ඝන අපද්‍රව්‍ය කලමනාකරනය සඳහා ඇති විද්‍යාත්මක ක්‍රමවේදයන් හා ඒවා මීතොටමුල්ලේ භාවිතා නොවූයේ ඇයි?

විජිත් සමරසිංහ විසිනි, 2018 ජූනි 4

මීතොටමුල්ල කසල රඳවනයට අපද්‍රව්‍ය බැහැරකල අවුරුදු 26 පුරා, ඝන අපද්‍රව්‍ය කලමනාකරනය පිලිබඳ විද්‍යාත්මකව පිලිගත් සියලු ප්‍රමිතින් අනුප්‍රාප්තික ආන්ඩු හා බලධාරීන් විසින්, දැනුවත්ව උල්ලංඝනය කර ඇත. අපද්‍රව්‍ය රඳවනයක් ස්ථාපනය කිරීමේදී සැලකිල්ලට ගනු ලබන ප්‍රධාන කරුනු වන, ප්‍රදේශයේ ජනගහනය හා ඉඩම පරිහරන රටාවන්, ජලය බැස යාමේ රටාවන්, පසේ ස්වභාවය හා ධාරන සීමාව, අවට ඇති සංවේදී පරිසර පද්ධතීන් යන කිසිවක් මෙහිදී සැලකිල්ලට ගෙන නොතිබිනි:

1. මීතොටමුල්ල කසල කන්ද පිහිටා ඇත්තේ, ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයින් 5000 ඉක්මවූ අතිශයින්ම ජනාකීර්න ප්‍රදේශයකය.

2. කසල රඳවනයක් සඳහා අවශ්‍ය මුලික අවශ්‍යතාවක් වන, හොඳින් ජලය බැස යාම වෙනුවට, එය ස්වාභාවිකවම වැසි ජලය එකතුවන, නිල සිතියම් වලමත්, “තෙත්බිමක්” ලෙසට සලකුනු කර ඇති ප්‍රදේශයකි.

3.1980 ජාතික පරිසර පනත යටතේ, අපද්‍රව්‍ය බැහැර ඇතුලු ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා, මූලිකම හා ඉතා සීමිත කොන්දේසියක් වන “පාරිසරික බලපෑම අධ්‍යයනයක්” පවා මේ මුලු කාලය පුරාවටම සිදුකර නැත.

4. ගෘහස්ත අපද්‍රව්‍ය පමනක් නොව, නොයෙකුත් කර්මාන්ත ශාලා හා රෝහල් ආදියෙන් ගෙන ආ “අන්තරායකර හෝ උපද්‍රවකාරී අපද්‍රව්‍යද” කිසිදු පාලනයකින් තොරව මීතොටමුල්ලලේ බැහැර කෙරිනි.[1] මෙය උපද්‍රවකාරි අපද්‍රව්‍ය පිලිබඳ 2008 අංක 1 දරන ජාතික පාරිසරික (ආරක්ෂක සහ තත්ත්ව) රෙගුලාසිද අමුඅමුවේම උල්ලංඝනය කිරීමකි.

5. ගෘහස්ත අපද්‍රව්‍ය වලින් ස්වභාවිකවම ජනනයවන “මෙතෙන්” වායුව එක්රැස් කර ආරක්ෂිතව බැහැර කිරීමේ ක්‍රමවේදයක් මෙහි නැත. මෙතෙන් වායුව කාන්දු වීම නිසා, කසල කන්ද කඩා වැටුනු දින (2017 අප්‍රේල් 14) හා ඔක්තෝබර් මාසයේ, හා 2018 ජනවාරි මාසයේ කන්දේ ගිනි ගැනීම් 3ක් වාර්තා විය.

මීතොටමුල්ල පමනක් නොව, මහා පරිමානව ඝන අපද්‍රව්‍ය බැහැර කල හෝ කෙරෙන, කොලඹ-බ්ලුමැන්ඩල්, මොරටුව-කරදියාන, මුතුරාජවෙල, හෝ මහනුවර-ගොහාගොඩ වැනි ස්ථාන කිසිවක්, ඝන අපද්‍රව්‍ය කලමනාකරනයේ මූලධර්ම වලට අනුව පවත්වාගෙන යන ඒවා නොවේ. එබැවින් මේ නොසලකා හරින ලද විද්‍යාත්මක අපද්‍රව්‍ය කලමනාකරනයේ මූලධර්ම මොනවාද යන්න සොයා බැලීම වැදගත්ය.

ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කලමනාකරනය

දිනෙන් දින සංකීර්න වන ඝන අපද්‍රව්‍ය ගැටලුව විසඳා ගැනීම සඳහා විද්‍යාත්මක පදනමක් මත ඒකාබද්ධ සැලසුම් කරනයක් සහිත අපද්‍රව්‍ය කලමනාකරන ක්‍රමවේදයක වෛෂයික අවශ්‍යතාව 1960 ගනන් වන විට ලෝක මට්ටමෙන් පැන නැගිනි. මේ සඳහා වන විද්‍යාත්මක ප්‍රවේශය “ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කලමනාකරනය” ලෙස හඳුන්වයි [2] . එහි මුලික මුලධර්ම පහත පරිදිය.

1. උපද්‍රවකාරී අපද්‍රව්‍ය බිහිවීමට තුඩුදෙන ද්‍රව්‍ය හා භාන්ඩ භාවිතයෙන් ඉවත් කර ඒ වෙනුවට විකල්ප භාවිත කිරීම.

2. ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාන අවම කරගැනීම සඳහා දියුනු තාක්ෂනය මගින් භාන්ඩ නිෂ්පාදනය හා පරිභෝජනය යන දෙකම සකසුරුවම් කිරීම.

3. ඝන අපද්‍රව්‍ය නිසිලෙස වර්ගීකරනය කර, සැකසුම් මධ්‍යස්ථාන වෙත ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම.

4. වර්ගීකරනය කල අපද්‍රව්‍ය යලි භාවිතය හෝ ප්‍රතිචක්‍රිකරනය කිරීම.

5. ඝන අපද්‍රව්‍ය මගින් බලශක්තිය නිපදවීමට හැකි ද්‍රව්‍ය වෙන්කොට ඒවා අදාල ක්‍රියාවලින්ට ලක් කිරීම.

6. යලි භාවිතය, ප්‍රතිචක්‍රිකරනය හා බලශක්ති ජනනය යන සියලු පියවර අවසානයේ ඉතිරිවන අවශේෂ ඝන ද්‍රව්‍ය කොටස නිසිලෙස පාලනය කෙරෙන ස්ථානයක බැහැරලීම.

ඉහත මූලධර්ම වලින් පැහැදිලි වන්නේ ඝන අපද්‍රව්‍ය කලමනාකරනය යනු, කසල ජනනය වීමෙන් පසුව එයට පිලියමක් යෙදීමේ ක්‍රමවේදයක් පමනක් නොවන බවයි. එය භාන්ඩ නිෂ්පාදනයේ සිටම සැලකිල්ලට ගතයුතු කාරනයකි. එපමනක් නොව නගර සැලසුම් කරනයේදී හා ආර්ථික/කර්මාන්ත සැලසුම් කරනයේදී ද එය ප්‍රධාන සාධයක් ලෙස ඉදිරියට එයි.

අවසාන වශයෙන් ඝන අපද්‍රව්‍ය වල යලි ප්‍රයෝජනයට ගත නොහැකි (සාමාන්‍යයෙන් මෙය මුලු අපද්‍රව්‍ය පරිමාවෙන් 10-20% ක් පමන වේ) කොටස සෞඛ්‍ය හෝ පාරිසරික ගැටලු ඇති නොවන සේ බැහැරලීම ඉතා වැදගත්වේ. මෙලෙස ක්‍රමවත්ව අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් “සනීපාරක්ෂිත බිම් පිරවුමක්” ලෙස හඳුන්වයි.

ඉහත සඳහන් කෙරුනු ඒකාබද්ධ අපද්‍රව්‍ය කලමනාකරන මූලධර්ම කිසිවක් මීතොටමුල්ලේදී භාවිතා වී නැති බව පැහැදිලිය.

විද්‍යාත්මක අපද්‍රව්‍ය කලමනාකරන ක්‍රමවේදයන් මීතොටමුල්ලේදී භාවිත නොවීමට හේතු:

ඒකාබද්ධ අපද්‍රව්‍ය කලමනාකරන ක්‍රම 1960 ගනන් වල සිට දියුනු ධනපති රටවල සීමිතව ක්‍රියාවට නැගුනේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ උත්පාතය තුල සමහර සීමිත සමාජ සේවාවන් සඳහා සැලකියයුතු මුදල් ප්‍රතිපාදන වෙන් කෙරුනු තතු යටතේය.

2016 වසරෙ ඝන අපද්‍රව්‍ය කලමනාකරනය සඳහා මුලු ශ්‍රී ලංකාවේම පලාත් පාලන ආයතන වලට නිර්යාත කෙරුනේ රුපියල් මිලියන 334ක් වැනි සොච්චමකි. මේ පොදු වියදම් කප්පාදුවෙන් ඇතිවී තිබෙන බලපෑමේ පරිමානය පැහැදිලි කරමින් කොලඹ නාගරික කොමසාරිස් වී. කේ. අනුර පසුගිය 2017 ජුනි මාසයේ ප්‍රකාශ කලේ දිනකට කසල ටොන් 700කට අධික ප්‍රමානයක් එකතුකිරීමට හා බැහැරලීමට නගරසභාව සතුව ඇත්තේ අවුරුදු 20 කටත් වඩා පැරනි වාහන 50ක් පමනක් බවයි.

වසර 2000 තරම් ඈතදී පරිසර අමාත්‍යංශයෙන් පලකල “පාරිසරික දත්ත සම්පින්ඩනය” යන වාර්තාව මගින්, ශ්‍රී ලංකාව පුරා ඝන අපද්‍රව්‍ය කලමනාකරනයේ ඇතිවී ඇති අතිශයින් අසතුටු දායක තත්වය පිලිබඳව “වහාම ප්‍රමානවත් පියවර” නොගතහොත්, එය බරපතල සෞඛ්‍ය හා පාරිසරික අර්බුදයක් කරා ඔඩුදුවනු ඇති බවට අනාවැකි පල කලේය.

ඉහත කී වාර්තාවට අනුව වසර 2000දී ලංකාව පුරා සියලුම පලාත්පාලන ආයතන මගින් දිනකට එකතු කරනු ලැබුවේ අපද්‍රව්‍ය ටොන් 2694ක් පමනි. මේ වන විට එම ප්‍රමානය දිනකට ටොන් 6000-7000 දක්වා ඉහල ගොස් ඇත.

නමුත් එම කාලය තුල, විටින් විට සිදුකල ඇස්බැන්දුම් හැර, අපද්‍රව්‍ය කලමනාකරනය කිරීමට කිසිඳු දීර්ඝ කාලීන විධිමත් වැඩපිලිවෙලක් ජාතික හෝ පලාත් මට්ටමෙන් දියත් වී නැත. මධ්‍යම පරිසර අධිකාරිය හා 2004දි පිහිටවූ බස්නාහිර පලාත් ඝන අපද්‍රව්‍ය කලමනාකරන අධිකාරිය මගින් ක්‍රියාත්මක කල, “පිලිසරු” හා “පිවිතුරු පුර” වැනි ව්‍යාපෘති මේවන විට සම්පූර්නයෙන් අසාර්ථක වී ඇත. මේ යටතේ මීතොටමුල්ලේ ද “ප්‍රතිචක්‍රීකරන මධ්‍යස්ථානයක්” ඇටවින.

ප්‍රතිචක්‍රීකරනය කලකහැකි ද්‍රව්‍ය එකතු කිරීමට යයි නගර කීපයක ඇටවූ “සම්පත් මධ්‍යස්ථාන” අතලොස්සෙන් බොහොමයක්ද දැන් වසා දමා ඇත.

ඝන අපද්‍රව්‍ය අර්බුදය නිසා නැගෙන දැඩි ජනතා කෝපය සමනය කරගැනීමට 2005 වසරේදී එවකට පැවති චන්ද්‍රිකා බන්ඩාරනායක ආන්ඩුව මගින් ගෙන ආ “ඝන අපද්‍රව්‍ය පිලිබඳ ජාතික ප්‍රතිපත්තියේ” සඳහන් එකඳු නිර්දේශයක්වත් මෙතෙක් නිසිලෙස ක්‍රියාත්මක වී නැත. 2016 වසරේ දී වර්තමාන ආන්ඩුව මගින් ප්‍රකාශයට පත් කල බස්නාහිර මහා නගර (මෙගා පොලිස්) සැලසුමේද, ඝන අපද්‍රව්‍ය කලමනාකරනය පිලිබඳ ප්‍රශ්නය යටගසා ඇත.

ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කලමනාකරන මූලධර්ම මීතොටමුල්ලෙදී භාවිත නොවීමට මූලික හේතුව, අපද්‍රව්‍ය කලමනාකරනයද ඇතුලු, පොදු සේවාවන්, සඳහා ප්‍රමානවත් මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙමින් ඒවා මධ්‍යගතව හා විද්‍යාත්මකව සැලසුම් කිරීමට අනුප්‍රාප්තික ධනපති ආන්ඩු අපොහොසත්වීමයි.

මෙය ලාභය අරමුනු කරගත් ධනපති ක්‍රමය ඓතිහාසිකව මුහුන දී සිටින අර්බුදයේ ප්‍රතිඵලයකි.

ඝන අපද්‍රව්‍ය අර්බුදය ගෝලීය අර්බුදයකි. ලෝක බැංකුව මගින් 2012දී පලකල වාර්තාවකට අනුව 2012 දී වාර්ෂික ගෝලීය ඝන අපද්‍රව්‍ය ප්‍රමානය ටොන් බිලින 1.3 ක් වූ අතර, එය 2025 එන විට බිලියන් 2.2 දක්වා වර්ධනය වනු ඇත.

අපද්‍රව්‍ය ප්‍රමානයේ සීඝ්‍ර වර්ධනයට සමගාමීව අපද්‍රව්‍ය කලමනාකරන පහසුකම් වර්ධනය නොවන බැවින් පසුගාමී රටවල මෙන්ම ඊනියා “සංවර්ධිත” රටවලද ඝන අපද්‍රව්‍ය අර්බුදය තීව්‍ර වෙමින් ඇත. උදාහරනයක් ලෙස ඇමරිකාවේ පමනක් වාර්ෂිකව ජනනය වන ඝන අපද්‍රව්‍ය ප්‍රමානය 1990 - 2020 කාලයේදී 75% කින් වැඩිවන විට, අපද්‍රව්‍ය බැහැරලීමට ඇති සනීපාරක්ෂිත බිම් පිරවුම් සංඛ්‍යාව 22% කින් අඩුවී ඇත.

දත්ත සටහන : ඇමරිකා එක්සත් ජනපදයේ නාගරික අපද්‍රව්‍ය ජනනය හා අපද්‍රව්‍ය බැහැරකිරීමට ඇති සනීපරක්ෂිත බිම් පිරවුම් අතර වැඩිවන පරතරය (මුලාශ්‍රය: එක්සත් ජනපද පරිසර ආරක්ෂන කාර්යාංශය - USEPA)

ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කලමනාකරනය යනු හුදෙක් අපද්‍රව්‍ය ජනනය වීමෙන් පසුව එයට පිලියම් යොදන ක්‍රමවේදයක් නොවේ. එහි මුල්ම අරමුන වන්නේ නිෂ්පාදනයේදී හා පරිභෝජනයේදී ජනනය විය හැකි අපද්‍රව්‍ය ප්‍රමාන අවම කර ගැනීමයි. එබැවින් තාර්කිකව සැලසුම් කෙරුනු නිෂ්පාදන ක්‍රමයකින් තොරව ඒකාබද්ධ අපද්‍රව්‍ය කලමනාකරනය සාක්ෂාත් කරගත නොහැක.

ගෝලීයව ඒකාග්‍ර වී ඇති වර්තමාන ආර්ථිකය තුල මේ සැලසුම්කරනය සිදුකල හැක්කේ ගෝලීය පරිමානවයි. නමුදු ධනපති ක්‍රමය සහ එය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය ගෝලීය සැලසුම්කරනයකට එරෙහිව පිහිටයි.

විධිමත් අපද්‍රව්‍ය කලමනාකරනයක් සහිත ගෝලීය සැලසුම්කරනයක් සාක්ෂාත් කල හැක්කේ පුද්ගලික ලාභය වෙනුවට මානව අවශ්‍යතා මත පාදක කෙරුනු සහ ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කෙරුනු ජාත්‍යන්තර සමාජවාදී නිශ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමෙන් පමනකි.

සටහන්

[1] නම් සඳහන් කිරීමට අකමැති වූ කොලොන්නාව නගර සභා සේවකයෙක් ස්වාධීන පරීක්ෂන කමිටුවට කරුනු දක්වමින් මේ කරුනු හෙලිකල අතර 2015 වසරේ විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය බන්දුනි ලියනගේ ඇතුලු පිරිසක් කල පරික්ෂනයකින්ද හෙලි වූයේ, කොලඹ අවට රෝහල් ගනනාවකින් උපද්‍රවකාරී අපද්‍රව්‍ය කසල කඳු වල අනාරක්ෂිතව බැහැර කෙරෙන බවයි.

(Chanpika LB, Priyantha AP, Masafumi T (2015) Recommendations through a Complete Study on Healthcare Solid Waste Management Practices of Government Hospitals in Colombo, Sri Lanka. Int J Waste Resou 5: 178. doi: 10.4172/2252-5211.100017)

[2] Tchobanoglous G, Theisen H, Vigil SA. (1993) Integrated Solid Waste Management, New York:McGrow-Hill.

Share this article: