ජූලි 29 දා, කොලඹ වරාය කම්කරුවෝ වරායේ ප්‍රධාන දොරටුව අබියස විරෝධතා උද්ඝෝෂනයක නිරත වූහ. වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනයට එරෙහිව, පැවැත්වූ එම උද්ඝෝෂනයට කම්කරුවන් දහසකට අධික සංඛ්‍යාවක් සහභාගිවූ අතර, එය සංවිධානය කර තිබුනේ, “කොලඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව” නම් වූ සමිති සන්ධානයකි. උද්ඝෝෂනයෙන් අනතුරුව වරායේ බැග්ඩෑඩ් දොරටුව අසල ඔවුන් ආරම්භ කල “සත්‍යග්‍රහය” මෙතෙකුදු පවත්වාගෙන යයි.
29 දා විරෝධතාව, පසුගිය සතියේ සිට වරාය කම්කරුවන් ගෙනයන උද්ඝෝෂන මාලාවේ කොටසකි. “නැගෙනහිර පර්යන්තය, වරාය අධිකාරිය යටතේම පවත්වාගෙන යන බවට” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් හා අගමැති මහින්ද රාජපක්ෂගෙන් පොරොන්දු ලබා ගැනීම මෙම උද්ඝෝෂනයේ අරමුන බව, “ජාතික සම්පත් සුරකිමු, නැගෙනහිර පර්යන්තය සියයට සීයක්ම වරාය අධිකාරිය යටතේ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බල කරමු” යන උද්ධෘතය යටතේ ඉහත සමිති එකමුතුව බෙදාහල අත්පත්රිකාවෙන් ප්‍රකට වෙයි.
කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු-ජපන් හවුල් ව්‍යාපෘතියක් යටතේ පුද්ගලීකරනය කිරීමට පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුනු අතර, දැන් ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවද එය ක්‍රියාත්මක කිරීමට මාන බලයි. මේ අතර ඉන්දීය සමාගමක් වන “අදානි ව්‍යාපාර සමුහයට” නැගෙනහිර පර්යන්තය බදු දීමේ යෝජනාවක් වරාය හා නාවුක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් පසුගිය සතියේ කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කර ඇත.
දැවැන්ත පරිමානව රැකියා විනාශ කෙරෙන, වැඩ වේගවත් කෙරෙන සහ අනෙකුත් අයිතීන් කපා දැමෙන මෙම පුද්ගලීකරන ක්‍රියාවලියට, වරාය කම්කරුවන් තුල ඇත්තේ බලගතු විරෝධයකි. අනෙකුත් පර්යන්තයන් හි පුද්ගලීකරනයන් තුලින් ඔවුහු එය සමීපව අත්දැක සිටිති. නමුත්, උද්ඝෝෂන වලට සහභාගි වන දහසකට අධික කම්කරුවන්ගේ විරෝධය තුල ගැබ්වනුයේ, හුදෙක්, පුද්ගලීකරනයට එරෙහි කෝපය පමනක් නොව, දිගු කාලයක් පුරා අනුප්‍රාප්තික ආන්ඩු මගින් තම රැකියා සහ ජීවන කොන්දේසි වලට එල්ල කරන ලද ප්රහාරයන්ගෙන් බැටකා සමුච්ඡය වූ අසීමිත කෝපයයි.
විශේෂයෙන්ම, කොරෝනා වසංගතය මධ්‍යයේ, තම ජීවිත නොතකා සේවයට පැමිනි කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වූ දීමනා ලබා නොදීම සහ මෙතෙක් කල් පැවති අතිකාල ඉපැයීම් පවා කප්පාදු කිරීම සම්බන්ධයෙන්, ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි ඔවුනට ඇත්තේ බලගතු වෛරයකි.
මෙම ඉමහත් කෝපය, හුදු “නැගෙනහිර පර්යන්තය සුරැකීමේ” සටන් පාඨයකට සිඳුවා, එය ජාතිකවාදී ඉන්දියානු විරෝධයක් දෙසටද අපගමනය කර ගැනීමට වරාය වෘත්තීය සමිති වැඩට බැස සිටී.
