වැලිවේරිය ජල දූෂනය පිලිබඳ කම්කරු පරීක්ෂනයේ රැස්වීමට මහජන සහාය පලවෙයි
විලානි පීරිස් විසිනි, 2014 ජූනි 27
වැලිවේරිය රතුපස්වල පිහිටි, වෙනිග්‍රොස් කම්හලෙන් සිදුවන ජල දූෂනය පිලිබඳව විමර්ශනය කිරීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් පවත්වන ස්වාධීන කම්කරු පරීක්ෂනයේ නිගමන ප්‍රකාශ කිරීම සඳහා පවත්වන රැස්වීම සම්බන්ධයෙන් වැලිවේරිය මහජනතාව තුල බලගතු උනන්දුවක් වර්ධනය වෙමින් පවතී. රැස්වීම ගොඩනැගීම සඳහා පසුගිය ජූනි 19 දින පලාතේ උද්ඝෝෂනයේ යෙදුන සසප සාමාජිකයන් සමග පරික්ෂනයේ ප්‍රගතිය ගැන සාකච්ඡා කරමින් සහ මුදල් ආධාර කරමින් ප්‍රදේශවාසීහු පරීක්ෂනයට තම සහයෝගය ප්‍රකාශ කලහ. “වැලිවේරිය ජල දූෂනය පිලිබඳ කම්කරු පරීක්ෂනයේ වාර්තා ප්‍රකාශයට පත්කරන :ජූනි 29 දින රැස්වීමට සහභාගී වන්න!” යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පිටපත් සිය ගනනක් එදින පලාතේ බෙදා හැරුනි.
පිරිසිඳු ජලය ඉල්ලා උද්ඝෝෂනයේ යෙදුන වැලිවේරිය මහජනතාවගේ විරෝධතාවකට පසුගිය අගෝස්තු 1 දින වෙඩි තැබූ හමුදාව තිදෙනෙකු ඝාතනය කල අතර 40 කට තුවාල සිදු කලේය. ඝාතනයට ලක්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් ඝාතනයන් සම්බන්ධයෙන් අධිකරනයේදී සාක්කි දීමෙන් වැලක්වීම සඳහා පොලිසිය හා මැරයන් එම පවුල් වලට තර්ජනය කර පලාතෙන් පලවා හැර ඇති බව පලාත්වාසීහු පැවසූහ.
නල ජලය ලබා දෙන බවට ආන්ඩුව පොරොන්දු වූ නමුත් ලැබී ඇත්තේ ප්‍රදේශවාසීන් කොටසකට පමනි. ඇතැම් තැන්වල වැලලූ නල යලි ඉවත් කර ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ දේශපාලන බලවතුන් හමුවූ නමුත් ප්‍රතිඵලයක් නොමැති බවද ජනතාව පෙන්වා දුනි. මහජන උද්ඝෝෂනය නතර කිරීම සඳහා ජල නලවල වියදම දැරීමට කම්හලේ පාලකයන් පොරොන්දුව සිටි නමුත් එයද ක්‍රියාත්මක වී නැත.
ප්‍රහාරයෙන් අබ්බගාත තත්වයට පත්වූ 47 වියැති මෙලන් පෙරේරා මෙසේ ප්‍රකාශ කලේය: “එදා උද්ඝෝෂනයේදී හමුදාව වෙඩි තැබීමට සූදානම් වෙනකොටම එසේ නොකරන ලෙසට ඉල්ලීමට මම ඉදිරියට ගියා. එතකොටම වෙඩි තැබීම ආරම්භ කලා. මගේ උකුල් ඇටය පසා කරගෙන ගිය උන්ඩයක් මාව අබ්බගාත තත්වයට පත්කලා.
“දැන් උකුල් ඇටයට ඇනයක් දමා බද්ධ කරලයි තියෙන්නෙ. ඇවිදින්නෙ හරිම අමාරුවෙන්. ආන්ඩුවෙන් අවම වසයෙන් වන්දියක්වත් දුන්නෙ නැහැ. මීට ප්‍රථම මම උදේ රැකියාවක් කර හවසට ත්‍රී වීලය දුවවා මුදල් උපයා ගත්තා. දැන් කිසිම රැකියාවක් කරන්න බැහැ. මට ලමයි දෙන්නෙක් ඉන්නවා. මගේ බිරිඳ ඇඟලුම් කම්හලක සේවය කර ලබා ගන්න රු. 15,000න් තමයි යාන්තමට ජීවත් වෙන්නෙ. මගේ ත්‍රී වීලයේ මුදල් ගෙවන්න බැරුව එය ආපසු ගෙනියන්න කියල මම අදාල සමාගමට දැන්නුව.”
සසප හැර කිසිම දේශපාලන පක්ෂයක් දැන් ඔවුනගේ ප්‍රශ්න කතා නොකරන බව පැවසූ ඔහු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙන්ම ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා හමුවුවද ඔවුනගෙන් ලැබුනේ බොරු පොරොන්දු පමනක් බව කීවේය. “එක්සත් ජාතික පක්ෂයෙන් පලාත් සහාවට තරග කල ප්‍රමිත හෙට්ටිආරච්චි මේ පලාතේ උද්ඝෝෂනය කරද්දි අපේ ගෙදරට ආවෙවත් නැහැ. ජනතා විමුක්ති පෙරෙමුනේ විජිත හේරත් පාර්ලිමේන්තුවේදී මම ගැන ප්‍රශ්න කරලා නිහඬ වුනා. මම මේ කිසිම දේශපාලන පක්ෂයක් විශ්වාස කරන්නේ නැහැ.”
හමුදා වෙඩි තැබීම ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ “උඩින් අනක් නොලැබුනා නම්” හමුදාව වෙඩි නොතබන බවයි. “පැහැදිලිවම උඩින් අනක් ලැබුනා” යැයි ඔහු පැවසීය.
කම්හල් මගින් අවශ්‍ය පරිදි අපජලය පිරිසිදු කිරීමේ ප්රතිකාරක පද්ධතියක් ක්‍රියාත්මක නොකරන්නේ වියදම අඩුකර ලාභය ආරක්ෂා කර ගැනීමට බව සසප සාමාජිකයන් ප්‍රදේශවාසීන්ට පැහැදිලි කර දුනි. ආන්ඩුව ද අනෙකුත් සියලු ධනේශ්වර පක්ෂ ද ආයෝජකයන් ආරක්ෂා කර ඔවුනගේ ලාභය ආරක්ෂා කරදීමට බැඳී ඇති බවත් ජලය ඉල්ලූ මහජනයාට වෙඩි තැබුවේ ඒ නිසා බවත් ඔවුහු පෙන්වා දුනි. කර්මාන්ත ශාලාව වසා දැමීමෙන් ප්රශ්නය නොවිසඳෙන බවත් ලාභ ලැබීමේ ධනපති ක්‍රමයට එරෙහිව සමාජවාදී ප්‍රතිපත්ති යටතේ ජනතාව සංවිධානය විය යුතු බවත් උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ.
වෙනිග්‍රොස් කම්හල හිමි හේලීස් සමාගමටම අයත්ව පැවති, ඔන්රිල් නම් කර්මාන්ත ශලාවක ඉංජිනේරුවෙකු ලෙස සේවය කල ප්‍රදේශවාසියෙකු කියා සිටියේ තම සේවා කාලයේදී එම කම්හලේ අප-ජලය පාලු ඉඩමකට දමා පරිසරය දූෂනය කල බවය. පසුව මෙම කම්හල හේලිස් සමාගම විසින් වෙනත් සමාගමකට විකුනා ඇත.
ඔහු පෙන්වා දුන්නේ කම්හල වසා දැම්මත් වැලිවේරියේදී සිදුව ඇති පරිසර විනාසය වසර 20 කින් හෝ අවසාන නොකල හැකි බවය. ඔහු මෙසේ පැවසුවේය. “අපේ ගෙදර ලමයි අපි සේරම බොන්නෙ පීඑච් අගය අඩු ලිඳේ වතුරයි. ලිඳේ වතුර පීඑච් අගය 4.5යි. අපි ෆිල්ටරයක් ගෙනාව එහි පෙරී එන ජලයේ පීඑච් අගය 5.5යි. නමුත් කරන්න දෙයක් නැති නිසා අපි මේ වතුර බොනවා. මේව ලමයින්ට පසු කාලෙකදී තදින් බලපානවා.
“කම්හල අප ජලය පරිසරයට මුදා හැරිය විතරක් නොවෙයි. කම්හල් භූමිය තුල නල මාර්ගයෙන් අඩි 180ක් ගඹුුරට ජලය භූගත කර ජල නිධියටම අප-ජලය යැව්වා. එම අප-ජලය ප්‍රදේශය පුරා ගලා ගොස් තියෙන්නෙ. මෙම විනාශය නතර කල යුතුයි.”
සසප සාමාජිකයෝ මෙය එක් ධනපතියකුගේ හෝ එක් කම්හලක ප්‍රශ්නයක් නොවෙන බව ද ලංකාවේ තවත් කර්මාන්ත ශලාවන්ගෙන් රසායනික ද්‍රව්‍ය කාන්දු වීමෙන් සිදුකෙරුන විනාසයන් ද ජාත්‍යන්තර පරිමානව සිදුවෙන විනාසයන් ද ඔහුට පෙන්වා දුන්හ.
මාලු වෙලඳ පොලේ පිරිසිදු කිරීම් කරනු ලබන ශාන්ත කුමාර වෙඩිවැදුන තැනැත්තෙකි. ඒ හේතුවෙන් කතා කිරීමේ අපහසුතාවකට මුහුන දී සිටින ඔහු ගොත ගසමින් මෙසේ පැවසීය. “මගෙ ඔලුවට හා බඩට වෙඩි වැදුනා. මට දැන් හරියට කතා කරන්න බැහැ. කෑම කන්න බැහැ. අඹරලා දියරවගේ බොන එකයි කරන්නෙ. දත් නැහැ. දත් දාන්නත් බැහැ.
