ලංකාව: මහා පාවාදීම
ජෙරී හීලි විසිනි , 2014 ඔක්තෝබර් 26
පහත පලවන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සංශෝධනවාදයට එරෙහිව කරන ලද ඓතිහාසික අරගලයට අදාල ලිපි කීපයකි. මෙම ලිපි පරිවර්තනය කර ගන්නා ලද්දේ Trotskyism verses Revisionism (සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය) නම් වූ ලේඛනගත ඉතිහාසය දැක්වෙන කෘති මාලාවෙනි. මෙම ලිපි වෙසෙසින් ම පරිවර්තනය කර ඉදිරිපත් කරන්නේ 1964 ලංකා සමසමාජ පක්ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග ධනේශ්වර සභාගයකට ඇතුලූවී සිදු කල මහා පාවා දීමේ ජාත්‍යන්තර මූලයන් පැහැදිලි කිරීමේ ප්රයත්නයේ කොටසක් ලෙස ය. මෙම වසරේ ජූනි මස ලසසපයේ ඓතිහාසික පාවාදීමට පනස් වසරක් පිරුනි. ඉදිරියේ, මීට අදාල තවත් ලිපිවල පරිවර්තන ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමු.
මේ සමග පල කෙරෙන්නේ ජාත්‍යන්තර කමිටුව දියකරහැරීම්වාදයට එරෙහිව අරගලයට අදාලව 1964 ජූලි 4 සහ 11 , ජී. හීලි ඉදිරිපත් කල වාර්තාව යි.
1964 ජූලි 4 සහ 11
ලංකාවේ සභාගය පිටුපසින්
ලංකා සමසමාජ පක්ෂයේ (ලසසප) සභාගය පිලිබඳ ඇත්ත කුමක් ද? ඒ වනාහි දැන් ලොව පුරා සෑම ට්රොට්ස්කිවාදියෙකුම ඉදිරියේ මතුවන නොම්මර එකේ ප්රශ්නය යි.
ජූනි 07දා පැවැත්වුනු ලසසප සාමාජිකත්වයේ පූර්න සමුලුවේ දී, සිරිමා බන්ඩාරනායක මහත්මියගේ ධනපති ආන්ඩුව සමග සභාගයකට පක්ෂව ඡන්ද 507ක් ලැබුනු අතර “පැරිසියේ හතරවන ජාත්‍යන්තරයේ එක්සත් ලේකම් මන්ඩලයේ” පිලිවෙත වූ, කොමියුනිස්ට් පක්ෂය, ලසසප හා මහජන එක්සත් පෙරමුන (මඑපෙ) නම් ලත් පිලිප් ගුනවර්ධනගේ පක්ෂය සහිත වාමාංශික එක්සත් පෙරමුනු ආන්ඩුවකට සහාය පල කල යෝජනාවට ඡන්ද 75ක් ලැබුනි.
කොල්වින් ආර්. ද සිල්වා හා ලෙස්ලි ගුනවර්ධන මෙහෙයවූ කන්ඩායම, පක්ෂය සභාග ආන්ඩුවට ඇතුලු වූ පසු ද එය තුල රැඳී සිටීමට තීරනය කලේ ය. පන්ති සහයෝගිතා පිලිවෙතට විරෝධය පල කල සාමාජිකයින් 159 දෙනෙක්, සමුලුවෙන් පිටව ගොස් ලසසප (විප්ලවවාදී) පිහිටුවා ගත්හ.
ජූනි 22දා පැරිසියේදී රැස්වූ හතරවන ජාත්‍යන්තරයේ “එක්සත් ලේකම් මන්ඬලය” දැන් බන්ඩාරනායක මහත්මියගේ ආන්ඩුවේ මුදල් ඇමති ආචාර්ය එන්.එම්. පෙරේරා, විදුලි සංදේශ ඇමති අනිල් මුනසිංහ හා තවත් ඇමති ධුරයක් දරන චම්ලි ගුනවර්ධන ඒකඡන්දයෙන් නෙරපා දැමී ය.
ඉක්බිති එම එක්සත් ලේකම් මන්ඩලය ම ඇසිපිල්ලමක් හෝ නොගසා, සභාගයට සහාය දැක්වීමේ හේතුව උඩ ලසසප සාමාජිකයින් 504 දෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවීමට තීරනය කලේය. සභාග පක්ෂයේ සාමාජිකයින් ලෙස රැඳී සිටි ද සිල්වා හා ගුනවර්ධනගේ මාධ්‍යමික කන්ඩායමට එරෙහිව කිසිදු පියවරක් නොගැනිනි. ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පිහිටවූ තැන් පටන් මෙතෙක් එය තුල මෙවන් දෙයක් සිදු වී නොමැත.
ලසසපයේ අති මහත් බහුතරය ධනපති පිලිවෙත් වලට යටත්වීම, 1953 භේදයෙහි සෘජු ප්‍රතිපලය විය. සෝෂලිස්ට් ලේබර් ලීගය ද ඇතුලත් ජාත්‍යන්තර කමිටුවේ බලවේග ද පැබ්ලෝගේ සංශෝධනවාදයට සහාය දක්වා දැන් “එක්සත් ලේකම් මන්ඩලය” වටා රොක්වී ඉන්නා බලවේග ද අතර ඝට්ට්ටනය මීට අදාල වේ.
ලසසප පරිහානිය, ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල අරගලය හා අවියෝජනීය ලෙස බැඳී පවතී. එය පැබ්ලෝ ද ඔහුගේ යුරෝපීය සහචරයන් වන ජර්මේන් හා පියරි ෆ්රෑන්ක් ද සිදු කල පාවාදීම පිලිබඳ පරිපූර්න නිදසුන වන්නේ ය.
පසුගිය 18 වසරක් පුරා ලංකාවේ ලසසප සමග නිරන්තරව සාකච්ඡා පවත්වාගෙන ගියේ මේ මිනිස්සු ය. එහෙයින් ඔවුන් මෙම පාවාදීම පිලිබඳ වගකීම බාරගත යුතුය.
මෙයට පිලිතුර පවතින්නේ ලංකාව තුල නොවේ, එය සොයාගත හැක්කේ පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව ජාත්‍යන්තරව කරන ලද අරගලය හැදෑරීම මගිනි. සභාගයයේ සැබෑ නිර්මාතෘන් ඉන්නේ පැරිසියේ ය.
ලංකා සමසමාජ පක්ෂය 1935 වසරේදී පිහිටුවනු ලැබුවේ, ප්‍රධානකොට ම ස්ටැලින්වාදී පාවාදීමට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යායාමයට සහාය දැක්වූ, ලන්ඩනයේ විශ්ව විද්‍යාල වලින් සමත්ව පෙරලා සියරට පැමිනි සිසුන් විසිනි.
ලසසපය බි්රතාන්ය අධිරාජ්‍යවාදයේ වියගසින් ලංකාව නිදහස් කර ගැනීම සඳහා වූ ජාතික ව්‍යාපාරයට විවේචනාත්මක සහයෝගය දෙමින් දේශපාලනයට පිවිසියේ ය. යුද්ධයේ මුල් වසරවල දී සිරගත කරන ලද එහි නායකයින්ගෙන් සමහරෙක් ඉන්දියාවට පලාගොස් එරට ට්‍රොට්ස්කිවාදී කන්ඩායම ගොඩනැගූ අතර සෙස්සෝ, ලංකාව තුල නීති විරෝධී අරගලයක්, කරගෙන ගෙන ගියහ.
මෙම ශිෂ්‍ය නායකයින් මූලිකව ම ධනේශ්වර පවුල් වලින් පැමිනියවුන් ය. ඔවුන් සමහරෙකු ගේ දෙමාපියන් ට දිවයිනේ ප්රමුඛ වංශාධිපති පවුල් සමග බැඳීම් පැවතුනි. මෙම පවුල් තම දේශීය ධනේශ්වර ආසක්තයන් මුල්කරගෙන, අධිරාජ්‍ය ආධිපත්‍යය ට සතුරුකම් පෑම, ලසසපයේ මුල් කාලීන තරුන නායකයින්ට රුකුලක් විය.
1947දී ලංකාවට දෙන ලද රූපික නිදහස තුලින් දිවයිනේ පාර්ලිමේන්තුවක් පිහිටුවීමට ද ඡන්ද අයිතිය ට ද ඉඩ සැලසුනි.
1947 පැවැත්වූ මැතිවරනයේදී ලසසපය ආසන ගනනාවක් දිනාගති. වර්තමාන සභාගය තුඩු දුන් අවස්ථාවාදී අදහස් එවක් පටන් ම මෙන් ලසසපයේ ඉහල නායකත්වයේ කොටස් තුල පහල වීම ඇරඹුනේ ය.
අධිරාජ්‍යවාදයේ ඒජන්සියක් ලෙස බලය දරා සිටීමට ලංකාවේ දේශීය ධනපතියන්ට ඉඩකඩ සැලසෙන තාක්, ලසසප නායකයන් අධිරාජ්‍යවාදයට එරෙහිව ජාතික නිදහස් සටනක් ගෙනයාම එක් දෙයකි.
එහෙත් ධනේශ්වර පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය විනාශ කිරීම, දේශීය ධනේශ්වරය අස්වාමික කිරීම සහ ලංකාව තුල කම්කරු පන්තියේ ආඥාදායකත්වයක් පිහිටුවීම ඉලක්ක කරගත් විප්ලවවාදී පක්ෂයක් ලෙස ලසසපය ගොඩනැගීම ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ඉහත කී ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සහභාගී වීම දැරුවේ ද්වීතියික වැදගත්කමකි.
ලසසප නායකයින් ඉදිරියේ පැවති ප්‍රධාන කර්තව්‍යය වූයේ, අධිරාජ්‍යවාදයේ ඒජන්තයින් වූ ජාතික ධනේශ්වරයට එරෙහිව, විශේෂයෙන්ම කම්කරු පන්තියේ හා ගම්බද පීඩිතයින්ගේ අරගලයන්ට නායකත්වය සැපයීම් ය: ඔවුන් පාර්ලිමේන්තුව ට සහභාගිව එය හෙලිදරව් කිරීම කල යුතුව තිබුනේ ඒ අතර ය.
ලසසප නායකයින් මගහැරියේ හරියටම මේ අරගලයමයි. ඔවුහු මේ කර්තව්‍යය ඉටුකිරීමට සමත්, කම්කරු පන්තිය හා ගම්බද පීඩිතයින් අතර ගැඹුරට මුල් විහිදුනු මාක්ස්වාදී නායකත්වයක් පුහුනු කිරීම දිගටම මගහැරියෝ ය.
සිය වංශාධිපති මිතුරන් සමග දිනක් දිනක් පාසා ප්රචන්ඩ ඝට්ටනයකින් කලයුතු එවන් අමිහිරි තත්වයකට මුහුන දීමට ඔවුන් සූදානම් වූයේ නැත. පාර්ලිමේන්තුව තුල වාචික, රූකඩ ගුස්ති පොරයක යෙදී ගැනීම ඔවුන්ට ඊට වඩා බෙහෙවින් පහසු දෙයක් විය.
විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමේ ඓතිහාසික වගකීමෙන් පල්ලම් බැස ගිය ඔවුහු වඩ වඩාත් මෙවන් පාර්ලිමේන්තුවාදී ක්‍රමවේදයන් දෙසට හැරී ගත්තෝ ය.
ලෝකයේ අතිශයින්ම දූෂිත දේශපාලඥයන් සහිත ඉහල නායකත්වයකින් යුතුවූ අන්ත දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) 1947 සිට 1956 දක්වා ලංකාවේ පාර්ලිමේන්තුව තුල ආධිපාත්‍යය දරා සිටියේ ය.
1940 ගනන් අග හා 50 ගනන් මුලදී දිවයිනේ ආර්ථික තත්වය පිරිහී ගිය අතර එජාපයේ සහයෝගිතා පදනම ද දියවී යන්නට පටන් ගති. තත්වය කෙතරම් බැරෑරුම් වූයේ ද යත්, වත්මන් අගමැතිනිය ගේ ස්වාමිපුරුෂ, මියගිය බන්ඩාරනායක මහතා 1951 දී එක්සත් ජාතික පක්ෂය භේද කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශී‍්‍රලනිප) පිහිටුවා ගත්තේ ය.
ආර්ථික තත්වය වඩ වඩාත් නරක අතට හැරෙද්දී එජාප, කම්කරුවන්ට හා ගොවීන්ට එරෙහිව එක පිට එක පහර වැලක් එල්ල කලේය.
හාල් මිල වැඩිකිරීමට එරෙහිව 1953 අගෝස්තු 12දා මහා හර්තාල් ක්‍රියාවට ලසසපය නායකත්වය දුනි. එම ක්‍රියාව, ධනපති එජාප ආන්ඩුව මෙන්ම සමස්තයක් ලෙස ලංකාවේ ධනපති පන්තියම ද සමග සෘජු ප්රචන්ඩ ගැටුමක් විය. 1954 ලසසප වාර්ෂික සම්මේලනය ප්‍රකාශ කල පරිදි: “ඝට්ටනය මුලු මහත් ප්‍රදේශ වෙලාගත් සැබෑ කැරැල්ලක මට්ටමට පැතිර ගිය අතර ... පෙර නොවූ විරූ මෙම සෘජු අරගල ක්‍රියාව තුලින් ආන්ඩුව තාවකාලිකව බල රහිත කර දමමින් තමන් ජයග්රහනයක් අත්කර ගත්තේ ය. ජයග්‍රාහී හැඟීමෙන් උදම්වූ ජනතාව හිස ඔසොවා නැගී සිටියෝ ය.”
පැහැදිලිවම පාලක පන්තියට හා බි්රතාන්ය අධිරාජ්‍යවාදයට තත්වය එන්න එන්නම දුෂ්කර වෙමින් පැවතිනි.
එබැවින් බන්ඩාරනායකගේ පක්ෂය පිහිටුවීම, ප්රතිගාමී බලවේගයන්ට අතිශය වැදගත් විය. එජාපයට තවදුරටත් පාලනය ගෙන යා නොහැකිව තිබුනි; එහෙයින් ජනගෝසක බන්ඩාරනායක කරලියට බස්සන ලදී.
කෙසේ වෙතත්, දේශීය ධනපති පාලනය හා අධිරාජ්‍යවාදී ආසක්තයන් රැකගැනීමේ අරමුනින් තම පක්ෂයේ ආරම්භක ලියවිල්ලෙහි සමාජවාදී ඉල්ලීම්වලට වාචික සහයක් දුන් හෙතෙම ඒ අතර ම දිවයින තුල අධිරාජ්‍යවාදී හා ධනවාදී අවශ්‍යතා රැකගැනීම සඳහා කැප වී ගත්තේ ය.
එජාප කෙරෙහි නැගී එන ජනතා අතෘප්තිය ද හර්තාලයේ ප්‍රතිඵලයක් ලෙස ලසසපය කෙරේ දිවයින පුරා සහයෝගය වර්ධනය වීම ද, ඉවතට හරවායැවීම සිය මූලික අරමුන කරගත් ඔහුගේ පක්ෂය, සුලු ධනේශ්වර, ධනපති පක්ෂයක් විය.
1953 හතරවන ජාත්‍යන්තරයේ භේදය හා ලංකාවේ සිදුවීම්
1953 අග හතරවන ජාත්‍යන්තරයේ භේදය, ලංකාවේ පසුකල සිදුවීම් කෙරෙහි සෘජු බලපෑමක් ඇතිකල සැටි දැන් පැහැදිලි ය.
ජාත්‍යන්තරයේ භේදය සිදුවූයේ ලෝක සිද්ධීන්ගේ බලපෑම යටතේ, සෝවියට් නිලධරය තුල, අප්රතිවර්තනීය (ආපසු හැරවිය නොහැකි වූ) වාම ක්‍රියාවලියක් ආරම්භවී ඇතැයි යන පැබ්ලෝගේ න්‍යාය ප්රස්තුත කොට ගෙන ය. ස්ටැලින්වාදී නිලධරයේ කොටසක් කැඩී වෙන්වෙමින්, විප්ලවවාදී නායකත්වයේ භූමිකාව ඉටුකිරීම කරා යොමු වී සෝවියට් සංගමය තුල ප්රජාතන්ත්රය යලි හඳුන්වා දෙනු ඇති බවක් එම න්‍යායෙන් ගම්‍ය විය.
යුරෝපයේ සිටි පැබ්ලෝ තම සංශෝධනවාදී න්‍යාය ඇතුලත් “ස්ටැලින්වාදයේ නැගීම හා වැටීම” යන යෝජනාව කෙටුම්පත් කරමින් සිටිය දී ලසසප ලේකම් ලෙස්ලි ගුනවර්ධන, ශ්‍රීලනිපයේ ස්වභාවය පිලිබඳ සමපේක්ෂනය අරඹා තිබුනි.
1953 මුල ලසසපයේ “සමසමාජිස්ට්” යන සතිපතා ඉංග්‍රීසි පුවත්පත, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ධනවාදය වෙනුවෙන් පෙනී සිටින නමුත්, එය ”මාධ්‍යමික සංවිධානයක්” ලෙස හැඳින්විය හැකි යයි ද ලසසපයට එහි ඉල්ලීම් ගනනාවකටම සහාය දිය හැකි යයි ද කියා සිටියේය.
එබැවින්, සමහර කොන්දේසි යටතේ, ලංකාවේ කම්කරු පන්තියෙහි ආසක්තතා ඉටු කිරීම ශ්රීලනිපය ලවා, බලපෑම් දමා කරවාගත ගත හැකිය යන මිථ්‍යාව ඉන් ජනනය කෙරිනි.
කිසි යම් තත්වයන් තුල දී, ලංකාවේ කම්කරු පන්තියෙහි උවමනාකම් ශ්‍රීලනිපයට බලපෑම් කොට ඉටු කර ගැනීමට ඉඩ ඇතැයි යන මිථ්‍යාව ඉන් ජනනය කෙරිනි.
එමගින් ගුනවර්ධන කලේ, ධනවාදය මත පදනම්වූ සුලු ධනපති පක්ෂයක ජනඝෝෂක වාම කවරය කම්කරු පන්තිය මත පදනම්වූ සංශෝධනවාදී පක්ෂ වලට ආවේනික පන්තියක් හා සමාන කරමින් ව්‍යාකූල කිරීමයි.
ශ්රීලනිපය මාධ්‍යමික පක්ෂයක් නොවේ ධනපති පක්ෂයකි: එම පක්ෂය භාවිතයේ දී අර්ථ රහිත වාම මුහුනුවරක් සහිතව ඉදිරිපත් වූයේ අපකීර්තියට පත් එජාපය ගලවා ගැනීමට සහ ලසසපය හුදෙකලා කිරීමට පාලක පන්තිය සිතාමතා කල ගනන් බැලීමක කොටසක් ලෙස ය.
පැබ්ලෝ ව හතරවන ජාත්‍යන්තරයේ අනාගතය හා භූමිකාව ප්‍රශ්නයට භාජනය කරන කල්හි ම ලෙස්ලි ගුනවර්ධන, විප්ලවවාදී පක්ෂයක් ලෙස ලසසපයේ මුලු අනාගතයම ප්‍රශ්නයට බඳුන් කලේය. මාක්ස්වාදය පිලිබඳ එවන් න්‍යායික සංශෝධනයක් සිදු කල, ලෙස්ලි ගුනවර්ධන හා කොල්වින් ආර්. ද සිල්වා වැනි සංශෝධනවාදීන්ට, ලංකාව තුල විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමට මොනම හැකියාවක් හෝ නැත.
නිශ්චිත කොන්දේසි යටතේ ශ්රීලනිපය, අධිරාජ්‍යවාදීන්ට එරෙහිව රක්ෂන, පෙට්‍රෝලියම් වැනි අංශ ජනසතු කිරීම ගැන මහ ලොකුවට කථා කල ද ඒවායින් කම්කරු පන්තියේ තත්වයෙහි ඇති කලේ සුලු වෙනසකි: එසේත් නැත්නම් කිසිදු ප්‍රගතියක් හෝ ඇති නොකරන ලදී: මෙම පියවර බි්රතාන්යයේ ප්‍රධාන කර්මාන්ත ජනසතු කිරීමේ වැදගත්කම සමග පටලවා ගත යුතුනැත.
ශ්රීලනිපය විශේෂයෙන්ම මෑතකදී අනුගමනය කල සීමිත ජනසතු කිරීම සැලසුම් කරන ලද්දේ ප්‍රධාන වශයෙන් ම, දේශීය ධනේශ්වරයේ ආර්ථික නිල ශක්තිමත් කිරීමට ය..
ලසසප නායකත්වය 1954 මුල දී කොලඹ පැවැත්වුන රැස්වීමකදී, පැබ්ලෝගේ යෝජනා ඒකඡන්දයෙන් ප්‍රතික්ෂේප කලේ ය. “ස්ටැලින්වාදයේ නැගීම හා වැටීම” යන පැබ්ලෝගේ යෝජනාව සාකච්ඡා කිරීම සඳහා එම වර්ෂයේම යුරෝපයේදී ජාත්‍යන්තර සමුලුවක් පැවැත්වින. කොල්වින් ආර්. ද සිල්වා හා ලෙස්ලි ගුනවර්ධන එම සමුලුවට පැමිනි ලසසප නියෝජිත කන්ඩායමට නායකත්වය දුන්හ.
මොවුහු ලංකාවේ සිය ජාතික කමිටුව ඒ වන විටත් ගෙන තිබුනු තීන්දුවට අනුව පැබ්ලෝගේ යෝජනාවට විරුද්ධ වනවා වෙනුවට, තම සංශෝධන ගනනාවක් පිලිගැනීමේ කොන්දේසිය මත ඊට එකඟ වූහ. සැබවින්ම, ලංකාව තුල ඔවුන්ගේ අවස්ථාවාදී ගමන නොදැක්කා සේ සිටීමට පැබ්ලෝ එකඟ වූවා සේ ම, ඔවුහු ද යුරෝපය තුල සිදුවෙමින් පැවති දේ නොදුටුවන්ව සිටීමට එකඟ වූහ.
එවක පටන් ජාත්‍යන්තර ව්‍යාපාරය තුල පැබ්ලෝ ද ලසසප නායකයන් ද අතරේ දිගටම පවත්වා ගෙන ගිය මූලධර්ම රහිත එකඟත්වයේ පදනම වූයේ එයයි.
ජාත්‍යන්තර සිදුවීම් පිලිබඳ දේශපාලන පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිමින් ජාත්‍යන්තර කම්ටුව තුල සංවිධානයවූ ට්‍රොට්ස්කිවාදීන්ට එරෙහිව, ලසසප නායකයන් තමාට දුන් සහායට ප්‍රත්‍යුපකාර වශයෙන් ඔවුන්ගේ අවස්ථාවාදය හිතාමතාම වසං කර දැමූ පැබ්ලෝ, ලෝකයේ “ලොකුම ට්‍රොට්ස්කිවාදී සංවිධානය” යයි ලසසපය අහස උසට වර්නනා කලේය. දෙගොල්ල තම ව්‍යාපාරය මුහුන දෙන බැරෑරුම් ප්‍රශ්න සාකච්ඡාවට ගැනීමට උත්සාහ කල ඕනෑම කෙනෙක්, කඩාකප්පල්කාරයෙකු හා කට්ටිවාදියෙකු ලෙස දෙගොල්ල විසින්ම හෙලා දක්නා ලදී.
1956 මැතිවරනයේ දී, ශ්රීලනිපය එජාපය පරදවා පලමු වතාවට ආන්ඩු බලය හිමිකර ගති.
මෙතැන් පටන්, ශ්රීලනිපය මාධ්‍යමික පක්ෂයක්ය යන න්‍යායික අර්ථකථනය, ලසසප නායකයන් සඳහා අලුත් රූපාකාරයක් ගත්තේය. මැතිවරනයෙන් කෙටි කලකට පසුව ඔවුහු, ශ්‍රීලනිප කෙරෙහි ලසසප පිලිවෙත, “ප්රචාරක සහයෝගිතාවක්” වනු ඇතැයි නිවේදනය කලහ.
එජාපයට මෙන්ම ශ්‍රීලනිපයට ද ලාංකික කම්කරු පන්තිය හා ගොවීන් මුහුන දෙන එකදු මූලික ගැටලුවක්වත් විසඳිය නොහැකි විය.
1956දී ආන්ඩුව පිහිටවූ බන්ඩාරනායක, වෘත්තීය සමිති තුල යම් මුල් සහිත සුලු ධනපති මඑපෙ සමග සභාග ගිවිසුමක් ඇතිකර ගත්තේය. මඑපෙ පිහිටුවා නායකත්වය දුන් පිලිප් ගුනවර්ධන වනාහි ඊට පෙර ලසසපයෙන් පලවා හරිනු ලැබුවෙකි.
ඔහු බන්ඩාරනායකගේ කැබිනට්ටුව තුලට ගෙන සභාග ආන්ඩුවේ නම මඑපෙ ලෙස වෙනස් කරන ලද්දේවී නමුත් මුල පටන්ම සිදුවීමට නියමිතව තිබුනු පරිදිම සභාගය අසාර්ථක විය.
1950 ගනන්වල අවසාන සමයේ දිවයින පුරා වැඩවර්ජන හා වෙනත් මහජන අරගල පුපුරා යමින් තිබුනි. 1959 ජූලි 18-19 දිනවල පැවති ලසසප වාර්ෂික සමුලුවේ දේශපාලන යෝජනාවට වුව කියන්නට සිදු ව තිබුනේ පහත සඳහන් දෙය යි:
“මඑපෙ ආන්ඩුව පෙරලා දැමීමේ අරගලයෙහි උපායයන් තීරනය කිරීම සඳහා, පරෙස්සමින් තක්සේරු කලයුතු වන, මූලික අංග දෙකක් වත්මන් දේශපාලන තත්වය තුල පවතී. එක් අතකින් පසුගිය වසර එකහමාර තුල, ජනතාව, විශේෂයෙන්ම කම්කරු පන්තිය අතර සෘජු, පාර්ලිමේන්තුවෙන් බැහැර ක්‍රියාවලට එලඹීගැනීමේ ප්රවනතාවයක් පැවතුනි.
1957 නොවැම්බරයේ පටන් කම්කරු පන්තියේ වැඩවර්ජන මාලාවක් අත්දුටුවෙමු. සුවිශේෂ සිද්ධියක් වූ 1958 මාර්තු 3දා එක් දින සංකේත මහ වැඩවර්ජනය හැර, ඉහතකී අරගල සියල්ල ආර්ථික අරමුනු ගත් ඒවාය. 1958 මැයි මස නැගී ආ වර්ගවාදී රැල්ල හා එහි ප්‍රතිඵලයක් වූ හදිසි නීතියේ මුල් මාසවල පැවති රුදුරුබව, මෙම වැඩ වර්ජන රැල්ලට බාධා කල නමුත්, මෑත මාසවල ඒවා යලි පැනනැගීම වැලක්වීමට එය සමත් වූ යේ නැත. තමන්ට බලපෑ ආර්ථික ප්‍රශ්න උඩ වැඩ වර්ජනය කිරීමට නිසැකවම කම්කරුවන් අතර සූදානමක් පැවතුනි.
