[මෙය Sri Lanka: IMF demands sacrifice, warns of “potential labour unrest” මැයෙන් 2025 මාර්තු 11දා පල කල ලිපියේ පරිවර්තනය යි.]
මාර්තු 4දා පැවති මාධ්‍ය හමුවක් ඇමතූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) ශ්‍රී ලංකාව සඳහා අයිඑම්එෆ් ජ්‍යෙෂ්ට දූත මන්ඩල ප්‍රධානී පීටර් බෘවර්, ජනතා විමුක්ති පෙරමුනේ/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ අයවැය කප්පාදුවලට එරෙහිව නැගෙන කම්කරු පන්තික අරගල ගැන උත්සුකතා ඉස්මතු කලේ ය.
මාධ්‍ය හමුව පවත්වන ලද්දේ, 2023 වසර මුල දී ශ්‍රී ලංකාවට ජාමූඅ විසින් අනුමත කරන ලද ඩොලර් බිලියන 3ක ඇප නයෙහි හතරවැනි වාරිකය නිදහස් කිරීම නිවේදනය කිරීමට ය. අයිඑම්එෆ් ඇනවූ කප්පාදු පියවරයන් සමග මුලුමනින්ම අනුකූලවන 2025 වසරේ අයැවය යෝජනා, පෙබරවාරි 7දා ජනාධිපති දිසානායක විසින් ඉදිරිපත් කෙරුනි.
“විශේෂයෙන් ම වෛද්‍ය ක්ෂේත්රය තුල පැනනැගෙමින් පවතින කම්කරු කැලඹීම” ගැන අදහස් දක්වන ලෙස,මාධ්‍යවේදියෙක් බෘවර්ගෙන් ඉල්ලා සිටියේ ය.මෙහිදී අවධානය යොමු කෙරුනේ, දිසානායකගේ අයවැයෙන් යෝජිත රුදුරු දීමනා කප්පාදුවලට විරෝධය දක්වනු වස්, මාර්තු 5දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) තර්ජනය කර තිබූ එක්-දින වැඩ වර්ජනය වෙතය. සාමාජිකයින් මාර්තු 6දා වැඩ වර්ජනය කරන බව ඊට දිනකට පෙර සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය (සෞවෘසස) නිවේදනය කර තිබුනේ ය.
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින්, බෘවර් මෙසේ කීවේ ය: “මම හිතන්නේ ඒක (කම්කරුවන් අතර නොසංසුන්තාව) සිදුවිය හැකි එකක් කියලා. [එහෙත්]මේ අයවැයෙන්, ආන්ඩුවට සහ අපට පැවැති සමහර උත්සුකතාවන්ට ආමන්ත්රනය කිරීමට සැබෑවටම උත්සාහ කලා.”
“සමාජයේ දුප්පත් ස්ථරයට” අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමට “හැකි සෑම කෙනෙක් ම කැප කිරීම අවශ්‍ය” යි යනුවෙන් ඔහු තවදුරටත් කීවේ ය. වෙනත් වචනවලින් කිවහොත්, සෞඛ්‍ය කම්කරුවන් හා කම්කරු පන්තියේ අනෙකුත් කොටස්, කප්පාදු ගැන පැමිනිලි කිරීම නැවැත්විය යුතු ය.
දුගීන් වෙනුවෙන් “හැකි අය කැප කිරීම් කල යුතු” යි යන බෘවර්ගේ ඉල්ලීම , නරුම මෙන් ම ව්‍යාජ ය. සමාජයෙහි දුගී ම කොටස්වලට අත්‍යවශ්‍ය සේවාවන් සම්පාදනය කෙරෙන බවට තහවුරු කිරීම සමග මෙලෝ සම්බන්ධයක් නැති අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලෙහි ඉලක්කය වන්නේ, 2022 අප්‍රේල් මාසයේ ලංකාවේ ආර්ථික බිඳවැටීම මධ්‍යයේ කොලඹ ආන්ඩුව විසින් පැහැර හරින ලද විදේශ නය ගෙවීම සහ මහා ව්‍යාපාරික ලාභ පුම්බා තැබීම යි.
ඉහල ම සියයට 20 මත ආදායම් බදු වැඩිකරන අතරේ, දිග් ගැස්සුනු වැටුප් ප්‍රශ්නවලට ආමන්ත්රනය කිරීමට හා රාජ්‍ය අංශ කම්කරුවන් ඇතුලු “අවම වසයෙන් ආදායම් උපයන ඇතම් අයගේ” පුද්ගලික ආදායම් බදු සීමා අඩු කිරීමට අයවැය “උත්සාහ දැරූ” බව බෘවර් කීවේ, ය.
මෙම කියාපෑම් ප්‍රෝඩාකාරී ය. අවසන් වැටුප් ඉහල දැමීම්වලින් වසර දහයක පරතරයට පසු ව, පහල ම ශ්‍රේනියේ රාජ්‍ය සේවකයින්ට අයවැය මගින් රුපියල් 8,250ක ශුද්ධ වැඩි කිරීමක් -අනෙක් ශ්‍රේනිවලට ඊට වඩා යාන්තම් වේතන වැඩිවීමක්ද ඇතුලුව- යෝජනා කරයි. ඒ ද ලැබෙන්නේ, එලැඹෙන අප්‍රේල් මාසයෙන් ආරම්භ කොට වසර තුනක කාලයක් ඇතුලත කොටසින් කොටස ය. පසුගිය වසර දෙක පුරා වෘත්තීය සමිතිවල සීමිත ඉල්ලීම වී ඇත්තේ, රුපියල් 20,000-25,000 අතර වැටුප් වැඩි කිරීමකි.
අයැවය තුල නිවේදනය කරන දැවැන්ත උද්ධමනය හමුවේ කිසිසේත් නො සෑහෙන වැටුප් වැඩි කිරීම්, රාජ්‍ය වියදම් කපාහැරීම සඳහා ජාමූඅ කරන විධානයන් සමග එක පෙලට පිහිටයි.
ජාමූඅ කාර්යය මන්ඩලය ලංකාව පුරා සංචාරය කර, වතු කම්කරුවන් ඇතුලු සමාජයේ දුගී ම කොටස් හමු වී, ඔවුන්ගේ ඉරනම දැකගත් බව, දුගීන් වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලමින් බෘවර් මාධ්‍යයට කීවේ ය.
මෙය මුලුමනින් ම ව්‍යාජ ය. ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ අනුකම්පා විරහිත ඒජන්සියක් වන අයිඑම්එෆ්, එකතු කල අගය මත බද්ද (වැට්) සියයට 12 සිට 18 දක්වා වැඩි කරන ලෙසත්, විදුලිබලයේ හා ජලයේ පිරිවැය ඉහල දමන ලෙසත්, හිටපු වික්‍රමසිංහ පාලනයට නියෝග කලේ ය.
ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් පවත්වාගෙන යන එම කප්පාදු පියවරයන්, දුප්පත් ජනයා තවදුරටත් අගාධයට තල්ලු කරමින් තිබේ. සංගත බදු අනුපාත සියයට 15 හා 30 අතර පවත්වාගෙන යන දිසානායකගේ අයවැය, නව ධන හෝ දේපොල බදු යෝජනා නොකරනවා පමනක් නොව, මහා ව්‍යාපාරිකයන්ට හා ආයෝජකයන්ට වඩා වැඩි සහන පවා සම්පාදනය කරමින් සිටී.
“ජනතාවට දැවැන්ත බරක්” පැටවූයේයැයි බෘවර් කියන “2022 යෝධ අර්බුදය” ගැන වෙත අවධානය යොමුකරන අතරේම, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ කප්පාදු පියවරයන් ඔහු විසින් ආරක්ෂා කෙරුනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව බලයෙන් ඇද දැමූ ආන්ඩු-විරෝධී මහජන නැගිටීම ගැන සඳහනක් වන, “2022 යෝධ අර්බුදය” ගැන සඳහන් කරනවිට, අයිඑම්එෆ්හි උත්සුක වන්නේ දුගීන්ගේ ඉරනම ගැන නොව, ලංකාව තම විදේශ නය ආපසු ගෙවන බව සහතික කරගැනීමටයි. ජනාධිපති ධූරයට පත් කරගන්නා ලද, එක්සත් ජනපද-ගැති හා කුප්‍රකට අයිඑම්එෆ් කප්පාදු (මහජනයා මත) පටවන්නෙකු වන රනිල් වික්‍රමසිංහ ඉදිරියට දැමීම සඳහා, අයිඑම්එෆ් වෙහෙස නොතකා වැඩ කලේ ය.
විපක්ෂ සමගි ජන බලවේගය සමග කුමන්ත්රනයේ යෙදුනු ජවිපෙ/ජාජබ, සියලු පාර්ලිමේන්තු පක්ෂවල අන්තර්වාර පාලන තන්ත්රයක් බිහිකිරීම යෝජනා කලේ ය. ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිටුබලය ලද වෘත්තීය සමිති මෙයට සහයෝගය දැක්වූ අතර, එමගින් වික්‍රමසිංහ ස්ථාපනය කිරීමට මාවත පාදා දෙමින් මහජන ව්‍යාපාරය පාවාදුන්නේ ය.
දිසානායකගේ අයවැය “අන්තිම ආකාරයේ මහා තල්ලුවක්” බව බෘවර් මාධ්‍ය වෙත කීවේ ය. “පසුගිය වසරවලදී තරම් විශාල නැතත්, එයින් පසු ව ඉදිරියට යාම වඩා පහසු වෙනු ඇත.”
එහෙත් මේ “මහා තල්ලුව“ කුමක් ද?
මේ දක්වා, පැවති වික්‍රමසිංහ පාලනය හා ජවිපෙ/ජාජබ ආන්ඩුව, බදු හා ගාස්තු පැනවීම් මගින් කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ කොන්දේසි කපා දමා ඇත.
අයිඑම්එෆ් විධානයන් සමග එකලපෙලට හිටිමින්, රජයට අයත් ව්‍යවසායයන් (එස්ඕඊ) ඇතුලු රාජ්‍ය අංශය අනුකම්පා විරහිත ප්රතිව්යුහකරනය හා පුද්ගලීකරනය හරහා, ජවිපෙ/ජාජබ ආන්ඩුව මෙම සමාජ ප්‍රහාරය පෙර නුවූ විරූ මට්ටමකින් ඉස්මත්තට ගත යුතුය. රැකියා ලක්ෂ ගනනක් විනාශ කිරීම, වැඩිදුර වැටුප් කප්පාදු හා වැඩ කොන්දේසි මත ප්රහාරයන් ද ලාභ ශ්‍රම කලාප සැලකිය යුතු ලෙස විස්තාරනය කිරීම ද මෙහි අර්ථය යි.
ලංකාව සතුව දැනට එස්ඕඊ 430ක් පමන තිබේ. වර්තමාන අයවැය යටතේ, සියලු අශක්‍ය යැයි සැලකෙන රාජ්‍ය ආයතන වසා දැමෙන අතර, ඉතිරි ඒවා රාජ්‍ය පරිපාලක සමාගම යටතට ගෙනෙනු ඇත. මේ වසර අවසන් වන විට, මෙම සමස්ත ක්‍රියාදාමය සම්පූර්න කිරීමට නියමිත ය.
දිසානායකගේ එක් ප්‍රධාන ආර්ථික උපදේශකයෙකු වන්නේ, මහා ව්‍යාපාරික ලංකා වානිජ මන්ඩලයෙහි සභාපති වන දුමින්ද හුලංගමුව ය. දැනට මිලියන 1.3ක ශක්තියකින් යුතු ශ්රමබලකායෙන් රැකියා 550,000ක් කපා දැමිය යුතු බව හුලංගමුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
ජවිපෙ/ජාජබ ආන්ඩුවෙහි රාජ්‍ය පරිපාලක සමාගම, වියට්නාමයේ 2018 දී ස්ථාපිත කරන ලද, “සුපිරි කමිටුව” නමින් ද හැඳින්වෙන ව්‍යවසායයන්ගේ රාජ්‍ය ප්‍රාග්ධන කලමනාකරන කොමිසමේ මාදිලිය ගනු ඇත.
රාජ්‍ය ආයතන ගනනාවක් ම “රාජ්‍ය-පෞද්ගලික-හවුල්කාරී” සංගත බවට පරිවර්තනය කිරීමට හා තවත් වර්ගවල පුද්ගලීකරනයන්ට බඳුන් කිරීමට ද දිසානායක ආන්ඩුව සැලසුම් කරයි.
නිදහස් මහජන සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්රවල ශේෂ වී යමක් ඇත්නම් එයද අතුගා දැමීම අඩංගු කරගන්නා සමාජීය වසයෙන් ප්රතිගාමී මෙම පියවරයන්, එම අංශවල පුද්ගලික හිමිකාරීත්වය විශාල ලෙස ප්රසාරනය කරනු ඇත. 2028 වසරේ සිට වසරකට ඩොලර් බිලියන 6ක අනුපාතයකින් විදේශ නය ආපසු ගෙවීම ආරම්භ කිරීමට ද මෙම පාලන තන්ත්රය පොරොන්දු වී තිබේ.
ලංකාවේ කම්කරුවන්ට හා දුගීන්ට මෙයින් ඇතිකරන විනාශකාරී සමාජීය විපාක, ඇප නයකට හිලවු ලෙස ග්‍රීක කම්කරු පන්තිය මත පටවන ලද රුදුරු කප්පාදු පිලිවෙත් පිලිබිඹු කරයි.
කප්පාදු වැඩසටහන අවසන් කරන බවට කියාපාමින් 2015 දී ග්‍රීසියේ බලයට පැමිනි ඇලෙක්සි සිප්රාස්ගේ සිරිසා සන්ධානය නායකත්වය දුන් ආන්ඩුව, අයිඑම්එෆ්, යුරෝපා කොමිසම හා යුරෝපීය මහ බැංකුව විධානය කරන ලද රුදුරු කප්පාදු ක්‍රියාවට දැමීම ක්ෂනිකව ආරම්භ කලේ ය.
විශාල නය ආපසු ගෙවනු වස්, විශ්‍රාම වැටුප් විශාල ලෙස අඩු කිරීම හා විශ්‍රාම ලැබීමේ වයස 67 දක්වා ඉහල දැමීම; වරාය, ගුවන්තොටුපොල හා ජාතික දුම්රිය ජාලය පුද්ගලීකරනය කිරීම; ඉහල දමනු ලබන වැට් බදු හා දේපොල බදු වැඩි කිරීම; සහ සෞඛ්‍යය හා අධ්‍යාපනය ඇතුලු සමාජ සේවාවන් දරුනු ලෙස කපා දැමීම ආදිය හරහා සිරිසාව කම්කරුවන්ගේ අයිතීන්ට පහර දුන්නේ ය.
ලංකාවේ කම්කරුවන් හා දුගීන් ඒ හා සමාන පියවරයන්ට මුහුන දෙන අතර, සන්තුෂ්ටිමත් හැඟීමකින් බෘවර් ඔහුගේ මාධ්‍ය හමුව අවසන් කලේ ය. “ආදායම් ඉහල ගොස් දුගී භාවය අඩු වනු ඇත... ලංකාවෙන් පිටත් වී සංක්‍රමනය වීම වෙනුවට ලංකාව තුල රැඳී සිටීම වඩා ආකර්ශනීය (වනු ඇති).”
ගැඹුරු වන ගෝලීය අර්බුදයක, එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් දැන් මුදාහරින වෙලඳ යුද පිලිවෙත්වල හා අනෙකුත් රටවල ප්‍රති-පියවරයන්වල සන්දර්භය තුල මෙය එහෙම පිටිමන්ම මනෝරාජ්යයකි.
ලංකාවේ කම්කරු පන්තිය ජවිපෙ/ජාජබ ආන්ඩුවෙහි කප්පාදු ප්රහාරයන්ට විරුද්ධ ව සටන් කිරීම සඳහා කඩිනමින් සූදානම ඇතිකරගැනීම අවශ්‍ය ය. මේ සඳහා ධනපති-ගැති වෘත්තීය සමිතිවලින් බිඳීමත්, දේශපාලනික හා කාර්මික අරගලයේ නව ස්වාධීන සංවිධාන වර්ධනය කිරීමත් අවශ්‍ය කරයි.
බෘවර්ගේ මාධ්‍ය හමුවේ “කම්කරු කැලඹීම” පිලිබඳ අනතුරු ඇඟවීමට, රවෛනිස හා සෞවෘසස ප්‍රතිචාර දැක්වූයේ, සැලසුම් කර තිබුනු එක් දින වැඩ වර්ජන අවලංගු කරමිනි. හරියටම මාස 12කට පෙර, 2024 මාර්තුවේ දී, රවෛනිස, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය හා අනෙකුත් වෘත්තික වෘත්තීය සමිති නායකයින්, යම් සහන සාකච්ඡා කිරීම සඳහා ඵල රහිත ප්රයත්නයක යෙදෙමින් ජාමූඅ නිලධාරීන් සමග ඔන්ලයින් “වට මේස සාකච්ඡා” පැවැත්වී ය. මෙම ධනපති-ගැති වෘත්තීය සමිති සහ ජවිපෙ හා විපාර්ශවික සජබ විසින් පාලනය කෙරෙන සියලු සමිති ජාමූඅ වැඩපිලිවෙලට සහයෝගය දෙයි.
ලංකාවේ කම්කරු පන්තිය නිරත ව සිටින්නේ, හුදෙක් ජවිපෙ/ජාජබ ආන්ඩුව හා ලංකාවේ ධනපති පන්තියට පමනක් නො ව, ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයට ද එරෙහි අරගලයක ය. සියලු ධනපති පක්ෂ හා ඒවායේ හෙංචයියන්ගේ ස්වාධීනව කම්කරු පන්තිය බලමුලුගැන්වීමෙන් පමනක් මෙය ඉදිරියට ගත හැකි ය. සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනේ දී, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග සංවිධිත වන, කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු හා ගම්බද ජනයාගේ එවන් කමිටුව ගොඩනැගීම සඳහා, සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කරන්නේ මේ නිසා ය.