ෆැසිස්ට්වාදය සහ අධිරාජ්‍යවාදී යුද්ධය - කැනේඩියානු පාර්ලිමේන්තුව හිටපු යුක්රේනියානු නාසි එස්එස් සාමාජිකයාට ආචාර පැවැත් වූයේ ඇයි?

[මෙය Fascism and imperialist war—Why Canada’s parliament saluted Ukrainian Nazi SS veteran මැයෙන් 2023 සැප්තැම්බර් 26දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]

පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 22 දා) කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ සහ ඔහුගේ සම්භාවනීය ආරාධිතයා වූ යුක්රේනියානු ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ සමස්ත කැනේඩියානු පාර්ලිමේන්තුව ම ඇඩොල්ෆ් හිට්ලර්ගේ එස්එස් හෙවත් ෂුට්ස්ටෆෙල් (නාසි පක්ෂයේ ප්‍රධාන පැරාමිලිටරි ඒකකයක්-පරිවර්තක) සන්නද්ධ බලකායේ සාමාජිකයෙකුවූ දැන් 98 හැවිරිදි වියේ පසුවන යුක්රේනියානු ජාතික යරොස්ලාව් හුන්කාට තම අසුන්වලින් නැගී සිටිමින් ආචාර පැවත්වූයෝ ය. 1941 සිට 1945 කාල සමය තුල යුරෝපීය යුදෙවුවන් සමූලඝාතනය කිරීමේ දී ප්‍රධාන භූමිකාවක් ඉටු කලේ මෙම නාසි සංවිධානයයි.

ආන්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කරීනා ගුල්ඩ් (වමේ) සහ කතානායක ඇන්තනී රෝටා (දකුනේ) ඇඩොල්ෆ් හිට්ලර් ගේ ෂුට්ස්ටෆෙල් සංවිධානයේ සන්නද්ධ අංශයේ හිටපු යුක්රේනියානු ජාතික සාමාජිකයෙකු වන යරොස්ලාව් හුන්කාගේ අත් දරා ගෙන සිටිති. හුන්කාට පිටුපසින් මැද සිට ගෙන සිටින්නේ ඔහුගේ පුත්‍ මාටින් ය. [පින්තූරය: @karinagould] [Photo: @karinagould]

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පුපුරා ආ මහජන පිලිකුලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් දැන් කැනඩාවේ දේශපාලන සංස්ථාපිතය නිදහසට කරුනු සොයමින් එය වසන් කර දැමීමට උත්සහයක යෙදී සිටියි. අපට දැන් කියනු ලබන්නේ හුන්කාට ගෞරව දැක්වීමට කතානායක ඇන්තනී රෝටා පමනක් වගකිව යුතු අතර එය ඔහු අතින් සිදු වූ අහිංසක අත්වැරදීමක් බවයි.

“මගේ තීරනය සම්බන්ධයෙන් පසුතැවීමට හේතු වන කාරනා මට අනාවරනය වුනේ පසුවටයි,” යැයි රෝටා පැවසී ය. “මගේ සහෝදර පාර්ලිමේන්තු සභිකයන් සහ යුක්රේනියානු රාජ්‍ය තාන්ත්‍රික කන්ඩායම මගේ වැඩකටයුතු ගැන හෝ මා සඳහන් කල කරුනු -ඔහු විසින් හුන්කා හඳුන්වා දුන්නේ යුක්රේනියානු සහ කැනේඩියානු “වීරයෙකු” වශයෙනි- සම්බන්ධයෙන් පෙර දැනුවත් ව සිටියේ නෑ.”.

රෝටා සහ ටෲඩෝ හුන්කාගේ අතීත වාර්තාව ගැන දැන සිටියේ නැත යන්න පිලිගත නොහැක්කකි. සෙලෙන්ස්කිගේ කතාවකට සවන් දීමට පාර්ලිමේන්තුවේ විශේෂ සභා වාරයක් කැඳවීම පරිස්සමින් පෙර සැලසුම් කල යුතු වන්නා වූ වැදගත් දේශපාලන සිදු වීමකි. ඒ හා පැවැති සමරුවේදී ගෞරවයට ලක්වන්නවුන් කෙසේවෙතත්, සෙලන්ස්කිගේ කතාවට සවන් දීමට ආරාධනා ලැබූවන් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කල යුතු ව තිබුනි.

කැනේඩියානු පාර්මේන්තුව නාසි යුද අපරාධකාරයෙකු අසුන්වලින් නැගී සිටිමින් අත්පොලසන් දී පිලිගැනීම සිතා මතා සිදු කල ප්‍රකෝපකාරී ක්‍රියාවකි. මෙය සිදු වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ඇමරිකානු ජනාධිපති බිඩෙන් සහ ජර්මානු චාන්සලර් ඔලෑෆ් ෂොල්ස් යුදකාමී දේශනයන් පැවැත් වූ සහ සෙලන්ස්කි බිඩෙන් ඇතුලු ඉහල පෙලේ එක්සත් ජනපද නිලධාරීන් සමග යුද සැලසුම්වල නිමග්න වූ සතියක් අවසානයේ දී ය.

මහ ඉහලින් වග වර්නනා කරනු ලැබූ යුක්රේනියානු වසන්ත/ගිම්හාන ප්‍රහාරයේ පැහැදිලි අසාර්ථකත්වයට ප්‍රතිචාර වශයෙන් වොෂින්ටනය සහ නේටෝ සහචරයන් යුද්ධය උත්සන්න කිරීමට මේ වන විට ගනු ලබමින් සිටින තීන්දු තීරනවල පිලිකුල්සහගත ප්‍රතිපලයකි, සැප්තැම්බර් 22 දා සිදුවීම්.

බිඩෙන්, ටෲඩෝ සහ සෙසු නේටෝ අධිරාජ්‍යවාදී නායකයෝ දැන් එලිපිට කතා කරන්නේ “අවශ්‍ය කෙරෙන තරම් කාලයක් කර ගෙන යන”, “දිග් ගැස්සුනු යුද්ධයක්” ඔවුන් විසින් ගෙන යනු ඇති බවයි. මොස්කෝවේ තන්ත්‍ර මාරුවක් සහ රුසියාව අර්ධ යටත් විජිතයක් ලෙස යටත් කර ගැනීම අරමුනු කරගැනීමේ අර්ථයෙන් ඔවුන් සඳහන් කරන “මූලෝපායික පරාජයක්” අත්කරදීමට, යුක්රේනයට වහා ම නේටෝ බලකායන් ගොඩබස්වා රුසියාව සමග ඍජු ගැටුමකට යාම ඉල්ලා සිටිනු ඇත.

යුක්රේනියානු නාසි සෙබලාට අසුන්වලින් නැගී සිට ආචාර පැවැත් වීමේ අර්ථය වන්නේ, නේටෝ බලයන් තමන් “ඕනෑ ම සීමාවක් ඉක්මවා යාමට” සූදානම් බවට රුසියානු ආන්ඩුවට පනිවිඩයක් ලබාදීම යි.

මෙම සිදුවීම දෙවැනි ලෝක යුද්ධයට ක්ෂනික ඉක්බිත්තේ කැනේඩියානු රාජ්‍යය සහ යුක්රේනියානු අන්ත දක්ෂිනාංශය අතර ශක්තිමත් කෙරුනු සන්ධානයේ කූටප්‍රාප්තිය යි. දෙ වැනි ලෝක යුද්ධයෙන් අනතුරු ව කැනඩාව දස දහස් ගනනින් යුක්රේනියානු නාසි හවුල්කරුවන්ට තම දොරටු විවර කලේ ය. මේ අතර උසස් ම නිලයන් හැරුනු කොට සම්පූර්න වශයෙන් යුක්රේනියානුවන්ගෙන් සමන්විත වූ ෂුට්ස්ටෆෙල් සන්නද්ධ අංශයේ 14 වැනි ගැලීෂියානු සේනාංකයේ සහ යුක්රේනියානු ජාතිකවාදීන්ගේ සංවිධානයේ (ඕයූඑන්) කන්ඩායම් දෙකේ ම ආධාරකරුවන් [1929 දී වාර්ගික ව පිරිසිදු යුක්රේනියානු රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ අරමුනින් බිහි කරන ලද ඕයූඑන් 1940 දී ආන්ද්රි මෙල්නික් සහ ස්ටෙපාන් බන්ඩේරා ගේ නායකත්වයෙන් යුතු කන්ඩායම් දෙකකට බෙදුනි. -පරිවර්තක] 2000ක පිරිසක් ද විය. හුන්කා ද ඔවුන් අතරින් එකෙකි.