කම්කරු වැඩ වර්ජනවලට අමතරව, පැල්පත් නිවාස විනාශ කිරීම කෙරෙහි මහජන ප්‍රතිරෝධය ද, රජයේ ඉඩම් සමූහ වශයෙන් අල්ලා ගැනීම හා දුම්රිය මාර්ග මත ජනතාවගේ සත්යග්රහ ද වැනි දේශපාලන සංසිද්ධීන් මෑත මාසවල දී දකින්ට ලැබුනේ ය. කම්කරු පන්තිය තුල පැතිර ගිය වැඩ වර්ජන තරමින්ම අසන්තෘප්තියේ මෙම ප්රකාශනයන් පැතිර නොගිය බව නිසැකය. එහෙත් කම්කරුවන් හැර වෙනත් පීඩිත ජන කොටස් සම්බන්ධවූ සමූහ හා සෘජු ක්‍රියාවල ස්වභාවය පෙනුම් කලේ ඒවා ද සැලකිය යුතු සංසිද්ධීන් බවය. මෙම අරගල සෘජුවම මුල්බැස තිබුනේ දෛනික අවශ්‍යතාවන් තුල බව ද සැලකිල්ලට ගත යුතුවේ.
කොටින් කිවහොත්, ජනතාව තවමත් මූලිකව විශ්වාසය තබා ඇත්තේ, ව්‍යවස්ථානුකූල විධි හා ක්‍රියා මතය. එහෙත් තමන්ට බලපාන ප්‍රශ්න වලදී, ආන්ඩුවට දැනෙන බලපෑමක් ඇති කිරීම පෙරදැරි කොට ව්‍යවස්ථානුකුල ක්‍රියාවලට පරිබාහිරව සෘජු ක්‍රියාවන්ට එලඹීමට ද සූදානමක් පවතී.”
ලසසපය සිටියේ දෙපැත්ත බලමින් ය. කම්කරු පන්තියේ ප්‍රතිරෝධය හා වැඩවර්ජනවල වර්ධනය පිලිබඳව මැත දොඩන අතරම, එය වඩ වඩාත් පාර්ලිමේන්තුවාදී දේශපාලනයක් වෙතට හැරෙමින් සිටියේ ය.
පක්ෂය තුල විවාදය සංකේන්ද්‍රනය වූයේ ඉහත ප්‍රශ්න වටාය. එඩ්මන්ඩ් සමරක්කොඩි මෙහෙයවූ සුලුතරයකට අවශ්‍ය වුයේ පාර්ලිමේන්තුවෙන් පිටස්තර ක්‍රියාවනට පක්ෂය යොමු කිරිමට ය. ඒ අතර එන්.එම්. පෙරේරා, ලෙස්ලි ගුනවර්ධන හා කොල්වින් ආර්. ද සිල්වා, 1960 මහ මැතිවරනය සඳහා ශ්‍රීලනිප සමග පාර්ලිමේන්තුවාදී සන්ධානයකට වඩ වඩාත් නැඹුරුවෙමින් සිටියහ.
පාර්ලිමේන්තු අපේක්ෂකයින් 80ක් තරම් ලැයිස්තුවක් නිවේදනය කල නායකත්වය ඒ සමගම ශ්රීලනිපය හා කොමියුනිස්ට් පක්ෂය සමග වැදගත් ඡන්ද කොට්ටාශ ගනනාවක් තුල නිතරග ගිවිසුමක් අත්සන් තැබූ කල්හි, පක්ෂ සාමාජිකයෝ දැඩි ලෙස ව්‍යාකුල වූහ.
අන්ත දක්ෂිනාංශය යලි බලයට පත්ව ආඥාදායක්වයක් පිහිටුවීමේ අන්තරාය වැලැක්වීමට එවන් ගිවිසුමක් අවශ්‍ය බව ඔවුහු කියා සිටියෝ ය. ඔවුන් ධනපති ශ්‍රීලනිපයට සහාය දීම යුක්තිසහගත කලේ කලින්, ස්ටැලින්වාදීන් ස්පාඤ්ඤයේ හා ප්රන්සයේ, මහජන පෙරමුනු ආන්ඩුවලට සහාය දීම මගින් සිදු කල පන්ති සහයෝගිතාවාදී පාවාදීම යුක්තිසහගත කල පිලිවෙත් උඩ ම ය.
පැරිසියේ පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඬලය, 1960 මුල ලසසපය සමග ලිපි මගින් කල සාකච්චාවල දී “දූශ්රීලනිපය සමග ප්‍රායෝගික නිතරඟ ගිවිසුමක” ට ඉඩ ඇති නමුදු, එවන් ගිවිසුමක් ක්‍රියාත්මක වන ඡන්ද කොට්ඨාශවල දී ශ්‍රීලනිප අපේක්ෂකයින්ට ඡන්දය දීම අනුමත කල නොහැකි යයි අවධාරනය කර සිටියේ ය.
පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඬලය, 1960 මැතිවරනයේ ලසසප ප්‍රධාන පිලිවෙතට සීමාන්විත අනුමතියක් දුන්නේය. එය මෙසේ ද කියා සිටියේය. “අනෙක් අතට, ඉදිරියේ ඇතිවිය හැකි ශ්‍රිලනිප ආන්ඩුවක් සපල ලෙස අධිරාජ්‍ය විරෝධී ක්‍රියාවක නිරතව සිටින අවස්ථාවක දී, විවේචනාත්මකව ද සෑම විටම තාවකාලිකව පමනක් ද එවැන්නකට සහාය දීමට” ඉඩ දිය හැකි පිලිවෙතකි.
පැබ්ලෝ හා ඔහුගේ අනුචරයන් ලසසපය ශ්‍රීලනිපයට යටත් කිරීමට තවදුරටත් වහන්තරාවන් සැපයූවේ ඒ ආකාරයටය.
1960 මැතිවරනයෙන් ඉක්බිති
කොමියුනිස්ට් පක්ෂය හා ලසසපය, 1960 මැතිවරනයෙන් බලයට පැමිනීමට ශ්‍රීලනිපයට උදව් කලේ ය. මැතිවරනයට සූදානම් වූ අන්දම ම ලසසපය තුල පැනනැග තිබුනු අතිමහත් දේශපාලන පරිහානිය එලි කලේය.
අපේක්ෂකයින් තෝරා ගනු ලැබුවේ ප්රජාතන්ත්රවාදී ලෙස නොව ඉහල නායකයින් අතර සම්මුතියකිනි. මැතිවරන වියදම් දරාගත හැකිවූ අයට ප්‍රමුඛත්වය දෙන ලදී. විපාකය වූයේ පක්ෂයට වැද්ද නොගත යුතු අය තොග ගනන් ලසසප අපේක්ෂක ලැයිස්තුවට ඇතුලත් කර ගැනීම ය.
දූෂිත සමාජ ප්රජාතන්ත්ර පක්ෂවල වැඩ ද ලසසප වැඩකටයුතු ද අතර මොනම වෙනසක් හෝ තිබුනේ නැත. මහජන අරගල වලට පස්ස හැරවූ ලසසප නායකයෝ දැන් අතිශයින්ම අවස්ථාවාදී දේශපාලඥයින් ලෙසය වැඩට බැසගත්තෝ ය. සකල උපාමරු වලින් පසුව ද ඔවුන්ට දිනා ගත හැකි වූයේ පාර්ලිමේන්තු ආසන 14ක් පමනි.
මැතිවරන සමයේ ශ්රීලනිපය සමග පක්ෂය ගෙනගිය සහයෝගය නිසා, පක්ෂයේ අභිලාශයන් පිලිබඳව ජනනය කෙරුනු ව්‍යාකූලත්වය ශී‍්‍රලනිපයට ඡන්දය දීමට ජනතාව තල්ලු කර දැමී ය. සභාගය සඳහා ක්‍රියාත්මක පියවර ගනු ලැබුවේ මෙතැන් පටන් ය.
මෙයින් වඩාත්ම නපුරු අර්ථයක් ගත්තේ දෙමල වතු කම්කරුවන් පිලිබඳ ප්රශ්නයේ දී සිදු කල පල්ලම් බැසීමයි. ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමනය වූ දෙමල වතු කම්කරුවන් ගේ නියෝජිතයා ලෙස ඉන්දියානු ආන්ඩුව පිලිගනිමින්, එම ආන්ඩුව ද ලංකාවේ ආන්ඩුව ද අතර සාකච්ඡාවට ඉහත සඳහන් ප්රශ්නය පිලිබඳ සාකච්චා කිරීම පිලිගත් ලසසපය එමගින් තම ක්‍රියාමාර්ගය සියුම් ලෙස සංශෝධනය කර ගති.
පුරවැසි ප්රශ්නය පිලිබඳ ඝට්ටනය වනාහි අධිරාජ්‍යවාදය විසින් සිය පාලනය සඳහා අවශ්‍යයෙන්ම ඇතිකරන ලද්දක් විය. අධිරාජ්‍යවාදය සාර්ථක ලෙස පෙරලා දමන තෙක් විසඳිය නොහැක්කක් වූ එය ඉන්දියාවේ හා ලංකාවේ ආන්ඩු අතර ව්‍යවස්ථා ප්‍රශ්නයක් බවට පත්කිරීම මගින් ලසසපය, දෙමල දුගී ජනතාවගේ විප්ලවවාදී අවශ්‍යතා කෙරෙන් මුලුමනින්ම ඉවතට හැරී ගති.
මෙය අතිශය තියුනු ප්‍රකාශයක් අත්කර ගත්තේ වතුකරයේ වෘත්තීය සමිති සම්බන්ධතා ක්ෂේත්රය තුලය. වතු කම්කරුවන් වැඩි දෙනෙක් බැඳී සිටියේ ලක්ෂ තුන ඉක්මවූ සාමාජිකත්වයන් සහිත වෘත්තීය සමිති දෙකකට ය. ශ්‍රීලනිපයේ දක්ෂිනාංශික අනුචර එස්. තොන්ඩමාන් ඉන් එකක නායකත්වය දැරූ අතර අනිකෙහි නායකත්වය දැරුවේ මොස්කෝ ආධිපාත්‍යය යටතේ පැවති කොමියුනිස්ට් පක්ෂයේ සහචරයෙකු ව සිටි අසීස් ය.
1950 ගනන් අග භාගයේදී, පෙර කවර කලෙකවත් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය කාවැදී නොතිබුනු, ගැමි පෙදෙස් ද ඇතුලු මුලු දිවයින පුරා ලසසප තරුන සංවිධානවල අති මහත් වර්ධනයක් දැකගත හැකි විය. තරුනයින් අතර මෙම ව්‍යාපාරය පූර්ව විප්ලවවාදී තත්වයක් වැඩී එන බවට තවත් ඇඟවුමක් විය.
1960 ගනන්වල මුල ලසසපයේ ලංකා වතු කම්කරු සමිතියේ වර්ධනය විසින් දෙමල කම්කරුවන් ගෙන් සමන්විත වූ මෙම සමිතියේ සමාජිකත්වය 80,000කට ලඟාවිය.
කම්කරුවන් තොන්ඩමන් හා අසීස් වැනි සංශෝධනවාදී වෘත්තීය සමිති නායකත්වයෙන් බිඳී ලසසප සමිතිය කරා ආකර්ෂනය වූයේ එහි තරුන සංවිධායකයන් නිසාය. ලසසපය පුරවැසි ප්රශ්නය පිලිබඳ සිය ආස්ථානයෙන් පසුබැසීමත් සමග අර්බුදයකට මුහුන දුන් මෙම සමිතිය මුලුමනින්ම බිඳ වැටුනි.
කම්කරුවන් විශාල සංඛ්‍යාවක් සාමාජිකත්වය හැර යාමත් සමග විවිධ වර්ගයේ මැර කල්ලිවල පොර පිටියක් බවට පත් වූ එය සීසීකඩ ගියේය. ලසසප නායකයන් සිය පක්ෂයට එල්ල කල දුෂ්ඨතම ප්රහාරයන්ගෙන් එකක් මෙය විය. මෙය බලය අල්ලා ගැනීමේදී පරමවශයෙන්ම තීරනාත්මක වූ, ගම්බද පලාත්වල පක්ෂයේ වර්ධනයට එක එල්ලේ මග අවුරා දැමීය.
ශ්රීලනිපය 1960 ලත් මැතිවරන ජය ගැන යම් මිථ්‍යාවක් ජනතාව තුල තිබුනි නම් එය වහාම වියැකී ගියේය. 1961 වන විට ප්‍රධාන කර්මාන්තවල සුපුරුදු ලක්ෂනයක් බවට වැඩ වර්ජන පත්විය.
දේශපාලන කමිටුව 1962 මාර්තු 31දා මධ්‍යම කාරක සභාවට ඉදිරිපත්කල සිය වාර්තාව තුල, ලසසප නායකත්වය මෙය සැලකිල්ලට ගෙන තිබුනි. ඔවුහු 1961 වැඩ වර්ජන රැල්ල මෙසේ විස්තර කලෝය:
“පුලුල්ව ගතහොත් වැඩ වර්ජන මගින් අත්කරගත් මූලික ජයග්රහනයන් පහත සඳහන් පරිදිය:
1. කම්කරු පන්තියේ එක්සත්කම විසින් ගොඩනැගුන ලද ශක්තිය විසින් එහි විඥානය ඉහලට නංවා තිබේ.
