[මෙය, Sri Lankan government cynically evades US criminal assault on Venezuela යන මැයෙන්, 2026 ජනවාරි 12 දින, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනයකි.]
ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ද, පක්ෂයක් ලෙස ජවිපෙ ද, එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් වෙනිසියුලාව ආක්‍රමනය කර ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් පැහැර ගැනීම පිලිබඳව වෙන වෙන ම ප්‍රකාශ දෙකක් නිකුත් කලහ. මෙම ප්‍රකාශ දෙකෙන් ම එලිදරවු වන්නේ, ජවිපෙ සහ එහි ආන්ඩුවේ කුහකකම මෙන් ම ඇමරිකානු අධිරාජ්‍යවාදය කෙරහි දීන ගැතිකමයි.
සති කිහිපයක් තිස්සේ, දැවැන්ත නාවික හමුදාවක් බලමුලු ගැන්වීම, බෝට්ටු විනාශ කිරීම් සහ තෙල් ප්‍රවාහන බාධක පැනවීම සිදුකර, ජනවාරි 3 වන දින, එක්සත් ජනපදය වෙනිසියුලානු අගනුවර වන කැරකස් හි ආරක්ෂක ස්ථාන වෙත මිලිටරි ප්‍රහාර එල්ලකර, මත්ද්‍රව්‍ය ජාවාරම පිලිබඳ බොරු චෝදනා මත ජනාධිපති මදූරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගත්තේ ය. ජාත්‍යන්තර නීතිය සහ වෙනිසියුලාවේ ස්වෛරීභාවය නග්න ලෙස උල්ලංඝනය කරමින්, එක්සත් ජනපදය මෙම මිලිටරි ආක්‍රමනය සිදුකලේ රටේ තෙල් සම්පත් පාලනය අත්පත් කර ගැනීම සහ වෙනිසියුලාව, ලතින් ඇමරිකාව සහ ඉන් ඔබ්බට යටත් විජිත ආධිපත්‍යය පතුරුවා ගැනීමේ විවෘත අරමුනු සහිතවයි.
1966 දී මාඕවාදය, කැස්ත්‍රෝවාදය සහ සිංහල ජනතාවාදය මත පදනම්ව “සන්නද්ධ අරගලය” දියත් කිරීම සඳහා පිහිටුවන ලද ජනතා විමුක්ති පෙරමුන, 1990 ගනන්වල කොලඹ දේශපාලන සංස්ථාපිතයට ඒකාබද්ධ වීමත් සමඟ තමන් මාක්ස්වාදී බවට කල ප්‍රකාශයන් අත්හැර දමා ඇත. 2024 දී බලයට පත්වීමට පෙර, මදූරෝගේ පූර්වගාමියා වූ හියුගෝ චාවේස්ගේ ආන්ඩුවට ප්‍රශංසා කල ජවිපෙ, එවක එක්සත් ජනපදය පැන වූ තෙල් සම්බාධක සහ භූ දේශපාලනික තර්ජනවලට එරෙහි ව මදූරෝගේ ආන්ඩුව පවා ආරක්ෂා කලේ ය.
ජනවාරි 4 වන දින ජවිපෙ දේශපාලන මන්ඩලය සීමිත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පක්ෂය “එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කරන ලද හමුදාමය ආක්‍රමනික මැදිහත් වීම” හා ජනාධිපති නිකොලස් මදූරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගැනීම තරයේ හෙලා දකින බව ය.
ප්‍රකාශය තවදුරටත් කියා සිටියේ, “එය [ස්වෛරීභාවයේ මූලධර්මය] උල්ලංඝනය කිරීමට කිසිදු බලවතෙකුට අයිතියක් නැති” බව, “නූතන සමාජයත් රාජ්‍ය පාලනයත් වඩාත් ශිෂ්ට සම්පන්න විය යුතු” බව සහ “ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, රාජ්‍යයන්ගේ නිදහස සහ ස්වාධීනත්වය ලොව ම පිලිගන්නා මූලධර්මයන්” බවයි. එබැවින්, “කුමන හේතුවක් මත හෝ ඒවා උල්ලංඝනය කරමින් රට වලට හමුදාමය මැදිහත් වීම් හෝ ආක්‍රමන සිදු කිරීම නූතන සභ්‍ය ලෝකය තුල සාධාරන නොවේ.”
ජවිපෙ සමාජ පදනම ද ඇතුලු ව, එක්සත් ජනපදයේ නිර්ලජ්ජිත ආක්‍රමනශීලී ක්‍රියාවට එරෙහිව සමාජය තුල පැතිර ගිය විරෝධය සමනය කිරීම අරමුනු කරගත් මෙම ප්‍රකාශය, ට්‍රම්ප් පරිපාලනය සහ එහි කොල්ලකාරී ආර්ථික අභිප්‍රායන් හෝ ලතින් ඇමරිකාවේ හෝ වෙනත් තැන්වල අනෙකුත් ආන්ඩු වලට එරෙහිව එහි පුලුල් තර්ජන ගැන සඳහන් නොකල නාමමාත්‍ර ප්‍රකාශයක් විය.
කෙසේ වෙතත්, පසුදා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද බියගුලු සහ කෙඳිරිලි සහිත, ආන්ඩුවේ නිල ප්‍රකාශයක එක්සත් ජනපද ක්‍රියාමාර්ග සංකේතාත්මකව හෙලා දැකීමක්වත් ඇතුලත් නොවීය.
කෙටි ඡේද හතරක ප්‍රකාශයේ “වෙනිසියුලාවේ මෑත කාලීන වර්ධනයන් සමිබන්ධයෙන් ශ්‍රි ලංකා ආන්ඩුව දැඩි කනස්සල්ලට පත් ව සිටින” බව සඳහන් කර ඇත්තේ, මෙම “වර්ධනයන්” මොනවාදැයි පැහැදිලි නොකරමිනි. එම ප්‍රකාශය එක්සත් ජනපදයේ හෝ ට්‍රම්ප් පරිපාලනයේ නම් සඳහන් කර නැතිවා පමනක් නොව මදූරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගැනීම ගැන පවා සඳහන් නොකරයි.
“ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාවය” එම ප්‍රකාශය සඳහන් කරන්නේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කලේ කවුරුන්ද යන්න පවා සඳහන් නොකරමිනි. එය අවසන් වන්නේ, “එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය වැනි එහි ආයතන මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් … සාමකාමී විසඳුමක් ලඟා කර ගැනීම උදෙසා කටයුතු කිරීම වැදගත්වේ” යනුවෙනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරන ආයාචන නිෂ්ඵල ය. ෆැසිස්ට් ට්‍රම්ප් පරිපාලනය ජාත්‍යන්තර නීතිය, එක්සත් ජාතීන්ගේ නීති හෝ ප්‍රඥප්ති නොතකන බව නැවත නැවතත් අවධාරනය කර ඇත. එය ලතින් ඇමරිකානු ආන්ඩු වලට සහ ඉරානයට තර්ජනය කලා පමනක් නොව, සිය නේටෝ සගයා වන ඩෙන්මාර්කයෙන් ග්‍රීන්ලන්තය අල්ලා ගැනීමට අවශ්‍ය නම් හමුදා බලය යෙදීමට සුදානම් බවට අනතුරු අඟවා ඇත.
ආන්ඩුවේ ස්ථාවරය ජවිපෙ ස්ථාවරයට සමාන දැයි මාධ්‍යවේදීන් විමසූ විට, විදේශ අමාත්‍ය විජිත හේරත් මෙසේ ප්‍රකාශ කලේය: “නැහැ. දේශපාලන පක්ෂවලට තමන්ගේ ම අදහස් තිබේ. එය වෙනස් ය. ආන්ඩුව මේ රටේ සියලු ම පාර්ශවයන් නියෝජනය කරයි - ආන්ඩුව සහ විපක්ෂය යන දෙක ම. අපි මෙම ප්‍රකාශය කරන්නේ එම අර්ථයෙන්.”
ට්‍රම්ප් පරිපාලනයේ සාපරාධී ක්‍රියාවන් හෙලා දැකීම පසෙකලා, එය සඳහන් කිරීම පවා ආන්ඩුව ප්‍රතික්ෂේප කිරීම හුදෙක් අතිශය බියගුලු ක්‍රියාවක් පමනක් නොවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (ජාමූඅ) ම්ලේච්ඡ කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පාලක පන්තියේ බලවත් කොටස්වල සහාය ඇති ව ජවිපෙ බලයට පත්විය. බලය ගැනීමට පෙර පවා, ජවිපෙ විවෘත ව ඇමරිකානු අධිරාජ්‍යවාදය, බටහිර මූල්‍ය ආයතන සහ අසල්වැසි ඉන්දියාව සමඟ සමීප සබඳතා ඇති කර ගැනීමට උත්සුක වෙමින් සිටියේ ය. වොෂින්ටනයට එරෙහි විවෘත ව ගැටුම්කාරී වන ප්‍රකාශයක් නිකුත් කිරීම, 2022 දී රට විදේශ නය පැහැර හැරීමෙන් පසු සාකච්ඡා කොට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාගත් හදිසි නයට තර්ජනයක් වනු ඇත.
එය ආන්ඩුව තුල ම ඉරිතැලීම් එලිමහනට ගෙන ඒමේ අවදානමක් ද ඇති කරයි. තම අතීත වාර්තාවට සුදු හුනු ගෑම සඳහා ජවිපෙ විසින් පිහිටුවන ලද ජාජබ හි ඉහල මධ්‍යම පන්තියේ නියෝජිතයෝ මෙන්ම රටේ බලවත් හමුදාවේ නියෝජිතයෝ ද සිටිති.
ආන්ඩුව, ජාමුඅ වැඩසටහන සම්පූර්නයෙන්ම වැලඳගෙන, ගැඹුරු කප්පාදු, මූල්‍ය ඒකාබද්ධ කිරීම සහ ගෝලීය නය දෙන්නන් විසින් ඉල්ලා සිටින ඊනියා “ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන” සිදු කිරීමට සඳහා කැප වී, මෙම ප්‍රහාර කම්කරුවන්ට සහ දුප්පතුන්ට එරෙහි ව ඍජු ව ම ක්‍රියාත්මක කරයි.
අන් සියල්ලටත් වඩා, වොෂින්ටනයේ ගෝලීය ආධිපත්‍යවාදී සැලසුම්, ප්‍රධාන වශයෙන් චීනයට එරෙහි ව යොමු කර ඇති බව, ජනාධිපති අනුර කුමාර දිසානායක පාලන තන්ත්‍රය හොඳින් දනී. වෙනිසියුලාවට එරෙහි එහි ප්‍රහාරය මෙම ගෝලීය මිලිටරි සැලසුම්වල කොටසකි.
දිසානායක ආන්ඩුව, ආරක්ෂක සංවාද, බුද්ධි තොරතුරු හුවමාරුව සහ එක්සත් ජනපදය මෙහෙයවන ඉන්දු-පැසිෆික් ආරක්ෂක වැඩ සටහන් වලට සහභාගී වීම හරහා එක්සත් ජනපදය සමඟ සහයෝගීතාව පවත්වාගැනීම හා පුලුල් කිරීම සිදු කරමින්, “නොබැඳි” ස්ථාවරයක් පවත්වා ගැනීමේ ව්‍යාජයක් මවාපාමින් සිටී.
වෙනිසියුලාවට එරෙහි එක්සත් ජනපද ආක්‍රමනයට ආන්ඩුවේ ප්‍රතිචාරය, ගාසා තීරයේ එක්සත් ජනපද පිටුබලය ලත් ඊශ්‍රායල ජන සංහාරය නොතකා හැරීමේ එහි ආකල්පයට සමාන ය. දස දහස් ගනනක් පලස්තීනුවන් ඝාතනය කර මුලු නගරම සුන්බුන් බවට පත් කල විට පවා, කොලඹ ආන්ඩුව සටන් විරාම සහ මානුෂීය ආධාර සඳහා ප්‍රවේශය ලබාදීම පිලිබඳ වියුක්ත ඉල්ලීම්වලට පමනක් සීමා වූ අතර, ඊශ්‍රායලය හෝ එහි ප්‍රධාන අනුග්‍රාහකයා වන එක්සත් ජනපදය ගැන කිසිදු සඳහනක් කිරීමෙන් වැලකී සිටියේ ය. සිය ප්‍රකාශන මගින් ආක්‍රමනිකයා සහ වින්දිතයා සදාචාරාත්මක සමානයන් ලෙස සැලකූ අතර, “සියලු පාර්ශවයන්ගේ සංයමය” අවශ්‍ය වන “ගැටුමක” තත්වයකට ජන සංහාරය සිඳලී ය.
2025 මැද භාගයේ දී ඉරානයට එල්ල කල එක්සත් ජනපද හමුදා ප්‍රහාරවලින් පසුව ද කොලඹ ආන්ඩුව නිකුත් කලේ ඒ හා සමාන ප්‍රකාශයකි. එහිදී ද නැවතත්, ජවිපෙ/ජාජබ ආන්ඩුව “කනස්සල්ලට” පත් වූ බව ප්‍රකාශ කෙරුනු අතර වොෂින්ටනය ආක්‍රමනිකයා ලෙස හැඳින්වීම ප්‍රතික්ෂේප කරමින් ගැටුම උත්සන්න නොකරන ලෙස ඉල්ලා සිටියේ ය.
වෙනිසියුලාවට එල්ල කල ඇමරිකානු මුර්ග ප්‍රහාරය පක්ෂයක් ලෙස ජවිපෙ විසින් සීමිත ලෙස හෙලා දැකීම, ජවිපෙ නායකත්වයෙන් යුත් ආන්ඩුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට දැඩි ලෙස යටත් වීම වසන් කිරීමට ගත් විනිවිද පෙනෙන උත්සාහයකි. ජනාධිපති දිසානායක සහ විදේශ අමාත්‍ය හේරත් යන දෙදෙනා ම ජවිපෙ හි ඉහලම නායකයින් වෙති.
ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රතිචාරය ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට සහ තරුනයින්ට අනතුරු ඇඟවීමකි. පෙර ධනේශ්වර ආන්ඩුවල අධිරාජ්‍ය ගැති ප්‍රතිපත්තිවලින් බිඳීමක් ජවිපෙ ආන්ඩුවෙන් නියෝජනය කරන බව වරක් විශ්වාස කල අය, දැන් එය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට යටත් වීම අඛන්ඩව කරගෙන යාමේ යථාර්ථයට මුහුන දිය යුතු ය.
ගාසා තීරයේ ජන සංහාරයට, ඉරානයට එල්ල කරන එක්සත් ජනපද ප්‍රහාරවලට හෝ වෙනිසියුලාවට එල්ල කරන එක්සත් ජනපද ප්‍රහාරයට එරෙහි වීම පැහැදිලි ව ම ප්‍රතික්ෂේප කිරීම යන සියල්ල එකම නිගමනයකට යොමු කරයි: ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට බැඳී සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාජබ ආන්ඩුව සහ ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය අධිරාජ්‍යවාදයට කිසිදු අව්‍යාජ විරෝධයක් එල්ල කිරීමට සහජයෙන් ම අසමත් ය.
ප්‍රමාද වූ ධනේශ්වර සංවර්ධනයක් ඇති රටවල ධනේශ්වරයේ කිසිදු කන්ඩායමකට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී හෝ අධිරාජ්‍ය විරෝධී කාර්යයන් ඉටු කිරීමට හැකියාවක් නොමැති බව පැහැදිලි කරන ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මින් ප්‍රබල ලෙස තහවුරු වී ඇත.
අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වීමේ සහ ජාත්‍යන්තර ව පීඩිත ජනතාව ආරක්ෂා කිරීමේ කර්තව්‍යය ඉටු කල හැක්කේ, ලෝක සමාජවාදය සඳහා අරගලය ඉදිරියට ගෙන යාම සඳහා ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම ඉලක්ක කරගත් මාක්ස්වාදී - එනම් ට්‍රොට්ස්කිවාදී - ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කම්කරු පන්තියට යි.
