රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස කෘතිය සඳහා පෙර වදනක්

Foreword to The Russian Revolution and the Unfinished Twentieth Century

ඩේවිඩ් නෝත් විසිනි , 2014 අගෝස්තු 1

* * *

විසිවන සියවස - සුවිශේෂ දේශපාලන සහ සංස්කෘතික සමයක් ලෙස - ඇරඹුනේ 1914 පලමුවන ලෝක යුද්ධය පටන් ගැනීමත් සමගය යන්න ඉතිහාසඥයන් අතර පුලුල් එකඟතාවයක් පවත්නා කාරනයකි. එහෙත් එම සියවස අවසන් වූයේ කවදා ද - නැතහොත් එය ඇත්ත වශයෙන් අවසන් වුනි ද යන්න - දැඩි මතභේදයන්ට ලක්වී ඇත. මතභේදය අවුරුදු සියයක කාලපරිච්ඡේදයක නිල දින නියම කිරීම පිලිබඳව නොවේ. පැහැදිලිව ම 1900 ගනන් ඉවරය: දැන් අප ජීවත් වන්නේ 21 වන සියවස තුල ය. එසේ වුව ද විසිඑක්වන සියවසේ දෙවන දශකය අඩක් ගෙවීයමින් පවත්නා නමුත්, ලෝකය 20වන සියවසේ ගුරුත්ව කේන්ද්‍රය තුලම රැඳී සිටි. ඉතිහාසඥයන් ගතවූ සියවස දෙස දැනුදු කෝපයෙන් බලතොත් ඒ, මානව වර්ගයා තවමත් - දේශපාලන, ආර්ථික, දාර්ශනික ක්ෂේත‍්‍රයන්හි පමනක් නොව, කලාව ද ඇතුලු - එම සියවසේ අසමාප්ත අරගලයන් තුලම නිමග්නව සිටින නිසාය.

ඉතා මෑතක් වනතුරු ඉතිහාසඥයෝ, විසිවන සියවස මුලුමනින්ම වලලා හමාරයයි සෑහෙන විශ්වාසයකින් යුතුව සිතූහ. 1989 දී නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත‍්‍ර බිඳ වැටීමත්, 1991 දෙසැම්බරයේදී සෝවියට් සංගමය විසුරුවා ලීමත් මගින් මුදා හැරුනු ධනේශ්වර විජයග‍්‍රහනවාදයේ යෝධ රල පහරට ලොව පුරා ශාස්ත‍්‍රාලික ආයතන වැඩි ප‍්‍රතිරෝධයකින් තොරව යටත් වූ හ. ඉතිහාසය පිලිබඳ න්‍යායන්, අලුත්ම පුවත්පත් වාර්තාවලට සහ කතු වැකිවලට අනුකූලව හැඩ ගස්සා ගැනීමට මහැදුරුමඬුල්ල යුහුසුලූ විය.

1989-91 සිද්ධීන්ට පෙරාතුව, ශාස්ත‍්‍රාලික විශේෂඥයින්ගෙන් අති මහත් වැඩි සංඛ්‍යාව උපකල්පනය කලේ, තමන් විසින් සමාජවාදය හැටියට අඩු හෝ වැඩි වශයෙන් අනන්‍ය කර ගැනුනු සෝවියට් සංගමය සදාකාලිකව පවතිනු ඇති බවකි. එනම් සෝවියට් කම්කරු පන්තිය විසින් නිලධරය පෙරලා දමනු නොලැබී නම්, එහි විපාකය වනු ඇත්තේ කම්කරු රාජ්‍යය විසුරුවා හැරීම සහ ධනවාදය පුනස්ථාපනය කිරීමයි යනුවෙන් ට්‍රොට්ස්කි සෝවියට් සංගමය පිලිබඳව කල විමර්ශනය ගැන දැන සිටි අය පවා සිතා සිටියේ එම විවරනය වනාහි ස්ටැලින්ගේ පරාජිත ප‍්‍රතිමල්ලවයා තමන්ව සාධාරනීකරනය කර ගැනීමට ගොතන ලද මූසල හැවිල්ලක් යයි කියා ය.

ස්ටැලින්වාදී තන්ත‍්‍ර විසිරී යන තතු තුල, කෙසේ වෙතත්, මේ මහාචාර්යවරු ද චින්තන පර්ෂදීය විශ්ලේෂකයෝ ද ඇමරිකා එක්සත් ජනපදය සිය සීතල යුද්ධ සතුරාට එරෙහිව ස්ථිර විජයග‍්‍රහනයක් තහවුරු කරගෙන ඇති බව ද ධනවාදය සිය සමාජවාදී අභිශාපය ඓතිහාසික ශක්‍යතාවේ ක්ෂේත‍්‍රයෙන් තුරන් කරගෙන තිබෙන බව ද නිවේදනය කිරීමට යුහුසුලු වූහ. රෑන්ඩ් ආයතනයේ විශේෂඥ, ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා විසින් “ඉතිහාසයේ සමාප්තිය” යන නමින් National Interest (නැෂනල් ඉන්ටරස්ට්) සඟරාවට ලියනලද ලිපියකින් එවක ඔවුනතර පැවති මානසිකත්වය පිලිබිඹු වෙයි. ඔහු මෙසේ ලිවීය:

අප දකිමින් සිටිනේ හුදෙක් සීතල යුද්ධයේ අවසානය නොවේ, නැතහොත් පශ්චාත් යුද ඉතිහාසයේ කිසියම් කාල වකවානුවක් නොවේ, ඒ හැටියට ගත් කල්හි ඉතිහාසයේ සමාප්තියයි: මේ වනාහි මානවවර්ගයාගේ දෘෂ්ටිමය විකාශනයේ ද මානව පාලන ක‍්‍රමයේ ද අවසාන රූපය හැටියට බටහිර ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රය සාර්වත‍්‍රිකව තහවුරු වීමේ අවසාන ලක්ෂ්‍යය යි.(1)

අනාගතය කරදර වලින් තොර නිස්කලංක එකක් වනු ඇතැයි ඔහු තර්ක නොකිරීම ෆුකුයාමාට සාධාරනයක් වනු පිනිස සඳහන් කල යුතුය. කෙසේ වෙතත් ඔහු, එක්සත් ජනපදය හා බටහිර යුරෝපය තුල කෙතරම් අසම්පූර්නව භාවිතා කල ද ධනපති ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රය මානව වර්ගයාගේ දේශපාලන හා ආර්ථික පරිනාමයේ අර්ථයෙන් ගත් කල නියෝජනය කලේ ශ්‍රේෂ්ඨ දෘෂ්ටියක් ය යන්න පිලිබඳව කිසිදු සැකයක් ඇත්තේ නැති බව කියා සිටියි. ධනපති වෙලඳපොල ආර්ථිකය මත පදනම්වූ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රයට විශ්වාසනීය බුද්ධිමය හා දේශපාලන විකල්පයක් නැතැයි යන අර්ථයෙන් ඉතිහාසය “නිමාවී” ඇත. 1992දී පල කල පොතක ඔහුගේ තර්කය වර්ධනය කර තිබේ. ෆුකුයාමා මෙසේ ලිවී ය:

අපගේ මුතුන් මිත්තන්ගේ සමයේදී බොහෝ හිතන මතන මිනිස්සු, පුද්ගලික දේපල සහ ධනවාදයෙන් තොර වූ ද දේශපාලනය ම කිසියම් ආකාරයකින් ඉක්මවන ලද්දාවූ ද දීප්තිමත් සමාජවාදී අනාගතයක් පෙරදුටුවෝය. අද දින නම්, දැන් තිබෙන ලෝකයට වඩා සමූලික වශයෙන් ම යහපත් වූ ලෝකයක් හෝ සාරභූත වශයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවූ සහ ධනේශ්වර නොවූ ලෝකයක් ගැන සිතාගැනීම වත් දුෂ්කර ය. ඉහත කී රාමුව ඇතුලත, සත්තකින්ම බොහෝ දේවල් වැඩි දියුනු කර ගැනීමට ඉඩ නැතුවා නොවේ: නිවාස නැත්තවුන් ට නිවාස සැපයිය හැකිය, සුලු ජන කොටස්වලට සහ ස්ත‍්‍රීන්ට නව අවස්ථා ලබාදිය හැකි ය. තරග කාරිත්වය තියුනු කල හැකිය, නව රැකියා නිර්මානය කල හැකිය. අප දැන් දකිනවාට වඩා බෙහෙවින් අසුබ අනාගත ලෝකයක් ගැන ද සිතිය හැකි ය: එවැන්නක් තුල ජාතික, වාර්ගික හෝ ආගමික අසහනය යලිත් එලඹිය හැකිය, නැතහොත් යුද්ධය හෝ පාරිසරික විනාශයෙන් අප වසාගන්නවා විය හැකි ය. එහෙත් අපට වත්මනට වඩා සාරභූතව වෙනස් වූ හෝ යහපත් වූ ලෝකයක් ගැන සිතීමට වත් අපහසුය. අපේ යුගය තරම් දුර දිග නොසිතූ යුගයන් පවා හොඳම සමය නම් අපගේ සමය යයි සිතා නැතුවා නොවේ. එහෙත් අප මෙම නිගමනය කරා එලඹෙන්නේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රයට වඩා යහපත් විය යුතු යයි සිතන ලද විකල්පයන් පසු පස ගොස් හති වැටී සිටින තතු තුලය.(2)

ෆුකුයාමා ගේ විග‍්‍රහය ධනේශ්වර දේශපාලන විජයග‍්‍රහනවාදය සහ ආන්තික දර්ශනවාදී අශුභවාදය බද්ධ කර ගත් එකකි. ෆුකුයාමාගේ පොතේ ප‍්‍රකාශකයා එහි සෑම පිටපතක් ම තුලට ප්රොසාක් නම් උත්තේජක ඖෂධ දැන්වීමක් ඇතුලු කලා නම් හොඳ ය. පවත්නා ධනේශ්වර යථාර්ථය, සකලාර්ථයෙන්ම, මෙයට වඩා යහපත් විය නොහැකි නම්, මානව වර්ගයාගේ අනාගතය බෙහෙවින්ම අඳුරු විය යුතු ය. එහෙත් ෆුකුයාමාගේ උපන්‍යාසය යථාර්ථවත් වී ද? තමා උත්පේ‍්‍රරනය ලැබුවේ හේගල්ගෙන් යයි කියා සිටිය ද ෆුකුයාමාට අපෝහකය ගැන තිබුනු වැටහීම අත්‍යන්තයෙන්ම සීමාසහිත විය. ඉතිහාසය අවසන් ව ඇති බව කියාපෑම අර්ථවත් විය හැකි ව තිබුනේ ධනවාදය, ඝට්ටනයෙන් සහ අර්බුදය ජනනය කල අභ්‍යන්තර පර්යායගත ප‍්‍රතිඝතිතාවන් කිසියම් ආකාරයකින් විසඳාගෙන තිබුනේ නම් පමනකි. ඔහු එවන් නියත නිගමනයකින් වැලකී සිටියේය. ධනේශ්වර ක‍්‍රමය සමාජ අසමානතාවයෙන් සහ ඉන් ජනනය කෙරෙන අසහනයෙන් උග‍්‍ර ලෙස රෝගීව ඇති බව ඔහු පිලිගත්තේය. “ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රය සහ ධනවාදය යන දෙකටම වමෙන් විකල්පයන් සොයාගැනීමට යොමුවන අනාගත ව්‍යායාමයන්හි මූලාශ‍්‍රකය වනු ඇත්තේ, අන්‍යොන්‍ය පිලිගැනීමේ අපරිපූර්නකම, (එනම් සමාජ අසමානතාවය)” (3) සමග පවත්නා නොසතුටක හැකියාව පිලිගන්නා තරම් දුර ඔහු ගමන් කලේය. එසේනම්, ඉතිහාසයේ නිමාව පිලිබඳව ෆුකුයාමාගේ නිවේදනයෙන් ඉතුරුව තිබුනේ කුමක් ද ?

ඇමරිකානු ඉතිහාසඥ මාර්ටින් මාලියා (1924-2004 ) ෆුකුයාමා ගේ නිවේදනය තහවුරු නොකල හැකි බව වටහා ගත්තේ ය. “ෆැසිස්ට්වාදය හා කොමියුනිස්ට්වාදය යන දෙකම පිලිබඳ මිත්‍යාවන් ජයගැනීමෙන් පසුව ඉතිහාසය, අන්තිමේ දී වෙලඳපොල ප‍්‍රජාතන්ත‍්‍රය නමැති සුරක්ෂිත තොටට යාත‍්‍රා කර ඇතැයි යන විජයග‍්‍රහනයේ කථාවන්ට” එරෙහිව ඔහු අනතුරු ඇඟවී ය. “ඉතිහාසයේ අවසානය පිලිබඳ පශ්චාත් මාක්ස්වාදී දෘෂ්ටියේ” (4) වලංගු භාවය කෙරෙහි මාලියා සැක පහල කලේය. ධනවාදය කවර කලෙක වත් සිය ඓතිහාසික සතුරාගේ අවතාරයෙන් ගැලවෙනු නැතැ යි බිය පල කල මාලියා “අසමානතාවය යම් තාක් කාලයක් පවතී ද සමාජවාදය පිලිබඳ අදහස ද ඒ තාක් කල් ම අප සමග පවතිනු ඇතැ යි” (5) පැවසීය. එබැවින් මාලියා, සමාජවාදී අපේක්ෂාවන් දිගින් දිගටම පැවතීමට එරෙහිව සටන් වැදිය හැකි එකම මාර්ගය, සෝවියට් අත්දැකීම මත පදනම් වී ගෙන සමාජවාදය කි‍්‍රයාවට නැගීම කල නොහැක්කක් යයි අවධාරනය කිරීම බවට තර්ක කලේය. The Soviet Tragedy (සෝවියට් ඛේදවාචකය) නම් කෘතියේ ප‍්‍රවාදය වූයේ මෙයයි. මේ අනුව 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම වනාහි 1917 ඔක්තෝබර් විප්ලවයේ අනිවාර්ය ප‍්‍රතිවිපාකය යි. බෝල්ෂෙවික් පක්ෂය උත්සාහ කර තිබුනේ නොකල හැක්කක් කිරීමට ය. එනම්, ධනේශ්වර නොවන පර්යායක් නිර්මානය කිරීමට උත්සාහ දැරීමය. ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ දෛවොපගත ඓතිහාසික වැරැද්ද වූයේ එය යි.

