පොලිස් ප්‍රහාරයෙන් පසු සබරගමුව සරසවිය දින නියමයක් නොමැතිව වසා දමයි
කපිල ප්‍රනාන්දු විසිනි, 2014 ඔක්තෝබර් 9
පසුගිය සෙනසුරාදා සබරගමුව සරසවියේ නේවාසිකාගාරයක් විවෘත කිරීමට පැමිනි උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායකගේ ගමන් මග අවුරමින් පැවති සිසු විරෝධතාවන් පොලිස් කැරලි මර්දන ඒකකයේ ජල ප්‍රහාර මගින් විසුරුවා හැරින. විරෝධතාවන්හි කොටසක් ලෙස, නව කාන්තා නේවාසිකාගාරයේ නවාතැන් ගැනීම ප්‍රතික්ෂේප කල ශිෂ්‍යාවෝ ශිෂ්‍ය නේවාසිකාගාරයේ ලැගුම් ගත්හ. මෙය විනය විරෝධී බව පැවසූ සරසවි පරිපාලනය දින නියමකින් තොරව සරසවිය වසා දැමීය. අනතුරුව විරෝධතාවලට සම්බන්ධ සිසුන් දඩයමට ලක් කිරීමට පොලිසිය වැඩට බැස තිබේ.
සරසවියේ පැවති උත්සවය සියලු සිසුන් විසින් වර්ජනය කර තිබුනු අතර සිසුන්ගෙන් තොරව පැවති එම උත්සවය ඇමතූ දිසානායක “මේ දවස්වල මැතිවරන නිසා අපි නිහඬව ඉන්නවා නැත්නම් ඔය සත්යග්රහවලට සලකනවා” යනුවෙන් පවසමින් සිසුන් සම්බන්ධයෙන් ආන්ඩුවේත්, තමාගේත් නරුම ආකල්පය ප්‍රදර්ශනය කලේය. ශිෂ්‍ය සංගම් තහනම් කිරීම ඇතුලු ශිෂ්‍ය මර්දනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) විසින් සබරගමුවේ ආරම්භ කර ඇති සත්‍යග්‍රහය ද ඇතුලු සත්යග්රහ මගින් ආන්ඩුවට කිසිදු බලපෑමක් නොමැති බව පැවසූ දිසානායක උද්ඝෝෂනයේ යෙදී සිටින සිසුන් “මැක්කන්, මදුරුවන් හා කූඩැල්ලන්” ලෙස හෙලා දැක්කේය. දිසානායක මෙලෙස තර්ජනය කරමින් පවසන්නේ ශිෂ්‍යයන් මත ක්‍රියාත්මක කර තිබෙන රාජ්‍ය මර්දනය ප්‍රමානවත් නොවන බවයි.
පසුගිය මාසයේ, පේරාදෙනිය සරසවියේ කලමනාකරන පීඨය විවෘත නොකිරීම සම්බන්ධව කරුනු දැක්වූ දිසානායක, ආන්ඩුවේ ‘සංවර්ධන ව්‍යාපෘතිවල’ කීර්තිය විරෝධතාවල ජයග්රහන ලෙස හුවා දැක්වීමට ශිෂ්‍ය සංගම් ප්රයත්න දරන බැවින් සත්යග්රහ නවතන තුරු සරසවිවල ව්‍යාපෘති නවතා දමන බවට තර්ජනය කලේය. කෙසේ නමුත්, අවිශිබමයේ විරෝධතා හා සත්යග්රහ අධ්‍යාපනය මත නව වටයක කප්පාදු හා ශිෂ්‍ය මර්දනය තීව්ර කිරීම සඳහා ආන්ඩුව විසින් යොදා ගනිමින් තිබෙන බව පැහැදිලිව පෙන්නුම් කෙරෙන කරුනකි.
දිසානායකගේ පැමිනීමට පෙර දිනයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ සබරගමුව ශිෂ්‍ය එකමුතුව නමින් පෙනී සිටින ශිෂ්‍ය සංගමයේ නායකයෝ, ඉදිකොට ඇති කාන්තා නේවාසිකාගාරය අසම්පූර්න හා ආනාරක්ෂිත බවත් සරසවි භූමියේ විශාල ඉඩකඩක් තිබියදී සරසවියට කිලෝ මීටර් 3 ක් පමන දුරින් නන්පෙරියල් වතු යායේ ඉදිකිරීමට නියමිත පිරිමි නේවාසිකාගාරයට යාබදව හමුදා කඳවුරක් පිහිටා ඇති බවත් පෙන්වා දුන්හ.
ඉදිකොට ඇති කාන්තා නේවාසිකාගාරය භූමි මට්ටම් දෙකක පිහිටි ගොඩනැගිලි සංකීර්න දෙකක් බවත් ඒ ගොඩනැගිලි අතර නාය යෑම වලක්වනුවස් වෙනම තාප්පයක් ඉදිකල යුතු බවට ඉන්ජිනේරුවරු නිර්දේශ කර තිබියදී එය ඉදිකර නොමැති බවත් ගොඩනැගිලිවල වැහිපීලි, කානු පද්ධති වැනි දේ නොමැතිව නේවාසිකාගාරය අසම්පූර්නව විවෘත කොට ඇති බවත් එහිදී ඔවුහු හෙලිදරව් කලහ. ඔවුන් එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ පෙර විවෘත කල භූ විද්යාපන පීඨයේ ඉදිකිරීම් හා ක්‍රීඩා පිටියේ අසම්පූර්න ඉදිකිරීම් මේ වන තෙක් සම්පූර්න කර නොමැති බවයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල පරිපාලන කොමින් සභාව මෙම ගැටලු පිලිබඳව දැනුවත් කර ඇති බව ද ඔවුහු පැවසූහ.
සිසුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කල දිසානායක, හමුදා කඳවුරට යාබදව පිරිමි නේවාසිකාගාරය ඉදිකරන බවත් උද්ඝෝෂනවල යෙදෙන සිසුන් හට රටේ පවත්නා නීතියට අනුව දඬුවම් ලැබෙන බවත් ප්‍රකාශ කර සිටියේය. දිසානායක නේවාසිකාගාරයේ වැහිපීලි නොදැමීම සාදාරනීකරනය කලේ එමගින් ඩෙංගු මදුරවන් බෝවන බව විහිලු සහගත ලෙස කියා සිටිමිනි.
සබරගමුව සරසවියේ ආරම්භය හා විකාශනය සලකා බැලීමේ දී නිසි ප්‍රමිතියකින් තොරව නේවාසිකාගාර ඉදිකිරීම සම්බන්ධ සිසුන් නගන චෝදනාවල යුක්ති යුක්ත භාවය සනාථ වේ. කම්කරු‐පීඩිත ජනතාවගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ලංකාවේ ධනපති පාලක පන්තියේ නොතැකීම හා නො හැකියාව පිලිබඳ දීර්ඝ වාර්තාවක් සබරගමු සරසවිය සම්පාදනය කරයි. එය 1995 දී ආරම්භ කරන ලද්දේ සමනල වැව ව්‍යාපෘතියේ අත්හැර දමන ලද ගොඩනැගිලි කිහිපයක වන අතර එය සරසවියක් ආරම්භ කිරීමට සුදුසු ස්ථානයක් වූයේ ද නැත. එහි කෘෂි පීඨය පිහිටවනු ලැබූවේ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශයේ අත්හැර දමන ලද ‘ගම්උදා’ ව්‍යාපෘතියේ ගරා වැටුන ගොඩනැගිලිවලය.
ඉහත හේතු නිසාම එතැන් පටන් ගෙවුන සෑම වසරක්ම නිසි අධ්‍යාපනයක් කර ගත නොහැකි බරපතල ඌන පහසුකම්වලට සිසුන් මුහුන දුනි. සරසවියේ අවිධිමත්භාවය කියාපාන තවත් සාධකයක් වූයේ බාහිරින් කුලියට ගත් අනාරක්ෂිත නේවාසිකාගාර පද්ධතියයි. වසර කිහිපයකට පෙර ඉන් එක් නේවාසිකාගාරයකදී විදුලි සැර වැදී සිසුවකු මරනයට පත් විය. වැසි නොමැති මාසවල දී දූවිලි කුනාටුවලින් සරසවි භූමිය වැසී යෑම හා සරසවි භූමියේ භූගත ජල මූලාශ්‍ර නොමැතිවීම සිසුන් මුහුන දෙන ප්‍රධානය ගැටලු අතර වෙයි. පවත්නා දුෂ්කර කොන්දේසි හේතුවෙන් එහි සේවය කිරීමට ආචාර්යවරුන් දක්වන බලවත් අකමැත්ත හේතුවෙන් විශාල ආචාර්ය හිඟයක් පවතී.
මෙවැනි කොන්දේසි යටතේ වර්ධනය වන ශිෂ්‍ය නොසන්සුන්තාවය මැඩීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ශිෂ්‍යයන්ගේ ප්රජාතන්ත්රීය අයිතීන් මත පෙර නොවූ ප්‍රහාර එල්ල කරමින් පවතී. සබරගමුව සරසවියේ ශිෂ්‍ය සංගම් තහනම් කිරීම ඇතුලු සෑම සිසු විරෝධතාවයකට පොලිස් ප්‍රහාර එල්ල කර තිබෙන අතර උද්ඝෝෂනවලට සහභාගීවීම මත පන්ති තහනමට හා ශිෂ්‍ය භාවය අහෝසි වූ සිසුන් දුසිම් ගනනකි. දැනට මාස දෙකකට පෙර ශිෂ්‍යයන් අතර වාර්ගික ආතතීන් ඇවිලවීම සඳහා පදනම් විරහිත ලෙස දෙමල ශිෂ්‍යන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් එක් ශිෂ්‍යයෙකු වන සන්දීර්කුමාර් සුදර්ශන් ත්‍රස්ත විමර්ශන අංශය මගින් තවමත් රඳවා ගෙන සිටී.
සබරගමුව සරසවිය ලංකාවේ අධ්‍යාපන කප්පාදුව පිලිබඳ එක් පැතිකඩක් පමනක් වන අතර එය ධනේශ්වර ක්‍රමය යටතේ ගුනාත්මක නිදහස් අධ්‍යාපනයක් ලබා ගත නො හැකිය යන්නට බලගතු නිදසුනකි. 2008 සිට පුපුරා ගොස් අවපාතයක් දිසාවට ගමන් කරන ලෝක ධනේශ්වර අර්බූදය යටතේ ප්‍රධාන ආර්ථික බලයන්ගේ සිට ලංකාව වැනි අඩු දියුනු යයි සැලකෙන රටවල් දක්වා අධ්‍යාපනය ඇතුලු සියලු කම්කරු පන්තියේ අතීත ජයග්රහන අතුගා දැමීම සඳහා ලොව පුරා පාලක පන්තීන් සමාජ ප්රතිවිප්ලවයක් දියත් කොට තිබේ.
ලංකාවේ තවත් ව්‍යාජ වාම පක්ෂක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නායකත්වය ලබන අවිශිබමය සිසුන් දේශපාලනිකව අවමංගත කිරීම සඳහා වැඩට බැස තිබේ. අවිශිබමයේ වැඩපිලිවෙල වන්නේ අවශේෂ කම්කරු පීඩිතයන්ගේ අරගලවලින් ශිෂ්‍ය අරගල හුදකලා කර එක් විරෝධතාවකින් තවත් විරෝධතාවයකට හෝ තවත් සත්යග්රහ වැනි ආන්ඩුවට බලපෑම් දැමීමේ දියාරු විරෝධතාවල සිසුන් සිරගත කරමින් සමාජ කප්පාදු වැඩසටහන්වල මූලය වන ලෝක ධනේශ්වර අර්බූදයේ සැබෑ තතු වසන් කිරීම ය. දේශපාලන බංකොලොත්භාවය වසා ගැනීම සඳහා අවිශිබමය පසුගිය දිනවල රජරට සරසවියේ ශිෂ්‍ය මර්දනයට හා සම සෞඛ්‍ය උපාධිය කප්පාදුවට එරෙහිව මාස ගනන් ඇදී ගිය සත්යග්රහවලදී ආන්ඩුව ලබාදුන් සීමිත සහන හා කල්ගැනීම් විශාල ජයග්රහන ලෙස උත්කර්ෂයට නැගීමේ නිරත වූයේ ය.
සබරගමුව සරසවියේ දී ඇමති වට කර ගනිමින් සාකච්ඡාවක් ඉල්ලා බෙරිහන් දුන් සබරගමුව ශිෂ්‍ය සංගම් එකමුතුවේ කැඳවුම්කරු රසිදු ජයසිංහ ඊට පසු දින තිබු සිසු විරෝධතාවයකදී ඇමති දිසානායකගේ අවලාදවලට එකට එක කිව්වේ මෙසේය. “සරසවි සිසුන් දහස් ගනනක් කොලඹට එනවා එතකොට බලමු මොකද වෙන්නේ” යනුවෙන් කල පූච්චානම් අවිශිබමයේ දේශපාලන බංකොලොත්භාවය විදහා දක්වයි. අවිශිබමයේ මෙම බංකොලොත් වැඩපිලිවෙල යොමු වී ඇත්තේ සිසුන් රාජ්‍ය මර්දනයට ගොදුරු කරමින් ආන්ඩුවේ කප්පාදුවලට මග පාදා දීම සඳහා පමනි.
Follow us on