ආන්ඩුව නැවත පදිංචිවු ඉරනයිතිවු ජනයාට නිවාස නොදෙන්ට තීන්දු කරයි
විමල් රාසේන්ද්‍රන් හා මුරලි මරන් විසිනි, 2018 ජුනි 14
දීර්ඝ කාලීන උද්ඝෝෂනයකින් පසුව, කිලිනොච්චි උතුරු ප්‍රදේශයේ ඉරනයිතිවු කුඩා දූපත තුල ධීවර පවුල් සියයකට පමන නැවත පදිංචි වීමට අවසර දීමට ශ්‍රී ලංකා ආන්ඩුවට බලකෙරුනි. එහෙත් ඔවුන්ට කිසිදු ආකාර නිවාස පහසුකමක් ලබා නො දෙන බව ආන්ඩුවේ බලධාරීන් දන්වා ඇත.
බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධය ගෙනගිය කාලයේ මිලිටරි මෙහෙයුම්වලින් බේරීමට 1992 දී දූපත හැර ගිය මෙම පවුල්, කිලිනොච්චියෙන් එහා වෙරල අසබඩ ඉරනපායි නගරයේ තාවකාලික ව පදිංචි කරන ලදී. 2009 මැයි මාසයේ එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු දිගටම දූපත වාඩිලාගෙන සිටින නාවික හමුදාව, එම පවුල්වලට පෙරලා ඔවුන්ගේ ඉඩම්වලට පැමිනීමට ඉඩදීම ප්‍රතික්ෂේප කර තිබුනි.
මෙම පවුල් ඉරනමාධා නගරයේ වසරක් පුරා වාඩිලාගත් විරෝධතාවක නිරත වූ හ. අප්‍රේල් 23දා බෝට්ටුවලින් පැමින දූපතට ඇතුලු වූ ජනයා, පල්ලිය, පාසල හා කුඩා කූඩාරම්වල බලයෙන් නවාතැන් ගත් හ. ඔවුන් හරවා යැවීමට අපොහොසත් වූ පසු නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය, මැයි 15 දින ඉරනයිතිවුහි යලි පදිංචි වීමට නිල වසයෙන් අවසර දුනි.
දූපත තුල රබර් ෂීට් හා තල් කොල යොදාගෙන සාදා ඇති තාවකාලික පැල්පත්වල ලමුන් හා වැඩිහිටියන් ද සමග ජීවත් වීමට පවුල් අත්හැර දමා තිබේ. ඉරනපාය් නගරයේ පදිංචි කරවීමේ දී ඔවුන්ට නිවාස ලබා දුන් නිසා යලි දෙවන වරට එම නිවාස නො ලැබෙන බව කිලිනොච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනයාට දන්වා ඇත.
නාවික හමුදා සංකීර්නයක් තනාගෙන දූපතේ වාඩිලාගෙන සිටින නාවික හමුදාව රේඩාර් මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන යයි. නාවික හමුදාව එහි රැඳී සිටීමට මීට කලින් නිමිත්ත කරගැනුනේ එල්ටීටීඊය ආයුධ ගෙන ඒමෙන් වැලැක්වීම යි. අගමැති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ දැන් ආරක්ෂක හමුදා ඉන්දියානු ධීවරයන් පැමිනීම හා මත්ද්‍රව්‍ය ජාවාරම වැලැක්වීමට නාවික හමුදාව එහි රැඳී සිටීම අවශ්‍ය බවයි.
නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය ජනයාට යලි පදිංචි වීමට අවසර දුන්නේ, උතුරු හා නැගෙනහිර පලාත්වල අඛන්ඩ මිලිටරි වාඩිලාගැනීම හේතුවෙන් ආන්ඩුව හා දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) කෙරෙහි වැඩෙන මහජන අතෘප්තිය අපසරනය කිරීමට යි. ජනාධිපති සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, ටීඑන්ඒහි පිටුබලය ද ඇති ව බලයට ආවේ මිලිටරිය අල්ලාගෙන සිටින ඉඩම් නිදහස් කරන බවට හා ප්රජාතන්ත්ර අයිතීන් තහවුරු කරන බවට පොරොන්දු වෙමිනි.
