අගෝස්තු 29 දා, ත්‍රිකුනාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරන කොමිටි රැස්වීමට කඩා වැදුනු බෞද්ධ භික්ෂූන් ප්‍රමුඛ නඩයක්, එහි සිටි නැගෙනහිර පලාත් ආන්ඩුකාර සෙන්දිල් තොන්ඩමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරමින්, නිලාවේලි-පෙරියකුලම් හි 'බොරලුකන්ද' බෞද්ධ විහාරයේ ඉදිකිරීමේ වැඩකටයුතුවලට පනවා ඇති වාරනය වහා ඉවත් කරන ලෙස බල කලහ.
ඉහත සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන් ඇතුලු විවිධ මාධ්‍යයන් හි පලවූ වීඩියෝපට වලට අනුව, ප්‍රකෝපකාරී නඩයට නායකත්වය දුන් බොරලුකන්ද විහාරයේ නායක භික්ෂුව වන අම්පිටියේ සුඛිත වනතිස්ස, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුලු වන්නේ, තොන්ඩමන්ගේ 'බෙල්ල මිරිකනවා' යැයි පවසමිනි. අනතුරුව කොමිටි රැස්වීම පැවති සභා ගර්භයට කඩාවදින ඔහු ඉහත වාරන 'නියෝගය අහෝසි කෙරෙන ලිපියක් නිකුත් කෙරෙනතුරු' ඉන් ඉවත් නොවන බවට තර්ජනය කරමින් මූලාසනය ඉදිරියේ බිම වාඩිවෙයි. වනතිස්ස අනුයමින් ඔහුගේ සගයන් ද බිම වාඩිවෙන අතර සභාවේ වැඩකටයුතු ඇනහිටි.
බොරලුකන්ද විහාරය ඉදි කෙරෙන නිලාවේලි-පෙරියකුලම් වනාහි, සියයට 90 ද ඉක්මවා යන අතිමහත් දෙමල බහුතරයක් පාරම්පරිකව ජීවත්වන ප්‍රදේශයකි. බෞද්ධ විහාර සහ පන්සල් වලට විශාල භූමිභාගයන් බලහත්කාරයෙන් ඈඳා ගැනීමේ අධිකාරවත් සම්ප්‍රදාය ගැන දැනුවත් ප්‍රදේශයේ දෙමල ජනයා, මෙම නව ඉදිකිරීම් සම්බන්ධයෙන් දක්වන්නේ බලගතු උත්සුකයකි.
අගෝස්තු 29 දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිද්ධියෙන් ක්ෂනික ඉක්බිත්තේ මාධ්‍යයට අදහස් දක්වමින් ආන්ඩුකාර තොන්ඩමන් කියා සිටියේ, අදාල ප්‍රදේශයේ දෙමල ජනයා තමාට කල පැමිනිලි හමුවේ බොරලුකන්ද විහාරය ඉදි කිරීම පිලිබඳව විමසා බැලූ බව යි. ඉදිකිරීම් සිදු කෙරෙන්නේ අදාල ප්‍රාදේශීය සභාවෙන් පවා නිසි අවසරය ලබා නොගෙන බව එහි දී අනාවරනය වූ බැවින්, අදාල ප්‍රාදේශීය ලේකම්වරිය එකී වාරන නියෝගය පනවා ඇතැයි ඔහු පැවසී ය.
ශ්‍රී ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුද්ධාගම රටෙහි ප්‍රමුඛ ආගම බවත්, එය සුරක්ෂිත කොට ප්‍රවර්ධනය කිරීමට ආන්ඩුව සහ රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බවත් මෙම ප්‍රකෝපකාරී මැදිහත්වීමේ දී වනතිස්ස පුන පුනා කියා සිටියේ ය. අදාල සිද්ධස්ථානය ඉදි කිරීම සම්බන්ධයෙන් මතු වන කවර හෝ විරුද්ධත්වයකට එරෙහි ව ව්‍යවස්ථාවේ අදාල වගන්තිය උපුටා දැක්වීම ඔහු පුරුද්දක් කොට ගෙන ඇත.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමල ජාතික මහජන පෙරමුනේ නායක ගජේන්ද්‍ර පොන්නම්බලම්, මෙම විහාරස්ථානය ඉදිකිරීමට ඉඩ නොදෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇති බවත්, එමගින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උක්ත වගන්ති උල්ලංඝනයකොට ඇති බවත් පවසමින් ඔහුට එරෙහි ව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා කථානායකට ලිපියක් භාර දීමට වනතිස්ස මෑත දිනෙක කොලඹට පැමිනියේ ය. ලිපිය භාර ගැනීමට පැමිනි කථානායක කාර්යාලයේ නිලධාරියාට ද, එම කාර්යාලයට ඇතුලුවීම වලකා සිටි පොලිස් නිලධාරීන්ට ද ඔහු ව්‍යවස්ථාව පෙරලමින් එහි වගන්ති මහ හඬින් කියවී ය.
