ඉන්දියානු ගොවීන්ගේ උද්ඝෝෂනය සහ කම්කරු පන්තියේ සමාජවාදී මූලෝපාය

ලක්ෂ සංඛ්‍යාත ගොවීන් විසින් නව දිල්ලි නුවරින් පිටත සති 3 කට වැඩි කාලයක් තිස්සේ කරන ලද උද්ඝෝෂනය, නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ අන්ත දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව කෙරෙහි ඉන්දියානු කම්කරුවන්ගේ හා දුගීන්ගේ විරෝධය විෂද කර එය උත්සන්න කර තිබේ.

කම්කරුවන්ගේ අයිතීන්ට එරෙහි දැවැන්ත ප්‍රහාරයකට සමගාමීව සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව තුලින් සම්මත කරගත් මෝදි ආන්ඩුවේ කෘෂි ව්‍යාපාර ගැති නීති මගින්, කුඩා පරිමාන හා යාන්තමින් දිවි ගැටගහගන්නා කෝටි ගනනක් ගොවීන්, දේශීය හා ජාත්‍යන්තර කෘෂි ව්‍යාපාරවල දඬු අඬුවේ හිරකර ඇත.

තම කෘෂිකාර්මික ප්‍රතිසංස්කරනවල ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය අනුව යමින් බීජේපී ආන්ඩුව, ගොවීන්ගේ දිල්ලි චලෝ (දිල්ලියට යමු) උද්ඝෝෂනයට ප්‍රතිචාර දැක්වූයේ, පුලුල් මර්දනයක් දියත් කරමිනි. මෝදි සහ ඔහුගේ ප්‍රධාන හෙංචයියා වන ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, පසුව විරෝධතාවල නායකයන් සමඟ සාකච්ඡා කිරීමට එකඟ වූයේ, සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීම්, කඳුලු ගෑස් සහ ජල කාලතුවක්කු ප්‍රහාර වලින් සැදුම්ලත් රාජ්‍ය ආරක්ෂක බාධකයන් නොසලකා, ලක්ෂ ගනන් ගොවීන්, නොවැම්බර් 26-27 දිනවල ජාතික අගනගරය වන දිල්ලියට දිවෙන ප්‍රධාන මාර්ගවල කඳවුරු බැඳීම නිසාම පමනි.

සාකච්ඡා ආන්ඩුවේ උපායකි. වඩාත් සමෘද්ධිමත් හා දුගී ගොවීන් අතර වෙනස්කම් උලුප්පා ගැනීමට මෝදිට සහ ෂාට හැකිවේද යන්න විමසා බැලීමත්, තවදුරටත් රාජ්‍ය ප්‍රචන්ඩත්වය යෙදවීම සඳහා වන සූදානමේදී, ඊට දේශපාලන ආවරනයක් ලබා ගැනීමත්, එය අරමුනු කරගෙන සිටියි.

ගොවි නීති තුන අවලංගු නොකරන බවට මෝදි සහ බීජේපී ආන්ඩුව දැඩි ස්ථාවරයක සිටියි. මෙහි දී ඔවුන්ට මහා ව්‍යාපාරවල පූර්න සහයෝගය ඇත. ගොවීන්ගේ වියදමින් ඉන්දියානු කෘෂිකර්මාන්තය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉන්දියාවේ ව්‍යාපාරික ප්‍රභූව දිගු කලක් තිස්සේ බලපෑම් කර ඇත. ඉන්දියාවේ ධනේශ්වර පාලකයන්ගේ ලොකුම කනස්සල්ල හා භීතිය නම්, ගොවි විරෝධතා හමුවේ ආන්ඩුවේ පසුබෑමකින්, පසුගිය දශක තුනක කාලය තුල මෝදි සහ සෑම ආන්ඩුවක් විසින්ම ක්‍රියාත්මක කරන ලද ආයෝජක ගැති ප්‍රතිපත්තිවලට එරෙහිව කම්කරු පන්තියේ ජනතා විරෝධය ශක්තිමත් කරනු ඇත යන්නයි. පසුගිය සතියේ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ප්‍රකාශ කලේ, “ආන්ඩුව පසුබසින්නේ නම්, කිසියම් උනන්දු සහගත කන්ඩායමක විරෝධය මඟින් ඉන්දියාවේ ඕනෑම ප්‍රතිසංස්කරන ප්‍රයත්නයක්, කඩාකප්පල් කල හැකි බවට එය සංඥාවක් වනු ඇත” යනුවෙනි.

