මෝදිගේ යුද ඝෝෂාවට යටත් වෙමින්, ඉන්දියාවේ වෘත්තීය සමිති මැයි 20 වන දින මහ වැඩවර්ජනය අවලංගු කරයි

[මෙය Capitulating to Modi’s war-mongering, India’s unions cancel May 20 general strike යන මැයෙන් 2025 මැයි 16 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

හින්දු-අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ නායකත්වයෙන් යුත් ආන්ඩුව සහ සමස්ත ඉන්දීය පාලක පන්තිය විසින් අවුලුවන ලද පකිස්ථාන-විරෝධී යුද උන්මාදයට යටත් වෙමින්, “මධ්‍යම වෘත්තීය සමිති සහ ස්වාධීන පර්ෂද සම්මේලන/සංගම්වල ඒකාබද්ධ වේදිකාව (ජේපීසීටීයූඑෆ්)” ලබන අඟහරුවාදා (20) පැවැත්වීමට සැලසුම් කර තිබූ එක්දින මහා වැඩ වර්ජනය අවලංගු කර තිබේ.

ඉන්දීය ධනේශ්වරය සහ විදේශ ප්‍රාග්ධනය වෙනුවෙන් පෙනීසිටින, හින්දු ඒකාධිපති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව දියත් කරන පන්ති යුද්ධ ප්‍රහාරයට එරෙහිව මැයි 20 වන දින රටපුරා පැවත්වීමට නියමිතව තිබූ වැඩ වර්ජනය, ඉන්දියාව පුරා කෝටි සංඛ්‍යාත කම්කරුවන් වීදි බැස්සවීමට ඉඩ තිබුනි.

එමෙන්ම, ආන්ඩුව, විරුද්ධ පක්ෂ සහ මාධ්‍යවල සහාය ඇතිව අවුලුවා ඇති යුදවාදී, වාර්ගිකව-ආරෝපිත දේශපාලන වාතාවරනය මෙම වැඩ වර්ජනය මගින් සිදුරු කිරීමට ඉඩ තිබුනි. නමුත්, ජේපීසීටීයූඑෆ් නායකත්වයේ—එය ස්ටැලින්වාදීන්, මහා ව්‍යාපාරික කොංග්‍රස් පක්ෂයේ ආධාරකරුවන් සහ අනෙකුත් දක්ෂිනාංශික නිලධාරීන්ගෙන් සමන්විත වේ—අභිප්‍රාය කිසිසේත්ම එය නොවේ.

බ්‍රහස්පතින්දා පැවති රැස්වීමකදී ජේපීසීටීයූඑෆ් නායකයින් එය අවලංගු කලේ මේ නිසාය.

ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) නායකත්වය දෙන ඉන්දීය වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ (සීඅයිටීයූ), කොංග්‍රස් පක්ෂයට අනුබද්ධ ඉන්දීය ජාතික වෘත්තීය සමිති කොංග්‍රසයේ (අයිඑන්ටීයූසී) සහ ජේපීසීටීයූඑෆ් සමන්විත වන අනෙකුත් ජාතික කම්කරු සංවිධාන අටේ නායකයින් දැන් පවසන්නේ එක්දින වැඩවර්ජනය ජූලි 9 වන දින, එනම් මාස දෙකකට ආසන්න කාලයකට පසු පැවැත්වෙන බවයි.

ඔවුන්, “රටේ වගකිවයුතු දේශප්‍රේමී පුරවැසියන්ගේ අවියෝජනීය කොටසක්” ලෙස, පකිස්ථානය සමඟ ප්‍රතිගාමී මූලෝපායික ගැටුමේදී ඉන්දියානු ධනේශ්වරයට සහයෝගය දක්වන බවට සෘජු ප්‍රකාශයක් කරමින්, ජේපීසීටීයූඑෆ්, වැඩ වර්ජනය අත්හැරීම සාධාරනීකරනය කර ඇත.

ජේපීසීටීයූඑෆ් ප්‍රකාශය, බ්‍රහස්පතින්දා (15) පැවති රැස්වීමේදී “රට පුරා පවතින තත්ත්වය පිලිබඳව සැලකිලිමත් වූ” බව තවදුරටත් සඳහන් කරන අතර, දින හයකට පෙර, එනම් මැයි 8 වන දින, ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ “පහල්ගම්හි සිදු වූ දරුනු ත්‍රස්ත ප්‍රහාරය” සම්බන්ධයෙන් ජේපීසීටීයූඑෆ් එහි රැස්වීමේදී කල හෙලාදැකීම ගැන ද සඳහන් කරයි.

සාක්ෂි බිඳක්වත් ඉදිරිපත් නොකර, අප්‍රේල් 22 වන දින පහල්ගම් ප්‍රහාරය සම්බන්ධයෙන් මෝදි ආන්ඩුව වහාම පාකිස්තානයට දොස් පැවරීය.

මැයි 8 වන දින ජේපීසීටීයූඑෆ් නායකයින් රැස්වන විට, එම ප්‍රහාරයට පලිගැනීමේ නාමයෙන්, ඉන්දියාව දශක ගනනාවකින් පසු පකිස්ථානයට එල්ල කල විශාලතම මිලිටරි ප්‍රහාරය දියත් කර තිබූ අතර, උප මහද්වීපයේ න්‍යෂ්ටික අවි දරන රාජ්‍යයන් දෙක වේගයෙන් සම්පූර්න යුද්ධයක් කරා ගමන් කරමින් සිටියහ.

නමුත් මැයි 8 හෝ මැයි 15 රැස්වීම්වල නිකුත් කරන ලද ප්‍රකාශ තුල ජේපීසීටීයූඑෆ් නායකයින්, ආක්‍රමන, යුද්ධය සහ ප්‍රතිවාදී දක්ෂිනාංශික වාර්ගික ආන්ඩු සහ ධනේශ්වර ප්‍රභූන්ට එරෙහිව පකිස්ථානයේ ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමඟ එක්වන ලෙස ඉන්දියාවේ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා තබා, ඉන්දියාව පකිස්ථානයට එල්ල කල සාහසික සහ පැහැදිලිවම නීති විරෝධී ප්‍රහාරය විවේචනය කිරීමේ එකදු වචනයක් හෝ ප්‍රකාශ කලේ නැත.

මහා වැඩ වර්ජනයේ ගෙල සිර කිරීමෙන් සහ තමන් “වගකිවයුතු දේශප්‍රේමී පුරවැසිභාවයේ'—එනම්, “ත්‍රස්තවාදයට” සහ පකිස්ථානයේ එහි “මහා මොලකරුවන්ට” එරෙහිව බීජේපී ය නායකත්වය දෙන “ජාතික” කුරුස යුද්ධයේ “වාම” පාර්ශවයේ— “අවියෝජනීය කොටසක්” බව ප්‍රකාශ කිරීමෙන්, වෘත්තීය සමිති, ඔවුන්ගේ කොල්ලකාරී විදේශ ප්‍රතිපත්ති අවශ්‍යතා සහ කම්කරු පන්තියට එරෙහි යුද්ධය යන දෙකම සාක්ෂාත් කර ගැනීම සඳහා මෝදි ආන්ඩුව සහ ඉන්දියානු පාලක පන්තිය බොහෝ සෙයින් ශක්තිමත් කර ඇත.

මෙය සිදුවන්නේ, සංගත මාධ්‍යවල උද්‍යෝගී ඔල්වරසන් මැද, මෝදි සහ භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව, ඉන්දු-පකිස්ථාන මහා ගැටුම්වල සිව්වන දිනයේදී, එනම් මැයි 10 වන දින ලඟා වූ අස්ථිර සටන් විරාමය, ප්‍රකෝපකාරී ප්‍රකාශ සහ ක්‍රියාවන් මගින් අනතුරේ හෙලමින් සිටින තත්වයන් යටතේ ය. පකිස්ථානයට එරෙහි ඉන්දියාවේ මිලිටරි ප්‍රහාරය වන සින්දූර් මෙහෙයුම අවසන් වී නැති බවත්, “විරාමයක්” ගැනීම පමනක් සිදුව ඇති බවත් ප්‍රකාශ කිරීම; පකිස්ථානය සමඟ ඕනෑම සාකච්ඡාවක් ඉස්ලාමාබාද් ත්‍රස්තවාදයට සහාය දීම සහ පකිස්ථාන පාලනය යටතේ පවතින කාශ්මීරය ඉන්දියාවට පවරා දීම සම්බන්ධයෙන් නවදිල්ලියේ ඉල්ලීම් සාකච්ඡා කිරීමට පමනක් සීමා වන බව ප්‍රකාශ කිරීම; සහ ඉන්දියාව ඉන්දුස් ජල ගිවිසුමට අනුකූල වීම ප්‍රතික්ෂේප කිරීම දිගටම ගෙන යාම මෙයට ඇතුලත් ය.

2020 ජනවාරි 8 වන බදාදා, රටපුරා පැවති මහා වැඩ වර්ජනයකදී, ඉන්දියාවේ අහමදාබාද්හි කම්කරුවන් සටන් පාඨ කියති [ස්තුතිය: ඒපී ඡායාරූප/අජිත් සොලංකි]

රට පුරා නව කම්කරු-විරෝධී කම්කරු නීති ක්‍රියාත්මක කිරීමට බීජේපී ආන්ඩුව ගන්නා පියවර, එහි පෞද්ගලීකරනය සහ කප්පාදු පියවර සහ කම්කරුවන්ට සහ ගොවීන්ට බලපාන අනෙකුත් දැවෙන ගැටලු වලට එරෙහිව මැයි 20 වන දින මහා වැඩ වර්ජනයක් කැඳවන බව ජේපීසීටීයූඑෆ් මාර්තු 18 වන දින පැවති ජාතික සමුලුවකදී නිවේදනය කලේය. බීජේපී ආන්ඩුවේ “කම්කරු-විරෝධී, ජනතා-විරෝධී” ප්‍රතිපත්ති හේතුවෙන් කම්කරුවන් සහ පුලුල් ජනගහනය මුහුන දෙන “භයානක තත්වය” පිලිබඳව සමුලුව විශේෂයෙන් අනතුරු ඇඟවීය.

“ජාතික සමගිය” ප්‍රවර්ධනය කිරීමට අනුකූලව, මැයි 20 වැඩ වර්ජනය අත්හිටුවීම නිවේදනය කරන ජේපීසීටීයූඑෆ් ප්‍රකාශය, වෘත්තීය සමිති නිලධරය සමඟ වඩාත් සමීපව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ආන්ඩුව සහ සේවා යෝජකයින් විවේචනය කරයි.

“මුලු රටම ඉදිරියේ ඇති මෙම දුෂ්කර මොහොතේ දී” ආන්ඩුව සහ සේවා යෝජකයින් වැඩ කරන ජනතාවට එරෙහිව ඔවුන්ගේ ප්‍රහාර තීව්‍ර කිරීම ගැන එය කම්පනය සහ කෝපය ප්‍රකාශ කරයි. “බිහිසුනු ලෙස, ත්‍රස්තවාදී සංහාරය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ වර්ධනයන් හේතුවෙන්, රට තුල පවතින එවැනි තීරනාත්මක තත්වයක් මධ්‍යයේ වුවද, මධ්‍යම ආන්ඩුවේ සහ බොහෝ ප්‍රාන්ත ආන්ඩුවල ක්‍රියාකාරී සහාය ලබන සේවා යෝජක පන්තිය, ආයතන පුරා කම්කරුවන්ට සහ සේවකයන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරමින් සිටින බව” ස්ටැලින්වාදී සහ අනෙකුත් වෘත්තීය සමිති නිලධරයෝ ප්‍රකාශ කරති.

ප්‍රකාශය තවදුරටත් මෙසේ පවසයි: “වැඩ කරන පැය ගනන ඒකපාර්ශ්විකව වැඩි කරමින් තිබේ; ව්‍යවස්ථාපිත අවම වැටුප් සහ සමාජ ආරක්ෂන ප්‍රතිලාභ නොසලකා හරිනු ලැබේ. කම්කරුවන්, විශේෂයෙන් කොන්ත්‍රාත් කම්කරුවන්, දඬුවම් නොලබා සේවයෙන් පහ කරනු ලැබේ. මේවා කුප්‍රකට කම්කරු නීති සංග්‍රහ, පෑල දොරෙන් ක්‍රියාත්මක කිරීමට ගන්නා දරුනු උත්සාහයන් මිස අන් කිසිවක් නොවේ.”

ඒ හා සමානව, මැයි 8 වන දින සිය ප්‍රකාශයේ දී, ජේපීසීටීයූඑෆ්, ඉන්දියාවේ මුස්ලිම් සුලුතරයට එරෙහිව වෛරය අවුස්සන “වාර්ගික සංවිධාන”—බීජේපී ය, ආර්එස්එස් සහ ඒවා නායකත්වය දෙන හින්දු අධිපතිවාදී සංවිධාන ජාලය පිලිබඳ ඉඟියකි—විවේචනය කලේ, ඒවා ඉන්දියාව තුල සහ දකුනු ආසියාව පුරා කම්කරු පන්තිය බෙදන නිසා නොව, ඉන්දියානු “ජාතිය” දුර්වල කරන බැවිනි.

දම ය්ඩැ එධනල

ආන්ඩුවේ සහ පාලක පන්තියේ ප්‍රතිගාමී “ජාතික සමගිය” ව්‍යාපාරයට යටත් වූ ජේපීසීටීයූඑෆ් නායකයෝ, පන්ති යුද්ධයක් දියත් කරන බව පිලිගැනීමට තමා තල්ලු කෙරුනු තත්වයක දී පවා, “වෘත්තීය සමිති ව්‍යාපාරයේ ධනාත්මක ප්‍රවේශයට ප්‍රතිචාර දක්වන ලෙසත්, කම්කරු නීති සංග්‍රහ සහ සේවා කොන්දේසි සහ කම්කරු අයිතිවාසිකම් සම්බන්ධ අනෙකුත් නීත්‍යානුකූල ඉල්ලීම් සම්බන්ධයෙන් ඕනෑම ඒකපාර්ශ්වික ප්‍රචන්ඩකාරී පියවරකින් වැලකී සිටින ලෙසත්” ඔවුන්ගෙන් කනගාටුදායක ලෙස ඉල්ලා සිටිති.

මෙය, මෝදි ආන්ඩුව වසර ගනනාවක් තිස්සේ කැඳවීම ප්‍රතික්ෂේප කල සංගතවාදී ආයතනයක් වන ඉන්දීය කම්කරු සම්මේලනය නැවත පන ගැන්වීම ද ඇතුලත්, ආන්ඩුවට සහ සේවා යෝජකයින්ට පන්ති අරගලය මැඩපැවැත්වීම සඳහා ඔවුන්ගේ සේවාවන් වඩාත් ක්‍රමානුකූලව භාවිතා කරන ලෙස කරන ආයාචනයක් සමඟ ඒකාබද්ධ වේ. “වෘත්තීය සමිතිවල නැවත නැවතත් ඒත්තු ගැන්වීම නොතකා, රටේ සෑම අංශයකින්ම වැඩවර්ජනය සඳහා නිවේදන ලැබුනද, මධ්‍යම වෘත්තීය සමිති හමුවීමට සහ උපදෙස් ලබා ගැනීමට හෝ ඉන්දියානු කම්කරු සමුලුව පැවැත්වීමට ආන්ඩුව උත්සාහ කලේ නැත” යනුවෙන් ප්‍රකාශයේ සඳහන් විය.

බීජේපී යේ ආයෝජක-හිතවාදී ප්‍රතිපත්ති සහ සේවක සූරාකෑම වැඩි කිරීමට ඉන්දියානු මහා ව්‍යාපාරිකයන් ගෙන යන ධාවනය කෙරෙහි කම්කරුවන් සහ ග්‍රාමීය දුප්පතුන් අතර මහජන කෝපයක් පවතින බව වෘත්තීය සමිති නායකයින් හොඳින් දනී. මෑත වසරවලදී, විශේෂයෙන් ඉන්දියාවේ ගෝලීය වශයෙන් සම්බන්ධිත නිෂ්පාදන කර්මාන්තවල, දරිද්‍රතා වැටුප් සහ අස්ථිර කොන්ත්‍රාත්-ශ්‍රම රැකියා භාවිතය වඩාත් ප්‍රචලිත වීමට එරෙහිව, පුපුරන සුලු වැඩ වර්ජන අරගල රාශියක් පැන නැගී ඇත. “මූලෝපායික” ආර්ථික අංශවල අතලොස්සක් හැර අනෙක් සියල්ල පෞද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ සැලසුම්වලට ද විරෝධය වැඩි වෙමින් පවතී.

කම්කරු පන්තියට එල්ල කරන ප්‍රහාරයේ ප්‍රධාන අංගයක් වන්නේ බීජේපී යේ කම්කරු නීති “ප්‍රතිසංස්කරනය” යි. එය සෑම කර්මාන්ත ශාලාවකම පාහේ කොන්ත්‍රාත් ශ්‍රමයට ඉඩ සලසන අතර, ඇත්ත වශයෙන් ම, වැඩ වර්ජන කල නොහැකි නීතිමය තන්ත්‍රයක් නිර්මානය කරමින්, කම්කරුවන්ට වෘත්තීය සමිති තුල සංවිධානය වීමට හෝ වැඩ වර්ජන කිරීමට දැවැන්ත නව නීතිමය බාධක ගොඩනඟනු ඇත. සේවා ස්ථාන ආරක්ෂන සේවාවන් සීමිත වන අතර, අවම වශයෙන් සේවකයින් 250 ක් සේවයේ යොදවන ව්‍යවසායන් සඳහා පමනක් ඒවා අදාල වේ; එමඟින් ඉන්දියාවේ සේවකයින්ගෙන් සියයට 90 ක් බැහැර කෙරේ. සේවකයින් 300 කට වඩා අඩු සංඛ්‍යාවක් සේවයේ යොදවන සමාගම්වලට දැන් කැමැත්තෙන් සේවකයින් බඳවා ගැනීමට සහ සේවයෙන් පහ කිරීමට හෝ සම්පූර්නයෙන්ම වසා දැමීමට පවා හැකි වන අතර, දොට්ට දැමීම් සඳහා ආන්ඩුවේ අවසරය ලබා ගැනීමේ පූර්ව අවශ්‍යතා ඉවත් කරයි.

මහජන කම්කරු විරෝධය මැඩපැවැත්වීමේ අරමුනින්, වෘත්තීය සමිති වරින් වර එක්දින ජාතික විරෝධතා වැඩවර්ජන කැඳවා ඇත. ඔවුන් එසේ කර ඇත්තේ, මෝදි සහ ඔහුගේ බීජේපී ය විකල්ප දක්ෂිනාංශික ආන්ඩුවකින් ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කරන, ආයෝජක ගැති “ප්‍රතිසංස්කරනය” සහ නවදිල්ලිය සහ වොෂින්ටනය අතර ප්‍රතිගාමී චීන-විරෝධී යුද සන්ධානයකට නොඅඩු දෙයකට කැපවී සිටින කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂයට කම්කරු පන්තිය දේශපාලනිකව බැඳ තබා ගැනීමට තම මුලුමහත් ශක්තිය ම යොදවන අතරතුර ය.

මේ සියල්ලට ම කේන්ද්‍රීය වන්නේ, ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ වන ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හෙවත් සීපීඑම් සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) සහ ඒවායේ අදාල වෘත්තීය සමිති සම්මේලන වන සීඅයිටීයූ සහ සමස්ත ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනය හෙවත් ඒඅයිටීයූසී ය ඉටු කරන භූමිකාවයි.

සීපීඑම් සහ සීපීඅයි, ඒවාට අනුබද්ධිත වෘත්තීය සමිති මෙන්, කොන්ග්‍රස් පක්ෂය නායකත්වය දෙන වාම කඳවුර වන “ඉන්දියානු ජාතික සංවර්ධනශීලී (සංවිධාන) ඇතුලත් සන්ධානයේ (INDIA)” සිටින තම සහචරයින් සමඟ එක්වී, පකිස්ථානය “ආක්‍රමනිකයා” ලෙස ලේබල් කරන ආන්ඩුවට සහාය පල කරන අතර, පකිස්ථානයට එරෙහි දින හතරක මිලිටරි ප්‍රහාරය වර්නනා කරති.

මැයි 20 වන දින වැඩ වර්ජනය අවලංගු කිරීමට ජේපීසීටීයූඑෆ් නායකයින් ගත් තීරනය, මහා ව්‍යාපාරිකයන්ගේ නියෝජිතයන් සහ ධනේශ්වර පාලනයේ අත්‍යවශ්‍ය ආධාරක ලෙස වෘත්තීය සමිති සහ ස්ටැලින්වාදී පක්ෂවල කාර්යභාරය අවධාරනය කරයි. වත්මන් තත්වයන් යටතේ සීමිත එක් දින විරෝධතා වැඩ වර්ජනයක් පවා—පාලක පන්තිය විසින් ප්‍රවර්ධනය කරන සියලු වාර්ගික හා කුලබේද කපාගෙන කම්කරුවන්ගේ වෛෂයික එකමුතුව ප්‍රදර්ශනය කිරීමේ මාධ්‍යයක් ලබා දීමෙන්—පකිස්ථානයට එරෙහිව පාලක පන්තියේ “ජාතික සමගිය” පිලිබඳ මවාපෑම බරපතල ලෙස අඩපන කල හැකි යැයි ඔවුහු බිය වෙති.

ලොව පුරා සිටින කම්කරුවන්ට මෙන්, ඉන්දියානු කම්කරුවන්ට ද, ධනේශ්වර පාලක ප්‍රභූවේ සියලු ප්‍රතිගාමී මහා බලවතුන්ගේ අවශ්‍යතා සහ කොල්ලකාරී ක්‍රියාවන්ට ලෝක වේදිකාවක් තුල විරුද්ධ නොවී, ජාත්‍යන්තරව කම්කරුවන් සමඟ ඔවුන්ගේ අරගල ඒකාබද්ධ කිරීමට උත්සාහ නොකර, ඔවුන්ගේ පන්ති අවශ්‍යතා තහවුරු කල නොහැක.

ඉන්දියාවේ කම්කරුවන් තම සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීමේ අරගලය, පාලක පන්තියේ මිලිටරි ක්‍රියාමාර්ග, කුමන්ත්‍රන, වාර්ගික-උසිගැන්වීම් සහ යුද-උසිගැන්වීම් වලට එරෙහි සටන සමඟ ඒකාබද්ධ කල යුතුය. අධිරාජ්‍යවාදයට, ප්‍රතිවාදී ජාතික ධනේශ්වරයේ දූෂිත පාලනයට සහ ඔවුන්ගේ වාර්ගික රාජ්‍ය-පද්ධතියට එරෙහිව දකුනු ආසියාවේ එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා වන පොදු සටනේදී, ඔවුන්, පකිස්ථානයේ කම්කරුවන් හා පීඩිතයින් සමඟ තම පන්ති සමගිය ස්ථාපිත කල යුතුය.

Loading