දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ශ්‍රී ලංකා සසප උද්ඝෝෂනයට වතුකරයේ රැඳවියන් හා ඔවුන්ගේ නෑදෑයින් සහාය පලකරයි
By M. Vasanthan, 24 October 2011
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිනිස සමාජවාදී සමානතා පක්ෂය ගෙන යන උද්ඝෝෂනයෙහි කොටසක් ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ දෙමල කතාකරන කම්කරුවන් බහුතරයක් වෙසෙන වතුකරයේ දේශපාලන රැඳවියන් හා ඔවුන්ගේ නෑදෑයින් හමුවූහ. දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය අවධියේ දෙමල වතු කම්කරුවෝ ආරක්ෂක හමුදාවන්හි නිරන්තර අඩම්තේට්ටම් වලට ගොදුරු වූහ.
බදුල්ල බන්ධනාගාරයෙහි සිටින තරුනයින් හය දෙනාගෙන් සමහරෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ එල්ටීටීඊය පරදවා යුද්ධය අවසන් කල 2009 මැයි මාසයෙන් ද පසුව ය. ඔවුන්ගේ විස්තර මෙසේය. තලවාකැලේ වත්තේදී 2010 ඔක්තෝබරයේදී තලමුත්තු සුදාකර් ද තලවාකැලේ හෝලි රෝඩ් වත්තේදී පී. චන්ද්‍රසේකරන් ද අත්අඩංගුවට ගෙන ඇත. 2009 මාර්තු 11 කොටගල ඩැරී ක්ලෙයාර් වත්තේදී අති ජේම්ස් සුරේෂ් ද 2008දී මුතුසාමි කාලිමුත්තු, පලනි පත්මරාජ් හා මුතුසාමි ජෙයකුමාර් කඳපොල කෝට් ලොජ් වත්තේදී ද අත්අඩංගුවට ගනු ලැබිනි. යුද්ධයට සම්බන්ධ විවිධ ව්‍යජ චෝදනා යටතේ කලින් අත්අඩංගුවට ගෙන සිටින වතු කම්කරුවන් ගනනාවක්ම තවමත් සිරගතකර සිටියි.
අත්අඩංගුවට ගත් අය රඳවා ඇත්තේ "එල්ටීටීඊ සැකකරුවන්ය” යන චෝදනාව මත කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේය. සමහරෙක් අවි තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් කිසිදු සාක්ෂියක් ඉදිරිපත්කර නැත. ඔවුන්ට එරෙහිව මෙතෙක් කිසිදු චෝදනාවක් ගොනුකර ඇත්තේ ද නැත.
6,000ක් තරම්වූ දෙමල දේශපාලන සිරකරුවන් පිරිසක් හමුදාව විසින් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල හෙලි නොකල කඳවුරු තුල සිරගතකොට ඇත. ඔවුන් යුද්ධයෙන් පසුව මිලිටරිය විසින් අත්අඩංගුවට ගත් 11,000ක් වූ තරුනයින්ගෙන් කොටසකි. ඔවුන්ගෙන් 5,000ක් නිදහස් කල බව ආන්ඩුව පවසතත් ඔවුන් පොලිසියේ හා මිලිටරියේ සමීප නිරීක්ෂනය යටතේ තබා ඇත. අත්තනෝමතික ලෙස ඔවුන් රඳවාගෙන සිටින්නේ වධදීම් වලට ලක්කිරීමේ කොන්දේසි යටතේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් දේශපාලන සිරකරුවන් දිගින් දිගටම රඳවා තබා ඇත්තේ වතු කම්කරුවන්ගේ පමනක් නොව සමස්ත කම්කරු පන්තියේම ප්රජාතන්ත්ර අයිතීන් මැඩීමේ කොටසක් ලෙස ය.
ලෝසවෙඅ වාර්තාකරුවන් වෙත අදහස් දැක්වූ දේශපාලන සිරකරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් රැඳවියන් නිදහස් කිරීම වෙනුවෙන් කිසිවක් නොකිරීම පිලිබඳව වතු කම්කරුවන්ගේ හා දෙමල ජනතාවගේ නියෝජිතයින් ලෙස පෙනී සිටින නිල දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති වලට චෝදනා නැගූහ.
එසේ හමුවූ එක් සිරකරුවෙක් ලෝසවෙඅට මෙසේ පැවසී ය. "වතු වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ අප සම්බන්ධයෙන් සහමුලින්ම නිහඬය. ඔවුන් අප ආරක්ෂා කිරීමට කිසිදු ප්රකාශනයක් නිකුත් කර හෝ පාර්ලිමේන්තුවේදී අප පිලිබඳව ප්රශ්නය මතුකර හෝ නැත. උතුරේ මුල්බැසගත් දෙමල ධනපති පක්ෂයක් වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) සිරකරුවන් ගැන කතා කරන නමුත් ඒ සීමිත ආකාරයකට ය. අප මෙම තත්වයට මුහුනපා සිටින්නේ මෙම පක්ෂ හා සමිති විසින් කල පාවාදීම නිසා ය. අප සිරයේ දුක් විඳින නමුත් සමහර හිටපු එල්ටීටීඊ නායකයින් ආන්ඩුවේ ඇමතිවරු ලෙස සියලු වරප්‍රසාද භුක්ති විඳිති. මෙතරම් කාලයකට දේශපාලන පක්ෂයක් ලෙස අප බැලීමට පැමිනි එකම අය (සසප) ඔබ පමනි.”
ලංකා වතු කම්කරු සංගමය, (සීඩබ්ලිව්සී) කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) හා කම්කරුවන්ගේ ජාතික සංගමය (එන්යූඩබ්ලිව්) වැනි වතුකරයේ ප්‍රධාන සමිති දේශපාලන පක්ෂ ලෙස ද කටයුතු කරති. ඔවුන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හවුල් ආන්ඩුවේ කොටස්කරුවන් ය. මෙම සමිති යුද්ධයට, හදිසි නීති හා පීටීඒ සඳහා සහාය දුන් අතර වතුකරය පුද්ගලීකරනය ද ඇතුලු වෙලඳපොල ගැති ආර්ථික ප්රතිසංස්කරන ද අනුමත කරති. වැඩි වැටුප් සඳහා අරගල පාවා දෙමින් කම්කරුවන් මත දුගී වැටුප් මට්ටම් පැටවීම සඳහා මොවුහු සමාගම්වලට හා ආන්ඩුවට උදව් කරති.
1990 ගනන්වල තම දේශපාලන විරුද්ධවාදීන් ලෙස සැලකූ වතු කම්කරුවන් හා තරුනයින් පොලිසියට අල්ලා දීම සඳහා ඔවුන්ගේ නම් ලැයිස්තු ඉදිරිපත් කිරීම සම්බන්ධ කුරිරු වාර්තාවක් සීඩබ්ලිව්සීයට ඇත.
යුද්ධය අවධියේ පාර්ලිමේන්තුව තුල එල්ටීටීඊ හොරැනෑව ලෙස කටයුතු කල ටීඑන්ඒ දැන් දෙමල ධනේශ්වරය සඳහා වරප්‍රසාද ස්වල්පයක් අත්කර ගැනීමට කොලඹ දේශපාලන සංස්ථාපිතය සමග ගෙන යන සිය කේවෙලයට තල්ලුවක් ගැනීම සඳහා බටහිර බලවතුන් හා ඉන්දීය ධනේශ්වරය පසුපස බඩගාති.
ලෝසවෙඅ ප්රජාතන්ත්රවාදී මහජන පෙරමුනේ (ඩීපීඑෆ්) වෘත්තීය සමිතිය වන ප්රජාතන්ත්ර කම්කරු සංගමයේ (ඩීඩබ්ලිව්සී) නායක මනෝ ගනේෂන් ද හමුවිය. ඔහු කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමේ නියමුවා ලෙස පෙනී සිටියි. ඔහු නරුම ලෙස මෙසේ පැවසීය. "දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම පිනිස අප ද ඇතුලු කිසිදු සමිතියක් කිසිවක් ම කර නැති බව මම පිලි ගනිමි.” සිය වගකීම පසෙකට තල්ලු කිරීමට වෑයම් කරමින් සිරකරුවන් නිදහස් කිරීම සඳහා ආන්ඩුවට බලපෑම් කල හැකිය යන මිත්‍යාව තොරම්බල් කරමින් ගනේෂන් පැවසුවේ "ඔවුන් නිදහස් කිරීම සංවිධානය කිරීම පිනිස ආන්ඩුව සමග කතා කිරීමේ වැඩි වගකීම ඇත්තේ ආන්ඩුව සමග සිටින සමිතිවලට ය.”
මෑත පලාත් පාලන ආයතන සඳහා වූ මැතිවරන උද්ඝෝෂනයේදී ප්‍රෝඩාකාරී ලෙස රැඩිකලුන් ලෙස පෙනී සිටින නව සමසමාජ පක්ෂයේ ද සහාය ඇතිව ගනේෂන්, ආන්ඩුව කරෙහි දෙමල ජනතාව අතර පවතින විරුද්ධත්වය ගසා කෑමට උත්සාහ කල නමුත් සිය දේශපාලන උද්ඝෝෂනයේදී දේශපාලන සිරකරුවන් පිලිබඳව කතා නොකිරීමට වග බලා ගත්තේය.
ගනේෂන් කුමාරතුංග ආන්ඩුවේ කොටස්කරුවෙකුව සිටින අතර වාරයේ යූපීඑෆ්හි හිටපු නායක පී. චන්ද්‍රසේකරන් එල්ටීටීඊය සමග අවස්ථාවාදී සන්ධානයක් පවත්වාගෙන ගියේය. ඔහු යුද්ධයට සහාය දෙමින් රාජපක්ෂ ආන්ඩුවේ ද කැබිනට් ඇමතිවරයෙක් ලෙස කටයුතු කලේය. ඔහු හෝ ඔහුගේ අනුප්රාප්තිකයින්, සමිති සාමාජිකයින් එල්ටීටීඊ ආධාරකරුවන් ලෙස අත්අඩංගුවට ගත් කල ඊට එරෙහිව ඇඟිල්ලක්වත් එසවූයේ නැත.
යූපීඑෆ් තරුන සංවිධානයේ නායක තලමුත්තු සුදාකර් අත්අඩංගුවට ගත් කල ලෝසවෙඅ එහි ප්‍රධාන ලේකම් ඒ. ලෝරන්ස්ගෙන් ඔහු නිදහස්කර ගැනීමට ඔවුන් ගැනීමට බලාපොරොත්තුවන පියවර කවරේදැයි විමසීය. ලෝරන්ස් ගත් කටටම කීවේ "ඔහු අපගේ සාමාජිකයෙක් නොවේ. ඔහු අපගේ ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇත” යනුවෙනි. ඔහුගේ පිලිවෙත වූයේ සමිති සාමාජිකයින් මැඩීමේදී පවා ආන්ඩුවට සහාය දීමය.
යූපීඑෆ් ක්‍රියාකලාපය හෙලා දකිමින් සුදාකර්ගේ පියා සෙල්ලයියා තලමුත්තු කීවේ "මගේ පුතා අත්අඩංගුවට ගන්නා විට යූපීඑෆ් වෙනුවෙන් ක්‍රියාශීලී ලෙස වැඩ කරමින් සිටියා. ඔහු දැනට වසරක් පමන සිරගතව සිටියි. යූපීඑෆ්හි කිසිවෙකුත් ඔහු ගැන උනන්දුවක් නොදක්වයි.”
"ඔහු වෘත්තීය සමිතිය තුල ඉතා ක්‍රියාශීලී පුද්ගලයෙකි. ඔහු වතුකරයේ තරුනයින් 3,000කට ගුරු පත්වීම් ලබාගැනීම වෙනුවෙන් උද්ඝෝෂනය කලේය. 2009දී ආන්ඩුවේ තර්ජන හා යූපීඑෆ් ද ඇතුලූ සමිතිවල පාවාදීම නොතකා වතු කම්කරුවන් වැටුප් සඳහා අරගලය දිගට ගෙන ගිය අතර මගේ පුතා මෙම උද්ඝෝෂනය තුල ක්‍රියාශීලීව සිටියා. ඉහල කොත්මලේ විදුලි බාලාගාර යෝජනා ක්‍රමය යටතේ නිවාස හා දේපල අහිමිවූ පවුල්වල අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ද ඔහු සටන් වැදුනු” බව තලමුත්තු පැවසීය. ඔහුගේ සටන්කාමී කටයුතු අත්අඩංගුවට ගැනීමේ හේතුව විය හැකිය.
"මාගේ පුතා මෙන්ම තවත් තරුනයින් සිය ගනනක් දේශපාලන සිරකරුවන් ලෙසින් ඉතා දුෂ්කර කොන්දේසි යටතේ විවිධ ස්ථානවල සිරභාරයේ පසුවෙති මෙම වෙනස්කම් කිරීම් කුමක් නිසා දැයි” ඔහු ප්‍රශ්න කරයි.
තමා යූපීඑෆ්හි වෘත්තීය සමිති අංශය වන කඳුරට කම්කරු පෙරමුනේ උප ලේකම්වරයෙක් ලෙස වැඩකරමින් සිටි බවත් සිය පුතා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඉන් ඉවත්වූ බවත් පැවසීය. "මම මේ සංවිධාන පිලිබඳව බොහෝදේ ඉගෙන ගතිමි. සියලු දෙනාම අප රවටති. එබැවින් පසුගිය මැතිවරනයේදී මම කිසිවෙකුටත් ඡන්දය නොදුන්නෙමි. මම සසප උද්ඝෝෂනය අගය කරන අතර ඊට සහයෝගය දෙන්නෙමි.” යයි ඔහු පැවසීය.
තම පියා ප්‍රදේශයේ ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී නායකයෙකුව සිටි බව හා එම පක්ෂයේ පාවාදීම කම්කරු පන්තිය කෙරෙහි කෙතරම් දරුනු ලෙස බලපෑවේ ද යන්න ඔහු සිහියට නැගීය. 1964දී ලංකා සමසමාජ පක්ෂය ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීම පිනිස කම්කරු පන්තියේ දේශපාලන ස්වධීනත්වය පාවා දෙමින් සිරිමා බන්ඩාරනායකගේ ධනපති හවුල් ආන්ඩුවට ඇතුල් විය.
තවත් සිරකරුවෙකුගේ මවක් සිය පුතා සිරගත කිරීමෙන් පසුව සිය පවුල මුහුනදෙන දුෂ්කරතා පැහැදිලි කලාය. "මගේ සැමියා හා මම වතු කම්කරුවන් වන්නෙමු. දැන් විශ්‍රාම ගෙන සිටින අපට පුතුන් දෙදෙනෙක් ඇත. වැඩිමහලු පුතා විවාහවීමෙන් පසුව වෙනම ජීවත් වෙයි. අප රැකබලා ගත්තේ සිරගතකොට සිටින පුතා විසිනි. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අපි මහත් දුෂ්කරතාවන්ට මුහුන දෙන්නෙමු.”
"බොරු චෝදනා ඇතුලත් ලියවිල්ලක් අත්සන් කරන ලෙස පොලිස් නිලධාරීන් මගේ පුතාට බල කල නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කලේය. තමාට එසේ කරන ලෙස බල කල හොත් සියදිවි හානිකරගන්නා බව ඔහු පොලිස් නිලධාරීන්ට පවසා තිබුනි. මෙම නඩු සඳහා වියදම් කිරීමට අපට මුදල් නැත.” ඇය පැවසුවාය.
සසප සිය ප්රකාශනයේ සඳහන් කල පරිදි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිලිබඳ උද්ඝෝෂනය "ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ප්රහාරයන්ගෙන් කම්කරු පන්තියේ හා ගම්බද ජනතාවගේ ප්රජාතන්ත්ර අයිතීන් ආරක්ෂා කිරීමේ පුලුල් අරගලයෙන් නොවෙන්කල හැකිය.”
පන්ති විඥානයෙන් යුත් සියලු කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් සසප ඉල්ලා සිටින්නේ එහි උද්ඝෝෂනයට එක්වන ලෙසයි. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ අරගලය ආන්ඩුවට හා ධනේශ්වර රාජ්‍යයට පිටුබලය දෙන සංස්ථාපිතයේ පක්ෂ හා වෘත්තීය සමිති වලට එරෙහි දේශපාලන අරගලයක් සමග බැඳී තිබෙන බව පැහැදිලිය.
කියවන්න: "සසප ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් මුදාගැනීමේ උද්ඝෝෂනය දියත් කරයි”
Follow us on