2.ශ්‍රීලනිප ආන්ඩුව පිලිබඳව කම්කරු පන්තියට පැවති බොහෝ මිත්‍යාවන් එම අරගල මගින් විනාශ කර ඇත.
3. වෘත්තීය සමිති මට්ටමේ අරගලයන් මගින් තමන්ට තවත් වැඩි දුරක් යා නොහැකි බවත්, දේශපාලන තන්ත්රයම පිලිබඳ ප්රශ්නය මතු කරන්නාවූ දේශපාලන අරගල අවශ්‍යව ඇති බවත්, එම අරගලයන් මගින් දැනුවත් කම්කරුවන් ගේ පුලුල් ස්ථරයන්ට වටහා දී තිබේ.”
මෙය සත්තකින් ම ඇත්තය.
1962 පුරාම ශී‍්‍රලනිප ආන්ඩුවට පැවැති සහයෝගය දිගින් දිගටම බිඳ වැටුනි.
බෞද්ධ භික්ෂුවක් විසින් බන්ඩාරනායක මහතා ඝාතනය කිරීම රට පන්ති ආතතියේ ආන්තික තත්වයකට එලඹ තිබූ බව පිලිබඳ සලකුනක් විය.
දිවයිනේ අඩු ම වැටුප් ලබන්නවුන් අතර වූ කොලඹ වරායේ ඩොක් කම්කරුවෝ, වැඩි වැටුප් ඉල්ලා දැඩි වර්ජනයකට එලඹ සිටියහ. 1959 දී ගෙන ගොස් තුබුනු වැඩ වර්ජනය ම ඉදිරියට ගෙනයාමක් වූ මෙම වර්ජනය හටගත්තේ, ඔවුන්ගේ තත්වය පිලිබඳව කලින් කරන ලද පරීක්ෂනයේ නිගමන ඒවනවිටත් ප්‍රසිද්ධ නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය. හදිසි නීතිය ක්‍රියාත්මක කෙරුනු තතු තුල වර්ජනය නවත්වන ලදී.
ඩොක් වර්ජනය ට ඉක්බිති ආ බැංකු ලිපිකරු වර්ජනය දින 90ක් පුරා පැතිරිනි. මේ වනවිට අගමැති ව සිටි සිරිමා බන්ඩාරනායක මහත්මිය, ඉක්මනින්ම වැඩවර්ජිත කම්කරුවන් කෙරෙහි සතුරුව බුරා පැන තම පන්ති දත් විලිස්සුවාය. 1962 ජූනි-ජූලි බැංකු ලිපිකරුවා යන ලංකා බැංකු සේවකයින්ගේ සඟරාව ඇගේ හැසිරීම විස්තර කලේ මෙසේ ය.
“ලංකාවේ අගමැති සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය අපේ‍්‍රල් 26දා උදෑසන කල ප්‍රකට “ජාතියට පනිවිඩය” තුල, (බැංකු සේවක) සමිතියට දේශපාලන ප්‍රහාරයක් එල්ල කලාය. ඇය පැවසූ අනෙකුත් දේ අතර, “රටේ නීත්‍යානුකූලව පත්කරගත් ආන්ඩුව පෙරලා දැමීමට රහසිගතව සැලසුම් කරමින් සිටින, දිවයිනේ විවිධ කොටස්වල විවිධ සංවිධාන, දැන් ෆෙඩරල් පක්ෂය (ෆෙප) ආරම්භ කර ඇති ව්‍යාපාරය පොලඹවන බවට මට කිසිදු සැකයක් නැත. නිදසුනක් ලෙස බැංකු ලිපිකරු සංගමය විසින් සංවිධානය කර ඇති වැඩවර්ජනය ගැන සඳහන් කිරීමට කැමැත්තෙමි. මෙරටෙහි ආර්ථික ජීවිතයට බරපතල හානි සිදුකිරීම සඳහා බැංකු සේවකයින් පාවිච්චි කරන සමහර කොටස් සිටින බව විශ්වාස කිරීමට හේතු තිබේ.”
ඩොක් කම්කරුවන්ගේ හා බැංකු ලිපිකරුවන්ගේ වර්ජනයන් වැදගත් වන්නේ, ඒවා ආන්ඩුවට එරෙහි අවශ්‍යම වූ දේශපාලන වැඩවර්ජනයන් වීමයි.
ප්‍රධාන ගමනාගමන සේවා අඩාල කල වැඩ වර්ජනයකින් 1963 ජනවාරියේදී ලංකා ගමනාගමන මන්ඬලය සසල විය. බන්ඩාරනායක මහත්මිය බස් ධාවනය කරමින් වැඩවර්ජකයින්ට හොරිකඩකම් කිරීමට අප්‍රමාදවම හමුදාව කැඳවූවාය.
1963 ජූලි 10දා කොලඹ ආසන්න වැල්ලවත්තේ ද රෙදිපිලි කම්කරුවෝ 3, 000ක් වැඩ වැරූහ. කම්කරු පන්තිය හා බන්ඩාරනායක නෝනාගේ ආන්ඩුව අතර තීරනාත්මක ගැටුමකට කරලිය සකස්වී තිබුනි.
1963 ජූනි හා සැප්තැම්බර් අතර කාලයේ ඇතිවූ ප්‍රධාන සිදුවීම් දෙකක්, සභාගයේ පසුබිම සැකසීමට ක්ෂනික රුකුලක් සැපයීය.
එක්සත් ජනපද සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) ජූනියේදී පැබ්ලෝගේ “හතරවන ජාත්‍යන්තරය” සමග යලි එක්සත් වීමට සහාය පල කලේය. (එක්සත් ජනපද නීතියට අනුව සමාජවාදී කම්කරු පක්ෂයට නිල වශයෙන් නම් ජාත්‍යන්තර සංවිධානයක සාමජිකත්වය දැරිය නොහැකිය)
එම ඒකාබද්ධවීමේ සමුලුව, “දකුනට බර ව්‍යාපාරය නතර කිරීමට හා මෙම ජනතාවන් විකල්ප වමක් දෙසට ගමන් කරවීම” යන දෙකේදිම, “වාමාංශික එක්සත් පෙරමුන” පිලිබඳ ප්රශ්නය නිවැරදි ලෙස මතුකරගත් බවක්, පවසමින් ලසසපයේ කොල්වින් ආර්. ද සිල්වා, එන්.එම්. පෙරේරා හා ලෙස්ලි ගුනවර්ධන නායකත්වයට, පූර්න සහයෝගය දුන්නේය.
මෙකී වාමාංශික එක්සත් පෙරමුන පදනම් වූයේ කොමියුනිස්ට් පක්ෂය, පිලිප් ගුනවර්ධනගේ පක්ෂය වූ මහජන එක්සත් පෙරමුන හා ලසසපය අතර ඇතිකරගත් ගිවිසුමක් මතය. පැබ්ලෝ ට අනුව ගිවිසුමේ අරමුන වූයේ එකඟවූ ක්‍රියාමාර්ගයක් මත “ධනපති විරෝධී” එක්සත් වාම පෙරමුනක් සැකසීමයි.
මෙම අධියරේදී ලසසපය එක්සත් වාම පෙරමුන පෙරට දැමුවේ ඇයි? මහ මැතිවරනයෙන් ලසසපය ලැබූ පරාජයෙන් පසුව හදිසියේ ම කැඳවූ විශේෂ සම්මේලනයක දී 1960 දී දක්ෂිනාංශය සභාග යෝජනාවක් ඉදිරිපත් කලේ ය.
එහෙත් එම සමුලුව විසින්ම පත්කර ගැනුනු මධ්‍යම කාරක සභාව තුල දක්ෂිනාංශයට හිමිවුයේ සුලුතරයකි. එහෙයින් එන්.එම්. පෙරේරාගේ දක්ෂිනාංශය තදබල ගැටලුවකට මුහුන දුනි. එහිදී නායකයෝ සභාගයේ සීනි තැවරූ තිත්ත බෙහෙත වන වාඑපෙ පිලිබඳ උපාය මගින් කීකරු ලෙස ඔවුන්ට (දක්ෂිනාංශයට) උදව් කලහ.
කොපය මීට පෙර, ශ්‍රීලනිපයට මුලු හදින්ම සහාය දුන් අතර පිලිප් ගුනවර්ධනගේ මඑපෙ, සැබවින්ම 1956 ශ්‍රීලනිප ආන්ඩුව සමග සභාගයට සම්බන්ධවී තිබුනි.
1961 ඔක්තෝබර් 14/15 දිනවල පැවති ඔවුන්ගේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත්කල ලසසප යෝජනාව කොප භූමිකාව මෙසේ ගෙනහැර දැක්වීය.
“කොප ඇත්තේ 1960 ජූලි මැතිවරනයට පෙර පැවති තැනමය. දේශපාලනිකව එහි පිලිවෙත සැලකිය යුතු තරමින් වෙනස්වී නැති අතර එය දිගටම ශ්‍රීලනිප ආන්ඩුවට කොන්දේසි විරහිතව සහාය දීමේ සිය පිලිවෙත අනුවම යයි. සෝවියට් ආන්ඩුවේ විදෙස් පිලිවෙතෙහි අවශ්‍යතාවන්ට එහි පිලිවෙත යටහත් ලෙස සේවය කරනතාක් කල් එය දිගටම පවතිනු ඇත.” v
ලසසපය සහ පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලය විසින් දැන් මේ සියල්ල ලෙහෙසියෙන් අමතක කර දමනු ලැබ ඇත. සරල සත්‍යය නම් කොප හා මඑපෙ යන දෙකම මේ වනවිටත් බන්ඩාරනායක මහත්මියගේ සභාග සාක්කුවට වැටී සිටින බවත්, ශ්‍රීලනිප සමග මැතිවරන සහයෝගිතාව මගින් ලසසප ය අඩ දුරක් එහි ගොස් සිටින බවත් ය.
ලසසපය “ගිවිසගත්” ප්‍රශ්න උඩ බන්ඩාරනායක මහත්මියගේ ආන්ඩුවට සහයෝගය දීමට දිගින් දිගටම උද්ඝෝෂනය කල අතර ඒ අනුව 1960 පැබ්ලෝවාදීන්ගේ නිර්දේශ ප්‍රවේසමින් පිලිපැද්දේ ය.
වාඑපෙ ක්රියාමාර්ගයෙහි පුරවැසි ප්රශ්නයේ 14 ඒ හා බී කරුනු අල්ලාගෙන සති කිහිපයක් කේවලෙහි යෙදී සිටි එක්සත් ලේකම් මන්ඩලය ජූලි 1දා අවසන් කෙටුම්පත “නිසැකවම ප්‍රගතියක් බව” සහ ”ඉන්දියාව හා ලංකාව අතර මේ මාතෘකාව පිලිබඳව සාකච්ඡා පැවැත්වීමේ මූලධර්මාත්මක වරදක් නැති බව අපි පිලි ගතිමු” යයි කියමින් සිය එකඟත්වය ලෙස්ලි ගුනවර්ධනට ලියා දැන්වූ හ.
ඒ අනුව ලසසපය පුරවැසි ප්‍රශ්නයෙන් ලිස්සා යාම පිලිබඳව ලේකම් මන්ඬලය, පූර්න වගකීම දරා සිටි.
වාඑපෙ පිලිබඳ පැබ්ලෝවාදී න්‍යාය ගලා ආවේ, “කම්කරු පන්තියට බලය අත්පත් කර ගැනීමට විප්ලවවාදී පක්ෂයක් අවශ්‍ය නැතිය, එය ‘පෙරමුනක’ මාර්ගයෙන් කරගත හැකිය” යන පැබ්ලෝවාදී න්‍යාය තුලිනි. අද දවසේ කොප හා මඑපෙ, සභාග ආන්ඩුවට සම්පුර්න සහයෝගය දෙති. වාඑපෙ මගින් සිදු කරන ලද්දේ සභාගයට එක්වීම සඳහා ලසසපයට මග පෑදීම පමනි.
1964 අප්‍රෙල් මාසයේ දී, එනම් සභාගයට යන්තම් මාස දෙකකට පෙරාතුව, පැරිසියේ පැබ්ලෝවාදී ඒකාබද්ධ ලේකම් මන්ඩලය, ලසසප නායකත්වය දිරිගැන්වීමේ ලිපියක් යැවීය. එහි මෙසේ සඳහන් විය.
“වාමාංශික එක්සත් පෙරමුන මහජන අරගල අව්‍යාජ සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත තමන්ගේම දේශපාලන බලය පිහිටුවා ගැනීම කරා මෙහෙයවීම මගින්, ප්රතිගාමිත්වයේ රැල්ල කපා හැරීම හා ජනතාව ද අපගේම පක්ෂ සාමාජිකත්වය ද එක්සත් කිරීම සඳහා මාධ්‍යයක් සම්පාදනය කලේය. තවත් කියුබාවක් හා ඇල්ජීරියාවක් බිහිකල හැකි ලංකාවට ලෝකය පුරා විප්ලවවාදී නැඹුරුවක් සහිත කම්කරුවන්ට ඊටත් වඩා ශ්‍රේෂ්ඨ නිදසුනක් ලෙස පිහිටනු ඇත.”
පෙරමුන මගින් බලය ගැනීමේ දී ලංකාවේ ස්ටැලින්වාදී පක්ෂය උපයෝගී කර ගත හැකිය යන මතය උපන්නේ “සමහර අවස්ථා” වල ස්ටැලින්වාදී නිලධරයේ කොටස් විප්ලවවාදී පක්ෂයේ කර්තව්‍යයන් සපුරාලීමට සමත්වනු ඇතැ යි පැබ්ලෝ 1953 දී ඉදිරිපත්කල මුල් සංකල්පය තුලිනි.