කම්කරු පන්තිය ස්වාධීන බලවේගයක් ලෙස මෙම අර්බුදයට මැදිහත් වීම අත්‍යවශ්‍යය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය ඉන්දියානු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, ඔවුන්ගේ කාර්මික හා ස්වාධීන දේශපාලන බලය පිහිටුවා ගනිමින්, සියල්ලටත් වඩා කෘෂිකාර්මික කම්කරුවන් සහ ඉඩම් නොමැති ගොවීන් ඇතුලු ග්‍රාමීය ජනතාව, සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත, සිය නායකත්වය යටතේ මෝදි ආන්ඩුවට හා ධනේශ්වර පාලනයට එරෙහිව සටන් කිරීම පිනිස පෙලගස්වා ගන්නා ලෙසයි.

ටොයෝටා කම්කරුවන් සහ කර්නාටක ගොවීන් බෙංගාලූරුවේ පැවැත්වූ ඒකාබද්ධ පෙලපාලියක් [අනුග්‍රහය: WSWS]

මෝදි ආන්ඩුව පෙරලා දැමීම සඳහා කම්කරු පන්තිය මහා දේශපාලන වැඩ වර්ජනයකින් බලමුලු ගැන්විය යුතුය. මුස්ලිම් විරෝධී පුරවැසි සංශෝධන පනතට එරෙහි මහජන විරෝධතා, ජනවාරි 8 සහ නොවැම්බර් 26 එක්දින සමස්ත ඉන්දීය විරෝධතා වැඩ වර්ජන සහ වැඩ වේගවත් කිරීම, වැටුප් කපාහැරීම හා කොවිඩ්-19ට මුහුන දීම පිනිස පුද්ගලික ආරක්ෂක උපකරන සපයන ලෙස ඉල්ලා එලඹි වර්ජන හා අරගලවල වර්තමාන රැල්ල ඇතුලු පසුගිය වසරේ සමාජ අරගලවල දැවැන්ත වර්ධනය පෙන්නුම් කරන්නේ, කම්කරු පන්තියේ නායකත්වය යටතේ මෙහෙයවන ප්‍රහාරයක් සඳහා ඇති දැවැන්ත විභවය යි.

ගොවීන් උද්ඝෝෂන ස්ථානවලින් පන්නා දැමීමට සියල්ල කරන අතරම ගොවීන් හුදෙකලා කිරීම, වෙහෙසට පත්කිරීම හා භේදභින්න කිරීම සාර්ථක කර ගැනීමට මෝදි ආන්ඩුව දරන ප්‍රයත්නයට ඉඩ නොදිය යුතුය. “ජාති ද්‍රෝහි” බලවේග ( චීනය, පාකිස්තානය, නැක්සලයිට්වරුන් හෝ කලිස්තානිවරුන් වේවා) ගොවි උද්ඝෝෂන උසිගන්වනු නොලබනවා නම් ඒවාට තුලට රිංගාගෙන හෝ ඇතැයි ව්‍යාජ ලෙස හංවඩුවක් ගැසීමට ආන්ඩුව යත්න දරයි. පෙනී යන පරිදි ගොවි උද්ඝෝෂන පිලිබඳ ආන්ඩුවේ ප්‍රධාන උත්සුකයන්හිදී ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මැදිහත් වීමෙන් සලකුනු කෙරන්නේ, ප්‍රචන්ඩ මර්දනයක් සඳහා එහි සූදානම බෙහෙවින් ඉහල ගොස් ඇති බවයි.

ඉන්දියානු පාලක පන්තිය හා කොවිඩ්-19 වසංගතය

මෝදි ආන්ඩුව සහ ඉන්දීය පාලක පන්තිය අරක්ගෙන සිටින්නේ සමාජ ව්‍යසනයක් මතය. ගොවිපල නීති යනු, COVID-19 වසංගතය පිලිබඳ ඔවුන්ගේ විනාශකාරී ප්‍රතිචාරය සඳහා කම්කරු පන්තිය සහ ග්‍රාමීය ජනතාව වන්දි ගෙවීමට සැලැස්වීමේ අරමුන සහිත, වඩා පුලුල් පන්ති-යුද ප්‍රහාරයක කොටසකි. එසේම එය, වසංගතයට පෙර පුපුරා ගිය හා එමඟින් විශාල ලෙස උග්‍ර කර ඇති, ලෝක ධනවාදයේ පද්ධතිමය අර්බුදයේ ප්‍රකාශනයකි.

පලමුව මෝදි ආන්ඩුව, පූර්ව අනතුරු ඇඟවීමකින් හෝ සැලසුමකින් තොරව අගුලු දැමීමක් පැනවූ අතර, එය වෛරසය පැතිරීම නැවැත්වීමට පැහැදිලිවම අසමත් විය. එක රැයකින් කිසිදු ආදායමක් නැතිව ගිය කෝටි ගනනකට සමාජ ආධාර සැපයීමට අපොහොසත් වීම නිසා ඇති වූ අවාසනාවන්ත තත්වය ගසාකෑමට උත්සාහ කරමින් එය, නොසැලකිලිමත් ලෙස යලි වැඩට දැක්කීමේ මෙහෙයුමක් දියත් කල අතර එහි ප්‍රතිපල වශයෙන් තොග පිටින් මරනයට පත්විය.

ඉන්දියානු ආර්ථිකය මෙතෙක් මුහුන දුන් දරුනුතම ආර්ථික හැකිලීම ජය ගැනීමේ නාමයෙන් බීජේපී ආන්ඩුව, මෝදි විසින් හඳුන්වා දෙන ලද “ආයෝජක ගැති” ප්‍රතිසංස්කරන කරා සැලකිය යුතු පිම්මක් ක්‍රියාත්මක කරයි. ගල් අඟුරු කර්මාන්තයෙන් වැඩිහරියක්, දුම්රිය ජාලය සහ බැංකු ක්ෂේත්‍රය ඇතුළු බොහෝ රාජ්‍ය අංශයේ ඒකක පෞද්ගලීකරනයට සැලසුම් කර ඇති බවත්, ව්‍යාපාර ගැති ගොවි නීති සවිමත් කිරීම; කම්කරුවන් රැකියා වලින් දොට්ට දමා කම්හල් සිය කැමැත්තෙන් වසා දැමීමට විශාල සේවා යෝජකයන්ට බලය ලබා දෙන, අස්ථිර කොන්ත්‍රාත් කම්කරු රැකියා තවදුරටත් පුලුල් කරන සහ බොහෝ වෘත්තීය ක්‍රියාමාර්ග නීති විරෝධී බවට පත් කරන, “ප්‍රතිසංස්කරන” ලෙස හඳුන්වන, කම්කරු නීති ක්‍රියාත්මක කරන බව ආන්ඩුව නිවේදනය කර තිබේ. .

ඒ අතරම මෝදි ආන්ඩුව, චීනයට එරෙහි වොෂින්ටනයේ මූලෝපායික ප්‍රහාරයට ඉන්දියාව තව දුරටත් ඒකාබද්ධ කර ඇති අතර, එක්සත් ජනපදය සහ එහි ප්‍රධාන ආසියා පැසිෆික් හවුල්කරුවන් වන ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ මිලිටරි ආරක්ෂක සබඳතා නාටකාකාර ලෙස පුලුල් කර ඇත. ඉන්දියානු ප්‍රභූව උත්සාහ කරන්නේ, පුපුරන සුලු එක්සත් ජනපද-චීන ගැටුම සිය මහා බල අභිලාෂයන් ඉදිරියට ගෙනයාම සඳහා පමනක් නොව, ඉන්දියාව චීනයට විකල්ප නිෂ්පාදන දාම කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා වොෂිංටන් සහ ටෝකියෝහි සහාය ලබා ගැනීමේ අරමුන ඇතිව ය.

1991 සිට ඉන්දියානු ධනේශ්වරයේ පන්ති මූලෝපායේ ප්‍රධාන කොටස් දෙක, දෙගුන කිරීමෙන් මෝදි ආන්ඩුව වසංගතයට ප්‍රතිචාර දක්වා ඇත: ගෝලීය ධනවාදය සඳහා ඉන්දියාව ලාභ ශ්‍රම මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ තල්ලුව; 2005 සිට ඉන්දු-එක්සත් ජනපද “ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වය” යන, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ සමීප සබඳතා ඇති කර ගැනීම, ඒ දෙකය. පලමුවැන්නේ ප්‍රතිපලය වශයෙන් ඉන්දියාව ලෝකයේ වඩාත්ම අසමාන සමාජයක් බවට පරිවර්තනය වී තිබේ. එනම්, ජනගහනයේ ධනවත්ම සියයට එකට ඉන්දියාවේ දුප්පත්ම සියයට 70 ට වඩා හතර ගුනයකින් වැඩි ධනයක් හිමි වේ. කෝටි ගනනක් දෙනා අසරන භාවයෙන් හා මන්දපෝෂනයෙන් පෙලෙන සමාජයකි ඒ. දෙවැන්න චීනයට එරෙහි වොෂිංටනයේ ගිනි අවුලුවන යුද්ධයේ දී පෙරමුනු රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය කර තිබේ.

