ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛනාගාරයෙන්

රොනල්ඩ් රේගන් (1911-2004): චරිතාපදානයක්

Ronald Reagan (1911-2004): An obituary

By David North

පෙබරවාරි 6 දාට යෙදුනු රොනල්ඩ් රේගන්ගේ උපතේ ශතසංවත්සරය එක්සත් ජනපදයේ 40 වන ජනාධිපතිගේ ජීවිතය හා වෘත්තිය පිලිබඳ මාධ්‍ය මිථ්‍යාකරනයේ නව වටයක් පොලඹවා තිබේ. එයට ප‍්‍රතිචාර වසයෙන්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් 2004 දී රේගන්ගේ අභාවයෙන් පසුව ලියන ලද දේශපාලන චරිතාපදානයක් යලි පල කරයි. මෙම ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල භාෂාවෙන් මුලින් පල වූයේ 2004 නොවැම්බර් 22 දා ය.

***

ඒ උතුමානන් මිය ගොහින් ? පුදුම යි !

ඒ නම් විය නොහැක්කකි

අනෙක වයස් ගත ව ! ඔහුගේ ම ඇඳ මත !! . . .

"සැබැවින් ම මේ නම්

ඔහු මිය යා යුතු කාලය යි

ලොව ඇති තාක් කල් ඔහුගේ බර දැරුවා;

ඔහුත් අග්ගිස්සට ම තම ඉටිපන්දම දැල්වුවා;

ඇතැමුන් සිතන හැටියට,

ඔහු මෙතරම් ම නපුරු ගඳක්

ශේෂ කොට ගියේ

ඒ නිස යි."

ජොනතන් ස්විෆ්ට්ගේ, A Satirical Elegy on the Death of a Late Famous General (දිවංගත සුප‍්‍රකට ජනරාල්වරයකුගේ මරනය පිලිබඳ උපහාසාත්මක ඛේදකාව්‍යයක්) නම් කෘතියෙන්

රොනල්ඩ් රේගන්ගේ මරනය, අවසානයේ දී එය එලඹි විට, එක්සත් ජනපදයේ 40 වන ජනාධිපති වෙනුවෙන් කෙරුනු සීනි බහුල ප‍්‍රශංසා වැගිරීමකින් එය පිලිගනු ලැබීම, අනිවාර්ය දෙයක් විය. එහෙත් මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය විසින් රේගන්ගේ මරනයට ප‍්‍රතිචාර ලෙස දියත් කෙරුනු වංක, නරුම හා විකාරරූපී අමන ප‍්‍රචාරක ව්‍යාපාරයට මුහුන දීම සඳහා සූදානම් වනු වස් කිසිවක් කල හැකි තත්වයක අහිංසක නිරීක්ෂකයා සිටියේ නැත. ඇත්ත වසයෙන් ම, පසුගිය වසර තුල ඉරාකයේ හා සැබෑ ලෝකයේ සෙසු පෙදෙස්වලින් නො නැවතී ගලා එන නරක ප‍්‍රවෘත්ති ප‍්‍රවාහය මධ්‍යයේ, බුෂ් පරිපාලනය සහ එහි මාධ්‍ය මිතුරෝ, අවධානය වෙනතකට යොමු කිරීමේ ද රටේ පවත්නා වඩ වඩා දොම්නස් සහගත හා අහිතවත් මනෝගතියට මුහුන දීමේ ද කිසියම් විධියක්, මංමුලා සහගතව සොයමින් සිටියහ. ඩී-ඩේ (දෙවන ලෝක යුද්ධයේ දී බි‍්‍රතාන්‍ය හා ඇමරිකානු ඇතුලු මිත‍්‍ර පාක්ෂික හමුදා උතුරු ප‍්‍රංශයේ නෝමැන්ඩිවලට ගොඩ බැස්සා වූ 1944 ජූනි 6 දින) හැට වන සංවත්සර උත්සවය එම අපසරනය නිර්මානය කිරීම පිනිස යොදා ගැනීමේ අභිප‍්‍රායක් ආරම්භයේ දී පැවතුනි. එහෙත් වේලාවට ම පැමිනි රේගන්ගේ මරනය, මාධ්‍ය අනුග‍්‍රහයෙන් දියත් කෙරුනු වීර වන්දනා, ධජ ලෙලවීම් හා මිථ්‍යා ප‍්‍රබන්ධ ව්‍යාපාරයක පිපිරීම සඳහා වඩාත් හොඳ අවස්ථාවක් සම්පාදනය කර ඇත.