“මාසයකට බේත් වලට විතරක් රු. 3000ක් විතර යනවා. ක්ලිනික් එකට යන දාට පඩිත් නැහැ. කිසිවෙක් අපේ ප්‍රශ්න ගැන උනන්දු නැහැ. කිසිම පක්ෂයක් උනන්දු නැහැ. අපි තාම බොන්නෙ අපිරිසිදු බීමට නුසුදුසු ජලයයි.” හරිහැටි කෑම වේලක් කුසට නොවැටෙන ඔහු තාමත් මාලු වෙලඳපොල පිරිසිදු කිරීමේ වැඩවල නියලෙන සැටි අපි දුටුවෙමු.
වැලිවේරියේ හමුදා ඝාතන සම්බන්ධ නඩුවේ සාක්ෂි සඳහා කැඳවූ කේ.ඞී. සුනිල් මෙසේ පැවසීය. “මාව නඩුවට කැඳවූයේ නීතිඥ හේමමාලී පෙරේරා යි. මට සිතාසි ලැබුනෙ නැහැ. මම දැකපු දේ කිව්වා. එදින වැදගත් කාරනාවක් දැන ගන්න ලැබුන. ඒ තමයි එදා හමුදා භටයින් 90කින් 68 දෙනෙකුගේම තුවක්කු පත්තුවෙල තිබුන බව.”
පාසල් ගිය දුව එන තෙක් මග බලා සිටි ඔහු වෙඩි තැබීම දැක ආරක්ෂාව සඳහා පල්ලියට දිව ගිය බවත් පල්ලියට පැමිනි හමුදා භටයන් මහජනයාට එලව එලවා පහර දුන් බවත් පැවසීය. “මගේ හිසට බැටන් පොල්ලකින් පහර දුන්න. ඔලුව පැලිලා මැහුම් 16ක් දැම්මා. ඊටපසු මගේ දකුනු කන ඇහෙන්නෙ නැහැ. අත උස්සන බැහැ. කනට මැෂින් එකක් දාන්න රු. 36,000ක් ඉල්ලනවා. මට මුදල් නැහැ. මම කලේ මේසන් රස්සාව. දැන් සුලු කුලී රැකියාවක් කරන්නෙ.”
පලාතේ කාන්තාවක් කතා කරමින් මෙසේ කියා සිටියාය: “කම්හල වැහුවට වැඩක් නැහැ. අපි තාම බොන්නෙ අපිරිසිදු, බොන්න එපැයි කිව්ව වතුර. මගේ බඩ දනවා මේ වතුර බීලා. මගේ ලොකු දුවගෙ කොන්ඩෙ යනවා මේ වතුර නාලා. හුඟක් අය ඉන්නවා පලුදාලා තවත් රෝග හැදිලා.”
කම්හලේ සේවය කර දොට්ට දැමූ කම්කරුවෙක් කතා කරමින් කියා සිටියේ “කම්හල් පාලකයන් සේවකයන්ට ඉතා අසාධාරන ලෙස” සැලකූ බවය. “මම 2013 පෙබරවාරි මාසය වනතුරු වැඩ කලා. කම්කරුවො එකතුව කර්මාන්ත ශාලාව තුල අන්තර් සේවක සංගමයෙ ශාඛාවක් ගොඩ නැගුව, අපේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න. කම්හල් හිමියො කලේ ඔවුනට අවනත කොටසක් වැඩි වැටුප් හා වරප්‍රසාද දී ගොඩනගා ගැනීමයි. කම්කරුවන් 180කගෙන් 40ක් පමන කම්හලේ පැත්ත ගත්ත.”
ඊට පසුව බොරු චෝදනා මත වෘත්තිය සමිතියේ ලේකම් හා සංවිධායක සේවයෙන් නෙරපූ බවත් තවත් සේවකයන් බොරු චෝදනා මත ඉවත් කල බවත් ඔහු පැවසීය. “අපි අසාධාරන නෙරපීම් වලට එරෙහිවත් කම්හල තුල දැඩි නීති වලට එරෙහිවත් ස්ට්‍රයික් කලා. මමත් ඇතුලු සේවකයන් 140ක් පමන අයින් කලා. බොහෝ අය අවුරුදු 10කට වඩා සේවය කල අයයි. තාම නඩුව කම්කරු උසාවියේ විභාග වෙනව.”
කම්හලේ සේවා කොන්දේසි ගැන කතා කරමින් ඔහු කීවේ විෂ රසායනික ද්‍රව්‍ය ශරීරයේ තැවරීමෙන් සිදුවන පිලිස්සීම් වලට කම්කරුවන් නිතර මුහුන දුන් බවයි. කම්හල වසා දැමීමෙන් පසු එහි රැකියාවේ නියැලුන සේවකයන්ට අලුතෙන් ආරම්භ කල බියගම කම්හලේ නව සේවකයන් ලෙස අඩු වැටුපකට වැඩ කිරීමට බල කරමින් රැකියාවෙන් දොට්ට දැමීමට මාන බලන බව ප්‍රදේශවාසීහු පැවසූහ.
Follow us on