ජුලි මාසය මුලදී වෘත්තීය සමිති මේ නාමික විරෝධතා ආරම්භ කලේද, වරාය අධිකාරියට අයත් වෙනත් පර්යන්තයක සවිකිරිමට ගෙන ආ දොඹකර තුනක් නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමේ සීමිත ඉල්ලීම පදනම් කරගෙනය. 24 දා ජනාධිපති කාර්යාලය අසල පැවති තවත් උද්ඝෝෂනයකදී, මේ දොඹකර ගොඩබෑමට ඉඩ ලැබීම මහත් ජයග්රහනයක් ලෙස සමිති නිලධාරීහු හුවා දැක්වූ හ.
රාජපක්ෂ ආන්ඩුවට හිතවත් වරාය වානිජ කර්මාන්ත හා ප්රගතිශීලී සේවක සංගමයේ ලේකම් ශමාල් සුමනරත්න හා නිදහස් සේවක සංගමයේ ලේකම් ප්‍රසන්න කලුතරගේ, පුද්ගලීකරනයේ වගකීමෙන් ආන්ඩුව ගලවා ගැනීමේ අරමුනෙන්, “නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමේ කුමන්ත්රනය” ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර හා වරාය ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මත පැටවීමට උත්සාහ කලහ.
එක්සත් ජාතික පක්ෂයට (එජාප) අනුබද්ධ ජාතික සේවක සංගමයේ ලේකම් උදේනි කලුතන්ත්‍රි කියා සිටියේ, “නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම්, වරාය අධිකාරිය යටතේ ඇරඹීම ඉන්දියාවේ හා ඇමරිකාවේ උදහසට හේතුවිය හැකි බැවින්, එයට ඉඩදිය නොහැකි” බව, අගමැති මහින්ද රාජපක්ෂ වෘත්තීය සමිති සමග පැවැත්වූ සාකච්ඡාවේදී පැවසු බවයි. ඔහු තවදුරටත් පැවසුවේ හිටපු අගමැති රනිල් වික්රමසිංහද, ඉන්දියාවට නැගෙනහිර පර්යන්තය පැවරීමට විරුද්ධ නොවන ලෙස වෘත්තීය සමිති වලට අනතුරු ඇඟවූ බවයි.
ඉන්දියානු සාගර කලාපයේ චීනයට එරෙහිව වොෂින්ටනය ගෙනයන යුද සූදානමේ, ප්‍රධාන කොටස්කරුවෙක් ලෙස සිටින නවදිල්ලිය එය ඉල්ලා සිටින්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ-මූලෝපායික අවශ්‍යතාවයන්ගේ කොටසක් ලෙසය.
නැගෙනහිර පර්යන්තය පිලිබඳ ගනුදෙනුව යලි ඉස්මත්තට පැමින ඇත්තේ, මේ භූ-මූලෝපායික ආතතීන් පෙර කවරදාවත් නොතිබූ තරමට උත්සන්න වී ඇති කාලයකය. පසුගිය සතියේ චීනය විසින් හිම්කම් කියන දකුනු චීන මුහුදේ ඇමරිකානු යුද නැවු, අතිශය ප්රකෝපකාරී අන්දමින් සිදුකල බලය විදහා පෑම් මේ ආතතින්ගේ ආසන්නතම ප්රකාශනය වෙයි. මේ කිසිඳු කාරනාවක් කම්කරු පන්තිය හමුවේ නොතබන වෘත්තීය සමිති, ජාතිකවාදී අන්ධකාරයක ඔවුන් ගිල්වා තැබීමට දැනුවත් ව්‍යායාමයක යෙදී සිටී.
ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අනුබද්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය විසින් “නැගෙනහිර පර්යන්තය වරායටද? ඉන්දියාවටද?” යන හිසින් යුතුව පලකල පත්‍රිකාවකින් ඉල්ලා සිටින්නේ, “වරාය බේරාගැනීමට අගෝස්තු 5 මැතිවරනය අවියක් කරගනිමින්”, ඒ සඳහා ධනපති ආන්ඩු වලට බලපෑම් දැමීමට, ජවිපෙ නායකත්වයෙන් මැතිවරනයට ඉදිරිපත් වෙන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් වැඩිපුර පාර්ලිමේන්තුවට යවන ලෙසයි.
1998 සිට අනුප්‍රාප්තික ආන්ඩු, වරාය පුද්ගලීකරනය කිරීමට ගත් පියවර පත්‍රිකාවේ එකින් එකට විස්තර කරන්නේ ජවිපෙ එයට එරෙහිව සටන් කල සංවිධානයක් ලෙස මවාපෑමටයි. නමුත් යතාර්ථයේදී, එකී සෑම පියවරකදීම, එම ආන්ඩුවල පාර්ශවකරුවෙක් ලෙස හෝ ආධාරකරුවෙක් ලෙස ජවිපෙ සිටියේය. නැතහොත් අනෙකුත් සමිති නිලධරයන් මෙන්ම, පුද්ගලීකරනය පරාජය කිරීම සඳහා කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීමට එරෙහිව කම්කරුවන් හුදෙකලා විරෝධතා තුල කොටුකොට ඔවුනගේ අරගල දියකර දැමීය. පත්‍රිකාවේ සඳහන් පුද්ගලීකරන පියවර ලැයිස්තුව, ඇත්තවශයෙන්ම ජවිපෙ හි පාවාදීමේ ඉතිහාසයේ ශේෂ පත්රයකි.
වෘත්තීය සමිති වලින් නිකුත් කර ඇති පත්‍රිකාවක හෝ, එසේ නැතිනම් නායකයින්ගේ කවර හෝ කතාවක, වරාය සේවකයින්ගේ සේවා සහ ජීවන කොන්දේසි වලට එල්ලවී ඇති ප්‍රහාර පිලිබඳව කිසිඳු සඳහනක් නැත. සත්‍යග්‍රහය වෙනුවෙන් නිකුත් කල පත්‍රිකාවන් හි අවධාරනය යෙදී තිබුනේ, නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියට අහිමි වුවහොත් “වරාය අධිකාරියට විශාල විදේශ විනිමය ප්‍රමානයක් අහිමි වීම” හා විදේශීය බලපෑම් වලින් ශ්‍රී ලංකාවේ “ස්වෛරීත්වයට” හානි වීම ආදි ජාතිකවාදි කුනුකන්දල් කෙරෙහිය.
පුද්ගලීකරනයේ අන්තරායට මුහුන දී සිටින අනෙකුත් කම්කරුවන් ද, තම සේවා සහ ජීවන කොන්දේසි වලට එල්ල කෙරෙන ප්රහාරයන්ගෙන් බැටකන සමස්ත කම්කරු පන්තිය ද ඒකාබද්ධ කෙරෙන සටනකට යොමු කෙරෙන කවර හෝ ඉල්ලීමක් සමිති නිලධරයේ ඉල්ලීම් අතර නොවේ.
ජනාධිපති රාජපක්ෂ විසින්, වරාය අධිකාරියේ සභාපති ධුරයට හිටපු හමුදාපති දයා රත්නායක පත්කලේ, පුද්ගලීකරනයටත් අනෙකුත් ප්රහාරයන්ටත් එරෙහි බලගතු අරගල පුපුරා යා හැකි ස්ථානයක් ලෙස වරාය කල්තබා හඳුනාගෙන, එම අරගල රුදුරු ලෙස තලා දැමීමේ දුෂ්ට අරමුනෙනි. එයට කවර හෝ විරුද්ධත්වයක් නොපෑ මෙම සමිති නිලධරය ඔහු සමග සමීපව වැඩ කරයි.
මේ පුසුබිම තුල, සමිති නිලධරයේ කන්ඩායමක් අට්ටාලයකට නැගී ගෙනයන මෙම ඊනියා සත්‍යග්‍රහයේ අරමුන වන්නේ, වරායේ බහුතර කම්කරුවන්, වැඩ වර්ජන පිකට් උද්ඝෝෂන වැනි සාමූහික කාර්මික ක්‍රියාවන්ට එලැඹීම වලකාලීම සහ එමගින් ඔවුන්ගේ අධිෂ්ඨානය බිඳ අරගලය දියකර හැරීමයි.
ඒ සමගම, ලංකා ගුරු සංගමයේ නායක ජෝසප් ස්ටාලින් ඇතුලු සමිති නායකයන් මෙම “සත්‍යග්‍රහයට” එකතු වෙමින් වරාය කම්කරු අරගලයට “සහයෝගය” දෙන බවට කරන ලද ප්‍රකාශයන් මුලුමනින්ම ව්‍යාජය. ගුරුවරුන් ඇතුලු අනෙකුත් කම්කරුවන් වරාය කම්කරු අරගලය වටා ඒකාබද්ධ කරමින් පුද්ගලීකරනයට සහ අනෙකුත් ප්රහාරයන්ට එරෙහි පුලුල් අරගලයක් සංවිධානය කිරීමට මෙම සමිති නිලධරයන් මුලුමනින්ම එරෙහිය.
ඩොලර් බිලින 55කට අධික නය කන්දරාවක ගිලී, ඉන් බිලියන 14ක් ඉදිරි අවුරුදු දෙක තුල ගෙවීමට නියම වී ඇති රාජපක්ෂ ආන්ඩුව, අගෝස්තු 05 මහමැතිවරනය හමාර වූ වහාම කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි රුදුරුම ප්‍රහාරයකට කඩා පනිනු ඇත. එයට එරෙහිව අනිවාර්යයෙන්ම පැන නගිනු ඇති දැවැන්ත පන්ති අරගල ලෙයින් මැඩීම සඳහා අවශ්‍ය ජනාධිපති ආඥාදායක පාලනයක් තහවුරු කරගනු වස්, ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීමට ජනාධිපති රාජපක්ෂ වලිකයි. ඒ සඳහා මෙවර මැතිවරනයේදී පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බහුතරයක් දිනා ගැනීමේ ව්‍යායාමයක ඔහු නිරතව සිටී.
මෙම පසුබිම තුල, සමස්ත කම්කරු පන්තිය සමග ඒකාබද්ධව, ධනපති ක්‍රමයට සහ ධනපති ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් දියත් කිරීමෙන් තොරව, වරාය කම්කරුවන් ට පුද්ගලීකරනය හෝ අනෙකුත් ප්රහාරයන් පරාජය කල නොහැක. මෙම අරගලය ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පාදක කරගත යුතු වෙයි.
ඒ වනාහි, කම්කරු පන්තිය විසින් රාජ්‍ය බලය අල්ලා ගනිමින්, නිශ්පාදන මාධ්‍යයන් කම්කරු පන්තියේ ප්රජාතන්ත්රවාදී පාලනයට නතුකොට, ලාභය වෙනුවට මානව අවශ්‍යතා සපුරාලන පරිදි සමස්ත ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කරගැනීමේ සටනකි. එහි කොටසක් ලෙස ශ්‍රී ලංකාව තුල කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා සටනේ නායකත්වය කම්කරු පන්තිය විසින් තම අතට ගත යුතුය.
ධනේශ්වර පද්ධතියට සහ ජාතික රාජ්‍යයට තදින් බැඳී ඇති වෘත්තීය සමිති එවන් ජාත්‍යන්තරවාදී සටනකට සපුරාම සතුරු ය. එබැවින්, වරාය කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තිය එම සමිති වලින් මුලුමනින්ම බිඳී, තම අරගලය ඉදිරියට ගෙනයාමේ නව සංවිධාන රූපය ලෙස කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට පෙරට පැමිනිය යුතුය.
වරාය, කම්හල්, වැඩබිම්, සේවා ආයතන සහ නිවස්නා ප්‍රදේශ ආශ්‍රිතව, ප්රජාතන්ත්රවාදී ආකාරයෙන් තෝරාපත්කර ගන්නා මෙම කමිටු හරහා, කම්කරු පන්තියට තම අරගලය ජාතිකවත් ජාත්‍යන්තරවත් සංවිධානය කරගත හැක.