පොලිස් ප්‍රහාරයට ලක් වූ බඳගිරිය ප්‍රදේශවාසීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති
නන්දන නන්නෙත්ති සහ එල්.පී. උදය විසිනි, 2015 ඔක්තෝබර් 23
හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ බඳගිරිය ගොවි ජනපදයේ වැසියන් පිරිසිදු ජලය ඉල්ලා පසුගිය 12 වන දා සිදු කල උද්ඝෝෂනයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුනු ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ පොලීසිය යොදවා උද්ඝෝෂකයන්ට මුර්ග ලෙස පහර දීමෙනි. එදින පල්ලෙමලල හන්දියට රැස්වුනු දහසකට අධික ජනපදවාසීන්ට පහර දී පලවා හැරි පොලීසිය 12 දෙනෙකු අත් අඩංගුවට ගෙන වද හිංසා පමුනුවා ඔවුනට එරෙහිව නඩු පැවරීමෙන් අනතුරුව උද්ඝෝෂනයේ නිරත වූ ඇතැම් අය සොයා නිවෙස්වලට කඩා වැදුනි.
උද්ඝෝෂනයේ අරමුන වූයේ අවම වශයෙන් පවුල් 1650ක නැතහොත් 7000කට ආසන්න ජනගහනයකට ජලය සැපයෙන ජල මූලාශ්‍රය වන බඳගිරිය වැවේ ජලය පිරිපහදු කර ලබා ගැනීම හෝ වෙනත් ජල මූලාශ්‍රයකින් පිරිසිදු ජලය ලබා ගැනීම ය. වැව් ජලය අපවිත්‍ර වීම හා පිරිපහදු ක්‍රියාවලිය නිසි ලෙසට සිදු නොවන නිසා තමන් මිල දී ගෙන පරිහරනය කරන ජලයේ බැක්ටීරියා හා පලිබෝධ නාශක අඩංගු බවට සැක පල කරන බව ද මෑතක දී පරීක්ෂනයට බඳුන් වූ ජනපදවාසීන් 133කගෙන් 19කට වකුගඩු රෝගය වැලඳී තිබෙන බව ද ජනපදවාසීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූහ.
ගොවි ජනපද ව්‍යාපාරය යටතේ 1957 ඇරඹුනු බඳගිරිය ජනපදයේ පීඩිත ගොවීන්ට දශක හයකට පසුවත් පිරිසිදු පානීය ජලය නොලැබීමෙන්ම ධනේශ්වර පාලකයන් එම ගොවි ජනපද ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිලිබඳව ගසන කයිවාරුවලට විපරීතව ගොවීන් මුහුන දෙන කටුක යතාර්ථය එලිමහනට පැමිනෙයි.
තවමත් උද්ඝෝෂනය අත් නො හැර සිටින ජනපදිකයන් අතරින් කෙනෙකු වන ජේ.ඩබ්ලිව්.පී. කැලුම් ලසන්ත පොලිස් ප්‍රහාරයේ කුරිරු ස්වභාවය පැහැදිලි කරමින් ලෝසවෙඅට පැවසුවේ “එදා පල්ලෙමලල හංදියට ආවා නම් රටේ නීතිය කුමක් සඳහා දැ යි දැක ගන්නට තිබුනු” බවයි. ඔහු විස්තර කල පරිදි 12දා කොලඹ කතරගම පාරේ පල්ලෙමලල හංදියට උද්ඝෝෂකයන් රැස් වීමට පෙර පොලිස් කැරලි මර්දන හමුදාව එහි සූදානමින් සිට ඇත. මීට අමතරව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.සී.ඒ. ධනපාල හා සහකාර පොලිස් අධිකාරි සුදත් මාරසිංහ ගේ අධීක්ෂනය යටතේ ප්‍රදේශයේ පොලිස් ස්ථාන හතක් පෙල ගස්වා තිබූ බවද ඔහු පැවසීය.
ආන්ඩුව වෙනුවෙන් යමෙක් මැදිහත් වී පිලිතුරක් දෙතැයි උද්ඝෝෂකයන් බලාපොරොත්තු වුවත් කිසිවෙකුත් නො පැමිනි බැවින් ප්‍රධාන මාර්ගය අවහිර කර බලපෑම් දැඩි කිරීමට උත්සාහ කල බව ප්‍රදේශවාසීහු පැවසූහ. පැය භාගයකින් වගකිවයුත්තකු සහභාගි කර වීමේ පොරොන්දුව මත පොලිසිය මහා මාර්ගය මුදා ගත් අතර එය පොලිසියේ බොරු පොරොන්දුවක් බව දැනගැනීමෙන් කුපිත වූ ජනයා යලිත් පාර අවහිර කර තිබේ. පොලිසිය ඔවුන්ට පහර දී අත් අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය දැන් කියා සිටින්නේ ‘නීතිය හා සාමය කඩ කිරීමට’ එරෙහිව ‘අවම බලය’ යෙද වූ බවයි.
මින් පෙර සැප්තැම්බර් 27 දා මෙබඳු ම බල කිරීමේ උද්ඝෝෂනයක එම ජනපදවාසීන් නිරතව ඇත. දින දෙකක් තුල පිලිතුරක් ලබා දෙන බවට තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරයා පොරොන්දු වී ඇති නමුදු විසඳුමක ඡායාවක් හෝ නොවේ. යලි වතාවක් උද්ඝෝෂනයේ යෙදෙමින් කෙසේ හෝ බලධරයන්ගේ අවධානය දිනා ගැනීම උද්ඝෝෂකයන්ගේ අරමුන විය. එහෙත් ඔවුන්ගේ ම වචනවලින් කිවහොත්, මෙවර “ග්රාමසේවකයෙක්වත් ආවේ නෑ”.
කෙසේ වෙතත් උද්ඝෝෂනය ඉදිරියටම යන තතු යටතේ ජාතික ජල සැපයුම් හා ජලාප්‍රවාහන මන්ඩලයේ අධ්යක්ෂවරයකු වන පී.අයි.ටී. මහිල් සිල්වා ප්‍රශ්නයට ක්ෂනික විසඳුමක් දෙන බවට බඳගිරියේ දී ප්‍රකාශ කලේ ය යි පුවත්පත් වාර්තා කලේ ය. ඒ සමගම වාර්තා වූයේ බැක්ටීරියා හා පලිබෝධ නාශක මුසු වීමෙන් සිදු වන අපවිත්‍රතා සම්බන්ධයෙන් පිලියමක් යෙදීමට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම සඳහා කලක් ගත වන බව ය. එය කොපමන කලක් දැයි සඳහන් නො වේ. රජයෙන් කෙරුනු තවත් ප්‍රකාශයකින් කියැවුනේ අන්දරගස්යාය ව්‍යාපෘතියෙන් පිරිසිදු ජලය ලබා දීමට මිලියන 250ක් අවශ්‍ය බව හා ඒ මුදල ලැබුනු වහාම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි. මේ සම්බන්ධයෙන් කෝපයෙන් කතා කල ගොවියෙක් මෙසේ ප්‍රශ්න කලේය: ‘මුහුද ගොඩ කරල නගර හදන්න පුලුවන්නම් මේ තරම් සුලු මුදලක් ගැන තැවෙන්නෙ ඇයි?’
ප්‍රහාරය සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂවල ප්‍රතිචාරය ගැන පැහැදිලි කරමින් ජේ.ඩබ්ලිව්.පී. කැලුම් මෙසේ පැවසීය: “අපි ගුටි කනකොට කිසි කෙනෙක් හිටියෙ නෑ. දැන් නම් ශී‍්‍ර ලංකා, යූඑන්පී, ජේවීපී මේ හැම පක්ෂෙකින්ම අපිට කතා කරනවා. බැරක් ඔබාමා විතරයි මේ වෙනකොට කතා කරලා නැත්තේ.” ලඟ එන මැතිවරනය සඳහා මෙම සිද්ධිය ගසා කෑමට දැරෙන අවස්ථාවාදී දේශපාලන උත්සාහයන් ගැන ඔහු තවදුරටත් විස්තර කලේ ය. රූපවාහිනී නාලිකාවන්හි විකාශය කරනු වස් දේශපාලනඥයන් කැමරාව ඉදිරියේ රඟපාමින් සිටි අයුරු අපුල දනවන බැව පැවසූ කැලුම් මෙසේ ද පැවසීය: “බඳගිරියෙ මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් ඔය එකම දේශපාලන පක්ෂයකටවත් ඡන්දය නොදෙන්නැයි තීරනය කරල තියෙන්නෙ.”
පසුගිය ආන්ඩුව යටතේ සිදුකෙරුනු හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය ගැන සඳහන් කරමින් ටී.එච්. පි‍්‍රයන්ත මෙසේ පැවසීය. “හම්බන්තොටට පසුගිය ආන්ඩු කාලයේ වරාය ගුවන්තොටුපල මහාමාර්ග වගේ සංවර්ධන ව්‍යාපෘති ගොඩක් ඇවිත් තිබෙනවා. ඒවායෙන් බඳගිරිය හෝ වෙන තැනක දුප්පත් මිනිසුන්ට ලැබුනු දෙයක් නෑ. වරාය ගුවන්තොටුපල වටේම ඉඩම් ටික ලොකු ලොකු කොම්පැනිකාරයොන්ට දුන්නා. අපේ පරම්පරාව වෙනකොට එකම ඉඩමේ පවුල් තුන හතර ඉන්න වෙච්ච තත්වයක් තියෙන්නෙ. මේ දුප්පත් මිනිහෙකුට පර්චස් දහයක්වත් ලැබුනෙ නෑ. වාහන අයිතිකාරයන්ට කොන්ත්‍රාත්කාරයන්ට නිලධාරීන්ට හා දේශපාලඥයන්ගෙ හෙන්චයියන්ට තමයි සංවර්ධනය වෙන්න පුලුවන් වුනේ.”
කිලෝ මීටර 3-4 ක් ආසන්නයේ පිහිටි ගුවන්තොටුපලේ අපද්‍රව්‍ය බඳගිරි වැවට යොමු කර ඇති බවත් ගුවන් තොටුපල කි‍්‍රයාත්මක නොවන නිසා නො වේ නම් දැනටමත් තමන්ට ඒ ප්‍රශ්නයටත් විසඳුමක් සොයන්නට සිදු වනු ඇති බවත් ඔවුහු කීහ.
ගොන්නොරුව සහ බඳගිරිය සම්බන්ධ කරන කි.මී. 5ක් පමන වන මාර්ගය ප්‍රදේශවාසීන්ට අහිමි වීම මෙම ‘සංවර්ධනයේ’ තවත් ප්රතිඵලයකි. ‘සංවර්ධනයට’ යැයි කියමින් මෙම පාලම කඩා දමා ඇති අතර ප්‍රදේශවාසී ගොවිජනයාගේ අවශ්‍යතාවන් නොතකා නව ආන්ඩුව එම ව්‍යාපෘතිය නතර කිරීමත් සමග අභිනවයෙන් ඉදිකිරීමට පැවති පාලමේ වැඩ නතර කෙරී ඇත. මෙම ලිපිය පලවන මොහොත වන විට බඳගිරිය වැව පිටාර ගලා ඇති අතර මාර්ගය භාවිත කල නොහැකි තත්වයක පවතී.
මේ අතර දැනට බඳගිරිය ප්‍රජා මූල සංවිධානය මගින් පරිපාලනය වන ජල ව්‍යාපෘතිය පුද්ගලික සමාගමකට ලබා දීමේ සැලසුම් යෝජනා කෙරෙමින් පවතී. එසේ වුවහොත් දැනට ගෙවන ජල ගාස්තු කිහිප ගුනයකින් ඉහල දැමීමට නියමිත ය. ලාභය උකහා ගැනීමේ දී ඇතිවිය හැකි අර්බුදවලට මුහුන දීමේ අසීරුතාව හේතුවෙන් පුද්ගලික සමාගම් මෙම ව්‍යාපෘතිය භාර ගැනීමට පැකිලෙයි.
පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා බලධාරීන් යෝජනා කරන තරම් විශාල මුදලක් වැය නො වන බව අදාල ක්ෂේත්රයේ විශේෂඥයන්ගේ අදහස වන නමුත් ඒ සඳහා යොදා ගන්නා තාක්ෂනයට මාසිකව වැයවන විදුලිය හේතුවෙන් ජල ගාස්තු අනිවාර්යයෙන් ම ඉහල දැමෙනු ඇත. ජල ව්‍යාපෘතිය නව තාක්ෂනය යොදා පුනස්ථාපනය කරනු ලැබුවත් නඩත්තු කටයුතු භාර ගැනීමට රජය සූදානම් නැති බැවින් එම බර නැවතත් පීඩිත ජනයා මතට හෙලනු ඇත.
බඳගිරිය ජල ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ‘සේවා ලංකා පදනම’ නම් වූ රාජ්‍ය නොවන සංවිධානයක් මගින් ගොඩ නැගුනු අතර නඩත්තු කර පවත්වාගෙන යාම සදහා 2004 ජුනි 29 දා ‘ප්‍රජා මූල සංවිධානය’ට භාර කෙරී ඇත.
අනික් අතට ‘ප්‍රජා මූල සංවිධානය’ට අය කෙරෙන මුදල් පවා විදුලි බිල්පතින් ගෙවීමට සිදු වී ඇත්තේ ගැලවීමක් නැති නය උගුලක සිර වී සිටින තමන්ට ම බව ජනපදවාසීහු පැවසූහ. සෙසු සියලු ප්‍රදේශවල දුගී ගොවීන් මෙන් ම බැංකුවලට, කෘමිනාශක වෙලෙන්දන්ට හා සෙසු පුද්ගලික නය හිමියන්ට නය වීමෙන් තොරව කෘෂිකර්මාන්තයේ යෙදීම සඳහා තමන් සතු ප්‍රාග්ධනයක් නොමැති බව ඔවුහු ලෝසවෙඅ වාර්තාකරුවන්ට පෙන්වා දුන්හ. බඳගිරිය වැවේ අඩි 14ක් වන ජල මට්ටමින් අඩි 4ක් පමන මඩ තට්ටුවකින් වැසී ඇතත් ඒවා ඉවත් කිරීමට අදාල රාජ්‍ය ආයතන පියවර නොගන්නා බවද ඔවුහු තවදුරටත් පැවසූහ.
සමස්ත දිවයිනේම පීඩිතයන් මුහුන දී සිටින තත්වය මෙයයි. දිවයිනෙන් 2/3ක් වන වියලි කලාපය හා වතුකරය තුල පානීය ජල ප්රශ්නය මරනීය කොන්දේසි නිර්මානය කර තිබේ. රජයේම සංඛ්‍යා ලේඛන වලට අනුව වතු කම්කරුවන්ගෙන් සියයට 49.4 ක් අනාරක්ෂිත ජලය භාවිත කරති. රටේ සමස්ත ජනගහනයෙන් නල ජලය භාවිතා කරන්නේ සියයට 34 ක් පමනකි. උතරේ ජනයාගෙන් සියයට 60 කට පිරිසිදු ජලය සහ වැසිකිලි පහසුකම් නොමැති අතර නාගරික ජනගහනයෙන් සියයට 14.3 ක් ද ගම්බද සියයට 12.8 ක් ද භාවිතා කරන්නේ අනාරක්ෂිත ජලය යි. නල ලිං හා ආරක්ෂිත ලිං ලෙස නම් කරන ජලය ලබා ගන්නා මාර්ග ආරක්ෂිත ලෙස නම්කර ඇතත් පසු ගිය දශක කීපය තුල නොගැඹුරු භූගත ජලයේ සිදු වී ඇති දූෂන හා ලවන සහිත ජලය මෙහිදී සැලකිල්ලට ගෙන නැත. 1980 - 2005 වසර 25 තුල ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 3.1 සිට සියයට 6.5 දක්වා දෙගුනයකින් ඉහල නැගීම මෙම නො තකා හැරීමේ පරිමාව පිලිබඳ නිශ්චිත සාක්ෂියකි.
රාජපක්ෂ ආන්ඩුව 2013 අගෝස්තු 1 දා පිරිසිදු ජලය ඉල්ලා සිටි රතුපස්වල ජනයාට එරෙහිව මිලිටරිය ලවා වෙඩි තබා තිදෙනෙකු මරා දැමුනේ මෙම කොන්දේසි තුල ය. සිරිසේන-වික්‍රමසිංහ එකමුතුව විසින් රාජපක්ෂ වලලා දැමූ ප්රජාතන්ත්රවාදය යලි ගොඩ ගනු ලබන බවට දිවුරමින් පෙරලිකාරී වෙමින් පැවති මහජන ව්‍යාපාරය යලි වතාවක් ධනේශ්වර පාර්ලිමේන්තු උගුලේ සිර කිරීමට ව්‍යාජ වම්මුන් සහ ‘පුරවැසි බලය’ වැනි සංවිධාන ගෙතූ විසකුරු න්‍යායන් මෙම සිද්ධීන් මගින් පුපුරුවා හැරෙයි.
Follow us on