මෙම න්‍යාය පත්‍රය අනුයෑම, වෙන කවරදාටත් වඩා මහජන විරෝධයකට මුහුන දෙන බව හොඳින් දන්නා භාරතීය ජනතා පක්ෂය, පොලීසිය, ශ්‍රේෂ්ඨාධිකරනය සහ සමස්ත ඉන්දියානු පාලක ප්‍රභූවේ අනුග්‍රහය ඇතිව, නිර්දය ලෙස වර්ගවාදී ප්‍රතිගාමිත්වය අවුස්සමින් සිටී. එහි පරමාර්ථය වන්නේ, කම්කරු පන්තිය බෙදීමත්, විරුද්ධවාදීන්ට, සියල්ලටම වඩා කම්කරු පන්තියට එරෙහිව, හදිසි ප්‍රහාරක හමුදා ලෙස එහි ෆැසිස්ට් හින්දු අධිපතිවාදී අනුගාමිකයන් බලමුලු ගැන්වීමයි.

ස්ටැලින්වාදී සීපීඑම් සහ එහි වාම පෙරමුනේ ද්‍රෝහී භූමිකාව

පසුගිය දශක තුන තුල ඉන්දියානු ධනවාදය ව්‍යාප්ත වීමේ ප්‍රතිපලය ලෙස කම්කරු පන්තියේ ප්‍රමානය හා සමාජ බලය විශාල වශයෙන් ඉහල නංවා ඇත. මෝටර් රථ හා ගෝලීය වශයෙන් ඒකාබද්ධ වූ කර්මාන්තවල සේවයේ නියුතු කම්කරුවන් ද ඇතුළු නොගිනිය හැකි සටන්කාමී අරගල තිබියදීත්, කම්කරු පන්තිය දේශපාලනික ව කොන් කර හා අකර්මන්‍ය කර ඇත.

ව්‍යාජ ලෙස කම්කරු පන්තියේ නමින් කථාකරන, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හෙවත් සීපීඑම් සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) වැනි ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ හා ධනවාදී ගැති වෘත්තීය සමිති සංවිධාන, මේ සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුතු ය.

දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලන සංස්ථාපිතයට ඒකාග්‍රව සිටින ඔවුන්, පන්ති අරගලය ක්‍රමානුකූලව යටපත් කර ඇති අතර, ආයෝජක ගැති ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කිරීමේ සිට ලොව තුන්වන විශාලතම මිලිටරි වියදම ඉන්දියාවට හිමිකරදුන් මට්ටමක මිලිටරි තරකිරීමක් දක්වා වූ ධනේශ්වරයේ න්‍යාය පත්‍රය පැනවීමට සෘජුවම සහභාගී වී ඇත.

දශක තුනක් තිස්සේ සීපීඑම් සහ සීපීඅයි, වැඩි වශයෙන් කොන්ග්‍රස් පක්ෂ නායකත්වය දැරූ දක්ෂිනාංශික ආන්ඩු, පිම්බීමට ඔවුන් විසින් දරන ලද ක්‍රියාකලාපය යුක්තිසහගත කිරීම පිනිස හින්දු දක්ෂිනාංශයේ තර්ජනය හුවාදැක්වීය. සමාජ අර්බුදයට තමන්ගේම සමාජවාදී විසඳුමක් ඉදිරිපත් කිරීමෙන් කම්කරු පන්තිය වැලැක්වීම මඟින්, හින්දු දක්ෂිනාංශයට, කම්කරු පන්තියට මාරක තර්ජනයක් ලෙස මතුව ආ ආවේනික දුප්පත්කම, මහජන විරැකියාව සහ දිනෙන් දින පුලුල් වන සමාජ අසමානතාව පිලිබඳ සමාජ කලකිරීම සහ කෝපය ගසාකෑමට ස්ටැලින්වාදීහු ඉඩ සලසා දුන්හ.

එහෙත් ස්ටැලින්වාදීන්ට නම්, ඔවුන්ගේ ප්‍රතිපත්තියේ පැහැදිලි අසාර්ථකත්වය සම්පුර්නයෙන්ම නොසැලකිය හැකි කාරනයකි. ධනේශ්වරය හින්දු අධිපතිවාදී මෝදි වැලඳ ගැනීම සහ එහි පන්ති-යුද ප්‍රහාරය තීව්‍ර කිරීම සම්බන්ධයෙන් ඔවුන් ප්‍රතිචාර දක්වා ඇත්තේ, ධනේශ්වර රාජ්‍යය ආයතන වලද කොන්ග්‍රසයට හා දක්ෂිනාංශික ජනවාර්ගික-ස්වෝත්තමවාදී සහ කුලවාදී පක්ෂ වලටද කම්කරු පන්තිය ගැටගැසීමට ගත් උත්සාහයන් දෙගුන කිරීමෙනි. සීපීඑම් සහ ඔවුන්ගේ වාමාංශික පෙරමුනේ සගයින් කොන්ග්‍රසය, උසාවි සහ “අපේ හමුදාව”, “හින්දුත්වා-ෆැසිස්ට්වාදයට” එරෙහි “අනාගමික ප්‍රජාතන්ත්‍රවාදී” බලකොටු ලෙස ප්‍රවර්ධනය කරයි. කාෂ්මීර වැසියන්ට එරෙහි ව්‍යවස්ථා කුමන්ත්‍රනය හා කඩා බිඳ දැමූ බබ්රි මස්ජිද් භූමියේ රාම් කෝවිලක් ඉදිකිරීම දක්වා වන සෑම හැරීමකදීම ඔවුන් ඒවාට අනුකූලව කටයුතු කර ඇත.

ජනවාරි 8 සහ නොවැම්බර් 26 මහා වැඩ වර්ජන හරහා ඉන්දියානු කම්කරු පීඩිතයෝ, මෝදි ආන්ඩුවට සහ දශක තුනක ආයෝජක හිතවාදී ප්‍රතිසංස්කරනයන්හි විනාශකාරී ප්‍රතිපල කෙරෙහි කෝපය හා විරෝධය ප්‍රකාශ කලහ. එහෙත් ස්ටැලින්වාදීන්ට සහ ඉන්දියානු වෘත්තීය සමිති මධ්‍යස්ථානය (සීඅයිටීයූ) සහ සමස්ත ඉන්දියානු වෘත්තීය සමිති සම්මේලනය (ඒඅයිටීයූසී) යන ඔවුන්ගේ වෘත්තීය සමිතිවාදීන්ට ඒවා නින්දිත දේශපාලන උපාමාරු විය. වැඩි වැඩියෙන් කැරලිකාරී වන කම්කරු පන්තිය හීලෑකර ගැනීමටත්, විශේෂයෙන් ඔවුන්ගේ වෘත්තීය සමිති පෙරමුන වන සීඅයිටීයූ / ඒඅයිටීයූසී නායකත්වයෙන් යුත් මධ්‍යම වෘත්තීය සමිති ඒකාබද්ධ වේදිකාවේ ප්‍රමුඛ සාමාජිකයන් වන, කොන්ග්‍රසය සහ ඩීඑම්කේහි ඔවුන්ගේ දක්ෂිනාංශික “භාරතීය ජනතා විරෝධී” සහචරයින්ගේ “ප්‍රගතිශීලී” අක්තපත්‍ර සවිමත් කිරීමටත් ඒවා මාධ්‍යන් බවට පත්කර ගත්තේය.

ගොවීන්ගේ උද්ඝෝෂනයට ස්ටැලින්වාදීන්ගේ ප්‍රතිචාරය, ධනේශ්වරයේ දේශපාලන නියෝජිතයන් ලෙස ඔවුන්ගේ භූමිකාවට මුලුමනින්ම අනුකූල වේ. ඔවුන් උත්සාහ කරන්නේ, මෑතක් වන තුරුම පාලක පන්තිය වැඩියෙන්ම මනාප ආන්ඩු පක්ෂය වූ කොංග්‍රස් පක්ෂය හා ගොවීන්ට සහයෝගය දක්වන බව කියන කොන්ග්‍රසයට අනුබද්ධ ඉන්දියානු ජාතික වෘත්තීය සමිති සම්මේලනය සමඟ ඒකාබද්ධ ප්‍රකාශ නිකුත් කරන අතරේ කම්කරු පන්තිය උදාසීන නරඹන්නෙකු දක්වා පහත හෙලීමටයි. කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස මැදිහත් වීම සහ මෝදි ආන්ඩුවට හා ඉන්දීය ධනවාදයට එරෙහිව ග්‍රාමීය ජනතාව පෙල ගැස්වීමට එරෙහි ඔවුන්ගේ නොවරදින විරුද්ධත්වය අවධාරනය කරමින් සීපීඑම් මහලේකම් සීතාරම් යෙචුරි සහ සීපීඅයි ප්‍රධානී ඩී. රාජා යන දෙදෙනාම කියා සිටියේ, ගොවීන්ගේ උද්ඝෝෂනය 'අදේශපාලනික' ව පැවතිය යුතු බවයි.

මෝදි පාලනයට සහ ලාභ පද්ධතියට එරෙහිව සටන් කිරීමේ සමාජවාදී-ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක්

මෝදිට හා ඉන්දීය ධනේශ්වරයට එරෙහි අරගලය ජය ගැනීමට නම් ඉන්දීය කම්කරු පන්තිය, ස්ටැලින්වාදී පක්ෂ හා වෘත්තීය සමිති වලින් දේශපාලනිකව හා සංවිධානාත්මකව බිඳී, නොනවතින විප්ලවයේ ක්‍රියාමාර්ගය පදනම් කරගත් සමාජවාදී ජාත්‍යන්තරවාදී මූලෝපායක් සකස් කරගත යුතුය. ලියොන් ට්‍රොට්ස්කි විසින් ප්‍රථම වරට විස්තාරනය කරන ලද නොනවතින විප්ලවය, 1917 රුසියානු විප්ලවයේ මූලෝපායික පදනම ලෙසත්, පසුකාලීනව ස්ටැලින්වාදී පරිහානියට එරෙහි අරගලයයේ පදනම ලෙසත් සේවය කලේය. ඉන්දියාව වැනි කල්පසුවූ ධනවාදී සංවර්ධනයක් ඇති රටවල, කෘෂිකාර්මික ප්‍රශ්නය විසඳීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ මූලික කාර්යයන් සාක්ෂාත් කරගත හැක්කේ, ධනවාදයට එරෙහි ගෝලීය අරගලයේ කොටසක් ලෙස, කම්කරු පන්ති නායකත්වයෙන් යුත් සමාජවාදී විප්ලවයක් තුලින් පමනක් බව එය පෙන්වා දුන්නේය.

ට්‍රොට්ස්කි සහ හතරවන ජාත්‍යන්තරය පූර්ව අනතුරු ඇඟවූ පරිදි, නේරු, ගාන්ධි සහ ඔවුන්ගේ ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ දේශපාලන නායකත්වය යටතේ ඉන්දියානු ධනේශ්වරය, විසිවන සියවසේ මුල් භාගයේදී දකුනු ආසියාව වෙලාගෙන, 1942 සහ 1947 අතර විප්ලවීය මානයන් අත්කරගත්, මහා අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය පාවා දුන්නේය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සමඟ ගිවිසුමක් ඇති කර ගත් කොන්ග්‍රස් නායකයින්, උප මහාද්වීපය ප්‍රධාන වශයෙන් මුස්ලිම් පාකිස්තානයක් සහ හින්දු ඉන්දියාවක් ලෙස ලේ වැකි ආකාරයෙන් බෙදා වෙන්කොට, බ්‍රිතාන්‍ය යටත් විජිත රාජ්‍ය යන්ත්‍රය යටතේ පාලනය වන ධනවාදී පාලන ක්‍රමය ස්ථාපිත කලේය. එතැන් පටන් දශක හතකට වැඩි කාලයක් පුරාවට ඉන්දියාව, ගැඹුරින් මුල්බැසගත් කෘෂිකාර්මික අර්බුදයක්, කුල හිංසනය, ආවේනික දරිද්‍රතාවය සහ ධනවාදී පීඩාවේ කුරිරු ලාභ ශ්‍රම මධ්‍යස්ථානයක් තුල ගිලී ගොස් ඇති අතර එහි අගමැති වන්නේ, හින්දු අධිපතිවාදී මැරයෙකි.

ඉන්දියානු කම්කරුවන් ඔවුන්ගේ අසංඛ්‍යාත සමාජ අරගල ඒකාබද්ධ කල යුතු අතර, කම්කරු ආන්ඩුවක් සඳහා වන අරගලයේදී, මෝදි සහ ඉන්දීය ධනවාදයට එරෙහිව ග්‍රාමීය පීඩිත ජනතාව තමන් වටා පෙලගස්වාගත හැකි පරිදි ස්වාධීන දේශපාලන බලවේගයක් බවට පත්විය යුතුය. මෙම අරගලයේදී කම්කරු පන්තිය, හින්දු අධිපතිවාදයට, කුලවාදයට හා කුල හිංසනයට මෙන්ම, කම්කරු පන්තිය බෙදීමට හා බලය හා වරප්‍රසාද සඳහා වන එහි කන්ඩායමික අරගල පිටුපස ඔවුන් දැක්කීමට පාලක පන්තිය විසින් අවුලුවනු ලබන සියලු ජාතික හා වාර්ගික වෙනස්කම් වලට විරුද්ධ විය යුතුය.

ගොවීන්ගේ සහ ග්‍රාමීය ජනතාවගෙන් බහුතරය සමන්විත වන, ඉඩම් නොමැති හා කෘෂිකාර්මික කම්කරුවන්ගේ දැවෙන ගැටලුවලට විසඳුමක් ලබා දිය හැක්කේ, සමාජවාදී වැඩපිලිවෙලකට පමනි. සෑම අවස්ථාවකදීම එම්ජීඑන්ආර්ඊජී (මහත්මා ගාන්ධි ජාතික ග්‍රාමීය සේවා නියුක්තිය) වැනි පොදු වැඩ යෝජනා ක්‍රමවල වැඩ කරන කෘෂිකාර්මික කම්කරුවන්ට සහ දුගී ගොවීන්ට යහපත් ජීවනෝපායක් ලබා ගැනීම සඳහා හදිසියෙන්ම අවශ්‍ය පියවර සහ සියලු වැඩ කරන ගොවීන්ට ලාභ නය, ගොවිපල යන්ත්‍රෝපකරන, කෘෂිකාර්මික යෙදවුම් ලබා ගැනීම සහතික කල යුතුය. ඒවා ධනේශ්වර ලාභ පද්ධතිය සමඟ ගැටෙයි. රාජ්‍ය සේවාවන් විශාල වශයෙන් ව්‍යාප්ත කිරීම, භූමිය ජනසතු කිරීම, මහා පරිමාන සාමූහික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ඔවුන්ගේ අවශ්‍යතාය. බැංකු, පොහොර සහ කෘෂිකාර්මික නිෂ්පාදකයින් පොදු අයිතිය යටතේ තැබීම සහ කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අවශ්‍ය කෙරේ.

සියල්ලටත් වඩා, කම්කරු පන්තියේ වර්ධනය වන ගෝලීය නැගීම සමඟ ඔවුන්ගේ අරගලය සම්බන්ධ කිරීමට ඉන්දියානු කම්කරුවන් සටන් කල යුතුය. 2020 අවසානය කරා ලඟා වෙද්දී, කොවිඩ්-19 වසංගතය කෙරෙහි ධනේශ්වර ප්‍රභූවේ ධන ලෝභී ප්‍රතිචාරයට හා දශක ගනනාවක් තිස්සේ රැකියාවන්ට, පොදු සේවාවන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට එරෙහි ප්‍රහාර කෙරෙහි පලවන කම්කරු පන්තියේ ප්‍රතිරෝධය වැඩි වෙමින් තිබේ. ප්‍රංශය, ග්‍රීසිය, ඉතාලිය, චිලී, දකුනු කොරියාව සහ එක්සත් ජනපදය තුල වැඩ වර්ජන හා මහජන විරෝධතා පුපුරා ගොස් තිබේ.

කොමියුනිස්ට් ප්‍රකාශනයේ ආදර්ශ පාඨය වන, “ලෝකයේ කම්කරුවනි එක්වව්!” කිසි කලෙකත් මෙතරම් අවබෝධ කරගත හැකි දෙයක් ලෙස හෝ හදිසි දෙයක් ලෙස නොපැවතුනි. නිෂ්පාදනයේ ගෝලීයකරනය, ධනපති පන්ති අතර අරගල තීව්‍ර කර තිබේ. වැඩ කරන ජනතාවගේ වියදමින් කෙරෙන එය, වෙලඳපලවල්, සම්පත්, ශ්‍රම සංචිත සූරාකෑම සහ භූ-මූලෝපායික වාසි සඳහාය. අන්තර්ජාතික සංගත, ගෝලීය වැටුප් හා සේවා කොන්දේසි පහත හෙලීම සඳහා ගෝලීය ශ්‍රම වෙලඳපොල භාවිතා කරන අතර, අධිරාජ්‍යවාදී සහ මහා බලවතුන් ද ඉන්දියාව වැනි විවිධ කලාපීය අධිපතියන් ද උපරිමයෙන් සන්නද්ධ වෙමින් සිටියි.

එහෙත් ධනවාදයේ බිඳවැටීම, සමාජවාදී විප්ලවය තුල එහි ප්‍රගතිශීලී විසඳුම සඳහා වෛෂයික කොන්දේසි ද නිර්මානය කර තිබේ. ගෝලීයකරනය, ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව යන රටවල කම්කරු පන්තියේ විශාල බලඇනි සමඟ උතුරු ඇමරිකාවේ, යුරෝපයේ සහ ජපානයේ කම්කරුවන් නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් එකමුතු කරන තත්වය නිර්මානය කර තිබේ. වර්තමානයේදී මෙන්, ටොයොටා කර්ලොස්කර් මෝටර්ස් හි කම්කරුවෝ, නිෂ්පාදනය සියයට 25 කින් වැඩි කල යුතු බවට කලමනාකාරීත්වයේ නියෝගයන්ට එරෙහි වීම සඳහා ආන්ඩුවේ යලි වැඩට දැක්කීමේ නියෝග ප්‍රතික්ෂේප කරන විට ඔවුන් පහර දෙන්නේ, ඉන්දියාවේ කම්කරුවන් වෙනුවෙන් පමනක් නොව, ලොව පුරා සිටින මෝටර් රථ කම්කරුවන් වෙනුවෙනි.

මෙම වෛෂයික එක්සත්කම දැනුවත් මූලෝපායක් බවට පත්විය යුතුය. ප්‍රාග්ධනය හා සමස්තයක් ලෙස ලාභ ක්‍රමය විසින් වැඩකරන ජනතාවට එල්ල කරන නිර්දය ප්‍රහාරයට එරෙහිව ගෝලීය ප්‍රතිප්‍රහාරයකින් ඉන්දියාවේ කම්කරුවන්, ලොව පුරා සිටින තම පන්ති සහෝදර සහෝදරියන් සමඟ නැඟී සිටිය යුතුය.

කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා වන අරගලය යුද්ධයට එරෙහි අරගලයෙන් වෙන් කල නොහැකි ය. න්‍යෂ්ටික ව්‍යසනයක් මුදා හැරීමට තර්ජනය කරන චීන විරෝධී ඉන්දු-එක්සත් ජනපද යුද සන්ධානයට සහ පාකිස්තානය සමඟ පාලක පන්තියේ ප්‍රතිගාමී මූලෝපායික ගැටුමට ඉන්දියාවේ කම්කරුවන් හා පීඩිතයින් විරුද්ධ විය යුතුය. වාර්ගික ගැටුම් සහ ජාතික-ජනවාර්ගික සතුරුකම්වල පැසවන කටාරමක් සහ අඛන්ඩ අධිරාජ්‍යවාදී ආධිපත්‍යය සඳහා යාන්ත්‍රනයක් ලෙස සේවය කර ඇති 1947 බෙදීම විසින් නිර්මානය කරන ලද ප්‍රතිගාමී රාජ්‍ය පද්ධතියට විකල්පව, කම්කරු පන්තිය, දකුනු ආසියාවේ එක්සත් සමාජවාදී සංගමයක් සඳහා වන අරගලය පෙරට ගත යුතුය.

මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන් කිරීමට සහ ඉන්දියාවේ කම්කරුවන්ගේ හා පීඩිතයින්ගේ වැඩෙන කැරැල්ලට නායකත්වය සැපයීමට නම්, විප්ලවවාදී කම්කරු පන්ති පක්ෂයක් ගොඩනැඟිය යුතුය. ඒ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉන්දියානු ශාඛාවයි. මෙම සටන සඳහා සූදානම් සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අමතන ලෙසයි. මෙම වැදගත් අරගලය සඳහා සෑම සහයෝගයක්ම අපි ඔබට ලබා දෙන්නෙමු.

මෙම ප්‍රකාශය දෙසැම්බර් 22 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

Loading