වසංගතය, ධනවාදයේ ගෝලීය අර්බුදය, පන්ති අරගලයේ පුනර්ජීවනය හා සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) කර්තව්‍යයෝ - පලමු කොටස

පහත දැක්වෙන්නේ 2022 මැයි 14-16 දක්වා අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තුන්වන ජාතික සම්මේලනය විසින් සම්මත කරන ලද ප්‍රධාන යෝජනාවයි. ඒකමතිකව සම්මත කරන ලද යෝජනාව කොටස් තුනකින් ප්‍රකාශයට පත් කෙරේ. මේ පලමු කොටසයි.

සසප කොංග්‍රසය “රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන නැගිටීම හා සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ” යන හදිසි යෝජනාවක් ද සම්මත කලේය.

1. කොවිඩ්-19 වසංගතය මුලිනුපුටා දැමීමේ විද්‍යාත්මක මූලෝපාය ද අධිරාජ්‍යවාදී යුද සූදානමට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන ක්‍රියාමාර්ගය  ද හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් දියත් කරනු ලැබ ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (ක්‍රිකජාස) ගොඩනැගීම ද මුලු‍මනින්ම අනුමත කරන සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) තුන්වන ජාතික සම්මේලනය එම කාර්යයන් සඳහා ධෛර්ය සම්පන්න ලෙස සටන් වැදීමට ප්‍රතිඥා දෙයි.

2. පසුගිය වසරෙහි මුල් භාගයේ පුපුරා ගිය කොවිඩ්-19 වසංගතය, ලෝක ඉතිහාසයේ “ප්‍රේරක සිද්ධියක්” බව හජාජාක නිවැරදි ව විශ්ලේෂනය කලේ ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ජනවාරි 4 දා පල කල, “වසංගතයේ දේශපාලන පාඩම් සහ 2021 සමාජවාදය සඳහා අරගලය” නමැති ඉදිරි දර්ශන ලිපිය විස්තර කල පරිදි, එම වසංගතය ධනවාදයේ අර්බුදය හා පරස්පර-විරෝධයන් ගැඹුරු කර ඇති අතර, “දිගු කලක් තිස්සේ යටපත්කර තිබූ සමාජ පරිවර්තනයේ බලවේග මුදාහැර තිබේ”.

බොල්සොනාරෝ ආන්ඩුවේ මිනීමරු වසංගත ප්‍රතිපත්තියට එරෙහිව 2021 ජූලි මාසයේදී බ්‍රසීලයේ මහජන විරෝධතාවයක්. (ඡායාරූපය අනුග්‍රහය: Mídia Ninja)

3. වසංගතය පුපුරා ගිය තැන් පටන්, හජාජාක හා ලෝසවෙඅ විසින් ඉදිරිපත් කරන ලද විශ්ලේෂනය හා ක්‍රියාමාර්ගය බලගතු ලෙස සනාථ වී තිබේ. ගෝලීය මරන සංඛ්‍යාව මිලියන 5 ඉක්මවද්දී, ආසාදන සංඛ්‍යාව මිලියන 244 ඉක්මවා ගොස් ඉහල යමින් පවතී. දි ඉකොනොමිස්ට් සඟරාව නොවැම්බර් මාසයේ ගනනය කර ඇති පරිදි, අතිරේක මරන ද සමග ගත් විට, සැබෑ මරන සංඛ්‍යාව ඇඟ කිලිපොලා යන මිලියන 18.4ක ඉහල සංඛ්‍යාවක් වේ. ලෝක ධනවාදයේ මධ්‍යස්ථානය වන එක්සත් ජනපදය, යුරෝපා රටවල්, ලතින් ඇමරිකාව, අප්‍රිකාව, ආසියාව හා ඕස්ටේ්‍රලියාව තුල අන්තරායකාරී විකෘතීන් හා ප්‍රභේදයන් සමග වෛරසයෙහි මාරාන්තික පැතිරීම හා එහි දීර්ඝ කාලීන බලපෑම් අවධාරනය කරන්නේ වසංගතයට ජාතික විසඳුමක් නොමැති බව යි.

4. 1914 ජුනි 28දා ඔස්ට්‍රියානු ආදිපාද ෆර්ඩිනන්ඩ් හා ඔහුගේ බිරිඳ මරා දැමූ තැන් පටන් ඇති වූ පලිගැනීමේ ක්‍රියා මාලාවකින් අනතුරු ව පුපුරා ගිය පලමුවන ලෝක යුද්ධයේ පිපිරීම සමග, හජාජාක නව කොරෝනා වෛරස් වසංගතය සන්සන්දනය කලේ ය. යුද්ධයෙන් සලකුනු කෙරුනේ, සම්පත් හා වෙලඳපොලවල් සඳහා පොරවැදුනු යුරෝපීය බලයන්ගේ එදිරිවාදිකම් විසින් තියුනු ලෙස ප්‍රකාශයට පත්කෙරුනා වූ ද වසර ගනනක් තිස්සේ සමුච්ඡය වූ ද ලෝක ධනවාදයේ ආර්ථික හා භූ-දේශපාලනික පරස්පර-විරෝධයන්ගේ ක්ෂනික පිපිරීමකි.

ලෝසවෙඅ ජාත්යන්තර කර්තෘ මන්ඩලයේ හා එක්සත් ජනපදයේ සසප සභාපති ඩේවිඩ් නෝර්ත් විස්තර කල පරිදි:

“යුද්ධයේ බිහිසුනු බව කෙතෙක් වුව, එය අවසන් කල හැකිව නොතිබින. මක්නිසාදයත්, එකිනෙක සටන් වැදී සිටි ධනේශ්වර බලවතුන්ගේ පාලක පන්තිවල භූ දේශපාලන සහ ආර්ථික උත්සුකයන්, සාකච්ඡා මඟින් ඇති කර ගන්නා සම්මුතියකට අවකාශ සැලසුවේ නැත.

“යුද්ධය අවසන්වීම සඳහා, සමාජය මෙහෙයවීම ධනේශ්වර පාලකයන් අතින් ඉවත් කල යුතුව තිබිනි. එනම්, එදා පැවැති ආන්ඩු විසින් අන දෙනු ලද්දා වූ හමුදාවලට වඩා විශාලතර වූ බලවේගයක් බලමුලු ගන්වා ගත යුතුව තිබින. එම බලවේගය වූයේ, උනුන් යුද වදිමින් සිටි සියලු රටවල කම්කරු පන්තියයි. ජාත්යන්තර කම්කරු පන්තිය, විප්ලවවාදී සමාජවාදී වැඩ පිලිවෙලකින් සන්නද්ධව යුද්ධයට එරෙහිව යුද වැදිය යුතුව තිබින. ලෙනින්ගේ හා ට්රොට්ස්කිගේ ඉදිරි දර්ශනය වූයේ එයයි....” (ලෝසවෙඅ, 2021 මැයි දිනය හා ගෝලීය පන්ති අරගලය, 2021 මැයි 2).

ලෙනින් හා ට්‍රොට්ස්කි නායකත්වය දුන් බොල්ශෙවික් පක්ෂයේ නායකත්වය යටතේ මහා කැලඹීම තුලට ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස මැදිහත් වූ රුසියාවේ කම්කරු පන්තිය, එරටෙහි බලය අල්ලාගෙන, ලෝකය සමාජවාදී ලෙස පරිවර්තනය කිරීමේ කර්තව්‍යය ආරම්භ කලෝය. අද දින, නිෂ්පාදනයේ ගෝලීයකරනය යටතේ, අධිරාජ්‍යවාදී රටවල් තුල මෙන් ම ඉන්දියාව හා ශ්‍රී ලංකාව වැනි කල්පසු වූ ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල් තුල ද  අන් කවරදාටත් වඩා ජාත්‍යන්තරීකරනය වී,  ධනවාදයෙහි වඩා අභිවර්ධිත පද්ධතිගත අර්බුදයක තතු තුල අරගලය සඳහා ඒකාබද්ධ වෙමින් සිටින්නාවූ කම්කරු පන්තිය,  ධනවාදය පෙරලා දමා ලෝකය සමාජවාදී ලෙස පරිවර්තනය කිරීමේ එම කර්තව්‍යයට ම මුහුන දී සිටිති.

5. දෙවන ලෝක යුද්ධයේ පටන් අත් නුදුටු ගෝලීය ව්‍යසනයක් තුල, මිලියන ගනනක් දෙනාට ඔවුන්ගේ රැකියා හා ආදායම් මාර්ග අහිමි වී, දරිද්‍රතාවට, කුසගින්නට හා මරනයට ඇද දමනු ලැබ ඇත. වසංගතයට පෙර පවා, පොහොසත් ම සියයට 1 බිලියන 6.9ක් වන ලෝක ජනගහනයේ ධනය මෙන් දෙගුනයකට වැඩියෙන් අත්පත් කරගන්නා මට්ටමට ගෝලීය අසමානතාව ගැඹුරු වී තිබුනි. ලෝකයේ බිලියනපතියන්ගේ ඒකාබද්ධ ධනය, එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 8 සිට ඩොලර් ටි්‍රලියන 13.1 දක්වා සියයට 60කින් වැඩි වී ඇත. පොහොසත් ම 10 දෙනා ගොඩගසාගෙන ඇති ඩොලර් බිලියන 540 ධනය, “ලොව ඕනෑ ම අයෙක් වෛරසය හේතුවෙන් දරිද්‍රතාවට ඇද වැටීම වැලැක්වීමටත්, සියලු‍ දෙනාට කොවිඩ්-19 එන්නතක් ලබා දීම වෙනුවෙන් ගෙවීමටත් අවශ්‍ය ජපානයට වඩා වැඩි” බව, ජනවාරියේ නිකුත් කල ඔක්ස්ෆෑම් වාර්තාව සඳහන් කරයි.

6. මහා පරිමාන මරන හා අනවරත ව පලල් වන සමාජ අසමානතාව, වසංගතයට ප්‍රතිචාර ලෙස ධනපති පන්තිය විසින් ගෙනයන මිනීමරු පිලිවෙත්වල ප්‍රතිඵලයකි. ඔවුහු වෛරසය අපාලිත ව පැතිරුන හොත් අවසානයේ දී එය අවසන් වනු ඇතැයි කියන “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත අනුගමනය කරති; එන්නත්කරනය හා මුහුනු ආවරන පැලඳීම හරහා වසංගතයේ බලපෑම “අවම කිරීමේ” පාලක පන්තියේ අනෙක් මූලෝපාය, යථාර්ථයේ දී රංචු ප්‍රතිශක්තිය ම මඳක් වෙනස් කර ඉදිරිපත් කිරීමකි. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ අන්ත-දක්ෂිනාංශික ආන්ඩුව ඇතුලු‍ ලොව පුරා පාලන තන්ත්‍ර, මෙම පිලිවෙත් යටතේ අනාරක්ෂිත කොන්දේසි තුල ආර්ථිකයන් හා පාසල් යලි විවෘත කර තිබේ. මරන සාමාන්‍යකරනය කිරීමේ ධනපති පන්ති පිලිවෙත නීර්නය කරනු ලබන්නේ, මානව ජීවිතවලට ඉහලින් ලාභවලට ප්‍රමුඛතාව දීම මගිනි. මාක්ස් සඳහන් කල පරිදි, “ඔහු ගේ (ධනපතියා ගේ) එකම ඉලක්ක ය වන්නේ ඉස්මක් නැතිව නොනවත්වා ලාභෝත්පාදනය කර ගැනීමයි.” (කැපිටාල් (ප්‍රාග්ධනය), 1 වෙලු‍ම ප්‍රෝග්‍රෙස් පබ්ලිෂර්ස්, 151 පිටුව).

7. රංචු ප්‍රතිශක්තියේ හා අවම කිරීමේ මූලෝපායන්ට ප්‍රතිකූල ව, වසංගතය අවසන් කිරීමේ විද්‍යාත්මක මූලෝපායට හජාජාක සහයෝගය දෙයි. ප්‍රමුඛ වසංගතරෝග විද්‍යාඥයන්, වෛරස් විශේෂඥයන් හා අනෙකුත් විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරනු ලබන පිලිවෙත් මත පදනම් වන එම මූලෝපාය, කොවිඩ්-19 මර්දනය කිරීම සඳහා පවතින ආයුධ ගබඩාවේ සෑම අවියක්ම විශ්වීය වසයෙන් සම්බන්ධීකරනය ඉල්ලා සිටී. එන්නත් නිපදවූ සංගත ව්‍යවසායයන් ලාභවලට ප්‍රමුඛත්වය දෙමින් සිටින අතර, ඒවා පදනම් වන රටවල් එන්නත් ජාතිකවාදය අනුගමනය කරයි.

8. ජාත්‍යන්තර කම්කරු පන්තිය විනාශකාරී සමාජ කොන්දේසිවලට එරෙහි ව සටන් කිරීම අරඹා ඇත. එක්සත් රාජධානියේ පාසල් යලි විවෘත කිරීමට එරෙහි ව, ඔක්තෝබර් 1 හා 15 යන දිනවල එරට මවක වන ලීසා ඩයස් නායකත්වය දුන් වර්ජන කැඳවුමට ජාත්‍යන්තර ව ගුරුවරුන්ගෙන් හා අනෙකුත් කම්කරුවන්ගෙන් ගොනු වුනු සහයෝගය, ජාත්‍යන්තර පන්ති අරගලයේ සන්ධිස්ථානයක් සලකුනු කරයි. මිනෙසොටාහි දී ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලීසිය විසින් මරා දැමීමට එරෙහි ව ජාත්‍යන්තර වසයෙන් පුපුරා ගිය විරෝධතා ව්‍යාපාරය, ජාත්‍යන්තර සහයෝගය ආකර්ශනය කරගත් එක්සත් ජනපදයේ වොල්වෝ හා ඩානා මෝටර් කම්කරුවන්ගේ වැදගත් අරගල, ශ්‍රී ලංකාවේ ගුරුවරු 250,000ක් ඇතුලු‍ ව රටවල් කිහිපයක පුපුරා ගිය ගුරු අරගල ඒවා අතරට අයත් වෙයි. පන්ති අරගල සිරකර තබා ගැනීමට හා මර්දනය කිරීමට උත්සාහ දරන ධනපති-ගැති වෘත්තීය සමිතිවල හිසට උඩින් හෝ ඒවායේ යකඩ සැට්ටය කපාගෙන මෙම අරගල වර්ධනය වී ඇත.

9. ජාත්යන්තර පන්ති අරගලයන් වර්ධනය වීම, ක්රිකජාස සඳහා හජාජාක කල බලගතු කැඳවුමෙහි අර්ථභාරය අවධාරනය කරයි: “කම්කරුවන්ට ආරක්ෂාව සපයන ලෙස, අනාරක්ෂිත ආයතන හා අත්යවශ්ය නොවන නිෂ්පාදන වසා දමන ලෙස, වෛරසය පැතිරීම නතර කිරීමට අවශ්ය අනෙකුත් හදිසි පියවර ගන්නා ලෙස ඉල්ලීම සඳහා එක්සත් අරගලයක් සංවිධානය කරනුවස් තොරතුරු හුවමාරු කර ගැනීමට ලොව පුරා කම්කරුවන්ට ක්රිකජාස මගින් මාධ්ය සම්පාදනය කෙරෙනු ඇත” යි, 'ක්රියාකාරී කමිටුවල ජාත්යන්තර කම්කරු සන්ධානයක් කරා පෙරට!' යන හිසින් 2021 අප්‍රේල් 25 දා හජාජාක නිකුත් කල ප්‍රකාශය හරහා සිදුකල එම කැඳවුම කියා සිටියේ ය.

‍ක්‍රිකජාස “කම්කරු පන්තිය එකිනෙකා සමඟ කා කෙටවීමේ හා භේද කිරීමේ යෙදී සිටින, ධනපති ආන්ඩු වලත්, ජාතික, වාර්ගික ස්වෝත්තමවාදී හා අනන්‍යතා දේශපාලනයේ අනේකවිධ වෙස්ගත් ප්‍රතිගාමී දේශකයන්ගේත් සියලු‍ උත්සාහයන්ට එරෙහිව, කම්කරුවන් ලෝක පරිමාන අරගලයක් තුල ඒකාබද්ධ කිරීමට සටන් කරනු ඇත

“ගෝලීය වසංගතයට, එමෙන් ම යුද්ධයට, සමාජ අසමානතාවට, සූරා කෑමට සහ ආඥාදායකත්වයට එරෙහි සටන යනු සමස්ත ධනපති සමාජ සහ ආර්ථික පර්යායයට එරෙහි සටනකි. සියලු‍ රටවල කම්කරුවන් බලය තමන් අතට ගැනීමටත්, කතිපයාධිකාරය අස්වාමික කිරීමටත්, පෞද්ගලික ලාභය නොව, සමාජ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමේ අරමුනින්, තාර්කික, විද්‍යාත්මක සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට නතු කෙරුනු නිෂ්පාදන ක්‍රමයක් මත පදනම් වූ සමාජවාදී සමාජයක් ගොඩනැගීමටත් පොදු දේශපාලන ප්‍රහාරයකට ඒකාබද්ධ විය යුතු ව ඇත.”

10. අර්බුදයට හා කම්කරු පන්තියේ වැඩෙන අරගල රැල්ලට ගෝලීය වසයෙන් පාලක පන්තියේ ප්‍රතිචාරය වී ඇත්තේ, ආඥාදායක පාලන රූප වෙතට හැරීම යි. ලෝක ධනවාදයේ කේන්ද්‍රස්ථානය වන එක්සත් ජනපදයේ දී මෙම හැරීම තියුනු ලෙස ප්‍රකාශයට පත් වී ඇත. ජනාධිපතිවරනයේ ප්‍රතිඵල පෙරලා දැමීම ඉලක්ක කොට, කැපිටල් ගොඩනැගිල්ලට මැර  ප්‍රහාරයක් එල්ල කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනවාරි 6දා ෆැසිස්ට් කුමන්ත්‍රනයකට උත්සාහ දැරී ය. ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයේ, අන්ත-දක්ෂිනාංශික බලවේගයන්ගේ හා රාජ්‍ය යාන්ත්‍රනයේ කොටස්වල පිටුබලය එයට ලැබුනි. කුමන්ත්‍රනකරුවෝ යලි ප්‍රහාරයක් දියත් කිරීමට උත්සාහ ගනිමින් සිටිති. මෙම වර්ධනය වනාහි, එක්සත් ජනපදය තුල ප්‍රජාතන්ත්‍රවාදයෙහි දිග්ගැසුනු අර්බුදයේ ද ගැඹුරු සමාජ අසමානතාව තුලින් ප්‍රකාශයට පත් ව තිබෙන සමාජීය පරස්පර-විරෝධයන්ගේ ද කූටප්‍රාප්ත වීමකි. වැඩෙන සමාජ විරෝධය හේතුවෙන් භීතියට පත් ව සිටින එක්සත් ජනපදයේ පාලක පන්තිය, කම්කරු පන්තිය තලා දැමීමට උත්සාහ දරයි. කුමන්ත්‍රනයට සුදු හුනු ගෑමට ඩිමොක්‍රටික් පක්ෂය හා බයිඩන් පරිපාලනය දරන උත්සාහයෙන් පිලිබිඹු වන්නේ මෙම ප්‍රති-විප්ලවවාදී ප්‍රයත්නය සඳහා පවතින ද්විපාක්ෂික පන්ති එකමුතුවයි. ෆැසිස්ට්වාදයේ හා ජනාධිපති ආඥාදායකත්වයේ තර්ජනයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු‍ගැන්වීම සඳහා විප්ලවවාදී ක්‍රියාමාර්ගයක් සම්පාදනය කරමින්, කුමන්ත්‍රන උත්සාහය හෙලිදරවු කල එක ම පක්ෂය එක්සත් ජනපදයේ සසප යි. අහඹු වර්ධනයක් නො වන එය, හුදු ඇමරිකානු ප්‍රපංචයක් ද නො වේ. ශ්‍රී ලංකාව ද ඇතුලු‍ සෑම රටක ම පාලක පන්තීන් තවත් දුර දකුනට යාම පිනිස එමගින් දිරි ගන්වා තිබේ.

11. වසංගත අර්බුදයේ ගිලී සිටින අධිරාජ්‍යවාදී බලයෝ, ඔවුන්ගේ භූ-දේශපාලනික අවශ්‍යතා ප්‍රවර්ධනය කර ගැනීමට ප්‍රයත්න දරමින් සිටිති. දශක ගනනාවක් තිස්සේ අහිමි වී ඇති සිය ගෝලීය ආධිපත්‍යය යලි අත්පත් කර ගැනීමට දරන උත්සාහයේ කොටසක් ලෙස, චීනය තම ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස ඉලක්ක කරගන්නා වොෂින්ටනය රුසියාව ද ඉලක්කයක්   කරගෙන ඇත. අවසානයේ යුරේසියානු භූ-ස්කන්ධනය මත ආධිපත්‍යය දැරීමේ කුරුමානම සහිත ව, මැද පෙරදිග තෙල් හා ගෑස් ඇතුලු‍ සම්පත් හා වෙලඳපොලවල පාලනය අත්පත්කර ගැනීමේ ධාවනයේ යෙදෙන වොෂින්ටනය, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” යන ව්‍යාජ ධජය යටතේ දශක දෙකකට පෙර ඇෆ්ගනිස්තානය ආක්‍රමනය කලේ ය. අගෝස්තුවේ දී වොෂින්ටනයේ පිටුබලය ලත් කාබුල් පාලනයේ ඇද වැටීම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඓතිහාසික පරාජයක් ඇඟවුම් කරයි. එක්සත් ජනපද-ගැති තායිවානය යොදාගෙන චීනයට එරෙහි ව සිදු කරන ප්‍රකෝපකාරීත්වයන් මගින් පෙන්නුම් කෙරෙන පරිදි, එම පරාජය වොෂින්ටනයේ ආධිපත්‍යධාරී ධාවනය ලිහිල් කරනු වෙනුවට තීව්‍ර කර ඇත. ට්‍රම්ප් කල පරිදි ම, බයිඩන් ද ව්‍යාජ වුහාන් රසායනාගාර න්‍යායය තොරොම්බල් කරමින්, කොරෝනා වෛරසයේ ගෝලීය පැතිරීම පිලිබඳ ව බෙයිජිනයට දොස් පවරයි. සැප්තැම්බරයේ දී, එක්සත් ජනපදය එක්සත් රාජධානිය සමගින් ඕස්ටේ්‍රලියාව සමග ගිවිසුමකට (ඕකුස්) ආරම්භකත්වය ගත්තේ, එරට න්‍යෂ්ටික සබ්මැරීන තාක්ෂනයෙන් සන්නද්ධ කිරීමටයි. වොෂින්ටනය චීනයට එරෙහි තම ධාවනයේ දී ඉන්දියාව පෙරමුනු රාජ්‍යයක් ලෙස බලගන්වමින් සිටින්නේ, එය සන්නද්ධ කරමින් හා චතුර්-පාර්ශවික මිලිටරි සන්ධානයක් (ක්වොඩ්) තුල ඕස්ට්‍රේලියාව හා ජපානය සමග පෙලගස්වමිනි.

තමන්ගේ ම මූලෝපායික හා ආර්ථික බලය ගොඩනැගීම මගින් එක්සත් ජනපදයට එදිරිව ක්‍රියා කිරීමට උත්සාහ දරන බෙයිජිනයේ ජාතිකවාදී ස්ටැලින්වාදී කතිපයාධිකාරය, එහි කොටසක් ලෙස එක් තීරුවක් එක් මාවතක් ආරම්භකත්වය වර්ධනය කරමින් සිටී. ආර්ථික හා වෙලඳ සම්බාධකයන් පැනවීමට වොෂින්ටනයෙහි තර්ජනය කිරීම් මධ්‍යයේ, එක්සත් ජනපදය හා යුරෝපීය බලයන් අතර භූ-දේශපාලනික ආතතීන් ද නැගෙමින් පවතී. යුරෝපා සංගමයට පිටුපසින් ඕකුස් ගිවිසුම අත්සන් කිරීම, විශේෂයෙන් ම ප්‍රන්සය හා එක්සත් ජනපදය අතර අන්තර්-අත්ලාන්තික ආතතීන් තව දුරටත් ගැඹුරු කර තිබේ. මෙම වර්ධනයන් විසින් අවධාරනය කෙරෙන්නේ, භූ-දේශපාලනික ප්‍රතිමල්ලවතා පෙර නුවූ විරූ ලෙස තීව්‍ර වීම හා ව්‍යසනකාරී ගෝලීය න්‍යෂ්ටික යුද්ධයක තර්ජනයයි.   

12. ලෝක ධනේශ්වර අර්බුදයේ හා ගැටුම්වල පතුලෙහි පවතින්නේ -භූගෝලකෘත ලෝක ආර්ථිකය හා ජාතික රාජ්‍ය පද්ධතිය අතර ද සමාජීයකරනය වූ නිෂ්පාදනය හා නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය ද අතර පවතින ලෝක ධනවාදී    පද්ධතියේ මූලික පරස්පර-විරෝධයන් ය. තුන්වන ලෝක යුද්ධයක තර්ජනය, ගෝලීය වසංගතය හා සමාජ විනාශය නැවැත්විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු‍ගැන්වීමෙනි; එනම්, 2016 පෙබරවාරි 18දා හජාජාක නිකුත් කල “යුද්ධයට එරෙහි ව සමාජවාදය සඳහා සටන” නමැති ප්‍රකාශය විසින් ඉදිරිපත් කරන ලද පිලිවෙත් ඔස්සේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පමනි.

සෝවියට් සංගමය බිඳ විසිරවූ තැන් පටන් තිස් වසරක් හා එහි ගම්‍යයෝ

13. මෙම මාසය, පාලක ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමය බිඳ විසිරවූ තැන් පටන් තිස් වසරක් ගතවීම සලකුනු කරයි. එය, දැන් ධනවාදයට එරෙහි ව තීරනාත්මක සටන්වලට ජාත්යන්තර ව පිවිසෙමින් සිටින කම්කරු පන්තියට අතිමහත් ගම්යයන් හා පාඩම් ගෙන එන අතර, එම පාඩම්වලින් තොර ව කම්කරු පන්තියට සමාජවාදී විප්ලවයේ ඓතිහාසික කර්තව්යයන් සාක්ෂාත් කල නො හැක.

සෝවියට් සංගමය බිඳ විසුරුවීම ගෝලීය ධනවාදයේ නව අවධිය, තුන්වන ලෝක යුද්ධයක් කරා අධිරාජ්‍යවාදී ධාවනය සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ නව නැගී සිටීම යන දැන් මතුපිටට පැමින ඇති ප්‍රගාඪ වර්ධනයන් ගැන පූර්ව ඇඟවුම් කලේ ය.

1919 පෙට්‍රොග්‍රෑඩයේ විප්ලවවාදී කම්කරුවන් පිරිසක් අමතමින් ලෙනින්. ට්‍රොට්ස්කි දකුනුපසින් සිටගෙන [Photo: Wikipedia]

14. සමාජවාදී විප්ලවය තුල ස්ථාපිත කරන ලද පලමු කම්කරු රාජ්යය විනාශ කිරීම, ස්ටැලින්ගේ “තනි රටේ සමාජවාදය” න්යායය මත පදනම් වූ ප්රතිගාමී ප්රති-මාක්ස්වාදී ජාතික සමාජවාදී පිලිවෙත්වල ප්රතිඵලය විය. එය, ස්ටැලින්වාදයේ ප්රති-විප්ලවවාදී ස්වභාවය පිලිබඳ ව, ට්රොට්ස්කිවාදී ව්යාපාරය කල අනතුරු ඇඟවීම් සනාථ කලේ ය. ධනපති නිෂ්පාදනයේ ගෝලීයකරනය සහ තාක්ෂනික වර්ධනය, ස්ටැලින්වාදී ස්වයං-පෝෂිත ආර්ථිකයන්ටත්, පලස්තීන විමුක්ති සංවිධානය හා දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය වැනි ජාතික විමුක්ති ව්යාපාර ඇතුලු, සෑම රටක ම හා සියලු දේශපාලන පක්ෂවල ජාතික ව පාදක පිලිවෙත්වලටත් වලකැපුවේ ය.

15. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යයේ පදනම මත ස්ථාපිත කරන ලද පශ්චාත් දෙවන ලෝක යුද්ධ සමතුලිතතාවේ ප්‍රධාන මුක්කුව වූයේ මොස්කව් ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය යි. 1991 දී සෝවියට් සංගමය බිඳ විසිරවීම, සමස්ත ලෝකය පුරා තම අනභියෝගී ආධිපත්‍යය යලි තහවුරු කරගැනීමට ලැබුනු අවස්ථාවක් ලෙස එක්සත් ජනපදය දැකගත්තේ ය. “ඉතිහාසයේ අවසානය” සලකුනු කරමින්, “නව ලෝක පර්යායක්” මත එක්සත් ජනපදය සිය අනභියෝගී බලය අනවන “ඒක ධ්‍රැවීය මොහොතක්” නිර්මානය කරන අවස්ථාවක් ලෙස, අධිරාජ්‍යවාදයේ ප්‍රචාරකයන් විසින් එය උත්කර්ෂයට නංවනු ලැබී ය. ධනවාදී සංවර්ධනයේ නව කාලපරිච්ඡේදයක් පිලිබද කියාපෑමට විපරීත ව, පසුගිය දශක තුන තුල දක්නට ලැබුනේ, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන දෙවර්ගයේ ම පාලනධිකාරයන් යටතේ එක්සත් ජනපද අඛන්ඩ ව හා සදා ප්‍රසාරනය වන යුද්ධයන් තුල නිරත වීම සහ අන්තර්-අධිරාජ්‍යවාදී ප්‍රතිමල්ලතාව ඉස්මතු වීම යි.

ඊට වසර දෙකකට පෙර, 1989 දී, ස්ටැලින්වාදයේ ප්‍රභේදයක් වන චීන මාඕවාදී නිලධරය, කම්කරු පන්තික ප්‍රතිරෝධයට එරෙහි පොලිස්-රාජ්‍ය මර්දනය දියත් කරමින් සහ රට තුල අන්තර්ජාතික ආයෝජනයට “නිදහස් වෙලඳ කලාප” වැඩි වැඩියෙන් විවෘත කරමින්, 1970 ගනන් අග ආරම්භ කරන ලද චීනය තුල ධනවාදී පුනස්ථාපනය තීව්‍ර කලේ ය.  

16. සෝවියට් සංගමයේ පිරිහීමට තුඩු දුන් ස්ටැලින්වාදයට එරෙහි ව, ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය ආරක්ෂා කිරීම සඳහා සටන් වැදුනේ, 1953 පටන් හජාජාක විසින් නියෝජනය කරනු ලබන ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පමනි. ට්‍රොට්ස්කිවාදී ක්‍රියාමාර්ගය අත්හැර දමමින්, ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයට ප්‍රගතිශීලී භූමිකාවක් ආරෝපනය කරමින් ස්ටැලින්වාදයට හා නිලධාරී තන්ත්‍රයට අනුගත වූ පැබ්ලෝවාදයෙන් බිඳී වෙන් වෙමින් 1953 දී හජාජාක ස්ථාපිත කරන ලදී. හජාජාක තුල 1985-86 භේදය තුල මෙම අරගලය කූටප්‍රාප්ත වූ අතර, එම භේදයේ දී බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප) ජාතික අවස්ථාවාදීන්ගෙන් වෙන්වෙමින් අව්‍යාජ ට්‍රොට්ස්කිවාදීහු නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදය ආරක්ෂා කල හ. මෙම අරගලයේ දී, සියලු‍ ජාතිකවාදී ක්‍රියාමාර්ගයන්ට වලකැපූ නිෂ්පාදනයේ ගෝලීයකරනය ඇතුලු‍ ලෝක ආර්ථිකයේ යටින් පැවති වෙනස්කම් පිලිබඳ අවබෝධය ගැඹුරු කරමින් විශ්ලේෂනය වර්ධනය කිරීමට හජාජාක සමත් විය.

මෙම අරගලය හරහා, සෝවියට් සංගමය බිඳ විසිරවීමත් සමග ඉස්මතු වූ අර්බුදකාරී තත්ත්වයට සූදානම් වූයේ හජාජාක පමනි. ලොව පුරා ස්ටැලින්වාදී පක්ෂ තව දුර දකුනට ගියා පමනක් නො ව, ස්ටැලින්වාදී නිලධරය වටා භ්‍රමනය වෙමින් සිටි සංශෝධනවාදී හා රැඩිකල් සංවිධාන කම්පනය හා දිරිසුන් වීම ප්‍රකාශයට පත් කොට “සමාජවාදයේ අවසානය” ප්‍රකාශ කල හ.

මීට විපරීත ව, (එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ) වර්කර්ස් ලීගයේ ජාතික ලේකම් ඩේවිඩ් නෝර්ත්, 1992 ජනවාරි 4දා සෝවියට් සංගමයෙහි අවසානයේ ඓතිහාසික පසුබිම හා අර්ථභාරය විශ්ලේෂනය කරමින් වාර්තාවක් ඉදිරිපත් කලේ ය. ඔහු මෙසේ විස්තර කලේ ය:

“සෝවියට් සංගමය කඩා බිඳ දැමීම ලෝක අර්බුදය තීව්ර කරමින්, කම්කරු පන්තියේ නව ප්රහාරයක් සඳහා හැකියාව සම්පාදනය කරනු ඇත. එහෙත් එහි වර්ධනය හා සාර්ථකත්වය රඳා පවතින්නේ අපේ ව්යාපාරය ගොඩනැගීම මත යි. හතරවැනි ජාත්යන්තරයේ භූමිකාව කෙරෙහි අනම්ය විශ්වාසයක් මත අපි අපේ වැඩකටයුතු පදනම් කරමු. කම්කරු පන්තිය තුල අපේ අධිකාරය ස්ථාපිත කිරීමට අප සමත් වන ප්රමානයට, ස්ටැලින්වාදය පිලිබඳ ව්යාකූලත්වය මැකී යනු ඇත....” (සෝවියට් සංගමයේ අවසානය, 2016 දෙසැම්බර් 30දා ලෝසවෙඅ හි යලි පලකරන ලදී)

දකුනු ආසියාව - මානව හා සමාජීය ව්‍යසනය සහ භූ-දේශපාලනික ආතතීන්

17. දකුනු ආසියානු රටවල්, කොරෝනා වෛරස් වසංගතයෙන් ගැඹුරින් ම පහර වැදුනු රටවල් අතරට අයත් වෙයි. මෙම රටවල පාලක පන්තීහු, දරිද්‍රතාවෙන් බැටකන කම්කරුවන් හා දුගීන් මාරාන්තික වෛසරයට ගොදුරු කර ඇත්තේ, ලොව පුරා ඔවුන්ගේ සගයන් මෙන් මානව ජීවිතවලට ඉහලින් ලාභයට ප්‍රමුඛත්වය දෙමිනි. ඔක්තෝබරය අවසන් වන විට, සමස්ත දකුනු ආසියානු කොවිඩ්-19 ආසාදන ගනන මිලියන 38ට අධික වූ අතර, මරන සංඛ්‍යාව 543,000ට වඩා අධික විය. ඔවුන්ගේ සාපරාධී පිලිවෙත්වලට එරෙහි ව වැඩෙන සමාජ විරෝධයට ප්‍රතිචාර ලෙස ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය, මාලදිවයින හා ඇෆ්ගනිස්තානය යන රටවල පාලක පන්තීහු වේගයෙන් ඒකාධිපති පාලන රූප කරා හැරෙමින් සිටිති. 

18. කොවිඩ්-19 වසංගතයේ ගෝලීය මානව ව්‍යසනය ඉන්දියාව තුල ඛේදනීය ලෙස ඉස්මතු වී ඇත. ඔක්තෝබර් 25දා වන විට නිල මරන සංඛ්‍යාව 455,093ක් වූයේ, ආසාදන ගනන 34,200,957ක් වෙද්දී ය. එහෙත්, එක්සත් ජනපදයේ පාදිත ගෝලීය සංවර්ධන මධ්‍යස්ථානය (Center for Global Development) පල කල අධ්‍යයනයකට අනුව, ජුනි මාසය වන විට සැබෑ මරන සංඛ්‍යාව මිලියන තුනත් පහත් අතර විය. අධ්‍යයනය මෙසේ නිගමනය කලේ ය: “සැබෑ මරන සංඛ්‍යාව ලක්ෂ ගනනක් නො ව, මිලියන කිහිපයක් වීමේ ඉඩ ඇති අතර එය, ඉන්දියාව බෙදීමේ හා නිදහසේ පටන් එරට තුල සිදු වූ ගැඹුරු ම මානව ඛේදවාචකය බවට තර්ක කල හැකිය.”

ඉන්දියාවේ ව්‍යසනකාරී ඩෙල්ටා ප්‍රභේදයට ගොදුරු වූවන් සඳහා අවමංගල්‍ය සිරුරු, COVID-19 වසංගතයේ දෙවන රැල්ලෙන් වර්ධනය වේ: දිල්ලි, අප්‍රේල් 2021. (AP ඡායාරූපය/Altaf Qadri)

2020 මාර්තු 24දා, අගමැති නරේන්ද්‍ර මෝදිගේ අන්ත-දක්ෂිනාංශික ආන්ඩුව රට අකමැත්තෙන් වසා දැමුව ද සංගතයන්ගේ ඉල්ලීමට හිස නමමින්, ඉන් මාසයකට පසුව ආර්ථිකය යලි විවෘත කිරීම ආරම්භ කලේ ය. පසුගිය අප්‍රේල් සිට ජුනි දක්වා 4,000ක් පමන වන දෛනික මරන සංඛ්‍යාවකට තුඩු දෙමින්, වසංගත සුනාමියක් ඇති වීමට එය මග පෑදුවේ ය. ඔහුගේ පාලන තන්ත්‍රයේ අනුකම්පා විරහිත රංචු ප්‍රතිශක්ති පිලිවෙත ඇඟවුම් කරමින්, ජාතිය අමතා කල රූපවාහිනී කතාවක දී අප්‍රේල් 20දා මෝදි මෙම කුප්‍රකට ප්‍රකාශය කලේ ය: “අද දින තත්ත්වය තුල අපි රට අගුලු‍ දැමීමෙන් ආරක්ෂා කරගත යුතු වෙනවා,” ( ලෝසවෙඅ, ආසාදන හා මරන වලින් නොව, “අගුලු‍ දැමීමෙන් ඉන්දියාව බේරා ගැනීමට” මෝදි පොරොන්දු වෙයි, 2021 මැයි 16). එයින් ගම්‍ය වූයේ, ධනපති කතිපයාධිකාරයට මිලියන ගනනකගේ මරන කෙලින් ම පිලිගත හැකි වන බව යි.

19. නව දිල්ලියේ මුර්ග පන්ති පිලිවෙත, මහජනයා කෙරෙහි එය දක්වන නො තැකීම හා සංගත කතිපයාධිකාරයේ ලාභ පිම්බීමට එය ගන්නා පියවරයන් තුලින් සුවිශද ලෙස ප්‍රදර්ශනය කරනු ලැබ ඇත. පැය හතරක් තුල දැනුම් දී, එය පසුගිය වසරේ නුසූදානමින් ක්‍රියාවට දැමූ අගුලු‍ දැමීම, මිලියන 40ක් වන සංක්‍රමනික කම්කරුවන් ඇතුලු‍ මිලියන සංඛ්‍යාත ජනයා කිව නො හැකි තරමේ රැකියා අර්බුදයන්ට හා ආදායම් අහිමිවීම්වලට ඇද දැමුවේ, දුගීන්ට  ප්‍රමානවත් සමාජ ආධාර ලබා නොදෙමිනි. ආර්ථිකය “උත්තේජනය කිරීමේ” කඩතුරාව යටතේ, රුපියල් ටි්‍රලියන 20ක් නොහොත් දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 10ක් ආන්ඩුව මහ ව්‍යාපාර සඳහා කැප කලේ ය. කැමති පරිදි කම්කරුවන් දොට්ට දමා කම්හල් වැසීමට මහා හාම්පුතුන්ට බලය දෙන නව කම්කරු නීති, කොන්ත්‍රාත් ශ්‍රම ක්‍රමය විස්තාරනය කිරීම සහ රැකියා ආරක්ෂා කරගැනීමට කම්කරුවන් ගන්නා ක්‍රියාමාර්ග නීති-විරෝධී කිරීම මෙන් ම ජාත්‍යන්තර හා දේශීය බහු-ජාතික සංගතයන්ට කෘෂිකර්මාන්තය මත අධිකාරිය අත්කර ගැනීමට අවසර දෙන කෘෂිකාර්මික නීති තුනක් ඇතුලු‍ ආයෝජක-ගැති ප්‍රතිසංස්කරන මහ ව්‍යාපාරිකයට ලබා දුන් අනෙකුත් දොල පිදේනි විය. මේ වසරේ අයවැයේ දී, ජාත්‍යන්තර ආයෝජකයන්ට තවත් බදු සහන හා පුද්ගලීකරන වැඩසටහනක් නිවේදනය කල මෝදි පාලනය, දුගීන් සඳහා වන සහනාධාර වැඩසටහන් තව දුරටත් කපා දැමී ය.

20. මෙම පිලිවෙත් ඉන්දියාවේ සමාජ අසමානතාව පලල් කර තිබේ. ජනවාරි මාසයේ නිකුත් කල ඔක්ස්ෆෑම් “අසමානතා වෛරස්” වාර්තාව, මේ වන විට ඉන්දියාවේ පොහොසත් ම සියයට 1 සතුව පහල සියයට 50 සතු වනවාට වැඩි ධනයක් තිබෙන බව පෙන්වා දෙයි. පසු ගිය වසරේ රට අගුලු‍ දැමූ අවස්ථාවේ පටන් තමන්ගේ ධනයට තවත් ඩොලර් බිලියන 178ක් සමුච්ඡය කරගත් ඉන්දියාවේ ඉහල ම බිලියනපතියන් 100 දෙනා, වසංගත සමය තුල අශිෂ්ට ලෙස ලාභ උපයාගත් හ. වසංගත සමය තුල බිලියනපති මුකේෂ් අම්බානි එක් පැයක් තුල උපයන ආදායම ඉපැයීමට නුපුහුනු කම්කරුවෙක් වසර 10,000ක් වැඩ කල යුතු වේ. 2020 වසර සඳහා කල තවත් අධ්‍යයනයක් පෙන්වා දෙන පරිදි, වසංගත සමය තුල තවත් පුද්ගලයන් මිලියන 230ක් දරිද්‍රතා රේඛාවෙන් පහලට ඇද දමනු ලැබ තිබේ.

පසුගිය වසර, 1947 සිට ඉන්දියානු පාලක පන්තිය විසින් අනුගමනය කරන ලද ජාතික අත්තනෝමතික, රාජ්‍ය මූලික සංවර්ධන පිලිවෙත් බිඳවැටීමෙන් පසු, ධනේශ්වර ගෝලීයකරනයට ඉන්දියාව විවෘත වීමෙන් වසර තිහක් සනිටුහන් කලේය. ඉන්දියානු ජාතික කොංග්‍රසය (අයිඑන්සී) හා පාලක ප්‍රභූව, රට ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ කොල්ලකෑමට විවෘත කිරීම තුලින් මහජනයාට සංවර්ධනයේ හා සෞභාග්‍යයේ නව යුගයක් උදා කරනු ඇතැයි උදම් ඇනූහ. එහෙත්, පසු ගිය වසර තිහ පෙන්නුම් කලේ, ඉන්දියාවේ කම්කරුවන් හා පීඩිතයන් අනුකම්පා විරහිත ලෙස සූරාකෑම තීව්‍ර කොට  වසංගතය යටතේ මහා පරිමාන අසමානතාව, දුගී භාවය හා මන්ද පෝෂනය නිර්මානය කල ජාත්‍යන්තර ආයෝජකයන් හා ඔවුන්ගේ ඉන්දියානු සගයන් සිය ලාභ පොදි තරකර ගත්හ.

21. චීනයට එරෙහි එක්සත් ජනපද ආර්ථික හා මූලෝපායික ප්‍රහාරය තුලට ඉන්දියාව ඒකාග්‍ර කරමින්, මෝදි ආන්ඩුව ඉන්දියානු පාලක ප්‍රභූවේ දක්ෂිනාංශික පිලිවෙත් හා එහි මහා බල අභිලාෂයන් සංගතික ව ලු‍හුබඳිමින් සිටියි. ගෙවී ගිය වසර තුල, එක්සත් ජනපදය නායකත්වය දරන ජපානය හා ඕස්ටේ්‍රලියාව සමග වූ ක්වොඩ් මිලිටරි සන්ධානයට එක් වෙමින්, ඉන්දියාව සිය මිලිටරි මූලෝපායික සබඳතා ජාලය විස්තාරනය කරගෙන ඇත. එක්සත් ජනපදයේ මහා ඇෆ්ගන් පරාජය සහ ප්‍රතිමල්ල පකිස්තානයේ පිටුබලය ලබන තලිබාන් කාබුල්හි බලය අල්ලා ගැනීම නිසා, ඇෆ්ගනිස්තානය තුල මූලෝපායික අවකාශයක් වර්ධනය කරගැනීමට නව දිල්ලිය දරන උත්සාහය ව්‍යර්ථ වී ඇත. චීන-විරෝධී එක්සත් ජනපද පියවරයන් පිටුපසින් බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය හා මාලදිවයින වැනි කුඩා රටවල් පෙලගස්වා ගැනීම සඳහා නව දිල්ලිය ප්‍රතිගාමී භූමිකාවක් ඉටු කරමින් සිටී. මෙම ක්‍රියාවන් චීනය සමග ආතතීන් තියුනු ලෙස උත්සන්න කර තිබේ. අන්තරාදායක ගෝලීය වහ්නි ජාලාවක තර්ජනය මතු කරමින්, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ මෙම රටවල් දෙක අතර දේශසීමා ආතතීන් පුපුරා යාම ගෙවී ගිය මාස 17 තුල දැකගැනීමට ලැබුනි. මෝදි පාලනය හා පාලක පන්තිය රට තුල වැඩෙන සමාජ කෝපය අපසරනය කිරීම සඳහා මෙම ආතතීන් ඔවුන්ගේ පැත්තෙන් යොදා ගනිමින් සිටිති.

22. ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත කම්කරු පන්තිය හින්දු අධිපතිවාදී බීජේපීය නායකත්වය දෙන පාලනයේ හා ධනපති පන්තියේ දක්ෂිනාංශික පිලිවෙත්වලට අභියෝග කිරීමට පටන්ගෙන ඇත. පසුගිය වසරේ ජනවාරි 8 හා නොවැම්බර් 26 යන දින දෙකේ දී පැවැත්වූ ජාතික පරිමාන මහා වැඩ වර්ජන දෙක සහ ගල් අඟු‍රු පතල්, මෝටර් රථ කර්මාන්තය, පොදු ප්‍රවාහන සේවය, සෞඛ්‍යාරක්ෂනය, බැංකු හා රක්ෂන යන අංශවල බොහෝ සටන්කාමී ක්‍රියා මේවාට ඇතුලත් වේ. මෝදි ආන්ඩුවේ පුද්ගලීකරන ධාවනය, කප්පාදු පියවරයන් හා අනෙකුත් ආයෝජක-ගැති පිලිවෙත් ආදියට ඔවුහු විරුද්ධත්වය පලකර ඇත. චෙන්නායි, ගුර්ගාඕන් හා තවත් තැන්වල පදනම් වන හවුන්ඩායි, නිසාන්, රෙනෝල්ට්, මරුති-සුසුකි හා වොල්වෝ වැනි අන්තර්ජාතික සංගතයන්ට අයත් වන කර්මාන්තශාලා තුල කම්කරු අතෘප්තිය වැඩෙමින් තිබුනි. නව දිල්ලි පාලනයේ මර්දනීය ක්‍රියා නො තකා, බීජේපී ආන්ඩුවේ කෘෂිව්‍යාපාරික-ගැති කෘෂිකාර්මික නීතිවලට එරෙහි ව ගොවීන් ලක්ෂ ගනනක් වසරක කාලයක් තිස්සේ නියැලී සිටි විරෝධතාව, රට තුල කැකෑරෙන සමාජ කෝපයෙහි ගැඹුර පිලිබඳ දර්ශකයකි. කම්කරුවන් හා පීඩිතයන් නිරත වන මෙම අරගල, පන්ති අරගලවල ගෝලීය පුනර්ජීවනයේ කොටසක් ලෙස එලඹෙමින් තිබෙන සමාජ පිපිරීමෙහි පෙර ඇඟවුම් ය.

23. මාක්ස්වාදී/ට්‍රොට්ස්කිවාදී ක්‍රියාමාර්ගය විදාරනය කරමින්, ඉන්දියාව තුල වර්ධනය වන මෙම අරගලවලට සසප (ශ්‍රී ලංකාව) හා ලෝසවෙඅ මැදිහත් විය. අර්ථභාරී මැදිහත්වීමක් කරමින්, ශ්‍රී ලංකාවේ සසප, එක්සත් ජනපදයේ, කැනඩාවේ හා ප්‍රන්සයේ එහි සහෝදර පක්ෂ සමග එක් වී, “කොවිඩ්-19 වසංගතය හා සමාජවාදී මූලෝපායක අවශ්‍යතාව” යන තේමාව යටතේ, 2021 මැයි 30දා ඔන්ලයින් රැස්වීමක් සංවිධානය කලේ ය. මෝදි ආන්ඩුවේ හා පාලක ප්‍රභූවේ “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත්වලට එරෙහි ව විද්‍යාව මත පාදිත ප්‍රතිචාරයක් සඳහා එය කැඳවුම් කලේ ය. ස්ටැලින්වාදී පක්ෂවලින් හා ජාතිකවාදී වෘත්තීය සමිතිවලින් සංවිධානාත්මක ව හා දේශපාලනික ව බිඳී වෙන් වන ලෙසත්, තමන්ගේ අයිතීන් සඳහා සටන් කිරීමට ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙසත්, ඉන්දියානු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටි රැස්වීම මෙසේ අවධාරනය කලේ ය: “මෙම කමිටු හරහා, ඉන්දියානු කම්කරුවෝ, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය හා ශ්‍රී ලංකාව ඇතුලු‍ දකුනු ආසියාව පුරා ද උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ අධිරාජ්‍ය මධ්‍යස්ථානවල ද සිටින සිය පන්ති සහෝදර සහෝදරියන් සමග සිය අරගලයන් ඒකාබද්ධ කිරීමට සටන් වැදිය යුතුයි. එම අරමුන සඳහා, ඉන්දියානු කම්කරුවෝ, ලෝක පරිමාන පදනමක ඔවුන්ගේ අරගල සම්බන්ධීකරනය කිරීම හා ඒකාබද්ධ කිරීම පිනිස, කම්කරුවන්ට නව මාවතක් සැපයීමට, මෑත පැවති එහි මැයි දින රැලියේ දී හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පිහිටුවන ලද ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩනැගීමට සහයෝගය දිය යුතුයි.”

24. වැඩෙන පන්ති අරගල මැඩීම සඳහා මෝදි ආන්ඩුව ආඥාදායක පාලනයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටී. අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය මර්දනය කරන අතරතුර, එය දේශපාලනික හා සමාජ විරුද්ධවාදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් මැඩලමින් සිටී. මුස්ලිම්-විරෝධී පුරවැසි සංශෝධන පනත වැනි විෂඝෝර නීති අනුමත කරමින් ද කාෂ්මීරයේ ඒකාධිපතිවාදී ව්‍යවස්ථාමය පියවරයන් හා මිලිටරි පියවරයන් ක්‍රියාවට දමමින් ද බීජේපීය නායකත්වය දෙන ආන්ඩුව කම්කරු පන්තියට එරෙහිව මුදාහැරීම පිනිස හින්දුත්වා ෆැසිස්ට් මැරයන් පෝෂනය කිරීම සඳහා මුස්ලිම්-විරෝධී උන්මාදය අවුලු‍වමින් සිටී.

25. මෝදි ආන්ඩුවේ අනර්ථකාරී වසංගත පිලිවෙත්, ඒකාධිපතිවාදී ගමන, පකිස්තානයට හා චීනයට එරෙහි ආතතීන් ඇවිලවීම් සහ එක්සත් ජනපදය සමග මිලිටරි-මූලෝපායික සබඳතා ආදිය පිලිබඳ ව ඉන්දියාවේ විරුද්ධ පක්ෂවලට මූලික මතභේද නැත. ප්‍රාන්ත ආන්ඩු පාලනය කරන අයිඑන්සී, ස්ටැලින්වාදී ඉන්දියානු මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඑම්) හා ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) සහ ප්‍රාදේශීය ධනේශ්වර පක්ෂ, වසංගත ව්‍යසනයට නිදහසේ පැතිරීමට ඉඩදීම පිලිබඳව වගකීම දරති.

26. වැඩෙන සමාජ විරුද්ධත්වය අපසරනය කොට මැඬලීම සඳහා, සීපීඑම් නායකත්වය දෙන වාම පෙරමුන අයිඑන්සීය සමග ඔවුන්ගේ සන්ධානය ශක්තිමත් කරගනිමින් සිටී. අයිඑන්සීය සමග සන්ධානගත ව ප්‍රාන්ත මැතිවරන මාලාවකට තරඟ කිරීමෙන් පසු, 2024 ජාතික මැතිවරනයේ දී එය සමග පෙරමුන පලල් කිරීමට වාම පෙරමුන සූදානම් වෙයි. අනෙකුත් වෘත්තීය සමිති සමග පෙලගැසෙන ස්ටැලින්වාදීන් නායකත්වය දෙන වෘත්තීය සමිති, කම්කරු පන්තියේ අරගල කඩාකප්පල් කිරීම සඳහා ක්‍රියාශීලී ව මැදිහත් වෙමින් සිටිති. වැඩ වර්ජන හා විරෝධතා කැඳවීමට ඔවුන්ට බලකෙරෙන විට, ඒවා පාලනය කොට ධනපති ක්‍රමයට අභියෝගක් වීම වැලැක්වීම පිනිස මෙම වෘත්තීය සමිති තම මුලු‍ වැර යොදති. මෝදි පාලනයට හා ධනවාදයට එරෙහි ව කෝටි සංඛ්‍යාත ගොවීන් හා පීඩිතයින් රැලි කරගනිමින් කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු‍ගැන්වීමට ස්ටැලින්වාදීන්ගේ විරුද්ධත්වය, ගොවි උද්ඝෝෂනයේ දී විශද ව පෙන්නුම් කරනු ලැබ තිබේ. කොංග්‍රස් පක්ෂය සමග පෙලගැසෙන ස්ටැලින්වාදී පක්ෂ, කම්කරු පන්තිය අක්‍රීය ප්‍රේක්ෂකයෙකු ලෙස තබා ගැනීමටත්, ගොවීන්ගේ විරෝධය දිගට ම “අදේශපාලනික” ලෙස පවත්වා ගැනීමටත් උත්සාහ දරති.

27. ඉන්දියාවේ හා අනෙකුත් දකුනු ආසියානු රටවල මාඕවාදී ප්‍රවනතාවන් ද කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස බලමුලු‍ගැන්වීමට විරුද්ධ වේ. ස්ටැලින්වාදයේ ප්‍රභේදයක් වන මාඕවාදය, ඉන්දියාව තුල නියෝජනය කරනු ලබන්නේ, ඉන්දියානු මාක්ස්-ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි-එම්එල්) හා ඉන්දියානු මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි-මාඕවාදී) විසිනි. මෙම පක්ෂ දෙක ම ස්ටැලින්වාදී අවධි-දෙකේ විප්ලව න්‍යාය දේශනා කරති: ඒවායේ පලමු අවධිය, කම්කරු පන්තිය ජාතික ධනේශ්වරය සමග සන්ධානගත විය යුතු, අධිරාජ්‍ය-ගැති කොම්ප්‍රදෝරු ධනේශ්වරයට හා වැඩවසම් ඉඩම් හිමියන්ට විරුද්ධ “ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය” යි; දෙවන අවධියේ නාමයෙන්, සමාජවාදී විප්ලවය අවිනිශ්චිත අනාගතයට කල් දමනු ලබන්නේ, සාරභූත ලෙස සමාජවාදය න්‍යාය පත්‍රයෙන් ඉවත් කරමිනි. දේශපාලන සංස්ථාපිතය සමග බද්ධ වී ඇති සීපීඅයි-එම්එල්, බොහෝ විට අයිඑන්සීය හෝ ප්‍රාදේශීය ධනේශ්වර පක්ෂ සමග සන්ධානගත ව ක්‍රියා කරමින් සිටී. සීපීඅයි-මාඕවාදී පක්ෂය ද විශේෂයෙන් ම එම අවධි දෙකේ ආස්ථානය මත අතිධාවනකාරී  සන්නද්ධ ප්‍රහාර සංවිධානය කරයි. නේපාලයේ දී, මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය, පාලක ප්‍රභූව සමග බද්ධ වීම සඳහා සන්නද්ධ අරගලය අත්හැර දැමුවේය. ශ්‍රී ලංකාවේ මාඕවාදයට පක්ෂපාතීත්වය කියාපෑ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ධනේශ්වර පාලනයේ කීකරු උපකරනයක් බවට පරිවර්තනය වී ඇත.

28. දකුනු ආසියාවේ අනෙකුත් රටවල ආන්ඩු හා පාලක පන්ති ද මහජනයා වසංගතයේ අනතුරට අත්හැර දමා ඇත. රට අගුලු‍ දැමීමට පවා අන්තිමට ක්‍රියාකල රටවල්   අතර සිටි පකිස්තානයේ මිලිටරි පිටුබලය ලබන අගමැති ඉම්රාන් ඛාන්ගේ පාලන තන්ත්‍රය, ආර්ථිකය යලි විවෘත කිරීමේ දී නම් මුලින්ම ක්‍රියාකල රටවල් සමග සිටියේය. ඔහුගේ ආන්ඩුව සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මූලික පහසුකම් ඉල්ලූ කම්කරුවන්ට එරෙහි ව රාජ්‍ය ප්‍රචන්ඩත්වය මුදාහැරී ය. පකිස්තානයේ දී, දැනට මත් දරිද්‍රතාවෙන් බැට කන පුද්ගලයන් මිලියන 50ට වසංගතය සමයේ දී තවත් මිලියන 10ක් එක් වී ඇත. ඛාන්ගේ දක්ෂිනාංශික ආන්ඩුව තම පාලනයට එරෙහිව සමාජ විරෝධය වැඩෙන තතු තුල, අතීතයේ දී බලය අල්ලා ගැනීම පිලිබඳ කුප්‍රකට වාර්තාවක් ඇති මිලිටරියට ආර්ථිකය හා පරිපාලනය මත පවතින භූමිකාව ඉහල දමමින් සිටී.

මරන සංඛ්‍යාව 27,000 ඉක්මවා නැගෙමින් වසංගතය බංග්ලාදේශය තුල විනාශයක් නිර්මානය කරමින් තිබේ. ලෝක බැංකුව මෑත දී නිකුත් කල වාර්තාවකට අනුව, ඩකා අගනුවර හා චිතගොං වරාය නගරයේ කම්කරුවන්ගෙන් සියයට 68කට පසුගිය මාස කිහිපය තුල සිය රැකියා අහිමි වී ඇත. දෙසැම්බරය වන විට, ඇඟලු‍ම් කම්කරු රැකියා අහිමිවීම් මිලියනය ඉක්මවා යනු ඇතැයි තවත් තක්සේරුවක් පෙන්වා දෙයි. අගමැතිනි ෂීක් හසීනා, සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මතට එල්ල කරන ප්‍රහාරයට එරෙහි විරුද්ධත්වය මැඩලීම සඳහා පොලිස් ප්‍රචන්ඩත්වය මුදාහරිමින් ඒකාධිපති පාලනය ශක්තිමත් කරමින් සිටියි.

29. වසංගතය විසින් තීව්‍ර කරනු ලබන අර්බුදය යලි වතාවක් සනාථ කර ඇත්තේ, ඊනියා නිදහස යටතේ 1947-1948 සමයේ දකුනු ආසියාව තුල නිර්මානය කරන ලද රාජ්‍යයන්ගේ ඓතිහාසික අශක්‍යතාව යි. අධිරාජ්‍යවාදී බලයන් හා ස්ටැලින්වාදී සෝවියට් නිලධරය අතර පශ්චාත්-යුද සමථයේ කොටසක් ලෙස මෙම රාජ්‍ය පද්ධතිය අටවන ලද්දේ, ජාතික ධනේශ්වරයේ අනුමැතිය සහිත ව යි. ඉන්දියානු උප-මහාද්වීපය, හින්දුන් ආධිපත්‍යය දරන ඉන්දියාව හා මුස්ලිම් පකිස්තානය බවට වාර්ගික රේඛා ඔස්සේ බෙදන ලදී. ශ්‍රී ලංකාව වෙන ම රාජ්‍යයක් ලෙස ස්ථාපිත කරනු ලැබුවේ ය. දකුනු ආසියාවේ කෝටි සංඛ්‍යාත කම්කරුවන්ට හා දුගීන්ට පවතින එක ම මාවත වන්නේ, ප්‍රතිගාමී රාජ්‍යයන් හා ධනේශ්වරයේ පාලනය පෙරලා දමා, ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ස්ථාපිත කිරීම යි.

(මතු සම්බන්ධයි)

Loading