සසප, අයිතීන් කප්පාදුවට, ආඥාදායකත්වය සහ යුද්ධයට එරෙහිව සමාජවාදී ක්‍රියාමාර්ගයක් සහිතව පලාත් පාලන මැතිවරනයට ඉදිරිපත් වේ

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), මැයි 6 වන දින පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරනයට තරඟ කරයි.

යුද්ධයෙන් විනාශට ලක්වූ යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවට අපේක්ෂකයින්13ක් ද කොලොන්නාව නගර සභාවට අපේක්ෂකයින් 21ක් ද ඉදිරිපත් කරයි. මෙම අපේක්ෂක ලැයිස්තු දෙකේ නායකත්වය දරනු ලබන්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් වන පරමුතිරුඥාන සම්බන්ධර් සහ විලානි පීරිස් විසිනි.

තිරුඥාන සම්බන්ධ​න්

මෙම මැතිවරනය පැවැත්වීමට යන්නේ, තම පක්ෂ අන්ත පරාජයකට පත්වෙතැයි බිය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා 2022 සහ 2023 දී පලාත් පාලන මැතිවරන කල් දැමීමෙන් පසුව ය.

අලුතින් බලයට පත් ව සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව මැතිවරනය කැඳවා ඇත්තේ තමන් ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් ගන්නා බව පවසමිනි. එහි නායකයින් තම “ආර්ථිකය ගොඩනැගීමේ වැඩසටහන” ඉදිරියට ගෙන යාමට ආන්ඩුව ශක්තිමත් කිරීම සඳහා මැතිවරනයෙන් “විශාල ජයග්‍රහනයක්” ඉල්ලා තිබේ.

සසප කම්කරුවන්ගෙන් සහ දුප්පතුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම නරුම ආයාචනය ප්‍රතික්ෂේප කරන ලෙස යි. ජවිපෙ/ජාජබ ආර්ථිකය ගොඩනැගීමේ වැඩසටහන යනු වික්‍රමසිංහ විසින් ආරම්භ කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවර තමන් අතට ගෙන් ක්‍රියාත්මක කිරීම මිස අන් කිසිවක් නොවේ; මෙම ක්‍රියාමාර්ගයෙන් දැනටමත් වැඩ කරන ජනතාවට බරපතල දුෂ්කරතා වලට ගොදුරුකරනු ලැබ තිබේ. ජාමුඅ වැඩපිලිවෙලේ සැබෑ අරමුන වන්නේ, 2022 දී කොලඹ ආන්ඩුව විසින් පැහැර හරින ලද විදේශ නය ආපසු ගෙවීම සහ මහා ප්‍රාග්ධනයේ ලාභ තර කිරීමේ කොන්දේසි සකස් කිරීමයි.

2025 සඳහා ආන්ඩුව ඉදිරිපත් කල අයවැය, ජාමූඅ ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට කැපවූ එකකි. රාජ්‍ය සේවකයින් මිලියන 1.5 කට සොච්චම් වැටුප් වැඩිවීමක් නිවේදනය කල අයවැයෙන්, ඔවුන්ගේ දීමනා දැඩි ලෙස කප්පාදු කර ඇත.

මාස කිහිපයක් ඇතුලත, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් හා පුද්ගලීකරනය සඳහා සූදානම් වීමක් ලෙස, 400 ක් පමන රාජ්‍ය ව්‍යවසායන් රාජ්‍ය හොල්ඩින් සමාගමක් යටතේ තබනු ඇත. ඉන්, රැකියා දහස් ගනනක් විනාශ වනු ඇත; වැටුප් කප්පාදු වීමට නියමිතය; වැඩ වේගවත් කෙරෙනු ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදේශකවරයෙකුට අනුව, රාජ්‍ය අංශය පුරා රැකියා ලක්ෂ පහකට වඩා කප්පාදු කිරීම සිදුවනු ඇත.

