සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ රැකියා සටන තුල යලි ප්‍රකාශයට පත්වන අවිශිබමයේ බංකොලොත් විරෝධතා දේශපාලනය

පැවති ආන්ඩු විසින්, 2020 වසරේ සිට, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් (සසෞවිඋ) රජයේ රෝහල් තුල පවතින පුරප්පාඩු සඳහා බඳවා නො ගැනීමෙන් උපාධිධාරීන් කිහිප දහසක් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගොන්නට ඇද දමා තිබේ.

සසෞවි උපාධිධාරීන්ට රැකියා ලබා දීම සඳහා තරග විභාගයක් පැවැත්විය යුතු යයි නියෝග කර තිබූ 2021 වසරේ චක්‍රලේඛයකට අනුව ජනතා විමුක්ති පෙරමුනු (ජවිපෙ)/ ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුව තරග විභාග පැවැත්වීමට සූදානම් වීමත් සමග සසෞවි උපාධිධාරීහු පසුගිය සති කිහිපය පුරා විරෝධතාවල නිරත වී සිටිති. ඔවුන් කියා සිටින්නේ, තරග විභාගයකින් තොරව සියලුම සසෞවි උපාධිධාරීක්ට රැකියා ලබා දිය යුතු බවයි.

එම විරෝධතාවල දී උපාධිධාරීන්ට බොරු පොරොන්දු ලබා දීමකින් නතර නොවූ ආන්ඩුව මාර්තු මස 28 දා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උපාධිධාරීන් විසින් ආරම්භ කල සත්‍යග්‍රහය විසුරුවා හැරීමට නියෝග කලේ ය. 29 දා අලුයම සත්‍යග්‍රහයට කඩා වැදුනු පොලීසිය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබමය) කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් සහ සසෞවි උපාධිධාරී එකමුතුවේ ලේකම් නදුන් දර්ශිත ඇතුලු 27 ක් අත්අඩංගුවට ගනු ලැබූහ.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), ජවිපෙ/ජාජබ ආන්ඩුවේ එම මිලේච්ඡ ප්‍රහාරය හෙලා දකි.

එසේම, ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීමට පෙරට පැමින සිටින රැකියා විරහිතයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හමුවේ මෙම විරෝධතා සංවිධානය කරන අවිශිබම හා සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව, ආන්ඩුවට පීඩනය යෙදීමෙන් ඉල්ලිම් දිනාගත හැකිය යන මිත්‍යාව වපුරමින් ගෙනයන ප්‍රතිගාමී දේශපාලනයට සසජාතශි එරෙහි වේ. මෙම දේශපාලනයට ඔවුන් මෙහෙයවන්නේ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යි.

ඇප මත නිදහස්ව මේ මස 04 දා පැවති මාධ්‍ය සාකච්ඡාවක් ඇමතූ අවිශිබම කැඳවුම්කරු චන්ද්‍රජිත් කියා සිටියේ “මේක රජයේ රැකියා ඉල්ලන අරගලයකටත් වැඩිය, නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරනය සම්බන්ධ ආන්ඩුවේ ප්‍රතිපත්තිය සම්බන්ධ ප්‍රශ්නයක්” බවයි. තරග විභාග පැවැත්වීමට එරෙහිව චන්ද්‍රජිත් මෙසේ සඳහන් කලේ ය: “ආන්ඩුව යන්නේ පෞද්ගලික උපාධි කඩවලින් උපාධි ලැබූ අයටත් රජයේ රැකියා ලබා දීලා පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රවර්ධනය කිරීමටයි”.

පෙබරවාරී මස අග පැවැති විරෝධතාවයක දී සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ ලේකම් නදුන් දර්ශිත රජයේ විශ්වවිද්‍යාල අවස්ථා අහිමිවීම හේතුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීමට බල කෙරුනු ශිෂ්‍යයන්ට එරෙහි මෙම උද්ඝෝෂනය තවත් එහාට ගෙන ගියේ ය. “උසස් පෙල තරග විභාගයේ තරග විභාගය ජය ගන්න බැරි වුන අය - මුදලට උපාධි ගත්තු අය මේ රැකියාවලට ගන්න යනවා. උසස් පෙල කියන්නේ ලංකාවේ සෑම දරුවෙකුටම සමානව සාධාරනව ලැබෙන තරග විභාගයක්. ඉන් ඉහල ලකුනු තියෙන අයව තමා විශ්වවිද්‍යාලවලට තෝර ගන්නේ. ඒ අයව හලලා, මුදලට උපාධි ගත්තු අයව මේකට රිංගවන්න යනවා. ඒකයි තරග විභාග තියන්න මූලික හේතුව”.

රැකියා විරහිත ව සිටින සම සෞඛ්‍ය උපාධිධාරීන්, රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධිධාරීන් ලෙස භේද කරන අවිශිබමයේ ප්‍රතිගාමී උද්ඝෝෂනය යොමු වී තිබෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීමට එරෙහි ව යි.

පැන නගින ප්‍රශ්නය වන්නේ රජයේ රැකියා සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධි ලබන පිරිස් බැහැර කිරීම මගින් අධ්‍යාපනය පෞද්ගලීකරනය නතර කරන්නේ කෙසේ ද යන්නයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වැනි මුදලට උපාධි ලබා දෙන විශ්වවිද්‍යාලවලට ඇතුලුවීමට උසස් පෙල සමත් ශිෂ්‍යයන්ට බල කෙරී ඇත්තේ, රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය බරපතල කප්පාදුවකට ලක් කර, එහි ඉඩකඩ දැවැන්ත පරිමානයෙන් සීමා කිරීම හේතුවෙනි.

ධනපති පන්තියේ සහ ඉහල මධ්‍යම පන්තියේ පවුල්වල අතලොස්සක් හැර, රුපියල් මිලියන ගනන් අය කරන පෞද්ගලික උපාධි පාඨමාලා වෙත තම දරුවන් යොමු කරන පහල මධ්‍යම පන්තික හා කම්කරු පන්තික පවුල් ඒ සඳහා මුදල් සොයා ගන්නේ තම ඉඩකඩම්, කනකර උකස් කිරීමෙනි.

ධනපති ක්‍රමයේ අර්බූදය හමුවේ මෙම පහල මධ්‍යම පන්තික කොටස් මත ද දරුනු ප්‍රහාරයක් එල්ල වී ඇති අතර නිදහස් අධ්‍යාපන, සෞඛ්‍ය සඳහා වන අරගලයේ දී ඔවුන් අපගේ ආධාරකරුවෝ වෙති.

සසෞවි උපාධිධාරීන් රජයේ රෝහල්වල පවතින පුරප්පාඩු සඳහා බඳවා නො ගැනීමත්, පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රවර්ධනය කිරීමත්, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය ක්‍රමානුකූල ව කප්පාදු කරමින් එම ක්ෂේත්‍ර දෙස් විදෙස් පෞද්ගලික ආයෝජකයන්ගේ ලාභ ලබන කර්මාන්තයන් බවට පත් කිරීමේ ධනපති ආන්ඩුවල පිලිවෙතකින් ගලා එයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු වැඩපිලිවෙල ඒ ආකාරයෙන් ම ක්‍රියාවට දමමින් සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ මෙම කප්පාදුව තවත් තිව්‍ර කෙරෙමින් තිබේ.

මේ මස 26 දා කැබිනට් තීරන දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවක දී රැකියා විරහිත උපාධිධාරීන් පිලිබඳව නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දුන් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මෙසේ ප්‍රකාශ කලේ ය: “රැකියා විරහිත උපාධිධාරීන් බල්ක් හැටියට ඒ කියන්නේ, තිස්දාහේ හතලිස්දාහේ විදිහට බඳව ගන්නේ නෑ. පවතින පුරප්පාඩු හා රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවය මත තමයි බඳව ගන්නේ” යයි කියා සිටියේ ය.

ආන්ඩුව පවසන රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ සැබෑ අර්ථය වන්නේ ජාමූඅ නියෝග පරිදි සේවක කප්පාදුව, සූරාකෑම තවදුරටත් තීව්‍ර කිරීමයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, රැකියා විරහිතයන් හා කම්කරු පීඩිතයන් දේශපාලනිකව මුහුන දෙන තීරනාත්මක ප්‍රශ්නය වන්නේ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේ ද? යන්නයි.

