යුද්ධයෙන් විනාශයට පත් උතුරේ මුලතිව් හි දිසා විනිසුරු ටී. සරවනරාජා පසුගිය මාසයේ ජීවිතයට එල්ල වී ඇති “තර්ජන” සහ ඒ හේතුවෙන් ඇති වූ “ආතතිය” නිසා සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී රට හැර ගොස් ඇත. තම ඉල්ලා අස්වීම දන්වමින් විනිසුරුවරයා සැප්තැම්බර් 23 වැනි දින එම හේතු දක්වා කෙටි ලිපියක් අධිකරන සේවා කොමිෂන් සභාවට යවා තිබේ.
තමන්ට මරන තර්ජන එල්ල වූයේ කාගෙන්ද යන්න සරවනරාජා මෙම ලිපිය තුල පැහැදිලි කර නැත. කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එක්ස්/ට්විටර් හි පල වූ සටහනක, කුරුඳුමලේ මතභේදයට තුඩු දී ඇති පුරාවිද්‍යා භූමියක් සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව ආපසු හැරවීමට ඔහුට බලපෑම් එල්ල වීම, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් [වීරසේකර]ගෙන් එල්ල වූ තර්ජන සහ කුරුඳුමලේ සම්බන්ධයෙන් ඔහු දුන් නියෝග අවලංගු කරන ලෙස ඉල්ලා කොලඹ අභියාචනාධිකරනයේ රිට් ආඥා ඉල්ලා පෙත්සම් ඉදිරිපත් කිරීම, ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව සඳහන් කර ඇත.
විනිසුරුවරයා විවාදයට ලක්ව ඇති කුරුඳුමලේ පුරාවිද්‍යා භූමිය ගැන වාර්ගික ව මතභේදාත්මක නඩුවක් විභාග කරමින් සිටියේ ය. මෙම ස්ථානයේ හින්දු ආගමික ස්ථානයක් පවත්වා ගෙන යාම පිලිබඳ ව දෙමල ජනයාට එරෙහි ව සිංහල-බෞද්ධ වර්ගවාදී කන්ඩායම් විසින් ප්‍රකෝප කිරීම් සිදු කර ඇත. එය පුරාන බෞද්ධ විහාරස්ථානයක් බව ඔවුහු කියති. ශතවර්ෂ ගනනාවක් තිස්සේ දෙමල හින්දු භක්තිකයින්ට එහි ආගමික වතාවත් පවත්වන ස්ථානයක් පැවත තිබේ. නඩුව අවසන් වනතුරු මතභේදයට තුඩු දී ඇති ස්ථානයේ බෞද්ධ විහාරස්ථානයේ ඉදිකිරීම් තහනම් කරමින් විනිසුරුවරයා තීන්දුවක් දුන්නේ ය.
උතුරේ හා නැගෙනහිර පුරාන බෞද්ධ සිද්ධස්ථාන සෙවීමට උද්ඝෝෂනය කරන භික්ෂූන්ගේ සහ සිංහල අන්තවාදී පිවිතුරු හෙල උරුමය සහ ජාතික නිදහස් පෙරමුන වැනි අන්තවාදී කන්ඩායම්වල විනිසුරු කෙරෙහි ඇති වෛරය ඔහුගේ තවත් තීන්දුවක් නිසා උග්‍ර වී තිබේ. එය නම්, ඉන්දීය හමුදා ආක්‍රමනයෙන් පසු ව, 1987 දී උපවාසයක් අතරතුර දී මිය ගිය දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ නායකයකු වූ තිලීපන් සැමරීම තහනම් කරන ලෙසට පොලිසිය කල ඉල්ලීමක් ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමයි.
මුලතිව්හි කොක්කුතොඩ්ඩුවායි ප්‍රදේශයෙන් මෑතක දී සොයාගත් සමූහ මිනීවලක් කනින ලෙස සරවනරාජා ජූලි 6 වැනිදා නියෝග කලේ ය. යුධ සමයේ දී හමුදාව විසින් ඝාතනය කරන ලද එල්ටීටීඊ සාමාජිකයින්ගේ යැයි සැලකෙන මල සිරුරු 17 ක් පමන එහි දී ඒ වන විට සොයා ගෙන තිබුනි.
ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ආන්ඩුව විනිසුරුවරයාට ම චෝදනා කරයි. කෙසේ වෙතත්, විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පෙන්නුම් කෙරන්නේ, ආන්ඩුවේ සහ මිලිටරියේ පිටුබලය ලබමින් වර්ගවාදී කන්ඩායම් අඛන්ඩ ව තීව්‍ර වන දෙමල-විරෝධී ස්වෝත්තමවාදී ව්‍යාපාරයක් ගෙනයාම යි.
ජාතිවාදී කන්ඩායම් කුරුන්දිමලෙයි සම්බන්ධයෙන් ක්‍රියා කලේ හමුදාවේ සහ ආන්ඩුවේ ඇමැතිවරුන්ගේ සහයෝගය ඇති ව ය. නීතිපති දෙපාර්තමේන්තු නිවේදනය උපුටා දක්වමින් සිලෝන් ටුඩේ පුවත්පත සඳහන් කලේ, මුලතිව් විනිසුරුවරයා විසින් ලබා දී ඇති නඩු තීන්දු අසද්භාවයෙන් සිදුකර ඇති නිසා ඒවා ප්‍රතික්ෂේප කර රිට් ආඥා නිකුත් ලෙස ඉල්ලා කොලඹ අභියාචනාධිකරනයේ අයදුම්පත් තුනක් ගොනු කර ඇති බවයි.
විනිසුරුවරයාට තර්ජනය කිරීමට එරෙහි ව විරෝධය දක්වමින් පසුගිය සතිවල යාපනය, මුලතිව්, කිලිනොච්චි සහ කොලඹ ඇතුලු රටේ නගර කිහිපයක නීතිඥවරු සිය ගනනක් උද්ඝෝෂන පැවැත්වූහ.
අධිකරනයට එල්ල වන තර්ජන නතර කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. 'අධිකරන සාමාජිකයින්ට එරෙහි ඕනෑම ආකාරයක තර්ජන සහ ප්‍රචන්ඩත්වය හෙලා දකින බවත් එබඳු ක්‍රියා නොකරන ලෙසත්' ශ්‍රී ලංකා නීතීඥ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඔවුන් මේ බව කියා සිටියේ මුලතිව් හිටපු විනිසුරුවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී කල විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
වෘත්තීය සමිති විසින් ආන්ඩුවේ දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ගොනු කර ඇති නඩු ගැන සඳහන් කරමින්, මීට පෙර ජනාධිපති වික්‍රමසිංහ අධිකරනයට අනතුරු අඟවා තිබුනි. ආන්ඩුව, 'පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිදු පාර්ශ්වයක නියෝග හෝ උපදෙස් ගනන් නොගන්නා බව' ඔහු කීවේය. එමගින් ඔහු අධිකරනයට දුන් පනිවුඩය නම්, එය පාලන තන්ත්‍රය සමග මුලුමනින්ම පෙලගැසී සිටිය යුතු බවයි.
නීතිඥ විරෝධතා මධ්‍යයේ ඔක්තෝබර් 3 වැනිදා, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීමට හේතු සොයා බලන ලෙස පොලිස් අපරාධ විමර්ශන අංශයට නියෝග කලේය.
කෙසේ වෙතත්, අමාත්‍යවරයා ඔක්තෝබර් 8 සන්ඩේ මෝනිං පුවත්පතට මෙසේ පැවසීය: “අප සම්බන්ධයෙන් ගත් කල, එමෙන්ම, මෙතෙක් විමර්ශනයෙන් හෙලි වී ඇති කරුනු අනුව, ඔහුට (විනිසුරුවරයාට) කිසිසේත්ම තර්ජනයක් එල්ල වී නැහැ. ඉදිරියේ දී, මට වැදගත් තොරතුරු එලිදරව් කරන්න පුලුවන් වේවි.”
එවැනි බලපෑම් කරන පුද්ගලයින්ට එරෙහි ව නොතිසි නිකුත් කිරීමට සහ ක්‍රියාමාර්ග ගැනීමට විනිසුරුවරුන්ට බලතල ඇති බව අධිකරන හා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැවසීය. සරවනරාජා මෙම ක්‍රියාමාර්ග නොගත් නිසා “ඔහුගේ ක්‍රියාවන්හි වගකීම ඔහු ම භාරගත යුතුය” යි රාජපක්ෂ අවධාරනාත්මක ව කියා සිටියේය
ඇමතිවරුන්ගේ මෙම ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ, ඕනෑම පොලිස් “පරීක්ෂනයක” අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ වින්දිතයාට දොස් පැවරීම බව යි.
2009 මැයි මාසයේ දී, දශක තුනකට ආසන්න යුද්ධය අවසන් කරමින් එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු ව පවා, උතුරු හා නැගෙනහිර තවමත් ලක්ෂ සංඛ්‍යාත සොල්දාදුවන් වාඩි ලා ගෙන සිටින ප්‍රදේශ ලෙස පවතී. පොලිස් සහ හමුදා බුද්ධි අංශ නිලධාරීයෝ දේශපාලන ක්‍රියාකාරීන් සහ සිවිල් වැසියන් පිලිබඳවද සෝදිසි කිරීම් වල නිරත ව සිටිති. “එල්ටීටීඊය තහනම් සංවිධානයක්” ය යන මුවාවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් යුද්ධයේදී මියගිය කොටි සාමාජිකයන් සහ සිවිල් වැසියන් සැමරීම තහනම් කර ඇත.
බෞද්ධ භික්ෂූන් ප්‍රමුඛ වර්ගවාදී කන්ඩායම් සහ කොලඹ පාලන තන්ත්‍රවල පිටුබලය ඇති මිලිටරිය, සිංහල-බෞද්ධ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා රටේ උතුරු හා නැගෙනහිර තම කටයුතු තීව්‍ර කර ඇත. ඊනියා පෞරානික බෞද්ධ වෙහෙර විහාරස්ථාන සෙවීමේ සමීක්ෂන ඒ අතරින් එකකි.
විනිසුරුවරයා විසින් නොපවත්වන ලෙස නියෝග කර තිබුන ද, ජූලි 4 වැනි දින අදාල ස්ථානයේ පැවැත්වුනු බෞද්ධ උත්සවයක් සඳහා රැස්ව සිටි පිරිස අතර ආන්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ද සිටියේ ය. ජූලි 7 දා පාර්ලිමේන්තුව ඇමතූ වීරසේකර, සරවනරාජා දැඩි ලෙස විවේචනය කරමින් අනතුරු ඇඟවීය: “මෙය සිංහල බෞද්ධ රටක් බව අපි මේ මහේස්ත්‍රාත්වරයාට මතක් කිරීමට කැමතියි.” ඔහු සිය කතාව අවසන් කලේ, “අපි අපේ ජීවිත පරිත්‍යාග කරමින් මේ [බෞද්ධ] උරුමය ආරක්ෂා කරනවා” යනුවෙන් පවසමින් 'දේශප්‍රේමී' ජනතාවට ඒ සඳහා එක්වන ලෙස ඉල්ලා සිටිමිනි.
ආන්ඩුවේ අනුග්‍රහය ඇතිව දැන් ක්‍රමානුකූලව තීව්‍ර වෙමින් පවතින්නේ එවැනි දරුනු වර්ගවාදී ප්‍රචාරයකි. වික්‍රමසිංහ තන්ත්‍රයට සහ සමස්තයක් ලෙස පාලක ප්‍රභූවට මෙ මගින් අවශ්‍ය වී ඇත්තේ කම්කරු පන්තිය බෙදීමට හා දුර්වල කිරීමට ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), පෙර නොවූ විරූ කප්පාදු පියවර ක්‍රියාත්මක කරන බවට ආන්ඩුව ප්‍රතිඥා දීමෙන් පසු, කොලඹට ඇප නය ලබා දී ඇත. පසුගිය මාසයේ, එය පැනවූ කොන්දේසි කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ආන්ඩුව අපොහොසත් වීම හේතුවෙන්, ජාමූඅ දෙවන වාරිකය රඳවා තබා ගත්තේය. ජාමූඅ තෘප්තිමත් කිරීම සඳහා වික්‍රමසිංහ තන්ත්‍රය දැන් ජීවන සහ සමාජ කොන්දේසි මත සිය ප්‍රහාර උත්සන්න කල යුතුම ය.
රට පුරා කම්කරුවන්ගේ හා දුගීන්ගේ නැගී එන ඒකාබද්ධ අරගලයක් ගැන එය තැතිගැනී සිටියි. පසුගිය වසරේ අප්‍රේල්-ජූලි සමයේ ඇති වූ මහජන නැගිටීමේ දී සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ හා දුගීන්ගේ ඒකාබද්ධ අරගලය නිසා රටින් පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වීමට සිදු විය. අන්තර්කාලීන ධනේශ්වර පාලනයක් සඳහා වූ විපක්ෂයේ ඉල්ලීමට අරගලය යටත් කිරීමට ක්‍රියාකල වෘත්තීය සමිති විසින්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ වාම කන්ඩායම්වල සහාය ඇති ව, මෙම මහජන අරගලය පාවා දෙන ලදී.
ආර්ථික අර්බුදය සහ කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන විරුද්ධත්වය මධ්‍යයේ, ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීම සඳහා සිංහල ස්වෝත්තමවාදය ඇතුලු, අවි ගබඩාවේ ඇති සෑම දුෂ්ට අවියක් ම අතට ගැනීමට පාලක පන්තිය සූදානම් ය.
ඒ අතරම, වික්‍රමසිංහ තන්ත්‍රය කම්කරු පන්තියේ ප්‍රතිරෝධය තලා දැමීම සඳහා ඒකාධිපති පාලනයක් තහවුරු කිරීමට සූදානම් වෙමින් කුරිරු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිලිබඳ පනත් කෙටුම්පත සහ ප්‍රති-ත්‍රස්ත නීති ඉදිරිපත් කර ඇත.
ප්‍රධාන දෙමල ධනේශ්වර පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ඉල්ලා අස්වූ විනිසුරුවරයාට එල්ල කරන තර්ජන හෙලා දකිමින් “නිසි පරීක්ෂනයක්” ඉල්ලා සිටියේ ය. ඔහු තවදුරටත් මෙසේ ප්‍රකාශ කලේ ය: “ආන්ඩුව මේ කාරනයේ දී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහභාගීත්වයෙන් කටයුතු කල යුතුයි. එසේ කිරීමෙන් ආන්ඩුවට එහි විනිවිදභාවය සහ වගවීම සහතික කල හැකියි.”
අනෙකුත් දෙමල පක්ෂ ද සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලා සිටියි. දෙමල පක්ෂ සාමාන්‍යයෙන් “ජාත්‍යන්තර ප්‍රජාව” යනුවෙන් ආමන්ත්‍රනය කරන්නේ එක්සත් ජනපදය සහ අනෙකුත් යුරෝපීය අධිරාජ්‍යවාදී රටවලට ය.
මෙම පක්ෂ විනිසුරුවරයා ඉල්ලා අස්වීම පිලිබඳ සිද්ධිය ද යොදාගෙන ඇත්තේ එක්සත් ජනපදයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ඇතිව දෙමල ජනයාට තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කර ගැනීමේ විසඳුම් සෙවිය හැකිය යන මිත්‍යාව වැපිරීමටයි.
යුද අපරාධ සහ යටත් විජිත පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කුරිරු වාර්තාවක් ඇති අධිරාජ්‍යවාදී බලවත්තු, ඔවුන්ගේ ම රටවල කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යටපත් කරති. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ගෙන ඒම සඳහා ඔවුන් ලංකාවේ යුද අපරාධ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීම නරුම ලෙස යොදා ගත්තේ දෙමල ජනතාවගේ හෝ පොදුවේ ලංකාවේ මහජනයාගේ ගේ අයිතීන් ආරක්ෂා කිරීමට නොව, තම භූ දේශපාලනික අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට ය.
කොලඹ ආන්ඩුවට බලපෑම් කොට, තම අවශ්‍යතා තහවුරු කර ගැනීම එක්සත් ජනපදය හා යුරෝපීය රටවල් සමග පෙලගැසෙන ලෙස කෙරෙන මෙම යෝජනාවලට දෙමල පක්ෂ සහාය දුන්නේ ය. දෙමල පක්ෂ එක්සත් ජනපදය ඇතුලු මහබලවතුන් සමග පෙලගැසී සිටින්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලතල බෙදීම පුලුල් කර ගැනීමට ඔවුන්ගේ සහාය ලබා ගැනීම සඳහාය.
දෙමල හෝ වෙනත් ජන කොට්ඨාසයක ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන මහ බලවත්තු උනන්දු වෙති ය යන මිත්‍යාප්‍රවාදය දෙමල කම්කරුවන් සහ දුගීන් ප්‍රතික්ෂේප කල යුතුය. මේ වන විට එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ජන සංහාරක ප්‍රහාරයට මුලුමනින් ම සහාය දක්වයි.
කම්කරු පන්තිය සෑම ආකාරයක ම වාර්ගික දේශපාලනය ප්‍රතික්ෂේප කල යුතු ය. දෙමල මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගත හැක්කේ ධනවාදයට එරෙහි ව ග්‍රාමීය දුගීන් පෙලගස්වා ගන්නා කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයකින් පමනි. එවන් ඒකාබද්ධ අරගලයකින්, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමුහාන්ඩුවක මූලෝපාය සඳහා සමාජවාදී සමානතා පක්ෂය සටන් කරයි.