ඉදිරිදර්ශන

ට්‍රම්ප්ගේ තීරුබදු වැඩි කිරීමෙන් කම්පනයට පත් ශ්‍රී ලංකාවේ ජනාධිපති “ජාතික සමගිය” ඉල්ලා සිටී

[මෙය Shocked by Trump’s tariff increase, Sri Lankan president calls for “national unity” යන මැයෙන් 2025 අප්‍රේල් 11 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ඇමරිකා එක්සත් ජනපද තීරුබදු ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති කරන බලපෑම පිලිබඳව, 2025 අප්‍රේල් 10 වන දින, ජනාධිපති දිසානායක පක්ෂ නායකයින් සමඟ පැවත්වූ හමුව [Photo: X/Anura Kumara Dissanayake]

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මිතුරන්ට සහ සතුරන්ට එරෙහි ව එක සේ දියත් කර ඇති තීරු බදු යුද්ධය, එක්සත් ජනපදය ද ඇතුලු සෑම රටක ම ආර්ථික හා දේශපාලන අර්බුදය ගැඹුරු කරනු ඇත. චීනය, කැනඩාව සහ යුරෝපීය රටවල් ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ, එක්සත් ජනපද ආනයන සඳහා එකට එක කරමින් තීරුබදු වැඩි කිරීම් මඟිනි.

ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධය, ඇමරිකා එක්සත් ජනපදයේ, යුරෝපයේ සහ ජාත්‍යන්තර ව කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ කොන්දේසි මත තවත් දැඩි ප්‍රහාර එල්ල කිරීමට තුඩු දෙනු ඇත; පන්ති අරගලය තීව්‍ර කරනු ඇත; විනාශකාරී අධිරාජ්‍යවාදී ගැටුම් කරා ඇදී යාම උත්සන්න කරනු ඇත.

අප්‍රේල් 9වන බදාදා, ට්‍රම්ප් රටවල් 75 ක් සඳහා වැඩි කරන ලද තීරුබදුවලට දින 90 ක “විරාම කාලයක්” නිවේදනය කල අතර චීන භාන්ඩ සඳහා ඔහුගේ තීරුබදු සියයට 145 දක්වා වැඩි කලේ ය. මෙම නිවේදනයෙන් පසුව සහ දින 90 ගත වීමෙන් පසු ව එක්සත් ජනපද ජනාධිපතිවරයා සැලසුම් කරන්නේ කුමක් ද යන්න පිලිබඳ කල්තියා කිසිවක් කිව නොහැක.

ලංකාවට සියයට 44 ක දැවැන්ත තීරුබදු පැටවීමක් එල්ල වී තිබේ. ඉන් කම්පනයට පත් ජනාධිපති දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව සහ ලංකාවේ ප්‍රභූ පාලක පැලැන්තිය ඊට මංමුලා සහගත ලෙස ප්‍රතිචාර දක්වා ඇත. ට්‍රම්ප්ගේ විරාම කාලය නිවේදනය කිරීමෙන් පසු, ඊයේ, ඔවුහු සැනසුම් සුසුමක් හෙලූ නමුත් ඊලඟට කුමක් සිදුවේ ද යන්න පිලිබඳ ව දැඩි කනස්සල්ලෙන් පසු වෙති.

තීරු බදු වැඩි වීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කුරිරු ඇප නය පියවර ක්‍රියාත්මක කරමින් සිටින ලංකාවේ ධනපති පන්තිය සහ එහි ආන්ඩුව මුහුන දෙන ආර්ථික අර්බුදයේ පරිමාව තවදුරටත් අනාවරනය කර ඇත.

ලංකාවේ අපනයන සඳහා තනි විශාලත ම වෙලඳපොල ඇමරිකා එක්සත් ජනපදය වන අතර එය වර්තමානයේ දිවයිනේ මුලු අපනයනවලින් සියයට 25 කි; එහි වටිනාකම, ඩොලර් බිලියන 18ක් වන සමස්ත වාර්ෂික අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 3 කි. පසුගිය වසරේ, ලංකාව එක්සත් ජනපදයට කරන ලද අපනයන ප්‍රමානයේ අගය ඩොලර් මිලියන 356 ක් පමනි.