මෙම බැරැරුම් ප්‍රශ්නයෙන් ශිෂ්‍යයන්ගේ අවධානය ඉවතට යොමු කරමින්, පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට විරුද්ධව උද්ඝෝෂනයක යෙදෙන අවිශිබමය, ආන්ඩුවේ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට අනුකූලව, ශිෂ්‍යයන්ගේ හා රැකියා විරහිතයන්ගේ ඉල්ලීම් කප්පාදු කොට ආන්ඩුව ආරක්ෂා කිරීමේ පිලිවෙතක යෙදී සිටී.

“අපි සටන් කලේ බල්ක් පිටින් බඳව ගන්න කියන්න නෙමේ. අපි කියන්නේ බැච් 4 ම එකවර බඳව ගන්න කියලා නෙමේ. ප්‍රශ්න විසඳනවා නම් අපි දෙන්නම් යෝජනා” යයි අවිශිබමයේ ක්‍රියාකාරිකයෙකු වන අබ්දුල්ලා මොහොමඩ් රිසාද් 03දා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අත්අඩංගුවට පත්වූවන් නිදහස් කරන්නැයි ඉල්ලා පැවති විරෝධතාවයේ දී කියා සිටියේ ය.

අවිශිබම 2025 අප්‍රේල් 03 වැනි දා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්නැයි ඉල්ලා පැවත් වූ විරෝධතාවය

ධනපති අර්බූදයට තරුනයන් යට කිරීම සඳහා අවිශිබමය, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල මෙන්ම ධනපති පන්ති පාලනය ඉදිරියට ගෙන යෑම සඳහා කම්කරු පන්තියේ අරගල හකුලා දැමීමේ කුප්‍රකට වාර්තාවක් ඇති වෘත්තීය සමිති නායකයන් වෙත හැරී තිබේ. 03 දා පැවති විරෝධතාවයේ දී ඔවුහු මෙම ද්‍රෝහී සමිති නිලධරයට වේදිකාව තනා දුන්හ.

ලංකා ගුරු සංගමයේ (ලංගුස) ලේකම් ජෝසප් ස්ටාලින්, ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ රවි කුමුදේශ්, පෙසප ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මෙම වේදිකාවේ කථිකයෝ වූහ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනට පවතින ප්‍රතිපාදනවලින් සසෞවි උපාධිධාරීන් පුහුනු කර බඳවා ගන්නැයි කියා සිටි කුමුදේශ් එසේ නැති වුවහොත් ජනාධිපති දිසානයක “මූල්‍ය අරමුදලේ රූකඩයක්” බව හෙලිදරව් වන බව කියා සිටියේ ය.

ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙලට එරෙහි බවක් පෙන්වන කුමුදේශ් ගේ මෙම ප්‍රකාශ මුුලුමනින්ම ප්‍රෝඩාකාරි ය. ඔහු, රනිල් වික්‍රමසිංහගේ ආන්ඩු කාලය තුල ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට අනුගත ව සෞඛ්‍ය සේවක සටන් සීමා කිරීමට (කලමනාකරනය කිරීමට) හා සේවක කප්පාදුවේ කොටසක් ලෙස සෞඛ්‍යය සේවකයන්ට විදේශ ගත වීමට දිරි දුන්නෙකි. 2022 ජුනි මස, ලෝක සමාජවාදී වෙබ් අඩවියට ඔහු ප්‍රකාශ කලේ, ජාමූඅ නය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙලට, එනම් සමස්ත නයබර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමට, තමන් පෞද්ගලික ව පක්ෂ බවයි.

පසුගිය වසරේ පැන නැගි ගුරුවරුන්ගේ සටන්, ජවිපෙ/ජාජබ යේ මැතිවරන උද්ඝෝෂනයට යටකොට ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට ගෙන ඒමට සහාය ලබා දුන් ස්ටාලින්, ප්‍රහාරයට එරෙහි ව “සියලු සමිති ඒකාබද්ධ වී සිටිනවා” යයි පූච්චානම් ප්‍රකාශයක් කලේ ය. මෙම “සියලු සමිති ඒකාබද්ධ” වනු ඇත්තේ, ජාමූඅ හි ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට එරෙහි ව ය.

අනෙක් කථිකයා වූ නාගමුව, ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පැමිනීම “ජනතා අපේක්ෂාවන්” ප්‍රකාශයට පත් වීමක් ලෙසට ගුනාංගීකරනයේ යෙදෙමින් එම ආන්ඩුව ආරක්ෂා කිරීමට පෙසප ගෙනයන වැඩකටයුතුවල ප්‍රමුඛයෙකි. ජාමූඅ වැඩපිලිවෙලට ජාජබ/ජවිපෙ ආන්ඩුව මුලුමනින්ම බැඳී සිටිය ද, සාම්ප්‍රදායික පක්ෂවලට බලයට ඒමට ඉඩ නොතබා, ආන්ඩුවට පීඩනය යොදා එය හරි පාරට ගත හැකි වෙතැයි යන මිත්‍යාව පෙසප වගා දිගා කරයි.

විය හැකි පරිදි ම ඔවුන් සියලු දෙනා, ජවිපෙ/ජාජබ ආන්ඩුව උපාධිධාරීන්ගේ රැකියා ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හා ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල සමග ඇති සම්බන්ධය යට ගසමින් අත්අඩංගුවට පත් වූවන් නිදහස් කරන්නැයි ආන්ඩුවට නිවට ආයාචනා කලහ.

තම විරෝධතාවලට “ජයග්‍රහන” තිබෙන බව මවා පෑම සඳහා අවිශිබමය, 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාවට, 2009 සිට 2018 අතර තුර සයිටම් පෞද්ගලික උපාධි ආයතනයට විරුද්ධ ව, කොතලාවල ජාතික ආරක්ෂක පීඨයට එරෙහි ව ගෙන ගිය විරෝධතා හුවා දක්වයි.

නමුත් පසුගිය දශක කිහිපය තුල නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය තුල සිදු කර ඇති දැවැන්ත කප්පාදුව පෙන්නුම් කරන්නේ ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමේ අවිශිබමයේ ක්‍රියාමාර්ගයේ ඇති පරිපූර්න බංකොලොත්භාවයයි.

ලෝක ආර්ථිකය හා ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතියත්, සමාජීයකෘත නිෂ්පාදනය සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතිය මත පාදක වූ ලාභ පද්ධතියත් අතර වන ධනවාදයේ මූලික පරස්පර විරෝධයන් මගින් ගැඹුරු කෙරී ඇති ධනපති ක්‍රමයේ ලෝක පරිමාන අර්බූදය හමුවේ අධ්‍යාපන, සෞඛ්‍ය කප්පාදුව ඇතුලු රාජ්‍ය අංශයේ රැකියා කප්පාදුව ජාත්‍යන්තර ප්‍රපංචයකි.

බිලියනපතියන් අතලොස්සක් නියෝජනය කරන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වීමෙන් පසු එරට රාජ්‍ය අංශයේ දහස් ගනනක් රැකියාවලින් දොට්ට දමා ඇති අතර මිලියන දෙකක් පමන වන එරට ෆෙඩරල් ශ්‍රම බලකායෙන් බහුතරයක් දොට්ට වැටීමේ තර්ජනයට මුහුන දී සිටිති. මිලියන ගනනකගේ ජීවනාලිය වන එරට මෙඩිකේඩ්, ආහාර කූපන් සහ නිදහස් අධ්‍යාපනය ඇතුලු සමාජ වැඩසටහන් කප්පාදුව වේගවත් කර ඇත.

ට්‍රම්ප්, චීනය ඇතුලු රටවල් ගනනාවකට පනවා ඇති තීරු බදු මේ අර්බූදයේ තියුනු ප්‍රකාශනයක් වන අතර නිර්මානය කෙරෙන්නේ රැකියා කප්පාදුව ජාත්‍යන්තර පරිමානව ඉහල යෑම හා විප්ලවවාදී පන්ති සටන් පුපුරා යෑමේ කොන්දේසි ය.

අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයේ නියෝගවලින් ගලා එන ආන්ඩුවේ ප්‍රහාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට, රැකියා විරහිත තරුනයන්ට තනි ව පරාජය කල නොහැක. එය පරාජය කල හැක්කේ, සමාජයේ එක ම විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තියේ නායකත්වය වටා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, රැකියා විරහිතයන් ඇතුලු පීඩිත ජන කොටස් බලමුලු ගන්වා ගනිමින් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ ධනපති ක්‍රමයට එරෙහිව ගෙන යන දේශපාලන අරගලයකින් පමනි.