යරොස්ලාව් හුන්කා (ඉදිරි පෙල මැද) නාසි ෂුට්ස්ටෆෙල් සන්නද්ධ අංශයේ ගැලීෂියානු සේනාංකයේ භට කන්ඩායම් අතර. [පින්තූරය: අයිවන් කැචනොව්ස්කි /Twitter or X] [Photo: Ivan Katchanovski/Twitter or X]

කැනඩාව, දෙ වැනි ලෝක යුද්ධය ආරම්භයේ දී තම අනුදැනුම මත පිහිටවනු ලැබූ යුක්රේනියානු කැ‍නේඩියානු කොංග්‍රසය (යූසීසී) සමග සමීප ව වැඩ කරමින් යුක්රේනියානු ෆැසිස්ට්වාදීන් තම සීතල යුද ප්‍රතිපත්තියේ මෙවලමක් වශයෙන් යොදා ගත්තේ ය.

මෑත දශකවල දී, කැනේඩියානු ආන්ඩුව වොෂින්ටනය සහ එහි නේටෝ සගයන් සමග යුක්රේනය නේටෝ සංවිධානයට සහ යුරෝපියානු සංගමයට ගැට ගැසීමට පෙර කවදාටත් වඩා ආක්‍රමනශීලී ව වැඩ කරද්දී එහි යූසීසීය සහ යුක්රේනියානු අන්ත දක්ෂිනාංශය සමග සන්ධානය ද පෙර කවරදාටත් වඩා කැනේඩියානු විදේශ ප්‍රතිපත්තියට වැදගත් වී ඇත. නියෝජ්‍ය අගමැති සහ මුදල් ඇමති ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් තුල මේ සම්බන්ධය පුද්ගලාරෝපනය කෙරී තිබේ. ආන්ඩුවේ ප්‍රධාන ම යුද උම්මන්තකයා වන ෆ්‍රීලන්ඩ් ඇගේ තරුන වියේ පටන් ම යූසීසීය සමග සබඳතා පවත්වා ඇත. ඇගේ මව ගේ පියා නාසි පාලනය යටතේ පල කෙරුනු එක ම යුක්රේනියානු පුවත්පත වන ක්‍රාකිව්ස්කි වීස්ටි හි සංස්කාරකවරයා විය. මෙම පුවත්පත ෂුට්ස්ටෆෙල් සන්නද්ධ අංශයේ 14 වැනි ගැලීෂියානු සේනාංකය ස්ථාපිත කිරීම වෙනුවෙන් පෙනී සිටියේ ය.

යුද්ධය උත්සන්න කිරීම යුක්රේනියානු ෆැසිස්ට්වාදය පුනරුත්ථාපනය කිරීමේ ක්‍රමානුකූල උත්සහය සමග බැඳී පවතින බවට වඩාත් ම නරක ම උදාහරනය වන්නේ කැනේඩියානු පාර්ලිමේන්තුව හුන්කාට අත්පොලසන් දීමයි.

ජූනි 29 දා, ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය තම ස්ලාවියානු භාෂා සහ සාහිත්‍ය දෙපාර්තමේන්තුව සහ යුක්රේනියානු ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ රැස්වීමක දී නව නාසි යුක්රේනියානු අසොව් බලකායට වේදිකාවක් සම්පාදනය කර දුන්නේ ය. නාසීන්ගේ වුල්ෆ්ස්ඇන්ගල් ලාංඡනය දැනුවත් ව අනුයමින් සැලසුම් කර ඇති අසොව් බලකායේ නිල ලාංඡනය වැනි ෆැසිස්ට් ලාංඡන මෙම රැස්වීම විශ්වවිද්‍යාලය තුල ප්‍රවර්ධනය කිරීමට යොදා ගනු ලැබුනි.

පසුගිය වසරේ දී, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රධාන පක්ෂ දෙකේ ම ප්‍රධාන පෙල සාමාජිකයෝ වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ලේ දී (කොංග්‍රස් සභා ශාලාව) අසොව් බලකායේ ඉහල පෙල සෙබලුන් මුන ගැසුනෝ ය.

අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ පුපුරා ඒමත් සමග ෆැසිස්ට්වාදය පුනරුත්ථාපනය විශේෂයෙන් ම ජර්මනියේ දී ඉදිරියෙන් සිටියි. 2014 ආරම්භයේ දී, දේශපාලන ප්‍රභූවේ සහ මාධ්‍ය සංස්ථාපිතයේ අනුබලය ලද ප්‍රධාන පෙල ශාස්ත්‍රාලිකයන් පිරිසක් මිලියන 6ක් යුදෙවුවන් සමූලඝාතනය සහ සෝවියට් සංගමයට එරෙහි “සංහාරක යුද්ධය” ඇතුලත් ලෝක යුද්ධ දෙක තුල දී ජර්මානු අධිරාජ්‍යවාදයේ බිහිසුනු අපරාධවලට සුදු හුනු ගෑමේ ව්‍යාපාරයක් දියත් කලහ.

ආරම්භයේ පටන් ම, ජර්මානු අධිරාජ්‍යවාදයේ අපරාධ සාපෙක්ෂකරනය හරහා ඒවායේ සාපරාධීත්වය හෑල්ලු කිරීම මෙහෙය වුනේ ජර්මානු කොල්ලකාරී විදේශ ප්‍රතිපත්තිය එනම්, “වෙල්ට්පොලිටික්” ප්‍රතිපත්තිය යලි පන ගැන්වීමත් සමග ය. යුක්රේන යුද්ධය සමග බර්ලිනය නැවතත් තම උල් දත් විලිස්සා ඇත. රුසියාව යටපත් කර එහි ස්වභාවික සම්පත් කොල්ල කෑමට පසුගිය සියවසේ දෙවතාවක් උත්සහ දරා අසමත් වූ ජර්මානු අධිරාජ්‍යවාදය නැවතත් මෙම කටයුත්තෙහිලා ප්‍රධාන භූමිකාවක් අත්පත් කර ගනිමින් මිලිටරි විදයම් අති දැවැන්ත වශයෙන් ඉහල දමා ඇත.

තම කොල්ලකාරී අභිලාෂයන් හඹා යාමේ දී හුන්කා වැනි ෆැසිස්ට් සමූලඝාතකයන් වැලඳ ගැනීමට අධිරාජ්‍යවාදී බලයන්ගේ පාලක ප්‍රභූන් එලවනු ලබන ධනවාදයේ ප්‍රතිවිරෝධතා ම මෙම උමතුව නවතාලිය හැකි එක ම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය ද විප්ලවවාදී අරගලවලට පෙරට ඇද දමයි.

හැම රටක ම කම්කරුවෝ පාලක ප්‍රභූන් විසින් යුද්ධයේ විදයම් සහ මූල්‍ය කතිපයාධිකාරියේ වැඩි දුර තර වීම තමන් මතින් පියවා ගැනීමට එරෙහි ව කැරලි ගසන්නේ දශක ගනනාවකින් පසු විශාලත ම මහජන විරෝධතා සහ ප්‍රධාන වැඩවර්ජන රැල්ල දියත් කරමිනි. හදිසි කර්තව්‍ය වන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධය සහ ෆැසිට්වාදයේ අනතුර ද ඒවා නිෂ්පාදනය කරන ධනවාදී පද්ධතියද අවසන් කර දැමීමට සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක පදනම මත ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට කෙරෙන සටන සමග මෙම අරගල ඒකාබද්ධ කිරීම යි.