ඇමරිකා එක්සත් ජනපදයට ඇඟලුම් අපනයනය කිරීමෙන් ලංකාව වාර්ෂික ව ඩොලර් බිලියන 1.5 ක් උපයන අතර, ඇමරිකානු තීරුබදු සියයට 44 දක්වා ඉහල ගියහොත් ඇඟලුම් කර්මාන්තයට වාර්ෂික ව ඩොලර් මිලියන 600 කට වඩා අහිමි වනු ඇතැයි ගනන් බලා තිබේ.

ලංකාව එක්සත් ජනපදයට කරන ඇඟලුම් අපනයන කඩා වැටීමෙන් කර්මාන්තශාලා වැසී යනු ඇත; දැවැන්ත රැකියා අහිමි වීම් සිදු වනු ඇත. මෙම කර්මාන්තයේ ඍජු ව ම සේවකයින් 350,000 ක් පමන සේවය කරන අතර වක්‍ර ව සේවකයන් 600,000 ක් පමන මෙම කර්මාන්තයෙන් යැපෙති

ඇඟලුම් සමාගම් දැනටමත්, උප කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඔවුන්ගේ පිරිවැය සියයට 40 කින් අඩු කරන ලෙස ඉල්ලා තිබේ. එය තුඩු දෙනු ඇත්තේ, විශාල දොට්ට දැමීම්, වැටුප් කප්පාදු සමග වැඩ වේගවත් කිරීම් වලට ය. සමහර ඇඟලුම් සමාගම් පිරිවැය කපා හරිනුවස් දැනටමත් නිෂ්පාදනය සඳහා පිටතින් සේවය ලබා ගනිමින් සිටී.

ලංකාවෙන් ප්ලාස්ටික් සහ රබර් නිෂ්පාදන, ආහාර, ස්වර්නාභරන සහ වටිනා ලෝහ ද ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කෙරෙයි; දැන්, ඒ සියල්ල විමර්ශනයට ලක් ව තිබේ. මෙම කර්මාන්තවල කම්කරුවන්ගේ රැකියාවලට ද ප්‍රහාර එල්ලවීමට නියමිත ය.

මාර්තු හත් වන සඳුදා, කොලඹ කොටස් වෙලඳපොලේ (සීඑස්සී) සියලු-කොටස් මිල දර්ශකය රුපියල් බිලියන 227 ක අලාභයක් අත් විය; අප්‍රේල් 2 වනදා සිට රුපියල් බිලියන 500 කට ආසන්න අලාභයක් වාර්තා විය. තාවකාලික තීරුබදු විරාම කාලය ගැන ඇසීමෙන් පසු ඊයේ කොටස් වෙලඳපොල තරමක් ඉහල ගියේ ය.

ඉකොනොමිනෙක්ස්ට් වෙබ් අඩවිය, නව තීරුබදු ක්‍රමයේ සමාජ-දේශපාලනික බලපෑම ගැන සඳහන් කලේ ය. “දේශපාලනික වශයෙන්, මෙය, නව ආන්ඩුව දුර්වල කිරීමට, මහජන කෝපය ඇවිස්සීමට සහ ජනතාවාදී හෝ ආරක්ෂනවාදී ප්‍රතික්‍රියා සඳහා අවකාශයක් නිර්මානය කිරීමට ද හේතු විය හැක,” යනුවෙන් එහි සඳහන් විය.

ලංකාවේ ආර්ථිකයේ බිඳවැටීම මධ්‍යයේ, 2022 අප්‍රේල්-ජූලි මාසවල, මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ දුප්පතුන් මහජන විරෝධතා සහ වැඩවර්ජන මගින් ආන්ඩුවට එරෙහි ව නැගී සිටි නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට සිදු වීම පිලිබඳ මතකයන්ගෙන් පාලක පන්තිය භීතියට පත් ව සිටින බව නිසැක ය.

