ඩේවිඩ් නෝර්ත් සමග සම්මුඛ සාකච්ඡාවක්
සමාජවාදය ද ම්ලේච්ඡත්වය ද: ගෝලීය කැලඹීම් පිලිබඳ ආවර්ජන
Socialism or Barbarism: Reflections on Global Disorder
2017 ඔක්තෝබර් මාසයේ දී ඩේවිඩ් නෝර්ත් ස්කොට්ලන්තයේ සෙන්ට් ඇන්ඩෲස් විද්‍යාලයේ දී ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය පිලිබඳව දේශනයක් කලේ ය. දේශනයට පෙර ඔහු, එහි ආර්ථික සමාජයේ නිල ප‍්‍රකාශනය වන, සෙන්ට් ඇන්ඩෲස් ඉකොනොමිස්ට් නම් සඟරාවේ ප‍්‍රධාන කර්තෘ ඇඩම් ස්ට්‍රොම් ගේ ප‍්‍රශ්නවලට පිලිතුරු දෙමින් සාකච්ඡාවකට සම්බන්ධ විය. අප මෙහි පලකරන්නේ එම සඟරාවේ නිල වෙබ් අඩවියේ [thestandrewseconomist.com ] 2017 නොවැම්බර් 26දා පලවූ එම සාකච්ඡාවේ ලිඛිත පිටපත ය.
ප‍්‍රධාන කතෘ ඇඩම් ස්ට්‍රොම් මේ සතියේ, මාක්ස්වාදී විද්වතෙකු ද, ක්‍රියාකාරී විප්ලවවාදී සමාජවාදියෙකු ද ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති ද වන ආරාධිත කථික ඩේවිඩ් නොර්ත් සමග සාකච්ඡාවක් කරයි.
***
පසු බිම
ඇඩම් ස්ට්‍රොම්: අපට ඔබ ගැන යමක් කියන්න, ඔබ ප‍්‍රථමයෙන්ම සමාජවාදී දේශපාලනයට යොමුවුනේ කොහොම ද?
ඩේවිඩ් නෝර්ත්: මා අයත්වන්නේ 1960 ගනන් වලදී දේශපාලනිකව රැඩිකලිකරනය වූ පරම්පරාවකට ය. මගේ පරම්පරාව සැබවින්ම එකල ගෙන යමින් තිබුනු වියට්නාම් යුද්ධයෙන් බෙහෙවින් කම්පනයට පත්ව සිටියහ. එහෙත් වඩා මූලික කාරනය, මෙම රැඩිකලිකරනය ෆැසිස්ට් වාදයේ ද දෙවන ලෝක මහා යුද්ධයේ ද භයංකර විනාශකාරිත්වයට දැක්වුනු ප‍්‍රතිචාරයක් වීමය. කෝටි ගනන් ජනඝාතන, යුදෙව්වන් මූලෝත්පාටනය කිරීම සහ ඇමරිකා එක්සත් ජනපදය අනාරක්ෂිත (ජපානයේ) නගර දෙකක් මත ට පරමානු බෝම්බ දෙකක් හෙලීම අපකෙරේ බරපතල බලපෑමක් ඇති කලේ ය.
මේ මෑත ඉතිහාසය අප කාලීන සිද්ධීන්ට දැක්වූ ප‍්‍රතිචාරය කෙරේ බලගතු බලපෑමක් ඇති කලේ ය.
මෙම ඓතිහාසික සන්දර්භය තුල, එක්සත් ජනපදය වියට්නාමයට එරෙහිව මෙහෙයවූ රුදුරු යුද්ධය, ලිබරල් කොමියුනිස්ට් විරෝධය මුලුමනින්ම අවමානයට පාත‍්‍ර කලේ ය. එක්සත් ජනපදය කරන්නේ ‘නිදහස් ලෝකය’ ආරක්ෂා කිරීමය යන කියාපෑමට පලල් ශිෂ්‍ය තරුන කොටස් අතර විශ්වාසය මුලුමනින්ම නැති විය. ධනවාදයට සහ අධිරාජ්‍යවාදයට විකල්පයක් සෙවූ තරුනයින් අතර සමාජවාදය ප‍්‍රගාමීව ජනප්‍රිය වූ යේ ය.
එහෙත් සමාජවාදය යනු කුමක් ද? රුසියානු විප්ලවයේ ආදර්ශය තිබුනි. එහෙත් ස්ටැලින්වාදී ඒකාධිපතිත්වය බොහෝ දෙනා මෙහෙයවූයේ විප්ලවය ශක්‍ය විකල්පයක් දැයි බරපතල ලෙස සැක කිරීමටය. රුසියානු විප්ලවයේ ඉරනම එතරම්ම කේන්න්ද්‍රීය ප‍්‍රශ්නයක් වූයේ ඒ නිසයි. එම ප‍්‍රශ්නයට පිලිතුරු සැපයිය හැකි වූයේ ස්ටැලින්වාදයට එරෙහිව ට්‍රොට්ස්කිගේ අරගලයේ ඉතිහාසය අධ්‍යයනය කිරීම තුලිනි. මේ සඳහා ඔහුගේ Revolution Betrayed (විප්ලවය පාවාදීම) වැනි පොත් කියවිය යුතු විය. එවිට පැහැදිලිවූ කරුන නම් ස්ටැලින්වාදය සහ නිලධාරිවාදී ඒකාධිපතිත්වය සමාජවාදී විප්ලවයේ අනිවාර්ය විපාකය නොවූ බව ය. එම ඉතිහාසය හැදෑරීම මා මාක්ස්වාදියෙකු සහ ට්‍රොට්ස්කිවාදියෙකු බවට පත් කලේය.
ඇඩම් ස්ට්‍රොම්: සමාජවාදී සමානතා පක්ෂයේ අරමුනු මොනවා ද? පසු ගිය කාලයේ දී පක්ෂය විකාශනය වූයේ කෙසේ ද?
ඩේවිඩ් නෝර්ත්: සමාජවාදී සමානතා පක්ෂය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග දේශපාලන සහෝදරත්වයෙන් යුක්තවේ. ලියොන් ට්‍රොට්ස්කි 1938 දී හතරවන ජාත්‍යන්තරය පිහිටුවූයේ ස්ටැලින් සහ ස්ටැලින්වාදය විසින් ඔක්තෝබර් විප්ලවය සහ ලෝක සමාජවාදී විප්ලවය පාවා දීමට එරෙහි ප‍්‍රතිචාරය ලෙසය. ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පැනනැංගේ මෙම ඓතිහාසික භේදයෙනි.
අපේ ඉලක්කය වන්නේ, වත්මන්හි එක්සත් ජනපදය සහ ලෝකය පුරා ක්‍රියාත්මක කරනු ලබන ධනේශ්වර ක‍්‍රමය අවසන්කොට ඒ වෙනුවට නිෂ්පාදන මාධ්‍ය ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයකට යටත් කරමින් විද්‍යාත්මක ව සැලසුම්ගත පාලනයක් ඇති කිරීම ය. අපගේ දැඩි විශ්වාසය නම්, කම්කරු පන්තිය මෙම මාර්ගයෙන්, පුද්ගලයන් ධනය සහ ලාභය සඳහා වෙර දරනවා වෙනුවට, දිලිඳු බව අහෝසි කොට අව්‍යාජ දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රයක් උදෙසා මාර්ගය නිර්මානය කරගනු ඇති කියා ය. එසේ කිරීමේ දී කම්කරු පන්තිය, යුද්ධයට, දේශපාලන පීඩාවට, සැබෑ මානුෂික සාරධර්ම සහ අපේක්ෂා යටපත් කිරීමේ අන් සකල ආකාරයන්ම ද අහෝසි කරලනු ඇත.
න්‍යායික විශ්ලේෂනය
ඇඩම් ස්ට්‍රොම්: ධනවාදය ගැටලුසහගත ආර්ථික ක‍්‍රමයක් වන්නේ මන් ද? එය ප‍්‍රතිසංස්කරනය කල හැකි ද? එසේ නොහැකි නම් ඒ මන්ද?
ඩේවිඩ් නෝර්ත්: ඉතිහාසය පිලිබඳ මාක්ස්වාදී භෞතිකවාදී සංකල්පය, ධනවාදය දැකගන්නේ, සිය පැවැත්ම සඳහා මනුෂ්‍යයා ගෙනයන අරගලයේ සන්දර්භය තුල වේ. වහල් ක‍්‍රමය, වැඩවසම් ක‍්‍රමය, ‘ආසියාතික නිෂ්පාදන ක‍්‍රමය’ සහ ධනවාදය පෙන්නුම් කලේ, මානව වර්ගයාගේ නිෂ්පාදන බලවේගවල ඓතිහාසික වර්ධනයේ අවධින් ය.
ධනවාදය පදනම්ව ඇත්තේ, කම්කරු පන්තිය සූරාකෑම මත ය. ලාභය නිර්මානය කරනු ලබන්නේ, අවශ්‍යයෙන් ම කම්කරු පන්තියෙන් අතිරික්ත වටිනාකම උපුටා ගැනීමෙනි. මාක්ස්ගේ වටිනාකම් පිලිබඳ න්‍යායට උග‍්‍ර ලෙස විරුද්ධවුව ද හැම ධනපතියාම ලාභය රැඳී පවතින්නේ කම්කරු පන්තියේ ශ‍්‍රමය මත බව දනී.
ලාභ අනුපාතිකය වැටීමට පවත්නා ප‍්‍රවනතාවය අනිවාර්යයෙන්ම පැනනගින්නේ නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය තුලින් ය. මෙම ප‍්‍රවනතාවය වලහාලීමට ධනපතියන් දරන ප‍්‍රයත්නය තුඩුදෙන්නේ, සූරාකෑමේ මට්ටම වඩ වඩාත් තියුනු කිරීමටත් පන්ති අරගලය උග‍්‍ර කිරීමටත් ය.
වර්තමාන පන්ති අරගලය වර්ධනය වෙමින් පවතින්නේ, ගෝලීය ආර්ථිකයක රාමුව තුල ය. එය නිර්නිතව ඇත්තේ ජාත්‍යන්තරව එකාග්‍රිත නිෂ්පාදනය සහ හුවමාරුව මගිනි.
භාන්ඩයක් නිෂ්පාදනය කරනු ලබන්නේ හරියටම කොතැනදැ යි හඳුනා ගැනීම වඩ වඩාත් අමාරු වෙයි.
නිෂ්පාදන බලවේගයන්ගේ ගෝලීය ස්වභාවය ද, යල්පැනගිය ජාතික රාජ්‍ය පද්ධතියක පැවත්ම ද දේශපාලන වශයෙන් ප‍්‍රකාශනය අත් කර ගන්නේ, ආන්තික ජාත්‍යෝත්තමවාදය යලි - නැගී ඒම ද, සරනාගතයන් මර්දනයට ලක් කිරීම ද, වැඩෙන ලෝක යුද්ධයේ තර්ජනය ද ලෙසය.
සෝවියට් සංගමය 1991 දී විසුරුවා හරින ලදී. සමාජවාදයෙන් කිසිදු තර්ජනයක් නැතුව ධනවාදයට කරන්නට පුලුවන් කුමක් ද යන්න දැක බලාගැනීමට අපට අවුරුදු 25කට වැඩි කාලයක් ලැබී ඇත. ඒත් අපට දකින්නට ලැබෙන්නේ, ෆැසිස්ට් වර්ගයේ ලක්ෂන දරන රාජ්‍ය යලිත් පැන නැගීමයි. ඒවා වනාහි යටින්පවත්නා ආර්ථික රෝගයේ දේශපාලන ප‍්‍රකාශනය යි. එම රෝගයේ උල්පත වනාහි, නිෂ්පාදන බලවේග පුද්ගලික අයිතියට යටත් වීම සහ කිසිසේත්ම ගෝලිකෘත ආර්ථික පර්යායක් සමග නොපෑහෙන ජාතික රාජ්‍ය පද්ධතියක පැවත්මයි.
මේ අනුව සෑම රාජ්‍යයක්ම දැන් යෙදී ඉන්නේ: අසල් වැසියා හිඟමනට දමනු යන ආර්ථික පිලිවෙත්, වෙලඳ යුද්ධ, දේශසීමා වැට බැඳීම්, සරනාගතයන් පන්නා ගැනීම, යනාදී වශයෙන් සිය පන රැකගැනීමේ කටුක අරගලයකය.
මේ සියල්ල සනාථ කරන්නේ ධනේශ්වර ක‍්‍රමයේ බංකොලොත් කමයි.
මේ පද්ධතිය පිලිසකර කල හැකි ද? නැත. දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිත්තේ, ජාතික වශයෙන් පදනම්වූ ප‍්‍රතිසංස්කරනවාදී පිලිවෙත් රටක් රටක් පාසා ආධිපත්‍යය දරා සිටියේ ය. ලෝක යුද්ධ දෙකකට පසුව ධනේශ්වරය, සිය මොල කැබලි වී යන තත්වයකට අඟල් ගනනින් ලංවී තිබුනි! මේ අනුව අර්බුදය රඳවා තබාගැනීම සඳහා හදාගත් යාන්ත‍්‍රනයන් මහාරාශියක් පෙල ගස්සා ගන්නා ලදී. එහෙත් ඒවා එකකට පසු අනෙක වශයෙන් අසාර්ථක විය. 1971 වනවිට ඩොලරය -රන් වලට මාරු කිරීමේ හැකියාව මත පදනම් කරන ලද බ්‍රෙට්න් වූඩ්ස් පද්ධතිය අසාර්ථක විය. ඊට පසු පාවෙන හුවමාරු අනුපාතික බඳු වෙනත් මූල්‍ය ක‍්‍රම ඇති විය. එහෙත් ප‍්‍රතිඝතිතා යලි යලිත් ඉස්මතු වීම අර්බුදයේ වර්ධනය ඉදිරියට තල්ලු කලේ ය. මේ වනවිට අප එලඹ සිටින්නේ අර්බුදයේ ඉතා උග‍්‍ර අවධියකට ය.
ඇඩම් ස්ට්‍රොම්: මාක්ස්වාදය සහ සමාජවාදය පොදුවේ ගත්තොත් ඒ දෙකම ප‍්‍රධාන ධාරාව තුල දේශපාලන වශයෙන් බලගතු සහ විවාදශිලී න්‍යායයන් වන හෙයින් ඒවා අරගලයේ සියවස් ගානක් හරහා ගනන් නැති ව්‍යාපාරයන් විසින් යොදාගනු ලැබ තිබේ. මාක්ස්වාදය සහ සමාජවාදය ඔබට අර්ථවත් වන්නේ කෙසේ ද? ඔබ දක්වන අර්ථයන්, ඒවා වටහා ගැනීමට බොහෝ ජනයා ට උගන්වා තිබෙන ආකරයට වඩා, වෙනස් ලෙස කැපී පෙනෙන්නේ මන්ද?
ඩේවිඩ් නෝර්ත්: ප‍්‍රථමයෙන්ම ප‍්‍රසිද්ධ කීමක් මතක් කරමි: “ජ්‍යාමිතික ප‍්‍රත්‍යක්ෂයන් ආර්ථික ආසක්තයන් සමග ගැටෙන්නේ නම්, එම ප‍්‍රත්‍යක්ෂයන් නිෂ්ප‍්‍රභ කිරීමට ප‍්‍රයත්නයක් දැරෙනු ඇත.” මාක්ස්වාදය මෙතරම් විවාදාභිමුඛ වන්නේ එය පවත්නා ආර්ථික පර්යායේ අස්ථිර ස්වභාවය තහවුරු කරන ඉතිහාස න්‍යායක් ඉදිරිපත් කරන නිසාය. මාක්ස්වාදය හෙගල්ගෙන් ආභාසය උකහා ගන්නා ප‍්‍රමානයට මෙසේ තර්ක කරයි: “පවත්නා සියල්ල විනාශ වීම ට නියමිතය. ලෝකයේ පහලවන සියල්ල පැනනගින්නේ තමන්ගේ ම විනාශයේ බීජයන් ද දරාගෙනය.” එහෙත් හෙගල්වාදය මෙන්, මාක්ස්වාදයට මෙය හුදෙක් අනාවැකියක් නොවේ. අර්බුදයන් නිර්මානය කර සමාජ විප්ලවය සඳහා කොන්දේසි සකසන්නාවූ සැබෑ, පවතින්නාවූ ආර්ථික ප‍්‍රතිඝතිතා මාක්ස්වාදය විසින් එලිදරව් කරනු ලැබ ඇත. මෙය ධනේශ්වරයට හලාහල විසකි. තමන්ගේ දින නියමවී ඇති බව අසන්නට ධනේශ්වරය කැමති නැත.
ධනේශ්වරය සදාකාලික නොවන බව පෙන්නුම් කරන්නාවූ, ඉතිහාසය පිලිබඳ න්‍යායක් ඉදිරිපත් කරන මාක්ස්වාදය, සමාජ-ආර්ථික සන්තතින්ගේ නියාම සහ ප‍්‍රතිඝතිතා පිලිබඳ වැටහීමක් සපයා දෙයි. එය සමාජවාදයේ අනිවාර්යතාව -සමාජවාදය ඉබේටම එනම් මිනිස් ක්‍රියාකාරීත්වයෙන් සහ දැනුවත් දේශපාලන අරගලයකින් තොරව ඉබේටම පහලවනු ඇතිය යන්නක්- කියාපාන්නේ නැත. එහෙත් මාක්ස්වාදය මෙසේ තහවුරු කර සිටි: නිෂ්පාදන මාධ්‍යයන් හි පෞද්ගලික අයිතිය අහෝසි කිරීම, වෛෂයික ආර්ථික සන්තතින් තුල පෙර අඟවනු ලැබ ඇත; එය වර්ධනය වන්නේ ප‍්‍රාග්ධනය, සඵලව, සමාජිකෘත වන්නාවූ වෛෂයික සන්තතියක් තුලින් ය.
‘සමාජවාදය’ යන වචනය ප‍්‍රථමයෙන්ම යොදා ගනු ලැබුවේ ලෝරන්ස් ස්ටෙයින් නම් පුද්ගලයෙක් විසින් 1820 ගනන් වලදීය. ඔහු එය ‘සමාජ සමානතාවය පිලිබඳ ක‍්‍රමානුකුල විද්‍යාවක්’ ලෙස නිර්වචනය කලේ ය.
කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ගැබ්වී පවත්නේ සමස්ත නිෂ්පාදන පද්ධතිය තුලම එය දරන තැන තුලය.
ඇඩම් ස්ට්‍රොම්: සමාජවාදියෙකු ලෙස ඔබ සැබවින්ම -පවත්නා- සමාජවාදය සෝවියට් සංගම්‍ය සහ මා ඕවාදී චීනය බඳු පාලන තන්ත‍්‍රයන්ගේ අධිකාරිවාදී දේශපාලනයට අනිවාර්ය යෙන්ම තුඩු දෙන්නේ යයි චෝදනා කරන අයට කියන්නේ කුමක් ද?
ඩේවිඩ් නෝර්ත්: ප‍්‍රථමයෙන් ම කිව යුත්තේ, එය ඉතා යුක්තියුක්ත ප‍්‍රශ්නයක් බවය. සමාජවාදය ගැන උනන්දු වූ ද ධනවාදයෙන් පිටතට මාර්ගයක් සොයන්නා වූ ද ඕනෑම කෙනෙකුට සැබවින් ම දැනගැනීමට උවමනා වන කාරනයක් නම් සෝවියට් සංගමයට සිදුවූයේ කුමක්ද? යන්නයි. ලෝකය වඩා හොඳ තැනක් බවට පත් කිරීම සඳහා තමන්ගේ ජීවිතය කැප කිරීමට උවමනා කවුරුන්ට වුව ද සත්තකින්ම නොඅසා බැරි ප‍්‍රශ්නයක් නම්: ඇත්තටම මා මේ කරන්ට යන්නේ මෝඩයෙකු සේ මිත්‍යා දෙව්ලොවක් පසුපස දිවීම ද? යන්නයි.
සෝවියට් සංගමය සම්බන්ධයෙන් ගතහොත් උත්තරය නම්, එහි සමාජ විප්ලවයක් සිදුව ඇති බවයි. එහෙත් විප්ලවයට එරෙහිව ජාතිකවාදී හා නිලධාරිවාදී ප‍්‍රතික්‍රියාවක් සිදුවීය. ස්ටැලින්වාදී තන්ත‍්‍රය එහි ප‍්‍රකාශනය විය. ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ නායකයන් බොහෝ දෙනෙකු මහා පරිමානයෙන් ඝාතනය කිරීමට ස්ටැලින්වාදය වග කිව යුතුය.
ඉතින් ප‍්‍රධාන ප‍්‍රශ්නය මෙයයි; ස්ටැලින්වාදය බෝල්ශේවික්වාදයෙන්, ලෙනින්වාදයෙන් ඓන්ද්‍රීයව පැන නැගුනා ද නැතහොත් ස්ටැලින් බෝල්ශෙවික් වාදයේ සහ ඔක්තෝබර් විප්ලවයේ මූලධර්මයන්හි දුෂ්ට විකෘතියක් ද?
මෙයට උත්තර ලබාගත හැකි වන්නේ පහත දැක්වෙන ප‍්‍රශ්න ඇසීමෙනි: මෙම පරිහානිය සිදුවෙමින් පැවති තතු හමුවේ එයට එරෙහි සටනක් කරන ලද්දේ ද? ඉතින් අපට මෙහිදී අනුමාන වල එල්බගැනීමට උවමනා නැත. 1923 දී ලියොන් ට්‍රොට්ස්කි ගේ නායකත්වය යටතේ පැනනැගුනු වාම විපාර්ශවය, රාජ්‍යය ද කොමියුනිස්ට් පක්ෂය ද ඇතුලත සිදුවෙමින් පැවති නිලධාරිකරනය ට එරෙහිව ක‍්‍රමානුකූල විවේචනයක් වර්ධනය කලේ ය. 1924 දී ස්ටැලින් සහ බුඛාරින් ‘තනි රටේ සමාජවාදය’ පිලිබඳ න්‍යාය ඉදිරිපත් කලෝ ය. මෙමගින් කියන ලද්දේ එය (රුසියාවේ සමාජවාදය) වෙනත් රටවල සමාජවාදී විප්ලවයන්ගෙන් ස්වාධීනව සිදුවනු ඇතිය යන්නයි. වෙනත් රටවල විප්ලව සාදරයෙන් පිලිගනු ඇත. එහෙත් ඒවා අවශ්‍යම නැත.
මාක්ස්වාදී සම්ප‍්‍රදාය මත පදනම්ව සිටි ට්‍රොට්ස්කි, ජාතික ආර්ථික ස්වයංපෝෂිත රාජ්‍යය, සමාජවාදය සමග සමහන් කල නොහැකියයි තර්ක කලේ ය. 1917 දී බලය අල්ලා ගැනීමට ලෙනින්ගේ යොමුවීම නිගමනය කරනු ලැබුවේ, ප‍්‍රාථමිකවම රුසියානු තත්වයන් විසින් නොව, ප‍්‍රථම ලෝක යුද්ධයෙන් පැනනැගුනු ජාත්‍යන්තර තත්වයන් විසිනි.
ස්ටැලින්වාදී තන්ත‍්‍රය පෙරලා දැමිය යුතු යයි ට්‍රොට්ස්කි කියා සිටියේ ය. හේ එම තන්ත‍්‍රයේ ප‍්‍රතිවිප්ලවවාදී භූමිකාව හෙලා දුටුවේ ය. එවන් දේශපාලන විප්ලවයක් සිදු කරනු නොලැබුවහොත් සිදුවනු ඇත්තේ, අන්තිමේ දී ස්ටැලින්වාදී තන්ත‍්‍රය විසින් සෝවියට් සංගමය විනාශ කිරීම යයි ට්‍රොට්ස්කි අනතුරු ඇඟවී ය. ඔහු නිවැරදි බව ඔප්පු විය.
ඇඩම් ස්ට්‍රොම්: ට්‍රොට්ස්කිවාදය, ඔබ සහ සසප අනුයන ලියොන් ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කරනු ලැබූ න්‍යායික මූලධර්ම ලෙනින්වාදයෙන්, ස්ටැලින්වාදයෙන් සහ මා ඕ වාදයෙන් වෙනස්වන්නේ කෙසේ ද?
ඩේවිඩ් නෝර්ත්: ට්‍රොට්ස්කි සහ ලෙනින් නියෝජනය කලේ, සම්භාව්‍ය මාක්ස්වාදී සම්ප‍්‍රදායයි. මෙම සම්ප‍්‍රදාය භෞතිකවාදී ය. සකල ආකාර දාර්ශනික අහේතුකවාදයන්ට ගැඹුරෙන්ම සතුරු ය. කම්කරු පන්තියට නියම විප්ලවවාදී භූමිකාව පැවරීය. ස්ටැලින්වාදය, මා ඕ වාදය, සහ තවත් එබඳු ඒවා සියල්ල මාක්ස්වාදය ජාතිකවාදී ලෙස විකෘති කිරීම් ය. වෙනත් වචනවලින් කිවහොත් මාක්ස්වාදයේ ජාතිකවාදී රූපාකාරයන් සියල්ල සාරභූතවම ප‍්‍රති-මාක්ස්වාදී වේ. සෝවියට් සංගමයේ දී ස්ටැලින්වාදය කලේ තමන් බලය පැහැර ගැනීම යුක්ති සහගත කිරීමට මාක්ස්වාදී වාක්‍ය පාවිච්චි කිරීමයි. එහෙත් ලෙනින් සහ ට්‍රොට්ස්කි මාක්ස්වාදය යොදාගත්තේ, සමාජ-ආර්ථික විශ්ලේෂනයක් සහ දේශපාලන මගපෙන්වීමක් සඳහාය.
සමකාලීන සිද්ධි
ඇඩම් ස්ට්‍රොම්: වෙනිසියුලාවේ හිටපු ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තෝරා පත් කරගත් ජනාධිපති වූ හියුගෝ චාවේස් ‘21 ක්වන සියවස සඳහා සමාජ වාදය’ යයි නම්කරනලද ක්‍රියා මාර්ගයක් උඩ තරග කොට යලි යලිත් ජයග‍්‍රහනය කල බව සුප‍්‍රසිද්ධ ය. ඔහුගේ මරනයෙන් පසුව, කෙසේ වෙතත්, නොඅම් චෝම්ස්කි ද ඇතුලු වමේ සමහර අය පවා වෙනිසියුලාවේ ආන්ඩුව වඩ වඩාත් ඒකාධිපති පියවරයන් යොදා ගැනීම පිලිබඳ චෝදනා එල්ල කොට තිබේ. වෙනිසියුලාවේ වත්මන් තත්වය ගැන ද ජාත්‍යන්තර මාධ්‍යවල එය පිලිබඳව ලියා ඇති දේ පිලිබඳව ද ඔබ දරන මතය කුමක් ද?
ඩේවිඩ් නෝර්ත්: එක්සත් ජනපදය වෙනිසියුලාව අස්ථාවර කරනයට නිසැකවම ඉලක්ක කරගෙන ඇත. 2000ස් ගනන් වලදී නිව් යෝක් ටයිම්ස් පුවත් පත, එරට ආන්ඩුව පෙරලා දැමීම ගැන සන්තෝෂය පලකරන කතුවැකියක් කුප‍්‍රකට ලෙස, පලකලේ එවන් සිද්ධියක් සිදුවන්නට ද පෙර ය.
එහෙත් එක්සත් ජනපදය කරන අපරාධ, මෙම සාරභූත වශයෙන්ම ජාතික ධනේශ්වර පාලන තන්ත‍්‍ර හුවා දැක්වීම සඳහා යොදා ගත යුතු නැත. මාක්ස්ගේ අදහස් අර්ථ දක්වමින් කීවොත් අප, මිනිසුන් තමන් ගැන කියාගන්නා වචන උඩ ඔවුන් ගැන අර්ථ දක්වන්නේ නැත. එසේ නම්, වෙනිසියුලානු පාලනය, සමාජවාදී යයි තමන්ට අලවා ගන්නා ලේබල් උඩ, එම පාලනය අප විසින් මැනීම නො කට යුතු නොවේ ද? බොහෝ රටවල, ධනේශ්වරය සුවිශේෂයෙන් දුබල වූ බොහෝ රටවල් තුල, ජාතික ධනේශ්වරය බලගතු බලවේගයන් දෙකක් අතර, එනම් කම්කරු පන්තිය සහ ජාත්‍යන්තර අධිරාජ්‍යවාදය අතර හිරවී ඉන්න තත්වයකට මුහුනපා සිටී. එවන් තතු තුල ය පාලක පන්තියේ සමහර කොටස් මහජන සහයෝගය ගොනුකර ගැනීම සඳහා සමාජවාදී වචන හරඹ කරන්නේ. චාවේස් ගේ වැඩ පිලිවෙල ට මුදල් සපයාගත්තේ තෙල් මිල තාවකාලිකව ඉහල යාමෙන් ලද වාසියෙනි.
එහෙත් කල් යන විට පැහැදිලි වූයේ, ඔහුගේ ජාතික ‘ව්‍යාජ-සමාජවාදී’ සංවර්ධනය මිත්‍යාවක් බව ය. සමාජවාදය සඳහා නිෂ්පාදන බලවේග ජාත්‍යන්තරව සංවිධානය කිරීම අවශ්‍ය කෙරේ. බොලිවියානු විප්ලවය ද වෙනත් වාම තන්ත‍්‍රයන්ගේ පාලනයන් ද ජාතික ක්‍රියාමාර්ග මත පදනම්ව පවතිනතාක් දුරට ද, කම්කරු පන්තිය ට තමන්ගේ ම බල සංස්ථාවන් නිර්මානය කරගත නොහැකිව ඇති හෙයින් ද සමාජවාදී යයි වර්ගකල නොහැකිය. එහි ප‍්‍රතිඵලය වශයෙන්, වෙනිසියුලාවේ හා වෙනත් ලතින් ඇමරිකානු රටවල කම්කරු පන්තිය තුල පවත්නා විභව (විප්ලවවාදී) ශක්‍යතාවයට අප දක්වන අතිමූලික සහයෝගය එම රටවල පාලක තන්ත‍්‍රයන්ට සහාය දැක්වීමක් ලෙස අර්ථකථනය නො කල යුතු ය.
ජාත්‍යන්තර මාධ්‍ය විසින් වෙනිසියුලාව පිලිබඳව වාර්තා කර ඇති ආකාරය තුච්ඡය. මෙම තන්ත‍්‍රය පිලිබඳව ඔවුන්, විශේෂයෙන්ම නිව් යෝක් ටයිම්ස් වාර්තා කරන ආකාරය ගැන අපේ ප‍්‍රකාශනය නිරතුරුව විවේචනය කර ඇත.
ඇඩම් ස්ට්‍රොම්: සසප සඳහා ඔබේ වැඩ කටයුතු වලට අමතරව, ඔබ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ [wsws] ප‍්‍රධාන කර්තෘ වරයා ද වන්නෙහිය. අන්තර්ජාලයේ සඟරාවක් ලෙස පලවන එය මේ වන විට ගූගල්, ෆේස්බුක්, සහ වෙනත් සෙවීම් යන්ත‍්‍රවල බරපතල වාරනයට ලක්ව තිබේ. ඔබගේ දිනපතා ප‍්‍රකාශනය පලකරන්නේ කෙසේ ද? මේ අන්තර්ජාල මහ සංගත ඔබව වාරනයට ලක් කිරීම සිද්ධ වුනේ කොහොම ද?
ඩේවිඩ් නෝර්ත්: අප 2018 දී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 20 වන සංවත්සරය සමරන්නෙමු. සංනිවේදන විප්ලවයේ විභවය පිලිබඳව වටහා ගැනීමට ජාත්‍යන්තර කමිටුව ඉතා යුහුසුලු වූ බව මම සිතමි. අප මෙයට අවධානය යොමුකරමින් ය, සිටියේ. අන්තිම්දී 1997 දී අපි පවත්නා මුද්‍රිත පුවත් පත වෙනුවට, දැන් ලොසවෙඅ නමින් හැඳින්වෙන දෛනික අන්තර්ජාල ප‍්‍රකාශනය ආරම්භ කලෙමු. ගිය 20 වසර තුලදී අපි විප්ලවවාදී සමාජවාදී ප‍්‍රකාශනයක් ලෙස විශාලතම පාඨකය ගොඩනගා ගත්තෙමු.
ගිය මාස හය ඇතුලත ගූගල් සෙවිලි යතුර තුලින් අපගේ වෙබ් අඩවියට පිවිසෙන්නන් සංඛ්‍යාව මහත් පරිහානියකට වැටී ඇති බව අපි දුටුවෙමු. ගූගල් මගින් අපගේ වෙබ් අඩවියට එලඹෙන අය සියයට 70ක් පමන වැටී ඇත. බොරු ප‍්‍රවෘත්ති යයි නම්කර ඒවා “fake news” හැර දැමීමට අලුත් ක‍්‍රමලේඛයක් (අල්ගොරිතම්) ගූගල් විසින් පිහිටුවාගෙන තිබෙන බව අපට පෙනී ගියේ ය. බොරු ප‍්‍රවෘත්ති යන පදයම ව්‍යාජ ප‍්‍රපංචයකි. එය අප වැනි වෙබ් අඩවි වාරනය කිරීමට යොදාගන්නා පදයකි.
ඇඩම් ස්ට්‍රොම්: මේ මාසයේ මුල ඔබ පුලිට්සර් ත්‍යාග ලාභී රැඩිකල් ප‍්‍රවෘත්ති සම්පාදක ක්‍රිස් හෙජස් සමග ඇමරිකානු දේශපාලනයේ තත්වය ගැන කල සාකච්ඡාවක් පලවිය. ඇමරිකානු දේශපාලනයේ වත්මන් තත්වය කුමක් ද, එය 21 වන සියවස තුලට ඇතුලුව සිටින මානව වර්ගයාගේ ගමන් මග පිලිබඳ ඔබේ දැක්ම කෙරෙහි බලපා ඇත්තේ කෙසේද?
ඩේවිඩ් නෝර්ත්: ට‍්‍රම්ප් වනාහි රෝගී දේශපාලන, සමාජ සහ සංස්කෘතික පරිසරයක නිර්මානයකි. ඉතින් මේ ගැන ව්‍යාකූලත්වයක් තිබිය යුතු නැත. හිලරි ක්ලින්ටන් ද වෙනස් ආකාරයකින් වුවත් එම රෝගී භාවයේම ප‍්‍රකාශනයකි. මෙම ජනපති වරනය නිරීක්ෂනය කල බොහෝ දෙනා තියුනු ලෙස අනුවත්ව සිටි කරුනක් නම්, කවර කලෙක හෝ ඉදිරිපත් කරන ලද අපේක්ෂකයන් අතුරෙන් මොවුන් දෙදෙනා, අතිශයින්ම කුප‍්‍රකට වූ බව ද ගතවු අඩ සියවස තුල සිදු වූ ඇමරිකානු ජනාධිපතිවරන ගත හොත් මෙය, පෙර නුවූ විරූ තත්වයක් සලකුනු කරන බවත් ය. ඒ වනාහි ඉවරයක් නැති පරිහානියේ අඩ සියවසකි. දැන් ඉතින් ට‍්‍රම්ප් කියන්නේ කවු ද? ට්‍රොට්ස්කි වතාවක් ඉතිහාසය පිලිබඳ “නපුරු හිට්ලර්” න්‍යාය ගැන සඳහන් කලේ ය. “හිට්ලර් අයින් වුවහොත් යුරෝපය උද්‍යානයක් සේ විකසිත වනු ඇතිය” යන න්‍යායයි. ට‍්‍රම්ප් පැන නැංගේ දූෂිත නිව් යෝක් දේපල වෙලඳපල, වෝල් වීදිය, ලාස් වේගාස් සූදුපල යනාදියෙනි. මේ සියල්ල එකතු කල කල්හි, ඔබට ලැබෙන්නේ ඩොනල්ඩ් ට‍්‍රම්ප් නමැති මෘගත්වයයි. ඔහු නියෝජනය කරන්නේ වර්තමාන “ලුම්පන් (රස්තියදුකාර)” ධනේශ්වරයේ බලයට පත්වීමයි.
ට‍්‍රම්ප් වනාහි අන්තර් සම්බන්ධිත අතිශයින්ම භයානක සන්තතින් දෙකක පුද්ගලාරෝපනය යි. එකක් නම් කම්පාකාරී ලෙස අසමාන සමාජයක නිර්මානයයි. රීගන් බලයට පත්වූ තැන පටන් සිදු ව තිබෙන්නේ, දැවැන්ත සමාජ අසමානත්වයේ ඉහල යාමක් සහ ධන සංකේන්ද්‍රනයකි. එය ජනගහනයේ මුදුනේ ම ඉන්නා ඉහල ම සියයට 1.0, 0.1 සහ 0.01 අත ධනය ගොඩ ගසා ඇති පරිමානය සිතාගත නොහැකි තරම් ය. චෞරාධිකාරය පුදුම සහගත ප‍්‍රමානයක් ධනය කඳුගසාගෙන තිබේ. මෙය වනාහි ප‍්‍රජාතන්ත‍්‍රයේ ප‍්‍රතිවාදයම වේ. මෙම චෞරාධිකාරය වැඩි වැඩියෙන් බලය සියතට ගෙන තිබෙන අතර, ලිබරල් ආයතනයන්හි සාම්ප‍්‍රදායික බලය හොදාපාලුවී ගොස් තිබේ. ඒ අතර බලය විශේෂයෙන්ම එක්සත් ජනපද මිලිටරිය සහ බුද්ධිඅංශ අතට සංකේන්ද්‍රනය වී තිබේ. මේ ප‍්‍රපංචය දේශපාලන පක්ෂ දෙකම මත සම්පූර්න ආධිපත්‍යය දරා සිටි. ඩිමොක‍්‍රටික් පක්ෂය වනාහි සරභූත වශයෙන් ගත් කල්හි වෝල් වීදියේ ද මිලිටරි බුද්ධි ප‍්‍රජාවේද සන්ධානයකි.
ධනයේ අති මහත් පංගුව මුදුනේම කඳුගැසී ඇති අතර, එය ජනගහනයේ දල වශයෙන් ඉහල සියයට 10 තුල එක්තරා ඉරිසියාවක් නිර්මානය කර ඇති අතර, එය ලිංගික කැමැත්ත, ලිංග භේදය, ජන වාර්ගිකත්වය, සහ වර්ගය මත දෘෂ්ටිවාදාත්මකව පදනම් වූ ප‍්‍රතිගාමී මධ්‍යම පන්තික දේශපාලනයේ සුවිශේෂ රූපය තුලින් ප‍්‍රකාශනයක් අත්කර ගෙන ඇත. අසන්තුෂ්ටියට පත් අනන්‍යතාවන්ගේ අන්‍යෝන්‍ය තරග කාරී ඉල්ලීම්වල හැබෑ ඉලක්කය නම් සමාජයේ ඉහල තට්ටු අතර ගොඩගැසී පවත්නා ධනයෙන් තමන්ටත් පංගුවක් ලබා ගැනීම ය. මා සිතන්නේ, එවන් දේශපාලනයක මොනයම්ම හෝ ප‍්‍රගතිශීලි භාවයක් ඇත්තේ නැතැයි කියා ය. එය කැතය, ආත්මාර්ථකාමීය, පලිගන්නා සුලු ය. අපේක්ෂා කලහැකි පරිදිම මානව ශාස්ත‍්‍ර අංශයේ වැඩකරන ශාස්ත‍්‍රාලිකයන් අතර එයට විශාල සහ උනන්දු සහගත ශ‍්‍රාවකත්වයක් ලැබී තිබේ.
ඇඩම් ස්ට්‍රොම්: දශක ගනනාවක දේශපාලන උද්ඝෝෂන වලට ඔබගේ යොමුවීමේ උත්ප්‍රේරකය කුමක් ද? අනාගත ක්‍රියාකාරිකයන්ටත් පොදු ජනතාවන්ටත් ඔබගේ ජීවිත කාලීන කටයුතු වලින් වඩාත්ම බලපාන පාඩම් කවරේ ද?
ඩේවිඩ් නෝර්ත්: ප්‍රේරනය ලැබෙන්නේ වෛෂයික තත්ත්වය තුලින්ම ය. කෙනෙකු දැනුවත් පුද්ගලයෙකු හැටියට මේ සියල්ල වටහා ගැනීමට උත්සාහ කරන තාක් දුරට, මාක්ස්වාදියෙකු හැටියට මෙම සිද්ධීන්ගෙන් මෙම ගැටලුවලට විසඳුමක් සොයා ගැනීමට උත්සාහ කරන තාක් දුරට, අප සමාජයක් ලෙස මුහුනදී ඉන්නා අන්තරාය කොතරම් භයංකර දැයි කෙනෙකු වටහා ගනු ඇත.
පාඩම් මොනවාද? විසිවන සියවසේ අත්දැකීම් අධ්‍යයනය කරන්න. සෝවියට් සංගමය පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය මනාව පරිශීලනය කරගන්න. යට දැක්වෙන මහා ප‍්‍රශ්නය පිලිබඳව සිත යොමු කරන්න: 20 වන ශතවර්ෂයේ සිදුවූ මහා ව්‍යසනයන් යලිත් සිද්ධවීම අප වලක්වා ගන්නේ කොහොම ද? ඒ මන්ද කිවහොත්, මෙම ව්‍යසනයන් යලිත් සිදුවුවහොත් මිනිස් වර්ගයාට කවර කලෙකවත් යලිත් ඉන් ගොඩ ඒමට නොහැකි වනු ඇති හෙයිනි. 20 වන සියවස විප්ලවයේ සහ ප‍්‍රතිවිප්ලවයේ ශතවර්ෂය වූයේ ය. ඔක්තෝබර් විප්ලවය වනාහි, මානව වර්ගයා තමන්ගේම ඉරනම සියතට ගැනීමට, සමාජයේ සමාජ-ආර්ථික පදනම් දැනුවත්ව ප‍්‍රතිනිර්මානය කිරීමට, ඉතිහාසය ප‍්‍රථම වරට දරන ලද ප‍්‍රයත්නය යි. එහෙත් මහා පරිවර්තනයන් පහසුවෙන් ඉෂ්ට කල නොහැකි බව අපි දනිමු.
Follow us on