ඉරනයිතිවු ජනයාගේ විරෝධතාව, මිලිටරිය විසින් අල්ලාගෙන සිටින ඉඩම්, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා හමුදාවන්ට යටත් වීමෙන් පසු අතුරුදහන් කෙරුනු පුද්ගලයන් පිලිබඳ තොරතුරු ආදිය අරබයා උතුරේ හා නැගෙනහිරේ පැවැත්වෙන උද්ඝෝෂනයේ කොටසකි. උතුරු නැගෙනහිර පලාත්වල කම්කරුවන් ද දකුනේ සිය පන්ති සහෝදරයින් සමග, ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත ක්‍රියාවට දමන කප්පාදු පිලිවෙත්වලට එරෙහි ව නිරන්තරයෙන් අරගලවලට එක් වෙයි.
එදාම වැසිකිලි තුනක්, ප්‍රජා මධ්‍යස්ථානයක් හා ලිං ඉදිකිරීම සඳහා ආන්ඩුව රුපියල් මිලියනයක සොච්චමක් වෙන් කර ඇති බව ඉරනයිතිවු ජනයා ලෝසවෙඅට කී හ. හොඳ වර්ගයේ එක් වැසිකිලියක් වත් ඉදිකිරීමට මෙම මුදල ප්‍රමානවත් නො වේ. කිලෝමීටර දෙක තුනක් දුර ගොස් ජලය රැගෙන ඒමට කාන්තාවන්ට බලකෙරී ඇත. ජලය ප්‍රවාහනය කිරීම සඳහා ආන්ඩුවෙන් ලබාදුන් ට්රැක්ටරය දවස් තුනක් තුල කැඩී ගියේ ය.
පොරොන්දු දීමට දූපතට සංචාරය කල ටීඑන්ඒ දේශපාලනඥයෝ වියලි ආහාර හා “කූඩාරම් ඉදිකිරීමට තල් කොල” ලබා දෙති.
ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, දෙමල ජාතික මහජන පෙරමුනේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් හා ඊලම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුනේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කඩිමුඩියේම දූපතට ගියේ එවන් පොරොන්දු දීමටයි.
පහසුකම් සහිත ඉරනමඩු නගරය වෙනුවට ඉරනයිතිවු දූපතේ පදිංචි වීමට අදහස් කරන්නේ මන්දැයි පාලක එක්සත් ජාතික පක්ෂයේ ලමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් ජනයාගෙන් චෝදනා මුඛයෙන් විමසුවා ය. මෙය බොරුවකි. ඉරනමඩු ප්‍රදේශය තුල හොඳ පහසුකම් හෝ ජීවත් වීමට යමක් හම්බ කරගැනීමේ ක්‍රමයක් නැත.
වියලි ආහාර රැගෙන ප්‍රදේශයට පැමිනි උතුරු පලාත් මහ ඇමති සී. වී. විග්නේස්වරන් ඉරනයිතිවු සම්පූර්නයෙන් නිදහස් කර දීම ගැන මධ්‍යම ආන්ඩුව සමග සාකච්ඡා කිරීමට පොරොන්දු විය. එහෙත් ඒ හුස්මට ම ඔහු කියා සිටියේ “මේ ගැන තීරනය කිරීම ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුත්තක්” බව යි.
මහජනයා අතර පවතින කෝපය පිලිබිඹු කරමින් එක් පුද්ගලයෙක් මෙසේ කීවේ ය: “ඔවුන් මෙතැනට පැමිනියේ මාධ්‍ය ප්‍රචාරය ලබාගැනීම හා අනාගත මැතිවරනවල දී ඡන්දවලට ඇස ගැසීම සඳහා යි. අපේ ප්‍රශ්න විසඳන්න ඒගොල්ලන්ට උවමනාවක් නැහැ.”
“අපි ඉරනයිතිවු අල්ල ගත්තේ යුද්ධයකින් නිසා ඒක දාල යන්න අපට බැහැ” යයි නාවික හමුදා නිලධාරියෝ කියූ බව ඔහු සිහිපත් කලේ ය. මිනිසුන් ජීවත් වන ප්‍රදේශයට නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් පැමිනීම හා නිරීක්ෂනය කිරීම ගැන මහජනයා සිය කාංසාව පල කල හ.
ඉරනයිතිවු ප්‍රදේශයේ ජනයා අවුරුදු හාර සියයක් පමන එහි ජීවත් වෙති. ඉරනයිතිවු උතුරු පැත්තේ සිට කිලෝමීටර 12ක් දුරින් පිහිටි මුලහාවිල් කැලෑ ප්‍රදේශයට පලා ගිය පවුල් 225ක් ඉරනයිමාධා නගර් හි තාවකාලික ව පදිංචි වූ හ. පවුල් සංඛ්‍යාව 400කටත් වඩා වැඩී වී තිබේ. පවුල් 175කට ආසන්න ගනනක් තවමත් ආපසු පැමිනීමේ අපේක්ෂාවෙන් පසු වෙති.
ඉරනමාධා නගරයේ ජීවත් වූ ඔවුහු ජීවිකාව සඳහා ඉරනයිතිවූ ප්‍රදේශයේ මාලු ඇල්ලීම, වගාකිරීම හා හරකුන් ඇති කිරීම සිදු කල හ.
යුද්ධයේ විනාශයෙන් බේරුන පල්ලිය, පාසල, බ්‍රිතාන්‍ය විජිත පාලනය විසින් 1886 දී ඉදිකල ප්‍රදීපාගාරය පමනි. නාවික හමුදාව අල්ලාගෙන සිටින නිවාස හතක් හැරුනු විට අනෙක් සියලු ගොඩනැගිලි හා යටිතල පහසුකම් විනාශ කරන ලදී.
වැසි ජලය ආරක්ෂා කරගැනීම සඳහා ජනයා ඉදිකර තිබුනු විශාල වතුර ටැංකි ජරාවාස වී තිබෙන්නේ, වසංගත රෝග පතුරුවන ස්ථාන බවට පත්වීමේ අනතුර සහිත ව ය.
ගම්වල හැර දමා ගිය පන්සියයකටත් වැඩි හරක් ප්‍රමානයෙන් අඩක් පමන සංහාරයට ලක් කල අතර උන්ගේ පැටවු ආරක්ෂක හමුදාවල සුනඛයින් විසින් දඩයම් කරනු ලැබී ය. දූපතේ ඉතිරි ව ඇත්තේ පොල්ගස් කිහිපයක් පමනි. විනාශය ගැන ජනයා නාවික හමුදාවට දොස් පවරති.
ඉඩම් ආපසු ඉල්ලා සිටින්නේ ජීවිකාව සඳහා තමන්ගේ ජීවිකාව සඳහා ඒවා අවශ්‍ය නිසා යයි ස්වේච්ඡා ගුරුවරයෙක් වන නිවුමාන් කීවේ ය. “අපි අවුරුදු විසිපහකටත් වඩා අවතැන් වෙලා ඉන්නෙ. ආන්ඩුවෙන් මොනම ආධාරයක් වත් ලැබුනෙ නැහැ. සමහර තරුන අය උසස් පෙල විභාගෙ පාස් වෙලා ඉන්නව. ආන්ඩුව ඒගොල්ලන්ට රස්සාවල් දීල තියෙනව ද? මම අවුරුදු දහයකටත් වඩා ස්වේච්ඡාවෙන් උගන්වනව. ස්වේච්ඡා ගුරුවරයෙක් ව අවුරුදු දහයක් තිස්සෙ ස්ථීර කරපු නැති ආන්ඩුවක් තරුනයන්ට රැකියා දෙන්නෙ කොහොම ද” යයි ඔහු කීවේ ය.
“නාවික හමුදාව ආපසු ආයෙ පදිංචි වෙන්න ඉඩදෙන්නෙ නැති වුනාට බෞද්ධ පන්සල් ඉදිකරල සංචාරකයන්ට බංගලාවලුත් හදල. අපේ පාසලේ ලී බඩුයි උපරකනයි අතුරුදන් වෙලා.” දේශපාලනඥයන්ගෙ විශ්වාස කල නො හැකි සමාවට කරුනු විශ්වාස කිරීමට තරම් මෝඩයන් නො වන ජනයා, ඔවුන්ගේ ඉඩම්වලට යාමට ස්වාධීන ව තීන්දු කල බව ඔහු කීවේ ය.
යුද්ධය ලේවැකි ආකාරයෙන් අවසන් වූ මුල්ලිවයික්කාල් වෙත ලඟාවන තුරු තමන්ගේ පවුල එක් තැනක සිට තවත් තැනකට විතැන් වුනු බව දරුවන් හතර දෙනෙකුගේ පියා වන උදයකුමාර් කීවේ ය. “යුද්දෙදි මටයි මගේ බිරිඳටයි තුවාල වුනා. මිලිටරියෙ අවසන් ප්‍රහාරෙදි ඉරනයිතිවු ප්‍රදේශයේ වැසියන් 35ක් විතර මැරන, තවත් දොලහකට වැඩිය අතුරුදහන් වුනා. මෙහේ තරුන වැන්දඹු කාන්තාවන් දහයකට වැඩිය ඉන්නව, පවුල් හැටක විතර ප්‍රධානිය කාන්තාවක්” යයි ඔහු වැඩිදුරටත් කීවේ ය.
“නැවත පදිංචි කිරීමේ නාමයෙන් අපිට කිසිදු මූලික අවශ්‍යතාවක් නොදී ඉරනයිතිවුවලට අතඇරල දාල ගියා. පහුගිය අවුරුදු අට තිස්සේ අපි අපේ ම ඉඩම්වල පදිංචි වෙන්න වලි කනව. ආන්ඩුව වත් දෙමල දේශපාලකයො වත් අපිට උදවු කලේ නැහැ” යයි ඔහු තවදුරටත් කීවේ ය. ජනයා මාලු ඇල්ලීම සඳහා බෝට්ටු යොදාගන්නා විට රුපියල් 5,000ක් පමන වැය කිරීමට සිදු වේ. දූපතේ සිට ගියහොත් ඔවුන්ට වැය වන්නේ රුපියල් 1,500ට අඩුවෙනි.
63 හැවිරිදි කානික්කෙයි මෙසේ කීවේ ය: “අවසාන සටනෙදි මගේ දරුවො තුන්දෙනාගෙන් එක්කෙනෙක් මැරුන. එල්ටීටීඊ සැකකරුවන් පුනරුත්ථාපනය කිරීමේ නාමයෙන් හමුදාව මාතලන් වල දි තවත් පුතෙක් අරගන ගියා. එතකොට එයාගෙ වයස 24යි, මම තාම දන්නෙ නැහැ එයා කොහේ ඉන්නව ද කියල. අතුරුදහන් වුන අයගෙ ඥාතියො කරන අරගලවලට මමත් සහභාගි වෙනව. අපිත් එක්ක දැන් ඉන්නෙ මගේ දුව විතරයි.”
පක්ෂාඝාත තත්ත්වයෙන් පීඩා විඳින 64 හැවිරිදි නීක්ලාන් මරියනායගම් මෙසේ කීවේ ය: “අවරුදු හයකට කලින් මම ඉරනමාධා නගරෙ ඉන්දැද්දි මාලු අල්ලන්න ගියා. මම ලෙඩවුනාට පස්සෙ මගේ බිරිඳ ජීවත් වෙන්නෙ මගේ විවාහ වෙලා ඉන්න පුතාගෙ ආදායමෙන්. අපේ ම ඉඩමට ආවට පස්සෙ මුහුදු කූඩැල්ලො අල්ලල රුපියල් හයහත්සීයක් හොයා ගන්නව. අපේ ම ගමේ ජීවත් වෙනකොට මට අලුත් ශක්තියක් දැනෙනව වගේ ම ලෙඩවෙලා කියල හිතෙන්නෙ නැහැ.”
Follow us on