ආන්ඩුව ප්‍රකාශනයේ නිදහස මැඩලීමට විකාශන නියාමන කොමිසමක් ස්ථාපිත කිරීමට සූදානම් වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ප්‍රකාශනයේ නිදහසට කෙටීමේ එල්ලය සහිතව විද්‍යුත් මාධ්‍ය සඳහා 'විකාශන නියාමන කොමිසමක්' පිහිටුවීමට සූදානම් වේ. එහි මූලික පියවර ලෙස “විකාශන සේවා සහ ඒ හා සම්බන්ධ සහ අනුශාංගික දේ නියාමනය කිරීම සඳහා විකාශන නියාමන කොමිසම පිහිටුවීම සඳහා පනතක්” යන ශීර්ෂය යටතේ පසුගිය අප්‍රේල් මස 20 වනදා යෝජිත පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිනි.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ සභාපතිත්වය යටතේ බන්දුල ගුනවර්ධන, මනූෂ නානායක්කාර, කෙහෙලිය රඹුක්වැල්ල, නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් අමාත්‍ය මන්ඩල අනු කමිටුවක් මගින් කෙටුම්පත සකසා තිබේ.

ආන්ඩුවට එරෙහි දේශපාලන විවේචන මැඩීමේ උපකරනයක් ලෙස ක්‍රියාත්මකවීම කොමිසමේ අරමුන බව, කෙටුම්පතේ 3 සහ 4 වගන්තිවලින් පැහැදිලි කෙරී ඇති කොමිසමේ සං‍යුතිය සාක්ෂි දරයි. එයට රාජ්‍ය නිලධාරීන් වන අමාත්‍යංශ ලේකම්, ටෙලිසන්නිවේදන අධ්‍යක්ෂ ජෙනරාල් සහ ව්‍යවස්ථාදායක මන්ඩලයේ අනුමැතිය යටතේ ජනාධිපතිවරයා විසින් සෘජුවම පත් කරනු ලබන සාමාජිකයින් තුන්දෙනෙකු අන්තර්ගතය.

ටෙලිසන්නිවේදන අධ්‍යක්ෂ ජෙනරාල් සහ අමාත්‍යංශ ලේකම් ද පත් කෙරෙන්නේ ජනාධිපතිවරයාගේ අනුමැතිය යටතේ ය. ඒ අනුව කොමිසමේ සියළුම සාමාජිකයින් පත් කෙරෙන්නේ ජනාධිපතිගේ අනුදැනුම යටතේය. කොමිසමේ සභාපතිවරයාද පත් කරනුයේ ජනාධිපතිවරයාය. මේ අනුව කොමිසම මුළුමනින්ම ජනාධිපතිවරයාගේ පාලනයට යටත් කොට ඇත.

එමෙන්ම සිය දේශපාලන අවශ්‍යතාවයන් සමග කොමිසමේ වැඩකටයුතු නොපෑහේ නම්, ජනාධිපතිවරයාට “කොමිසමේ කර්තව්‍යයන් ඉෂ්ට කිරීමට නොහැකිවීම” යටතේ ව්‍යවස්ථාදායක මන්ඩලයට හුදු දැනුම් දීමකින් පසු ඔහුව ඉවත් කල හැක. එමෙන්ම කොමිසමේ සභාපතිවරයාට වසර පහක දීර්ඝ ධුර කාලයක් ලැබේ. සන්සන්දනාත්මකව ගත් කල මෙය පාර්ලිමේන්තුවේ නිල කාලයට සමානය.

මෙම වගන්ති මගින් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ විකාශන නියාමන කොමිසම පිහිටුවීම සඳහා ආන්ඩුවේ වෑයම ජනාධිපති ආඥාදායකත්වයක් සඳහා ගමන සමග සමපාත වන බවයි. මාධ්‍ය වාරනය කිරීම සඳහා අධිකාරී ව්‍යූහයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ලංකාවේ ධනපති ආන්ඩුවලට සැලකිය යුතු කාලයක් තිස්සේ පැවතිනි. 1997 විද්‍යුත් විකාශන නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීමට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කෙරුනු අතර 2017-19 කාලයේ විද්‍යුත් මාධ්‍ය අධිකාරියක් ස්ථාපිත කිරීම සඳහා ආන්ඩුව විද්වත් කමිටුවකින් යෝජනා ලබා ගත්තේය.

වැඩෙන මහජන විරුද්ධත්වය යටතේ ඒවා හකුලා ගත්ත ද දැන් පංති අරගලයේ වැඩෙන කොන්දේසි මධ්‍යයේ ආන්ඩුව එය තවදුරටත් කල් දැමිය නොහැකි පියවරක් ලෙස සලකයි. ආන්ඩුව විපක්ෂය ඇතුළු සමස්ත දේශපාලන සංස්ථාපිතයම, හිටපු ජනාධිපතිවරයා පලවා හැරි මහජන නැගිටීම මගින් භීතියට පත් කල අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු පියවරයන් හේතුවෙන් යලි එවන් අරගලයක් වර්ධනය වෙනු ඇතැයි උත්සුක වෙයි.

ජාමුඅ හි නියෝජිත ප්‍රධානියාමත් “රුදුරු අත්හදාබැලීමක්” ලෙස නම් කල, ශ්‍රී ලංකාවේ දැවැන්ත කප්පාදු වැඩ පිලිවෙලට එරෙහිව දැනටමත් කම්කරු පන්තිය තුල විරුද්ධත්වය වැඩෙමින් පවතී. වික්‍රමසිංහ ආන්ඩුව සිය ආඥාදායක පියවරයන්ගෙන් උත්සාහ දරන්නේ මෙම පංති අරගලය තලා දමා එම කප්පාදු ඉදිරියට ගෙන යාමටය. ආන්ඩුව ස්ථාපිත කිරීමට යත්න දරන 'ප්‍රති-ත්‍රස්ත පනත' සහ 'පුනරුත්ථාපන පනත' ආදී විසඝෝර පනත් වල මෙන්ම, 'විකාශන නියාමන පනතේ' ද එල්ලය එයයි.

කොමිසමේ අරමුනු එයට උදාහරනයකි. පලමු කොටසේ 5 වන වගන්තියේ එන, “ප්‍රකාශනයේ නිදහස සඳහා අයිතිය තහවුරු කිරීම, විකාශන වැඩසටහන් තුල අධ්‍යාපනයේ දැනුමේ ගුනාත්මකභාවය ඉහල නැංවීම, සමාජයේ බහුවිධභාවය ආරක්ෂා කරමින් විකාශන සේවා පවත්වාගෙන යාම” ආදී ආලවට්ටම් මාලාව අවසානයේ, “ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට සහ සමාජ පර්යායට මොනම හෝ හානියකින් තොරව විකාශන සේවා පවත්වාගෙන යන බවට තහවුරු කිරීම” කොමිසමේ අරමුන බව සඳහන් කරයි.

ධනපති පන්තිය සෑම විටම ජාතික ආරක්ෂාව යනුවෙන් අදහස් කරන්නේ, ධනපති පන්තියට කම්කරු පන්තියෙන් එල්ල වෙන තර්ජනයන්ගෙන් ආරක්ෂාවීම පිලිබඳවය. එනම් ධනපති සුළුතරයකගේ ලාභ අවශ්‍යතාවයන්ට බහුතර මහජනතාවගේ අතිමූලික අවශ්‍යතාවන් යටත් කරන්නාවූ, ධනපති ආර්ථිකයට සහ එහි සමාජ-දේශපාලන පර්යායට එරෙහි ඕනෑම විවේචනයක් මැඩලීම 'ජාතික ආරක්ෂාව' තහවුරු කිරීමේ සැබෑ එල්ලයයි.

යෝජිත කොමිසමට ඉහත අරමුනු යටතේ ගුවන් විදුලි සහ රූපවාහිනි මාධ්‍ය සඳහා “බලපත්‍ර ලබාදීමට”, “බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය පූර්ව අවශ්‍යතා තීන්දු කිරීමට”, “විකාශනයන් නියාමනය කිරීමට”, “බලපත්‍ර අහෝසි කිරීමට හෝ අවලංගු කිරීමට”, “ආයතන සඳහා ආචාර ධර්ම පද්ධතියක් පැනවීමට” බලය පැවරේ. පනත මගින්ම ඉඟි කෙරී ඇති ආකාරයට මෙම සියළුම බලතල එල්ල කෙරෙනු ඇත්තේ මාධ්‍ය මුලුමනින්ම වාරනය කිරීමටය.

විකාශන කොමිසම පිහිටුවා මාස තුනක් තුල විද්‍යුත් මාධ්‍ය සිය බලපත්‍ර අලුතින් ලබා ගත යුතු අතර එය කොමිසමේ නියාමනයන්ට තදින් බැඳෙන පරිදි වසරක් පාසා අලුත් කල යුතු වේ.

කෙටුම්පතේ 4 වෙනි කොටසට අනුව “ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට සහ සමාජ පර්‍යාය තර්ජනයට ලක් කෙරෙන” ඕනෑම දෙයක් හෝ මෙම පනත යටතේ හෝ කොමිසම හෝ පනවන ලද කොන්දේසියක් කඩවන දෙයක් බලපත්‍ර හිමියා විකාශය කලහොත් කොමිසම පවත්වන පරීක්ෂනයක් මගින් ඔහුට විරුද්ධව පියවර ගත හැක. ඊට අනුව විද්‍යුත් මාධ්‍යයකින්, ජාමුඅ කප්පාදු වැඩපිලිවෙලේ රුදුරු ප්‍රතිවිපාක ගැන හෝ වැඩෙන සමාජ අසමානතාවය ගැන විකාශය කෙරෙන ඕනෑම විවේචනාත්මක වැඩසටහනක් හේතුවෙන්, එහි විකාශන බලපත්‍රය අවලංගු කිරීමට කොමිසමට හැකියාව ලැබේ.

එමෙන්ම ඕනෑම අතකට භාවිතා කල හැකි පරිදි නිශ්චිතව අර්ථ ගන්වා නොමැති, “ආගම් හා ජාතීන් අතර ආතතීන් අවුලුවන” දේ මාධ්‍ය මගින් විකාශය කලහොත් ඊට එරෙහිවද කොමිසමට පියවර ගත හැකිය. උපතේ පටන් වාර්ගික භේදකරනයන් ආයුධයක් බවට පත් කරගෙන ඇති ලංකාවේ පාලක පන්තිය මේවා යොදාගනු ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (අයිසිසීපීආර්) පනත මෙන්ම ප්‍රකාශනයේ අයිතියට ප්‍රහාර එල්ල කිරීම සඳහාය.

ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ජුනි 09 වනදා බීබීසී මාධ්‍ය සේවයට සඳහන් කලේ, පනතේ සත්‍යය නියාමනය කිරීම පිලිබඳව කෙරෙන සඳහන් වලදී “ඇත්තටම සත්‍යය කොහොමද නියාමනයක් කරන්නේ? කවුද තෝරන්නේ සත්‍යය මොනවද කියලා” යන පැනය මතුවන බවයි. ඔහු වැඩි දුරටත් පවසන්නේ මේ පනත “පුද්ගල නිදහස සීමා කරන වෑයමේ කොටසක්” බවයි.

වෙනත් ආකාරයකින් කිවහොත් විකාශය කල යුත්තේ කුමක් ද? නොකල යුත්තේ කුමක්ද? සත්‍යය කුමක්ද? යන්න තීන්දු කරනුයේ විකාශන නියාමන කොමිසමට සෘජුව මැදිහත්වීමේ බලය සහිත ජනාධිපතිවරයා ඇතුළු ආන්ඩුවයි. මෙම පනතට සමාජ මාධ්‍ය අයත් නොවුනද ආන්ඩුව එයද වාරනය කිරීම සඳහා පියවර ගනිමින් සිටී.

ආන්ඩුවේ මෙම පියවරට එරෙහිව, කම්කරු පන්තිය තුල වැඩෙන විරෝධතාව ගසාකනුවස් ඊනියා විරුද්ධ පක්ෂ කරලියට බැස ඇත. සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු විපක්ෂයන්ගේ විධායක සභාව අමතමින් ජූනි 01 දා කියා සිටියේ, 'අධිකරනයේ පිහිටෙන්' විකාශන පනත 'පරාජය කරන' බව සහ ඒ සඳහා 'පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් හඬ නගන' බවයි.

විකාශන පනත නීතියක් ලෙස සම්මත කිරීම වැලැක්වීමට 'කලහැකි සැමදෙයක්ම කරන බව'ට ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) තවත් පසකින් හඬ තලයි.

මෙම සියළු පක්ෂ අතීතයේදී ආන්ඩුව තුල හෝ ඉන් පිටත සිට භාෂනයේ නිදහසට කෙටීමේ පියවරයන්ට මුළුමනින්ම සහය දී ඇත. 2017-19 කාලයේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, විකාශන නියාමන කොමිසමට සමාන වූ විද්‍යුත් මාධ්‍ය අධිකාරියක් ස්ථාපිත කිරීම සඳහා යත්න දරද්දී, සජබ නායකයා ඇතුලු එහි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් ලෙස හිඳිිමින් එයට සහාය දුන්හ. 2015 දී එම ප්‍රතිගාමී ආන්ඩුව බලයට ගෙන ඒමට ජවිපෙ විවෘතවම දරදිය ඇද්දේය.

විකාශන පනත, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් මත එල්ල කෙරෙන පලල් ප්‍රහාරයේ කොටසකි. වික්‍රමසිංහ ආන්ඩුව වැඩ වර්ජන ඇතුලු කම්කරු පන්තියේ සටන් ක්‍රියාමාර්ග සාපරාධීකරනය කිරීම සඳහා අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යොදාගනිමින් සිටින අතර, පුද්ගලීකරනයට එරෙහිව සටන් වැදුනු ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන් 20 දෙනෙකු ඒ යටතේ සේවයෙන් පහකොට ඇත.

කම්කරු පන්තිය තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් සමාජවාදී පිලිවෙත් මත පදනම්ව වික්‍රමසිංහ ආන්ඩුවේ පන්ති යුද්ධ පියවරයන්ට එරෙහිව දේශපාලනික ප්‍රතිප්‍රහාරයක් දියත් කල යුතුය.