ඇමරිකානු මාධ්‍යයන්හි පරිපූර්න බලමුලු ගැන්වී ගැනීම තරම් දැකීමට අපි‍්‍රය ජනක තවත් දෙයක් නොමැති බව පිලිගැනීමට කෙනෙකුට බල කෙරේ. සෙනසුරාදා රේගන්ගේ මරනය නිවේදනය කල අවස්ථාවේ පටන්, මෙම ප‍්‍රචාරක යන්ත‍්‍රයේ දැවැන්ත බලය මෙහෙයවනු ලැබ ඇත්තේ, අති මහත් ඓතිහාසික මුසාවාදකරන අභ්‍යාසයක් ලෙසිනි. වායු බුරුසුවේ නූතන මාධ්‍ය අනුවාදය පරිද්දෙන් රේගන් පරිපාලනයේ කාල පරිච්ඡේදය ශුද්ධ පවිත‍්‍ර කිරීමකට පාත‍්‍ර කර ඇත. රේගන්ගේ පිලිවෙත් මගින් එක්සත් ජනපදයේ ඇති කෙරුනු සමාජ කාලකන්නි භාවය, ඔහුගේ පාලන තන්ත‍්‍රය විසින් නීති විරෝධීව සැපයුනු අරමුදල් මගින් පෝෂනය වූ ෆැසිස්ට් ඝාතක කල්ලිවලට ගොදුරු වීමෙන් මධ්‍යම ඇමරිකාවේ දස දහස් ගනනකට ජීවිත අහිමි වීම, 20 වන සියවසේ ඇමරිකාවේ පැවති වඩාත් ම දූෂිත පරිපාලනයක තදින්ම කාවැදුනු සාපරාධී ස්වභාවය -- යන මේ සියල්ලත් ඊට සමානව ම ගඳ ගහන සෙසු විස්තරත් වැඩි හෝ අඩු වසයෙන් නො තකා හැර තිබේ. ඔහු විසින් දකුනු අපි‍්‍රකාවේ වර්නභේදවාදී තන්ත‍්‍රය ආරක්ෂා කරනු ලැබීම, අනේක දක්ෂිනාංශික ආඥාදායකත්වයන්ට මූල්‍ය ප‍්‍රතිපාදන සැපයිම හෝ ජර්මනියේ බිට්බර්ග්හි සොහොනක මිහිදන් කෙරුනු නාසිවාදී එස්එස් භටයන්ට උපහාර දැක්වීම ආදිය පිලිබඳව කිසිවක් කියවීමට ඇත්තේ නැත. මාධ්‍ය උත්සාහ දරන්නේ, රේගන්ගේ ජීවිතය හා දේශපාලන චර්යාව පිලිබඳ කිසියම් වෛෂයික තක්සේරුවක් යටගැසීමට පමනක් නො වේ, ඔහුගේ පරිපාලනයේ පිලිවෙත්වල පැවති වඩා අප‍්‍රසන්න අංග පිලිබඳ සඳහනක් කිරීම පවා වාරනයට ලක් කරනු පිනිස ය.

මෙම දැඩි ප‍්‍රචාරක ව්‍යාපාරයේ එල්ලය වන්නේ, මහජනයා නො මග යැවීම හා ව්‍යාකුල කිරීම පමනක් නො ව, මහජන මතය බියගැන්වීම ය. එනම්, රේගන්ට හා ඔහු නියෝජනය කල සෑම දෙයකට ම ගර්හා කරන අසංඛ්‍ය ඇමරිකානුවන් අතර දේශපාලන හා සමාජ හුදකලාවක් පිලිබඳ හැඟීමක් වගාදිගා කිරීම සහ තමන්ගේ ම විනිශ්චයන් ගැන සැකයක් නො වේ නම්, අඩු ගනනේ එක්සත් ජනපදය තුල විරුද්ධවාදී අදහස් දැරීම පිලිබඳ බලාපොරොත්තු නිරර්ථක ය යන හැඟීමක් වත් ඔවුන්ගේ සිත් තුල නිර්මානය කිරීම ය.

එහෙත් සමස්ත සිද්ධිය ම -- දින පහක නිල ශෝක කාලය, නිමක් නැති මාධ්‍ය ආවරනය, රාජ්‍ය අවමගුල් උලෙලක දර්ශනය – කෙරෙහි රටේ තැකීමක් නැත. තමන් ශ්‍රේෂ්ඨ හා වැදගත් මිනිසකුගේ වියෝව අත්විඳ ඇත යනුවෙන් හෝ තමන්, තනි තනිව හා මහජනතාවක් ලෙස, සැබෑ වියොවක් අත් විඳ ඇත යනුවෙන් හැඟීමක් පුරවැසියන්ට දැනුනු බව පිලිබඳ ඇඟවුමක් සඳුදා උදයේ පාසල්වල, කාර්යාල හා කම්හල් තුල, දක්නට නො ලැබුනි. කෙනඩිගේ මරනය කෙසේ වෙතත්. රූස්වෙල්ට්ගේ මරනය මතකයට නගා ගැනීමට තරම් වියපත් අයට වෙනස වඩාත් පැහැදිලි විය හැකිව තිබුනි. ඔව්, මෙම මිනිසුන් දෙදෙනාත් ධනේශ්වර දේශපාලනඥයෝ ද පවත්නා සමාජ පර්යායේ ආරක්ෂකයෝ ද වූහ. එහෙත්, රූස්වෙල්ට්ට හා කෙනඩිට, ඔවුන්ගේ දේශපාලන වෘත්තියේ විවිධ අවධීන්හි දී, කම්කරු පන්තියේ හා ඇමරිකානු සමාජයේ සෙසු පීඩිත ස්ථරයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අභිලාෂයන් පිලිබඳ සැබෑ ව්‍යක්ත හඬක් පැවතුනු අතර, ගැඹුරින්ම දැනුනු ආදරයක් ඔවුහු දිනා ගත්හ. මෙම මිනිසුන් මිය ගිය විට සැබැවින්ම කඳුලු සැලුනි.

එහෙත් අති මහත් සාමාන්‍ය වැඩ කරන ජනයා සම්බන්ධයෙන් ගත හොත්, රේගන්ගේ මරනය කිසි ලෙසකිනුත් වැදගත් සිද්ධියක් නො වේ. එය ඔවුන්ගේ භාවයන් මත්තේ මොන යම් හෝ බලපෑමක් ඇති නො කරයි. ඒ, ඔහු අල්සීමර් රෝගයෙන් පෙලෙන බව නිවේදනය කිරීමෙන් පසුව දශකයක් තිස්සේ රේගන් මහජන දර්ශන පථයෙන් පිටස්තරව සිටි නිසා පමනක් නො වේ. තම ජීවිත මුලුමනින් ම වඩා නරක අතට හරවමින් "රේගනොමික්ස්" (රේගන්ගේ ආර්ථික පිලිවෙත්) විසින් ඇති කෙරුනු බලපෑම බොහෝ කම්කරු ජනයාට තවමත් මතක ය. සත්තකින් ම, කම්කරු පන්තියේ පුලුල් කොටස් විසින්, ඔහු දකිනු ලැබුවේ හර්බර්ට් හූවර්ගෙන් පසු සිටි වඩාත්ම වෛරයට ලක්වූ ජනාධිපති ලෙස ය. මධ්‍යම පන්තියේ සහ වඩා සෞභාග්‍යමත් කම්කරු ස්ථරයන්ගේ සැලකිය යුතු කොටස් අතර පවා රේගන්වාදයට පැවති සහයෝගය සැලකිල්ලට ගත්තත්, රේගන්ට ආරෝපනය කර ඇති අති මහත් ජනපි‍්‍රයත්වය බොහෝ සෙයින් කෘති‍්‍රම ස්වභාවයක් දරන්නකි. එය වනාහි, යථාර්ථය තුල ඒවාට නො තිබූ මහජන අනුමැතිය පිලිබඳ බ්‍යාමප‍්‍රභාවක් ඔහුගේ පරිපාලනයේ පිලිවෙත්වලට උරුම කරනු පිනිස, මාධ්‍ය විසින් ගොතන ලද මිථ්‍යාවකි.

