වැලිමඩ කම්කරු නිවසක් මතට ගසක් කඩාවැටී සමතලාවීමෙන් තිදෙනෙක් මියයති
ආර්. එම්. ගුනතිලක සහ අයිරාංගනී පෙරේරා විසිනි , 2019 ඔක්තෝබර් 18
වැලිමඩ නගරයේ සිට මීටර් 200ක් පමන දුරින් ඇති පැරනි ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල තිබූ භූමියට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් යද්දී ප්‍රාදේශීය සභාවේ සනීපාරක්ෂක කම්කරු පවුල්වල සාමාජිකයන් සිටියේ තමන්ගේ ඥාතීන් තිදෙනෙකු මරනයට පත්කරමින් සිදුවූ බෙදවාචකය නිසා ශෝකයෙන් කම්පාවෙමිනි.
මසකට ආසන්න කාලයක් තිස්සේ ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ලංකාව පුරා ම පාහේ ගංවතුරු හා නායයෑමේ උද්ගතව ඇති තත්වය තුලය, මෙම කම්කරුවන් ඔක්තෝබර් 12 වෙනි දා රාත්‍රී 9.30ට පමන ව්‍යසනයට මුහුන දුන්නේ. වත්තේ තිබුනු විශාල ටර්පන්ටයින් ගසක් පැල්පත් නිවසක් මතට කඩා වැටී මුලු ගෙයම පොලවට සමතලා වූයේ එහි පුද්ගලයන් සය දෙනෙකු සිටිය දී ය.
නිවසේ පදිංචිකරුවන් වූයේ සැප්තැම්බර් 10 වෙනි දා විවාහ දිවියට එලඹ සිටි 23 හැවිරිදි එම්. මහේෂ්වරන් හා 19 හැවිරිදි ජී. සුදර්ශනී ය. එ වේලෙහි නිවසේ එම්. රාමක්‍රිෂ්න (14), සුපුන් කුමාර (10) හා එම්. මහේන්ද්‍රන් (15) යන ඥාතීහුද සිටියහ. ඔවුන් සය දෙන ම ගසට යට විය. එයින් සුදර්ශනී, රාමක්‍රිෂ්න හා සුපුන් කුමාර ගේ ජීවිත අහිමි විය. අනෙක් තිදෙනා තුවාල ලැබූ මුත් දැන් සුව වී සිටිති.
1988-89 භීෂන සමයේ ජනතා විමුක්ති පෙරමුන “දේශප්‍රේමයේ” නමින් ගෙනගිය ෆැසිස්ට් ව්‍යාපාරයේ දී ගිනි බත් කල පරන ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල දැන් ඇට සැකිල්ලක් මෙන් එල්ලී දිස්වේ. එය අපට පෙන්වූවන් පැවසුවේ “කොයි මොහොතක හෝ මෙය ඇද වැටී අපේ ජීවිත අනතුරට පත් විය හැකි” බව ය.
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පෙරමුනු ආන්ඩුත් වර්තමාන ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ නිවස ව්‍යාපෘතිවලත් වේදිකාවල දොඩවන පුරසාරම්වල හා පසුගිය කාලය මුලුල්ලේ දී ඇති පොරොන්දුවල පල්ල යන ප්‍රකාශ මේ කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට ප්‍රකාශ කලෝ ය. එ පමනක් නොව පසුගිය කාලය පුරාම බලයට පත් ආන්ඩු කම්කරු-පීඩිත ජනතාවට සලකා තිබෙන ආකාරයත් මෙම ප්‍රකාශවලින් පැහැදිලි වෙයි.
“අපි මෙතන පදිංචි වෙලා අවුරුදු 30කට වැඩියි. ඉස්සර හිටියෙ පොලේ කඩ පේලියෙ. අපිව එතනින් අයින් කලා ට පස්සෙ යන්න තැනක් නැති නිසා මෙතන පදිංචි වුනා. ඒ කාලෙ පවුල් 18ක් 20ක් විතර හිටියෙ. දරුවො කසාද බැඳල දැන් අපි පවුල් 30ක් 35ක් විතර වෙලා. මෙතන පදිංචියට සුදුසු තැනක් නෙමෙයි කියල ඒ කාලෙත් අපි දැනගෙන හිටිය. නමුත් කරන්න දෙයක් නැති තැන මේ කුඩුගල් බෑවුමේ අපි පදිංචි වුනා.
ඒ කාලෙ ඉඳල අපිට ජීවත් වෙන්න හොඳ තැනක් දෙන්න කියල ඉල්ලීම් කරපුව අනන්තයි. ලියුම් ලියපුව කෙලවරක් නෑ. හැම තැනට ම ලිව්ව. මේ ගහ කපන්න කියල අපි කීප සැරයක් ප්‍රාදේශීය සභාවට කියල ඇති. අන්තිමට මොක ද වුනේ. කවුරුත් මිනිස්සුන්ගෙ ජීවිත ගැන හොයන්නෙ බලන්නෙ නැති බව තේරුනා.” අන්වර් පැවසී ය.
එස්. සුමිත්‍රා අපට ලිපියක පිටපතක් දෙමින් මෙසේ කීවා ය: “ජනාධිපතිට යවපු ලියුමට උත්තරයක් ආව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍යාංශයෙන්. ‘ඔබ විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත යොමු කර ඇති ඔබගේ ඉල්ලීම ජනාධිපති ලේකම්ගේ ... 2018/02/08 දිනැති ලිපියෙන් මෙම අමාත්‍යාංශය වෙත යොමු කර ඇත,‘ කියල එහි ලියා තිබුන.
මෙහි නිවැසියන්ට වැසිකිලි නැත. ඔවුන් ශරීරකෘතිය සඳහා යන්නේ මීටර් 200 පමන දුර ගෙවා නගර සභා වැසිකිලිවලට ය. ලමුන් අසල තිබෙන ගං ඉවුරේ එම කාර්යය කරති. විදුලිය හෝ වෙනත් කිසිම පහසුකමක් එහි නැත.
“අපි ඔක්කොම වගේ වැඩ කරන්නෙ ප්‍රාදේශීය සභා සනීපාරක්ෂක කම්කරුවො හැටියට. සමහරු කුලී වැඩ කරනවා. උදේ 5ට අපි වැඩට යන්නෙ කරුවලේ. අපිට ලයිට් නැති නිසා කුප්පි ලාම්පු එලියෙන් යන්නෙ. වටේ කැලේ හින්ද ගෝනුස්සො වගේ සත්තු ඉන්නවා. උන්ගෙන් අනතුරු වෙලත් තියනවා. හදිසි කැඳවීම්වලටත් අපිට යන්න සිද්ධ වෙනවා. ස්ථිර අය ටිකයි ඉන්නෙ. වැඩි දෙනා අනියම්. මම අවුරුදු 9ක් වැඩ කරල තියනවා තාම ස්ථිර කරල නෑ. දවසෙ පඩිය රුපියල් 1000ක් වත් නෑ. ” මුත්තුසාමි පැවසී ය.
“ස්ථිර අයගෙ පඩිය රුපියල් 35,000ක් විතර වෙනවා. නමුත් නයවලට හා වෙනත් දේවල්වලට කැපුනහම අතට එන්නෙ 6,000ක් විතර. ඒකෙන් අද කාලෙ ජීවත් වෙන්නෙ කොහොම ද? යි ප්‍රශ්න කල කේ. මලවි පැවසුවේ මෙහි පදිංචි දරුවන් හා වැඩිහිටියන් මුහුන දුන් ශෝක ජනක සිදුවීමකි.
”මීට අවුරුදු 5කට විතර ඉස්සෙල්ල අපි වැඩ ඇරිල එනකොට අපේ දරුවො ගෙදර නැහැ. ඒගොල්ලන්ව වීථි දරුවො කියල පරිවාසෙන් ඇවිත් අරගෙන ගිහින්. ලමයි 21ක් දෙනෙක්. අපි එදා හිටියෙ පිස්සු හැදුන වගේ. මට හිටියෙ ගෑනු ලමයි දෙන්නයි පිරිමි ලමයයි. තුන් දෙනාවම ගෙනිහිල්ල.
”අපි හැමෝම පරිවාසෙට ගිහිල්ල, පොලිසියට ගිහිල්ල අපේ ලමයි ඉල්ලුව. නඩුත් කිව්ව. කොහොම හරි අපි දඟලල වැඩි දෙනෙක්ව ආපහු ගත්ත.. මගේ දුවල දෙන්න තවම පරිවාසෙ. පුතාව අපි ගත්ත. අපි ලමයි බලන්න යනකොට බඩු මුට්ටු අරගෙන ගියා. ඒව ගෙනියනවට කැමති නැහැ. ඒ වුනාට ලමයි අපිට අඩුපාඩු කියනව. කෑම දෙනව. ඉස්කෝලෙ යවනවා. නමුත් සබන්, දත් බෙහෙත්, සෙරෙප්පු වගේ අවශ්‍ය දේවල් හරියට නැහැ.
”ඇත්තටම අපේ ලමයින්ට මහ සැප දෙන්න අපිට පුලුවන්කමක් නැහැ. සම්බෝලයි බතුයි හරි දීල අපි ලමයිව බලා ගන්නව අපිට පුලුවන් විදියට. ඉස්කෝලෙ අරිනව. හැබැයි සමහර ලමයි නැති බැරිකමට ටවුන් එකට ගිහිල්ල ඉල්ල ගෙනත් කනව. මෙහෙමවත් ඉන්න තැනක් නැති පාරෙ ඉන්න ලමයි ටවුන් එකේ දැනටත් ඉන්නවා. අපේ ලමයිවත් ඒ ගොඩට දාල තමයි අරගෙන ගිහිල්ල තියෙන්නෙ.”
ධනේශ්වර ආන්ඩුවල “ලමුන් සුරක්ෂිත කිරීමේ” වැඩ පිලිවෙලවල් වල හා “ලෝක ලමා දින”වැඩ සටහන්වල පුරාජේරුව මලවිගේ කතාවෙන් අමු පචයක් බව පැහැදිලි ය.
කුඩුගල් සහිත බෑවුමක් වූ ඔවුන් පදිංචි මෙම ඉඩම පර්චස් 30කට වඩා නැත. එකකට එකක් ලංවන සේ සාදා ඇති අඩි 10ක් 15ක් තරමේ වූ මේ කාමර කෑලිවල පවුල් දෙකක් තුනක් දිවි ගෙවති. මෙහි පෙලොව දෙස බලන අයෙකුට පෙනෙන්නේ ඕනෑම මොහොතක මේ බිම ද පොලවට පහත් වී විනාශයට ලක් විය හැකි බව ය.
මෙ බිමේ බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම්වලට අයත් සිංහල, දෙමල, මුස්ලිම් ජාතිකයන් ධනේශ්වර ප්‍රහාරවල පීඩනයෙන් හෙම්බත්ව එක්ව ජීවත් වෙති. ඔවුන් ඉල්ලා සිටින්නේ ඉතිරි ජීවිතවල පන බේරාගෙන ජීවත් වීමට සුදුසු නිවාස ලබා දෙන ලෙස ය.
තම දරුවා මියැදීමෙන් උපන් ශෝකයෙන් බරිත ව සිටි මීනර්කොඩි මෙසේ පැවසුවා ය. “මට හිටියෙ එකම පුතයි දූල තුන් දෙනයි. මගෙ පුතා රාමක්‍රිෂ්න. අවුරුදු 14යි තව අවුරුදු දෙකකින් ඉලන්දාරියෙක්. ඒ දරුව මැරුනෙ අපි ජීවත්වෙන විදිය දිහා කවුරුවත් බැලුවෙ නැති නිසා. ජීවත් වෙන්න හොඳ තැනක් දුන්නෙ නැති නිසා. මොනව කරත් නැති වුනු දරුව ලැබෙන්නෙ නෑ.
”මට ඕනැ කරන්න මගෙ දූල තුන්දෙනාගෙ ජීවිත යි ඉතුරුවෙලා ඉන්න අපි හැමෝගෙම ජීවිතයි පරිස්සම් කරගෙන ඉන්න පුලුවන් තැනක් ලබා ගන්න. මෙහෙට ආව මන්ත්‍රිලගෙන් ඉල්ලුව. මෙතනින් කොච්චර මන්ත්‍රිල ඇමතිල යනව ද? කාටවත් පේන්නෙ නැද්ද අපේ ගෙවල්වල හැටි. ඡන්දෙ අපෙන් අරන් ඒ ගොල්ලො ඉන්නෙ මාලිගාවල. ඡන්දෙ දෙන අපි ඉන්නෙ ඒගොල්ලන්ගෙ බලු කූඩු වගේ ගෙවල්වල.
”රවීන්ද්‍ර සමරවීර [වත්මන් එක්සත් ජාතික පක්ෂයේ කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා ඇමති] පාරෙ ඉන්දැද්දි එයාගෙ නෝන ඇවිත් මගෙ ඔලුුව අත ගෑව. ඔලුව අතගාල මොනව කරන්න ද? මං එයාටත් කිව්ව අපේ දුක. අපෙන් ඡන්ද ගන්න නං මෙතෙන්ට එනව. මේ වෙලාවෙ රවීන්ද්‍ර මහත්තයට එන්න කැත ඇති. අපි ගඳ ඇති. අපි හුඟ දෙනෙක් වැඩ කරන්නෙ කුනු වලේ. කොම්පොස්ට් එකේ. අපිව ස්ථිර කරන්නෙ නෑ. අවරුදු හයක් මං වැඩ කරනව. අධ්‍යාපන සහතික ගේන්න ලු. අපි ඉස්කෝලෙ ගිහිල්ල නැතුව කොහොම ද ඉස්කෝල සහතික ගේන්නෙ. අපේ දුප්පත්කමට ඉස්කෝලෙ ගියෙ නැත්තෙ.”
කම්කරුවන්ගේ ප්‍රකාශ ඔවුන් මුහුන දෙන නොඉවසිය හැකි කොන්දේසි හෙලි කරයි. ඛේදවාචකය බලයට පත් ආන්ඩුවලට හා සමස්ත ධනපති ක්‍රමයටම එල්ලවන තවත් දෝෂාභියෝගයකි. ලාභ හා වරප්‍රසාද හඹා යන පරපුටු ධනපති පන්තියට කම්කරුවන්ගේ හා දුගීන්ගේ මෙම කොන්දේසිවලට මුලුමනින්ම වගකිවයුතු ය.
මෙම ඛේදජනක සිදුවීමද එම ජනයාගේ ජිවිත සටන ද ලංකාව තුල අහඹු තත්වයක් නොවේ. අන්ත දුගී තත්වයට ඇදහෙලුනු ජනයා රටේ බොහෝ තැන්වල අත්විඳින්නේ මෙම තත්වයයි.
සිද්ධිය වූයේ හරියට ම ජනාධිපතිවරනය නාම යෝජනා ප්‍රකාශයට පත්කිරීමෙන් දින හයකට පසුවය. පාලක එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස, ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ ගෝටාභය රාජපක්ෂ හා ජනතා විමුක්ති පෙරමුනේ අනුර කුමාර දිසානායක යන ධනපති අපේක්ෂකයෝ යලිත් වරක් මහජනයාගේ සකල සියලු ප්‍රශ්න විසඳන බවට බොරුබේගල් පොරොන්දු කප්පරක් වේදිකාවල ඇදබාති. බේගල්වල් දිගපලල තරමට ම ඔවුන්ගෙන් කවරෙක් බලයට ආවත් මහජනයා දැන් සිටින තැනින් ද පහලට ඇද දමන ප්‍රහාර එල්ල කිරීමට නියමිත ය.
Follow us on