ජර්මානු බුද්ධිමත්තු හා පලමුවන ලෝක යුද්ධය

German intellectuals in World War I

වෙරනා නීස් විසිනි, 2014 ඔක්තෝබර් 20

වර්තමානයේ ජර්මානු යුදවාදය යලි හිස එසවීම සුලු ධනේශ්වර බුද්ධිමතුන්ගේ හා සැලකිය යුතු තරම් ශ‍්‍රාස්ත‍්‍රාලිකයන්ගේ උද්යෝගීමත් සහයෝගය දිනාගෙන ඇත. වසර මුලදී, ජර්මානු ජනාධිපති ගොක් “මිලිටරි සීමාවන්ගේ අවසානය” නිවේදනය කිරීමෙන් ඉක්බිතිව, මාධ්‍යවේදීන් හා “නිපුන” ශ‍්‍රාස්ත‍්‍රාලිකයින් බොහෝ දෙනෙක් මැද පෙරදිග හා නැගෙනහිර යුක්රේනයේ යුද බිම් වෙත ජර්මානු හමුදා භටයන් යැවීම සඳහා කැඳවුම් කර තිබේ. ජනගහනයේ බහුතරය යුදවාදය ප‍්‍රතික්ෂේප කරද්දී මෙකී ශ‍්‍රාස්ත‍්‍රාලිකයෝ, යුද බෙර වයමින් මිලිටරිය යලි සන්නද්ධ කිරීම සඳහා සහයෝගය දක්වති.

මීට අවුරුදු සියයකට පෙර පලමුවන ලෝක යුද්ධය පුපුරා යද්දී, ශාස්ත‍්‍රාලික පැලැන්තිය පෙන්නුම් කල හැසිරීම පිලිබඳ සමාලෝචනය වර්තමානයේ දිග හැරෙන සිදුවීම් පිලිබඳ සිත් සසල කරවන සාම්‍යයන් ගනනාවක් ඉස්මතු කරයි.

පලමුවන ලෝක යුද්ධය පුපුරා යෑමෙන් මාස දෙකකට පමන පසුව, 1914 ඔක්තෝබර් 4 වන දින, “93 දෙනාගේ ප‍්‍රකාශය” (1) ලෙස ප‍්‍රකට ලියවිල්ල එලි දැක්වුනි. ලේඛකයන් හා කලාකරුවන් ඇතුලු 93 දෙනෙක් එහිදී, ජර්මානු හමුදාවන් බෙල්ජියමේ සිදුකරන ලේ වැකි අපරාධ, සංස්කෘතිය සඳහා අරගලයක් ලෙස සාධාරනීකරනය කිරීමට සහ යුද්ධය හුවාදැක්වීමට උත්සාහ දැරූහ. “ශිෂ්ඨ සම්පන්න ලෝකයට ආයාචනයක්” මැයෙන් ප‍්‍රකාශනය මුලින් ම ජර්මානු බසින් ද, ඉන් ඉක්බිතිව තවත් භාෂා 10 න්ද පලවිය. “ජර්මානු ම්ලේච්ඡයන්” ට එරෙහි පරුෂ හෙලා දැකීම් ඇතුලත් ප‍්‍රකාශන පලකරමින් එංගලන්ත සහ ප‍්‍රන්ස විද්‍යාඥයෝ ඊට කෝපය පලකරන ප‍්‍රතිචාර දැක්වූහ.

“ශිෂ්ඨ සම්පන්න ලෝකයට ආයාචනයක්” කරමින් ලිපිය අත්සන් කල අය අතර විල්හෙල්ම් රොන්ට්ජන්, පසුව අත්සන ඉවත්කරගත් මැක්ස් ප්ලෑන්ක් විල්හෙල්ම් ෆොස්ටර්, අර්නස්ට් හේකල් පෝල් අර්ල්රික්, එමිල් ෆිෂ්ර්, ආදී කැපී පෙනෙන ශාස්ත‍්‍රඥයන් ගනනාවක් වීය. කිහිප දෙනෙකුම නොබෙල් ත්‍යාගලාභීන් වූහ.

