"ලාභ ලබන ව්‍යවසායන් පුද්ගලීකරනය නොකරනු!" උද්ඝෝෂනය: කම්කරු පංතියේ ඒකාබද්ධ අරගලයක් වැලැක්වීමේ උගුලක්

පොදු දේපල හා මානව අයිතීන් සුරැකීමේ සංවිධානය ජූනි 13 වන දින පවත්වන ලද රැස්වීමක දී, සියලු විදුලි සංදේශ සේවකයින්ගේ සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ හා රක්ෂන සංස්ථා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් දිවාකර ඇතුගල, ටෙලිකොම් ආයතනය හා රක්ෂන සංස්ථාව 'ලාභ ලබන' ආයතන බැවින් ඒවා පුද්ගලීකරනය නොකල යුතුයයි ආන්ඩුවට බල කර සිටියහ.

සියලු විදුලි සංදේශ සේවකයින්ගේ සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ [මාධ්‍යය ෆේස්බුක්]

ගුරුසිංහ සහ ඇතුගල වහෙන්ඔරෝ භාෂාවෙන් කියන්නේ, 'ලාභ නොලබන' අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීම සම්බන්ධයෙන් තමා විරුද්ධ නොවන බවයි. 'ලාභ ලබන' සහ 'ලාභ නොලබන' ලෙස රාජ්‍ය ව්‍යවසායන් මෙලෙස බෙදා වෙන් කිරීම, ටෙලිකොම් සහ රක්ෂන සංස්ථාව ද ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් 430 ක් පුද්ගලීකරනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ක්‍රියාත්මකකොට ඇති රුදුරු වැඩපිලිවෙලට එරෙහිව කම්කරු පංතියේ ඒකාබද්ධ අරගලයක් වැලැක්වීමේ මර උගුලකි.

රක්ෂන සංස්ථා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් දිවාකර ඇතුගල, කොලඹ ශ්‍රීලංරස මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවයක් අමතමින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

ටෙලිකොම් ආයතනයේ සහ රක්ෂන සංස්ථාවේ ලාභය උලුප්පා දක්වමින් ඇතුගල මෙසේ පැවසීය: 'ජාමුඅ නය ගැනීම සදහා රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කරනවා. ටෙලිකොම් සහ රක්ෂන සංස්ථාව මහජන සුභසාධනයට මුදල් ලබාදෙන ආයතන .... සමෘද්ධිය ලබාදීම සදහා රුපියල් බිලියන 40ක් පමන අවශ්‍ය කෙරෙනවා. වාර්ෂිකව ටෙලිකොම් ආයතනය බිලියන 22ක් හා රක්ෂන සංස්ථාව බිලියන 10ක් ලබාදෙනවා.'

මෙම සමිති නායකයන් ආන්ඩුවට යලියලිත් කියා සිටින්නේ, එකී ආයතනයන්හි ලාභය වඩාත් ඉහල නැංවීම සඳහා තම දායකත්වය ලබා ගන්නා ලෙසයි. මැයි 18 දා පැවති මාධ්‍ය හමුවකදී ගුරුසිංහ මෙසේ කියා සිටියේය: “ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙ වංචනිකයො ඉන්නවා නම් ඒ අයට විරුද්ධව පියවර ගන්න. එතකොට අපිට ආයතනය තවත් දියුනු කරන්න පුලුවන්.'

ගුරුසිංහගේ මෙම ප්‍රකාශයන්ගේ අර්ථය පැහැදිලි කරමින් 2023 මැයි 26 දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පල කල ලිපියේ සඳහන් වූ පරිදි, 'ආයතනය 'තවත් දියුනු කිරීම' යනු ධනපති රාජ්‍යයට හැකි තරම් ලාභ උපයා දීම හැර අනෙකක් නොවේ. මෙය කල හැක්කේ, ආයතනයේ දියුනුවේ නාමයෙන්, කම්කරුවන් දරුනු සූරාකෑමකට ලක් කිරීමෙන් පමනි. මේ සඳහා දායකත්වය සම්පාදනය කිරීමේ අරමුනෙන්, 'වෘත්තීය සමිති, පාලනය වෙනුවෙන් මැදිහත් විය යුතු' යැයි ගුරුසිංහ තවදුරටත් කියා සිටියේ ය.'

ආන්ඩුව උත්සුක වන්නේ උක්ත ආයතනයන් වර්ධනය කොට ඒවායේ ලාභය මහජන සුභ සාධනය සඳහා යෙදීමට නොව, ජාමූඅ හි විධානයන් මත රාජ්‍ය දේපල ජාත්‍යන්තර ප්‍රාග්ධනයට විකුනා විදේශ නය කන්දරාව ගෙවා දැමීමටය. ඒ සදහා කම්කරු පන්තියේ සියලු සුභසාධන උදුරා ගැනීමේ දරුනු ප්‍රහාරයක් එල්ල කර ඇත. පාඩු ලබන ආයතන මෙන් නොව ලාභ ලබන ආයතන විකිනීමෙන් වැඩි විදේශ විනිමය ප්‍රමානයක් උපයාගත හැකි බැවින්, ටෙලිකොම්, රක්ෂන සංස්ථාව හා කොලඹ වරාය වැනි ආයතන පුද්ගලීකරනය සම්බන්ධයෙන් ආන්ඩුව වඩාත් උනන්දු සහගතය.

'ලාභ ලබන' ආයතන පමනක් පුද්ගලීකරනය නොකරන ලෙස සමිති නිලධරය ගෙනයන උද්ඝෝෂනය මගින්, පුද්ගලීකරනයට නියම වී ඇති අනෙකුත් රාජය ව්‍යවසායන්හි සේවයේ යෙදී සිටින ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි වලට ද, මිලියන ගනනාවක් වන ඔවුනගේ පවුල්වල සාමාජික-සාමාජිකාවන්ගේ සමාජ සහ ආර්ථික කොන්දේසි වලට ද එල්ල කිරීමට යන රුදුරු ප්‍රහාරය යුක්තියුක්ත කෙරෙමින් එයට පූර්න පිටුබලය ලබාදෙයි.

ජනාධිපති වික්‍රමසිංහ අප්‍රේල් 26 දා පාර්ලිමේන්තුවට මෙසේ පැවසීය.: 'අපට ජාමූඅ ගිවිසුම හැර වෙනත් විකල්පයක් නැහැ... අපි දෙපක්ෂයම එකතු වී මෙය සම්මත කල යුතුයි'. ඔහු එයට මෙසේ ද එකතු කලේය: 'මේ වැඩපිලිවෙල ක්‍රියාත්මක නොකලොත්, අපි කාටවත් තව අවුරුදු දෙක තුනක්වත් ඉන්න බැරි වේවි.” පුද්ගලීකරනය 'මේ වැඩපිලිවෙලෙහි' අත්‍යන්ත කොටසක් වන අතර, වික්‍රමසිංහ යලියලිත් කියා සිටින්නේ කවර ලෙසකින් හෝ එය ආපසු නොහරවන බවයි.

ටෙලිකොම් ආයතනය පුද්ගලීකරනය 'ජාතික ආරක්ෂාවට” තර්ජනයක් බවට, ආන්ඩුවේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලත් ධනපති පංතියේ කොටස් ගෙනයන ප්‍රතිගාමී උද්ඝෝෂනට එක් වෙමින් ඉහත රැස්වීමේදී ගුරුසිංහ මෙසේ කියා සිටියේය. 'රජයේ පාර්ශවය පවා පිලිඅරගන තියෙනවා ටෙලිකොම් ආයතනය පුද්ගලීකරනය කිරීම ජාතික ආරක්ෂාවට අධි බලපෑමක් කරන බව.'

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරනයෙන් ජාතික ආරක්ෂාව බරපතල අවදානමකට ලක්විය හැකි බව 'ජාතික ආරක්ෂාව පිලිබඳ ආංශික අධීක්ෂන කාරක සභාවේ' සභාපති, ‌ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු මන්ත්‍රී සරත් වීරසේකර පාර්ලිමේන්තුවට ජූනි 9 දා ඉදිරිපත් කල වාර්තාවේ සඳහන් කර තිබුනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) යලියලිත් පෙන්වා දී ඇති පරිදි, 'ජාතික ආරක්ෂාව' යනු, ධනපති පංති පාලනයේ උපකරනය වන ධනපති රාජ්‍යයේ සහ ධනපති පංතියේ ආරක්ෂාව මිස කම්කරු-පීඩිත මහජනතාවගේ ආරක්ෂාව නොවේ. ආන්ඩුව ඇතුලු ධනපති පංතිය සැමවිටම 'ජාතික ආරක්ෂාව' පෙරට දමන්නේ කම්කරු පංතියට එරෙහි මර්දනය තීව්‍ර කිරීමේ අවියක් ලෙසිනි.

'මුස්ලිම් අන්තවාදීන්ගෙන්' හෝ 'දෙමල අන්තවාදීන්ගෙන්' ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වී ඇතැයි යන කඩතුරාව යොදා ගනිමින් කම්කරු පංතිය බෙදීම සඳහා වාර්ගික ප්‍රකෝපකරනයන් ඇවිලවීම සම්බන්ධයෙන් ලංකාවේ පාලක පංතිය කුප්‍රකට ය. මන්ත්‍රී වීරසේකර මේ සම්බන්ධයෙන් ප්‍රමුඛයෙකි.

එමෙන්ම, ටෙලිකොම් ආයතනය විදේශ සමාගම් වලට පැවරීමෙන් 'ජාතික ආරක්ෂාවට' ජාත්‍යන්තර තර්ජනයන් එල්ලවෙතැයි කෙරෙන ප්‍රකාශ අතිශයින්ම ප්‍රෝඩාකාරීය. එක්සත් ජනපදයේ හා එහි ආසියානු කලාපයේ සහකරුවන ඉන්දියාවේ යුද-මූලෝපායික වැඩකටයුතු වලට ශ්‍රී ලංකාව වඩවඩාත් ඒකාග්‍ර කරමින් පවතින තතුතුල, ටෙලිකොම් පුද්ගලීකරනයෙන් 'ජාතික ආරක්ෂාවට' ජාත්‍යන්තර තර්ජනයන් එල්ලවීම ගැන කෙරෙන ප්‍රකාශ අභූතයන් ය.

ගුරුසිංහ මෙම 'ජාතික ආරක්ෂාවේ' කැරොල් කරත්තයට නගිමින් ප්‍රතිගාමී කාර්යයන් දෙකකට අතිමූලික වසයෙන් දායක වෙයි; කම්කරු පංතියට එරෙහිව 'අවිගත් මිනිසුන්ගේ විශේෂ දේහයන්ගෙන් සමන්විතවූවක්' ලෙස ලෙනින් විසින් ගුනාංගීකරනය කර ඇති ධනපති රාජ්‍යය ආරක්ෂා කිරීම ඉන් පලමුවැන්නයි. පුද්ගලීකරනයට එරෙහි සටනේ කප්පිත්තන් ලෙස ධනපති ආන්ඩුවේ කොටස් හුවා දක්වමින්, කම්කරු පංතියේ පුද්ගලීකරන විරෝධය ඔවුන්ගේ අතයටට ගාල් කිරීම දෙවැන්නයි.

මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මන්ඩලය ගෙන තිබෙන තීරනය තුලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ටෙලිකොම් වෘත්තීය සමිති දෙකක් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරනය ජූනි 15 වැනිදා තීන්දු කලේය.

නැවත නැවතත් සනාථ වනුයේ, ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතා ව්‍යාපාරයන් සහ ඊනියා අධිකරන ක්‍රියාදාමයන් තුලින් ජාමූඅ හි ප්‍රහාරයන් ආපසු හැරවිය නොහැකි බවයි. මෙම ප්‍රහාර පරාජය කිරිම සඳහා, ධනපති ආන්ඩුවටත් සමස්ත ධනපති ක්‍රමයටත් එරෙහි කම්කරු පංතියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සූදානම් කල යුතුය.

ඒ සඳහා, ධනේශ්වර පක්ෂ, ව්‍යාජ වාම සංවිධාන හා වෘත්තීය සමිති නිලධරයන්ගෙන් කැඩී වෙන් වූ කම්කරු ක්‍රියාකාරී කමිටු මත පාදක වූ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වෙයි. එම ක්‍රියාකාරී කමිටු මගින් තෝරා පත්කර ගත් නියෝජිතයින් මත පදනම්ව කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කිරීමටත්, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය ඉදිරියට ගෙන යාමටත් සසප යෝජනා කරයි.

මෙහි කොටසක් ලෙස, ටෙලිකොම් ආයතනය හා රක්ෂන සංස්ථාව තුල තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට පෙරට පැමිනිය යුතුය.