අප්‍රේල් 7 වන දින මැතිවරන රැලියක් අමතමින් ජනාධිපති දිසානායක මෙසේ ප්‍රකාශ කලේ ය: “අපි ජාතියක් ලෙස මෙම [තීරුබදු] ගැටලුවට මුහුන දිය යුතුයි. එවැනි ගැටලු ඇති වීම වැලැක්වීම සඳහා උපරිම මැදිහත් වීමක් සිදු කරන අතර ම, එයට මුහුන දීමට ජාතියක් ලෙස සූදානම් වන ලෙස මම රටේ සෑම කෙනෙකුගෙන් ම ඉල්ලා සිටිනවා.”

“ජාතිය” බේරා ගැනීමේ මුවාවෙන් කරන දිසානායකගේ ආයාචනය, අනාගත ආර්ථික බිඳවැටීමක බර සියලු වැඩ කරන ජනතාව විසින් දැරිය යුතු බවට නිවේදනය කිරීමකි.

අඟහරුවාදා පාර්ලිමේන්තුව අමතමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නව ගාස්තු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ආන්ඩුව ගන්නා විවිධ ක්‍රියාමාර්ගවල ලැයිස්තුවක් ඉදිරිපත් කලේය. තීරුබදු ඉහල නැංවීමේ ප්‍රතිවිපාක පිලිබඳව සොයා බලා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා දිසානායක විශේෂඥ කමිටුවක් පත් කලේය.

දකුනු ආසියාව සඳහා වන එක්සත් ජනපද සහකාර වෙලඳ නියෝජිත බ්‍රෙන්ඩා ලීච් සහ අනෙකුත් ඉහල පෙලේ නියෝජිතයන් සමඟ ප්‍රනාන්දු සහ ලාංකික නිලධාරීන් කිහිප දෙනෙක් අඟහරුවාදා ඔන්ලයින් හමුවක් පැවැත්වූහ. ඔවුහු, එක්සත් ජනපදයෙන් ආනයනය කරන භාන්ඩ සඳහා පනවා ඇති ලංකාවේ තීරුබදු අඩු කිරීමට කැමැත්ත දැක්වෙන යෝජනාවක් ඉදිරිපත් කලහ.

ලංකාව පැත්තෙන් හානිය “අවම කිරීමේ ක්‍රියාමාර්ග” ගන්නා බවට ජනාධිපති දිසානායක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යවා ඇති බව ප්‍රනාන්දු පැවසූ අතර, “අපට එක්සත් ජනපදයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ විය නොහැකි බව” ඔහු මාධ්‍ය ඉදිරියේ පිලිගත්තේ ය.

විරුද්ධ පක්ෂ නායකයින් 12 දෙනෙකු, ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීමකට කැඳවූ, දිසානායක, තම ආන්ඩුව තීරුබදු වලට ප්‍රතිචාර දක්වන ආකාරය පැහැදිලි කලේ ය. “ඇමරිකා එක්සත් ජනපදය සමඟ කටයුතු කිරීම සඳහා වන යෝජනා සහ අපගේ අපනයන වෙලඳපොල විවිධාංගීකරනය කිරීමේ උපාය මාර්ග පිලිබඳව අපි ඵලදායී සංවාදයක් පැවැත්වුවා,” යැයි සාකච්චාවෙන් පසුව දිසානායක ඔහුගේ X (ට්විටර්) ගිනුමේ සඳහන් කලේ ය.

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන හර්ෂ ද සිල්වා පසුව මෙසේ ලිවී ය: රැස්වීමේ දී, “ලෝකය සමඟ වෙලඳාම ශක්තිමත් කිරීම සඳහා අප සෑම දෙයක් ම කරන අතරම, ක්ෂනික ගැටලුව වන්නේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ එච්එස් කේතය [වෙලඳ නිෂ්පාදන සඳහා ප්‍රමිතිගත සංඛ්‍යාත්මක කේතය] පදනම් කරගත් ද්විපාර්ශ්වික වෙලඳ ගිවිසුමකට එලඹීම බවට [අපි] පොදු එකඟතාවයකට පැමිනියෙමු.”

ද සිල්වා මීට පෙර තීරුබදු අර්බුදය විසඳීම සඳහා “ඒකාබද්ධ ජාතික ප්‍රවේශයක්” ඉල්ලා සිටි අතර මෙසේ පැවසී ය: “මෙය ජාතික අර්බුදයක්. එහි ප්‍රතිවිපාක දැවැන්ත විය හැකියි.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා සහ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඥාති පුත්‍රයෙකු වන නාමල් රාජපක්ෂ, “සියලු දේශපාලන පක්ෂ එක් ව වැඩ කර බලපෑමට ලක් වූ අංශවලට සහාය වන ලෙස” ඒ හා සමාන ඉල්ලීමක් කලේ ය.

ජාමූඅ කප්පාදු පියවරයන්ට සහාය දෙන විරුද්ධ පක්ෂ දැන් “ජාතික සමගිය” සඳහා කරන ඉල්ලීම් කම්කරුවන්ට සහ දුප්පතුන්ට එරෙහි ආන්ඩුවේ ප්‍රහාරවලටත්, අනිවාර්යෙන් ම පැන නගිනු ඇති මහජන විරෝධතා රාජ්‍ය මර්දනයට ලක් කිරීමටත් පූර්න සහාය ලබා දෙන බවට පොරොන්දු ය.

දිසානායක සමඟ දැනටමත් සමීප ව කටයුතු කරන ලංකාවේ මහා ව්‍යාපාරික සංසදය වන ලංකා වානිජ මන්ඩලය, ආන්ඩුවේ ප්‍රතිචාරය ගැන සතුට පලකරමින්, “එහි [රටේ] තීරු බදු ව්‍යුහය නැවත පරීක්ෂා කරබලා, වෙලඳ පහසුකම් වැඩි දියුනු කරන සහ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩි දියුනු කරන පියවර ක්‍රියාත්මක කරන ලෙස” ආන්ඩුවට පැවසී ය.

මෙලෙස, මහා ව්‍යාපාරිකයන්ට සහ විදේශීය ආයෝජකයින්ට වැඩි වැඩියෙන් බදු සහ අනෙකුත් සහන ලබා දෙන ලෙසත්, වැඩ කරන ජනතාව මත වැඩි බරක් පටවන ලෙසත් [වානිජ] මන්ඩලය ඉල්ලා සිටී.

දිසානායක සහ විරුද්ධ පක්ෂ තීරුබදු අඩු කිරීම සඳහා කරන මංමුලා සහගත ආයාචනා කුමක් වුවත්, වොෂින්ටනය ගන්නා පියවර, සියලු රටවල් එහි භූ-දේශපාලනික න්‍යාය පත්‍රය සහ ආර්ථික අවශ්‍යතා සමඟ පෙල ගැසිය යුතු බවට කරන බලපෑමෙන් වෙන් කල නොහැකි ය.

තීරු බදු තන්ත්‍රය පිලිබඳ ධවල මන්දිර විස්තර පත්‍රිකාවේ සඳහන් වන පරිදි, “වෙලඳ හවුල්කරුවන්ට” තීරු බදු සහන ලබා ගත හැක්කේ “ආර්ථික හා ජාතික ආරක්ෂක කාරනා සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ පෙල ගැසීමට සැලකිය යුතු පියවර” ගැනීමෙන් පසු ව පමනි.

දිසානායක ආන්ඩුව දැනටමත් මෙම දිශාවට බොහෝ දුර ගමන් කර ඇත. පසු ගිය සැප්තැම්බර් මාසයේ දී දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් ටික කලකට පසු, ජ්‍යෙෂ්ඨ ඇමරිකානු හමුදා නිලධාරීහු ලංකාවට පැමින ඔහු හමු වූහ.

