දෙමල ජාතිකවාදියෝ ශ්‍රී ලාංකික කම්කරුවන්ට එරෙහි ව කප්පාදුවලට සහ පොලිස්-රාජ්‍ය ක්‍රියාමාර්ගවලට පිටුබලය දෙති

[මෙය 2023 අප්‍රේල් 18 Tamil nationalists back austerity, police-state measures against Sri Lankan workers මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

එම්. ඒ. සුමන්දිරන් (ඒපී ඡායාරූප/ එරංග ජයවර්ධන)

පසුගිය වසරේ ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ සහ පීඩිත ජනතාවගේ මහජන නැගිටීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කලේ ය. සියලු වාර්ගික සම්භවයක් ඇති කම්කරුවන් සහ ග්‍රාමීය ජනතාව අතර, එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වටා රොක් වූ ධනේශ්වර පාලන තන්ත්‍රයට එරෙහි ව කෝපය වැඩෙමින් තිබේ. කම්කරුවන්ගේ සටන්කාමීත්වය තලා දැමීම සඳහා වික්‍රමසිංහ විධායක ජනාධිපති ක්‍රමයේ ආඥාදායක බලතල භාවිතා කරද්දී, කම්කරුවෝ වැඩ වර්ජන තහනම් කිරීමේ 'අත්‍යවශ්‍ය සේවා' නියෝගවලටත්, කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) ඊටත් වඩා කුරිරු ප්‍රති-ත්‍රස්ත පනතක් (ඒටීබී) මගින් ප්‍රතිස්ථාපනය කිරීමේ ඔහුගේ උත්සාහයටත් එරෙහි ව සටන් කරමින් සිටිති.

වික්‍රමසිංහ විසින් නායකත්වය දෙනු ලබන ප්‍රතිගාමී ධනේශ්වර පොලිස් රාජ්‍යයට විකල්පයක් ලෙස කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමේ අරගලයක් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) අරඹා ඇත. මෙම අරගලය, ධනවාදයේ මෙවලම් වන, ජනතාවගේ සතුරන් ලෙස සේවය කරන ශ්‍රී ලංකාවේ දෙමල-ජාතික පක්ෂවලට හාත්පසින් ම විරුද්ධ පන්ති දිශානතියකට ගමන් කරයි.

මාර්තු 30 දා, දෙමල ෆෙඩරල් පක්ෂයේ (අයිටීඒකේ) ප්‍රමුඛ නායකයෙකු වන එම්.ඒ. සුමන්දිරන්, වික්‍රමසිංහ සහ ව්‍යාපාරික නායකයන් සමඟ 'ජාමූඅ සහ ඉන් ඔබ්බට' යන මැයෙන් වූ සාකච්ඡාවකට එක් විය. මෙයට ශ්‍රී ලංකා වරලත් ගනකාධිකාරී ආයතනය විසින් සත්කාරකත්වය දරන ලද අතර එය කොලඹ ගෝල් ෆේස් හෝටලයේදී පැවැත්විනි. මෙම රැස්වීමේ දී, කම්කරු පන්තියට එරෙහි ව ජාමූඅ වික්‍රමසිංහ සමග නියම කරන කුරිරු කප්පාදු “ප්‍රතිසංස්කරන” සඳහා දෙමල ජාතිකවාදීන්ගේ සහයෝගය සුමන්දිරන් විසින් ප්‍රකාශ කරනු ලැබුනි.

වික්‍රමසිංහ සමඟ කතා කරමින් සුමන්දිරන් පැවසුවේ “අපි විවෘතව, විනිවිදභාවයෙන් සාකච්ඡා කරමින්, එකට වැඩ කරනවා. ජනාධිපතිතුමාගේ අදහසට මමත් එකඟයි. ඒ ප්‍රතිසංස්කරන කල් දාන්නේ නැති ව අපි ඒ සමග ඉදිරියට යනවා. එහි ඉහල මට්ටමක විභවයක් පවතින නිසා, උතුරු නැඟෙනහිර ආර්ථික වර්ධනයට දායක වන්නේ කෙසේ ද යන්න පිලිබඳ ව ද අපි සාකච්ඡා කලා. එය සාක්ෂාත් කර ගැනීම සඳහා අපි ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා.”

වසර හතරක ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ඇපදීමේ නයක් වෙනුවෙන් ජාමූඅ නියම කරන ප්‍රහාර සඳහා සිය සහය ලබා දෙන බවට අයිටීඒකේ විසින් මෙසේ පොරොන්දු විය. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනය, රාජ්‍ය අංශයේ රැකියා දහස් ගනනින් ඉවත් කර දැමීම, සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි අත්‍යාවශ්‍ය සේවා විනාශ කිරීම සහ ආදායම් බදු ඉහල දැමීම ඊට ඇතුලත් ය.

කප්පාදුවට ප්‍රශංසා කරන අතරේ, සුමන්දිරන් ඇඟවුම් කලේ, වික්‍රමසිංහ සමඟ ඔහුගේ සහයෝගීතාවය කම්කරු පන්තියේ තවත් කැරලිකාරී අරගල වලක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. ඔහු මෙසේ ප්‍රකාශ කලේ ය: “මෙය අප සියලු දෙනා ම එක් ව ක්‍රියාත්මක කල යුත්තක්. සාකච්ඡා සිදුවිය යුත්තේ මෙතැනදී මිස මහ පාරේ නොවන බවට ජනාධිපතිතුමා කියන දෙයට මම එකඟයි. නමුත් සාකච්ඡාව මහ පාරේ සිදු නොවීමට නම් එය මෙතැනදී සිදුවිය යුතුයි.”

වික්‍රමසිංහට එරෙහිව මාර්තු 15 දා රටපුරා විරෝධතා පැවැත්වීමෙන් පසු ව, දෙමල භාෂා පුවත්පතක් වන ඊළ නාඩු, උතුරේ කම්කරුවන් හා සිසුන්ගෙන් ඊට එකතු නොවන ලෙස ඉල්ලා කතුවැකියක් පල කලේ ය. එය ජාමූඅ කප්පාදු ක්‍රියාවට නැංවීමට බාධාවක් ලෙස පෙන්වා දෙමින්, කම්කරු පන්තියේ එවැනි “ප්‍රතිප්‍රහාර” වලට පහර දුන්නේ ය.

එහි මෙසේ ලියා තිබුනි: “මෙවැනි ප්‍රතිප්‍රහාර නිසා රනිල්ගේ ක්‍රියාදාමයන් පසුබෑමට ලක්විය හැකියි. රනිල්ගේ පියවර සාර්ථක වීමට නම් ආර්ථික පසුබෑමේ සැලකිය යුතු දියුනුවක් ඇති විය යුතුයි. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නය මුදල අඛන්ඩ ව ලැබිය යුතුයි. නමුත් මෙවැනි කැරලිකාරී ක්‍රියා සිදු කලහොත් ආර්ථික තත්වය වඩාත් සංකීර්න වනු ඇත.”

සිංහල පාලක ප්‍රභූව මෙන්ම දෙමල ජාතිකවාදීන් ද කතා කරන්නේ, රාජපක්ෂ පෙරලා දැමීමෙන් පසු කම්කරු පන්තිය තුල වැඩෙන රැඩිකල්කරනයෙන් භීතියට පත් ධනේශ්වරයේ ස්ථර වෙනුවෙනි. සියලු ම වර්ග වලට අයත් කම්කරුවන් ශ්‍රී ලංකාවේ පාලක පන්තියට විරුද්ධ වන හෙයින්, දෙමල ජාතිකවාදීන් ප්‍රතිචාර දක්වන්නේ කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට උත්සාහ කිරීමෙනි. ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රනයට එරෙහි ව ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන්ගේ මහජන අරගලවලට දෙමල කම්කරුවන් හා ගම්බද දුගීන් එක්වීම වැලැක්වීමට ඔවුහු මංමුලා සහගත ව සිටිති.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ව්‍යාප්ත කිරීමට සහ වික්‍රමසිංහගේ නව ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පතට ඔවුන් දක්වන දැඩි සහයෝගය තුලින් මෙය ඉතා පැහැදිලි ව ඉස්මතු වේ. පනත නීතියක් ලෙස සම්මත වුවහොත්, සාක්ෂි නොමැති ව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට ජනාධිපතිවරයාට, පොලිසියට සහ හමුදාවට අසාමාන්‍ය ලෙස බලතල ලබා දෙනු ඇත. 'ත්‍රස්තවාදී' වරදකට වරදකරු වන ඕනෑම අයෙකුට මරන දන්ඩනය, වසර 20 දක්වා සිරදඬුවම් සහ රුපියල් මිලියනයක් දක්වා දඩයක් නියම කල හැකි ය.

දෙමල ජාතිකවාදී පක්ෂ වික්‍රමසිංහගේ පොලිස්-රාජ්‍ය ප්‍රතිපත්තිවලට ප්‍රතිචාර දක්වා ඇත්තේ, අතීතයේ දෙමල ජනතාව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ක්‍රියාමාර්ගවලින් පීඩාවට පත් වූ බැවින්, දැන් එවැනි පියවරයන් යටතේ සිංහල ජනතාව පීඩාවට පත්වීම යුක්තිසහගත බව තර්ක කරමිනි.

ප්‍රකට අයිටීඒකේ සාමාජිකයෙකු වන සිවඥානම් ශ්‍රීධරන් පැවසුවේ “දෙමල ජනතාව අතීතයේ සිට ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ජීවත් වූ බවත්, එම නීතිය ම දැන් සිංහලයන්ට පහර දීමට පටන් ගෙන ඇති බවත් දකුනේ සිංහල ජනතාව තේරුම් ගත යුතු,” බවයි.

2009 සිවිල් යුද්ධය අවසානයේ ශ්‍රී ලංකා හමුදාව විසින් උතුරේ දෙමල සිවිල් වැසියන් සහ සටන්කාමීන් සමූහ ඝාතනයක් සිදු කරන විට දකුනේ සිංහල ජනතාව රතිඤ්ඤා පත්තු කරමින්, කිරි බත් කමින් සැමරූ බව ද ඔහු ප්‍රකාශ කලේය.

මෙම ප්‍රකෝපකාරී සහ අසත්‍ය ප්‍රචාරනයේ අරමුන මුලුමනින් ම පැහැදිලිය. වික්‍රමසිංහට සහ ඔහුගේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි ව සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් එක් ව සිදු කරන වැඩ වර්ජන හා අරගල මධ්‍යයේ, දෙමල ජාතිකවාදීහු වාර්ගික වෛරය අවුස්සමින් සිටිති. ඔවුන් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයේ සහ ඒකීය රාජ්‍යයේ ලේවැකි අපරාධ පිලිබඳ කෝපය ප්‍රතිගාමී අර්ථයකින් මෙහෙයවීමට ය: එනම්, කම්කරුවන් හා ග්‍රාමීය ජනතාව බෙදීමට සහ මෙම පාලනය මිලිටරිකරනය වූ ජනාධිපති ආඥාදායකත්වයක් දක්වා ගොඩනැගීමට දරන උත්සාහයට එරෙහි ව ඒකාබද්ධ අරගලයක් වැලැක්වීමට ය.

තනිකර ම දෙමල ජනයාට එරෙහි ව පමනක් යොමු කරන ලද පියවරක් ලෙස ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හුවාදැක්වීමෙන් කම්කරුවන් බෙදීමට ශ්‍රීධරන් දරන උත්සාහය, ඓතිහාසික මුසාවන් මත පදනම් වූ තවත් දේශපාලන වංචාවකි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබුවේ 1979 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ එජාප (එක්සත් ජාතික පක්ෂ) පාලනය විසින් දෙමල සටන්කාමී කන්ඩායම්වලට එරෙහිව සටන් කිරීමේ කඩතුරාව යටතේ ය. එය 1983-2009 දෙමල ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධයේ දී දෙමල ජනයාට එරෙහි ව පුලුල් ලෙස භාවිතා කරන ලදී. එහෙත් මෙම නීතිය මුලින්ම යොදා ගන්නා ලද්දේ, 1980 ශ්‍රී ලංකාවේ මහා වැඩවර්ජනය වැනි කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගල මැඩලීමට ය.

1979 දී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගෙන එන විට ජයවර්ධන ටීයූඑල්එෆ් සමඟ තිරය පිටුපස ගනුදෙනුවක් කරමින්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තාවකාලික බවත්, දෙමල ජනයාට එරෙහි ව භාවිතා නොකරන බවත් පැවසී ය. එම පදනම මත, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පිලිබඳ පාර්ලිමේන්තු ඡන්දයෙන් වැලකී සිටීමෙන්, ටීයූඑල්එෆ් එය සම්මත වීමට ඉඩ හලේ ය.

1983 වාර්ගික යුද්ධය ආරම්භ වූ පසුව ද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සිංහල සහ දෙමල දෙපිරිසට ම එරෙහි ව භාවිතා විය. 1988 සහ 1990 අතර, දස දහස් ගනනක් සිංහල තරුනයින් ඝාතනය කරමින්, දිවයිනේ දකුනේ ග්‍රාමීය නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා එජාපය එය යොදා ගත්තේ ය. ඒ වන විට වික්‍රමසිංහ එජාප ආන්ඩුවේ ඇමැතිවරයෙකි.

දෙමල ජනයාට එරෙහිව භාවිතා කරන ලද පොලිස්-රාජ්‍ය පියවරයන්, මූලික වශයෙන් කම්කරුවන් සහ ග්‍රාමීය ජනතාව වෙත එල්ල වන තාක්, සහයෝගය දැක්වීමේ දිගු වාර්තාවක් දෙමල ජාතිකවාදීන් සතු ය. ඇත්ත වශයෙන්ම, දෙමල ෆෙඩරල් පක්ෂය ඇතුලත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුන මෙම කුරිරු නීතිය 1979 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට එයට විරුද්ධව ඡන්දය දීමෙන් වැලකී සිටියේ ය.

දෙමල හා සිංහල ස්වෝත්තමවාදයට විරුද්ධ වන සසප ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම්ව ශ්‍රී ලංකාවේ ධනපති පන්ති පාලනයට එරෙහි ව සමස්ත කම්කරු පන්තිය හා පීඩිත ජනතාව බලමුලු ගැන්වීමට සටන් කරයි. මෙහි දී, වාර්ගික යුද්ධයට සහ ධනවාදයට එරෙහි ව සිංහල හා දෙමල කම්කරුවන් එක්සත් කිරීමට සටන් කිරීමේ තම බලගතු සම්ප්‍රදාය මත සසප පදනම් වේ.

ඕනෑම ජාතියක කම්කරුවන්ගේ බලවත්ම සගයන් වන්නේ, වෙනත් ජාතීන්ට අයත් ඔවුන්ගේ පංතියේ සහෝදර සහෝදරියන් ය. මෑත සතිවල, ලොව පුරා රටවල සහ විශේෂයෙන්ම යුරෝපයේ කම්කරුවන් කප්පාදුවට හා යුද්ධයට එරෙහි වැඩ වර්ජන සහ විරෝධතාවලට සහභාගී වී ඇත. ප්‍රංශයේ, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහි ව මහජන වැඩ වර්ජන මධ්‍යයේ, ජනගහනයෙන් තුනෙන් දෙකක් ආර්ථිකය අවහිර කිරීමට සහ මැක්‍රොන් පන්නා දැමීමේ මහා වැඩ වර්ජනයකට සහාය දක්වති.

ධනේශ්වර දේශපාලනයේ සහ ධනේශ්වර රාජ්‍යයේ රාමුව තුල කම්කරු පන්තියට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට අරගල කල නොහැකි බවට, ශ්‍රී ලංකාවේ සිදුවීම් සම්භාව්‍ය නිදර්ශනයකි. කම්කරුවන් තම අරගල තමන් අතට ගත යුතුය. තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, කම්කරු පන්තිය එක්සත් කිරීමට හා දේශපාලන අරගලය තුල එය බලමුලු ගැන්වීමට වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීනව සෑම වැඩපලකම සහ ග්‍රාමීය ජනතාව අතර ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමයි.

සසප කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කිරීම හා කැඳවීම සඳහා කම්කරුවන් හා තරුනයන් අතර දීප ව්‍යාප්ත උද්ඝෝෂනයක් දියත් කරමින් සිටියි. මෙය කම්කරු පන්තියට සිය බලවේග තහවුරු කර ගැනීමටත්, ග්‍රාමීය ජනතාවගේ ක්‍රියාකාරී සහයෝගය දිනා ගැනීමටත්, සමාජවාදී මාවත් ඔස්සේ සමාජය ප්‍රතිව්‍යුහගත කිරීමට කැප වී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් හරහා තමන්ගේම පාලනයකට පදනම දැමීමටත් දේශපාලන මූලෝපායක් සපයයි.