ඒ අනුව කියුබාව හා ඇල්ජීරියාව විප්ලවවාදී පක්ෂයකින් තොරව සිදු කරගත් විප්ලවයක මාවත කරට ගෙන සිටි ඔවුන්ට, එන්.එම්. පෙරේරා හා ලසසප නායකයින් සමග ප්‍රසිද්ධියේ භේදවීම කෙසේ හෝ මගහැර ගැනීම අවශ්‍යව තිබුනි. විශේෂයෙන්ම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ විවේචන හමුවේ ඔවුන්ට, තමන්ගේ (ප්‍රතිපත්ති විරෝධී) ජාත්‍යන්තර එකමුතුවේ මූනත්තහඩුව රැකගැනීමට අවශ්‍ය විය.
ඉල්ලීම් 21 වෘත්තීය සමිති සන්ධානය
1963 ගිම්හානයේ දෙවන වැදගත් සිදුවීම නම්, දිවයින පුරා ඉමහත්ව පැතිර ගිය, වෘත්තීය සමිති එකමුතුවයි. වාඑපෙ හරහා ජනතාවගේ අවධානය පාර්ලිමේන්තු මාවත කෙරෙහි යොමු කිරීමට ලසසප අවස්ථාවාදීන් උත්සාහ දරන අතර වෘත්තීය සමිති, බන්ඩාරනායක නෝනාගේ ආන්ඩුව සමග සටනට එක්වෙමින් සිටියහ.
සැප්තැම්බර් 20 ඉරිදා වතුකරය හා කාර්මික ව්‍යවසායන්හි කම්කරුවන් මිලියන එක හමාරක් නියෝජනය කල ප්‍රධාන වෘත්තීය සමිති සියල්ලේම නියෝජිතයෝ 29,800ක්, කොලඹ සෙලින්කෝ හෝටලයේ රැස්වී ආන්ඩුවට එරෙහි ක්රියාවේ වැඩපිලිවෙල ලෙස පහත සඳහන් ඉල්ලීම් 21 අනුමත කලහ.
1. සියලු සේවකයින්ට දිනකට රුපියල් 1ක හෝ මසකට රුපියල් 30ක වැටුප් වැඩිවීමක්
2. (ඒ) සියලු සේවකයින්ට මාසික වැටුප් සහ
(බී) සියලු සේවකයින්ට වාර්ෂික වැටුප් වර්ධක
3. සියලු ජීවන වියදම් දීමනා, අර්ථසාධක අරමුදල් ගෙවීම් හා ඒකාබද්ධ විශ්‍රාමික ගෙවීම්, ආදායම් බද්දෙන් නිදහස් කිරීම.
4. සියලු සේවකයින්ට පැය 45ක උපරිම වැඩ සතියක්. පැය 45 ඉක්මවන සෑම වැඩකටම සියලු සේවකයින්ට අතිකාල ගෙවීම්.
5. සියලු කම්කරුවන්ට නිවාස ප්‍රතිපාදන හෝ ගෙවල් කුලී දීමනාවක්
6. හාම්පුතාම සපයන ලයින් කාමර වල ජීවත්වන වතු කම්කරුවන් ද ඇතුල සියලු කම්කරුවන්ට පූර්න කුලී අයිතිය.
7. (ඒ) පෞද්ගලික හා පලාත් පාලන සේවයේ සියලු කම්කරුවන් සඳහා දින හතක අනියම් හා දින තිහක වෛද්‍ය නිවාඩු.
(බී) ප්‍රසූත නිවාඩු ප්‍රසූතියට පෙර සති හයකුත්, පසුව සති හයකුත් දක්වා දීර්ඝ කිරීම. ගර්භනී අවධියේ අවසන් කාලයේ හා ප්‍රසූතියෙන් පසු කාලයේ අඩු වැඩ පැය ගනනක්
(සී) ආන්ඩුවේ හා පලාත් පාලන ආයතනවල සෙනසුරාදා දිනයෙන් අඩක් නිවාඩු ලෙස සැලකීම හා ප්‍රසිද්ධ නිවාඩු දිනවල පූර්න නිවාඩු.
(ඩී) ප්‍රසිද්ධ නිවාඩු දිනය ඉරිදාට යෙදුනු කල පසු දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම.
(ඊ) සාප්පු හා කාර්යාල සේවක පනත යටතට ගැනෙන සියලු නියමිත නිවාඩු පෞද්ගලික අංශයේ සියලු කම්කරුවන්ට ලබාදීම.
(එෆ්) ඉරිදා දිනය සියලු කම්කරුවන්ට නිවාඩු දිනයක් සේ සැලකීම.
8. රාජ්‍ය හා පලාත් පාලන අංශයේ සියලු අනියම් කම්කරුවන් මාස හයක සේවා කාලයකින් පසුව තාවකාලික තත්වයටත්, සියලු තාවකාලික කම්කරුවන් වසර තුනක සේවා කාලයකින් පසුව විශ්‍රාම වැටුප් සහිතව ස්ථිර තනතුරු වලටත් පත් කල යුතුය. ස්ථිර කිරීමට පෙර අවහිරවූ හා කඩවුනු සේවා කාලය ද ඇතුලු සියලු සේවය, වැටුප් වර්ධක සමග විශ්‍රාම ගෙවීමේදී එකතු කල යුතුය.
9. (ඒ) ගෙවී ගිය සම්පූර්න සේවා කාලයට ප්‍රමානවත් වන්දියක් හා සුදුසු විකල්ප රැකියා සම්පාදනයකින් තොරව, කිසිදු සේවකයෙකුගේ සේවය අවසන් නොකල යුතුය.
(බී) රැකියා වියුක්තිකයින්ට වැඩ හෝ විරැකියා රක්ෂන යෝජනා ක්‍රමයක් යටතේ සහන සැලසිය යුතුය.
10. (ඒ) සේවක අර්ථසාධක අරමුදලේ සේවා දායකයාගේ දායකත්වය ඒකාබද්ධ වැටුපෙන් සියයට 10 දක්වා වැඩිකල යුතුය.
(බී) එම අරමුදලේ සාමාජිකත්වය වසර 10ට නොඅඩු කාලයකින් පසුව, රැකියාව අවසන් කිරීමේ සීමාවන් නොමැතිව, සේවකයෙකුට අයත් සේවක අර්ථසාධක අරමුදලට මාරුකර යැවුනු මුදල් ද ඇතුලු සේවක අර්ථසාධක අරමුදල් බාධාවකින් තොරව ආපසු ගැනීම සඳහා ප්‍රතිපාදන සැලසීම.
(සී) වැන්දඹු හා අනත් දරු විශ්‍රාම සහන දෙගුන කිරීම
11. අර්ථසාධක අරමුදල් ඇරඹීමට පෙර සේවය කල සැම වර්ෂයකම එක් මාසයක ලබාගත් ඒකාබද්ධ වැටුප සමාන පාරිතෝෂිකයක්.
12. රාජ්‍ය සංස්ථාවල අධ්යක්ෂ මන්ඩල වලට චන්දයෙන් තෝරා පත්කරගත් කම්කරු නියෝජිතයින් පත් කිරීම.
13. වෘත්තිය සමාති නියෝජිතයින් ඇතුලත් මාරු හා උසස්වීම් මන්ඬල පිහිටුවීම.
14. රාජ්‍ය සංස්ථා, පලාත් පාලන සේවයේ සේවකයින් හා ගුරුවරුන් ද ඇතුලු සියලු රාජ්‍ය සේවකයින්ට පූර්න වෘත්තීය සමිති, දේශපාලන හා සිවිල් අයිතීන්, (වතු) වෘත්තීය සමිති නිලධාරීන්ට සියලු වතු වලට ඇතුල් වීමේ පූර්න පහසුකම්,
15. වැඩ වර්ජන හා වෘත්තීය සමිති කටයුතු වලට සහභාගී වීම නිසා අනිවාර්ය විශ්‍රාම ගැන්වූ හෝ සේවයෙන් පහ කල සියලු සේවකයින් යලි සේවයේ පිහිටුවීම සහ එවන් සහභාගිත්වයන් හෝ ක්‍රියාවන් නිසා ඔවුන්ට පැනවූ සියලු දඬුවම් ඉවත් කිරීම.
16. නිල භාෂා පනත හා දෙමල භාෂා විශේෂ විධි විධාන පනත් ක්‍රියාත්මක කිරීමේදී, ඊට පෙර සේවයට බැඳුනු රාජ්‍ය හා පලාත් පාලන සේවකයින්ට කිසිදු දඬුවමක් නොපමුනුවන බවට හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බන්ඩාරනායක විසින් දී තිබුනු පොරොන්දුව ඉටු කිරීම.
17. සිය රාජකාරි ඉටුකිරීමේදී නිල භාෂා නිපුනත්වයක් අවශ්‍ය නොකෙරෙන රාජ්‍ය සේවකයින් නිපුනතා පරීක්ෂනයෙන් නිදහස් කිරීම.
18. (ඒ) රාජ්‍ය සේවයේ ඉහල තනතුරු වලින් සියයට 50ක් පහල තනතුරු ලාභීන්ගෙන් පිරවීමට සුදුසු විධි විධාන සැලසීම හා පහත සිට ඉහලම තනතුරු කරා උසස්වීමේ විධි විධාන සහිත ඒකාබද්ධ පරිපාලන සේවයක්.
(බී) තාක්ෂනික හා කාර්මික ශ්‍රේනිවල කම්කරුවන් සඳහා පහලම තනතුරේ සිට ඉහලම තනතුර දක්වා විධිමත් උසස් වීමේ අවස්ථා සැලසීම.
19. රාජ්‍ය හා පලාත් පාලන සේවය කෙරෙහි විශ්වාසය දිනාගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිසම හා පලාත් පාලන සේවා කොමිසම යලි ස්ථාපිත කිරීම හා ඒ දෙක පිලිබඳව කලින් ගෙන ඇති සියලු තීරන සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට උත්තර බැඳිය යුතු අභියාචන මන්ඩලයක් පිහිටුවීම.
20. කම්කරුවන්ගේ වන්දි ආඥාපනත යටතේ වන වන්දි අනුපාතය තෙගුන කිරීම හා අනතුර සිදුවූ දින සිට සම්පූර්න වැටුප් ලබාදීම.
21. සමාන වැඩ සඳහා සමාන වැටුප්,
(ඒ) කාන්තාවන්ට එරෙහිව වැටුප් වෙනස්කම් කිරීම නතර කිරීම
(බී) ගුරුවරුන් සම්බන්ධ ප්රශ්නයේදී මෙන් භාෂාව පදනම් කරගත් වැටුප් වෙනස්කම් අවසන් කිරීම.
ඉන් සති හයකට පසුව, දිවයිනේ මැනවින්ම සංවිධානයවූ වෘත්තීය සමිතිය වන ලංකා වෙලඳ සේවක සංගමය (සිඑම්යූ), කොලඹ පිහිටා ඇති වරාය සහ කාර්මික ව්‍යවසායවල නියුතු සිය ලිපිකරු සාමාජිකත්වය වෙනුවෙන් දින 69ක වැඩවර්ජනයක් කැඳවීය.
1964 දී ලසසප සමුලුවෙන් ඉවත් වූ සුලුතරයේ නායකයෙකු වූ සිඑම්යූ ප්‍රධාන ලේකම් බාලා තම්පෝ, බන්ඩාරනායක නෝනාගේ ආන්ඩුවට විරුද්ධව මුල සිට ම තම සමිතිය සටනට මෙහෙයවීය.
දවස් බෙහෝ ගනනක් තිස්සේ දිවයිනේ පෙර නුවූ විරූ උද්යෝගයක් වැඩවර්ජනය මගින් ප්‍රදර්ශනය විය. 1964 ජනවාරි 09දා ආන්ඩුව මැදිහත් වී සීඑම්යූවට කියා සිටියේ තමන් තවත් සහන නොදෙන බවය.
ඊලඟ දිනයේදී බන්ඩාරනායක මහත්මිය “ආපසු වැඩට, එසේ නැතිනම්” යනුවෙන් අවසන් නිවේදනය නිකුත් කල නමුත් සීඑම්යූ නායකත්වය නිවැරදිවම එය නොසලකා හැරීමින් වර්ජනය පෙරට ගෙන ගියේ ය. එහි ප්‍රතිඵල වශයෙන් ජනවාරි 12 ඉරිදා එම සමිතිය තීරනාත්මක ආර්ථික හා දේශපාලන ජයග්රහනයක් දිනා ගති.
බන්ඩාරනායකට හා ඇගේ ආන්ඩුවට තත්වය දැරිය නොහැකි වූයෙන් ඇය 1964 පෙබරවාරියේදී පාර්ලිමේන්තුව වසාදැමීමට තීරනය කලාය. පැහැදිලිවම සීඑම්යූ වර්ජනය ඇය ද ඇගේ ආන්ඩුව ද අතිශය බරපතල අර්බුදයකට ඇද දැමා තිබුනි. ඉල්ලීම් 21 එකඟත්වය, සීඑම්යූවේ ජයග්‍රහනය හා ආන්ඩුවේ අර්බුදය විසින් තහවුරු කෙරුනු වෘත්තීය සමිති ව්‍යාපාරයේ මනෝ භාවය එවන් විය. ඉන්පසුව ඔවුහු මාර්තු 21දා සවස දැවැන්ත පෙලපාලියක් ද සමග ඉල්ලීම් 21පිටුපස අරගලයට බැසීමට තීන්දු කලහ.
මෙම ඉල්ලීම් 21 පිලිබඳව කාවදින කාරනයක් වූයේ, එමගින් ඉතිහාසයේ පලමු වතාවට වතු කම්කරුවන් නාගරික කම්කරුවන් සමග ඒකාබද්ධ වීමය.
සැබවින්ම ලසසපය විප්ලවවාදී පක්ෂයක්ව තිබුනේ නම් බලය අල්ලා ගැනීම සඳහා කල් එලඹ තිබුනි.
තොන්ඩමන් හා අසීස් ඇතුලූ නායකයින්, ඉල්ලීම් 21 සඳහා පූර්න අරගලයකට පිලින දුන් අතර රැලිය සවස 4ට ආරම්භ විය. දිවයිනෙහි එතෙක් කවර දා හෝ දක්නට ලැබුනු කම්කරුවන්ගේ විශාලතම රැස්වීමේදී ඒ සඳහා ඒකමතික සහයෝගය පල විය.
ලසසප වෘත්තීය සමිති වෙනුවෙන් කොල්වින් ආර්. ද සිල්වා ඉල්ලීම් 21 වෙනුවෙන් අවසානය දක්වා සටන් කිරීමට කැඳවුමක් කලේය. එහෙත් ඔහු ගාලු මුවදොර පිටියේ කථා කරන අතර ම ඔහුගේ සහචරයා වූ එන්.එම්. පෙරේරා, බන්ඩාරනායක මහත්මිය සමග සභාගයක් සඳහා ඒ වන විටත් රහසිගත සාකච්ඡාවල යෙදී සිටියේය.
කම්කරුවන් ගාලූ මුවදොර මුලූ දෙමින් සිටියදී ඇය සමග සම්මුඛ සාකච්ඡාවක යෙදී සිටි මාධ්‍යවේදියෙක් වාර්තා කලේ, පෙලපාලිය ගැන බියෙන් ඇය කායිකවම වෙව්ලමින් සිටි බවයි. සියල්ලටත් වඩා ඇය බිය වූයේ, පෙලපාලිය විප්ලවවාදී මාවතක් ගතහැකි බවත්, දිවයින තුල කම්කරුවන්ගේ හා ගොවීන්ගේ බලය පිහිටුවීමට පටන්ගනු ඇතැයි සිතීමත් නිසාය.
මේ අවස්ථාවේ ආචාර්ය එන්.එම්. පෙරේරා ලසසපයේ බහුතරය වෙනුවෙන් ඇය බේරා ගැනීමට ඉදිරිපත්වීම හොඳාකාරවම වටහාගත හැකි ය.
දිවයින පාලනය කලේ, බන්ඩාරනායක නෝනලාගේ පවුල වැනි ප්‍රභූ පවුල් කිහිපයක් විසින් නොවේ ද?
මේ පවුල්වල දූ පුත්තු, සමහරෙක් වමෙන් කථා කිරීමටත් සමහරෙක් දකුනෙන් කථා කිරීමටත් ඉගෙනුම සඳහා ලන්ඩනය බලා ගොස් තිබුනේ නැති ද?
කොල්වින් ද සිල්වා ගාලු මුවදොර සිට වාම හඬ නගද්දී ඔහුගේ සහචරයා වූ එන්.එම්. පෙරේරා අගමැති නිල නිවස වූ “අරලියගහ මැදුරේ” සේවකයින්ගේ දොරටුවෙන් හොර රහසේ රිංගා ගනිමින් සිටියේය.
මාර්තු 21 සවස, බන්ඩාරනායක නෝනා මුල්තැන්ලත් ධනපති නිවස ගිනිගැනීමට පටන්ගත් තතු තුල ගුනවර්ධනලා, සිල්වලා සහ පෙරේරලා වැනි ප්‍රභූ පැලැන්ති දරුවන් බන්ඩාරනායක නෝනාගේ හා ඇගේ පන්තියේ ආධාරයට, තමන්ගේම පාරෙන් පැමිනිම මුලුමනින්ම ස්වාභාවිකය.
රහසිගත සභාග සාකච්ඡා සඳහා තමන් නැගී සිටින්නේ ශක්තිමත් පදනමක් මතය යන්න පෙරේරා දැන සිටියේය. ඔහුගේ වාසියට, සෑම විටම සභාගයේ සහායකයෙකු හා ඊනියා ඒකාබද්ධ වාම පෙරමුනේ ප්‍රධාන මුක්කුවක් වූ කොමියුනිස්ට් පක්ෂය මුලු හදින්ම දුන් සහාය තිබුනි. එසේම පැරිසියේ “එක්සත් ලේකම් මන්ඬලයේ” නිහඬ සහයෝගයේ වාසිය ද ඔහුට තිබුනි.
එක්සත් ලේකම් මන්ඬලය 1964 මුල පටන් ලංකාවේ සිදුවෙමින් ඇත්තේ කුමක් ද යන්න පිලිබඳ කුමන හෝ සාකච්ඡාවක් කිරීම ප්‍රතික්ෂේප කලේය. එවැන්නක් කෙසේ හෝ මගහැරී ගැනීම ට ඔවුන්ට අවශ්‍යව තිබුනු අතර ලසසප නායකත්වය සමග ගැටුමක් මගින් තමන් ජාත්‍යන්තරව අටවාගෙන තිබුනු එකමුතුව කඩාකප්පල් වනු ඇති බව ඔවුහු දැක ගත් හ.
එවන් සාකච්ඡාවක් ඉල්ලා සිටි විවේචකයෙකුට දුන් පිලිතුරකදී ඔවුහු මෙසේ ලියුහ.
“ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ස්ථාවර සම්බන්ධයක් උදෙසා වැඩ කිරීමටත්, දීර්ඝ භේදයකින් පසුව යලි ගොඩනගාගත් බැඳීම් ශක්තිමත් කිරීමටත් තම බලය මත, හැකි සෑම දෙයක්ම ඉටු කිරීමේ වගකීමත් 1963 යලි එකමුතුවීමේ සමුලුව එක්සත් නව නායකත්වයට පවරා දී ඇත. යම් කාලයකට, නිශ්චිත සංවිධානාත්මක ලිහිල් කිරීමක් සහ විවිධ ශාඛාවන් තුල ඇතිවූ අභ්‍යන්තර මතභේද, එක්සත්වූ ව්‍යාපාරයේ කොටස් තුල විශේෂයෙන්ම අතීතයෙන් උරුමවූ මතභේද හා සෑම ක්ෂේත්රයකටම පොදු ගැටලු නිරාකරනය කිරීමට නව ආරම්භයක් සඳහා උදව් කිරීමේ අටියෙන් දැරෙන බරපතල ව්‍යායාමයක් මේ සඳහා අවශ්‍ය ය. මේ සියල්ල යලි එකමුතු වීමේ සමුලුවට සහභාගී වූ නියෝජිතයින් විසින් පැහැදිලි කරගෙන, ඒකමතිකව ගිවිසගන්නා ලද කරුනු ය.
ව්‍යාපාරයේ අන් ඕනැම තැනක මෙන්ම ලංකාවේ ද තත්වය කෙරෙහි එක්සත් ලේකම් මන්ඬලය දරන ආකල්පය තුල මුල්තැන ගන්නේ, යලි එක්සත් වීමේ සමුලූව ගෙනහැර දැක්වූ මේ පුලුල් උත්සුකයන් ය.
ඇන්ඩර්සන් සහෝදරයා කියා ඇති පරිදි එක්සත් ලේකම් මන්ඩලය “සාරාර්ථයෙන්ම” තියා, අවම වශයෙන් වත්, හත්වන ලෝක සමුලුව ලසසපය පිලිබඳව කල විවේචන වෙනස්කර නැත. ලසසප නායකත්වයේ හැකියාවේ තරමට ඉටු කර තිබෙන දෑ තුලින් විශ්වාසය තහවුරු කර සනාථ කොට ඇත්තේ, ඔවුන් මෙම විවේචනයන්ට ප්‍රතිචාර දක්වන බව ය. අප ලසසප ඇමතූ ලිපියෙහි අරමුන වුයේ, ඇන්ඩර්සන් සහෝදරයා අපේක්ෂා කරන ආකාරයට ලසසප නායකයන් යම් ලෙසකින් ප්‍රසිද්ධියේම දඬු ගැසීම හෝ කන්ඬායමික ආරවුලක් තුලට ඇද දැමීමට අභියෝග කිරීම හෝ නොවීය. එහි අන්තර්ගතව විවේචන කරන ලද්දේ, රැස්ව සිටි ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නියෝජිතයින්ගේ පූර්න හොඳහිත සහිතවය: ලසසප ඒවා පිලිබඳව හොඳින් සිතාමතා අවධානය යොමු කරනු ඇතැයි පූර්න විශ්වාසයෙන් යුතුවය. තමන් ලසසපයේ වාමාංශය සමග දේශපාලනිකව හිතවත් නැඹුරුවක් දක්වන බව අවංකව පිලිගත් එක්සත් ලේකම් මන්ඬලය, ඒ සමගම ලංකා ශාඛාව කෙරෙහි සිය ලෙන්ගතු සහෝදරාත්මක ආකල්පය පවත්වාගෙන යාමට උත්සාහ කලේය...
කෙසේ වෙතත් සමස්තයක් ලෙස ව්‍යාපාරය ම නියෝජනය කරන ආයතනය හැටියට එක්සත් ලේකම් මන්ඬලයට හැඟී ගියේ, ලසසප නායකත්වයේ බහුතරයකගේ ප්රකාශනය ඉවත දමා, එක්සත් වාම පෙරමුන සම්බන්ධයෙන් ඔවුන්ගේ ආස්ථානයෙහි අවංකත්වය හා ඔවුන්ගේ සපථයේ හොඳ හිත, භාවිතයේ දී ඔප්පු කිරීමට ඇති තරම් කාලය ඔවුන්ට ලබානොදීම වරදක් වනු ඇතැයි යනුවෙනි. (අවධාරනය අපේ).
සියල්ලටත් වඩා එවැන්නක අර්ථය වනු ඇත්තේ, තියුනුම වර්ගයේ කන්ඬායම්වාදය කාවද්දා ලසසපය තුල වාතාවරනය හිතාමතාම ගිනියම් කිරීමයි, දෙවනුව, මතභේදය ප්‍රසිද්ධ කරලියට මාරුකිරීම මගින් ගැටලු තවදුරටත් උග්‍ර කිරීමයි. මේ ආකාරයේ භේදකාරී ප්‍රතිපත්තියක් මගින් සිදු කෙරෙනු ඇත්තේ ලසසප නායකත්වය හා එක්සත් ලේකම් මන්ඬලය අතර සහෝදරාත්මක සම්බන්ධය විනාශ කිරීමයි: නැතිනම් අඩුවශයෙන් පලුදු කිරීමයි. මොන හේතුවකින් හෝ අනවශ්‍ය ඝර්ෂනයක් හෝ ආතතියක් නිර්මානය කරමින් පක්ෂයේ එක්සත්කම ප්‍රශ්නයට බඳුන් කිරීමට කිසිසේත්ම නොකැමති වාමාංශය ද අතුලු ලසසපයට ද මුලු හතරවන ජාත්‍යන්තරයටම ද එවැන්නක අවසන් විපාකය බෙහෙවින් හානිකර විය හැක.”
දැන් මේ සියලු ම කුකුල්ලු බන්ඩාරනායක කුඩුවට පැන ගනිමින් සිටිති. බලය ගැනීම සඳහා කම්කරු පන්තියට නායකත්වය සම්පාදනය කිරීමේ තීරනාත්මක අවශ්‍යතාව ය හමුවේ, පැරිසියේ සිට කොලඹ දක්වා වූ සියලු සංශෝධනවාදීන් දැන් පෙල ගැසෙන්නේ, තමන් පන්ති සතුරාගේ පැත්තෙහි බව ප්‍රදර්ශනය කිරිමට වේ.
දැන් අපි මහා පාවාදීමේ අවසන් අදියරට ඇතුල්වී සිටිමු. මැයි 10 ඉරිදා අගමැතිනි බන්ඩාරනායක , තම සභාග සැලසුම් මෙසේ ප්‍රසිද්ධ කලා ය.
“සී.පී. ද සිල්වා හා අනෙකුත් හිතවතුන්ගේ ආරාධනය පරිදි, 1960 ජූලියෙන් පසුව මා, පක්ෂයේ සභාපති ධුරයට පත් කිරීමෙන් අනතුරුව, මඑපෙ හැර වමේ පක්ෂ සමග සන්ධානගතව, ආසන 75ක් දිනා ගනිමින් ආන්ඩුවක් පිහිටුවීමට ශ්රීලනිපය සමත් විය. මෙහි සැබෑ වැදගත්කම කුමක් ද? මාර්තුවේදී ආසන 46ක් ලබාගත් අපට ජූලියේදී 75ක් දිනාගත් හැකි වූයේ වමේ සහයෝගය ලබාගත හැකිවූ නිසාය. මෙය අවංකව පිලිගත යුතුය. කිසියම් හේතුවකින් අපට ආසන 75ට අඩුවෙන් ලැබුනේ නම්, මැතිවරනයේදී අපට සහයෝගය දුන් එම පක්ෂවලට ආන්ඩුවට සහභාගී වීමේ පිහිටුවීමේ අවස්ථාව තිබුනි.
කෙසේ වෙතත් ආන්ඩුව පිහිටුවීමෙන් අනතුරුව අපට නිශ්චිත ප්‍රශ්න වලට මුහුන දීමට සිදුවිය. අප ට සහය දුන් වාමාංශිකයෝ, තමන්ට ආන්ඩුවේ තැනක් නොලැබුනු හෙයින් වැඩවර්ජන මාලාවක් ආරම්භ කලෝ ය. උතුරේ වාර්ගික ප්රශ්නය ඇවිල තිබුන අතර භාෂා ප්රශ්නය මුල් කරගෙන වෙනත් නොයෙකුත් ගැටලු ද ද ගොනු වෙමින් පැවතුනි
අප මෙයට නිර්භීතව මුහුන දුන් බව සැබෑ වුවත්, මගේ අත්දැකීමෙහි ආලෝකයෙන් මා ඔබට යමක් මතක් කල යුතුය. අප කෙතරම් ප්රගතිශීලි වැඩ කල ද කම්කරු පන්තියේ සහයෝගය නැතව, කිසිදු ප්‍රතිඵලයක් අපේක්ෂා කල නොහැකිය. වරාය හා අනෙකුත් රජයේ ආයතනවල වැඩකටයුතු සැලකිල්ලට ගතහොත් මෙය වටහාගත හැකිය. අපට පස්සට යා නොහැක: ඉදිරියට යා යුතුය.
මේ කරුනු පිලිබඳව සමහර අයට විවිධ අදහස් ඇත. මෙම ගැටලු විසඳිය හැක්කේ ඒකාධිපතිත්වයක් පිහිටුවීමෙන් බව සමහරුන්ගේ අදහසයි. තවත් අය කියන්නේ කම්කරුවන් තුවක්කුවෙන් හා බයිනෙත්තු තුඩෙන් වැඩට දැක්කිය යුතුය කියාය. ඒ අතර වෙනත් අයගේ අදහස නම් මෙම ගැටලුව විසඳීම සඳහා ජාතික ආන්ඩුවක් පිහිටුවිය යුතුය යන්නයි. මම මේ අදහස් ලෝක සිද්ධීන්ගේ සන්දර්භය තුල තබා වෙන වෙනම සලකා බැලුවෙමි.
මගේ නිගමනය නම්, මේ කිසිදු විසඳුමක් අප යා යුතු තැනට අප ගෙන යාමට සමත් නොවන බවය. එබැවින් අප කල යුතුව ඇත්තේ අපගේ හෘද සාක්ෂියට අනුව අපගේ නායකයා විසින් පෙන්වා දී ඇති මාවතේ යාමයි. අපේ රටෙහි සිදුව තිබෙන වෙනස්කම් සැලකිල්ලට ගන්නා අතර මේ මාවතේ ගමන් කිරීමෙන් පමනක් අපගේ අරමුන අපට සාක්ෂාත් කරගත හැකිය.
එබැවින් මහත්වරුනි, කම්කරු පන්තියේ නායකයින් සමග, විශේෂයෙන්ම පිලිප් ගුනවර්ධන මහතා හා ආචාර්ය එන්.එම්. පෙරේරා සමග සාකච්ඡා ඇරඹීමට මම තීරනය කලෙමි. ඔවුන් දෙදෙනාම සිය අදහස් ඉදිරිපත් කල නමුත් ඔවුන් පැවසූ සියල්ල සමග මා එකඟ නොවූ බව මා පැවසිය යුතුය. පසුව මම ඉතිරිව ඇති ප්‍රශ්න ගැන තවදුර සාකච්ඡා පැවැත්වීමි.
අපට සභාග ආන්ඩුවක් පිහිටුවිය හැකි ද? එසේ නම් එය කල හැක්කේ කෙසේ ද? අප සලකා බැලිය යුතු ප්‍රශ්න නම් මේවාය. පසුව ඔවුහු, මඑපෙ හවුල්කාර පක්ෂ එකට බද්ධ කල 1956 ගිවිසුම වැනි පොදු වැඩ පිලිවෙලක පදනම මත ආන්ඩුවක් පිහිටුවිය හැකි බව මා වෙත දැනුම් දුන්හ. එවැන්නක් පොදු අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කල හැකි ආන්ඩුවක් වූ බව ඔවුන්ට තිබුනු අදහසයි.”
ජූනි 07 ඉරිදා පැවති ලසසප සමුලුවේදී ඡන්දය විමසීමට පැය කිහිපයකට පෙරාතුව පවා, පැරිසියේ එක්සත් ලේකම් මන්ඬලය වෙනුවෙන් පියරි ෆ්රෑන්ක්, එවාපෙ පිලිබඳ තම පිලිවෙත කියාදෙමින් සිටියේය. ලෙස්ලි ගුනවර්ධන හා කොල්වින් ද සිල්වාගේ “මාධ්‍යමික” කන්ඩායම ඔහුට සහාය දුන්හ.
වාසනාවකට මෙන් ඒ කිසිවකටත් යටත් නොවූ විප්ලවවාදී වාමාංශය සමුලුවෙන් ඉවත්ව ගියේය.
එසේ වුව ද, පැරිසියේ එක්සත් ලේකම් මන්ඩලය සහ ගුනවර්ධන හා ද සිල්වා වැනි කුනුවූ නායකත්වය විසින් ඒ වන විටත් දැඩි ව්‍යාකූලත්වයට හා ¥ෂිත භාවයට පත්කොට පාවාදෙනු ලැබ පැවති පක්ෂය මෙහෙයවා ගැනීම දැන් මුදල් ඇමති වන තැනට එලඹ සිටි ආචාර්ය එන්.එම්. පෙරේරාට එතරම් අපහසු කාරියක් නොවීය. පක්ෂය ඔහුට විශාල බහුතරයක් ලබා දුන්නේය.
ලංකාවේ විප්ලවවාදී වමේ සමහර ගැටලු
ලංකා සම සමාජ පක්ෂයේ නායකයින් හා යුරෝපයේ පැබ්ලෝවාදී ජාත්‍යන්තර මධ්‍යස්ථානය අතර පැවති සම්බන්ධතාවය, දේශපාලන පහසුව තකා කරගත් කරකාරයකි.
මුලින් කී ලසසප නායකයන් ලංකාවේ ධනපති දේශපාලඥයින්ගේ පීඩනය හමුවේ දන ගසා අවසානයේදී සභාග ආන්ඩුව තුලට තමන්ගේම පාර කපා ගත් අතර පසුව කී පැබ්ලෝවාදී මධ්‍යස්ථානය, 1938 ලියොන් ට්‍රොට්ස්කි පිහිටවූ හතරවන ජාත්‍යන්තරයේ ශාඛා දියකර හැරීමේ නියුක්තයෝ වූහ.
1954 වසරේ දී බි්රතාන්යයේ ජෝන් ලෝරන්ස් හා ඔහුගේ කන්ඬායමට අපගේ සංවිධානයෙන් බිඳී කොමියුනිස්ට් පක්ෂයට බැඳීමට අඩිතාලම දැම්මේ මයිකල් පැබ්ලෝය. ලෝරන්ස් කොමියුනිස්ට් පක්ෂයට ඇතුලු වීමට යෝජනා කල කල්හි පැබ්ලෝ අඩිය පස්සට ගෙන ඔහුව විවේචනය කලේය.
කලින් කල ලසසප පිලිබඳව පැරිසියේ එක්සත් ලේකම් මන්ඩල මධ්‍යස්ථානය කල විවේචන කියවා ඇත්තෙමු. ඒ සෑම විටෙකදීම ඔවුහු, මෙම පක්ෂය ලෝකයේ ඇති ලොකුම ට්‍රොට්ස්කිවාදී පක්ෂය ලෙස හුවා දැක්වූහ. එහි නායකයින් සමග ඔවුහු අතිජාත මිත්‍ර සන්ථවයක් පවත්වාගෙන ගියහ.
පැබ්ලෝ, ෆ්රෑන්ක් හා ජර්මේන්, එන්.එම්. පෙරේරා ගෙන ගිය සංශෝධනවාදී පිලිවෙත් ගැන හොඳින් දැන සිටියෝ ය. 1960 මැතිවරනයෙන් පසුව සභාගය සඳහා සිය සූදානම ගෙනහැර දැක්වූ දිග යෝජනාවක් ලිවූ පෙරේරා එය පැරිස් මධ්‍යස්ථානයට ද ඉදිරිපත් කලේය. එම ලිපිය තුල ඔහු, තම ප්‍රතිපත්තිය පැබ්ලෝ නායකත්වය අනුගමනය කල “ඇතුල්වීමේ” පිලිවෙත මගින් යුක්ති සහගත කලේ ය.
එහි මතු දැක්වෙන කොටස, “ඇතුලුවීම” සඳහා ද ඇල්ජීරියාවේ එෆ්එල්එන් වැනි ජාතික ධනපති පක්ෂ හා ව්‍යාපාරයන්ට පූර්න සහාය දැක්වීම සඳහා ද පැබ්ලෝගේ පිලිවෙත සමග සාරභූතව එකඟ අදහස් හෙලිදරව් කලේ මෙසේය.
“ලසසපය සංයුක්තව පහත සඳහන් පියවර ගත යුතුව ඇත. සියල්ලටත් වඩා එලඹෙන මැතිවරනයේදී සටන් වැදීම පිනිස නිතරඟ ගිවිසුමකට එලඹීම, සමග උද්ඝෝෂන ව්‍යාපාරය තුල දිම ශ්‍රීලනිප සමග ආන්ඩුවක් පිහිටුවීමට සහාය දීමට සූදානම ප්‍රකාශ කල යුතු ය. මෙයට කොන්දේසි පැනවීම මගින් වැට බැඳිය යුත්තේ විකල්ප ආන්ඩුවක් වටා රොක්වීමට සූදානම් බලවේග දුබල කිරීමට අප සූදානම් නම් පමනි.
“දෙවනුව, හවුල් ආන්ඩුවක් පිහිටුවීමේ දෘෂ්ටිය කෙරේ මැතිවරනයට පෙර ඇතිවිය හැකි වුවද පුලුල් ප්රගතිශීලී වැඩපිලිවෙලක ට ඉඩක් පවතී. නිදසුනක් ලෙස, (ඒ) ජීවිත රක්ෂනය ජනසතු කිරීම, එහෙත් සියල්ල නොවේ, (බී) බැංකු පාලනය, එහෙත් ජනසතුව නොවේ, (සී) ආන්ඩුව සියලු අත්‍යාවශ්‍ය භාන්ඩ ආනයනය කිරීම, එහෙත් සියලු ආනයන හා අපනයන නොවේ, (ඩී) ආදායම සීමාවක් පැනවීම යනාදි වශයෙනි.
“එවන් ක්‍රියාශීලි පිලිවෙතක් පන්ති සහයෝගිතාවය යයි අවමානයට පත්කල හැකිය, එක එල්ලේ හෙලා දැකිය හැකිය. පන්ති සහයෝගිතාව පිලිබඳ මෙම චෝදනාව යුක්තිසහගත වන්නේ ශී‍්‍රලනිපය එහි පන්ති ස්වභාවයෙන් සුලු ධනපති පක්ෂයක් බව පිලි නොගන්නවා නම් පමනි. කෙසේ වෙතත්, ප්රතිසංස්කරනවාදී සමාජ-ප්රජාතන්ත්ර පක්ෂ ගත් කල, එවන් ඇතුලුවීම් අලුත් නොවේ. පාලනයට සහභාගි වීම පිලිගැනීම මගින් අප, ඇතුල්වීම ඉන් ඔබ්බට තවත් අඩියක් පෙරට ගෙන යන බව සැබෑවකි. ජනතාව තම මිථ්‍යාවන් බිඳගැනීමට අවශ්‍ය අත්දැකීම තුලින් ගමන් කරවීමේ ද අපගේ නිර්මල භාවය පිලිබඳ විශ්වාසය තහවුරු කිරීමට ද හොඳම මාවත මෙය නොවේ ද? ජනතාවට බොහෝ දේ ඉගෙනීමට ඉඩ සැලසෙනු ඇත්තේ, අප විසින් වසර ගනනාවක් තිස්සේ ගෙන යන ප්රචාරයට වඩා අපගේ අනුග්‍රහය ලත් නිර්භීත ප්රගතිශීලී පියවර කිහිපයක් මගිනි. මෙවන් පියවර අපගේ සමාජවාදී ක්‍රියාමාර්ගයට අනුකූල විය යුතු අතර අපගේ සමාජවාදී පිලිවෙත් ඉදිරියට ගෙනයනු ඇත.
“මෙය පාර්ලිමේන්තුවාදය ලෙස හෙලාදැකීමට ද ඉඩ තිබේ. මා දැනටමත් පෙන්වාදී ඇති පරිදි ඓතිහාසික සාධක විසින් පක්ෂය ඉමහත් ලෙස පාර්ලිමේන්තු අරගලය තුලට තල්ලු කර ඇත. පාර්ලිමේන්තු අරගලය ද බලය සඳහා අරගලයකි. සර්වජන ඡන්දය විසින් පාර්ලිමේන්තු අරගලයේ වැදගත්කම ඉහල නගිනු ලැබ ඇත. සර්වජන ඡන්දය හිමිකරගත් කිසිදු රටක ධනපති පන්තිය විප්ලවවාදී ලෙස පෙරලා දමා නොතිබීම ඉතිහාසය පිලිබඳ අහම්බයක් නොවේ. ධනවාදය පෙරලා දැමීමේ මහජන අරගල පැන නැගිය හැකි නමුත් බලය ලබාගැනීම සඳහා වාහනයක් ලෙස සර්වජන ඡන්දය කම්කරුවන් අතට පත්කර තිබීම නිසා, සත්තකින්ම එවන් තත්වයක් තවමත් පැනනැගී නැත. සර්වජන ඡන්දය මහජන අරගලයේ මුවාත මොට්ට කරන බව පිලිගත යුතුය. සටන්කාමී කම්කරු පන්ති ක්‍රියා දිගින් දිගටම පැන නගිනු ඇත. එහෙත් බලය පැහැර ගැනීමට අවශ්‍ය මුදුනකට ඒවා ලඟාවී නැත....
මා මීට පෙර ද සඳහන් කර ඇති ආකාරයට, ඇතුලු වීමේ එවන් පිලිවෙතක අන්තරායන් හා බොරු වලවල් නොතකා හැරීම ද එලෙසම වැරදිය. එය විශේෂයෙන්ම මුලදී ශ්‍රිලනිපයේ ප්රගතිශීලී ස්වභාවය ගැන තවත් මිත්‍යාවන් නිර්මානය කිරීමට ඉඩ තිබේ. අප පාලනයට සම්බන්ධවීම තුල ද නිසැක අන්තරායන් පවතී. කම්කරුවන්ගේ ඉල්ලීම් හා වැඩ වර්ජන සම්බන්ධයෙන් ලසසප ඇමතිවරුන්ට අමිහිරි තීන්දු ගැනීමට සිදුවිය හැකිය. අපට එම අන්තරායන් පහ කිරීමට නොහැකි විය හැකි නමුත් ඒවා අවම කල හැකිය.
අපගේ පක්ෂ සංවිධානය කි‍්‍රයාත්මක කරමින් හා එය හරහා ගෙන යන ක්‍රමානුකුල ප්‍රචාරය මෙම ඇතුල්වීමේ උපායන්හි අරමුන හා සැබෑ අර්ථය පැහැදිලි කිරීම. මෙම කාර්යය නියමාකාරව ක්‍රියාත්මක කලහොත්, ශ්‍රීලනිප ශාඛා විනිවිද ගම්බද ප්‍රදේශවල වඩාත් ප්‍රගති ශීලී නැඹුරුවක් සහිත තරුනයින් දිනා ගැනීමට සමත් වුවහොත්, (2) පෘථුල කම්කරු ප්රඥප්තියක් සඳහා බල කිරීම තුලින්, සමහර අවශ්‍යතම ප්‍රති සංස්කරන දිනාගැනීමෙන් පවත්නා ක්රමයේ වඩාත් දුෂ්ඨ සමහර දේ උගුල්ලා දැමීමට ආධාර වනු ඇත. හාම්පුතුන්ට එරෙහි වූ ද කම්කරුවන් කෙරෙහි වඩා සානුකම්පික වූ ද ආකල්පයක් ගැනීමෙන්, බලය අල්ලා ගැනීමේ අපගේ ඊලඟ අදියර සඳහා ඔවුන් සන්නද්ධ කිරීමට හැකිවන පරිදි කම්කරුවන්ගේ විශ්වාසය දිනාගැනීමට හැකිවේ.”
පැබ්ලෝගේ ද ඔහුගේ අනුචරයන්ගේ ද විවෘත කෘෂෙව්වාදී වැඩ මෑතකදී ලංකාවේ සභාග ආන්ඩුවක් පිහිටුවීමත් සමග සම්පාතවීම අර්ථභාරී ය. එහෙත් පැබ්ලෝව නෙරපා දැමූ (පියරි) ෆ්රෑන්ක් හා (අර්නස්ට්) ජර්මේන් අතර මෙන්ම, පැබ්ලෝ ද එන්.එම්. පෙරේරා හා ඔහුගේ අනුචරයන් අතර ද මූලික විධික්‍රමාත්මක වෙනසක් ඇත්තේ නැත.
සත්තකින්ම, ගත වූ වර්ෂය තුල පැබ්ලෝට ලංකාවේ සිදුවෙමින් තිබුනු දේ පිලිබඳ ඍජු පාලනයක් තිබුනේ නැත. ලංකාව පිලිබඳ සියලු තීන්දු ගනු ලැබුවේ එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂය ද ඇතුලු ජර්මේන් සහ ෆ්රෑන්ක් විසිනි.
මේ මොහොත වන විට ජර්මේන් එස්ඩබ්ලිව්පීයට එරෙහිව බටහිර යුරෝපය තුල කන්ඩායමක් ගොඩනැගීමේ යෙදී සිටින බව ප්රකටය. ඔහුගේ සමීපම හවුල්කරුවෝ සමාජ ප්රජාතන්ත්ර පක්ෂය තුලට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දියකර හැරීම කරා යොමු වී සිටිනා අයයි.
මෑතකදී ජර්මේන්, පෙරකල්හි ලියොන් ට්‍රොට්ස්කිගේ ලේකම් ලෙස තමාව ම හඳුන්වා ගැනීමට කැමති ජෝසෆ් හැන්සන් මහත්මයා වියරු නාකි ගැහැනියක් ලෙස ද ඔහුගේ එස්ඩබ්ලිව්පීය “අවස්ථාවාදී පක්ෂයක්” ලෙස ද හැඳින්වීය.
ලසසපයේ විප්ලවවාදී අංශයෙහි ගැටලු, මෙම පරිහානියෙන් වෙන් කල නොහැකිය. මෙම සහෝදරවරු 1953 පටන් ජාත්‍යන්තර ව්‍යාපාරය තුල කුමක් සිදුවී ද යන්න පිලිබඳව බොහෝ සාකච්ඡා ඇතිවූ බව දැන සිටිති.
එහෙත් ලිඛිත වචන කිහිපයක් සහ ජාත්‍යන්තර කටයුතු පිලිබඳ සටහන් ස්වල්පයක් හැරුනු කොට, වසර දහයක් තිස්සේ සිය ගැටලු පිලිබඳව ලසසපය තුල කිසිසේත්ම බැරෑරුම් සාකච්ඡාවක් පැවත් වී නැත. සුලුතරයට සහාය දැක්වූ බොහෝ සහෝදරවරුන්, 1938 ට්‍රොට්ස්කි විසින් පිහිටුවන ලද හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර සහ ජාතික පිරිහීම අතර සම්බන්ධතාවය දැන සිටියේ නැත.
ලසසප විප්ලවවාදී අංශයේ අනාගතය දැන් රැඳී ඇත්තේ ප්‍රධාන කොටම මෙම සම්බන්ධතාවය පිලිබඳ බැරෑරුම් අධ්‍යයනයක් මතය.
එස්ඩබ්ලිව්පීය සහයෝගය දුන්, ජර්මේන් හා ෆ්රෑන්ක්ගේ මගපෙන්වීම යටතේ වූ එක්සත් ලේකම් මන්ඬලය, ජූනි 07දා ලසසප සම්මේලනයේදී ඡන්දය විමසන තාක් කල්, ලෙස්ලි ගුනවර්ධන හා ද සිල්වාගේ මාධ්‍යමික කන්ඩායමට ද එක්සත් වාම පෙරමුනේ පිලිවෙතට ද සහාය දැක්වූහ. විප්ලවවාදී අංශය සමුලුවෙන් පිටව යාමෙන් පසුව පියරි ෆ්රෑන්ක් ඊට සහාය දැක්වූ යේ ඉතා අකමැත්තෙනි.
මොනයම්මැ හෝ ආකාරයකින්, සමුලුවට පෙරාතුව විප්ලවවාදී සුලුතරයට සහාය නොදැක්වූ ඔවුන්, සෑමවිටම උත්සාහ කලේ, පක්ෂ අභ්‍යන්තරයේ සාමය හා එක්සත්කම පිලිබඳව කන්නලව් මගින් සැබවින්ම අභ්‍යන්තර අරගලය දියකර දැමීමට ය.
එක්සත් ලේකම් මන්ඩලය 1964 ජනවාරියේදී, එක්සත් වාම පෙරමුන හා ඔවුන් අතර අවසන් එකඟතාවයේ පදනම පිලිබඳව ලසසප නායකත්වයට යොමු කල ලිපි ද ඇතුලත් සඟරාවක් නිකුත් කලේය.
ඒ සඟරාව තුලම ඔවුහු සුලුතරයේ යෝජනාව ද පල කලෝය. සාකච්ඡාව සඳහා මේ යෝජනාව යොමුකර තිබුනේ 1963 ජූලි 07දා වුවත්, එක්සත් ලේකම් මන්ඩලය, 1964 මුල වන තෙක් තම ශාඛාවන්ගේ දැනගැනීම පිනිස එය ඉදිරිපත් කලේ නැත. එය එක්සත් වාම පෙරමුනේ අන්තරාය පිලිබඳව සමස්ත ව්‍යාපාරයටම මෙසේ අනතුරු අඟවා තිබුනි.
“හෙට දිනයේ කම්කරු පන්තිය හා පුලුල් ජනතාව, තමන්ගේ විමුක්තිය රැඳී ඇත්තේ ඊනියා “වාම පෙරමුන” බලයට පත් කිරීම තුලයයි විශ්වාස කරන තැනකට දැක්කිය නොයුතුය. ඒ වෙනුවට කල යුත්තේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක මාවත ඔස්සේ ලංකාව තුල ශී‍්‍රලනිප ආන්ඩුව හා අනෙකුත් ධනපති බලවේගයන්ට එරෙහිව, සෘජු ජනතා කි්රයාවන් සඳහා ඔවුන් සංවිධානය කිරීම හා එක්සත් කිරීමයි.”
එක්සත්ව ලේකම් මන්ඬලය විසින් පක්ෂව හෝ විපක්ෂව එකදු වචනයකින් හෝ තොරව මෙය යලි පල කලේය. එවන් නිහඬතාවයක් විසින් සුලුතරය වෙත දිනාගත හැකිව තිබූ බොහෝ සහොදරවරුන් නිසැකවම නොමග යැවිනි.
පැරිස් මධ්‍යස්ථානයේ සමහර නායකයෝ තිරයට පිටුපසින්, අපැහැදිලි ලෙස සුලුතරයේ නායකයින්ට සහාය දැක්වූ නමුත් ප්‍රසිද්ධියේ මාධ්‍යමිකයින් වෙත දැඩිව නැඹුරු වුහ. මෙම මූනු දෙකේ පිලිවෙත පැබ්ලෝවාදයේ විධික්රමයන්ට ආවේනික වේ.
කොල්වින් ද සිල්වා සහ ලෙස්ලි ගුනවර්ධන ඔවුන්ගේ හෙංචයියන් ද සමඟ එන්.එම්. පෙරේරා හා සභාග ආන්ඩුව පිටුපස ක්‍රියාත්මකව පෙලගැසී සිටින මේ දැන් පවා, එක්සත් ලේකම් මන්ඩලය ඔවුන් නෙරපා හරින්නේ නැත. එය තවමත් බලාපොරොත්තු වන්නේ, වාම හා දක්ෂිනාංශික අංශ අතර තමන්ට උපාමාරු දැමිය හැකි සංවිධානයක් තනා ගැනීමට විප්ලවවාදී වම සමග එකමුතුවකට ඔවුන් ගෙන ආ හැකි බවය.
ඇත්ත වශයෙන්ම, එක්සත් ලේකම් මන්ඩලය සුලුතරයේ නායකයින් බොහෝ දෙනෙකුට දැඩි සතුරුකමක් දක්වයි. මක්නිසා ද යත්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පිලිවෙත් පිලිබඳව බැරෑරුම් වග විභාග කිරීමක් සිදුවන්නට යන බව එක්සත් ලේකම් මන්ඩලය දන්නා හෙයිනි.
සභාග ආන්ඩුව පිහිටුවීමෙන් පසුව, ලසසපයේ ප්‍රතිවිරුද්ධ කන්ඩායම් දෙක අතර වෘත්තීය සමිති ගනනාවක් තුල බලය සඳහා රුදුරු අරගලයක් සිදු විය. මෙයින් බොහෝ වාසි ලබාගත්තේ නිසැකවම, පියරි ෆ්රෑන්ක් දිවයින තුල සිටිය දී විශේෂ සාකච්ඡා පැවැත්වූ, ෂන්මුගදාසන් විසින් මෙහෙයවුනු කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල ය.
එක්සත් වාම පෙරමුන හරහා නොන්ඩි ගැසූ ෆ්රෑන්ක් දැන්, ට්‍රොට්ස්කිවාදයට දැඩි ලෙස සතුරු වූ චීනයට ගැතිකම් දක්වන ප්රවනතාවක් සමග තවත් සන්ධානයක් සඳහා ඉව ඇල්ලුවේ ය. ෆ්රෑන්ක් ෂන්මුගදාසන් සමග කථා කරන අතරතුරේ ම ෂන්මුගදාසන්, සභාගය ගොඩනැගීමේ සම්පූර්න වාසිය ගනිමින්, මාධ්‍යයන් ට අවධාරනයෙන් පැවසුවේ, සභාගය වනාහි ට්‍රොට්ස්කිවාදී පිලිවෙත්වල විපාකය බවයි.
ලසසප විප්ලවවාදී අංශයට දැන් පැවරී ඇති ඓතිහාසික කර්තව්‍යය නම්, ලංකාවේ විප්ලවවාදී පක්ෂයක් අලුතින් ගොඩනැගීමයි. අතීතයට එහි පැවති සම්බන්ධතාවය වටහා ගෙන පැරිසියේ එක්සත් ලේකම් මන්ඬලයෙන් මුලුමනින්ම බිඳී වෙන්වීමෙන් පමනි එය ඉටුකිරීමට ඔවුන් සමත් වනු ඇත්තේ. . . ඔවුන්ගේ තැන පවත්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකත්වයයි.
Follow us on