ශ්‍රී ලංකාවේ කිලිනොච්චි හි මාස් කම්හල් කම්කරුවෝ, වසංගතයේ අන්තරාය පිලිබඳව අවධානය යොමු කරති

කිලිනොච්චියේ පිහිටි මාස් හෝල්ඩිංග්ස් සතු වානවිල් සහ විදියල් ඇඟලුම් කම්හල්වල කම්කරුවන් කොවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය කෙරෙන සමාජ දුරස්ථභාවය හෝ අනෙකුත් ප්‍රමානවත් සෞඛ්‍ය පහසුකම් නොමැතිව වැඩෙහි යොදවා තිබේ.

ප්‍රධාන වශයෙන් කාන්තාවන්ගෙන් සමන්විත මෙම කර්මාන්තශාලාවල වැඩ කරන තරුන කම්කරුවන් 3,000 ක් පමන, රට තුලත් ගෝලීය වශයෙනුත් පාලනයකින් තොරව පැතිර යන වසංගතය ගැන අවධානයෙන් සිටී. බස්නාහිර පලාතේ හොරන සහ අගලවත්තේ පිහිටි මාස් සතු බොඩිලයින් කම්හල්වලින් දුසිම් ගනනක් කම්කරුවන් ආසාදනය වී ඇති බව සොයාගනු ලැබීමෙන් පසු මේ මස මුලදී තාවකාලිකව වසා දමන ලදී. කම්කරුවන්ගේ කනස්සල්ල නොතකා එම කර්මාන්තශාලා ඉක්මනින් විවෘත කරන ලදී.

කිලිනොච්චි හි ඇඟලුම් කම්කරුවන්

රටවල් 15 ක කර්මාන්තශාලා පිහිටි, කම්කරුවන් 99,000 ක් පමන සේවයේ යොදවා ඇති මාස් යනු දකුනු ආසියාවේ ඇඟලුම් නිපදවන විශාලතම බහුජාතික සමාගමයි. එය, වික්ටෝරියාස් සීක්‍රට්, මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර් සහ කැල්වින් ක්ලයින් වැනි ජාත්‍යන්තර වෙලඳ නාම සඳහා ඇඟලුම් නිෂ්පාදනය කරයි.

ඔක්තෝබර් මස මුල, මිනුවන්ගොඩ විලාසිතා ඇඟලුම් කම්හලක් වන බ්‍රැන්ඩික්ස්හි, කම්කරුවන් දහසකට වැඩි පිරිසක් ආසාදනය වී ඇති බව සොයා ගන්නා ලදී. ඊට පෙර, රෝග ලක්ෂන කම්කරුවන් තුලින් පෙනී ගියත් කම්කරුවන්ට වැඩ කිරීමට බල කෙරුනි. බ‍්‍රැන්ඩික්ස් යනු ශ්‍රී ලංකාවේ තවත් ප්‍රධාන ඇඟලුම් සමාගමක් වන අතර විවිධ කම්හල්වල කම්කරුවෝ 50,000 කට අධික සංඛ්‍යාවක් වැඩ කරති.

කිලිනොච්චි දිසාපති රූබාවතී කේතිස්වරන් මෙසේ පැවසීය. “පුද්ගලයින් හය දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගෙන ඇති අතර කිලිනොච්චි දිස්ත්‍රික්කය තුල පුද්ගලයින් 516 දෙනෙකු හුදෙකලා කර තිබෙනවා. සඳුදා [නොවැම්බර් 23] 71 හැවිරිදි පුද්ගලයෙකු ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසුව දිස්ත්‍රික්කයේ සියලු පාසල් නැවත වසා දැමුවා”.