පාලක ප‍්‍රභූවේ අභිමථාර්ථයන්ට සේවය කරනු පිනිස මාධ්‍ය විසින් ඉතිහාසය යලි ලියනු ලබද්දී, 1980 ගනන් යනු 1940 ගනන්වලින් මෙපිට එක්සත් ජනපදය තුල අත්දුටු පන්ති අරගලයේ වඩාත් ම කටුක සිද්ධීන්ගෙන් යුත් දශකය ය යන කරුන පිලිබඳව කිසිදු සඳහනක් කෙරී නැත. බලයේ සිටි පලමු වසර තුල දී ම රේගන් ආන්ඩුව විසින් ගනු ලැබූ පියවර -- වැදගත් සමාජ වැඩපිලිවෙලවල්වලට වෙන් කෙරුනු ෆෙඩරල් අරමුදල් කපා හැරීම, 1981 අගෝස්තුවේ දී වර්ජනයකට පිවිසි 12,000කට ආසන්න ගුවන් ගමන් පාලකයන් දොට්ට දැමීම -- දශ ලක්ෂ ගනන් කම්කරුවන් කෝපයට පත් කලේ ය. නව පරිපාලනයේ සමාජ දර්ශනය එහි වඩාත් ම විසකුරු ප‍්‍රකාශනය අත්පත් කර ගත්තේ, පාසල් දිවා ආහාර වැඩපිලිවෙලවල් සඳහා වූ ෆෙඩරල් අරමුදල් කප්පාදු කිරීම යුක්තියුක්ත කරනු වස් "කෙචප්" එලවලුවක් ලෙස යලි අර්ථදැක්වීම තුල ය. අයවැය කප්පාදුවලට හා ගුවන් ගමන් පාලකයන්ගේ වෘත්තිය සමිතිය වූ පැට්කෝ බිඳ දැමීමට එරෙහිව, හත් ලක්ෂ පනස් දාහකට ආසන්න කම්කරුවෝ 1981 සැප්තැම්බරයේ දී වොෂිංටනයෙහි විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. ඊටත් වඩා විශාල විරෝධතා ව්‍යාපාරයක් 1983 වොෂිංටනයේ දී පැවත්වුනි. රේගන් පරිපාලනයේ පන්ති යුද්ධ පිලිවෙත්වලට එරෙහිව කම්කරුවන් පෙරලා සටන් වැදුනු කල සෑම කර්මාන්තයක් ම පාහේ තියුනු හා බොහෝවිට ප‍්‍රචන්ඩ වර්ජන කි‍්‍රයාවන් මගින් සොලවාලන ලදි.

එහෙත්, මිය ගිය ජනාධිපති වෙනුවෙන් දැන් ගැයෙන ප‍්‍රශස්ති තුල එම ඉතිහාසයට කිසිදු තැනක් ලැබී නැත. රේගන්ට පිදෙන මෙම උපහාර, සාරාර්ථ වසයෙන් ගත් කල, ධනවතුන් වෙනුවෙන් ඔහු කල සේවාවන් සැමරීමකි. ඔහුගේ පරිපාලනයේ ප‍්‍රධානතම එල්ලය වූයේ, පුද්ගලික ධනය ඒකරාශී කිරීමට බලපාන සියලු නෛතික සීමාවන් ඉවත් කිරිම යි. 19 වන සියවසේ ප‍්‍රන්සයේ ලුවී-පිලිප් රජුගේ කුප‍්‍රකට දූෂිත ආන්ඩුවේ මෙන් ම, රේගන් පරිපාලනයේ ද ආදර්ශ පාඨය වූයේ "ඔබ ම පොහොසත් වනු" යන්න යි. ධනවතුන්ගේ බදු අනුපාතිකයන් පහල දැමීම -- සියයට 70 සිට සියයට 28 දක්වා -- මගින් ජනාධිපති රේගන් කෘතවේදී ධනවතුන්ගේ අසීමිත ආදරය දිනාගති. මෙම දැවැන්ත බදු කප්පාදුව, 1980 ගනන් ගුනාංගීකරනය කෙරුනු, සමාජ සල්ලාලත්වයේ හා ධනවත්කම අති උත්කර්ෂවත් ලෙස සැමරීමේ වාතාවරනයක් සඳහා පදනම දැමී ය. එය වනාහි, මයිකල් මිල්කන්ගේ, ඉවාන් බෝස්කිගේ, දැන් යලිත් කරලියට පිවිසෙන ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ සහ සත්තකින් ම, "කෑදරකම යහපත් දෙයකි" යනුවෙන් ප‍්‍රකාශ කිරීම මගින් එතරම් ප‍්‍රසිද්ධියට පත් ගෝරඩන් ගෙකෝ නමැති ප‍්‍රබන්ධ චරිතයේ දශකය යි.