ඒකාග‍්‍රිත සමාජවාදයේ අසාර්ථකත්වය පැන නැංගේ එය වැරදි තැනක, එනම් රුසියාවේ දී කි‍්‍රයාත්මක කරන ලද හෙයින් නොව සමාජවාදය පිලිබඳ අදහසම වැරදි හෙයිනි. අසාර්ථකත්වයට හේතුව සම්පූර්නයෙන් ධනවාදී නොවන්නක් නිසගයෙන්ම ඉටු කල නොහැක්කක් වීමයි. (6)

මෙම තර්කය කිසිසේත්ම සනාථ කරනු ලැබුවේ නැත, මාලියා සිය කෘතිය අවසන් කලේ අරුම දෙගිඩියා සහගත, කරදරකාරී තානයකිනි. හේ සමාජවාදය සඳහා ජනතා විප්ලවවාදී ව්‍යාපාරය යලි පැනනැගීමේ හැකියාවක් පෙරදුටුවේ ය.

1914-1918 ඇති වූ පෙරනුවූ විරූ ලෝක අර්බුදය නිසා පෙර නුවූ විරූ ලෙනින්වාදී ප‍්‍රපංචය පැනනැංගේය. මැක්සිමල්වාදය (බෝල්ෂෙවික්වාදය -පරිවර්තක) එවන් ගෝලීය අර්බුදයක් ඉදිරියේ යලි නිදිගැට හැර නැගී සිටිනු ඇත. එතුලින් පරම ඉලක්කයන් දිනාගනු වස් පරම බලය ගැනීම දෙසට පවත්නා ආකර්ෂනය ද යලි පන ගැන්වෙනු ඇත. (7)

ෆුකුයාමා “ඉතිහාසයේ අවසානය” සමාජවාදයේ අවසානය යයි තර්කකල අතර, මාලියා වැලපුනේ, ධනවාදී නොවන සමාජයක් අත්පත් කර ගැනුම කිසිසේත් ම කල නොහැක්කක් ය යන්න නොතකා, දිගින් දිගටම සමාජවාදය කරා අනුගාමිකයන් ආකර්ෂනය වනු ඇතැයි යන්න පිලිබඳව ය. අඩ සියවසකටත් වැඩි කාලයක් තිස්සේ, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ කැපවූ සාමාජිකයෙකුව සිටි බි‍්‍රතාන්‍ය ඉතිහාසඥ එරික් හොබ්ස්බෝම් (1917-2012), ෆුකුයාමාගේ ද, මාලියාගේ ද තර්කයන් පිරුලට ගෙන ගොතාගත් විසිවන සියවස පිලිබඳ න්‍යාය, මධ්‍යස්ථ වාම වාදීන්ගේ ද හිටපු - වාම ශාස්ත‍්‍රාලිකයන්ගේ ද පුලුල් ස්ථරයක් තුල තතක් හැඬවිය. බහුශ‍්‍රැත වූ ද අනුභූතික විධික‍්‍රමයේ බෙහෙවින් ගැලී සිටියා වූ ද ඉතිහාසඥයෙකු වූ හොබ්ස්බෝම්, ෆුකුයාමාගේ අධිභෞතික සමපේක්ෂනය පිලිගැනීමට සූදානම් වූයේ නැත. ඔහු ඒ වෙනුවට ෆුකුයාමාගේ සංකල්ප වඩාත් දැරිය හැකි මට්ටමකට කප්පාදු කර ගත්තේය. ඒ අනුව ඔහු කියා සිටියේ සෝවියට් සංගමය විසුරුවා හැරීම සලකුනු කලේ, ඉතිහාසයේ සමාප්තිය නොවන්නේ නම්, විසිවන සියවසේ සමාප්තිය ය යන්න ය. හොබ්ස්බෝම් ඔයැ The Age of Extremes (අන්තයන්ගේ යුගය) නම් සිය කෘතියේ දී, 1914 පලමුවන ලෝක යුද්ධය පුපුරා ගිය තැන් සිට සෝවියට් සංගමය විසුරුවා හැරීම සලකුනු කල 1991 දක්වා කාලය, “කෙටි විසිවන සියවස” යයි තර්ක කලේ ය.

එය පුනරාවලෝකනය කරන කල්හි අපට දැකගත හැක්කේ දැන් නිමාවී ඇති, විසංවාදී ඓතිහාසික අවධියක රූපාකාරයකි. 1980 ගනන් අවසානයේ හා 1990 ගනන් මුල, ලෝක ඉතිහාසයේ එක යුගයක් හමාරව තවත් එකක් ඇරඹුනු බවට බැ?රුම් සැකයක් තිබිය නොහැකිය. ඒ වනාහි ඉතිහාසඥයන්ට නැතිවම බැරි තොරතුරකි. (8)

හොබ්ස්බෝම් විසින් 1914-1991 දක්වා 77 වසර, විසිවන “කෙටි සියවස” ලෙස යුග ගත කිරීම, මාලියා බෝල්ෂෙවික් වරුන්ගේ විප්ලවීය ව්‍යාපෘතිය ප‍්‍රතික්ෂේප කිරීම තුල එතරම් දැඩි ලෙස නුවුව ද දැක ගත හැකි වේ. 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමග විසිවන සියවස නමැති නාටකයයේ තිරය පහත් කිරීම මගින් හොබ්ස්බෝම් ප‍්‍රකාශකර ඇත්තේ, 1914 සිට 1991 දක්වා සමය වනාහි ධනවාදයට එරෙහි විකල්පයක් ලෙස යම් ආකාරයකට සමාජවාදය දැකගන්නා ලද සමයක් බව ය. 1991 දී ඒ සමය සදහටම ඉවර විය. ලෙනින් හා ට්‍රොට්ස්කි සංකල්පනය කල සමාජවාදය මුල සිටම මිරිඟුවක්ව පවතියේ ය යන්න පිලිබඳ සැකයක් හොබ්ස්බෝම් ට තිබුනේ ම නැත. 1991 සිදුවීම්වල ආලෝකයෙන් බලන කල සියවස් තුන්කාලකට පෙර, බෝල්ෂෙවික්වරුන් බලය අල්ලා ගැනීම ඛේද ජනක වරදක් වූ බව පෙනීගොස් තිබුනි. 1917 දී පැවති තත්වයන් තුල බෝල්ෂෙවික් නායකයන්ට ගැනීමට සිදුවූ තීන්දුවලට යම් ආකාරයක දේශපාලන යුක්තිකරනයක් තිබිය හැකිවූ නමුත් හොබ්ස්බෝම් අවධාරනය කර සිටියේ, ඔක්තෝබර් විප්ලවය සුවිශේෂ වූ ද පරම වශයෙන්ම අද්වීතීය වූ, පුනර්කරනය විය නොහැක්කාවූ ද සිද්ධියක් බවය. එහෙයින්ම සමකාලීන දේශපාලන අදාලත්වයකින් තොර වූ එක්තරා වර්ගයක සිද්ධියක් බව ය.

මේ අයුරින් ෆුකුයමා සහ හොබ්ස්බෝම් යන දෙදෙනාම සෝවියට් සංගමයේ ඉරනම ඓතිහාසික සන්තතියේ යුග සාධනයක කේන්ද්‍රයෙහි තැබුවෝ ය. ෆුකුයාමා මෙය දුටුවේ “ඉතිහාසයේ අවසානය” ලෙස ය. හොබ්ස්බෝම් ට එය ”කෙටි විසිවන සියවසේ” අවසානය විය. සෝවියට් සංගමය විසුරුවා හැරීම කෙරෙහි ඔවුන් තැබූ අති මහත් ඓතිහාසික අර්ථ භාරය වනාහි, ඔක්තෝබර් විප්ලවය විසිවන සියවසේ කේන්ද්‍රීය දේශපාලන සිද්ධිය යයි අනියම් ලෙස පිලිගැනීමකි. කෙසේ වෙතත්, “ඉතිහාසයේ අවසානය” හා “කෙටි විසිවන සියවස” යන ප‍්‍රවාදයන් දෙකම පදනම් වූයේ, ඔක්තෝබර් විප්ලවයේ ඓතිහාසික මූලයන් ද 1917 බෝල්ෂෙවික්වරුන් බලය අල්ලා ගැනීමෙන් පසුව දශක ගනනාවක් තුල විකාශනය වූ සෝවියට් රාජ්‍යයේ ස්වභාවය ද පිලිබඳ අතිමූලික සාවද්‍ය සංකල්පයක් මත ය. වියුක්ත න්‍යාය කරනයෙහි යෙදීගත් ෆුකුයාමා ඓතිහාසික හේතුසාධනයේ නිශ්චිත ගැටලු වලට අවධානය යොමු නොකලේ ය. පලමුවන ලෝක යුද්ධයේ මහා ව්‍යසනය නොවී නම් රුසියාවේ සමාජවාදී විප්ලවය සිදු නොවනු ඇත යන නොගැඹුරු, සාම්ප‍්‍රදායික න්‍යාය හොබ්ස්බෝම් පිලිගත්තේය. “එම ව්‍යසන යුගයේ දහ නවවෙනි සියවසෙහි සිදුවූ ධනේශ්වර සමාජයේ බිඳවැටීමෙන් තොරව ඔක්තොබර් විප්ලවයක් ද සෝවියට් සංගමයක් ද නො පවතිනු ඇත”(9) යනුවෙන් ඔහු ලිවීය.

මෙය පුනර්වාචකයක් මිස අර්ථ කථනයක් නොවේ. හොබ්ස්බෝම් මගහැර ගිය සැබෑ බුද්ධිමය අභියෝගය වූයේ, ලෝක යුද්ධය සහ සමාජ විප්ලවය ලෙස ගෝලීය පරිමාවකින් පුපුරා ගිය, ගැඹුරින් මුල්බැසගෙන තිබූ ප‍්‍රතිඝතිතාවන් හඳුනාගැනීම ය. කුමක් වුවත්, පලමුවන ලෝක යුද්ධය ට පෙර පැවතීගෙන ආවේ, උග‍්‍ර වන්නාවූ මහා බලවතුන්ගේ ඝට්ටනයන් ගෙන් පිරීගිය වසර ගනනාවකි. ඔක්තෝබර් විප්ලවයට පෙර දශකවල දී සමාජවාදය, ජාත්‍යන්තර මහජන ව්‍යාපාරයක් ලෙස පැනනැග තිබුනි. 1914 ට පෙර සමාජවාදීන් ධනේශ්වර සමාජයේ බිඳවැටීම පමනක් නොව එම බිඳ වැටීම, යුරෝපා -පරිමාන පමනක් නොව භූගෝලීය පරිමාන විනාශකාරි යුද්ධයක ස්වරූපය ගනු ඇති බව ද පූර්වාපේක්ෂනය කර තිබුනි. 1914ට පෙර සමයේ විසූ ප‍්‍රමුඛ මාක්ස්වාදියෝ, සමාජ විප්ලවය සඳහා අත්‍යවශ්‍ය පූර්ව සාධකයක් ලෙස එවන් යුද්ධයක් සාදරයෙන් පිලිගැනීමට සූදානම් නොවුනා පමනක් නොව, අධිරාජ්‍යවාදී මිලිටරිවාදයට එරෙහි අරගලය සිය දේශපාලන වැඩ කටයුතුවල හරි මැදට ද ගෙනාහ.

සමාජවාදීන් එවන් සිද්ධියකින් මතුවන්නාවූ විප්ලවවාදී අරගලය පිලිබඳව මූලෝපායික ගම්‍යයන්, විප්ලවවාදී දෘෂ්ටියෙන් සලකාබැලීමට පටන් ගත්තේ අධිරාජ්‍යවාදී යුද්ධයක් අතලඟ බව අනුක‍්‍රමයෙන් පැහැදිලි වූ කල්හි පමනි. තීරනාත්මක කාරනය නම් 1914ට පෙර ද මාක්ස්වාදී සමාජවාදීන්, යුද්ධයේ සහ විප්ලවයේ පොදු ප‍්‍රභවය ධනේශ්වර ක‍්‍රමයේ ඓතිහාසික අර්බුදය තුල පවතින බව වටහා ගෙන තිබුනු බවය. 1914 ට පෙර සමාජවාදී ව්‍යාපාරය ඇතුලත මතු වූ විවාදයන් නොතැකු හොබ්ස්බෝම්, ඓතිහාසික හේතුකරනය පිලිබඳව සිදු කල නොගැඹුරු මතුපිට විග‍්‍රහය තුලින් ඔක්තෝබර් විප්ලවය වනාහි යුද්ධයේ ආනුෂංගික හා අහම්බ ඵලයක් යයි සිතුවම් කලේ ය.