තම කප්පාදු පියවර කම්කරුවන්ගේ, ගැමි දුප්පතුන්ගේ සහ තරුනයින්ගේ මහජන අරගලවලට පැන නැගීමට තුඩු දෙන බව ආන්ඩුව හොඳින් ම දනී; එහෙයින් ඒකාධිපති පාලන විධි සූදානම් කරමින් සිටී. විරෝධතා දැක්වූ පාසල් සංවර්ධන නිලධාරීන්ට එරෙහිව එහි පොලිස් ප්‍රහාරය සහ දඩයමත්, වැඩවර්ජන සහ විරෝධතාවලට එරෙහිව පුනපුනා කරන තර්ජනත්, ආන්ඩුව සූදානම් කරමින් සිටින කුරිරු ප්‍රහාර පිලිබඳව වැඩ කරන ජනතාවට අනතුරු ඇඟවීමකි.

විලානි පීරිස්

පසුගිය වසරේ ජනාධිපතිවරන සහ මහ මැතිවරන සමයේදී කම්කරු පන්තියට ජවිපෙ/ජාජබ හි දක්ෂිනාංශික, අධිරාජ්‍යවාදී ගැති ස්වභාවය පිලිබඳව අනතුරු ඇඟවූ එකම පක්ෂය සසප පමනි. ජවිපෙ “මාක්ස්වාදී” යයි හැඳින්වීම ව්‍යාජයකි, එක්සත් ජනපදය සමඟ සමීප සබඳතා ගොඩනඟා ගෙන තිබෙන එය ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ සැලකිය යුතු කොටස්වල සහාය ලබමින්, රුදුරු ලෙස ජාමූඅ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට කැපවූ පක්ෂයකි.

ධනවාදයේ හෝ ජාතික රාජ්‍යයේ රාමුව තුල කම්කරුවන් සහ ග්‍රාමීය ජනතාව මුහුන දෙන දැවෙන ගැටලු කිසිවක් සඳහා විසඳුම් නොමැති බව සසප අවධාරනය කරයි.

ග්‍රාමීය දුප්පතුන් පෙලගස්වාගෙන ආන්ඩුවේ කප්පාදු ක්‍රියාමාර්ගයට එරෙහිව සටන් කිරීමට කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා සසප උද්ඝෝෂනය කරයි. සියලු ධනේශ්වර පක්ෂවලින් බිඳී සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන, කාර්මික හා දේශපාලනික අරගලයක් තුලින් තම දැවැන්ත ශක්තිය බලමුලු ගන්වන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

ගෝලීය ධනවාදයට සහ යුද්ධයට එරෙහිව ජාත්‍යන්තරව පන්ති අරගල ඒකාබද්ධ කරමු!

කම්කරු පන්තිය මෙරට ජවිපෙ/ජාජබ පාලන තන්ත්‍රයට සහ ධනපති පන්තියට පමනක් නොව, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට සහ අධිරාජ්‍යවාදයේ සියලු ඒජන්තයන්ට මුහුන දෙමින් සිටී.

මැතිවරනය පැවැත්වෙන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය කේන්ද්‍රයේ සිට, වේගයෙන් ගැඹුරු වන ලෝක ධනවාදී අර්බුදයක් මධ්‍යයේ ය. අලුතින් පත් කර ගත් ඇමරිකානු ජනාධිපතිවරයා වන ෆැසිස්ට්වාදී ඩොනල්ඩ් ට්‍රම්ප් කෙලින්ම 1930 ගනන්වල හිට්ලර්ගෙන් සහ ජර්මානු නාසි ආඥාදායකත්වයෙන් තම පිලිවෙත් උපුටා ගනී. මිලියන සංඛ්‍යාත සංක්‍රමනිකයන් නෙරපා හැරීමට, අත්‍යවශ්‍ය සමාජ සේවා අහෝසි කිරීමට, ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය සේවකයින් සේවයෙන් පහ කිරීමට සහ යුද්ධයට යාමට සූදානම් වන ඔහු රටේ නීතිය සහ ව්‍යවස්ථාව නග්න ලෙස උල්ලංඝනය කරමින් සිටී.

ගෝලීය තලයේදී, ට්‍රම්ප් පරිපාලනය මිතුරාට ද සතුරාට ද එරෙහිව එක සමාන ආර්ථික යුද්ධයක් දියත් කරමින්, කැනඩාව, ග්‍රීන්ලන්තය සහ පැනමා ඇල ඇතුලු ලෝකයේ මුලුමහත් ප්‍රදේශ පිටින් ඈඳා ගැනීමට උත්සාහ කරමින්, ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරක යුද්ධයට සහාය දක්වයි. යුක්‍රේන යුද්ධයේදී ඔහුගේ “සාම” පියවරයන්, හුදෙක් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තම ගෝලීය ආධිපත්‍යයට ප්‍රධාන තර්ජනයක් ලෙස සලක චීනය සමඟ යුද්ධයට සූදානම් වීමේ කොටසක් පමනි.

ලෝකය විනාශකාරී ගෝලීය ගැටුමක් ලුහුටා යමින් පවතිඅන අතර, යුරෝපයේ සහ ආසියාවේ සියලුම ප්‍රධාන බලවත්තු අන්ත දක්ෂිනාංශය වෙත වේගයෙන් හැරෙමින්, යුද්ධය සඳහා වේගයෙන් නැවත සන්නද්ධ වෙමින්, කම්කරු පන්තිය මත නව බර පටවමින් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට වල කපමින් සිටිති.

ශ්‍රී ලංකාව ද චීනයට එරෙහි එක්සත් ජනපද යුද සැලසුම්වල කොටසකි. එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් අනදෙන නිලධාරින් වන අද්මිරාල් ස්ටීව් කොහෙලර් ඔක්තෝබර් මාසයේදී ද පසුගිය සතියේ අද්මිරාල් සැමුවෙල් ජේ. පැපරෝ ද මිලිටරි සබඳතා ශක්තිමත් කිරීම සඳහා කොලඹට පැමිනියහ. බොහෝ කලකට පෙර තම ව්‍යාජ අධිරාජ්‍ය විරෝධී වාගාලංකාර ඉවත දැමූ ජවිපෙ/ජාජබ විසින් ඔවුන් දෙදෙනාම හරසරින් පිලිගන්නා ලදී.

ලොව පුරා පාලක පන්තීන්ගේ යුද්ධ හා පන්ති යුද්ධ න්‍යාය පත්‍රයට කම්කරුවන් හා තරුනයින් දැනටමත් වැඩවර්ජන හා විරෝධතා මගින් විරුද්ධත්වය දක්වමින් සිටිති. මෑත මාසවලදී, වැටුප් හා රැකියා කප්පාදුවලට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ මෙන්ම දකුනු ආසියාවේ රටවල් ඇතුලු තවත් බොහෝ රටවල කම්කරු අරගල පුපුරා ගොස් තිබේ. ගාසා තීරයේ එක්සත් ජනපද පිටුබලය ලත් ඊශ්‍රායල යුද අපරාධ සහ ම්ලේච්ඡ ක්‍රියාවලට එරෙහිව මිලියන ගනනින් කම්කරුවන් හා තරුනයින් විරෝධතා දැක්වූහ.

  • ලෝක යුද්ධය තුල ගිලී යාම නැවැත්විය හැකි එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. ධනවාදය සහ එහි ප්‍රතිගාමී ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීම සඳහා සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට ලංකාවේ කම්කරුවන් සහ තරුනයින් එක්විය යුතුය.
  • ජාත්‍යන්තරව පන්ති අරගල සම්බන්ධීකරනය කිරීම සඳහා ජාත්‍යන්තර කමිටුව විසින් පිහිටුවන ලද, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ කම්කරුවන් මූලිකත්වය ගැනීම අත්‍යවශ්‍ය වේ.

2022 මහජන නැගිටීමේ දේශපාලන පාඩම් ඉගෙන ගනිමු

2022 අප්‍රේල්-ජූලි මාසවල ශ්‍රී ලංකාවේ ඇති වූ මහජන නැගිටීමේ දේශපාලන පාඩම් අපි ඉගෙන ගත යුතුවෙමු. වේගවත් වන ගෝලීය ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස මිරිකීගිය රාජපක්ෂ ආන්ඩුව තම විදේශ නය පැහැර හරින අතර වැඩ කරන ජනතාව මත බර පැටවීය. දරාගත නොහැකි මිල ඉහල යාමට සහ භාන්ඩ හිඟයට එරෙහිව මිලියන සංඛ්‍යාත කම්කරුවෝ සහ පීඩිත ජනතාව වැඩ වර්ජන සහ විරෝධතා සඳහා වීදි බැස්සාහ.

රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට බල කෙරුනු මුත්, මෙය මහජනතාවට ජයග්‍රහනයක් නොවීය. ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) සහාය ඇතිව වෘත්තීය සමිති සහ විපක්ෂයේ ජවිපෙ සහ සජබ, මහජන ව්‍යාපාරය පාර්ලිමේන්තු ගොහොරු අන්තයට ඇදගෙන ගියහ. ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ජනාධිපති ධුරයට පත් කරගත්, දක්ෂිනාංශික, ඇමරිකානු ගැති වික්‍රමසිංහ ජාමූඅ සමඟ ගිවිසුමක් ඇති කර ගත්තේය. දැන්, කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ජවිපෙ/ජාජබ, දැඩි ලෙස අප්‍රසාදයට පත් වික්‍රමසිංහගෙන් තමන් අතට බලය මාරු කරගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ රටින් පලා යාමට දින කිහිපයකට පෙර, 2022 ජූලි 9 වන දින, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිවස දෙසට දිවෙන වීදියක විරෝධතාකරුවෝ රැස්ව සිටිති. [ඒපී ඡායාරූපය/අමිත තෙන්නකෝන්] [AP Photo/Amitha Thennakoon]

නැගිටීමේ ආරම්භයේ සිටම, සසප එය තුල ක්‍රියාකාරීව සහභාගී වෙමින් විරෝධතා ව්‍යාපාරයට නොතිබුනු, ඊට අත්‍යවශ්‍යව තිබූ සමාජවාදී ක්‍රියාමාර්ගය සහ ඉදිරිදර්ශනය සඳහා සටන් කලේය.

සසප 2022 අප්‍රේල් 7 වන දින සිය ප්‍රකාශය තුල මෙසේ අනතුරු ඇඟවීය:

“ශ්‍රී ලංකාවට සමාජවාදී විප්ලවයක් අවශ්‍ය වන අතර ම, ඒ සඳහා විප්ලවවාදී නායකත්වයක් අත්‍යවශ්‍ය වේ... පසුගිය සියවසේ සමස්ත ඉතිහාසයම පෙන්නුම් කර ඇත්තේ, විප්ලවවාදී පක්ෂයක් නොමැතිව කම්කරු පන්තියේ වඩාත්ම සටන්කාමී හා අධිෂ්ඨානශීලී අරගල පවා අනිවාර්යයෙන්ම පරාජය වන බවත්, ප්‍රති-විප්ලවයට සහ ම්ලේච්ඡ මර්දනයට දොර විවර කරන බවත් ය.”

නුදුරු අනාගතයේ දී නොවැලැක්විය හැකි ලෙස මතුවන අරගලවලදී අත්‍යවශ්‍ය වන එම තීරනාත්මක දේශපාලන පාඩම කම්කරු පන්තිය විසින් ග්‍රහනය කර ගත යුතුය. විප්ලවවාදී නායකත්වය ලෙස පක්ෂය ගොඩනැගීම සඳහා සසප සහ එහි අපේක්ෂකයින් මැතිවරනවලදී උද්ඝෝෂනය කරනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගැති විරුද්ධ පක්ෂ

2022 දී ඇති වූ මහජන නැගිටීමෙන් බැට කෑ, හෙලිදරවු වී ඇති කොලඹ දේශපාලන සංස්ථාපිතයේ සාම්ප්‍රදායික පක්ෂ, පසුගිය වසරේ ජනාධිපතිවරන සහ මහ මැතිවරනවලදී අවමානයට පත් විය. ජවිපෙ/ජාජබ මෙන්ම, ඒ පක්ෂ සියල්ල ම ජාමූඅ හි කප්පාදු ක්‍රියාමාර්ගයට සහාය දෙති. “මහජනතාව මත බර පටවන්න එපා” යන ඔවුන්ගේ ව්‍යාජ විවේචන සහ ඉල්ලීම් හුදෙක් වැඩ කරන ජනතාව රැවටීම සඳහා කරන කියාපෑම් ය.

ආන්ඩුව කෙරෙහි වැඩෙන සතුරුකම ගසාකෑමේ අපේක්ෂාවෙන් ප්‍රධාන විපක්ෂය—වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය සමගි ජන බලවේගය (සජබ)—මෑත අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය. කෙසේ වෙතත්, “ආර්ථිකය බේරා ගැනීම” සඳහා ජාමූඅ වෙතින් උදව් ඉල්ලා ආයාචනය කරන ලෙස මුලින් ම රාජපක්ෂට බලපෑම් කලේ සජබ ය; එය ද කවදා හෝ බලයට පත් වුවහොත්, දිසානායක මෙන් අනුකම්පා විරහිතව කප්පාදු පියවා මහජනතාව මත පටවනු නියතය.

ව්‍යාජ-වාම පෙසප, පසුගිය වසරේ අනෙකුත් ව්‍යාජ-වාම කන්ඩායම් සහ වෘත්තීය සමිති නායකයන් සමඟ එක්ව පිහිටුවන ලද මහජන අරගල සන්ධානය (මඅසං) යටතේ මෙවර මැතිවරනයට ද තරඟ කරයි. ජවිපෙ/ජාජබ හි කම්කරු පන්ති විරෝධී ස්වභාවය ගැන අනතුරු ඇඟවීම වෙනුවට, මෙම සන්ධානය එහි මැතිවරන ජයග්‍රහනය හරසරින් පිලිගත්තේ එය “ජනතාවගේ අභිලාෂයන්” නියෝජනය කරන ජයග්‍රහනයක් බව පවසමිනි.

ජාමූඅ හි කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කර තිබියදීත්, දිසානායක ආන්ඩුවට “ජන වරම” ක්‍රියාත්මක කිරීම සඳහා බලපෑම් කල හැකිය යන මිත්‍යාව අරගල සන්ධානය් දිගින් දිගටම ප්‍රචාරය කරයි. ජවිපෙ හි කඩවුනු මැතිවරන පොරොන්දු ගැන කනිපින්දම් කියන ගමන් ම, එය “පැරනි දූෂිත” පක්ෂවලින් ආන්ඩුව ආරක්ෂා කිරීමට සහ සහාය දීමට ප්‍රතිඥා දෙයි.

පෙසප නායක පුබුදු ජයගොඩ මාධ්‍යට මෙසේ පැවසීය: “[පොරොන්දු ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්] ආන්ඩුවට අනතුරු ඇඟවීමක් ලෙස ජනතාව රතු එලියක් දැල්විය යුතු අතර, පැරනි දූෂිත [පක්ෂ] බලයට පත්වීමට ඉඩ නොදීමට ද ප්‍රවේශම් විය යුතුය.”

පසුගිය වසරේ පාර්ලිමේන්තු මැතිවරනයේදී දෙමල ධනපති පක්ෂ ද විශාල පරාජයක් ලැබීය. පලාත් පාලන මැතිවරනයේදී, ඔවුන් නැවත බලයට පත්වීම සඳහා සන්ධානයක් පිහිටුවීමට අරගල කරමින් සිටිති. අයවැය පිලිබඳ ඡන්ද විමසීමේදී ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රයට ඔවුන්ගේ සහයෝගය පෙන්නුම් කරන ලදී—එක් මන්ත්‍රීවරයෙක් එයට පක්ෂව ඡන්දය දුන් අතර අනෙක් අය ඒ සඳහා ඔවුන්ගේ සහයෝගය සැඟවීමට උත්සාහ කරමින් අයවැයට ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවනු!

සසප උද්ඝෝෂනය කරන්නේ, කම්කරුවන් ධනපති පක්ෂ හා වෘත්තීය සමිති නිලධරයන්ගෙන් බිඳී වෙන් වියයුතු බවයි. ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීම සඳහා පසුගිය වසර දෙක තුල වෘත්තීය සමිති කම්කරුවන්ගේ වැඩ වර්ජන සහ අරගල නැවත නැවතත් සීමා කර පාවා දී ඇත.

2025 පෙබරවාරි 27 වැනි දින අයවැය කප්පාදූන්ට එරෙහි ව මහනුවර ශික්ෂන රෝහලේ විරෝධතාවයේ යෙදෙන හෙදියෝ

දැන්, ජවිපෙ/ජාජබ කප්පාදු වැඩසටහන වේගවත් කර ඇති තත්වයක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයේ (ජීඑම්ඕඒ) සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ (එච්ටීයූඒ) නායකයින් ඔවුන් සැලසුම් කල විරෝධතා අතහැර දමා ඇත. කිසිදු වෘත්තීය සමිතියක් ජාමූඅ හි නියෝගවලට විරුද්ධ නොවන අතර “නැගී එන කම්කරු නොසන්සුන්තාව” එහි වැඩපිලිවෙල කඩාකප්පල් කරනු ඇති බවට ජාමුඅ විසින් කල අනතුරු ඇඟවීමට සියල්ලෝම අවනත වී සිටිති.

සෑම වැඩබිමකම ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් ක්‍රියාකාරී කමිටු ගොඩනඟා ඔවුන්ගේ සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා අරගලය ගෙනයාම පිලිබඳව සාකච්ඡා කර ක්‍රියාත්මක කරන ලෙස අපි කම්කරුවන්ගෙන් සහ පීඩිත ජනතාවගෙන් ඉල්ලා සිටිමු. එසේ කිරීමට කැමති අයට අපගේ දේශපාලන සහාය ලබා දීමට අපි පොරොන්දු වෙමු.

සසප පහත සඳහන් සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගය ඉදිරිපත් කරයි:

සියලු ආකාරයේ ජාතිකවාදයන්ට සහ වර්ගවාදයන්ට විරුද්ධ වනු! කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත්කම සඳහා සටන් කරනු!

ශ්‍රී ලංකාවේ පාලක පන්තිය සතුව ඇත්තේ, කම්කරුවන් බෙදීම සඳහා දෙමල-විරෝධී සහ මුස්ලිම්-විරෝධී ස්වෝත්තමවාදයට යොමුවීමේ ප්‍රතිගාමී ඉතිහාසයකි. එහි ප්‍රතිඵලය වූයේ, ජවිපෙ හි පූර්න පිටුබලයලත්, දශක තුනක විනාශකාරී දෙමල විරෝධී යුද්ධය යි.

උතුරු නැගෙනහිර පලාත්වල මිලිටරි වාඩිලෑම දිගටම පවත්වාගෙන යන ආන්ඩුව, එහි බෞද්ධ සිද්ධස්ථාන පිහිටුවීමේ වාර්ගික උද්ඝෝෂනයට තම දුස්සහාය ලබා දෙයි. ජාතික සමගිය වෙනුවෙන් කතා කරන අතරම, ජවිපෙ, සිංහල-බෞද්ධ අධිපතිවාදය තහවුරු කරන රටේ වාර්ගික ව්‍යවස්ථාවට මුලුමනින්ම සහාය දක්වයි.

දෙමල ධනේශ්වර පක්ෂවල ප්‍රතිචාරය ද එලෙසම ය—ඒවා, දිවයිනේ වෙනත් තැන්වල සිටින දෙමල වැඩ කරන ජනතාව ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන්ගෙන් වෙන් කිරීම සඳහා දෙමල ජාතිකවාදය ප්‍රවර්ධනය කරයි.

• තමන්ව බෙදීමට ඉඩ දෙන්නේ නම්, කම්කරුවන්ට ඔවුන්ගේ පන්ති අවශ්‍යතා වෙනුවෙන් සටන් කල නොහැක.

• වර්ගභේදවාදයට විරුද්ධ වනු! සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතුව සඳහා! සියලු දෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජීය අයිතිවාසිකම් ආරක්ෂා කරනු!

ග්‍රාමීය දුප්පතුන් සහ පීඩිත ජනතාව පෙලගස්වනු!

ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත්වීම සඳහා ගොවීන්ගේ සහ ග්‍රාමීය දුප්පතුන්ගේ කෝපය සහ සතුරුකම ගසාකෑ නමුත් ඔවුන්ට දුන් සියලු පොරොන්දු කඩ කර ඇත. වී වල සොච්චම් මිල වැඩිවීම කිසිසේත්ම ප්‍රමානවත් නොවේ. නය දෙන මිනී මෝරුන්ට පොලී ගෙවීමෙන් සහ බීජ, පලිබෝධනාශක, වල්නාශක සහ පොහොර සඳහා අධික මිල ගනන් වලින් පීඩා විඳින දුප්පත් ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය පවා සපුරාගත නොහැක.

සසප මෙසේ ඉල්ලා සිටී: බැංකු, ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ පෞද්ගලික නය දෙන්නන් ඇතුලු නය දෙන්නන්ට ගෙවිය යුතු සියලු නය කපා හරිනු! ගොවීන්ට මූල්‍ය ආධාර මෙන්ම පොහොර, කෘෂි රසායන සහ කෘෂිකාර්මික උපකරන අඩු මිලට ලබා දෙනු! සහල් ඇතුලු භෝග සඳහා සාධාරන මිලක් සහතික කරනු!

දුගී ගොවීන් තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවාගෙන කම්කරු පන්තිය සමඟ එක්විය යුතුය. ඉඩම් සහ ලාභ කෘෂිකාර්මික යෙදවුම් සම්පාදනය කිරීම සඳහා කෘෂි ව්‍යාපාර සහ ප්‍රධාන සමාගම් තම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගෙනඒම තුලින්, ගොවීන් මුහුන දෙන දැවෙන ගැටලු විසඳාලිය හැක්කේ කම්කරු පන්තියට පමනි.

සියලු සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරනු!

ආන්ඩුවේ කප්පාදු වැඩසටහනට එරෙහිව, සසප මෙසේ යෝජනා කරයි:

• ජාමූඅ නය ඇතුලු සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කරනු! විනාශකාරී වාර්ගික යුද්ධයක් දියත් කිරීමට සහ සංගත ලාභ වැඩි කිරීමට ධනේශ්වර ආන්ඩු විසින් ලබා ගත් නය සඳහා අප සහ ඉදිරි පරම්පරාවන් ගෙවිය යුත්තේ ඇයි? සියලු අරමුදල්, වැඩ කරන ජනතාවගේ දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා භාවිතා කල යුතුය!

• පුද්ගලික හා රාජ්‍ය අංශවල සියලුම සේවකයින්ට මූර්ත වැටුප් ඛාදනය පූරනයවන වැටුප් වැඩිවීමක් ලබා දිය යුතුය! එසේම, ජීවන වියදමට අනුව වැටුප් ඉහල යා යුතුය! විශ්‍රාමිකයින්ට ද ඒ හා සමාන වැඩිවීමක් ලැබිය යුතුය!

• වතු කම්කරුවන්ට වැටුප් සහිත නිවාඩු සහ විශ්‍රාම වැටුප් සමඟ ජීවන වියදමට සරිලන යහපත් මාසික වැටුපක් ගෙවිය යුතුය!

• යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිරින් සියලුම සන්නද්ධ හමුදා ඉවත් කර ගනු! හමුදාව විසින් අත්පත් කරගත් ඉඩම් ඒවායේ හිමිකරුවන්ට ආපසු ලබා දෙනු!

• රාජ්‍ය ව්‍යවසායන්හි වෙලඳපොල-හිතවාදී ප්‍රතිව්‍යුහගත කිරීම් එපා! සියලුම රැකියා සහ සේවා කොන්දේසි ආරක්ෂා කරනු! සියලුම රාජ්‍ය සතු ව්‍යවසායන් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරනු!

• ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වහාම පහත හෙලනු. එම ද්‍රව්‍ය සඳහා වැට් බද්ද සහ අනෙකුත් බදු අහෝසි කරනු!

• රැකියා විරහිත උපාධිධාරීන් 40,000 ට සහ අනෙකුත් රැකියා විරහිතයින්ට යහපත් වැටුප් සහිත රැකියා ලබා දෙනු!

• සියලුම බැංකු, විශාල සමාගම් සහ වතු, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගෙන, පුද්ගලික ලාභ සඳහා නොව, කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ ශුභසිද්ධිය සඳහා නිෂ්පාදනය සහ බෙදා හැරීම ප්‍රතිසංවිධානය කරනු!

• ධනවත් සුලුතරයේ වත්කම් අත්පත් කර ගෙන බහුතරයේ හදිසි අවශ්‍යතා සපුරාලීමට එම අරමුදල් භාවිතා කරනු!

• විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු!

• කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ), හදිසි අවස්ථා සහ අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි ඇතුලු සියලු මර්දනකාරී නීති අහෝසි කරනු!

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් සඳහා!

වැඩ කරන ස්ථානයන්හි සහ ගම්බද ප්‍රදේශයන්හි පිහිටුවාගනු ලබන ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිතයින් මත පාදක වන කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් (ඩීසීඑස්) පිහිටුවීම සඳහා සසප කැඳවුම් කරයි. එවැනි සම්මේලනයක් තුල සමාජවාදී පිලිවෙත් මත පාදක වූ වැඩපිලිවෙලක් සම්මත කර ගැනීම සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන පිලිබඳව සාකච්ඡා කල හැකි අතර එසේ සාකච්ඡා කල යුතුය.

මෙම මැතිවරනයේදී, සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා වන තම සහයෝගය සහතික කිරීමට, කරෙයිනගර් සහ කොලොන්නාවේ අපගේ අපේක්ෂකයින්ට ඡන්දය දෙන ලෙස කම්කරුවන්ගෙන්, දුගීන්ගෙන් සහ තරුනයින්ගෙන් අපි ඉල්ලා සිටින්නෙමු. වෙනත් ප්‍රදේශවල ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කරන ලෙස අපි කියා නොසිටින්නෙමු.

සමාජවාදී අනාගතයක් සඳහා සටන් කිරීමට අවශ්‍ය ඓතිහාසික පාඩම්වලින් සහ විප්ලවවාදී වැඩපිලිවෙලකින් කම්කරුවන් සහ තරුනයින් ජාත්‍යන්තරව සන්නද්ධ කරන එකම ප්‍රකාශනයය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය (wsws.org) කියවන්න.

විශ්ව විද්‍යාලවල, අනෙකුත් අධ්‍යාපන ආයතනවල සහ තරුන කම්කරුවන් අතර සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය ගොඩනඟන්න.

අප පක්ෂය ගොඩනැගීමේ රුපියල් 500,000 අරමුදලට මුදල් පරිත්‍යාග කරන්න.

සියල්ලටත් වඩා, ඉදිරියේදී පැන නගින දැවැන්ත අරගල සඳහා අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ලෙස සසප ගොඩනැගීමට එක්වන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.