මැක්ස් ලිබර්මන්, මැක්ස් රයින්හාට්, එංගල්බර්ට් හම්පර්ඩින්ක්, ගහාට් හොට්මන්, මැක්ස් හෝල් වැනි ප‍්‍රසිද්ධ කලාකරුවන් ද ප‍්‍රකාශනයට අත්සන් කලහ. වාස්තු විද්‍යාඥ සහ බවුහවුස් (නාට්‍ය ගුරු කුලයේ) පූර්වගාමී බෲනෝ පෝල්, ප‍්‍රකාශනවාදී කිවිවරයෙක් වූ රිචඩ් ඬේමල්, සහ ගුස්ටාෆ් ක්ලිම් ගේ වියානා බෙදුම්වාදී කවයේ (Vienna Secessionist circle) සාමාජිකයන් වූ මැක්ස් ක්ලින්ගර් සහ මැක්ස්මිලින් ලෙන්ස් ආදීන් ද අත්සන් කල අය අතර විය.

ප‍්‍රකාශනය, සැප්තැම්බරයේ දී නාට්‍ය රචක ලුඩ්විග් හුල්ඩා සොබාදම් කිවි සහ නාට්‍ය රචක හර්මන් සඩර්මන් විසින් ලියන ලදී. ඊට ජර්මානු අධිරාජ්‍ය නාවික කාර්යාලයේ සහ විශේෂ කටයුතු කාර්යාලයේ අනුමැතිය ලැබුනි.

ඒ වන විටත්, බෙල්ජියමේ ප‍්‍රකාශිත නිර්පාර්ෂික භාවය නොතකා එම රට ආක‍්‍රමනය කල ජර්මන් හමුදාවෝ එහි යුධ අපරාධවල නිරතව සිටියහ. එහි වූ මධ්‍යතන යුගයේ පුස්තකාලයද ඇතුලත් ලූවෙන් නම් පැරනි නගරය “ජර්මානු හමුදාවන් විසින් සමතලා කෙරින. රැඳවියන් වෙඩි තබා ඝාතනය කිරීම, සිවිල් ජනතාව ත‍්‍රස්ත කිරීම, ගම්බිම් ගිනිතබා විනාශ කිරීම, ඔවුන් සිදු කලහ. අගෝස්තු 23 වන දින ඩිනට් නමැති බෙල්ජියම් නගරයේ සිවිල් වැසියන් 674 ක් පමන මරා දමන ලදී. ජර්මානු හමුදා විසින් මරා දමන ලද මුලු වැසියන් ගනන දල වශයෙන් 6000ක් විය.

මේ කිසිවක්, සංස්කෘතියේ ආරක්ෂාව සඳහා යයි යුද්ධය උදෙසා අඬබෙර වයන්නන් ලෙස කි‍්‍රයාකිරීමෙන්, ප‍්‍රකාශනය අත්සන් කල අය වලකාලූයේ නැත. මාටින් ලූතර්ගේ 95 තිසීසය අනුකරනය කරමින් ඔවුහූ මෙසේ ලියූහ.

“අපේ හමුදාවන් ලූවෙන් නගර වාසීන්ට තිරිසන් ලෙස සැලකනු ලැබුවායයි කීම සත්‍යයෙන් තොරය. කෝපාවිෂ්ඨ වැසියන් ද්‍රෝහී ලෙස අප භටයන්ගේ නිවහන් වලට කඩාවැදීමට දඬුවමක් ලෙස නගරයේ කොටසකට වෙඩි තැබීමට වේදනාබර හදවතින් වුව ඔවුන්ට බලකෙරිනි.

“අපගේ යුද මෙහෙයුම් ජාත්‍යන්තර නීතිය ගරු නොකරනවා යයි කීම සත්‍යයෙන් තොරය. ඔවුන් හිතුවක්කාර ක‍්‍රියාවන්හි යෙදෙන්නේ නැත. එහෙත් පෙරදිග පොලව රුසියන් හමුදාවන් විසින් අනුකම්පා විරහිත ලෙස ඝාතනය කල ගැහැනුන් සහ ලමයින්ගේ රුධිරයෙන් නැහැවී ඇත. අපරදිග දී ඩම් ඩම් උන්ඩ වලින් අපගේ සොල්දාදුවන්ගේ පපු පෙදෙස් ඉරා දැමේ. රුසියානුවන් හා සර්බියානුවන් සමග හවුල්වන්නාවූ දල සුදු වර්ගයාට එරෙහිව මොන්ගෝලියානුවන් හා නීග්‍රෝවරුන් උසිගැන්වීමේ ලජ්ජා සහගත දසුන් ලෝකයාට ඉදිරිපත් කරන්නවුන්ට ද තමුන් ශිෂ්ඨාචාරයේ ආරක්ෂකයන්සේ හඳුන්වා ගැනීමට කිසිදු අයිතියක් නොමැත්තේය.”

ආයාචනයේ අවසානය ජර්මානු යුදවාදය උත්කර්ෂයට නංවමින් - “ජර්මානු යුදවාදය නොවන්නට, ජර්මානු ශිෂ්ඨාචාරය වැනසී බොහෝ කල්ය” - සහ මහජනතාව සහ හමුදා අතර ඒකීයත්වය අයැදමින්- ජර්මානු හමුදාව සහ ජර්මානු ජනතාව යනු එකක්මය. අද දින ඒ ගැන දැනුවත්ව සිටින මිලියන 70 ක් වන ජර්මානුවන්, සියලුම ශ්‍රේනීන්, සියලු නිලයන්, සියලු පක්ෂ සහෝදරත්වයෙන් එක් කරයි.

“ගතේ කෙනෙකුගේ බීතෝවන් කෙනෙකුගේ සහ කාන්ට් කෙනෙකුගේ උරුමයන්, තමන්ගේම මුලුතැන්ගෙය හා නිවස්න සේම ශුද්ධ වූ ලෙස සලකන්නාවූ ශිෂ්ඨ සම්පන්න ජාතියන් වෙනුවෙන් පෙනී සිටින” බව නරුම ලෙස කියා පාමින් ලියවිල්ල අවසන් වේ.

ඉතිහාසඥ ජෙෆ්රි වර්හේ ලියන පරිදි “1914 අගෝස්තුවේදී, ජර්මානු කලාකරුවන්, ලේඛකයන්, මාධ්‍යවේදීන් හා ශ‍්‍රාස්ත‍්‍රාලිකයන්, වඩාත්ම යුද්ධකාමී අන්ධ දේශානුරාගික ජර්මානුවන් අතර විය.” (2) වුල්ෆ්ගෑන්ග් ක්රූස් මෙසේ අවධාරනය කලේය. “දේවධර්මාචාරීන්, කිවියන් සහ චින්තකයන්, ආයාචනා, දේශන, කතා සහ ලේඛන සැබෑ ගංවතුරක පරිමානයට ප‍්‍රකාශයට පත් කරමින්, යුද්ධයේ අර්ථභාරය විග‍්‍රහ කිරීමට තැත්කිරීමට හා තම ජාතියේ යුද ප‍්‍රතිපත්ති යුක්ති සහගත කිරීමට තැත් කලහ.” (3) ජර්මනියේ සුවිශේෂි තත්වය මෙසේ විය. අර්නස්ට් පයිපර් සහ වොල්කර් යුල්රිච් ඊට සමාන විස්තර ඉදිරිපත් කර ඇත. (4)

“ශිෂ්ඨ සම්පන්න ලෝකයට ආයචනයක්” පලවී සති දෙකක් යෑමට ද මත්තෙන් 1914 ඔක්තෝබර් 16 වනදා “ජර්මානු අධිරාජ්‍යයේ විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ. ප‍්‍රකාශය ”පලවූ අතර එය “ජර්මානු ජනතාවගේ ආත්මය හැර වෙනකක් ජර්මානු හමුදාවේ නැත. මන්ද යත් ඒ දෙකම එකක් බැවිනි. එමෙන් ම අප ද එහි කොටසක් වෙමු” යයි ප‍්‍රකාශ කලේ ය. තව දුරටත්, “යුරෝපයේ ශිෂ්ඨාචාරයමත්, මුක්තිදායක ජයග‍්‍රනය මත රඳා පවතී.... ඒ සඳහා ජර්මානු මිලිටරිවාදය සටන් කරනු ඇත.” යනුවෙන් ප‍්‍රකාශ කලේය. සම්භාව්‍ය කලාකරු උල්රික් ෆොන් විලොමොවිට්ස්-මොල්එන්ඩෝෆ් විසින් ආරම්භකත්වය දුන් මෙම ප‍්‍රකාශයට තෘතියික තලයේ ගුරුවරු 4000කට ආසන්න සංඛ්‍යාවන් - එනම්, ජර්මානු අධිරාජ්‍යයේ මුලු ගුරු මඩුල්ලම පාහේ - අත්සන් තැබූහ.

අනෙක් අතට, භෞතික විද්‍යාඥ ජෝර්ජ් ෆෙඞ්රික් නිකොලායි විසින් 1914 ඔක්තෝබර් මස රචනා කල, “යුරෝපියන්ට ආයාචනයන්” නම් වූ සාමවාදී ජුනි ප‍්‍රකාශනයට ජර්මන් විද්‍යාඥයන් අතුරෙන් ලැබගත හැකිවුයේ, භෙතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්, දර්ශනවාදී ඔටෝ බුලූක් සහ තාරකා විද්‍යාඥ විල්හෙල්ම් ෆොස්ටර් (කලින් “ශිෂ්ඨ සම්පන්න ලෝකයට ආයාචනයක්” හි අත්සන් තැබූ) යන අයගේ අත්සන් 3 පමනි. අවසානයේ එය ජර්මන් බසින් පලවීම සිදු නොවිනි.

යුද්ධය ආරම්භක සමයේදී ශාස්ත‍්‍රාලිකයන් ගේ හැසිරීම ගැන, 1915 වසන්තයේදී ඇල්බට් අයින්ස්ටයින් කියා සිටි පරිදි “ශත වර්ෂ තුනක අප‍්‍රතිහත සංස්කෘතික ආයාසයක්, ආගමික උම්මන්තකභාවයෙන් ජාතික උම්මන්තකභාවය කරා පරිවර්තනයට වැඩි ප‍්‍රතිපලයක් නොගෙන අපේ යුරෝපයක් ගැන අනාගත ශත වර්ෂයන්ට විශ්වාස කරනු හැකිවේද? නොයෙක් රටවල ශාස්ත‍්‍රාලිකයන් පවා හැසිරෙන්නේ මාස 8 කට පෙර ඔවුන්ගේ මස්තිෂ්ක ශල්‍යකර්මයන් මගින් ඉවත්කර ඇති සේය.”

“යුරෝපීය සංස්කෘතිය” උදෙසා අරගලය

“සංස්කෘතියේ ආරක්ෂාව” සඳහා වූ සෝචනීය ආයාචනය, ජර්මානු අධිරාජ්‍යවාදී අරමුන වසං කිරීම උදෙසා සේවය කලේය. බොන් නුවර ඉතිහාසඥයින්ගේ සැප්තැම්බර් මස 1 වන දින ප‍්‍රකාශය මගින් මෙය මනාව පෙන්නුම් කෙරුනි.

“විරුද්ධ මත නොඉවසන ජැකොබින්වාදී මූලධර්ම, කොල්ලකාරී දේශපාලන පක්ෂයන්හි ස්වාර්ථ සාධනය සහ ප‍්‍රතිපත්ති විරහිත පුවත් පත් මගින් දේශපාලන චින්තනය පාලනය කිරීම” ප‍්‍රන්සය අරා සිටින නිසා, ජර්මනිය “යුරෝපීය සංස්කෘතියේ උසස්ම අගයන් සඳහා සටන් කිරීමට” කැඳවුම් කර ඇති බව එය ප‍්‍රකාශ කලේය.

ජර්මානු අනසකට යටත් කරගෙන සිටිනා ස්ලාවික් ජනතාවන් නිදහස් කරගෙන තමන්ගේ ආරක්ෂාව යටතට ගැනීමට රුසියාවට අවශ්‍යවී ඇතැයිද, එවන් පියවර “මනස හිරිවට්ටන සුලු, සාහසික හා පිලිකාවන් බඳු ඒකාධිපති තත්වයන්” පමනක් ගෙනෙනු ඇතැයිද, එංගලන්තය “තනිකරම භෞතික ස්වාර්ථවාදය” සඳහා පෙනී සිටින්නේ යයිද එය චෝදනා නැගීය. බොන් හි ඉතිහාසඥයන්ට අනුව, “ලෝක වෙලඳාමේ ලාභය තනිකරම බි‍්‍රතාන්‍යය සතුකරගැනීම උදෙසා” ජර්මන් නාවුක බලය හා වානිජ බලය විනාශ කිරීමට එංගලන්තයට අවශ්‍යවී ඇත.

යුද්ධයට පක්ෂව පවත්වන රැස්වීම් සඳහා නාභීන් බවටද, යුද්ධය සඳහා ශිෂ්‍යයන් හා තරුන ඇදුරන් අතරින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන අය බඳවා ගැනීමේ ස්ථාන බවටද, විශ්ව විද්‍යාල පත්විය. ඒවා යුද්ධය සඳහා න්‍යායික මතවාද සකස් කරන ස්ථාන ලෙස කි‍්‍රයාත්මක විය. මෙහිදී අද දින හම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ පුරෝගාමියා වූ, බර්ලිනයේ ෆෙඩි‍්‍රක් විල්හෙල්ම්ස් විශ්ව විද්‍යාලය කැපීපෙනෙන භූමිකාවක් ඉටු කලේ ය.

“ජර්මන් ජනතාව වෙත” නමින් 1914 අගෝස්තු මස 6 වන දින දෙවැනි විල්හෙල්ම් කයිසර්ගේ ආයාචනය බර්ලින් දේවධර්මාචාරී ඇඩොල්ප් වොන් හාර්නැක් සහ ඉතිහාසඥ රයිනල්ඞ් කොස්ර් විසින් කෙටුම්පත් කෙරිනි. “මා ජර්මන් ජනතාවක් මිස, දේශපාලන පක්ෂ නොදනිමි.” යන කුප‍්‍රකට සිද්ධාන්තය ආයාචනයේ අඩංගු ය.

බුද්ධිමය “විශිෂ්ඨයන්” අතර - බර්ලින් මහාචාර්යවරු එසේ තමන් හඳුන්වා ගැනීමට ප‍්‍රිය කලහ - දේවධර්මාචාරීන් වූ අර්නස්ට් ට්‍රොල්ෂ් සහ රයිනල්ඞ් සීබර්ග්, නීතිවේදී ඔටෝ ෆොන් ගීක් සහ ඉතිහාසඥයින් වන හාන්ස් ඩෙල්බ‍්‍රක්, ඩියට්රිච් ෂාෆර්, ඔටෝ හයින්ට්ස් සහ ෆෙඞ්රික් මයිනෙක් ද වූහ. යුද්ධය පැවති කාලය තුලදී, අන්‍යොන්‍ය සාමයක් සඳහා නාමිකව වඩාත් පක්ෂපාතී මත පලකරන්නන්ගෙන් කෙනෙක් බවට පත් වූ, මින් අවසනට සඳහන් තැනැත්තා, යුද්ධය පුපුරා යද්දී (තමාද ඇතුලත්) බර්ලින් මහාචාර්යන්ගේ හැසිරීම ගැන 1922 සඳහන් කල පරිදි: “අපි පෙරමුනට ඉදිරියෙන් නොව, පෙරමුනෙහි සිටියෙමු.”

භයංකර මිනිස් ඝාතනය විසින් යුද්ධය පිලිබඳ මුල් ප‍්‍රමෝදය අහෝසි කලායින් පසුවද, බර්ලින් මහාචාර්යවරු බහුතරයක් අධිෂ්ඨාන සහගතව සිටිනා ලෙස ජනතාවට කැඳවුම් කර සිටියහ. ඒ අනුව 1916 ජූලි 27 වන දාතමින් යුතුව “ජයග‍්‍රහනය සඳහා අධිෂ්ඨානය” නම් (යුද්ධය සඳහා) දිරි ගන්වන ප‍්‍රකාශනය එලි දැක්විනි. (5)

ජනතාවගේ එක්සත්කම පිලිබඳ මිථ්‍යාව

වර්තමාන අධ්‍යයනයන් රැසක් පෙන්වා දෙන පරිදි, පුලුල් ලෙස අලෙවි වූ, 1914 “අගෝස්තු අත්දැකීම” - එනම් යුද්ධය සඳහා සර්වග‍්‍රාහී උනන්දුව - ප‍්‍රචාරය කරනු ලැබූ මිථ්‍යාවකි. යුද්ධය සඳහා හමුදා බලමුලු ගැන්වීමට පෙර අවසන් දින කීපයේ පවා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් සංවිධානය කල යුද විරෝධී රැස්වීම් සඳහා කම්කරුවන් ලක්ෂ 7-8 ක් පමන සහභාගී විය. කයිසර් විසින් කල යුද ප‍්‍රකාශය, කම්කරු පන්තිය සහ ගම්බද ප‍්‍රදේශ වල මුදා හැරියේ උනන්දුව නොව බිය සහ කම්පනයයි.

යුද නය සඳහා අනුමැතිය දුන්, 1914 අගෝස්තු මස 4 දින කොන්සර්වැටිවි පක්ෂ සහ සමග ගිවිසුම් ගත වූ, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ ඓතිහාසික පාවාදීම සහ දැන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුවත් පත් මගින් පවා වර්ධනය කෙරෙන, අනවරත යුද ප‍්‍රචාරනය නිසාම පමනක් සමහර කම්කරු කොටස් යුද්ධයට සහයෝගය දීමට පෙලඹින. මෙයට ප‍්‍රතිකූලව මධ්‍යම පන්තීන්, විශේෂයෙන්ම උගත් මධ්‍යම පන්තිය, යුද්ධය උද්යෝගිමත්ව වැලඳගත් අතර, විවෘතවම රාජාන්ඩුව සහ අධිරාජ්‍යවාදී ආන්ඩුව සමග පෙල ගැසුනාහ.

19 වන ශතවර්ෂය අගදී ජර්මනියේ කාර්මික නැගීම, පන්ති ප‍්‍රතිඝතිතා උත්සන්න කල අතර, මහාචාරීන්, ගුරුවරුන්, පූජකයන් සහ අනෙකුත් ශාස්ත‍්‍රාලිකයන් ශක්තියෙන් වර්ධනය වන්නාවූ විප්ලවකාරී කම්කරුවන්ගේ ව්‍යාපාරය පිලිබඳව වඩ වඩාත් සැක බිය සහිත වූහ. වොල්කර් උල්රික් ලියා ඇති පරිදි, “මෙය උගත් පන්තීන් දකුනට, පැරනි බලවත් ප‍්‍රභූන් වෙතට, තල්ලු කල අතර, ජාතික වාදය හා යුදවාදය වැනි විරුද්ධවාදී දර්ශනවාදයන් පිලිගැනීමට ඔවුන් සූදානම් කලේය.”

1848 ජර්මන් ප‍්‍රාන්ත රාජ්‍යයන්ගේ විප්ලවයේ අසාර්ථකත්වයද, අවසානයේ දී 1870 - 71 ජර්මන් - ප‍්‍රන්ස යුද්ධය මගින් ප‍්‍රචන්ඩ ආකාරයෙන් ජර්මනිය එක්සත් කිරීම ද පූර්ව අවධියේ බොහෝ නිදහස් මතධාරීන් ඔටෝ වොන් බිස්මාර්ක් ගේ උද්යෝගිමත් ආධාරකරුවන් බවට හරවනු ලැබීය.

පලමුවන ලෝක යුද්ධ අවසාන සමයේ දී, ඉතිහාසඥ පෙඞ්රික් මයිනෙක් සිහිපත් කල පරිදි, කලක පැරනි පාලක පන්තීන්ට එරෙහිව සටන් වැද සිටි, “විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලත් මධ්‍යම පන්තිය එම සිද්ධි වලින් පසුව” කෘෂිකාර්මික රාජ්‍යයකින් කාර්මික රාජ්‍යක් කරා සංක‍්‍රාන්තියේදී නිර්මානය වූ පුලුල් කම්කරු හා පීඩිත ජනතාවන් ඇතුලු සියලුම සමාජ ස්ථරයන් පිලිබඳව ආරක්ෂා සහගත වෙමින්, සමාන යුවරාජ්‍යත්වයක් වැන්නක් නිර්මානය කිරීමේදී පාලක කොටස් සමග මුලුමනින්ම බද්ධ වූහ.

විසිවන ශතවර්ෂය මුල දී, ශ‍්‍රාස්ත‍්‍රාලික ප‍්‍රභූන් අතර මෙන්ම මිලිටරි සහ දේශපාලන කවයන් තුලද වංශාධිපති පැලැන්තිය නායක භූමිකාවක් ඉටු කලේය. “බුද්ධිමය වංශාධිපතිත්වයක්” ලෙස තමන්ව දැකගත්, උගත් මධ්‍යම පන්තික කවයන් හි කොටස්, වංශවතුන් ගේ ඇඳුම් පැලඳුම් විලාසිතා අනුකරනය කිරීම සහ ඔවුන්ගේ ප‍්‍රතිගාමී ශිෂ්‍ය සංගමයන් සමග සහයෝගී වීමේ සිට වැඩවසම් ද්වන්දව සටන් සම්ප‍්‍රදායන් වැලඳ ගැනීම දක්වා යමින් තමන්ගේ ජීවිත රටා වංශවතුන්ගේ මෙන් අනුවර්තනය සඳහා උත්සාහ දැරූහ. ප‍්‍රසියානු පන්ති තුනේ ඡන්ද හිමිකාරිත්වය අහෝසි කිරීම වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම් ප‍්‍රභූ ගර්වයෙන් ප‍්‍රතික්ෂේප කිරීම ඔවුන්ගේ යුදකාමී මානසිකත්වය සමග අත්වැල් බැඳ ගති.

ඉතිහාසඥ ෆී‍්‍රඞ්රික් පෝල්සන් (Fiedrich Paulsen) 1895 වන විටත්, උගත් මධ්‍යම පන්තිකයන්ගේ “අමානුෂීය උද්ධච්ඡය” ගැන නොසතුට පලකර තිබුනි. එය “දේශ මාමකත්වය ලෙසින් පෙනී සිටින ඝෝෂාකාරී, පටු, ජාතිකවාදී උද්ධච්ඡ කමක්” හරහා තමන්ට වඩා වාසනාවන්ත කමෙන් අඩු අයගේ වියදමින් තමන්ගේ උසස් බව පුම්බා ගැනීම කරා ඔවුන් යොමු කරවු බව ඔහු ලිවීය.

එලෙසම අද දින ශාස්ත‍්‍රාලික ප‍්‍රභූව ප‍්‍රවර්ධනය කරන යුද ප‍්‍රචාරනය “අමානුෂික උද්ධච්ඡ” කමකින් සංලක්ෂනය වෙයි. එකම වෙනස වන්නේ ජර්මානු යුදවාදය කරා නැවත හැරීම ඔවුන් සාධාරන කරනය කරන්නේ, “සංස්කෘතිය” සඳහා නොව “මානුෂීය අයිතිවාසිකම්” සඳහා කරන කැඳවුම් මගින් වීමය.