සංචාරය කල අය අතරට, එක්සත් ජනපද පැසිෆික් බල ඇනියේ අන දෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහෙලර්, දකුනු සහ මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් අනදෙන නිලධාරී අද්මිරාල් සැමුවෙල් ජේ. පැපරෝ ඇතුලත් විය. මෙම සංචාර වල දී, එක්සත් ජනපදය සමඟ ලංකාවේ මිලිටරි සබඳතා ශක්තිමත් කර ගැනීම පිලිබඳ සාකච්ඡා කිරීම සිදුවිය.

පසුගිය සතියේ අගමැති නරේන්ද්‍ර මෝදි ලංකාවට කල සංචාරයේ අරමුන ද එය ම ය. වොෂින්ටනයේ චීන-විරෝධී යුද මූලෝපායේ ප්‍රධාන කලාපීය හවුල්කරුවා ඉන්දියාවයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වාර්තාවකට අනුව, ලංකාවේ ආන්ඩුවේ නායකයින්, වොෂින්ටනයට කරන ලද ආයාචනාවලට රුකුලක් ලබා ගැනීම සඳහා මෝදි වෙත හැරී ඇත. ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි අප්‍රේල් 5 වන දින මාධ්‍ය හමුවක දී කියා සිටියේ, ඇමරිකානු තීරු බදු ගැටලු පිලිබඳ සාකච්ඡා සඳහා සහාය වන බවට මෝදි ලංකා ආන්ඩුවේ නිලධාරීන්ට සහතික වූ බවයි.

“අර්බුදයට මුහුන දීමට ජාතියක් ලෙස සූදානම් වන්න” යන ආන්ඩුවේ සහ විපක්ෂයේ ප්‍රතිගාමී ඉල්ලීම ලංකාවේ කම්කරුවන් ප්‍රතික්ෂේප කල යුතු ය. ලංකාවේ ධනවාදය සහ එහි පාලක ප්‍රභූව බේරා ගැනීම සඳහා කම්කරුවන් සහ දුප්පතුන් තම රැකියා, වැටුප් සහ ජීවන තත්වයන් කැප කල යුත්තේ ඇයි?

ට්‍රම්ප්ගේ ක්‍රියාවන් වනාහි, ගෝලීය වශයෙන් ඒකාබද්ධ නිෂ්පාදනය සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතියත්, ප්‍රතිවාදී ජාතික රාජ්‍ය පද්ධතියත් අතර ප්‍රතිවිරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස පැන නැගී තිබෙන, ධනවාදයේ ඓතිහාසික අර්බුදයේ ප්‍රකාශනයකි. ට්‍රම්ප්ගේ තීරු බදු යුද්ධයට ඒකාබද්ධ ජාතික ප්‍රතිචාරයක් සඳහා ජවිපෙ/ජාජබ සහ විරුද්ධ පක්ෂ කරන වාචාල කතාවලින්, මෙම ආර්ථික බිඳ වැටීමට හා කඩා වැටීමට ජාතික විසඳුමක් නොමැති ය යන සත්‍යය සැඟවිය නොහැක.

කම්කරු පන්තිය තම ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් සඳහා සටන් කිරීමට වහා සූදානම් විය යුතු ය. මෙය කල හැක්කේ, සියලු ධනේශ්වර පක්ෂවලින්, වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සහ ඒවායේ ආධාරකරුවන් සියලු දෙනාගෙන් බිඳී, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් සඳහා සටන් කිරීම සඳහා කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගැන්වීමෙන් පමනි.

සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ එලෙස ස්වාධීන ව තම බලමුලු තරකර ගැනීම සඳහා සෑම වැඩබිමක ම සහ සියලුම ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙසයි. මෙම අරගලයට සම්බන්ධ වීමට ග්‍රාමීය ජනතාව ද තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු ය.

කම්කරු පන්තියට මෙම සටන දියත් කල හැක්කේ, එහි ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමඟ එක්සත් වෙමින්, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනැගීමෙනි.