ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස් මිලිටරිය මත වාරුවීමේ ප්රයත්නය හෙලි කරයි
වසන්ත රූපසිංහ විසිනි, 2019 ඔක්තෝබර් 25
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවක දී යුද්ධයට සම්බන්ධ “අතීතය පිලිබඳ” ප්‍රශ්න තමන්ට යොමු නො කරන ලෙස ජනමාධ්‍යවේදීන්ට කීවේ ය. මානව හිමිකම් අරබයා අතීත පරිපාලනයන් විසින් එක්සත් ජාතීන් සමග එලඹ ඇති එකඟතාවන්ට තමන් බැඳී නො සිටින බව ද ගෝඨාභය අවධාරනය කලේ ය.
ඔහුගේ ප්‍රකාශයන් හා ප්‍රශ්නවලට ඔහු දුන් පිලිතුරුවලට යටින් දිවෙන පනිවුඩය වන්නේ, ඔහු යටතේ වන අනාගත ආන්ඩුවක් මිලිටරිය මත රඳා සිටිනු ඇති බව හා ප්රජාතන්ත්ර අයිතීන් නො තකනු ඇති බව යි.
ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් 15දා කොලඹ දී ඔහුගේ මාධ්‍ය හමුව පැවැත්වී ය. මාධ්‍ය හමුවට සහභාගි වූ අනෙකුත් අය වූයේ ශ්‍රීලපොපෙ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා පක්ෂයේ අනෙකුත් ප්‍රධානීන් ය. හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු කර්නල් වරයෙක් වන ගෝඨාභය, පාලක එක්සත් ජාතික පක්ෂයෙන් (එජාප) තරඟ වදින සජිත් ප්‍රේමදාසට හා ජනතා විමුක්ති පෙරමුනේ අනුර කුමාර දිසානායකට අමතර ව මැතිවරනයේ දී තරඟ කරන ප්‍රධාන ධනේශ්වර අපේක්ෂකයා ය.
ඇසෝසියේටඞ් ප්‍රෙස් ජනමාධ්‍යවේදියකු වන ක්‍රිෂාන් ෆ්‍රැන්සිස් විසින් විමසන ලද පලමු වන ප්රශ්නය වූයේ 2015 ඔක්තෝබරයේ සම්මත කරන ලද ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී) යෝජනාව කෙරෙහි ගෝඨාභයගේ ආකල්පය කුමක් ද යන්නයි.
ඔහු වහාම මෙසේ ප්‍රකාශ කලේ ය: “අපි නිරන්තරයෙන් එක්සත් ජාතීන් සමග වැඩකරනවා, නමුත් ඔවුන් ශ්‍රී ලංකාවේ අතීත ආන්ඩුව සමග අත්සන් තබා ඇති දේ මට පිලිගත නො හැකි යි.” ඔහු මෙසේ ද කීවේ ය: “අපි දැනට මත් එම ගිවිසුම ප්‍රතික්ෂේප කොට තිබෙනවා... මේ පිලිබඳ අපගේ ප්‍රතිපත්ති බොහෝ වෙනස්.”
ගෝඨාභය හා ශ්‍රීලපොපෙ උද්ඝෝෂනයේ කේන්ද්‍රීය තේමාවක් වන්නේ, යූඑන්එච්ආර්සී යෝජනාවට එකඟ වීම මගින් වත්මන් ආන්ඩුව “රනවිරුවන් පාවා දී ඇත” යි කියාපෑම යි. මෙම සමස්ත ප්රචාරනයේ ඉලක්කය වන්නේ එලඹෙන මැතිවරනයේ දී හා ඉන්පසු කාලය ද ඉලක්ක කරගෙන ගෝඨාභයට මිලිටරියේ සහයෝගය රැලි කරගැනීම යි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වය දරන ශ්‍රී ලංකාවේ ආන්ඩුව, එක්සත් ජනපදය හා යුරෝපා සංගමය සමගින් ඉහත යෝජනාවට සම අනුග්‍රහය දැක්වී ය. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් මාසවල දී සිදුකරන ලද යුද අපරාධ පිලිබඳ ව ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය යයි වොෂින්ටනය කලින් කරන ලද ඝෝෂාව එම යෝජනාවෙන් දියාරු කර තිබුනි.
එසේ කලේ සිරිසේන හා වික්‍රමසිංහ බලයට පැමින ඇමරිකාවට ගැතිවන ලෙස කොලඹ ආන්ඩුවේ විදේශ හා මිලිටරි සම්බන්ධතා වෙනස් කිරීම නිසාය. රාජපක්ෂගේ ප්රජාතන්ත්ර විරෝධී පාලනයට සහයෝගය දුන් නමුත් වොෂින්ටනය ඔහු බෙයිජින සමග ගෙනගිය සම්බන්ධකම්වලට විරුද්ධ විය. නව යෝජනාව වූයේ ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ නිරීක්ෂනය යටතේ ඊනියා “දේශීය අධිකරනමය යාන්ත්රනයක්” විසින් විමර්ශනයක් කිරීම යි.
පසුගිය වසර හතර තුල මෙම සීමිත යෝජනාව යටතේ පවා ආන්ඩුව කිසිදු පියවරක් නොගත් අතර ඒ වෙනුවට යුද අපරාධ සඟවනු ලැබී ය. සිරිසේන හා වික්‍රමසිංහ යන දෙදෙනා ම -මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය මෙන් ම- යලි යලිත් අවධාරනය කරන්නේ, බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි 26 අවුරුදු යුද්ධයේ දී හෝ විශේෂයෙන් ම එහි අවසන් මාසවල දී යුද අපරාධ සිදු වී නැති බව ය.
එහෙත් යුද්ධයේ අවසන් මාස තුල පමනක් ඉව බව නැති වෙඩි වර්ෂා හා බෝම්බ හෙලීම් මගින් අවම වසයෙන් සිවිල් වැසියන් 40,000ක් වත් ඝාතනය කෙරුනු බව එක්සත් ජාතීන් තක්සේරු කර ඇත. බෙදුම්වාදී සංවිධානය පරාජය කරමින් 2009 මැයි මාසයේ යුද්ධය අවසන් කෙරුනි.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා ලෝසවෙඅ අවධාරනය කලේ, දෙමල වැසියන්ගේ හෝ එවන් උල්ලංඝනය කිරීම්වලට මුහුන දෙන ලෝකයේ කවර ජනතාවකගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා අනෙකුත් බලයන් විසින් හසුරුවන යූඑන්එච්ආර්සී යෝජනා පිලිබඳ ව කිසිදු විශ්වාසයෙක් නො තබන ලෙස යි. ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතික්ෂේප කරන්නේ ඔවුන් මානව හිමිකම් හා ප්රජාතන්ත්ර අයිතීන් උල්ලංඝනය කිරීම ගනනකට නො ගන්නා බවත් අනාගත ප්රහාරයන්ට සූදානම් බවත් ය.
එම මාධ්‍ය හමුවේ දී ම ජනමාධ්‍යවේදියෙක් ඔහුගෙන් විමසුවේ ජනාධිපති ධූරය භාරගත් වහා ම සියලු “රනවිරුවන්” නිදහස් කරන බවට අනුරාධපුරයේ පැවති ඔහුගේ පලමු මැතිවරන රැස්වීමේ දී ඔහු කල සඳහන පිලිබඳ ව යි.
ඔහු මෙසේ පිලිතුරු දුන්නේය; “රනවිරුවන් කියන්නේ දඬුවම් කල යුතු කොටසක් නෙවෙයි ...අසාධාරන ලෙස සිරගත කොට ඇති රනවිරුවන්ට නිදහස ප්රදානය කල යුතු යි. ඔවුන්ට විරුද්ධ ව නගා ඇති ව්‍යාජ චෝදනා ඉවත් කල යුතු යි” යි ඔහු ප්‍රකාශ කලේ ය.
ඔහු මෙම ප්‍රකාශය සිදුකලේ රටෙහි නීතිය හා අධිකරනය මුලුමනින් ම නො තකා හරිමින් ඊනියා රනවිරුවන් “නිදහස්” කිරීමට හා ඔවුන්ට එරෙහි චෝදනා හකුලාගැනීමට සූදානම් ආඥාදායකයෙක් ලෙස ය. ”සාධාරන” හා “අසාධාරන” වන්නේ කවරක්දැයි තීරනය කරන්නේ, ඔහු, ඔහුගේ පක්ෂය, මිලිටරිය හා වර්ගවාදීන් ය. ගෝඨාභය හා ඔහුගේ ආධාරකරුවන්ට අවශ්‍ය වන්නේ මිලිටරියට මුක්තිය ප්රදානය කිරීමයි.
“අසාධාරන ලෙස දඩයම් කරනු ලබන” නිලධාරීන් හා සොල්දාදුවන් පිලිබඳ කතාව මිලිටරියට සුදු හුනු ගෑමේ තවත් පචයකි. පසුගිය වසර හතර පුරා වින්ඳිත දෙමල ජනයාගේ හා ප්රජාතන්ත්රවාදී අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂනය කරන්නන්ගේ විවේචන මැද අත්අඩංගුවට ගත් නිලධාරීන් හා සොල්දාදුවන් 48 දෙනාගෙන් පවා 41කට ම නිදහස හෝ ඇප ලබා දුනි.
“මිලිටරියේ පවා 4,000ට අධික නිලධාරීන් හා සොල්දාදුවන් අතුරුදන් වී ඇති බව අපි දන්නවා ...යුද්ධයට ගොස් සටන් බීමේ ක්‍රියාකාරී වන විට අපගේ අයගේ ම සිරුරු සොයාගත නො හැකි යම් අවස්ථාවන් තිබෙනවා.”
පුද්ගලයන් හමුදාවට භාර වූ බව ගෝඨාභය ප්‍රතික්ෂේප කලේ ය. භාර වූ පුද්ගලයන්ගේ තොරතුරු ප්‍රසිද්ධියට පත් කර ඇති විනිසුරු පරනගම යටතේ මහින්ද රාජපක්ෂ විසින් පත් කල කොමිසම පිලිබඳ ව ඔහුට මතක් කරදෙන ලදී.
ජනමාධ්‍යවේදිනියගේ ප්‍රකාශ නො තකා හරිමින් ඔහු සඳහන් කලේ: “අපි ඉදිරියට යා යුතු යි, අතීත චෝදනා හා අනෙකුත් දේවල එල්ලෙමින් සිටීම අපි අමතක කල යුතු යි.” ඔහු ජනමාධ්‍යවේදීන්ට කීවේ තමා “අනාගතයේ රටේ ජනාධිපතිවරයා වන නිසා අනාගතය පිලිබඳ ප්‍රශ්න අසන” ලෙස ය.
ගෝඨාභය මෙම නරුම ප්‍රකාශයන් සිදුකලේ යුද්ධය අවසන් වූ තැන් පටන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ තොරතුරු විමසමින් සිය ගනන් ඥාතීන් අඛන්ඩ උද්ඝෝෂන වල යෙදෙද්දී ය. පුද්ගලයන් අතුරුදහන් කිරීම් ලංකාවේ පාලක ප්රභූව හා එහි රාජ්‍ය හමුදා සිදුකල යුද අපරාධයන් ගෙන් කොටසකි.
ගෝඨාභයට සහයෝගය දෙන ආරක්ෂක හමුදා නිලධාරීහු මිලිටරිය ඔහු වටා බලමුලුගන්වා ගැනීමේ අනවරත උද්ඝෝෂනයක නිරත ව සිටිති.
සැප්තැම්බර් 25දා යුද්ධයේ දී මියගිය සොල්දාදුවන්ගේ ඥාතීන්ගේ සංවිධානය කොලඹ දී සමුලුවක් පැවැත්වූ අතර, එහි දී ගෝඨාභය හා ඔහුගේ මිලිටරි ආධාරකරුවන්ගේ උද්ඝෝෂනය වඩා රුදුරු විය. එය සංවිධානය කරන ලද්දේ මිලිටරියේ විශ්‍රාම ලත් නිලධාරීන් විසිනි.
එහිදී කතා කල ගෝඨාභය පැවසුවේ මිලිටරියට, තමන් විසින් ආරක්ෂා කරගත් රට පාවාදීමට ඉඩ දිය නො හැකි බව යි. “අපි රනවිරුවෙක් රනවිරුවෙක් ලෙස ආරක්ෂා කරනවා. [ආන්ඩුව] විවිධ චෝදනා ගෙන එමින් ඔත්තු සේවය විනාශ කලා. මගේ ආන්ඩුවක් යටතේ එයට ඉඩදෙන්නේ නැහැ.”
විශ්‍රාම ලත් හමුදා නිලධාරියෙක් හා ගෝඨාභයගේ සමීප ආධාරකරුවෙක් වන මේජර් ජෙනරාල් කමල් ගුනරත්න හමුදාව “ත්‍රස්තවාදය අතුගා දමා” සාමය ස්ථාපිත කල බව කීවේ ය. “අපි රටට නය නැති මිලිටරි සාමාජිකයන්, රටට නය නැති මුලු රටම නය ගැති මිලිටරි සාමාජිකයින් අපි” යයි ඔහු තර්ජනාත්මක ව ප්‍රකාශ කලේ ය.
මිලිටරියට මුක්තිය සඳහා අයිතිය ඉල්ලමින් ගෝඨාභය හා ශ්‍රීලපොපෙ විසින් එය උත්කර්ෂයට නැංවීම කම්කරුවන් හා තරුනයන් බරපතල ලෙස ගත යුතු ය. එය සිදුවන්නේ, ජාත්‍යන්තර පන්ති අරගලවල පුනර්ජීවනයේ කොටසක් ලෙස ලංකාවේ කම්කරු අරගල නැගීම මධ්‍යයේ රටේ පාලක ප්රභූව පෙර නුවූ විරූ දේශපාලන අර්බුදයකට මුහුන දෙන තත්ත්වයකය. ජාත්‍යන්තර පිරිහීම විසින් උත්සන්න කෙරුනු ගැඹුරු ආර්ථික අර්බුදයක් මධ්‍යයේ පාලක ප්රභූව ආඥාදායක පාලන ක්‍රම සූදානම් කරමින් සිටී.
නය හා අනෙකුත් ආර්ථික ගැටලු කලමනාකරනය කරන්නේ කෙසේදැයි මාධ්‍ය හමුවේ දී ප්‍රශ්න මතු විය. වසර පහකට පෙර ඔවුන්ගේ පාලන සමයේ ආර්ථික සංවර්ධනයට හා ගැටලු විසඳීමට තමන්ට සැලසුම් තිබුනු බව ගෝඨාභය හා මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කල හ. මෙය ඇත්ත වසන් කිරීමකි. ඔවුන්ගේ පැවති ආන්ඩුව අතිමහත් බහුතර කම්කරුවන් හා දුගීන් විසින් ප්‍රතික්ෂේප කලේ දරාගත නො හැකි කොන්දේසි හේතුවෙනි.
මිලිටරිය මත වාරු වන අතර ශ්‍රීලපොපෙ හා ගෝඨාභය ගම්බද දුගීන් අතර අතෘප්තිය ගසාකෑමට රට වටා යමින් පොරොන්දු දීමට උත්සාහ කරති. මේ සතියේ ඇඹිලිපිටියේ පැවති රැලියක් ඇමතූ ගෝඨාභය, ගොවීන්ගේ නය කපා හැරීමටත් වී හා අනෙකුත් ධාන්‍යවලට ස්ථාවර මිල ක්‍රම හරහා ස්ථාවර ආදායම් සුරක්ෂිත කිරීමටත් පොරොන්දු විය. තමන් ජනාධිපති වුවහොත් “මගේ ඉලක්කය වන්නේ ගොවීන් ව්‍යවසායකයන් බවට පත්කිරීම යි” යි ඔහු කයිවාරුවක් ගැසුවේය.
එවැනි පච පොරොන්දු පාලක ප්රභූවට අවශ්‍ය වන්නේ ඡන්ද ගරා ගන්නා තෙක් පමනි. ඒ හා සමාන ව ගෝඨාභයගේ අනෙක් මැතිවරන ‘ප්‍රතිවාදියා’ වන එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස ද එවන් පොරොන්දු දෙන්නේ මිලිටරියේ සහයෝගය ගොනු කරගැනීම සඳහාය.
පාලක පන්තියේ මෙම නියෝජිතයෝ කප්පරක් පොරොන්දු පිටුපසින් ආඥාදායක සැලසුම් සූදානම් කරති. ගෝඨාභය මිලිටරිය ඔජවඩවන්නේත් ප්‍රේමදාස හිටපු හමුදා පති සරත් ෆොන්සේකා ලංකර ගන්නෙත් නිකමට නොවේ.
Follow us on