ෆුකුයාමා, හොබ්ස්බෝම් හා අප ඊට එකතු කලයුතු මාලියාගේ තර්කවල පැවති බරපතල දුබල කමක් නම්, සෝවියට් සංගමයේ ඉතිහාසයෙහි සෑම අවධියක් ම සමාජවාදය සමග අවිචාරවත් ලෙස අනන්‍ය කිරීමයි. ඔක්තෝබර් විප්ලවයේ ප‍්‍රාරම්භක පාපයේ අනිවාර්ය විපාකය ස්ටැලින්වාදී නිලධාරි තන්ත‍්‍රය ලෙස පිලිගැනිනි. සෝවියට් ඉතිහාසය පිලිබඳ දෛවවාදී වූ ද අන්ත-නිර්නායකවාදී වූ ද මෙම දැක්ම, සෝවියට් සංගමයට ස්ටැලින්වාදී නොවන වර්ධනයේ මාවතක් ගැනීමට ද ඉඩ තිබුනේ ය යන ශක්‍යතාවය සලකා බැලීමට වත් සූදානම් වූයේ නැත. සෝවියට් කොමියුනිස්ට් පක්ෂය තුල පැන නගිමින් තිබුනු ස්ටැලින් ප‍්‍රමුඛ නිලධරයට එරෙහි, විශේෂයෙන් ම ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ වූ, ප‍්‍රවනතාවය කෙරේ හොබ්ස්බෝම් දැක්වූයේ පරිපුර්න නොතැකීමකි. ස්ටැලින්ගේ පාලනයට පැවති විකල්පයන් පිලිබඳ සාකච්ඡා කිරීම, ප‍්‍රතිවාස්තවික ඉතිහාස කරනයෙහි අවජාතක අභ්‍යාසයක් ලෙස ඔහු විසින් නොතකා හරින ලදී. කොමියුනිස්ට් පක්ෂය තුල අරගලය කොතරම් උග‍්‍රවුවත් අන්තිමේදී ජයගත්තේ ස්ටැලින්ගේ කන්ඩායමයි. ඉතින් එතැන් පටන් ස්ටැලින්වාදය - මෙම ඉතිහාසඥයාගේ නරුම වැකිකඩ උපුටා දක්වතොත් - “ටවුමේ තිබුනු එකම සෙල්ලමයි.” ට්‍රොට්ස්කි සහ වාම විපාර්ශ්වය, 1923 සිට 1927 දක්වා සමයේ කොමියුනිස්ට් පක්ෂය තුල බුරබුරා නැගි අරගලය තුල ලියා කියා තුබූ දේ මෙහිලා අදාල නැත යයි ප‍්‍රතික්ෂේප කරන ලදී. හොබ්ස්බෝම් ට පැවතියේ ඍජු උත්තරයකි. දිනුවේ ස්ටැලින් ය. පැරදුනේ ට්‍රොට්ස්කි ය. පැවතියේ එම කාරනය පමනි. සිදුවිය හැකිව තිබුනු දෙය ගැන සලකා බැලීම ඉතිහාසඥයන්ට අදාල නැත.

හොබ්ස්බෝම් ස්ටැලින්වාදයට එරෙහිව පැවති විකල්පයන් අත්තනෝමතික ලෙස බැහැර කිරීම කිසිසේත්ම, සම්මුති විරහිත ඓතිහාසික වෛෂයිකත්වයක් සොයා යාමක් නොවේ, එය වනාහි දේශපාලන ක්ෂමායාචනයක යෙදීගැනීමකි. හොබ්ස්බෝම් කිසිසේත්ම අනාසක්ත සහ අපක්ෂපාත විමර්ශකයෙක් නොවීය. ඔහු බි‍්‍රතාන්‍ය ස්ටැලින්වාදී ව්‍යාපාරයේ දිගු කාලීන සාමාජිකයෙක්ව සිටි කාලයේ ස්ටැලින්වාදී නිලධරය විසින් රුසියානු විප්ලවයේ ද, ලියොන් ට්‍රොට්ස්කිගේ භූමිකාවේ ද ඉතිහාසය මුසාකරනය කිරීමට කවර විටෙකවත් විරුද්ධවී නැත. හොබ්ස්බෝම් 2012 දී අනූපස්වියේ පසුවෙද්දී සොහොන්ගත වූයේ, සෝවියට් සංගමය පිලිබඳ ස්ටැලින්වාදීන්ගේ මුසාවාද පදනම් කරගත් නිල ඉතිහාසය තමා විසින් දශක ගනනාවක් තිස්සේ දරා සිටි බව කවර කලකවත් කෙලින් පිලිනොගනිමිනි.

සෝවියට් සංගමය විසුරුවා හැරීම හොබ්ස්බෝම් ට අනුව “අන්තයන්ගේ යුගයේ” අවසානයයි. ධනවාදය යලිත් 1917 දී තිබුනු සමයට පිවිස තිබේ. එය “ටවුමේ තිබෙන එකම සෙල්ලමයි.” කිසියම් අනාගත සමයක දී සමාජය ප‍්‍රචන්ඩ නැගිටීම් අත්දැකීමට ඉඩ තිබෙන නමුත් මහජන විප්ලවවාදී ව්‍යාපාරයකට ඉඩක් ඉතුරුව නැත.

හොබ්ස්බෝම් ගේ ආඛ්‍යානය මගින් පාඨකයා ගෙන යන්නේ, මානව වර්ගයා අවුල් ජාලයකට මුහුනපා ඇති බවත් තත්වය අපේක්ෂා භංග බවත් නිගමනය කිරීම කරාය. “අප යමින් සිටින්නේ කොයිබට දැයි අපි නොදන්නෙමු.” මේ ඔහු “අන්තයන්ගේ යුගය” නම් සිය කෘතියේ අග ලියා තැබූ හැටි ය. අනාගතයට මග පෙන්වන්නක් හැටියට අතීතයේ අත් දැකීම තුලින් ලබාගත හැකි කිසි දෙයක් හොබ්ස්බෝම් දුටුවේ නැත. ඔහුට සහතික වුයේ එක දෙයක් පමනි: එනම්, 1917 ඔක්තෝබර් සමාජවාදී විප්ලවය අනාගත අරගල වලට මගපෙන්වීමක් නොවනු හා නොකරගත යුතු බවය. ඉදිරියේ ද එසේ නොවිය යුතු ය යන්නය. “තුන් වන සහශ‍්‍රකය එම පදනම් මත ගොඩනගා ගැනීමට උත්සාහ කලහොත්, අප අසාර්ථක වනු ඇත.” හොබ්ස්බෝම් තම දීර්ඝ පුස්තකයේ අන්තිම වාක්‍යයේ මෙසේ මතුරයි, “අසාර්ථකත්වයේ ගාස්තුව නම් අන්ධකාරයයි.” (10)

“මෙම වෙලුමේ පලකරන ලද දේශන හා රචනා බොහෝ දුරට වර්ධනය කරන ලද්දේ, සෝවියට් සංගමය විසුරුවා හැරීම ලෝක සමාජවාදී විප්ලව යුගය තීරනාත්මක සමාප්තියකට ගෙන ආවේය යන ප‍්‍රකාශයන්ට එරෙහිව ය. ෆුකුයාමගේ “ඉතිහාසයේ අවසානය” හා හොබ්ස්බෝම් ගේ “කෙටි 20වන සියවස” යන කෘති වලට ප‍්‍රතිපක්ෂව මම මෙසේ තර්ක කලෙමි. සෝවියට් සංගමය විසුරුවා හැරීම සහතිකෙන් ම, අති මහත් වැදගත් කමක් දරන සිද්ධියක් වන අතර, එය සමාජවාදයේ වේදනාකාරී අවසානය නුවූ බව තහවුරු කිරීම අවශ්‍යය. ඉතිහාසය ඉදිරියට ගමන් කරනු ඇත. විසිඑක් වන ශතවර්ෂය ආරම්භයේ දී මානව වර්ගයා මුහුන දෙන්නාවූ කේන්ද්‍රීය ආර්ථික, සමාජ, සහ දේශපාලන ප‍්‍රතිඝතිතා වනාහි මුඛ්‍ය වශයෙන් ම විසිවන සියවස මුලදී මුහුන දුන් ඒවාම ය. කොතරම් විද්‍යාත්මක වර්ධනයන්, තාක්ෂනික නවෝදයන්, දේශපාලන පෙරලි සහ සමාජ පරිවර්තනයන් ඇති වුව ද විසිවන සියවස සමාප්ත වූයේ පුදුම සහගත ලෙස අනීර්නිත භාවයකිනි. සියවස තුල හටගත් අරගලයන් යටින් පැවති දැවැන්ත සමාජ, ආර්ථික හා දේශපාලන ප‍්‍රශ්න කිසිවක් අවසාන වශයෙන් නිරාකරනය වූයේ නැත. ප‍්‍රථම ලෝක සංග‍්‍රාමයට පෙරාතුව පැවතුනා පමනක් නොව, ඇත්ත වශයෙන් එයට මුල පිරුවේ ද බෝල්කන් ප‍්‍රදේශයේ රාජ්‍ය දේශ සීමා පිලිබඳ ගැටුම් ය. අවුරුදු අසූවකට තරම් පසුව ඇමරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය විසින් උසිගන්වන ලදුව යුගෝස්ලාවියාව විසුරුවා හැරීම, රාජ්‍ය ස්වෛරීත්වය සහ දේශ සීමා පිලිබඳ දශකයකට අධික කාලයක් පැවති ලේ වැකි ගැටුමක් ආරම්භ කලේ ය. 1914 පලමුවන ලෝක යුද්ධය ඇරඹුනේ සර්බියාවේ ජාතික රාජ්‍යය ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යයේ ආසක්තයන් ට බාධා කිරීම ට එරෙහිව, එම රාජ්‍යයට දඬුවම් කිරීම සඳහා, ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යය විසින් තීන්දු කිරීමත් සමග ය. අවුරුදු අසූපහකට පසුව විසිවන සියවස අවසානයේ දී, බෝල්කන් අර්ධද්වීපයේ අධිරාජ්‍යවාදී ප‍්‍රතිසංවිධානයට සර්බියාව යටත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය එරට නිර්දය බෝම්බ ප‍්‍රහාරයන්ගේ ගොදුරක් බවට පත් කලේ ය.

මෙය වනාහි “දේවල් වෙනස් වන කල්හි ඒවා තව තවත් එසේම පවතින්නේය” යන කියමනේ හුදු තවත් සංසිද්ධියක් නොවේ: එය, 2014, 1914 සමග සම්බන්ධ කරන්නා වූ අති මූලික සමාජ - ආර්ථික ප‍්‍රයුක්තීන්, දිගු කාලීන ව පැවතීම පිලිබඳ උදාහරනයකි. විසිවෙනි සියවසට එහි “නිම නොවූ” ස්වභාවය අත්කර දෙන්නේ ඒවා විසින්ය.

සසඳා බැලීමක් වශයෙන්, විසි වන සියවස උදාවත් සමග උත්සව පැවැත්වීමට යොමුව සිටි අයට, 1800 ගනන් වල ලෝකය කෙසේ පෙනීගියේ දැයි සොයා බලමු. 1800 ගනන් අවසාන වෙද්දී නැපෝලියානු යුද්ධ පැහැදිලිවම ඉතිහාසයේ ක්ෂේත‍්‍රයට පසුබැස තිබුනි. ප‍්‍රන්ස විප්ලවය ද ඖස්ටර්ලිට්ස් සහ වොටර්ලූ සටන් ද 1900 ජීවත් වු අයට පෙනී ගියේ වෙනත්ම යුගයක වීර සංග‍්‍රාම ලෙස ය. රොබස්පියර්, ඩෑන්ටේ සහ නැපෝලියන්ගේ පෞරුෂයන් එකල්හි ආකර්ෂනීය ලෙස පැවතුනි. එහෙත් ඔවුහු, 1900 ලෝකයෙන් ඈත්වූ, වෙනත් සමයක, ඓතිහාසික ස්ථානයක ජීවත්වූ පුද්ගලයෝ වූ හ. සැබවින් ම ඔවුන් ලෝක ඉතිහාසය කෙරේ කල බලපෑම එකල්හි ද ඉතුරුව පැවතිනි. එහෙත් ඔවුන් ජීවත් වූ දේශපාලන ලෝකය දහනවවන සියවසේ දී අතිමූලික වශයෙන් ද නාටකාකාරව ද ප‍්‍රතිවර්තනය කරනු ලැබ තිබුනි. දහඅටවන සියවසේ බටහිර යුරෝපයේ ද උතුරු ඇමරිකාවේ ද ඇමරිකානු සහ ප‍්‍රන්ස විප්ලව විසින් ආරම්භ කරන ලද ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර හා ජාතික රාජ්‍ය ස්ථාපනය කිරීම බොහෝ දුරට සම්පූර්න කරනු ලැබ තිබුනි. කාර්මික විප්ලවය දියුනු රටවල ආර්ථික සහ සමාජ ව්‍යුහයන් වෙනස් කරනු ලැබිනි. වැඩවසම් වංශාධිපති තන්ත‍්‍රයන් ද නැගී එන ධනේශ්වරය ද අතර පැරනි ඝට්ටනය ඉක්මවමින් කාර්මික ධනේශ්වරයේ ද කම්කරු පන්තියේ ද පැනනැගීමත් සමග පන්ති අරගලයේ නව ආකාරයක් තහවුරුව තිබුනි. දහ අටවන සියවසේ අගභාගයේ මහා අරගල මෙහෙයවූ සාමාන්‍ය ප‍්‍රජාතාන්ත‍්‍රික සටන් පාඨ නොසෑහෙන බව 1848 වසරේ විප්ලවයන් විසින් වේදනාකර ලෙස පෙන්නුම් කර තිබුනි. The Rights of Man (මිනිසාගේ අයිතිවාසිකම්) (තෝමස් පේන් 1791) ලියා තිබුනේ ධනෙශ්වර විප්ලවයන්ගේ භාෂාවෙනි. (මාක්ස් 1848) The Communist Manifesto (කොමියුනිස්ට් ප‍්‍රකාශනය) ලියුවේ නව කම්කරු පන්තික සමාජවාදී විප්ලවයේ භාෂාවෙනි.

විසිවෙනි සියවස ඇරඹීමත් සමග, දේශපාලනය දැඩි ලෙසම ගෝලීය ස්වරූපයක් අත්පත් කරගෙන තිබුනි. එම පරිවර්තනය පදනම් වී ගත්තේ අතිශයින්ම අන්තර් සම්බන්ධිත ලෝක ආර්ථිකයක වර්ධනයත් සමග ය. දහනවවන සියවස තුල තහවුරු කරන ලද ජාතික රාජ්‍ය පද්ධතිය, බරපතල ලෙස ආතතියට ලක් විය. එය අත්පත් කර ගත්තේ වඩාත් බලගතු ජාතික රාජ්‍යයන් අතර ලෝකාධිපත්‍යය සඳහා එන්න එන්න ම උග‍්‍රවන අරගලයක ස්වරූපයයි. විසිවන සියවසේ ප‍්‍රථම දශකය තුල, “අධිරාජ්‍යවාදය” යන වචනය පොදු භාවිතයට ඇතුලු විය. ප‍්‍රථම ලෝක යුද්ධය පුපුරායාමට ආසන්න අවුරුදු වල, නව ප‍්‍රපංචයේ ආර්ථික පදනම් ද එහි සමාජ හා දේශපාලන ප‍්‍රතිවිපාක ද තීක්ෂනව විශ්ලේෂනය කරනු ලැබිනි. 1902 දී බි‍්‍රතාන්‍ය ආර්ථශාස්ත‍්‍රඥ ජේ.ඒ. හොබ්සන්ගේ Imperialism (අධිරාජ්‍යවාදය) නම් කෘතියේ දී ඔහු මෙසේ තර්ක කලේ ය: “අධිරාජ්‍යවාදයේ ආර්ථික පදනම වනාහි, සංවිධිත ශක්තිමත් කාර්මික හා මූල්‍ය ආසක්තයන්ට “තම අතිරික්ත භාන්ඩ සහ අතිරික්ත මුල්‍ය සම්පත් වලට මහජන වියදමින් සහ රාජ්‍ය බලය යොදාගෙන, පුද්ගලික වෙලඳ පොල වල් අත්කර ගැනීමට පවත්නා උවමනාවයි.” (11) 1910 දී ඔස්ටි‍්‍රයානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී න්‍යාඥයෙකු වූ රුඩොල්ෆ් හිල්ෆර්ඩිං සිය ත්‍සබ්බජැ Finance Capital (මූල්‍ය ප‍්‍රාග්ධනය) නම් කෘතියේ දී අධිරාජ්‍ය වාදයේ ආවේනික ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ ප‍්‍රචන්ඩ ස්වභාවය පිලිබඳ ව ද ඉන් පැනනැංවෙන විප්ලවවාදී ගම්‍යයන් පිලිබඳව ද මෙසේ ලිවීය:

අධිරාජ්‍යවාදයේ පිලිවෙතින් දැක්වෙන පරිදි ධනේශ්වර පන්තියේ වැඩකටයුතු අනිවාර්යයෙන්ම කම්කරු පන්තිය ස්වාධීන පන්ති දේශපාලනයේ මාවතට ගමන් කරවන අතර එය අවසන් විය හැක්කේ අන්තිමේ දී ධනේශ්වරය පෙරලා දැමීමෙන් පමනි. ලේසෙෆෙයාර් (රාජ්‍ය නිර්බාධ) පිලිවෙත් ආධිපත්‍යය දරන තාක් කල් රාජ්‍යය ආර්ථික කටයුතුවලට මැදිහත්වීම ද, පන්ති ආධිපත්‍යයේ සංවිධානය ලෙස රාජ්‍යයේ ස්වාභාවය ද වසන්වී තිබුනි. එකල්හි දේශපාලන අරගලයේ ආවශ්‍යකත්වය අගය කිරීමට සාපේක්ෂකව මේරූ අවබෝධ මට්ටමක් ද අන්සියල්ලටමත් වඩා අවසාන දේශපාලන ඉලක්කය වූ රාජ්‍ය බලය අල්ලාගැනීම සඳහා සුදානම් වීමක් ද උවමනා විය. රාජ්‍ය නිර්බාධවාදයේ සම්භාව්‍ය රාජ්‍යය වන එංගලන්තයේදී, ස්වාධීන කම්කරු පන්තික දේශපාලන කටයුතු, විශේෂයෙන් ම අවසාන අරමුන වූ බලය අල්ලා ගැනීමේ ආවශ්‍යකත්වය වටහා ගැනීම එතරම්ම දුෂ්කර වූයේ අහම්බයකින් නොවේ. එහෙත් දැන් මෙය වෙනස් වෙමින් පවතී. ධනේශ්වර පන්තිය එලිපිටම, ඍජුවම සහ හොඳටම දැනෙන පරිදි රාජ්‍ය බලය සියතට ගැනීම, සෑම කම්කරුවෙකුටම පෙනෙන ලෙස රාජ්‍යය සූරාකෑමේ අවශ්‍යතාවන්හි උපකරනය බවට පත් කර යි: එමගින් කම්කරුවා රාජ්‍ය බලය සිය පන්තිය විසින් අල්ලාගනු ලැබීම ස්වකිය ක්ෂනික, කාලීන දේශපාලන අවශ්‍යතාව බව වටහාගනී, තමා සූරාකෑමට ලක් වීම අවසන් කරලීමේ එකම මාර්ගය එය බව වටහාගනී. (12)

1916 දී ලෝක යුද්ධය තෙවෙනි වසරට එලඹෙමින් තිබිය දී ලෙනින්, අධිරාජ්‍යවාදය පිලිබඳ සාරගර්භ විශ්ලේෂනයක් කලේ ය:

නිදහස් තරගය ඒකාධිකාරය විසින් විස්ථාපනය කරනු ලැබීම අධිරාජ්‍යවාදයේ මූලික ආර්ථික අංගය වන්නේ ය. .......

...යුරෝපයේ ද, ඇමරිකාවේ ද පසු කලෙක ආසියාවේ ද අධිරාජ්‍යවාදය එහි අවසන් හැඩ තල අත් කර ගත්තේ 1898-1914 සමයේදී ය. 1898 ස්පාඤ්ඤ-ඇමරිකන් යුද්ධය, 1899-1902 ඇංග්ලෝ බෝයර් යුද්ධය, 1904-1905 රුසියන්-ජපන් යුද්ධය සහ 1900 යුරෝපයේ ආර්ථික අර්බුදය, ලෝක ඉතිහාසයේ මෙම අලුත් කාල පරිච්ඡේදයේ මං සලකුනු ය.

... ධනවාදයේ දිරාපත්වීම සලකුනු කෙරෙන්නේ බදු-පොලී හිමියන් එනම් “කූපන් කැපීමෙන්” ජීවත්වන ධනපතියන්ගේ විශාල තට්ටුවක් නිර්මානය වීම තුල ය. .. පරපුටු ප‍්‍රාග්ධන අපනයනය “උනක් මෙන් නැගී එයි . .. අධිරාජ්‍යවාදයේ විශේෂ ගුනාංගයක් නම් හිස සිට දෙපතුලටම සලකුනු වන දේශපාලනික ප‍්‍රතිගාමිත්වයයි. “මහා” බලවතුන් විසින් කරගෙන යනු ලබන දැවැන්ත දූෂනය, පගාව, සකලාකාර වංචාව ... පීඩිත ජාතීන් සූරාකෑම යි.(13)

ට්‍රොට්ස්කි, 1915 දී ලියු War and the International (යුද්ධය සහ ජාත්‍යන්තරය) නම් කෘතියේ මෙම ගැටුම අනන්‍ය කර ගත්තේ,

නිෂ්පාදන බලවේගයන් ජාතිය සහ රාජ්‍යය යන දේශපාලන ස්වරූපයන් දෙකට ම එරෙහිව කැරලි ගැසීම ලෙස යි. එහි අර්ථය නම් ජාතික රාජ්‍යය ස්වාධීන ආර්ථික ඒකකයක් ලෙස බිඳ වැටීම යි.

යුද්ධය ප‍්‍රකාශිත කරන්නේ ජාතික රාජ්‍යයේ බිඳවැටීමයි. එහෙත් එය ඒ සමගම ධනේශ්වර ආර්ථික පර්යායේ බිඳවැටීම ද සලකුනු කරයි. ජාතික රාජ්‍යය මගින් ධනවාදය, සමස්ත ලෝක ආර්ථික පර්යායම විප්ලවීකරනයට භාජන කොට තිබේ. එය සමස්ත භූතලය ම මහා බලවතුන්ගේ කතිපයාධිකාරයන් අතර බෙදා ඇති අතර, මහා ජාතින් අතර ගැටුම තුලින් ජීවිතය ගැටගසා ගන්නා කුඩා ජාතීන් ඒවා වටේට කාන්ඩ ගසා ඇත. ධනේශ්වර පදනමක ලෝක ආර්ථිකයේ අනාගත වර්ධනය වනාහි, මේ මිහිතලයෙන් ධනේශ්වර සුරාකෑම සඳහා එන්න එන්න ම පුලුල් වන්නා වූ භූමි භාගයන් අත්කර ගැනීම සඳහා කෙරෙන්නාවූ නිමක් නැති අරගලයයි. යුදවාදයේ ධජය යටතේ පවතින ආර්ථික එදිරිවාදිකම්, මානව ආර්ථිකයේ පාදක මූලධර්මයන් උල්ලංඝනය කරන්නාවූ මංකොල්ලය සහ විනාශය සමග බැඳී පවතී. ලෝක නිෂ්පාදනය කැරලි ගසන්නේ හුදෙක් ජාතික හා රාජ්‍ය බෙදීම් මගින් නිර්මානය කර තිබෙන විසංවාදයට එරෙහිව පමනක්ම නොවේ. එය දැන් මුර්ග විසංවිධානයක් හා ව්‍යසනයක් බවට හැරී තිබෙන, ධනේශ්වර ආර්ථික පර්යායටම එරෙහිව ද වේ.” (14)

මෙම ලේඛනවල සමකාලීන ජාතන්තර භූ දේශපාලනයේ වචන හා භාෂා ව්‍යවහාරය දක්නට ලැබේ. ඒවායේ විස්තර කර තිබෙන ලෝකය වනාහි, අදටත් අපගේ ලෝකය ලෙස අඳුනාගත හැකි ලෝකයකි. එය වනාහි ධනවාදයේ, ලෝක පරිමාන ආසක්තයන් සොයා දිවෙන යෝධ සංගතයන්හි කතිපයාධිකාරයේ සහ එකාධිකාරි පාලන තන්ත‍්‍රයන්ගේ ලෝකයකි. මෙම කෘතීන් ලියන ලද්දේ අප තවමත් ජීවත් වන්නා වූ, යුද්ධයන්ගේ සහ විප්ලවයන්ගේ යුගය උදාවෙද්දීය. විසිවන සියවසේ ඝට්ටනය පිලිබඳ සංකල්ප, වත්මන පිලිබඳ අපගේ වැටහීම ද අනාගතය පිලිබඳ අපගේ අපේක්ෂාවන් ද කෙරෙහි දුරදිග යන ගම්‍යයන් දරා සිටියි. “ඉතිහාසයේ අවසානය” පිලිබඳ ප‍්‍රවාදය, උකටලි බව සහ උදාසීන භාවය යුක්ති සහගත කර යි. “කෙටි විසිවන සියවස” කෘතිය සමන්විත වන අනිවාර්ය පරාජයේ සහ සමාජවාදය සඳහා වූ විප්ලවවාදී අරගලයේ අවසාන නිරර්ථක බව පිලිබඳ ආඛ්‍යානය, මානව ශිෂ්ඨාචාරය නිර්දය ලෙස මුලිනුපුටා දැමීමට තර්ජනය කරන්නාවූ ව්‍යසනයක් කරා ඇදී යමින් තිබියදී ද කොතරම් මහජන ප‍්‍රතිරෝධයක් වුව මැඩ ලීමට සමත් වනු ඇති, ධනේශ්වර ලෝකයක් පිලිබඳව අනුභූතික අපේක්ෂා භංග මානසිකත්වයක් පෝෂනය කරයි.

සුලුධනේශ්වර බුද්ධිජීවින්ගේ ඉතිහාස විරෝධී අසුභවාදය හෙලාදකින්නාවූ “නිම නොවූ විසිවන සියවස” පිලිබඳ සංකල්පය මානව වර්ගයා සලකා බලන්නේ, දිගින් දිගටම පවත්නා නොවිසඳුනු ඝට්ටනයේ සන්ධර්භය තුල තබාය. 1914 අගෝස්තුවේ ඇරඹුනු ගෝලීය අර්බුදයේ අවසාන ප‍්‍රතිඵලය තවමත් තීන්දු වී නොමැත. මානව වර්ගය මුහුනදී සිටින ඓතිහාසික විකල්පයන් වනාහි, මෙයට ශතවර්ෂයකට පමන පෙර පලමුවැනි ලෝක යුද්ධය මධ්‍යයේ රෝසා ලක්සම්බර්ග් අනන්‍ය කරගත් ඒ දේවල්ම ය. “එක්කෝ අධිරාජ්‍යවාදයේ ජයග‍්‍රහනය තුලින් සකල සංස්කෘතිය, ඉපැරනි රෝමයේ දී මෙන්, ජනශුන්‍යයයත්වය, විලෝපනය සමග මහා සුසානයක් බවට ලෝකය පත්වීම නැතහොත්, අධිරාජ්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ දැනුවත් අරගලය තුලින් සමාජවාදයේ ජයග‍්‍රහනයයි.”(15) ඓතිහාසික ශක්‍යතා පිලිබඳ විද්‍යාත්මක විශ්ලේෂනයේ දී මාක්ස්වාදීහු, අපේක්ෂාභංගයේ අස්තිත්වවාදී ප‍්‍රවර්ගය ට ඉඩ නොදෙති. පවත්නා තත්වයන් ඒවායේ පූර්න සංකීර්නත්වය තුල, නියාම පාලිත සමාජ-ආර්ථික ප‍්‍රතිඝතිතාවන්ගේ සංක‍්‍රමන ප‍්‍රකාශනයන් ලෙස ගෙන, වටහාගත යුතු, වටහාගත හැකි හා ඒ අනුව කි‍්‍රයාකල යුතු දේ ලෙස ග‍්‍රහනය කර ගැනීමට අපි උත්සාහ කරමු. විසිවන සියවසේ “නිම නොවූ” ස්වභාවය පිලිබඳ වැටහීම, එහි ඉතිහාසය හැදෑරීමට අති මහත් වැදගත් කමක් ලබා දෙයි. අතීතයේ මහා පෙරලි සහ අරගල අප විසින් දැකගනු ලබන්නේ, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය විසින් තරයේ වටහා ගත යුතු වූ මූලෝපායික පාඩම් අන්තර්ගත කරගත් දේ හැටියට ය.

සෝවියට් සංගමය විසුරුවා හැරීම පිලිබඳ ඉහත සඳහන් ප‍්‍රතිවිරුද්ධ අර්ථ කථනයන් සූත‍්‍රගත කොට අවුරුදු විස්සක ට වැඩි කලක් ගතව ඇත. එයින් කුමක් කාලයාගේ පරීක්ෂනයෙන් සමර්ථව ඇත් ද ? ෆුකුයාමාගේ අපේක්ෂාවන්ට ප‍්‍රතිපක්ෂව සෝවියට් සංගමය විසුරුවාලීමෙන් පසු ඉතිහාසය අභාවයට යන පාටක් නැත. ඔහුගේ කේන්ද්‍රීය ප‍්‍රකාශයක් වුයේ, “ඉතිහාසයේ අවසානය” යුද්ධයන්ගේ සම්භාව්‍යතාව හීන වීමකින් සංලක්ෂිත වනු ඇතිය යන්නයි. හියුම්, කාන්ට් සහ ශුම්පිටර් පන්ඩිතමානී ලෙස ගෙනහැර පාමින්, ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සාමකාමී යයි තර්ක කල ෆුකුයාමා මෙසේ අනාවැකි පල කලේය: “එවිට තර්කය වන්නේ, ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිනිසාගේ ආක‍්‍රමනික සහ ප‍්‍රචන්ඩ සහජාසයන් බාධනය කරනවා ය යන්න නොව, එය මෙම සහජාසයන්ම අතිමූලිකව ප‍්‍රතිවර්තනය කොට, එමගින් එය අධිරාජ්‍යවාදී අභිපේ‍්‍රරනයම අහෝසි කරනු ඇති බවය.” ෆුකුයාමා ගේ මෙම කියමනට ප‍්‍රති විරුද්ධව, පශ්චාත් සෝවියට් ඉතිහාසය, සංසිඳෙන ලකුනක් නම් පහලව ඇත්තේ නැත. (16)

ෆුකුයාමා මහතා ගේ පේනය වැරදී ගොස් තිබේ. මෙම රෑන්ඩ් ශාස්ත‍්‍රඥයා සාර්වත‍්‍රික සාමයක් සහිත පශ්චාත් සෝවියට් ලෝකයක් පිලිබඳ සිහින දකිමින් සිටිය දී එක්සත් ජනපදය, ලෝකයේ මහාධිපති බලවතා ලෙස තවත් තරග කරුවෙකුට පැනනැගීමට ඉඩ නො දෙන බව ප‍්‍රකාශයට පත් කලා සේය. මෙම නව මූලෝපායික ධර්මය, එක්සත් ජනපද භූදේශපාලනයේ අත්‍යවශ්‍ය අවිය ලෙස යුද්ධය සංස්ථාපිත කිරීම ඉල්ලා සිටියේය. මේ අනුව 1990 ගනන් වලදී එක්සත් ජනපදය, සිය යුද්ධ මෙහෙයුම් උග‍්‍ර කල සැටි දක්නට ලැබුනි. 1990 දශකය ඇරඹුනේ ප‍්‍රථම ඉරාක ආක‍්‍රමනය ද සමග ය. දසකය අවසන් වූයේ සර්බියාවට එරෙහි මෘග බෝම්බ හෙලීම් ද සමග ය.

කවර කලෙකවත් එහි අඳුරු උත්පත්තිය සහ ක‍්‍රියාත්මක කිරීම ඇති තරම් විභාග නො කරන ලද 9/11 ඛේදවාචාකය, බුෂ් පාලනාධිකාරය විසින් පාවිච්චි කරන ලද්දේ නිමක් නැතිව දිගින් දිගටම පැතිරෙන “ත‍්‍රස්ත විරෝධී යුද්ධය සඳහා ය.” ඔබමා පාලනය යටතේ “ත‍්‍රස්තවාදීන්” සොයා කෙරෙන වියරු දඩයම බැඳී පවතින්නේ, මුලු ග‍්‍රහ ලෝකයම පමනක් නොව, අභ්‍යවකාශය ද එක්සත් ජනපද යුද මෙහෙයුම් වල රනබිම බවට පත්කර ගැනීමේ අසීමිත භූදේශපාලන කෑදරකමත් සමග ය. 2014 ජූලි වන විට ලෝකයේ සරනාගතයින් සංඛ්‍යාව මිලියන් 50 ඉක්මවා තිබීම වනාහි, පශ්චාත්-සෝවියට් අධිරාජ්‍යවාදී පිපිරීම මගින් ජනනය කල ව්‍යසනයෙන් පැනනංවන ලද මානුෂික වියදම පිලිබඳ දර්ශකයකි. මේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිවූ ඉහලම සරනාගතයින් සංඛ්‍යාවයි. (17) වොෂිංටනය මධ්‍යම ආසියාව තුලින් ඇති කරන මිනීමරු කුලප්පුවේ ප‍්‍රධාන ඉලක්කයව පවත්නා ඇෆ්ඝනිස්තානය සහ පකිස්තානයේ සරනාගතයින් මිලියන හතරකට වඩා සිටිති.

ෆුකුයාමා ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විජයග‍්‍රනය ප‍්‍රකාශිත කල තැන පටන් පැහැදිලිවී ඇති දෙය නම්, ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රය හැම තැනකම - අන් සියල්ලටත් වඩා ඇමරිකා එක්සත් ජනපය තුල - අර්බුදයට පත්ව ඇති බව ය. ඇමරිකානු රාජ්‍යය එන්න එන්නම රුදුරු ආකාරයේ පාලනය කල නොහැකි ලෙවියදන් ( තෝමස් හොබ්ස් විසින් විස්තර කරන ලද) හෙවත් යෝධ මෘග සාර්වත‍්‍රික පාලනයක් බවට පත්ව ඇත. බිල් ඔෆ් රයිට්ස් (ඇමරිකාවේ මූලික අයිතිවාසිකම් තහවුරු කල ඓතිහාසික පනත) පලා එහි සාරය මිරිකා හැර තිබේ. එක්සත් ජනපද ආන්ඩුව සිය පුරවැසියන්ට එරෙහිව, ඔවුන්ගේ අතිශයින්ම පෞද්ගලික ජීවන තොරතුරු පිලිබඳව ඔත්තුබැලීමට පමනක් නොව, නීතිය නොතකා ඔවුන් මරා දැමීමේ ද අධිකාරය තහවුරු කරගෙන ඇත. මේ වනාහි පරම්පරාවකට පෙර සිතීමට පවා නොහැකි වූ තත්වයකි. හොබ්ස්බෝම් ගේ “කෙටි විසිවන සියවස” ගැන සලකා බැලුවොත් එම කෘතියේ බුද්ධිමය වලංගු කාලය කතුවරයා සිතුවාට වඩා කෙටි බව ඔප්පු වී හමාරය. නව විසි එක්වන සියවස යන්තම් පටන්ගන්නවාත් සමගම පැහැදිලිවූ කරුන නම්, 1900 ගනන්වල ඓතිහාසික ගැටලු තවමත් නොවිසඳී පවත්නා බවය. එන්න එන්නම ඈත අතීතයකට තල්ලුවනවා වෙනුවට විසිවන සියවස කරගසා සිටින්නේ, ගෙවන්නේ කෙසේද යන්න කවුරුන්වත් නොදන්නා දැවැන්ත නයකට ය.

***

මේ නොගෙවූ නය තම පොලිය උපයන්නේ, වත්මන් දිනයේ දේශපාලන න්‍යායපත‍්‍රයට ගැලපෙන පරිදි ඉතිහාසය සංශෝධනය කිරීම සඳහා කරන නිරන්තර ඉල්ලීම් මගිනි. ඉතිහාසයේ භාවිතය, සැබවින්ම කිවහොත් “ව්‍යාජ ඉතිහාසයේ” භාවිතය, පාලක ප‍්‍රභූවේ මූල්‍ය සහ දේශපාලන ආසක්තයන්ට වඩ වඩාත් යටත් කර ඇත. ඉතිහාසය සහ ප‍්‍රචාරය අතර වෙනස ක‍්‍රමානුකුලව අකාමකා දමයි.

ඉතිහාසය ප‍්‍රචාරය කරා පිරිහෙලීම මගින් විසිවන සියවසට තවත් එක් ප‍්‍රවිෂ්ටයක් නිර්මානය කර ඇත. “ඉතිහාසයේ අවසානය” ද “කෙටි විසිවන සියවස” ද බැහැර කොට “නිර්මිත විසිවන සියවස” ඉදිරියට ගෙනෙමින් තිබේ. මෙම ගුරුකුලය නිර්මානය කිරීම බැඳී ඇත්තේ, ඉතිහාස වාර්තාව යටපත් කිරීම, විකෘත කිරීම සහ මුලුමනින්ම මුසාකරනය කිරීම සමග ය. මෙම ව්‍යාපෘතියේ අරමුන, විසිවන සියවසේ ධනේශ්වර අධිරාජ්‍යවාදයේ නපුරුම අපරාධ වලට සුදුහුනු ගා යුක්තිවන්ත භාවයක් ලබා දීම ද එයට ගැලපෙන පරිදි, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ මුලුමහත් අරගලයම අපරාධයක් කොට සදාචාරත්මකව අවජාත කරලීම ද වේ.

මෙම දක්ෂිනංශික ඓතිහාසික සංශෝධනවාදය 1917 සමාජවාදී විප්ලවය පින්තාරු කරන්නේ, විසිවන සියවසේ මුල් අපරාධය ලෙසය. ඉන් පස්සේ සිදුවූ භයංකාර සියල්ල - විශේෂයෙන්ම හිට්ලර්ෆ්ගේ නාසි පාලනය සහ හොලොකෝස්ටය (යුදෙව් සංහාරය) - ඔක්තෝබර් විප්ලවය හේතු කොට ගෙන ගලා ආ නොවැලැක්විය හැකි හා නීති යුක්ත දේය. සෝවියට් සංගමය විසුරුවා හැරීමට පෙර නම්, විසි වන සියවසේ ඉතිහාසය පිලිබඳ එවන් කඨෝර විකෘතියක්, විශේෂයෙන් ම ජර්මනිය තුල පිලිකුලට උචිත පරිදිම බුද්ධිමය අවජාතකයක් ලෙස පිලිකෙව් කෙරෙනු ඇත.

1980 ගනන්වල මැදභාගයේ සහ 1990 ගනන් මුල ජර්මනිය, හිස්ටරිකර්ස්ට්රියට් - ඉතිහාසඥයන්ගේ ඝට්ටනයේ - පතල කරලිය වී ය. එය ඇවිලගියේ එරන්ස්ට් නොල්ටේ නැමති ඉතිහාසඥයාගේ ලියවිල්ලක් පලකිරීමත් සමගය. ඔහු තර්ක කලේ, නාසි තන්ත‍්‍රයේ අපරාධ දැකගත යුත්තේ, ඔක්තෝබර් විප්ලවයට ද, 1918-21 රුසියානු සිවිල් යුද්ධයට ද සෝවියට් බොල්ෂෙවික්වාදී මෘගත්වයට ද දක්වන ලද සාධාරන ප‍්‍රතිචාරයක් ලෙස බවට ය. තුන්වන රයිකය (නාසි පාලනය* පිලිබඳ කාරුනිකව සැලකිල්ල යොමුකල යුතු බව කියා සිටිමින් නොල්ටේ මෙසේ ලිවීය. නාසීන්ගේ කටයුතු වනාහි, ”රුසියානු සිවිල් යුද්ධයේ දී සිදුකරනලද ජන ඝාතක ක‍්‍රියා පිලිබඳ බිය නිසා පලවූ ප‍්‍රතිචාරයකි... තුන්වන රයිකය යක්ෂයෙකු සේ හෙලාදැකීම පිලිගත යුතු නැත, එවන් යක්ෂාරෝපනයක් සමග තුන්වැනි රයිකය ට කිසිදු මානුෂිකත්වයක් තිබුනේ නැති බවද පිලිගැනෙනු ඇත... යක්ෂාරෝපනය යනු සරලවම මානුෂික වූ සියල්ල ඉවත් කර දැමීමය, හුදෙක්ම එහි අර්ථය මානවවාදී වන සියල්ල නියත බව හා එබැවින් සියල්ල හොඳ හෝ නරක විය නොහැකි හා සියල්ල ආලෝකමත් හෝ සියල්ල අන්ධකාර විය නොහැකි බවය.”(18)

නොල්ටේ ගේ ලේඛන වනාහි ජර්මන් ශාස්ත‍්‍රාලික සංස්තාපිතයේ සාමාජිකයෙකු විසින්, දෙවන ලෝක යුද්ධය අවසානයෙන් පසුව, හිට්ලර් ආරක්ෂා කිරීමටත් ඔහුගේ තුන්වන රයිකය යුක්ති සහගත කිරීමටත් දරන ලද අතිශයින්ම විවෘත දුර්යත්නයය. ඔහු යුරෝපිය යුදෙව් ජනතාව ට හිට්ලර් එල්ල කල මෘග ප‍්‍රහාරය පවා යුක්ති සහගත කලේ ය. ඔහු එහි ලා යොදාගත්තේ ලෝක සියොන් වාදී සම්මේලනයේ නායක ශයිම් වයිස්මන්, 1939 දී යුදෙව්වන් ජර්මනියට විරරුද්ධව සටන් කිරීම සඳහා බි‍්‍රතාන්‍යයේ පැත්ත ගත යුතු යයි ප‍්‍රකාශ කර තිබුනේ ය යන්නය. (19.) 1992 දී ලියන ලද මුලූමනින්ම අගතිගාමී මාර්ටින් හයිඩෙගර්ගේ චරිතාපදානය තුල නොල්ටේ එම දාර්ශනිකයා විසින් යුදෙව් විරෝධය හා නාසිවාදය පිලිගැනීම ආරක්ෂා කලේ ය. ” ඤකොමියුනිස්ට් වාදය% හා සසඳන කල්හි ජාතික සමාජවාදය පිලිබඳ ජර්මන් විප්ලවය මධ්‍යස්ථ එකකි. අරමුනු වශයෙන් අල්පේච්ඡු ද විය. එම අරමුනු නම් ජර්මනියේ ගෞරවය හා අයිතීන්ගේ සමානත්වය ය. එහි විධි ක‍්‍රම වශයෙන් වඩා මධ්‍යනස්ථ ද විය..” (20)

නොල්ටේ ගේ ලේඛන ජර්මානු සහ ඇමරිකානු ශාස්ත‍්‍රාලික පර්ෂදය තුල සප‍්‍රතිපත්තික විරෝධයකට ද ලක් විය. ඔහුට චෝදනා කරන ලද්දේ නාසිවාදය වෙනුවෙන් ඓතිහාසික ක්ෂමාලාප සැපයීම ගැන ය. මේ හෙයින් ශාස්ත‍්‍රධරයෙකු ලෙස ඔහුට පැවති කීර්තිය වැනසී ගියේ ය. එහෙත් අද නොල්ටේ ගේ ග‍්‍රහයා උච්ච වී ගෙන එයි. දැන් අවුරුදු 91 ක් වයසැති ඔහු සිය අවසාන කාලයේදී නියම තැන ලැබූ අනාගත වක්තෘ වරයෙකු ලෙස වර්නනය කරනු ලැබේ. ජර්මනියේ වඩාත්ම ප‍්‍රචාලිත පුවත් සංග‍්‍රහය වන ඩර් ස්පිගල් 2014 පෙබරවාරි 14 කලාපයේ පල කල ලිපිය, නොල්ටේ ගේ අදහස් සනාත වී ඇති බවක් කියාපාන පිට කවරයේ ලිපියක් ඉදිරිපත් කලේ ය. ඩර් ස්පීගල් මෙසේ අවධාරනය කලේ ය: ”ස්ටාලින්ගේ අපරාධ සමග සංසන්දනය කරන කල්හි, හිට්ලර්ගේ අපරාධයන්හි පරිමාව සුලූ බවක් පෙනී යයි.” ඩර් ස්පීගල් සඟරාව විසින් සම්මුඛ සාකච්ඡුවට භාජනය කරනු ලැබූවන් අතර, මහාචාර්ය ජෝර්ජ් බාබරෝව්ස්කි ද විය. ඔහු වනාහි, බර්ලිනයේ සුප‍්‍රසිද්ධ හම්බෝල්ට් සරසවියේ නැගෙනහිර යුරෝපීය අධ්‍යයන අංශයේ සභාපති ය. සෑම විටම තමා එකඟත්වය පලකර සිටි නොල්ටේ ආරක්ෂා කරමින් බාබරොව්ස්කි මෙසේ ප‍්‍රකාශ කලේ ය: ”හිට්ලර් මානසික රෝගියෙකු නොවීය. ඔහු නපුරෙකු ද නොවීය. තමාගේ කෑම මේසයේ දී යුදෙව්වන් සමුලඝාතනය කිරීම ගැන සාකච්ඡා කිරීමට ද කැමති වූයේ නැත.” (21* තුන්වන රයිකයේ අපරාධවල පරිමාව ද සුවිශේෂ ස්වභාවය ද සුලූ කොට තැකීමට නොල්ටේ දැරු ප‍්‍රයත්නය යුක්ති යුක්ත කරමින්, බාබරොව්ස්කි මෙසේ පැවසිය.: ”ඓතිහාසිකව කතා කලහොත්, ඔහු නිවැරදි විය.” (22)

නොල්ටේ නිවැරදි වූයේ කුමක් පිලිබඳව ද ? ඩර් ස්පිගල් සමග කරන ලද සම්මුඛ සාකච්චාවක දී, නොල්ටේ කියා සිටියේ, හිට්ලර් යුද්ධයට ඇද දමනු ලැබුවේ බි‍්‍රතාන්‍යයේ සහ පෝලන්තයේ දරදඬු භාවය විසිනි යනුවෙනි. එ පමනක් නොවේ. ඩර් ස්පීගල් තව දුරටත් වාර්තා කල පරිදි නොල්ටේ, ”‘ගුලාග්’ සිර කඳවුරෙන් පංගුවකට යුදෙව්වන් ද වගකිව යුතු” යයි අවධාරනය කලේය. මක්නිසා ද යත්, සමහර බොල්ෂේවිකයෝ යුදෙව්වන් වූ බැවිනි. මෙම තර්කය මත පදනම් ව සලකා බලන කල්හි යුදෙව්වන්, අඩුම තරමින් පාර්ශවිකව හෝ හිට්ලර් ගේ සිර කඳවුරුවල (අවුශ්විට්ෂ්* වගකීමෙන් කොටසකට උරදිය යුතු ය. නොල්ටේ ගේ දරදඬු කතාවෙන් ඩර් ස්පීගල් පවා තරමක් හෙල්ලූම් කෑ අතර, ”කාලයක් තිස්සේ යුදෙව් විරෝධීන් ගේ තර්කය වී ඇත්තේ මෙය” (23* බව පිලිගත්තේය. ඩර් ස්පීගල් පුවත්පත ගිය දුර එපමනයි. මේ අතර නොල්ටේ ගේ සහ බබරෝව්ස්කිගේ ප‍්‍රකාශ වලට එරෙහි මොනයම්ම හෝ ප‍්‍රකට විරෝධයක් පල වූයේ නැත. නොල්ටේ සහ බාබරොව්ස්කි ගේ තර්ක වලට එරෙහි අභියෝගයක් නොතිබීම ම හුදෙක් බුද්ධිමය පමනක් නොව දේශපාලන සන්තතීන්ගේ ද ප‍්‍රකාශනයකි. පසුගිය වසර තුල, ජර්මන් යුදවාදය ට සහය ගොනුකර ගැනීම සඳහා දැඩි දේශපාලන ව්‍යායාමයක් දියත්ව තිබේ. එරට ජනාධිපති ජෝකිම් ගෝක් මුදුනේ පිහිටුවා ගනිමින් ප‍්‍රමුඛ ප‍්‍රවෘති පත‍්‍ර, ජර්මන් ජනතාව දෙවන ලෝක යුද්ධයෙන් පසුව වැලඳගෙන සිටින සාමවාදය හැරපියා, ජර්මනියට ද සිය දේශ සීමාවෙන් ඔබ්බේ යුද මෙහෙයුම් වලට සහභාගී වීමට සුජාත මහ බලවත් අයිතිවාසිකම් උරුමවී තිබෙන බව පිලිගත යුතුව ඇතැයි කියා සිටිති.

යලිත් වරක්, “තමන්ටත් එලිපහලියෙන් ඉඩමක්” ලබා ගැනීම සඳහා ජර්මනිය දරන්නා වූ ප‍්‍රයත්නයෙන් මෙහෙයවුනු යුදවාදයේ මෙම පුනර්ජීවනය, ඉතිහාසඥ ෆ්රිට්ස් ෆිෂර් විසින් 1961 දී පලකල සාධිකාර අධ්‍යයනය තුල Germany’s Aims in the First World War (පලමුවන ලෝක යුද්ධයේ දී ජර්මනියේ අභිප‍්‍රාය) තහවුරු කරන ලද කාරනය සමග කෙලින්ම ගැටෙමින්, දිගු කලකට පෙර තහවුරු කරන ලද ඓතිහාසික ඒකමතික භාවය අපකීර්තියට පත්කිරීමේ උත්සාහය සමග අත්වැල් බැඳ ගනියි. 1914 යුද්ධය පුපුරා යාමට ප‍්‍රධාන වශයෙන්ම වගකිවයුතු වන්නේ ජර්මනියේ කයිසර් රජුගේ අධිරාජ්‍ය පාලන තන්ත‍්‍රයය. යන ස්ථාවරය දැන් නිර්දය ප‍්‍රහාරයකට ලක්ව ඇත. 1999 දී මිය ගිය ෆිෂර් දැන් වියතෙකු හැටියට ලබා සිටින ඔහුගේ කීර්තිය වනසා දැමීමට, ඔහුගේ මරනයෙන් පසු එල්ල කරනු ලබන නිර්දය ප‍්‍රහාර වල ඉලක්කය බවට පත්ව සිටි.

ඉතිහාසය සමකාලීන භූදේශපාලන න්‍යාය පත‍්‍රයන්ට යටත් කරනු ලබන සැටි, යුකේ‍්‍රනයේ දිගින් දිගටම පවත්නා අර්බුදය තුල මැනවින් පෙන්නුම් කෙරේ. ෆැසිස්ට් සංවිධාන ප‍්‍රධාන භූමිකාව ඉටුකල, 2014 පෙබරවාරියේ දී යුකේ‍්‍රනය තුල සිදුකල මිලිටරි කුමන්ත‍්‍රනය, ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයක් ලෙස දේශපාලනිකව අලෙවි කිරීමේ එක්සත් ජනපද හා ජර්මන් ව්‍යායාමය, ඓතිහාසික වාර්තාව ඉහතකී ආකාරයෙන් මුසාකරනය කිරීම මගින් පහසු කරනු ලැබ ඇත. මෙම ග‍්‍රන්ථයේ අවසාන පූර්ව ලිපියෙහි මාතෘකාව වන්නේ මෙම සන්තතියයි. v

***

සෝවියට් සංගමය විසුරුවා ගත වූ විසි වසරකට අධික කාලයක විකෘතීන් සහ මුසාකරනයන්ට එරෙහිව ඓතිහාසික සත්‍යය තහවුරු කරලීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්න්තර කමිටුව ගෙන ගිය අරගලයේ වාර්තාවෙන් කොටසක් මෙම වෙලුමට ඇතුලත් වේ. එය වනාහි ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මැනවින් සූදානම්ව සිටි අරගලයකි. 1923 වාම විපාර්ශවය නිර්මානය කල ට්‍රොට්ස්කිවාදීහු, ස්ටැලින්වාදී නිලධරයට එරෙහිව ඔක්තෝබර් විප්ලවයේ උරුමය සහ ඓතිහාසික වාර්තාව ආරක්ෂා කිරීමට සටන් වැදුනාහ. ඔක්තෝබර් විප්ලවයේ ක‍්‍රියාමාර්ගය සහ මූලධර්මයන්ට එරෙහි නිලධාරිවාදී ප‍්‍රතිකි‍්‍රයා 1920 ගනන් මුල ඇරඹුනේ රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරය තුල 1917ට පෙර කරනලද කන්ඩායමික අරගලයන් විකෘති කරමින් ට්‍රොට්ස්කි ලෙනින්ගේ බද්ධ සතුරෙකු ලෙස ගෙනහැර දැක්වීමත් සමග ය. ට්‍රොට්ස්කි රුසියානු ගොවි ජනයාගේ උග‍්‍රම සතුරෙකු ලෙස පින්තාරු කිරීම සඳහා ඔහුගේ දේශපාලන ආස්ථානයන් විකෘති කොට දැක්විනි. 1927 දී රුසියානු කොමියුනිස්ට් පක්ෂයෙන් ද 1929 දී සෝවියට් සංගමයෙන් ද ට්‍රොට්ස්කි පලවාහැරීමත් සමග සෝවියට් ඉතිහාසයේ හැම සිද්ධියක් ම ස්ටැලින්වාදී තන්ත‍්‍රයේ දේශපාලන ආසක්තයන්ට ගැලපෙන පරිදි මුසාකරනය කැරිනි. අනෙකක් තබා (සම්භාව්‍ය සෝවියට් සිනමාකරු) සර්ජි අයිසන්ස්ටයින්ට සිය 1927 ශ්‍රේෂ්ට කෘතිය වන Ten Days that Shook the World (ලොව සෙලවූ දස දවස), කප්පාදු කොට 1917 පෙට්‍රොග‍්‍රාඩ්හි සන්නද්ධ නැගිටීම සංවිධානය කොට මෙහයවූ, ලියොන් ට්‍රොට්ස්කිගේ රුව එයින් ඉවත් කිරීමට පවා බල කෙරිනි.

ට්‍රොට්ස්කි බලයෙන් පහ කිරීමට සහ ඔක්තෝබර් විප්ලවය පදනම් වූ සමාජවාදී ජාත්‍යන්තරවාදය පිලිබඳ කි‍්‍රයාමාර්ගය ප‍්‍රතික්ෂේප කිරීමට යොදා ගත් 1920 ගනන්වල මුසාකරනයන්, කම්කරු පන්තිය බලය කරා මෙහෙයවාලූ ද, කොමියුනිස්ට් ජාත්‍යන්තරය නිර්මානය කලා වු ද සෝවියට් සංගමය පිහිටුවාලූ ද මාක්ස්වාදීන් පරම්පරාවම සමූල ඝාතනය කිරීම සඳහා ව්‍යාජ - නෛතික තිමිර පටලයක් ලෙස 1930 ගනන් වල දී ස්ටැලින්වාදීන් විසින් යොදාගන්නා ලද මොස්කව් අවනඩු දක්වා ඔඩු දිවී ය. ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, ඉතිහාසය පිලිබඳ බොරු, දේශපාලන ප‍්‍රතිගාමිත්වයේ බදාම හැටියට තීරනාත්මක භූමිකාවක් ඉටු කරයි. අධිකරනමය හොර-නඩු ලෙස ද රාජ්‍ය හා මාධ්‍ය ප‍්‍රචාරය ලෙස ද නැතහොත් ඉව බව නැති සුලු ධනේශ්වර ශාස්ත‍්‍රාලිකයන් විසින් ඉතිහාස වාර්තාව විකෘත කිරීම වශයෙන් ද එහි කටයුත්ත, පාලක ප‍්‍රභූවේ අපරාධ සුජාත කොට මහජන මතය නො මග යවා, ධනේශ්වර ක‍්‍රමයට එරෙහිව සඵල, සහ විප්ලවීය අරගලයක් කිරීමට අවශ්‍ය තොරතුරු සහ ඥානය අති මහත් ජනතාවන්ට අහිමි කරලීමය. එබැවින් ඉතිහාසය මුසාකරනයට එරෙහි අරගලය, දෙවන ගනයේ කාරනයක් නොවේ දේශපාලන කටයුතුවල අත්‍යවශ්‍ය අංගයකි. විශේෂයෙන්ම ඔක්තෝබර් විප්ලවයට හා විසිවන සියවසේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ මූලෝපායික අත්දැකීම් වලට අදාලව, ඓතිහාසික සත්‍යය ආරක්ෂා කිරීම, කම්කරු පන්තිය තුල සමාජවාදී ජාත්‍යන්තරවාදය පුනර්ජීවනය කිරීම සඳහා අත්‍යවශ්‍යක දෙයකි. v

සෝවියට් සංගමයේ අවසන් වසරවල රට පුරා ජනතාව අතර, රුසියානු විප්ලවයේ ඉතිහාසය පිලිබඳ උනන්දුවක් දැල්වුනි. දශක ගනනාවක මර්දනයකින් පසුව ට්‍රොට්ස්කි පිලිබඳ ලිපි ලේඛන, වඩාත් වැදගත් කාරනය ලෙස ට්‍රොට්ස්කි විසින් ලියන ලද කෘතීන් සෑම තැනකින්ම ලබාගත හැකි විය. මෙම වර්ධනය සෝවියට් නායකත්වය තුල කනස්සල්ල දැනවීය. වෙලඳපොල ආර්ථිකය කරා ආපස්සට යෑම ගත හැකි එකම ඉදිරි මාවත බවට ජනතාව ඒත්තුගැන්වීමට උත්සාහ දරන ස්ටැලින්වාදී නිලධරයේ දිගින් දිගටම පවතින වත්මන් ධනේශ්වර ගැති නැඹුරුවට සපුරා පටහැනි ලෙස, ට්‍රොට්ස්කිගේ ලේඛන හා ස්ටැලින්වාදයට එරෙහි අරගලය පිලිබඳ හතරවන ජාත්‍යන්තරයේ වාර්තාව පැහැදිලි කලේ, නිලධාරිවාදී තන්ත‍්‍රයට සමාජවාදී විකල්පයක ශක්‍යතාව පැවතුනු බවයි.

සෝවියට් සංගමය විසුරුවාලීම මගින් ක්‍රෙම්ලිනය අපේක්ෂා කල කේන්ද්‍රීය ඉලක්කයන් අතරින් එකක් වූයේ කම්කරු පන්තිය තුල සමාජවාදී ඉදිරිදර්ශනයක් පුනර්ජීවනය වීම පූර්වභංග කිරීම යි. මේ අනුවම සෝවියට් සංගමය විනාශ කිරීම නව ඓතිහාසික මුසාකරනයේ ව්‍යායාමයක් සමග අත්වැල් බැඳ ගති. සෝවියට් සංගමය මුල පටන් ම අසාර්ථක වීමට නියමිතව තිබුනු ව්‍යාපෘතියක්ය යන කියාපෑම සමග එය බැඳී ගත්තේය. මෙම අලුතින් මතුවී ආ “පශ්චාත්-සෝවියට් ඓතිහාසික මුසාකරන” ගුරුකුලය ෆුකුයාමා, මාලියා සහ හොබ්ස්බෝම් ගේ ගමන් මාවතම අනුගමනය කලේය. මේ සියලු කෘතීන් අඟවා සිටියේ සෝවියට් සංගමය විනාශ කිරීම අනිවාර්යයෙන්ම ගලා ආවේ ඔක්තෝබර් විප්ලවයෙන්ම ය යන්නය. විකල්ප ප‍්‍රතිඵලයකට කිසිදු ඉඩක් තිබුනේ නැති ය යන්නය. ස්ටැලින්වාදය ඔක්තෝබර් විප්ලවයේ විකෘතියක් වූයේ නැත, ඒ වෙනුවට එය එහි අනිවාර්ය විපාකය විය. වෙනත් විකල්පයක් තිබුනේ නැත.

“නිම නොවූ විසිවන සියවස” යන සංකල්පය වර්ධනය කිරිමේ ලා මෙම කෘතියේ අඩංගු දේශන හා රචනා තුල අවධාරනය කර ඇත්තේ ද ඓතිහාසික වාර්තාව විසින් නිශ්චිතවම තහවුරු කරනු ලැබුවේ ද ස්ටැලින්වාදයට විකල්පයක් තිබුනු බව ය. ස්ටැලින්වාදයට විකල්පයක් පැවතියේද යන්න විමසා බැලීම, ප‍්‍රතිවාස්තවික ඉතිහාස රචනයේ බුද්ධිමය වශයෙන් අවජාතක අභ්‍යාසයක් යන හොබ්ස්බෝම් ගේ අධ්‍යර්ථනයට මම අභියෝග කලෙමි. ඔහු ලියුවේ “ඉතිහාසය ඇරඹිය යුත්තේ සිදුවූ දෙයින්ය, ඉතිරි සියල්ල සමපේක්ෂනයයි.” යනුවෙනි. (24)

මා මේ විශේෂ ඡේදයට අවධානය යොමු කරන්නේ, එය සෝවියට් සංගමයේ ඉතිහාසය කෙරේ දැක්වෙන පෘථුල හා නරුම වූ ප‍්‍රවිෂ්ටයක් සංකේතවත් කරන හෙයිනි. හොබ්ස්බෝම් ඓතිහාසික සාධක මුලුමනින්ම මුසාකරනය කරන්නට යන්නේ නැත. එහෙත් වැදගත් කරුනු වසන් කිරීමෙන් ද අසම්පුර්න වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් ද ඔහු ඓතිහාසික සත්‍යයට එරෙහි අපරාධයට සම්බන්ධ වන්නේය.

අවාසනාවකට මෙන්, මෙම දේශන සහ ලිපි තුල දී මට මගහැරීම් පමනක් නොව ඓතිහාසික කරුනු ඝෝර ලෙස විකෘති කිරීම් ද එලිදරව් කිරීමට සිදු විය. ඉතිහාසඥයින් යයි කියාගන්නා සමහර පුද්ගලයින් විෂදව ම අසත්‍ය වූ කාරනා ලියා තැබීම මගින්, අනාගත පරපුරට සිය බුද්ධිමය නිර්ලජ්ජිත භාවය පිලිබඳ සාක්ෂි ඉතිරිකර තබන්නේ කෙසේ ද යන්න ගැන මට සමහර අවස්ථාවලදී පුදුම නොවී සිටිය නොහැකි අවස්ථා එලඹුනි.

මුසාකරනයේ භාවිතය, ඉතිහාස අධ්‍යයනයක සහ රචනය කෙරේ සිය බලපෑම සමස්තයක් වශයෙන් ව්‍යාසනකාරී ව ඇත්තා වූ සමහර පශ්චාත් නූතනවාදී ගුරුකුලයන් ගේ බලපෑම විසින්, පෝෂනය කර ඇත. දර්ශනයේ මෙම පරාභවය සහ ඉතිහාසයේ මුසාකරනය අතර සම්බන්ධතාවය කොතරම් කීව ද මදි ය. සිය කෘතියට මග පෙන්වූ, දර් සින්ඩර් ගෙස්ටිච්ට් ශේ (ඉතිහාසයේ අර්ථය) නම් කෘතියේ කර්තෘ වූ මිෂෙල් ෆුකෝල්ට් ගේ ගෝලයෙකු වන මහාචාර්ය බාබරොව්ස්කි ගේ ලිපියක් උපුටා දක්වමින් ඒ ගැන විමසා බලමු:

යථාර්ථ වශයෙන් ඉතිහාසඥයාට අතීතයෙන් කිසිදු වැඩක් නැත. ඔහු කලයුත්තේ එය අර්ථකථනය කිරීම පමනි. ඔහුට තමා යථාර්ථය යයි කියන දෙයින් අතීතයේ ජීවත්වූ පුද්ගලයින් ගේ ප‍්‍රකාශ වෙන්කල නොහැකි වේ. මන්ද යත් (ඔහු ට අනුව) යථාර්ථය නිර්මානය කරන්නාවූ විඥානයන් පිට යථාර්ථයක් ඇත්තේ නැති හෙයිනි. අපට අතීත ලියවිලි තුලින් ඉදිරිපත් කෙරුනු කරුනු මගින් රුසියානු විප්ලවය සැබවින්ම කුමක් වී ද යන්න පිලිබඳ සිද්ධීන් ප‍්‍රති - නිර්මානය කරගත හැකිය යන සංකල්පයෙන් මිදී ගත යුතුය. නියෝජනයෙන් තොර යථාර්ථයක් නැත. ඒ අනුව ඉතිහාසඥයෙකු ගේ කටයුත්ත නම්, රොජර් චාටියර් ගේ වචන වලින් ඉදිරිපත් කරතොත්, නියෝජනයන්ගේ ක්ෂේත‍්‍රය පරීක්ෂනය කිරීමය.(25). (අවධාරනය එකතු කරනලදී)

වෛෂයිකව පැවතියා වූ අතීතයේ සත්‍යය ප‍්‍රතිනිර්මානයක් ලෙස ඉතිහාස රචනය ප‍්‍රතික්ෂේප කිරීම යුක්ති යුක්ත කිරීමට බබරෝව්ස්කි කැඳවා ගන්නේ විඥානවාදී ස්වසන්තාන මාත‍්‍රවාදයේ අත්‍යන්ත ප‍්‍රයුක්තයයි: චින්තනයෙන් පරිබාහිරව සහ වෙන්ව යථාර්ථයක් නොපවතී. ඔහු අපට මෙසේ කියයි. ඉහිහාසය පවතින්නේ, හුදෙක් ආත්මීය ප‍්‍රතිනිර්මිතයක් ලෙස පමනකි. සමාජ, ආර්ථික, සහ දේශපාලන තත්වයන්ගේ ස්වභාවය නිරවද්‍ය ලෙස ඉදිරිපත් කරන්නාවූ වෛෂයික ඓතිහාසික සත්‍යයක් ඇත්තේ නැත. එවන් ඓතිහාසික යථාර්ථයක් පිලිබඳ උනන්දුවක් බබරෝව්ස්කි ට ඇත්තේ නැත. බබරෝව්ස්කි මෙසේ ප‍්‍රකාශ කර සිටි: “ඉතිහාසයක් සත්‍යවන්නේ ඉතිහාසඥයා විසින් පිහිටුවන ලද ප‍්‍රස්තුතයන්ට සේවය කරන්නේ නම් පමනි.” (26) ඉතිහාසය මෙලෙස පිරිහෙලීමකින් අනුමත කරනු ලබන්නේ ආත්මීය වශයෙන් සකසාගන්න ලද න්‍යායපත‍්‍රයන්ට සේවය සැලසෙන පරිදි ව්‍යාජ ආඛ්‍යාන ලිවීමකි. උදාහරනයක් නම්: හිට්ලර්ගේ සාපරාධි පාලන තන්ත‍්‍රය පුනස්ථාපනය කිරීම ය. මහාචාර්ය බබරෝව්ස්කි අර්නස්ට් නොල්ටේ වැන්නවුන් සමග රැලට වැටීම අහම්බයක් නොවේ. v

ජීන් ෆ‍්‍රැන්කෝ ලියොටාර්ඩ්, රිචර්ඩ් රෝටි සහ ෆුකෝල්ට් වැන්නවුන්, “ධනේශ්වර චින්තනයේ පාත මාලය”(27) අතපත ගා ඇහිඳ ගත් සංකල්පයන් හරඹ කරමින් විසිවන සියවසේ අග දශකයන්හි දී සහ විසිඑක්වන ශතවර්ෂයේ මුල් දශකයේදී මෙවන් අසමජ්ජාති, භයානක බලපෑමක් කි‍්‍රයාත්මක කිරීමට සමත්වූයේ කෙසේදැයි වටහාගැනීමට අනාගත පරම්පරාවන් දුෂ්කර අරගලයක යෙදෙනු ඇත. දර්ශනවාදී විෂයන් සමග පොරබදන මෙම වෙලුමෙහි අඩංගු රචනා හා දේශන, පශ්චාත්නූතනවාදී වසංගතයේ දේශපාලන හා සමාජ ව්‍යාධි වේදය හඳුනා ගැනීමට අනාගත ශාස්ත‍්‍රාලිකයින්ට උදව්වක් වන්නේ නම් මම බෙහෙවින් සතුටු වන්නෙමි.

මා විශ්වාස කරන ආකාරයට මෙම කෘතියෙහි ගෙන ඇති විවාදාත්මක ප‍්‍රවිෂ්ටය, අප ජීවත්වන කාලයට මෙන්ම අදාල කාරනය යන දෙකටම ගැලපෙයි. ඉතිහාසය යුද පිටියක් බවට පත්ව තිබේ. “මල ගිය සෑම පරම්පරාවකම සම්ප‍්‍රදාය, ජීවත්ව සිටින්නවුන්ගේ මොලය මත දුෂ්ඨ ස්වප්නයක් ලෙස පැටවී ඇත.” කාල් මාක්ස් එසේ ලිවීය. (28) මෙම සියවසෙහි වසර 15ක් ගතවී ඇති තතු තුල, දේශපාලකයින් හෝ ඉතිහාසඥයින්ට ගතවූ ශතවර්ෂයේ භයංකර ස්වප්නයෙන් ගැලවී ගැනීමට නොහැකි වී තිබේ. විසිඑක්වන සියවසේ එන්ට එන්ටම උග‍්‍ර වන ගැටුම් හා අර්බුද, විසිවන සියවසේ ඝට්ටනයන් සමග නිරතුරුවම පැටලී පවතියි. සමකාලීන දේශපාලන අරගල ඓතිහාසික ගැටලු පැනනංවන අතර, මෙම ගැටලු වලට සලකන ආකාරය වඩ වඩාත් විවෘතව නිර්නය කරනු ලබන්නේ දේශපාලන උත්සුකයන් විසිනි. වත්මන් දේශපාලන ප‍්‍රතිගාමිත්වයේ ආසක්තයන් උදෙසා අතීතය මුසාකරනය කෙරේ. විසිවන සියවසේ ඉතිහාසයෙහි වඩාත් උග‍්‍ර මුසාකරනයන් ගෙන් සමහරක් එලිදරව් කිරීම තුලින් මෙම ග‍්‍රන්ථය, අනාගත විප්ලවවාදී අරගලයන්ගේ අවියක් වනු ඇති බවට කතුවරයා බලාපොරොත්තු පල කරයි.

***

අවස්ථා කිහිපයකදී හැරෙන්නට, මෙම පොතේ අන්තර්ගත කරුනු ඉදිරිපත් කර ඇත්තේ, කාලවේදීව ය. මෙය, දශක දෙකක් පුරා ඓතිහාසික ප‍්‍රකාශනයන් පිලිබඳ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වැඩ කටයුතුවල විකාශය වටහා ගැනීමට පාඨකයාට ඉඩ සලසයි. සාමාන්‍ය සංස්කාරක කටයුතුවල කොටසක් ලෙස, අවශ්‍ය තැන් වලදී, දෙසුම්හලේ දී දේශනයන් තුලට වදින රලු වදන් හා යෙදුම් ඉවත් කොට, ඒවා මුද්‍රිත පත් ඉරු වලට ගැලපෙන පරිදි ශෛලීය වෙනස් කම් කිරීමට මම නොපසුබට වීමි.

මෙම දේශන සහ ලිපි පිලිබිඹු කරන්නේ, ජාත්‍යන්තරව සහ ඇමරිකා එක්සත් ජනපදය තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සහෝදරවරුන් සමග මා පී‍්‍රතිමත්ව යෙදීගත් දෘඪ සහයෝගිතාව ද වේ. මම ජර්මානු සමාජවාදී සමනතා පක්ෂයේ ජාතික ලේකම් උල්රිච් රිපට් සමග, ජර්මන් කම්කරු ව්‍යාපාරයේ ඛේදජනක සහ වධ වේදනා සහගත ඉතිහාසය අවුරුදු සතලිසක් තරම් කාලයක් තුල සාකච්ඡා කරමින් ද අධ්‍යයනය කරමින් ද සිට ඇත්තෙමි. රුසියානු බස ද සෝවියට් ඉතිහාසය ද පිලිබඳ සිය ඥානය මූලාශ‍්‍ර සම්පතක් ලෙස වසර ගනනාවක් තිස්සේ මා අත තැබූ ෆ්‍රෙඩ්රික් එස්. ශෝට් ගෙන් මා ලද සහය මම කෘතඥතා පූර්වකව සිහිපත් කරමි. විසිරුනු කොටස්වලින් සම්බන්ධිත වූ ද ආශ‍්‍රිතය මනාව ඉදිරිපත් කරනු ලැබුවා වූ ද වෙලුමක් ලෙස මෙම ග‍්‍රන්ථය සැකසීමට සමත්වූ මෙහ්රින්ග් බුක්ස් සංස්කාරක මන්ඩලයේ ජෙනී කූපර් සහ හෙදර් ජව්සිට කෘතඥ වෙමි. මෙම ග‍්‍රන්ථයේ දේශනා සහ ලිපි බොහොමයක් දල පිටපතක සිට අවසන් ස්වරූපය කරා ගෙන යාමේදී දැක්වූ පරිස්සම් සහගත සැලකිල්ල ගැන ඕස්ටේ‍්‍රලියාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ලින්ඩා ටෙනන්බෝම් ට ස්තුති කරමි.

අවසාන වශයෙන් මම හිටපු සෝවියට්-රුසියානු ඉතිහාසඥ සහ සමාජ විද්‍යාඥ වොඩිම් රොගොවින් විසින් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඓතිහාසික වැඩකටයුතු වර්ධනය කිරීමේ දී ඉටු කරන ලද භූමිකාව කෙරේ අවධානය යොමු කරමි. 1993 පෙබරවාරි මාසයේ දී අපි මුල් වතාවට කියෙව් නගරයේදී හමු වීමු. ඔහු ඊට ටික දිනකට පෙර, Was There an Alternative? (විකල්පයක් තිබුනි ද?) යන නමින්, වාම විපාර්ශ්වය 1923 සහ 1927 අතර ස්ටැලින්වාදී තන්ත‍්‍රයට එරෙහිව කල අරගලය පිලිබඳ අධ්‍යයනයක් සම්පූර්න කර තිබුනි. කියෙව්හිදී ද මොස්කව්හිදී ද කරන ලද අපගේ සාකච්චාවල ඵලයක් ලෙස වොඩිම්, ජාත්‍යන්තර කමිටුව සමග එක්ව “පශ්චාත් සෝවියට් ගුරුකුලයට එරෙහිව ජාත්‍යන්තර ප‍්‍රතිප‍්‍රහාරය වර්ධනය කිරීමට අධිෂ්ඨාන කර ගත්තේය. 1994 දී මාරාන්තික පිලිකා රෝගයකින් පෙලෙමින් සිටියදීත් එය නොසලකා ඔහු ලෝකය පුරාම ජාත්‍යන්තර කමිටුව සංවිධානය කල රැස්වීම් අමතා දේශනා පැවැත්විය. ස්ටැලින්වාදයට එරෙහිව ලියොන් ට්‍රොට්ස්කිගේ අරගලය පිලිබඳව වොඩිම්ගේ අධ්‍යයනය වෙලුම් හතක් කරා වර්ධනය විය. අද වන තුරුත්, 1991න් මොබ සෝවියට් සංගමය ගැන ලියන ලද අන් කුමන කෘතියක් වත් - ශෛලියෙන් හා සාරයෙන් - ඓතිහාසික සාහිත්‍යයේ මෙම උත්කෘෂ්ට කෘතිය සමග දුරස්ථව හෝ සමාන වන්නේ නැත.

අවසන් වතාවට මා වොඩිම් සමග එක වේදිකාවක පෙනී සිටියේ, 1998 ජනවාරි මාසයේ දී ය. ඔහු සිය බිරිඳ ගල්යා ද සමග සමාජවාදී සමනතා පක්ෂය විසින් පවත්වන ලද ජාත්‍යන්තර පාසලෙහි දේශනයක් සඳහා සහභාගි වීමට ඔස්ටේ‍්‍රලියාවේ සිඩ්නි නුවරට පැමින සිටියදී ය. වොඩිම් සිය දේශනය අවසානයේ, තම ඓතිහාසික අධ්‍යයනයේ අවසන් වෙලුම ජාත්‍යන්තර කමිටුවට කැප කරන බව නිවේදනය කලේ ය. ඉන් මාස අටකට පසුව මොස්කව් නුවරදී 1998 සැප්තැම්බර් 18දා වයස අවුරුදු 61 දී වොඩිම් අභාවප‍්‍රාප්ත විය.

ඓතිහාසික සත්‍යය සඳහා සටන් වැදුනු එම සටන්කරුවාට මම මේ වෙලුම කැප කරමි.

ඩේවිඩ් නෝත්

2014 ජූලි 12

1. The National Interest 19 (ජාතික අවශ්‍යතාව 19) (1999 ග‍්‍රීෂ්මය), 3 පිටුව.

2. ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා, The End of History and the Last Man (ඉතිහාසයේ අවසානය හා අන්තිම මිනිසා*, (නිව් යෝර්ක්: ෆ‍්‍රී ප්‍රෙස්, 1992*, 46 පිටුව.

3. එම., 299 පිටුව.

4. මාටින් මාලියා, The Soviet Tragedy (සෝවියට් ඛේදවාචකය), (නිව් යෝර්ක්: ෆ‍්‍රී ප්‍රෙස්, 1994*, 514 පිටුව.

5. එම.,

6. එම., 225 පිටුව

7. එම., 20 පිටුව

8. එරික් හොබ්ස්බෝම්, The Age of Extremes (අව්කයන්ගේ යුගය), (නිව් යෝර්ක්: පැන්තර් බුක්ස්, 1994), 5 පිටුව.

9. එම., 8 පිටුව.

10. එම., 585 පිටුව.

11. ජේ.ඒ, හොබ්සන්, Imperialism: A Study (අධිරාජ්‍යවාදය: අධ්‍යයනයක්), (කේම්බි‍්‍රජ්: කේම්බි‍්‍රජ් යුනිවර්සිටි ප්‍රෙස්, 20107, 113 පිටුව.

12. රුඩොල්ෆ් හිල්ෆර්ඩිං, Finance Capital (මූල්‍ය ප‍්‍රාග්ධනය), (ලංඩන්: රූට්ලෙජ් ඇන්ඞ් කීගන් පෝල්, 1981), 368 පිටුව.

13. වී.අයි. ලෙනින්, Collected Works (එකතුකල කෘති), 23 වෙලුම, (මොස්කව්: ප‍්‍රගති ප‍්‍රකාශකයෝ, 1964), 105-106 පිටු

14. ලියොන් ට්‍රොට්ස්කි, The War and the International (යුද්ධය හා ජාත්‍යන්තරය), (කලම්බෝ: අ යංග් සෝශලිස්ට් පබ්ලිකේෂන්, 1971) ජූනි, vii-viii පිටු.

15. රෝසා ලක්සම්බර්ග්, The Junius Pamphlet (ද ජුනියස් පැම්ෆ්ලට්), (කලම්බෝ: අ යංග් සෝශලිස්ට් පබ්ලිකේෂන්, 1971), දින රහිතය, 17 පිටුව.

16. The End of History and the Last Man (ඉතිහාසයේ අවසානය හා අන්තිම මිනිසා), 263 පිටුව.

17. සබැඳියාවෙන් ලබාගන්න: http://www.bbc.com/news/world-27921938

18 (අර්නස්ට් නොල්ට් විසින් ලියන ලද, 1980 ඉදිරිදර්ශනය තුල තුන්වන රයිකය නම් අතිශයින්ම පක්ෂවාදි චරිතාපදානයකි. (මෙය ඉදිරිපත් කරන ලද්දේ, ජමෙස් නොල්ටන් විසින් සංස්කරනය කල Forever In the Shadow of Hitler? නම් කෘතියේ, ටෘඑට් කෙයාස් එර (නිව්යෝක් හියුමැනිටි බුක්ස් , 1993) පිටු 14-15 .

19. ජෙෆ්රි එලි, (නාසි වාදය, දේශපාලනය සහ අතීතයේ පිලිබිඹුව: බටහිර ජර්මන් හිස්ටෝරිකර්ස්ට්රේඉට් 1986- 1987), Past and Present (පාස්ට් ඇන්ඞ් ප‍්‍රසන්ට්) නො 121 , නොවැම්බර් 1988 , පිටු 175.

20. මාර්ටින් හයිඩෙගර්: පොලිටික්ස් ඇන්ඞ් ගෙස්ටිශේ ලූබන් උන්ඞ් ඩෙන්කෙන් බයි රිචර්ඞ් වොලින්, The American Historical Review (ද ඇමරිකන් හිස්ටොරිකල් රිවිව්) වෙලුම 98, නොම්මර 4, ඔක්තෝබර් 1993) , පිටු 1278.

21. http://www.spiegel.de/international/world/questions-of-culpability-in-wwi-still-divide-german-historians-a-953173.html සබැඳියාවෙන් ලබාගන්න.

22. එම.,

23. එම.,

24. එරික් හොබ්ස්බෝම්, On History (ඉතිහාසය ගැන), (ලන්ඩන්, වෙයිඩන්ෆෙල්ඞ් ඇන්ඞ් නිකොල්සන්, 1997), පි. 249.

25. ජෝර්ජ් බාබරොව්ස්කි, Der Sinn der Geschichte: Geschichtstheorien von Hegel bis Foucault (හෙගල්ගේ සිට ෆුකෝල්ට් දක්වා ඉතිහාසය පිලිබඳ න්‍යායන්) (මියුනිච්, සී.එච්. බෙක් 2005), පි. 22.

26. එම., 9 පිටුව

27. ජී.වී. ප්ලෙකනොව් විසින් දක්වා ඇත.

28. කාල් මාක්ස් හා ෆෙඩි‍්‍රක් එංගල්ස්, Collected Works (එකතුකල කෘති), 11 වෙලුම, (නිව් යෝර්ක් ඉන්ටර්නැෂනල් පබ්ලිෂර්ස්, 1979), 103 පිටුව.

Share this article: