වෙතත් චීනය හා රුසියාව යන දෙරටම අවධාරනය කලේ, ගැටුම පෙන්නුම් කර ඇත්තේ සාකච්ඡා වහාම ආරම්භ කිරීමේ අවශ්‍යතාවය බවයි.
”දැන් අවශ්‍යව ඇත්තේ හැකි ඉක්මනින් සය පාර්ශවීය සාකච්ඡා යලි ආරම්භ කිරීමයි.” චීන විදේශ අමාත්‍යාංශයේ හොන් ලී බීජිනයේ මාධ්‍ය කරුවන් වෙත පැවසීය.
චීන ප්‍රකාශය ගැටුමේදී පැත්තක් ගෙන නොතිබුනි. ”අදාල පාර්ශවයන් කොරියානු මහාද්වීපයේ සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් වඩාත් කැපවනු ඇතැයි අපි බලපොරොත්තු වන්නෙමු.” ගැටුමට තුඩුදුන් සිදුවීම් අවබෝධ කර ගැනීමට තවමත් චීනය උත්සාහ කරමින් සිටින්නේ යයි පවසමින් එම ප්‍රකාශකයා ”තත්වය විමසීමකට ලක් කිරීම අවශ්‍ය වන්නේ” යයි පැවසීය.
බෙලාරුස් අගනුවර වන මින්ස්ක්හි සංචාරයක යෙදෙන අතරතුර දෙපාර්ශවයම ”ප්‍රහාර වහාම අත්හිටුවිය යුතු බව” රුසියානු විදේශ ඇමති සර්ජි අයිවනොව් පැවසීය. ඔහු වාර්තාකරුවන්ට පැවසුවේ ”පවතින දැවැන්ත අන්තරාය පිටුදැකිය යුතුය. කලාපය තුල ආතතීන් උග්‍ර අතට හැරෙමින් තිබේ” යනුවෙනි.
වත්මන් සිද්ධිය වොෂින්ටනය විසින් චීනයට එරෙහිව පීඩනය දැඩි කිරීම සඳහා උපයෝගී කර ගනියි. නම් නොකල එක්සත් ජනපද නියෝජිතයෙකු පැවසූ බව සඳහන් කරමින් ඒබීසී ප්රවෘත්ති සේවය වාර්තා කලේ, ”චීනය උතුරු කොරියාවට එරෙහිව නැඟී සිටීමේ අවශ්‍යතාවය අවධාරනය කරමින් දැඩි පනිවිඩයක්” ඔබාමා පරිපාලනය විසින් යවා ඇති බවයි.
උතුරු කොරියාවේ මිතුරා හා ප්‍රධාන වෙලඳ සහකරුවා වන චීනය, උතුරු කොරියානු ප්රකෝපකරනයන් පිටුදැකීමේ මුවාවෙන් එක්සත් ජනපදය කලාපය තුල හමුදා ශක්තිය තර කිරීමට දරන උත්සාහයේදී ඊට පහසුකම් සැලසීමට කිසිසේත් කැමති නොවනු ඇත. පියොන්ග්යෑනය මත මුරිච්චි තදකිරීමෙන් දේශපාලනිකව හා ආර්ථික දියවීමකින් උතුරු කොරියාව බිඳ විසිරීමේ සිය දේශසීමාව කරා දැවැන්ත සරනාගත රැල්ලක් කඩාවදිනු ඇතැයි එරට බියවෙයි.
උතුරු හා දකුනු කොරියාව අතර කාලතුවක්කු වෙඩි හුවමාරුව වසාගෙන ඇත්තේ ආසියාව මුලුල්ලේ එක්සත් ජනපද හා චීන මූලෝපායික අවශ්‍යතාවන් මත දෙරට අතර මතුවෙමින් තිබෙන ගැටුමයි. දශක දෙකකට පමන පෙර කොරියානු යුද්ධාවසානයේදී අඳිනු ලැබූ සීමාවන් හරහා ඇතිවන ගැටුම් වඩාත් පෘතුල ගිනි ජාලාවක් කරා පැතිරයාමේ කොන්දේසි නිර්මානය කිරීමේ ශක්‍යතාවය මෙම ගැටුම තුල ඇත.
Follow us on