ශ්‍රී ලංකාවේ මුලු ආසාදිත රෝගීන් ඊයේ වන විට 22,000 කට වඩා වැඩි වී ඇති අතර මරන 99 ක් ලෙස වාර්තා වී තිබේ. මෙම අඩු සංඛ්‍යා ප්‍රධාන වශයෙන් ඉතා සීමිත පරීක්ෂනවල ප්‍රතිපලයකි. “වසංගතය පාලනය කරන අතරම සාමාන්‍ය කටයුතු සිදු කිරීමට” ආන්ඩුව තීරනය කර ඇති බව පවසමින් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මේ මස මුලදී බස්නාහිර පලාතේ අර්ධ වශයෙන් පැවති අගුලු දැමීම් ඉවත් කලේය. ඇත්ත වශයෙන්ම එය, ඔහු වසංගතයේ නැගීම සමඟ ජීවත් වෙමින් එය “නව සාමාන්‍ය“ ලෙස පිලිගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමකි.

රජයේ ආයතන සහ පෞද්ගලික සමාගම් විවෘතව තැබීමට බල කෙරෙන අතර සේවකයින් වැඩට වාර්තා කල යුතුය. ආන්ඩුව මෙම රෙගුලාසි නිර්දය ලෙස ක්‍රියාත්මක කරයි. කම්කරුවන් දුසිම් ගනනක් අසාදනය වීමත් සමඟ වරාය කම්කරුවන් 15,000 කගේ පැමිනීම පහත වැටුනු අතර, ඔවුන් සියල්ලන්ම ආපසු වැඩට දැක්කීම සඳහා ජනාධිපති රාජපක්ෂ නොවැම්බර් 17 වන දින, වරාය “අත්‍යාවශ්‍ය සේවාවක්“ ලෙස නම් කලේ ය.

සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ඇතුළු සියලු විරුද්ධ පක්ෂ ආන්ඩුවේ මෙම මිනීමරු ප්‍රතිපත්තිවලට සහාය දක්වති.

වනාවිල් සහ විද්‍යාල් හි කම්කරුවෝ මෑතකදී ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) කතා කරමින් ඔවුන්ගේ සේවා කොන්දේසි පිලිබඳව පැහැදිලි කලහ. මෙම කර්මාන්තශාලා වල මේ දක්වා කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නොමැති අතර කම්කරුවන් පැවසුවේ වෛරසයට ගොදුරු වීම පිලිබඳව ඔවුන් බියෙන් පසුවන බවයි.

කම්කරුවන් කර්මාන්තශාලා වලට පැමිනෙන්නේ කිලිනොච්චි, යාපනය සහ මුලතිව් යන ප්‍රදේශවල සිට සමාගමට අයත් බස් රථවලිනි. විවිධ ස්ථානවලින් බසයට ගොඩවන විට ඔවුන්, කිසිදු සමාජ දුරස්ත භාවයකින් තොරව බස් රථයට ඇතුලුවෙයි. බසයෙන් බැස යන සියල්ලන්ම ඇඟිලි සලකුනු යන්ත්‍රවල අත්සන් තැබීමට යුහුසුලු විය යුතුය.

රැකියාවේදී, නිෂ්පාදන ඒකකය සඳහා සහ වෙනත් කටයුතු සඳහා ද්‍රව්‍ය එකතු කිරීමට සේවකයින් එකිනෙකා සමඟ සමීපව ගැටෙමින් ගමන් කල යුතුය.

එක් සේවකයෙක් ඇසුවේ, “අපට සමාජ දුරස්ථභාවය පවත්වා ගත හැක්කේ කෙසේද? අපි සාමාන්‍යයෙන් පැලඳ සිටින්නේ ඇඟලුම් සඳහා රෙදි කැපීමෙන් පසු ඉතිරි රෙදි වලින් සාදාගත් මුහුනු ආවරනයි. මේවා හොඳ තත්වයේ නෑ. මෙම තත්වය පෙන්නුම් කරන්නේ කොරෝනා වයිරස් වැලැක්වීමේ මාර්ගෝපදේශ නොසලකා හැරීමයි. කර්මාන්තශාලා පරිපාලනය අපේ ජීවිත ගැන තැකීමක් කරන්නේ නැහැ.”

අප්‍රේල් මස අවසානයේ ආර්ථිකය යලි විවෘත කරන බව නිවේදනය කිරීමේ දී සෞඛ්‍ය බලධාරීන්, කර්මාන්තශාලා ඇතුළු විවිධ ආයතනවලට “මාර්ගෝපදේශ“ නිකුත් කලේ ය. අවම මාර්ගෝපදේශ පමනක් අනුගමනය කරන ලද අතර ඒ ද සති කිහිපයක් සඳහා පමනි. මෑතකදී එම බලධාරීන්, තවත් එවැනි “මාර්ගෝපදේශ” නිකුත් කර ඇත.

මාර්ගෝපදේශ කඩදාසියට පමනක් සීමාවී ඇති බව ආන්ඩුව දනී. ඒවා නිකුත් කරනු ලබන්නේ, රජය මගින් පිහිටවා ඇති විවිධ කාර්ය සාධක බලකායන් වසංගතය වැලැක්වීමට කටයුතු කරන බවත් කම්කරුවන්ගේ සෞඛ්‍යය පිලිබඳව සැලකිලිමත් යයි මවා පෙන්වීමටයි. යථාර්ථය නම් ඔවුන්ගේ අරමුන, කම්කරුවන් නැවත වැඩට දැක්කීමයි.

තවත් සේවකයෙක් ලෝසවෙඅ වෙත මෙසේ පැවසීය: “කර්මාන්ත ශාලාවට අමුද්‍රව්‍ය ගෙන එන්නේ කොලඹ සිටයි. මෙම ද්‍රව්‍ය ගෙනෙන්නේ වෛරසය පැතිර විය හැකි දැනට ආසාදිතයන් හමු වූ කර්මාන්තශාලා වලින් බවට මම සැක කරනවා. කව්ද දන්නේ?"

කම්කරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී සමාගමේ ඉහල නිලධාරීන් කියා ඇත්තේ, පරීක්‍ෂා කිරීමේදී කිසියම් සේවකයෙකු ධනාත්මක බව හෙලි වුනොත් ඔහු නිරෝධායනය කරන නමුත් කර්මාන්ත ශාලාව කිසි විටෙකත් වසා නොදමන බවයි.

පසුගිය මාසයේ කම්කරුවෙකු රෝග ලක්ෂන පෙන්නුම් කල අතර වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරුනි. එම සේවකයා නිවසේ හුදෙකලා කරනු ලැබීය. පරීක්ෂා කල විට ඔහුට ආසාදනය වී නොමැති බව සොයා ගන්නා ලදී. කෙසේ වෙතත් කලමනාකාරිත්වය කර්මාන්ත ශාලාව වසා දැමුවේ හෝ අනෙක් කම්කරුවන් පරීක්ෂාවට භාජනය කිරීමක් සිදු කර නැත. සේවකයෙකු උන සහ කැස්ස වැනි රෝග ලක්ෂන පෙන්නුම් කලොත්, කෙටි කලකට ඔහු කාමරයක හුදෙකලා කරනු ලබයි. ඔහු සාමාන්‍ය තත්වයේ පසුවන බව පෙනේ නම් ඔහුට වැඩ කිරීමට නියම කරනු ලැබේ. කර්මාන්ත ශාලාවේ ගෙන යන ක්‍රමවේදය මෙයයි.

අපවිත්‍ර හා අබලන් වැසිකිලි පහසුකම්

කම්කරුවන් 6,000 ක් පමන සේවය කරන හොරන පිහිටි මාස් හෝල්ඩින්ග්ස් සතු බොඩිලයින් ඇඟලුම් කම්හල පසුගිය මාසයේදී වසා දැමීමට සිදුවිය. 200 දෙනෙකුගෙන් යුත් කන්ඬායමක එක් සාමාජිකයෙකු පරීක්‍ෂාවෙන් පසුව ධනාත්මක යයි හඳුනා ගන්නා ලදී. කන්ඬායමේ සාමාජිකයින් 145 දෙනෙකු පරීක්ෂාවට ලක් කල විට තවත් 34 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව සොයා ගන්නා ලදී.

කම්කරුවන් වාර්තා කලේ, රැකියා අවස්ථාවේ දී සැපයෙන මූලික පහසුකම් දුර්වල බවයි: වැසිකිලි හා නාන කාමර ප්‍රමානවත් නොවන අතර කම්කරුවන්ට ඒවා භාවිතා කිරීමට පැය ගනන් බලා සිටීමට සිදු වේ. එපමනක් නොව, ඒවා නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා වෙනත් ආකාරයේ ආසාදන ඇතිවීමේ අවදානම ඇති කර තිබේ.

ආපනශාලාවේ තත්වය ද යහපත් නොවේ. ආහාර සඳහා කම්කරුවන් ආපන ශාලාව මත යැපෙන නමුත්, එහි ඇති ආහාර සමහර විට ආහාරයට ගත නොහැකි ලෙස පනුවන් හෝ කෘමීන් සිටී. කම්කරුවන් පැමිනිලි කල ද පරිපාලනය කිසිදු පිලියමක් යොදා නැත.

දවසේ වැඩ මුරය උදේ 7 සිට සවස 5:30 දක්වා දිවෙයි. කම්කරුවන්ට ඇත්තේ දිවා ආහාරය සඳහා විනාඩි 30 ක් සහ උදේ හා සවස තේ විවේකයන්ට විනාඩි 30 ක් පමනි.

කිලිනොච්චි හි මාස් කම්හලේ කම්කරුවන් ආපන ශාලාවේ රැස්වීසිටින අයුරු

එපමනක් නොව, රජයේ පෝය නිවාඩු දිනයේ ද නිවාඩු නොමැතිව මසකට සෙනසුරාදා දින දෙකක් වැඩ ද කම්කරුවන්ට අතිකාල වැඩ කිරීමට අනිවාර්ය කොට තිබේ.

අඩු වැටුප් ගැන කතා කරමින් එක් සේවකයෙක් පැවසුවේ, නවකයෙකුට රුපියල් 21,000 ක (ඇමරිකානු ඩොලර් 115 ක් පමන) මූලික මාසික වැටුපක් ලැබෙන අතර, වඩාත් පලපුරුදු සේවකයෙකුට අතිකාල දීමනා සමඟ රුපියල් 23,000 ක් හා අතිකාල පැයකට රුපියල් 175 ක් ගෙවන බවයි. “එක් අයෙකුට නම් මෙම වැටුප යන්තම් ප්‍රමානවත් වන නමුත් විශාල පවුලකට එය කිසිසේත් ප්‍රමානවත් නෑ. මගේ මිතුරෙකුට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. වියදම් පියවා ගැනීමට බැරි තැන ඇය නය වෙලා. එවැනි සේවකයන් තම දරුවන්ට උගන්වලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ කෙසේද? ”

වසංගතය මධ්‍යයේ කර්මාන්ත ශාලාව, නිෂ්පාදනය වැඩි කර තිබේ. සමාගම දෙසැම්බර් ප්‍රසාද දීමනාව නොගෙවන බව නිවේදනය කර ඇති බව කම්කරුවන් පැවසීය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව උතුරු නැගෙනහිර ගෙන ගිය අවුරුදු තිහක ලේවැකි වර්ගවාදී යුද්ධයෙන් පසු උතුරේ, විශේෂයෙන් වවුනියා සහ කිලිනොච්චි ප්‍රදේශවලට බොහෝ කර්මාන්තශාලා පිහිටුවා තිබේ. යුද්ධයෙන් ඇති කරන ලද සමාජ ව්‍යසනයේ කොන්දේසි යටතේ ලාභ ශ්‍රමය සූරාකෑමට මෙම සමාගම් වහ වැටී ඇත. ආන්ඩුවේ ද ආශිර්වාදය ඇතුව දැන් ඔවුන් කෝවිඩ්-19 වසංගතය මධ්‍යයේ කම්කරුවන්ගේ ජීවිත ගැන කිසිදු තැකීමක් නොකර, කම්කරුවන් නිර්දය ලෙස සූරාකමින් සිටියි.

[මෙම ලිපිය නොවැම්බර් 28 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.]

Loading