ශ්‍රී ලංකාවේ පලාත් පාලන මැතිවරනයෙන් විපක්ෂය ජයගනී
Opposition party wins Sri Lankan local council elections
කේ. රත්නායක විසිනි, 2018 පෙබරවාරි 12
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) බහුතර ඡන්ද හිමිකර ගනිමින් 10දා පැවති පලාත් පාලන ඡන්දය ජයගත්තේය. මිලියන 4.9ක් හෙවත් ඡන්දය දුන් සංඛ්‍යාවෙන් සියයට 44.65 ඡන්ද හිමිකර ගත් එම පක්ෂය රටේ පලාත් පාලන ආයතන 341න් 239ක් දිනා ගෙන තිබේ.
ජාතික සමගි ආන්ඩුවෙහි පාර්ශවකරුවන් වන, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) හා එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) ද අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය ද වෙන වෙනම මැතිවරනය තරග කලහ. තමන් ආන්ඩුවේ කප්පාදු වැඩසටහනට වගකියන්නේ නැතැයි කුහක ලෙස කියා සිටිමින් සිරිසේන, පාලක සභාගයේ ප්‍රධාන පක්ෂය වන එජාපයෙන් දුරස්ත වීමේ උත්සාහයක නිරත විය.
ශ්‍රීලනිප හා එජනිස ඒකාබද්ධව ලබාගත් ඡන්ද සංඛ්‍යාව මිලියන 1.5ක් වූ අතර එජාප මිලියන 3.6ක් ලබාගත්තේය. ඒ අනුව ඔවුන්ට පිලිවෙලින් ආයතන 10ක හා 41ක පාලනය හිමිවිය. එජාපයේ ඡන්ද ප්‍රතිශතය 2015 අගෝස්තු මහ මැතිවරනයට වඩා මිලියන 1.4න් පහත වැටී ඇත.
ප්රධානකොටම උතුරු හා නැගෙනහිර පලාත්වල ආයතන 34ක බලය දෙමල ජාතික සන්ධානය විසින් දිනාගෙන ඇත. සිංහල වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුන ඡන්ද ලක්ෂ 7ට ආසන්න සංඛ්‍යාවක් ලබාගත්ත ද කිසිදු ආයතනයක පාලන බලය හිමිකරගෙන නැත. ඉතිරි ආයතන වෙනත් කන්ඩායම් විසින් දිනාගෙන ඇත.
මැතිවරන ප්‍රතිපලය රිජුවම ආන්ඩුවට බලපාන්නේ නැති නමුත් එය පාලක සභාගයට එරෙහිව කම්කරුවන්, තරුනයින් හා ගම්බද පීඩිත ජනතාව අතරින් නැගී එන විරෝධය පිලිබඳ තවත් ඇඟවුමකි.
2009දී අවසන්වූ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි රුදුරු යුද්ධය අවධියේ හා දස වසරකට ආසන්න ඔහුගේ පාලන කාලය තුල, ජනතාවගේ ප්රජාතන්ත්ර අයිතීන්ට හා ජීවන තත්වයන්ට එල්ල කල ප්‍රහාර නිසා තරයේම අපකීර්තියට පත්ව සිටි රාජපක්ෂ 2015 ජනවාරි ජනාධිපතිවරනයෙන් බරපතල පරාජයක් ලැබුවේය.
2015 අගෝස්තු මහ මැතිවරනයේදී රාජපක්ෂ, නිල වශයෙන් ශ්‍රීලනිප-එජනිසට නායකත්වය දෙනු ලැබුව ද ආන්ඩුවට එක් නොවීය. ඒ වෙනුවට එම සංවිධානවල මන්ත්‍රීන් කන්ඩායමක් ඔහු වටා වෙනම සංවිධානය විය. පසුව ඔවුහු, ශ්‍රීලපොපෙ සංවිධානය කරමින් ආන්ඩුව කෙරෙහි වැඩෙන විරුද්ධත්වය ගසාකෑමට උත්සාහ කලහ.
ශ්‍රීලපොපෙ මේ මැතිවරනය සඳහා වැඩපිලිවෙලක් ඉදිරිපත් කලේ නැත. ඒ වෙනුවට එය ආන්ඩුව හෙලා දකිමින්, සිංහල වර්ගවාදය අවුලුවමින්, ආන්ඩුව දෙමල පක්ෂවල ඉල්ලීමට අනුව රට ”පාවාදුන්” බව කියා සිටියේය. එය ලැබූ චන්ද සැබවින්ම නම් ප්‍රකාශයට පත් කරන්නේ ආන්ඩුවට එරෙහිව පලල් ජනකොටස් අතර විරෝධතාව දැක්වීමකි.
කොලොන්නාව, කයිට්ස් හා අඹගමුව ප්‍රාදේශීය සභා වලට තරඟ කල සමාජවාදී සමානතා පක්ෂය ජනවාරි 9දා සිය මැතිවරන ප්රකාශනය තුල මෙසේ පැවසීය: ”දිවයිනේ පුපුරන සුලු සමාජ හා දේශපාලන කොන්දේසි සලකුනු කරමින් කම්කරුවන්ගේ ගම්බද පීඩිතජනතාවගේ හා තරුනයින්ගේ ආන්ඩු විරෝධී උද්ඝෝෂන හමුවේ ආන්ඩුව මැතිවරනය කැඳවා ඇත. එවන් අරගල හා විරෝධතාවන්ගෙන් තොර දවසක් හෝ ගතවන්නේ නැත. දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂ මෙම නැගී එන ව්‍යාපාරය ධනපති පාලනයට අභියෝගයක් වීම වැලැක්වීමට අධිෂ්ඨානවත්ව ඒවා බලයේ සිටින ආන්ඩුවට නිරර්ථක බලපෑම් දැමීමකට හැරවීමට ඔවුහු වැඩ කරති.”
පෙබරවාරි 10දා පැවැත්වූ මැතිවරනය දක්වා කාලය තුල විදුලි බල, දුම්රිය, තැපැල්, වතු, ජලසම්පාදන, විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වැඩ වර්ජන මෙන්ම අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහි සිසු උද්ඝෝෂන පැවැත්වුනි. මෙම අරගල වෘත්තීය සමිති විසින් යටපත් කරනු ලැබුව ද ඒවා පෙන්නුම් කලේ, ගැඹුරට විහිදුනු ආන්ඩු විරෝධයයි. ඒවා ජාත්‍යන්තරව නැගී එන කම්කරු පන්තියේ ප්‍රතිරෝධයේ කොටසක් විය.
2015 ජනාධිපතිවරනයෙන් සිරිසේන බලයට පත් වූයේ, ජනතාවගේ ජීවන තත්වයන් හා සමාජ කොනේදේසි නගාසිටුවන බවටත්, ප්රජාතන්ත්ර අයිතීන් සුරක්ෂිත කරන බවටත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ රුදුරු පනත කටුගා දමන බවටත්, එල්ටීටීඊයට විරුද්ධව 26 වසරක් තිස්සේ ගෙන ගිය යුද්ධයෙන් උතුරු නැගෙනහිර නිර්මානය කර තිබෙන ව්‍යසනකාරී සමාජ කොන්දේසි නිමා කරන බවටත් පොරොන්දු වෙමිනි.
වැටුප් හා සහනධාර වැඩිකිරීමේ සීමිත පියවර කිහිපයක් ගැනීමෙන් පසුව ආන්ඩුව, දරුනු ආර්ථික අර්බුදයකට මුහුනදී සිටින තතු හමුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතමින් එහි නියෝග පරිදි ක්‍රමානුකූලව කප්පාදු වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කලේය. 2015දී දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 7.5ක්වූ අයවැය හිඟය 2020 වන විට අඩකින් කපා හරින බවට ආන්ඩුව පොරොන්දු වී ඇත. ඒ අධ්‍යාපනය, සෞඛ්‍යය හා අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය හා සමාජ සහන කපාහැරීම තුලින්ය.
පලාත් පාලන මැතිවරනයේදී, ශ්‍රීලනිප, එජාප, ශ්‍රීලපොපෙ හා ජවිපෙ වැනි සංස්ථාපිතයේ සියලු පක්ෂ, දූෂනය පිලිබඳව එකිනෙකාට චෝදනා නගා ගත්හ. මෙය වනාහි නරක අතට හැරෙන ආර්ථික අර්බුදය හා චීනයට එරෙහි ඇමරිකානු යුද සූදානම පිටුපස ශ්‍රී ලංකාව පෙලගැස්වීම ආදී ඔවුන් මුහුනපා සිටින සැබෑ ප්‍රශ්න වලින් වැඩකරන ජනතාවගේ අවධානය වෙනතකට හැරවීමේ උත්සාහයක් විය.
මැතිවරනයෙන් පසුව සිරිසේන මෙන්ම වික්‍රමසිංහ ද ඉදිරියට යන්නේ කෙසේ ද යන්න පිලිබඳව ගනන් බලමින් සිටිති.
එජාපයේ හා රාජපක්ෂගේ දූෂනයට එරෙහි අවි අමෝරා ගත් අයෙකු ලෙස පෙනී සිටිමින්, තමා ආන්ඩුවට සම්බන්ධයක් නැති අයෙක් ලෙස මවාපෑමට සිරිසේන මැතිවරන ව්‍යාපාරය තුලදී මංමුලාසහගත උත්සාහයක නිරත විය. ඔහු “දූෂිතයන්” සමග ආන්ඩුව ගෙන නොයන බවට පවා පුරසාරම් දෙඩීය.
සිය ඇමති සගයන් සමග කල සාකච්ඡා වලින් පසුව සිරිසේන, විස්තර සඳහන් නොකල නමුත් මාධ්‍ය වෙත පැවසා ඇත්තේ, “ආන්ඩුවේ සැලකිය යුතු වෙනස්කම්” සිදුකරනු ඇති බවය. තම පක්ෂයට ලැබුන අඩු ඡන්ද සංඛ්‍යා හා 19 වන ආන්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව විධායක ජනාධිපතිගේ බලතල කප්පාදුවත් හමුවේ සිරිසේනට වෙනස්කම් සිදුකිරීමට අධිකාරියක් නැති තරම්ය. තම පාර්ලිමේන්තු මන්ත්‍රීන් සමහරෙක් ශ්‍රීලපොපෙට එකතු වීමේ තර්ජනයට ද ඔහු මුහන දෙයි.
එජාප මහ ලේකම් කබීර් හෂීම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ජනතාව “අපට රතු එලිය දල්වා ඇති බවය.” එය වනාහි “ගංවතුර, නියඟය හා නායයාම් වැනි ස්වාභාවික ආපදා” ද රාජපක්ෂ ආන්ඩුවෙන් අපට ඉතුරු කර ගිය “දැවැන්ත නයබර ද නිසා ඇතිවූ ප්‍රතිපලයකි”යි ඔහු කියා සිටියේය. මේ අතර, එජාපයේ කොටසක් තමන්ගේම ආන්ඩුවක් පිහිටුවිය යුතුයයි කියා සිටින නමුත් එම පක්ෂයට ඇත්තේ මන්ත්‍රී සංඛ්‍යාව 225ක් වන පාර්ලිමේන්තුව තුල ආසන 106කි.
ඉරිතලා ගිය සිරිසේන-වික්‍රමසිංහ හවුල පැවතුනා හෝ එජාපය තමන්ගේම ආන්ඩුවක් පිහිටුවූවා හෝ, එම පාලනය ගමන් කරනු ඇත්තේ තවත් දකුනට යමින් වැඩකරන ජනතාවට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමටය.
මේ වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක් හා 2019-2021 අතර බිලියන 5ක දැවැන්ත විදේශ නය ප්‍රමානයක් ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. එසේම ජාමූඅ බල කරන්නේ ආන්ඩුව සිය කප්පාදු පොරොන්දු ඉක්මනින්ම ක්‍රියාවට නැගිය යුතු බවය. එසේම අපනයන ආදායම් හා ආර්ථික වර්ධන වේගය අඩුවෙමින් තිබේ. කුමන පක්ෂයක් හෝ පක්ෂ එකතුවක් ආන්ඩුව පිහිටුවනු ලැබුව ද එය ගමන් කරනු ඇත්තේ, වැඩකරන ජනතාවගේ ප්‍රතිරෝධය බිඳීම පිනිස ආඥාදායක පාලනයක් ගොඩනැගීමටය.
තමන්ගේ පැත්තෙන් රාජපක්ෂ මෙසේ පවසයි: “අකාර්යක්ෂමතාව ජනතාවට එපා වෙලා තිබෙන බවට මේ මැතිවරනය පැහැදිලි ඇඟවුමකි.” ශ්‍රීලපොපෙ නායකයෙකු හා රාජපක්ෂගේ සමීපතමයෙක් වන දිනේශ් ගුනවර්ධන ඊයේ මාධ්‍ය වෙත පැවසුවේ, “ආන්ඩුවට අස්වනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතුරුව නැති” බවය.
ආන්ඩුව පෙරලීමේ සිය ව්‍යයාමය රාජපක්ෂ විසින් තියුනු කරනු නිසැකය. ජනතාවගේ දුක් ගැනවිලි පිලිබඳ ඔහුගේ උත්සුකය ව්‍යාජයකි. තෙවසරකට පෙර මිලියන ගනනක් ජනතාව ඔහුගේ පොලිස්-රාජ්‍ය ක්රමෝපායන් හා ජීවන තත්වයන් කාබාසීනියා කිරීමේ පිලිවෙත් ප්‍රතික්ෂේප කරමින් ඡන්දය දුන්හ. ඔහු යලි වතාවක් ජාමූඅ නියෝග කියාත්මක කිරීමේ ආඥාදායක විධික්රම යොදාගනු ඇත.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක රාජපක්ෂට ඡන්දය දීම පිලිබඳව ජනතාවට දොස් පැවරීය. “ජනතාව මේ වර්ගයේ අපරාධකාරී මිනිසුන් තෝරාගන්නේ නම් හා පුම්බන්නේ නම් ඔවුන් ඒ පිලිබඳ වගකීම දැරිය යුතුය.”
මෙම වෛරී සහගත ප්‍රහාරයට කම්කරුවන් හා තරුනයින් අවඥාවෙන් ප්‍රතික්ෂේප කල යුතුය. 2015දී ජවිපෙ, රාජපක්ෂගේ මැරවර හා දූෂිත පාලනයට විකල්පය ලෙස සිරිසේන හුවා දැක්වීමට එජාප හා අනෙකුත් දක්ෂිනාංශික බලවේග සමග එක්විය. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පුලුල් ලෙස අපකීර්තියට පත්වනවාත් සමගම ජවිපෙ, එම පාලක හවුලෙන් දුරස්තවීමට උත්සාහ කලේය. තව ද ජවිපෙ පූර්වයෙන් රාජපක්ෂ තන්ත්රයට ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට ද සහයෝගය දුන්නේය.
සංස්ථාපිතයේ මෙම පක්ෂ වලින් ස්වාධීන හා අව්‍යාජ දේශපාලන විකල්පයක් මෙම පලාත් පාලන මැතිවරනයේදී ඉදිරිපත් කලේ සසප පමනි. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ විප්ලවවාදී ආන්ඩුවක් පිහිටුවීමේ අවශතාව ජනතාව ඉදිරියේ මතු කලේ අපගේ පක්ෂය පමනි.
Follow us on