නිලාවේලි-පෙරියකුලම් සිද්ධිය මෙවන් දෙමල-විරෝධී ප්‍රකෝපකරන මාලාවක මෑතම දිගහැරුමයි.
ත්‍රිකුනාමල දිස්ත්‍රික්කයේම, දෙමල බහුතරයක් වෙසෙන තිරියායි හි පිහිටි ගිරිහඬුසෑය ආශ්‍රිත ව මෙ වැනි ම ප්‍රකෝපකරනයක බෞද්ධ භික්ෂූන් ප්‍රමුඛ සිංහල-බෞද්ධ කන්ඩායම් යෙදී සිටිති. 2009 දී සිවිල් යුද්ධය අවසන් වූ සැනින්, ගිරිහඬුසෑය වටා පිහිටි දැවැන්ත භූමි ප්‍රදේශය එම සිද්ධස්ථානයට හිමි බව පවසමින් ඔවුන් ගෙන ගිය උද්ඝෝෂනයට පූර්න අනුබලය දුන් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ අක්කර 3600 ක වපසරියක් නීතිමය වසයෙන් එයට වෙන්කර දුනි.
මෙම සුවිසල් භූමි ප්‍රදේශයට ඇතුලත්වන තම නිවාස සහ කුඹුරු වලින් තමා පලවා හැරෙනු ඇතැයි යන සාධාරන භීතිය පල කරමින් , ප්‍රදේශයේ දෙමල ජනයා ගෙන ගිය උද්ඝෝෂන හමුවේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, එම සිද්ධස්ථානයට අයත් භූමිය අක්කර 257 කට සීමා කලේ ය.
නමුදු, ගිරිහඬුසෑයේ ප්‍රධාන භික්ෂුව මෑත දී කල ඉල්ලීමක් මත, යලි එම අක්කර 3600 එම සිද්ධස්ථානයට ලබා දෙන ලෙස උපදෙස් දුන් ලිපියක්, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අදාල ප්‍රාදේශීය ලේකම් හට ලැබී ඇති බව තිරියාය වැසියෝ පවසති.
මුලතිවූ දිස්ත්‍රික්කයට අයත්, කුරුන්දිමලේ පුරාවිද්‍යාත්මක භූමිය කේන්ද්‍රකර ගනිමින් තවත් දෙමල-විරෝධී ප්‍රකෝපකරනයක් අවුලුවා තිබේ. බහුතරයක් වන ප්‍රදේශයේ දෙමල ජනයා විසින් මෙම ස්ථානය හඳුන්වනු ලබන්නේ ආදි සිවන් කෝවිල නමිනි. පරම්පරා ගනනාවක් පුරා හින්දු සිද්ධස්ථානයක් ලෙස වන්දනාමානයට පාත්‍ර ව ඇති මෙම ස්ථානය පුරාන බෞද්ධ සිද්ධස්ථානයක් බව කියාපාමින්, 2018 දී එහි විහාරස්ථානයක් ඉදි කිරීමට බෞද්ධ භික්ෂූන් ප්‍රමුඛ කොටස් පියවර ගත්හ. එම ඉදිකිරීම් සිදු කෙරුනේ අධිකරනයෙන් පැන වූ වාරන නියෝගය ද නොතකමිනි.
2023 අගෝස්තු 18 දා, එතැනට රැස්වූ බෞද්ධ භික්ෂුන් සහ 'සැදැහැවතුන්' කන්ඩායමක් ආගමික පූජාවක් පවත්වන අයුරින් ප්‍රකෝපකරනයකට අර ඇඳූහ. විහාරස්ථානයේ නායකයා යැයි කියාගත් ගලිගමුවේ ශාන්තබෝධි භික්ෂුව, ඊට යාබද කෝවිලේ තයිපොන්ගල් සමරමින් සිටි දෙමල ජනයාට එය නවත්වන ලෙස තර්ජනය කල අතර, ලේවැකි ගැටුමක් වැලකී ගියේ පොලීසියේ මැදිහත්වීමෙනි.
මේ සියලුම ප්‍රකෝපරනයන්හි දී සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී කොටස් ගැම්ම ගනු ලබන්නේ, කොලඹ ධනපති පාලක පංතිය තම පාලනය ගෙන යාම සඳහා ආරම්භයේ සිට ම යොදාගත් දෘෂ්ටිවාදාත්මක අවිය වන සිංහල-බෞද්ධ අධිපතිවාදයෙනි.
'නිදහසෙන්' ක්ෂනික ඉක්බිත්තේ ම ලංකාවේ පාලක පංතිය, කම්කරු පංතිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමේ මෙම ප්‍රතිගාමී පිලිවෙත ක්‍රියාවට නැංවී ය. 1948 දී අගමැති ඩී.එස්.සේනානායකගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව, 'ඉන්දියානු සම්භවයක් ඇති' දෙමල ජනයාගේ පුරවැසිභාවය සහ ඡන්ද අයිතිය අහෝසි කෙරෙන 'පුරවැසි පනත' පාර්ලිමේන්තුව තුල සම්මත කරගත්තේ ය. 1953 දී අගමැති ඩඩ්ලි සේනානායකගේ එජාප ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහි ව පැන නැගි 'හර්තාලයේ දී', ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් වාර්ගික රේඛා කපා දමමින් ඒකාබද්ධ වනු දුටු පාලක පංතිය, වර්ගභේදවාදය වඩාත් ඉස්මත්තට ගැනීමට තීන්දු කලේය. සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී මැතිවරන උද්ඝෝෂනයක් තුලින් 1956 දී බලයට පැමිනි වහා ම, අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බන්ඩාරනායකගේ ආන්ඩුව, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ස්ථාපිත කලේ ය.
ට්‍රොට්ස්කිවාදී යැයි කියාගත් ලංකා සම සමාජ පක්ෂය (ලසසප), ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමග ඒකාබද්ධ වී කල 'මහා පාවා දීම' කෙතරම්දයත්, 1970 දී බලයට පත් ශ්‍රීලනිප-ලසසප-කොප සමගි පෙරමුනු ආන්ඩුව 1972 දී සම්මත කර ගත් නව ව්‍යවස්ථාව මගින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පමනක් නොව, බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස ද ස්ථාපිත කෙරුනි. ඊනියා විවෘත ආර්ථික පිලිවෙත යටතේ ශ්‍රී ලංකාව ලාභ ශ්‍රම වේදිකාවක් බවට පත් කිරීමේ දී කම්කරු පංතියෙන් එල්ල වන ප්‍රතිරෝධය මඩිනු වස්, විධායක ජනාධිපති ක්‍රමය සහිත ව, 1978 දී ජේ.ආර්.ජයවර්ධන ආන්ඩුව සම්මත කරගත් නව ව්‍යවස්ථාවට මෙම වර්ගවාදී සහ ආගම්වාදී වගන්ති වඩාත් ශක්තිමත්කොට අන්තර්ගත කර ගැනුනි.
අද දින, ගැඹුරුවන ගෝලීය ධනේශ්වර අර්බුදය හමුවේ, රටක් රටක් පාසා ධනපති පාලක පංතීන් ක්‍රියාත්මක කරන දැවැන්ත කප්පාදු වලට එරෙහි ව පංති අරගල මාලාවක් වැඩෙමින් පවතී. මෙම අරගල මැඩීමේ අරමුනෙන් ආඥාදායක පාලන රූපයන් වෙතට වේගයෙන් මාරු වෙමින් සිටින පාලක පංතීහු, එයට සමගාමී ව, කම්කරු පංතිය බෙදනු වස් වර්ගභේදවාදී ප්‍රකෝපකරනයන් ද රුදුරු ම මට්ටම් වලට නංවති.
ලංකාව එහි ඉහලම තුඩකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත රාජ්‍ය ව්‍යවසායන් 430 ක් ප්‍රතිව්‍යූහකරනය කිරීම අරඹා ඇති වික්‍රමසිංහ ආන්ඩුව, අධ්‍යාපනය සහ සෞඛ්‍යය පුද්ගලීකරනය වේගවත් කොට ඇත. එම කප්පාදු වලට එරෙහි ව පැන නැගෙමින් පවතින පංති අරගල තුල වාර්ගික රේඛා කපා දමමින් වඩවඩාත් ඒකාග්‍රවන සිංහල සහ දෙමල කම්කරුවන් භේද කිරීම, මෙම වාර්ගික ප්‍රකෝපකරනයන් ගේ අරමුනයි.
උතුරු-නැගෙනහිර පලාත්වල සිදුවන 'ආගමික ගැටුම් වලක්වාලීම' සඳහා අදාල පලාත්වල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කොමිටියක් ස්ථාපිත කරන බව පසුගිය සතියේ මහනුවරට කරන ලද සංචාරයක දී ජනාධිපති වික්‍රමසිංහ පැවසී ය. ඒ සැනින්ම ඔහු පැවසූ දෙයින් එහි වංචනිකත්වය හෙලි විය. වික්‍රමසිංහ මෙසේ කීවේය: “සියලුම බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීම අපේ පරම යුතුකම ලෙස අපි සලකනවා. එම චින්තනය තුල උතුරු ප්‍රදේශයේ කුරුන්දි විහාරස්ථානය මුහුනදෙන අභියෝගවලට ආමන්ත්‍රනය කිරීමට අපි කටයුතු කර තිබෙනවා.' මේ වනාහි, 'ආගමික ගැටුම් වලක්වාලීම' වෙනුවට, කුරින්දි විහාරය ඇතුලු උතුරු-නැගෙනහිර භූමි ප්‍රදේශයන්ට හිමිකම් කියන සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන්ගේ ප්‍රකෝපකරනයන්ට උඩගෙඩි දීමකි.
'බුදුදහම ආරක්ෂා කිරීමට අදාල' නව නීති සම්පාදනය කිරීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය මේ වන විට 'සැලකිය යුතු සාකච්ඡාවක' නිරත ව සිටින බව ද වික්‍රමසිංහ එහිදී සඳහන් කලේ ය. මෙය ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරන ලද බෞද්ධ අධිපතිවාදය තවදුරටත් ශක්තිමත් කිරීමේ ව්‍යායාමයකි.
කොලඹ සිංහල ධනපති පාලකයන්ගේ වාර්ගික සහ ආගමික ප්‍රකෝපකරනයන්ට සමගාමී ව ක්‍රියාත්මක වන උතුරු-නැගෙනහිර දෙමල ධනපති දේශපාලන පක්ෂ දෙමල ජාතිකවාදය වපුරමින්, වාර්ගික ආතතීන් උත්සන්න කිරීමට දැනුවත්ව වැඩ කරති.
සිංහල සහ දෙමල කම්කරුවන් මෙම වර්ගවාදී ප්‍රකෝපකරනයන්ට එක හෙලා විරුද්ධ වෙමින්, ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීම සඳහා, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට එක්ව සටන් කල යුතු ය. ඒ සඳහා අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන රූපයන් ලෙස, සියලු ධනපති පක්ෂ සහ වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ ක්‍රියාකාරි කමිටු ගොඩනැගීමට කම්කරුවන් පෙරට පැමිනිය යුතු ය.
සෑම වැඩපොලක ම, වතු යායක ම, නිවස්නා ප්‍රදේශයක ම සහ ගොවිබිමක ම ගොඩනගන එම කමිටුවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කම්කරුවන්ගේ සහ ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් කැඳවීමටත්, එහිදී ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ වැඩපිලිවෙල සාකච්ඡා කොට සම්මත කර ගනිමින් එය ක්‍රියාවට නැංවීමටත් සමාජවාදී සමානතා පක්ෂය (සසප) සටන් වදි.
වර්ගභේදවාදී සහ ආගම්වාදි ව්‍යවස්ථාව අහෝසි කොට, සියලු ජනවාර්ගික කොටස් වලට සමාන අයිතිවාසිකම් සහතික කල හැක්කේ, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන් එවන් කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි.