ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත, රාජ්‍ය ආයතන 430ක් පුද්ගලීකරනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ගෙනයන වැඩකටයුතුවල ප්‍රධාන ඉලක්කයක් බවට කොලඹ වරාය පත්ව ඇත. ඒ යටතේ, දහස් සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා, වැටුප්, විශ්‍රාම දීමනා සහ සේවා කොන්දේසි වලට රුදුරු ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිතය.
ටෙලිකොම්, රක්ෂන සංස්ථා සහ ඛනිජතෙල් ඇතුලු අනෙකුත් ක්ෂේත්‍රයන් හි කම්කරුවන් මෙන්ම, වරාය කම්කරුවෝ ද පුද්ගලීකරනයට එරෙහිව විරෝධතා සහ වැඩවර්ජන මගින් යලියලිත් නැගී සිටියහ. ජනාධිපති වික්‍රමසිංහ, එයට ප්‍රතිචාරී වසයෙන්, සෞඛ්‍යය, විදුලිබල, ඛනිජ තෙල් සහ වරාය ආදී සෑම ක්ෂේත්‍රයක්ම “අත්‍යවශ්‍ය සේවා” බවට පත්කලේය. ඒ අනුව, එකී ක්ෂේත්‍රයන්හි වැඩවර්ජන සහ විරෝධතා තහනම් කෙරුනු අතර, මාර්තු මාසයේ පැවති ඛනිජ තෙල් කම්කරුවන්ගේ පුද්ගලීකරන විරෝධී වැඩ වර්ජනයක් බිඳ දැමීම සඳහා ආන්ඩුව දහස් ගනනක් මිලිටරි සහ පොලිස් භටයින් යෙදවීය.
පුද්ගලීකරනය සහ රාජ්‍ය මර්දනය පරාජය කරනුවස්, ආන්ඩුවට එරෙහි ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් සඳහා කම්කරුවන් බලමුලු ගැන්වීමෙන් දැනුවත්ව වැලකී සිටින වෘත්තීය සමිති නිලධරය, කම්කරුවන් ඒ ඒ ක්ෂේත්‍රයන්හි සීමිත සහ හුදෙකලා විරෝධතාවන් වලට කොටුකොට ඔවුනගේ සටන්කාමිත්වය දියකර හැරීමේ ප්‍රතිගාමී ක්‍රියාවලියක යෙදී සිටිති.
මෙම පසුබිම තුල, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් පිරිසක්, කොලඹ වරාය සේවකයන් මුනගැසී ඔවුන් මුහුනදෙන රුදුරු කොන්දේසි සහ ඒවා පරාජය කිරීමේ සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කලහ.
පුද්ගලීකරනය සඳහා කොන්දේසි සැකසීමේදී තමන් මුහුන දෙන ගැටලු සම්බන්ධයෙන් කම්කරුවෙක් මෙසේ විස්තර කලේය: 'අපි මුහුන දෙන ප්‍රධාන ගැටලුවක් තමයි, ප්‍රමානවත් කම්කරුවන් පිරිසක් නැතිකම. ඒ නිසා ආවරනය කිරීමට සිදුව ඇති වැඩ ප්‍රමානය ක්‍රමානුකූලව වැඩිවුනා. මාසිකව කිහිපදෙනෙක් විශ්‍රාම ලබන අතර තවත් කීපදෙනෙක් නිවාඩු ලබා ගනිමින් විදේශ රැකියා සඳහා පිටත් වෙනවා. මෙම පුරප්පාඩු කාලයක සිට පවතින නමුත් නව සේවකයන් බදවා ගන්නේ නැහැ. පුද්ගලීකරනය යටතෙ සේවක සංඛ්‍යාව තවත් කප්පාදු කෙරෙන නිසා මේ තත්වය වඩාත් උග්‍ර වෙනවා.”
සිවිල් ඉංජීනේරු කොට්ඨාසයේ තිබූ හාරන යාත්‍රා (digger) දෙකම, ටග් යාත්‍රා මෙහෙයවන නැවිගේෂන් කොට්ඨාසය වෙත මේ මස සිට පවරා ඇත. කම්කරු පුරප්පාඩු පිරවීම වෙනුවට වැඩපල ඒකාබද්ධ කිරීම මගින්, එක් කම්කරුවෙක් හට සේවා ස්ථාන කිහිපයක විවිධ අවස්ථා වලදී වැඩ කිරීමට සිදු වෙයි.
ටග් යාත්‍රා අංශයේ කම්කරුවෙක් කියා සිටියේ ක්‍රියා විරහිත වී ඇති ටග් යාත්‍රා අලුත් වැඩියා නොකර පුද්ගලික ටග් යාත්‍රා දැනටමත් සේවයේ යොදවා අති බවයි. එම ටග්‍යාත්‍රාවන්හි සේවය කරන්නේ පුද්ගලික ආයතන මගින් සපයන්නාවූ කම්කරුවන් ය. ඔවුනගේ වැටුප් මට්ටම් ඉතා පහල වන අතර, වරාය අධිකාරියේ කම්කරුවන් සතු සේවා අයිතීන් ඔවුනට හිමි වන්නේ නැත. 'අපේ අංශයේ පුරප්පාඩු 90 ක් පමන ඇති නමුත් ඒවා පුරවන්නෙ නැහැ..... පාලකයන් සූදානම් වෙන්නේ අධිකාරියේ කම්කරුවන් ඉවත් කරමින් පුද්ගලීක අංශයට වරායේ වැඩ කටයුතු පවරන්න.'
පෞද්ගලික අංශය මගින් වරාය සේවයට යොදවන කම්කරුවන්ට බොහෝ අයිතීන් අහිමි ය. එසේ අහිමි කෙරෙන අයිතීන් මගින් ඉතිරි කෙරෙන මුදල්, ඕනෑම පාලනාධිකාරියක් විසින් ලාභයක් ලෙස ගනනය කරන බවද ඔහු කීවේය.
'උදාහරනයක් ලෙස ආරක්ෂිත ඇඳුම් පැලඳුම් කප්පාදු කිරීම තුල කම්කරුවන් හට සිදුවන අනතුරු පිලිබඳ තැකීමකින් තොරව, පාලනාධිකාරිය විසින් ලාභ සඳහා අවධානය යොමු කරනවා. එනම් ඔවුනට මිනිස් ජීවිත වලට වඩා තම ලාභය වටිනවා. මේ අනතුරේ හෙලා ඇත්තේ අපේම සහෝදර කම්කරුවන්ගේ ජීවිතයි. මෙවැනි අසාධාරන ක්‍රියා ඉදිරියේ දී තව තවත් වැඩිවනු මිස නැවතීමක් සිදු වෙන්නෙ නෑ. හෙට දිනයේ අපගේ දරුවන්ගේ ජීවිත වල ඉරනමත් මේ ආකාරයෙන් ලියවිය යුතු ද?'
ඔහු මෙසේ ද පැවසීය.'අතිකාල කපාහැරීමෙන් සහ උපයනවිට බද්ද වැඩි කිරීමෙන් කම්කරුවන්ගේ වැටුප කප්පාදු වෙලා. ආහාර මිල විදුලි බිල, ලමයින්ගේ අධ්‍යාපනය සඳහා වියදම ඉහල ගිහිල්ල. ආන්ඩුවේ රෝහල්වල පවතින අර්බුදය නිසා ලෙඩකට බොහෙතක් ගන්න විදියක් නෑ. අපි ජීවත් වෙන්න බැරි කොන්දේසි වලට මුහුන දෙනවා. '
වරායේ වෘත්තීය සමිති සන්ධානය පුද්ගලීකරනයට එරෙහි සටන පාවා දී දැන් නිහඬව සිටින බව ද ඔහු පැවසීය.
ජය බහාලූ අංශයේ කම්කරුවෙක් කියා සිටියේ, තමන්ට හිමි දීමනා නිසි ආකාරයෙන් ලබා නොදෙන බවයි. පුරප්පාඩු පිරවීමේදී උසස්වීම් හිමි කම්කරුවන්ට එම අවස්ථා ලබා නොදෙන බවද ඔහු පැහදිලි කලේය. 'වෘත්තීය සමිති ආන්ඩුව සමග සාකච්ඡා ඉල්ලමින් සිටිනවා. අවශ්‍ය වෙන්නෙ, කම්කරුවන් ස්වාධීනව සංවිධානය වෙලා ජාමුඅ කොන්දේසි වලට විරුද්ධව සටන් කිරීම' යැයි ඔහු කියා සිටියේය.
මීට අමතරව කම්කරුවන් සුලු හේතූන් උඩ දඬුවම් වලට ලක්වන බවද වාර්තාවේ. කාර්යාලයේ සේවයේ යෙදෙන කම්කරුවෙක් කියා සිටියේ කම්කරු අරගලවලදී පාලකයන් සමග බහින් බස්වූ තම සේවා සගයෙකු වසර තුනකට ත්‍රීකුනාමල වරායට මාරුකර යැවූ බවයි. “එහිදී අධික වියදමක් දැරීමට ඔහුට සිදුවුනා. අතිකාල ලැබුනෙත් නැහැ. ඔහු වෙනුවෙන් කිසිම වෘත්තීය සමිතියක් පෙනී සිටියේ නැහැ.”
වරාය තුල ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සමස්ත ලංකා පොදු සේවක සංගමය ප්‍රමුඛ වෘත්තීය සමිති සන්ධානය හා සෙසු වෘත්තීය සමිති ජාමුඅ යෝජිත පුද්ගලීකරන වැඩපිලිවෙලට එරෙහි සටන ආන්ඩුවට බලපෑම් දැමීමේ බංකොලොත් වැඩපිලිවෙලකට කොටුකොට පාවා දුන්හ.
ජාමුඅ කොන්දේසීන්ට එරෙහි සටන අත හැර දමමින්, සේවකයන් දඬුවම් වලට ලක්කිරීම ඇතුලු ජය බහාලූ අංශයේ මතුව ඇති ප්‍රශ්න සාකච්ඡා කිරීම සදහා අවස්ථාවක් ලබදෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ අත්සනින් ලිපියක්, ජූලි මස 13 දින, වරාය අධිකාරියේ උපසභාපති වෙත භාර දී ඇත. වෘත්තීය සමිති නායකයෝ ආන්ඩුව සමග සාකච්ඡා කරමින් ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රහාරයන්ට කම්කරු පන්තිය යටත් කිරීම සඳහා ආන්ඩුවට කාලය ලබා දෙමින් සිටිති.
සේවක අර්ථ සාධක අරමුදලට (ඊපීඑෆ්) සහ සේවක භාරකාර අරමුදලට (ඊටීඑෆ්) ආන්ඩුව එල්ල කිරීමට යන ප්‍රහාරයට එරෙහිව කම්කරුවන් අතර වැඩී ඇති බරපතල විරෝධය මධ්‍යයේ, එයට එරෙහි සටන පුද්ගලීකරනයට එරෙහි සටනෙන් වියෝකර කම්කරුවන් අවමංගත කිරීමේ වැඩපිලිවෙලක සමිති නිලධරය දැන් යෙදී සිටිති. ජූලි 20 වන දින වරාය ඉදිරිපිට දී, 'ඊටීඑෆ්, ඊපීඑෆ් අරමුදල් කප්පාදුව නතර කරනු!, පොරොන්දු වූ පරිදි උපයනවිට බදු සංශෝධන කඩිනම් කරනු! කම්කරු නීති සංශෝධන හකුලා ගනු! ත්‍රස්ත පනත එපා ! යන සටන් පාට යටතේ ආන්ඩුවට බල කිරීමේ පෙත්සමක් අත්සන් කිරීමට සලවපොසේස ඇතුලු වෘත්තීය සමිති 25ක් කටයුතු කලහ.
ලෝක ධනේශ්වර අර්බූදය හමුවේ, ලංකාව ද ඇතුලු සියලු රටවල පාලක පංතීහු, එම අර්බුදයේ බර විවිධ කප්පාදු හරහා කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටින අතර, එයට එරෙහිව ජාත්‍යන්තරව වැඩෙමින් පවතින පංති අරගල තලා දැමීම සඳහා ආඥාදායක පාලන රූපයන් වෙත මාරු වෙමින් සිටිති. මෙම ප්‍රහාර පරාජය කල හැක්කේ, ධනපති ක්‍රමයට සහ ධනපති ආන්ඩුවලට එරෙහි ජාත්‍යන්තර කම්කරු පංතියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් මගින් පමනකි. එවන් වැඩපිලිවෙලකට සමිති නිලධරය මුලුමනින්ම සතුරු ය.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) පැහැදිලි කර ඇති පරිදි, දිවයින පුරා සිටින අනෙකුත් කම්කරුවන්ට මෙන්ම වරාය සේවකයින්ට ද පුද්ගලීකරනය පරාජය කරමින්, තම රැකියා, වැටුප්, සේවා කොන්දේසි සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමේ සටන ඉදිරියට ගෙන යා හැක්කේ, වෘත්තීය සමිතිවලින්, සියලු ධනපති පක්ෂවලින් හා ව්‍යාජ වාම පක්ෂවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමෙන් පමනි. වරාය අධිකාරියට අයත් සියලු ශ්‍රෙනීන්හි කම්කරුවන්ද, පුද්ගලීකරනය කෙරී ඇති කොටස්වල කම්කරුවන්ද මිනිස්බල කම්කරුවන්ද වරාය ක්‍රියාකාරී කමිටුවට සම්බන්ධ විය යුතුය.
ක්‍රියාකාරී කමිටුවලවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමටත්, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ පදනම් එම සම්මේලනය තුල ස්ථාපනය කර ගැනීමටත් සසප සටන් වදී.