රේගන් "ශ්‍රේෂ්ඨ සන්නිවේදකයා " ලෙස නිමක් නැතිව පැසසුමට ලක් කෙරෙයි. මෙය වනාහි, ජනාධිපති විසින් හකු පාඩා සොලවමින් වමාරන ලද ඔවුන්ගේ ආත්ම-ලාභයට සේවය කල නිස්සාර කථා ඇසීමෙන් විනෝද වූ ධනවත් පිලිස්තීනුවන් විසින් පාලනය කෙරෙන මාධ්‍ය මගින් ඔහු මත රෝපනය කරන ලද පුහු පට්ටමකි. රේගන්ගේ නියම කතාවක් වනාහි, යම් ගාමකයකින් යුක්ත කතිකයන් විසින් දිනපතා වමාරනු ලබන කතා පන්නයේ විකාර, පූච්චානම්, කිසිදු අවධානයකින් තොරව කරන ව්‍යාකුල ප‍්‍රකාශ සහ සම්පප‍්‍රලාප යනාදියේ මිශ‍්‍රනයකි. ඔහුගේ කතා ඇමරිකාවේ මැරියට්, හියාට් සහ හිල්ටන් හෝටලවල අර්තාපල් තලප මිශ‍්‍රන හා පිරවූ කුකුලූ කැවුතු බුදිමින්, නිමක් නැති ව්‍යාපාරික දිවා භෝජනෝත්සවවල දී දිනපතා උනුන් හා පවත්වන කතා පන්නයේ ඒවා ය. මේ ආකාර භාෂාව කාරක කථකයක්, ශාරීරික පෙනුම හා බුද්ධිමය ධාරිතාව යන දෙකෙන් ම බොහෝ දුරට රේගන්ට සමාන 29 වන ජනාධිපති වූ වැරන් හාර්ඩිං, ජාතික විහිලුවක් බවට පරිවර්තනය කලේ ය.

එහෙත් රේගන් ම කොයි ආකාරයක මිනිසෙක් වී ද? ඔහුගේ උද්යෝගිමත් ම ප‍්‍රශස්තිකරුවන් පවා, කැපී පෙනීම කෙසේ වෙතත් අසාමාන්‍ය ස්වභාවක් ඔහුගේ පෞරුෂත්වයේ හා චරිතයේ දැක ගැනීමට අපොහොසත් ය. ඔහුගේ නිල චරිතාපදානය ලියූ එඩ්මන්ඩ් මොරිස් "සැබෑ " රේගන්, පොදු ව්‍යක්තියට පිටුපසින් සිටින අත්‍යවශ්‍ය මිනිසා, සොයා ගැනීමට දැරූ තම ප‍්‍රයත්නයේ දී කෙතරම් නම් අපේක්ෂා භංගත්වයට පත් වූවා ද කිය තොත් ප‍්‍රබන්ධ රචනාවේ උපක‍්‍රමය යොදා ගැනීමට ඔහුට බල කෙරුනි.

ඔහුගේ විෂයයේ හුදු නො ගැඹුරු භාවය මගින් චරිතාපදාන රචකයා ව්‍යාකුල කෙරුනි. ඔබට අවස්ථාවක් ලැබුනොත් රේගන්ගේ චිත‍්‍රපටි නරඹන්න. නලුවාගේ තුට්ටු දෙකේ රඟපෑම්, නිර්මානාත්මක පරිකල්පනයේ අංශු මාත‍්‍රයක් වත් එලිමහනට ගෙන ඒමට අසමත් විය. ඔහුගේ රඟපෑමේ වඩාත් ම කැපී පෙනෙන ලක්ෂනය වූයේ භාවමය ගැඹුරකින් මුලුමනින් ම තොර වීම ය. වඩා සංවේදී හා සංවේදනීය මිනිසෙක් වී නම්, ඔහුගේ ම ජීවිතයේ ආරම්භක කාල පරිච්ඡේදය -- එලඹෙන මූල්‍ය ව්‍යසනයක සෙවනැල්ලට යටතේ ඉලිනොයි ප‍්‍රාන්තයේ ඩික්සන් නම් කුඩා නගරයේ එපා කරවන වාතාවරනයක හැදී වැඩුනු, මත්පැනට ලොල් පියකුගේ පුතා -- තුලින් මානව උපද්‍රවය තුල නාටකාකාර අභිනිවේෂයක් සඳහා ප‍්‍රමානවත් අමුද්‍රව්‍ය සොයා ගනු ඇත. කෙසේ වෙතත්, රේගන් කි‍්‍රයාත්මක වූයේ මතුපිට විෂය පථයේ ය. ඔහුගේ රංඟන කෝශ ග‍්‍රන්ථය සමන්විත වූයේ නාට්‍යමය අවස්ථාව විසින් ඉල්ලා සිටි කල ඔහු කැඳවා ගන්නා, කල් තබා කිව හැකි අංග චලනයන්ගෙන් යුත් මෙවලම්වලිනි. ඔහුගේ චරිතයට කනස්සල්ල ප‍්‍රකාශ කිරීමට අවශ්‍ය වූයේ නම් රේගන් සිය බැම රැලි ගැන්වී ය. කෝපය ප‍්‍රකාශයට පත් කලේ මුහුනේ මාංශ පේශීන් හැකිලීමෙනි. අඩු ගනනේ 1940 ගනන් මූල දී, ඔහු එක්තරා දුරකට ලාමක ආකර්ශනයක් පෙන්වීමට ද සමත් විය. එහෙත් ඉන් පසුව, ඔහු මැදි වියට එලඹුනු කල, රේගන්ගේ රංඟන ජීවිකාව එක තැන පල්වීමට පටන් ගැනුනි.

අප ඔහු ම කරන විස්තරය පිලිගන්නේ නම් හොලිවුඩ්හි සිය ප‍්‍රථම දශකය තුල දී රේගන් "මත්වූ" ලිබරල්වාදියෙක් හා රූස්වෙල්ට්ගේ අනුගාමිකයෙකි. සිය දේශපාලන අදහස් නාටකාකාර ලෙස වෙනස්වීම පිලිබඳ විශ්වාසනීය පැහැදිලි කිරීමක් ඔහු කිසිදාක ඉදිරිපත් කොට නැති නමුදු, 1940 ගනන් අග, ඔහුගේ රංගන ජීවිකාවේ ඇති වූ කඩා වැටීමට දැක්වූ යම් ආකාරයක බඩජාරී, කෝපාවිෂ්ට ප‍්‍රතිකි‍්‍රයාවක් ලෙස එය වර්ධනය වූ බව පෙනී යයි. එම කාල පරිච්ඡේදයේ දකුනට පදිමින් තිබු දේශපාලන ධාරාව, තමාට ලැබිය යුතු ය යි ඔහු සිතූ චරිත එසේ ලබා දීමට අපොහොසත් වූ අධ්‍යක්ෂකවරුන් හා තිර නාටක රචකයක් අතර සිටි ප‍්‍රබුද්ධ "රත්තන්" ට පෙරලා පහර දීමේ අවස්ථාවක් රේගන්ට ලබා දුනි. 1940 ගනන් අග හා 1950 ගනන් මුල කොමියුනිස්ට් විරෝධී හොලිවුඩ් දඩයම් ව්‍යාපාරය තුල රේගන්ගේ කි‍්‍රයා කලාපයට නියම ආවේගාත්මක පසුබිම සැපයුනේ මෙයිනි. කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් යයි සැක කෙරුනු අයගේ නම් ගම් සැපයූ බව රේගන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රතික්ෂේප කල නමුදු ඔහු එෆ්බීඅයි ඔත්තු ආයතනයට රහසේ තොරතුරු සැපයූ බව ඒකාන්තයෙන් ම තහවුරු වී තිබේ. සිය රංගන ජීවිකාවේ අසාර්ථකත්වය පිලිබඳ රේගන්ගේ කෝපයට එක් වූ තවත් සාධකයක් වූයේ, ඔහුගේ පෞද්ගලික ආදායමෙන්, දේශීය ආදායම් සේවාව ඉල්ලා සිටි බදු සම්බන්ධයෙන් ඔහුට ඇති වූ අසන්තුෂ්ටිය යි. මෙම හැඟීම් අව්‍යාජ හා ගැඹුරින් ම දැනුනු ඒවා වූ අතර 1960 ගනන් මුල කැලිෆෝනියාවේ පුලුල් මධ්‍යම පන්තික කොටස්වල කලකිරීම හා අසන්තුෂ්ටිය, ඔහුගේ සියලු සිනමා චරිත නිරූපනයන් තුල නො තිබූ අවංක භාවයකින් යුතුව, ප‍්‍රකාශයට පත් කිරීමේ ඉඩකඩ රේගන්ට එම තතු මගින් ලබා දුනි.

1966 දී කැලිෆෝනියාවේ ආන්ඩුකාරයා ලෙස තේරී පත් වීම තිබිය දී ම, රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ ඔහුගේ ප‍්‍රයත්නයන්, 1980 සාර්ථක්වයට පෙරාතුව දෙවරක් ම ව්‍යර්ථ විය. එහෙත් එම අවස්ථාවේ දී පවා ඔහු ජනාධිපති ලෙස තේරී පත් වීම ඇමරිකානු ලිබරල්වාදයේ හා ඩිමොක‍්‍රැටික් පක්ෂයේ දේශපාලන බංකොලොත්කම හේතු කොට ගෙන මිස අන් අයුරකින් වටහා ගත නො හැකි ය. වියට්නාම් යුද්ධය, ලිබරල්වාදය හා ඩිමොක‍්‍රැටික් පක්ෂය සදාචාරමය වසයෙන් අපකීර්තියට ලක් කොට තිබූ අතර 1970 ගනන්වල වඩ වඩා නරක අතට හැරෙමින් තිබූ ආර්ථික කොන්දේසි, රූස්වෙල්ට් ආන්ඩුවේ හා ඔහුගේ ඩිමොක‍්‍රැටික් පසුප‍්‍රාප්තිකයන්ගේ, සීමිත සමාජ ප‍්‍රතිසංස්කරනවාදය පවත්වා ගෙන යාමට රුකුල් දුන් පදනම් ඛාදනය කර දැමී ය.

කාටර් ආන්ඩුවේ සිවු වසරක කාල පරිච්ඡේදය තුල දී, ඩිමොක‍්‍රැටික් පක්ෂය, සමාජ ප‍්‍රගතියේ හා ප‍්‍රතිසංස්කරනයේ පක්ෂය ලෙස තමන්ට පැවති කීර්තියෙන් ඉතිරිව තිබූ සියල්ල මත් විනාශ කර ගති. බදු හා සමාජ සුබ සාධක වැඩ පිලිවෙලවල් පිලිබඳ ඔවුන්ගේ අසන්තුෂ්ටිය තීව‍්‍ර කල උද්ධමනය හේතු කොට ගෙන මධ්‍යම පන්තියේ පුලුල් තට්ටු විරසක වූ අතර කාටර් ආන්ඩුව කම්කරු පන්තිය සම්බන්ධයෙන් විවෘත සතුරු ආකල්පයක් ගත්තේ ය. 1977-78 ගල් අඟුරු ආකර කම්කරුවන්ගේ බලගතු වර්ජනය බිඳීමේ ප‍්‍රයත්නයක් ලෙස 1978 දී ටාෆ්ට්-හාට්ලි පනත යොදා ගැනීම මගින් එම ආකල්පය විදහා දැක්වුනි.

ඩිමොක‍්‍රැටික් පක්ෂයේ යටත් වීම 1980 රේගන්ගේ තේරී පත් වීම සඳහා මාවත එලිපෙහෙලි කලේ ය. එහෙත් 1981 ජනවාරියේ රේගන්ගේ පදවි ප‍්‍රාප්තියෙන් අනතුරුව කම්කරු පන්තියේ ජීවන මට්ටම්වලට, සමාජ අවශ්‍යතාවන්ට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල වූ ප‍්‍රහාරයන්ට ප‍්‍රතිරෝධය දැක්වීමෙහි ලා කම්කරු පන්තිය දැරූ ප‍්‍රයත්නයන් කඩාකප්පල් කිරීමට ඒඑෆ්එල්-සීඅයි ඕ, එක්සත් මෝටර් කම්කරු සමිතිය සහ සෙසු වෘත්තීය සමිති සංවිධාන ඉටු කල කි‍්‍රයා කලාපය නො මැතිව රේගන් ආන්ඩුවේ අනාගත සාර්ථකත්වයන් අත් පත් කර ගැනීමට ඉඩක් නො තිබුනි.

රේගන් ආන්ඩුව පිලිබඳ තීරනාත්මක පරීක්ෂනය -- වඩාත් අර්ථභාරීව ගත හොත් එක්සත් ජනපදයේ පන්ති සබඳතාවල සන්ධිස්ථානය – පැමිනියේ, 1981 අගෝස්තුවේ දී වෘත්තීය ගුවන් ගමන් පාලක සංගමයේ (පීඒටීසී ඕ -- පැට්කෝ) 12,000කට ආසන්න සාමාජිකයන්ගේ වර්ජනයත් සමග ය. රිපබ්ලිකන් ආන්ඩුවක් ඉහල වැටුප් හා සේවා කොන්දේසි පිලිබඳ සමිතියේ ඉල්ලීම්වලට හිතකර ප‍්‍රතිචාරයක් දක්වනු ඇතැයි පුද්ගලිකව දැනුම් දීමෙන් අනතුරුව පැට්කෝ සමිතිය, ඊට පෙර වසරේ දී, රේගන් තෝරා පත් කර ගැනීම අනුමත කර තිබීම උත්ප‍්‍රාසජනක ය. කෙසේ වෙතත්, ඇත්ත වසයෙන් ම කාටර් ආන්ඩුව කාල පරිච්ෙඡ්දයේ සැකසූ සැලසුම්වලට අනුකුලව, රේගන් නිවේදනය කලේ පැය 48ක් ඇතුලත යලි සේවයට වාර්තා නො කරන සියලු ගුවන් ගමන් පාලකයන් නෙරපීමට තමන් කටයුතු කරන බව යි. පැට්කෝ සමිතියට සහයෝගය පිනිස තම කම්කරු සම්මේලය කිසිදු කි‍්‍රයාවකට නො එලඹෙන බවට ඒඑෆ්එල්-සීඅයි ඕ සංවිධානයෙන් රේගන් ආන්ඩුවට සහතිකයක් ලැබුනු බව විශ්වාස කිරීමට ප‍්‍රමානවත් හේතු පවතී. පැට්කෝ සමිතිය විනාශ කිරීම වලකා ගනු පිනිස සහයෝගිතා කි‍්‍රයාවන්ට එලඹිය යුතු බවට සාමාන්‍ය වෘත්තීය සාංගමිකයන් අතර පුලුල්ව පැතුරුනු මනෝගතියක් පැවතුනි. ඒඑෆ්එල්-සීඅයි ඕව ගුවන් ගමන් පාලකයන්ට සහයෝගය පිනිස කාර්මික කි‍්‍රයාවක් කැඳවූයේ නම් රේගන් පාලන තන්ත‍්‍රයට පසුබැසීමට බල කෙරෙනු ඇත. එමගින් සිය ප‍්‍රථම පාලන වාරයේ ආරම්භයේ දී ම එය ව්‍යසනකාරී පරාජයකට මුහුන දෙනු ඇත.

එහෙත් සහයෝගිතා කි‍්‍රයාවන් සඳහා කෙරුනු ඉල්ලීම් ඒඑෆ්එල්-සීඅයි ඕව විසින් ප‍්‍රතික්ෂේප කරන ලදි. පැට්කෝ නායකයන් හතර දෙනෙක් සිරගෙට ගිය අතර 12,000කට ආසන්න ගුවන් ගමන් පාලකයන්ට සිය රැකියා අහිමි විය. සමිතිය විනාශ කෙරුනි.

මෙය 1980 ගනන් පුරා යලි යලිත් අනුගමනය කෙරුනු රටාව සැකසී ය. ගල් අඟුරු ආකර කම්කරුවන්, වානේ කම්කරුවන්, බස් රියදුරන්, ගුවන් සේවා කම්කරුවන්, තඹ ආකර කම්කරුවන්, මෝටර් රථ කම්කරුවන් සහ මස් අසුරන කම්කරුවෝ කටුක වර්ජන අරගලවල නිමග්න වූහ. මේ එක් එක් හා සෑම අවස්ථාවක දී ම ජාතික වෘත්තීය සමිති සංවිධාන විසින් වර්ජක කම්කරුවෝ හුදකලා කෙරී, ඔවුන්ට මොන යම් හෝ ඵලදායි සහයෝගයක් අහිමි කෙරී හිතාමතා ම පරාජයට බිලි දෙනු ලැබූහ. ඒ අතර රට පුරා ම හාම්පුතුන් සිය වර්ජන බිඳමේ උපායන් කි‍්‍රයාවට දැම්මේ තමන්ට රේගන් ආන්ඩුවේ සහයෝගය ලැබෙන බවට පූර්න විශ්වාසය ඇතිව ය.

1989 දී, රේගන් තනතුර හැර යන අවස්ථාව වන විට, ඒඑෆ්එල්-සීඅයි ඕවේ පාවාදීම්වලට පිින් සිදු වන්නට ඇමරිකානු වෘත්තීය සමිති ව්‍යාපාරය සමාජ ව්‍යාපාරයක් ලෙස සිය පැවැත්ම අවසන් කර ගෙන තිබුනි.

රේගන්ගේ දේශීය වැඩ පිලිවෙලෙහි සාර්ථකත්වය විශාල වසයෙන් වෘත්තීය සමිති නිලධරයේ පාවා දීම්වල ප‍්‍රතිඵලයක් වූයේ නම්, ඔහුගේ ජාත්‍යන්තර කොමියුනිස්ට් විරෝධී වැඩ පිලිවෙලෙහි ප‍්‍රධාන ම ජයග‍්‍රහනය ලෙස මාධ්‍ය විසින් වර්නනා කරන ලද දෙයට -- සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ ඉක්මන් නාටකාකාර කඩා වැටීමට -- රේගන් ආන්ඩුවේ පිලිවෙත් සමග කිසිදු සබඳතාවක් නො වී ය. රේගන් තනතුර හැර යාමෙන් තුන් වසරකට පසුව, 1991 දෙසැම්බරයේ දී, සෝවියට් සංගමය බිඳ විසිරවීම වනාහි, සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයත් නැගෙනහිර යුරෝපයේ පිහිටි එහි සේවාදායක රාජ්‍යත් පාලනය කල ස්ටැලින්වාදී නිලධරයන්ගේ දශක ගනනාවක දේශපාලන පාවා දීම්වල ඛේදනීය කුලු ගැන්වීම විය.

පසුව පල කෙරුනු සීඅයිඒ රහස් ඔත්තු වාර්තාවල විශ්ලේෂන මගින් ඒත්තු යන පරිදි පෙන්නුම් කෙරුනේ, සෝවියට් සංගමයේ දේශපාලන අර්බුදයේ ගැඹුර පිලිබඳ මොන යම් හෝ ඉඟියක් වත් රේගන් ආන්ඩුවට නො තිබු බව යි. 1983 දී රේගන් විසින් කරන ලද කුප‍්‍රකට "දුෂ්ට අධිරාජ්‍යය" පිලිබඳ කතාව පදනම් වූයේ -- සෝවියට් සංගමයේ භූගෝලීය අභිලාෂයන් ද්වේෂ සහගත හා විකාරරූපී ලෙස දුෂ්-නිරූපනය කිරීම ගැන පසෙක තැබුවත් -- සෝවියට් සංගමයේ ශක්තිය පිලිබඳ විකාර සහගත අතිශයෝක්තියක් මත ය.

ශීතල යුද්ධයේ දී සෝවියට් සංගමයට එරෙහි ඇමරිකානු ජයග‍්‍රහනයෙහිලා රේගන්ගේ විචක්ෂන නායකත්වය පිලිබඳ ඔවුන්ගේ තකතිරු මාධ්‍ය හොරනෑ වාදනවල දී, 1980 ගනන්වල එක්සත් ජනපදයේ විදේශ පිලිවෙත ගැන කෙරෙන පරීක්ෂාවකින් පැන නැගෙන සැබෑ තීරනාත්මක ප‍්‍රශ්නය නො තකා හැර ඇත. ඒනම්, එක්සත් ජනපදය, 1980 ගනන්වල දී, සෝවියම් සංගමය සමග ආතතීන් නාටකාකාර ලෙස හා ප‍්‍රකෝපකාරිව ඉහල දැමීමට ගත් තීන්දුවට හේතු වූයේ කුමක් ද යන වග යි. 1962 ඔක්තෝබරයේ දී කියුබානු මිසයිල අර්බුදය නිම වීමෙන් පසුව, එක්සත් ජනපදය උත්සාහ කොට තිබුනේ, සෝවියට් සංගමය සමග ගැටුමක් වලකා ගැනීමට යි. 1970 ගනන් මුල දී නික්සන් හා කිසීන්ගර් විසින් එක්සත් ජනපද-සෝවියට් සබඳතාවල පදනම ලෙස "සංසිඳියාව " නිල වසයෙන් පිලිගැනීමත් සමග මෙම පිලිවෙත පුලුල් කරන ලදි.

දැන් ඉතිහාසඥයන් දන්නා පරිදි, පිලිවෙත ආපසු හරවා සෝවියට් සංගමය සම්බන්ධයෙන් වඩා ගැටුම්කාරී ප‍්‍රවිෂ්ටයක් ගැනීමේ තීන්දුව ඇරඹුනේ කාටර් ආන්ඩුවේ බහින කලාවේ කාල පරිච්ඡේදයේ දී, එනම්, සෝවියට් සංගමයෙන් මිලිටරි ප‍්‍රතිචාරයක් අවුලුවා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඇෆ්ඝනිස්තානයේ සෝවියට් විරෝධී ගරිල්ලාවරුන්ට මූල්‍ය හා මිලිටරි සහයෝගය ලබා දීමට 1979 ගිම්හානයේ දී ගත් තීන්දුවත් සමග ය. රේගන් ආන්ඩුව මෙම යුදකාමී පිලිවෙත දිගට ම ගෙන ගිය අතර එය උත්සන්න කලේ ය.

පිලිවෙතෙහි ඇති වූ වෙනසට, දෘෂ්ටිවාදය සමග පැවතියේ, 1970 ගනන්වල නැවත නැවතත් හටගත් ආර්ථික කම්පන තුල ප‍්‍රකාශයට පත් වූ ලෝක ධනවාදයේ ගැඹුරු ව්‍යුහමය ගැටලු සමග පැවතියාට වඩා බෙහෙවින් අඩු සබඳතාවකි. රේගන් ආන්ඩුවේ යුදකාමී පිලිවෙත පැන නැංගේ, අවසාන විග‍්‍රහයේ දී, ලෝක ආර්ථිකය තුල ඇමරිකානු ධනවාදයේ තත්වය පිරිහීයාමට ප‍්‍රතිචාරයක් වසයෙනි.

රේගන් ආන්ඩුවේ පිලිවෙත් සම්බන්ධයෙන් යමෙකු දරන දේශපාලන ආකල්පය නො තකා ම, මොන යම් හෝ වෛෂයික විශ්ලේෂනයක පදනම මත මැනවින් පැහැදිලි වනුයේ, මෙම අර්බුදය විසඳාලීමට එය දැරූ ප‍්‍රයත්නයන් 1980 ගනන් මැද වන විට ඒවායේ අසාර්ථකත්වය ඔප්පු කල වග යි. කොමියුනිස්ට්වාදයට එරෙහි භූගෝලීය අරගලයේ නාමයෙන්, මධ්‍යම ඇමරිකාවේ මහජන නැගිටීම් මඩිනු පිනිස, රේගන් ආන්ඩුව විසින් යොදා ගැනුනු වඩ වඩාත් උමතු හා නීති විරෝධී විධික‍්‍රම කූඨප‍්‍රාප්තියට පත් වූයේ 1986 අග ඉරාන-කොන්ට‍්‍රා සෝලිය පිපිරී ඒම තුල ය. කොංග‍්‍රස් මන්ඩලය සම්මත කල නීති උල්ලංඝනය කරමින් ගෙන ගියා වූ ද ධවල මන්දිරය තුල සිටි මැර කි‍්‍රයාධරයන් විසින් සංවිධානය කරන ලද්දා වූ ද සාපරාධී මෙහෙයුම් එලදරව් වූ කල රේගන් ආන්ඩුව කම්පනයට හා විපිලසර තත්වයට පත් විය. අපරාධ චෝදනාවලට එරෙහිව සිය ආරක්ෂාව සඳහා රේගන් ඉදිරිපත් කල එක ම නිදහසට කරුන වූයේ තමන්ගේ ම පාලන තන්ත‍්‍රය තුල සිදු වෙමින් පැවති දේ ගැන තමන් කිසිවක් නො දන්නා බව යි. මේ අවස්ථාවේ දී, නො දන්නා බවට කල මේ කියාපෑම, මුලුමනින් ම විශ්වාස කල හැකි එකකි.

ඩිමොක‍්‍රැටික් පක්ෂයේ ප‍්‍රතිචාරය ආවේනික උදාසීන එකක් විය. දෝෂාභියෝගයක් පිලිබඳ නො පැහැදිලි ප‍්‍රකාශ සිදු කලත්, උදාසීන විභාග කිහිපයක් පැවැත්වීමට වඩා දෙයක් ඩිමොක‍්‍රැටික් පක්ෂය කලේ නැත. එම විභාගවල දී ද ඔවුන්ට සරදම් කිරීමට හා අවලාද නැගීමට ඔලිවර් නෝත්ට ඉඩ දෙන ලදි.

එහෙත් රේගන් ආන්ඩුවේ බල සිඳී තිබුනි. ධනපතීන්ට දුන් බදු සහන සහ මිලිටරි වියදම්වල දැවැන්ත නැගීම මගින් ඇති කෙරුනු මූල්‍ය ප‍්‍රතිවිපාක හේතු කොට ගෙන එහි ගැටලු සංකීර්න කෙරුනි. 1914න් පසුව ප‍්‍රථම වතාවට එක්සත් ජනපදය නයගැති ජාතියක් පත් කල, පෙර නොවූ විරූ අයවැය හිඟයකට මුහුන දුන් තතු තුල, බදු ඉහල දැමීමටත් සෝවියට් සංගමය සමග වඩා සම්මුතිවාදී පිලිවෙතක් කරා යලි හැරී ගැනීමටත් රේගන් ආන්ඩුවට බල කෙරුනි.

රේගන් නිසැකව ම පෙර දැකීමට අපොහොසත් වූ සෝවියට් සංගමයේ පසුකාලීන බිඳ වැටීමට 1980 ගනන් මුල "ශ්‍රේෂ්ඨ සන්නිවේදකයා" විසින් අනුගමනය කරන ලද පිලිවෙත් සමග පවත්නේ වක‍්‍ර සබඳතාවක් පමනි. එක්සත් ජනපද මිලිටරි වියදම්වල නාටකාකාර නැගීම සෝවියට් සංගමය මුහුන දුන් ආර්ථික ගැටලු තීව‍්‍ර කිරීමට හේතු වූ බව සත්‍යයකි. එහෙත් සෝවියට් සංගමයේ අවසන් ඉරනම තීන්දු කිරිමෙහි ලා රේගන්ගේ පිලිවෙත් මොන යම් හෝ සුවිශේෂ අර්ථභාරයක් දැරූ බවට සාක්ෂි නැත. ඒ වෙනුවට, වඩ වඩා කැරලිකාරි සහ වෛරී සහගත වන කම්කරු පන්තියක් හමුවේ සිය ද්‍රව්‍යමය අවශ්‍යතා රැක ගත හැකි එක ම ක‍්‍රමය සෝවියට් රාජ්‍යය දිය කර හැරීම එය බවට තීන්දු කල නිලධර ප‍්‍රභූව මගිනි එම බිඳ දැමීම සිදු කරන ලද්දේ.

මෙම කරුනු සඳහන් කලත්, රේගන් ජනාධිපති ලෙස කිසිවක් අත්පත් කර නො ගත් බව හෝ ඔහු කිසිදු උරුමයක් දායක කොට නැති බව හෝ යෝජනා කිරීම අපගේ අභිප‍්‍රාය නො වේ.

කොහෙත් ම තත්වය එය නො වේ. රේගන් මේ ලොව හැර ගොස් ඇතත් ඔහුගේ පාලනය ඉටු කල කර්තව්‍යයන් තවමත් ජීවමානව පවත්නා අතර ඒවා සෑම තැනක ම දක්නට ලැබේ: එක්සත් ජනපදයේ සමාජ අසමානතාවයේ විශ්මය ජනක වර්ධනය තුල, ඇමරිකානු සමාජයේ කුඩා කොටසක් අත ධනය දැවැන්ත ලෙස සංකේන්ද්‍රනය වීම තුල, සාක්ෂරතාව හා පොදු සංස්කෘතික මට්ටම කම්පිත ලෙස කඩා වැටීම තුල, ඇමරිකානු ප‍්‍රජාතන්තී‍්‍රය ආයතනවල පරිපූර්න කුනු වීම තුල, සහ අවසානයේ ඇමරිකානු මිලිටරිවාදයේ ජනඝාතක පිපිරීම තුල ඒවා දක්නට ලැබේ.

එය යි රේගන්වාදයේ උරුමය.