කෙසේ වෙතත්, යුද ප‍්‍රචාරනයේ දැන් පෙරමුන ගෙන සිටින්නේ - තමන් ශිෂ්‍ය සංගම් තුල සිටිද්දී ද්වන්ද සංග‍්‍රාම වලින් ලත් තුවාල කැලැල් පිලිබඳව තවමත් පුරසාරම් දොඩවන, අනම්‍ය පොසිල බඳු තත්වාරක්ෂකයින් නොවේ. ඒ වෙනුවට, දැන් තානය සකසනු ලබන්නේ කලෙක වියට්නාම් යුද්ධයට එරෙහි විරෝධතාවන්හි යෙදුනු, හරිතයන් වූ ජොෂ්කා ෆිෂර් සහ රැල්ෆ් ෆක්ස් වැනි, 1968 ශිෂ්‍ය කැරැල්ලේ ප‍්‍රවීනයන් විසින් සහ තමන්ගේ නාසි අතීතය සැඟවීමට වෙර දරන සරසවි ඇදුරන් විසින් ද වේ.

ඉතිරි වී තිබෙන්නේ කම්කරු පන්තිය සම්බන්ධයෙන් ඔවුන්ගේ පන්තිම උද්ධච්ඡ කමය - අමානුෂික උද්ධච්ඡකමය. 1968 දී මෙය ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ දර්ශනවාදය මත පදනම් වූ, ඕනෑම වර්ගයක මහජන ව්‍යාපාරයක් පිලිබඳ අවිශ්වාසය තුල මුල් බැසගත් හෝ මා ඕවාදය ලෙසින් පෙනී සිටි ස්ටැලින්වාදය උත්කර්ෂයට නැංවීම, ලෙස දැකිය හැකිය. අද දින, මෙකී ව්‍යාපාරයන්හි නායකත්වය ජර්මානු අධිරාජ්‍යවාදී යුද්ධ ප‍්‍රතිපත්තිය නැවත පන පොවා ගැනීම සඳහා ගෙන යන ව්‍යාපාරයේ පෙරමුන ගෙන සිටිති.

1960 සහ 1970 ගනන් වල රැඩිකල් ශිෂ්‍ය විරෝධතා, ධනපති සමාජයේ ධනවාදී අත්තිවාරම්වලට අභියෝග කලේ නැත. ප‍්‍රන්සයේ සහ අනෙකුත් රටවල කම්කරු පන්තිය විප්ලවීය අරගල වලට එකතු වෙද්දී, ශිෂ්‍යයන් තම විරෝධතාවන් නතර කර දමා ප‍්‍රධාන සමාජ ප‍්‍රවාහයට ඒකාබද්ධ විය. අවුරුදු සියයකට පෙරාතුව මෙන් ම, ඔවුන්ගේ වර්තමාන උන්මාදනීය යුද ඝෝෂාව පදනම් වන පන්ති ස්වභාවය එකමය. ඔවුන්ගේ වරප‍්‍රසාදලත් සමාජ තත්වයට තර්ජනයක් සේ සලකන කම්කරු පන්තිය කෙරේ සතුරුකම සහ පාලක පන්තියේ අධිරාජ්‍යවාදී උත්සුකයන්ට යටහත් කමය.

සටහන්

(1) ජර්මානු බුද්ධිමතුන් 93 දෙනාගේ ප‍්‍රකාශනය ,Manifesto of the 93 at: http://wwi.lib.byu.edu/index.php/Manifesto_of_the_Ninety-Three_German_Intellectuals

(2) ජෙෆ්රි වර්හෙ, The Spirit of 1914: Militarism, Myth, and Mobilization in Germany, CUP 2000, 1914 ශක්තිය, මිලිටරිවාදය, මිත්‍යාව හා ජර්මනියේ බලමුලූ ගැන්වීම, කප් 2000.

(3) වොල්ෆ්ගෑන්ග් ක්රූස්: Eine Welt von Feinden. Der Große Krieg 1914-1918, ෆ‍්‍රෑන්ක්ෆර්ට් ඒඑම්. 1997

(4) අර්නස්ට් පයිපර්: Nacht über Europa බර්ලින් 2013; වෝල්කර් උල්රිච්: Die nervöse Großmacht 1871-1918, ෆ‍්‍රෑන්ක්ෆර්ට් ඒඑම්. 1997, 2013.

(5) උපුටනයක්, Aufrufe und Reden deutscher Professoren im Ersten, රික්ලේම්1975, 2014

Share this article: