චීනයට එරෙහි මූලෝපායික සන්ධානය ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපද බුද්ධි අංශ ප්‍රධානී සහ ඉන්ඩොපැකොම් අනදෙන නිලධාරියා ඉන්දියාවේ සංචාරය කරති

එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් මාර්තු 16 සිට මාර්තු 20 දක්වා ඉන්දියාවේ දින පහක සංචාරයක් සිදු කලේ ය. රටවල් දෙක අතර වැඩෙන සැලකිය යුතු වෙලඳ ආතතීන් නොතකා, නවදිල්ලිය සමඟ වොෂින්ටනයේ මුලෝපායික සහ මිලිටරි සබඳතා ගැඹුරු කිරීම අරමුනු කරගත් මෙම සංචාරයට, එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (ඉන්ඩොපැකොම්) අනදෙන නිලධාරී අද්මිරාල් සැමුවෙල් ජේ. පැපරෝ ද එක් විය.

එක්සත් ජනපද බුද්ධි අංශ ප්රධානී තුල්සි ගැබාර්ඩ් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි

වොෂින්ටනය චීනයට එරෙහි යුද සූදානම තීව්‍ර කරන විට ඉන්දියානු පාලක ප්‍රභූව සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අතර තීව්‍ර වන සහයෝගීතාවය මෙම සංචාර මගින් අවධාරනය කෙරේ. ඉහල යන භූ-දේශපාලනික ආතතීන් මධ්‍යයේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තම ඉන්දු-පැසිෆික් මිලිටරි රාමුවට ඉන්දියාව තව තවත් ඒකාබද්ධ කර ගැනීමට වැඩ කරමින් සිටී. අනෙක් අතට, නවදිල්ලිය වොෂින්ටනය සමඟ සිය සන්ධානය උනන්දුවෙන් ශක්තිමත් කරමින්, බීජිනයට එරෙහිව එක්සත් ජනපද අධිරාජ්‍යවාදී අභිලාෂයන් සමඟ පෙල ගැසෙයි.

මධ්‍යම බුද්ධි ඒජන්සිය (සීඅයිඒ) ඇතුලු එක්සත් ජනපද බුද්ධි අංශ මෙහෙයවන, ජාතික බුද්ධි වැඩසටහන් අධීක්ෂනය කරන සහ බුද්ධි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට, ජාතික ආරක්ෂක කවුන්සිලයට සහ ස්වදේශ ආරක්ෂක කවුන්සිලයට උපදෙස් දෙන, ජාතික බුද්ධි අධ්‍යක්ෂවරිය ලෙස ගැබාර්ඩ්ගේ පලමු විදේශ සංචාරය මෙය විය. ඇය ෆැසිස්ට්වාදී රාස්ත්‍රිය ස්වයංසේවාක් සංගම් (ආර්එස්එස්) වැනි හින්දු අධිපතිවාදී සංවිධාන සමඟ දිගු කලක් සබඳතා පවත්වා ගෙන ගොස් ඇත.

ඉන්දියාවට අමතරව, ඇයගේ සංචාරයට හවායි, ජපානය, තායිලන්තය සහ ප්‍රංශය යන රටවල් ඇතුලත් වූ අතර, බුද්ධි තොරතුරු බෙදාගැනීම, ආරක්ෂාව සහ ත්‍රස්ත-විරෝධී වැඩ කටයුතු ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කලාය. මාර්තු 16–19 ඉන්දියානු සංචාරය අවසන් කිරීමෙන් පසු, ඉන්දියානු සාගරයේ මූලෝපායික ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාවට පැපරෝ සංචාරය කලේය.

ඉන්දුපැකොම් කමාන්ඩර් අද්මිරාල් සැමුවෙල් ජේ. පැපරෝ

චීන විරෝධී සන්ධානය තව දුරටත් තීව්‍ර කිරීමට ට්‍රම්ප් පරිපාලනයය වැඩ කරමින් සිටී. ජනවාරි 21 වන දින නව රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සිය ධුරයේ වැඩ භාරගත් ප්‍රථම දින කල පලමු දෙය වූයේ, චීනය ඉලක්ක කරගත් අර්ධ මිලිටරි සන්ධානයක් වන ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ එක්සත් ජනපදය යන කොඩ් (QUAD) රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමක් සංවිධානය කිරීමයි.

ට්‍රම්ප් පරිපාලනය උපායික කාරනා කිහිපයක් සම්බන්ධයෙන් බයිඩන් පරිපාලනයට වඩා වෙනස් වුවද, චීනය පිලිබඳ ඔවුන්ගේ ස්ථාවරය එලෙසම පවතී. ට්‍රම්ප් යටතේ චීනයට එරෙහි බයිඩන් පරිපාලනයේ ආර්ථික, භූ-දේශපාලනික සහ මිලිටරි මූලෝපායන් තීව්‍ර වන අතර, න්‍යෂ්ටික ව සන්නද්ධ වූ රටවල් දෙක අතර යුද්ධයක් ඇති කරන ආතතීන් තියුනු ලෙස උත්සන්න වේ. ලෝක විනාශයේ තර්ජනය තිබියදීත්, නව දිල්ලිය නොසැලකිලිමත් ලෙස ට්‍රම්ප් පරිපාලනය සමඟ පෙලගැසී ඇත.

නවදිල්ලියේ රැඳී සිටි කාලය තුල ගැබාර්ඩ්, අගමැති නරේන්ද්‍ර මෝදි, ආරක්ෂක ඇමති රාජ්නාත් සිං සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් ඇතුලු ප්‍රධාන ඉන්දීය නිලධාරීන් සමඟ ඉහල මට්ටමේ සාකච්ඡාවල නිරත විය. සාකච්ඡා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කලේ බුද්ධි තොරතුරු බෙදාගැනීම, ආරක්ෂක සහයෝගීතාව, ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් සහ ජාත්‍යන්තර ආරක්ෂක අභියෝගවලට මුහුන දීම කෙරෙහි ය. මෝදිට අමතර ව, පැපරෝ ජ්‍යෙෂ්ඨ හමුදා සහ රාජ්‍ය නායකයින් හමුවූ අතර, ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර්, ආරක්ෂක ඇමති සිං සහ ඉන්දීය සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් අනිල් චෞහාන් ද ඒ අතර විය.

ඔබ්සර්වර් පර්යේෂන පදනම සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද වාර්ෂික සමුලුවක් වන රයිසිනා සංවාදයට ද ගැබාර්ඩ් සහභාගී වූ අතර එය ජාත්‍යන්තර ප්‍රතිපත්ති සහ ආරක්ෂක කරුනු සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර නායකයින්ට වේදිකාවක් සම්පාදනය කරයි. තම ප්‍රධාන දේශනයේදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති ප්‍රවේශයට අනුකූල ව මැදිහත්වීමේ වැදගත්කම ඇය අවධාරනය කලාය.

ට්‍රම්ප් ගේ “පලමුව ඇමරිකාව” , ඇමරිකාව පමනක්ම නොවේ යයි ගැබාර්ඩ් අවධාරනය කලාය. ඉන්දියාවට ඇති ඉතා බරපතල ගැටලු තේරුම් ගත් බවත් ප්‍රකාශ කල ඇය, “දැනටමත් කාලයක් තිස්සේ පවතින ඉතා ශක්තිමත් හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාමට සහ නව පරිපාලනයෙන් ප්‍රයෝජන ගෙන එම ගම්‍යතාවය ලබා ගැනීමට සහ එම අනෙකුත් අවස්ථා සොයා ගැනීමට” බලාපොරොත්තුව වන බව කියා සිටියා ය.

රයිසිනා සංවාදයට ද සහභාගී වූ පැපරෝ, එක්සත් ජනපද-ඉන්දියා විස්තීර්න ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට කටයුතු කලේය. කොම්පැක්ට් (COMPACT) ආරම්භකත්වය ඉදිරියට ගෙන යාමෙන්, එක්සත් ජනපදය දෙරටේම ආරක්ෂක ප්‍රමුඛතාවන්ට තීරනාත්මක කලාපයක් වන ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂක සහයෝගීතාව, තාක්‍ෂන බෙදාගැනීම සහ ඒකාබද්ධ මුලපිරීම් ශක්තිමත් කිරීමට උත්සාහ කරයි.

පැපරෝ‌ගේ සාකච්ඡා කේන්ද්‍රගත වූයේ වසර 10 ක ආරක්ෂක රාමුවක් අලුත් කිරීම සහ කම්පැක්ට් යටතේ සහයෝගීතාව ගැඹුරු කිරීම කෙරෙහි ය. ඔහු අගමැති නරේන්ද්‍ර මෝදි, විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්, ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් අනිල් චෞහාන් ඇතුලු ඉන්දියාවේ නායකත්වය සමඟ සාකච්ඡා පැවැත්වීය.

වොෂින්ටනයේ විශාලතම ආරක්ෂක හමුදා මධ්‍යස්ථානය සහ චීනයට එරෙහි සැලසුම්වල මූලික කේන්ද්‍රස්ථානයක් වන ඉන්ඩොපැකොම් හි (INDOPACOM) අනදෙන නිලධාරියාගේ සංචාරය අතිමූලික වැදගත්කමක් දරයි. හවායි හි හොනොලුලු මූලස්ථානය කරගෙන ඇති මෙය, ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් සඳහා වගකියන ඒකාබද්ධ සටන් අනදෙන මධ්‍යස්ථානය වෙයි. ඊට හමුදා සහ සිවිල් නිලධාරීන් 360,000 ක් පමන ඇතුලත් වන අතර, එහි වගකීම් භාර ක්ෂේත්‍රයට, ලෝක ජනගහනයෙන් සියයට 60 පමන ජීවත් වන, ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, ජපානය සහ ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් 36 ක විශාල කලාපයක් ඇතුලත් වෙයි.

ගැබාර්ට් සහ පැපරෝගේ සංචාර වලට පෙර, පෙබරවාරි 12 සහ 13 යන දිනවල මෝදි එක්සත් ජනපදයේ සංචාරය කලේ ය. එය, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර මූලෝපායික සහ මිලිටරි සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමේ මූලික පියවරක් සනිටුහන් කලේය. ට්‍රම්ප්ගේ දෙවන පදවි ප්‍රාප්තියෙන් පසු ඔහු හමු වූ සිවුවන විදේශීය නායකයා මෝදි වූ අතර, එය එක්සත් ජනපදයේ භූ-දේශපාලනික න්‍යාය පත්‍රය තුල නවදිල්ලියට ඇති ප්‍රමුඛතාවය පෙන්නුම් කලේ ය.

මෙම සංචාරය, ඇමරිකානු එෆ්-35 ප්‍රහාරක ජෙට් යානා සහ ජවලින් මිසයිල ඉන්දියාව විසින් මිලදී ගැනීමේ සැලසුම් සමඟින්, එක්සත් ජනපද-ඉන්දියානු හමුදා සබඳතා තවදුරටත් ගැඹුරු කලේය. නව දස අවුරුදු රාමුවක් යටතේ, සහයෝගී නිෂ්පාදන ගිවිසුම් සහ තාක්ෂන හුවමාරු වලට ද ප්‍රමුඛත්වය දෙන ලදී. විවිධ ක්ෂේත්‍ර හරහා මෙහෙයුම් හැකියාවන් වැඩි දියුනු කිරීම සඳහා අවි හුවමාරු රෙගුලාසි සමාලෝචනය කිරීමත් සමඟ, හමුදා හවුල්කාරිත්වයන් සහ තාක්ෂන හුවමාරු වේගවත් කිරීමට දෙරට එකඟ විය. ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට ද නායකයෝ දෙදෙනා ම එකඟ වූහ.

නමුත් ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර සැලකිය යුතු මතභේද පවතී. නවදිල්ලිය සමඟ බුද්ධි හා මිලිටරි සබඳතා වැඩි වර්ධනය කර ගැනීමට වොෂින්ටනය උනන්දු වුව ද, ඇමරිකානු අපනයන සඳහා දැඩි තීරුබදු පැනවීම සම්බන්ධයෙන් ට්‍රම්ප්, ඉන්දියාව සහ අනෙකුත් රටවල් විවේචනය කරමින් එය “ඉතා අසාධාරන” ලෙස හඳුන්වයි. ඔහුට අවශ්‍ය වන්නේ, එක්සත් ජනපද භාන්ඩ සඳහා ඉන්දියාවේ තීරුබදු සැලකිය යුතු ලෙස අඩු කිරීමකි. අප්‍රේල් 2 වන දින සිට ඉන්දියාව එක්සත් ජනපද අපනයන සඳහා පනවන ආකාරයටම එක්සත් ජනපදය ඉන්දියාවට ද තීරුබදු පැනවීමට සැලසුම් කර ඇත. මිලිටරි සහයෝගීතාවය වැඩිකර ගැනීමෙන් සහ වෙලඳ යුද්ධ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමෙන් ඇමරිකාව සිය අර්බුදය ජය ගැනීමට උත්සාහ කරයි.

ඉන්දියාවේ වෙලඳ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයාල් මාර්තු 3 සිට 8 දක්වා එක්සත් ජනපදයට හදිසි සංචාරයක් කල ද, මෙම ගැටලු වලින් මිදීමට මාර්ගයක් සොයා ගැනීමට සමත් වූයේ නැත. වාහන සහ රසායනික ද්‍රව්‍ය වැනි කාර්මික ආනයන සඳහා තීරුබදු කප්පාදු සාකච්ඡා කිරීමට ඉන්දියාව එකඟ නමුත්, මිලියන ගනනක් දුප්පත් ගොවීන්ට හානියක් වන බව පවසමින් ඇමරිකානු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා තීරුබදු අඩු කිරීම සඳහා කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. වෙලඳ ආතතිය සමනය කිරීම සඳහා, ඉන්දියාව දැනටමත් ඉහල වටිනාකමකින් යුතු යතුරුපැදි සහ විස්කි වැනි භාන්ඩ කිහිපයක් සඳහා තීරුබදු අඩු කර ඇති අතර, අනෙකුත් තීරුබදු සමාලෝචනය කිරීමට, බලශක්ති ආනයන වැඩි කිරීමට සහ තවත් යුධ උපකරන මිල දී ගැනීමට පොරොන්දු වී ඇත.

එෆ්-35 ප්‍රහාරක ජෙට් යානා ඇතුලුව ඩොලර් මිලියන ගනනක් වටිනා මිලිටරි දෘඩාංග මිල දී ගැනීමට ඉන්දියාව එකඟ විය. F-35 ජෙට් යානයක මිල ඩොලර් මිලියන 80 සිට මිලියන 115 දක්වා පරාසයක පවතින අතර, රුසියානු SU -57 සහ ප්‍රංශ රෆේල් මැරීන් ජෙට් යානා ඊට වඩා සෑහෙන අඩු මිලකට ලබා ගත හැකිය. රුසියාව ඉන්දියාවේ ඒකාබද්ධ නිෂ්පාදනයක් ද ඉදිරිපත් කර ඇති අතර, එය පිරිවැය දෘෂ්ටිකෝනයකින් ප්‍රයෝජනවත් විය හැකි අතර තාක්‍ෂනික හුවමාරුව පහසු කරමින් දේශීයව නිෂ්පාදනය කරන ලද ආරක්ෂක උපකරන අපනයනය ඉහල නැංවීම සඳහා නවදිල්ලියේ සැලසුම්වලට උපකාරී වනු ඇත. කෙසේ වෙතත්, ඇමරිකානු ගුවන් යානා වල අධික පිරිවැය ඉන්දියාවට ඒවා යථාර්ථවාදී ව දැරිය හැකිද යන්න පිලිබඳ කනස්සල්ල මතු කර තිබේ. රුසියාව මත යැපීම අඩු කිරීමට ඉන්දියාව උත්සාහ කරමින් සිටින අතර, අනෙකුත් රටවලින්, එක්සත් ජනපදයෙන් සහ විශේෂයෙන් ප්‍රංශයෙන් මිලිටරි උපකරන ලබා ගැනීම පුලුල් කර ඇත.

ඇමරිකාව තමන්ගේම න්‍යාය පත්‍රයට අනුව ක්‍රියා කරයි. නීතිවිරෝධී සංක්‍රමනිකයන් ලෙස චෝදනා ලැබූ සිය ගනනක් ඉන්දියානුවන් එක්සත් ජනපදය විසින් පීඩාකාරී කොන්දේසි යටතේ පිටුවහල් කරන ලදී. පැය 40 ක ගුවන් ගමනක් පුරා ඔවුනට විලංගු ලා තබන ලද අතර එය ඉන්දියානු මහජනතාවගේ කෝපයට හේතු විය. සිවිල් ගුවන් යානා මගින් ඔවුන් ප්‍රවාහනය කිරීම අඩු වියදම් සහිත වුවද, තම අධිපතිකාරී ස්වභාවය ප්‍රදර්ශය කිරීමක් ලෙස වොෂින්ටනය හමුදා ගුවන් යානා භාවිතා කිරීමට තෝරා ගති.

චීනයට එරෙහි ආක්‍රමනශීලීත්වය වැඩි දියුනු වෙමින් පවතී. කොඩ් (QUAD) එකමුතුවට අමතරව, දකුනු චීන මුහුද කෙරෙහි අවධානය යොමු කරන තවත් ප්‍රධාන බහුපාර්ශ්වික සන්ධානයක් වන “ස්කොඩ් (Squad)” හි කොටසක් වීම සලකා බලන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා ඇත. ජපානය, ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ පිලිපීනය දැනට ස්කොඩ් හි සාමාජිකයින් වේ. ජපානයේ නාවික හමුදා ප්‍රධානී, ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් අනදෙන නිලධාරි සහ ඕස්ට්‍රේලියාවේ ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී එක්ව ඉන්දු-පැසිෆික් ආරක්ෂාව පිලිබඳව සාකච්ඡා කරමින් සිටියදී, පිලිපීනයේ සන්නද්ධ හමුදා ප්‍රධානියා වන ජෙනරාල් රෝමියෝ එස්. බ්‍රව්නර්, ඉන්දියාවට ස්කොඩ්ට එක්වන ලෙස ආරාධනය කරමින් අදහස් දක්වන ලදි.

වසරකට වැඩි කාලයක් මෙම සංචිතය දකුනූ චීන මුහුදේ ඒකාබද්ධ සමුද්‍රීය ක්‍රියාකාරකම්වල නියැලී සිටින බවත්, දකුනු චීන මුහුදේ චීනයට එරෙහිව මිලිටරිමය වශයෙන් සටන් කිරීම සහ එය පාලනය කිරීම එහි අරමුනු බවත්, “අපට පොදු සතුරෙකු සිටින නිසා” ඔවුන් ඉන්දියාව සමඟ පොදු බවක් සොයා ගනී. “චීනය අපගේ පොදු සතුරා බව කීමට මම බිය නොවෙමි” යයි බ්‍රව්නර් ප්‍රකාශ කලේය. පිලිපීනයට දැනටමත් ඉන්දියානු හමුදා සහ ආරක්ෂක කර්මාන්තය සමඟ හවුල්කාරිත්වයක් ඇති බව ද ඔහු පැවසීය.

වොෂින්ටනය සහ එහි සහචරයින් තම ප්‍රකෝප කිරීම් දිගටම කරගෙන යන තත්වයේ දී, ඉන්දියාවේ, එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරු පන්තිය මෙම වැඩ කටයුතු වලින් මතුවන අන්තරායන් හඳුනාගෙන යුද්ධය කරා යන ගමනට විරුද්ධ විය යුතු ය. න්‍යෂ්ටික බලවතුන් අතර මිලිටරි ගැටුම මානව වර්ගයාගේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නය මතු කරනු ඇත. ජාත්‍යන්තර සමාජවාදයේ වැඩපිලිවෙල සහ ඉදිරිදර්ශනය මත ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගන්වන, ජාත්‍යන්තර මහජන යුද විරෝධී ව්‍යාපාරයක කොටසක් ලෙස දකුනු ආසියානු යුධ විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම තවදුරටත් කල් දැමිය නොහැක.