[මෙය Trump is planning a ground invasion of Iran යන මැයෙන් 2026 මාර්තු 14 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
සිකුරාදා (මාර්තු 13) උදෑසන පෙන්ටගනයේ පැවති මාධ්‍ය හමුවක දී, යුද ලේකම් පීට් හෙග්සෙත් කිලිපොලා යන ප්‍රකාශයක් සිදු කලේ ය. ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් සහ යුද්ධය ආරම්භයේ සිට ඉරානය මුලුමනින් පාහේ වසා දමා ඇති තීරනාත්මක මුහුදු ඇල මාර්ගයක් වන—හෝමූස් සමුද්‍ර සන්ධිය ගැන සඳහන් කරමින් හෙග්සෙත් වාර්තාකරුවන්ට පැවසුවේ, “මෙහි පැන නගින ඕනෑ ම තත්වයක් සඳහා සැලස්මක් අපට ඇත. එක්සත් ජනපද ආන්ඩුවේ (ආරක්ෂක දෙපාර්තමේන්තුව,රාජ්‍ය දෙපර්තමේන්තුව යනාදී) විවිධ කොටස් අතර සම්බන්ධතාවකින් අපි වැඩකරමින් සිටිමු. මෙම සමුද්‍රසන්ධිය හරහා කෙරෙන වානිජ භාන්ඩ ප්‍රවාහනය අවහිර කිරීමකට හෝ බාධාකිරීමකට අපි ඉඩ නොදෙන්නෙමු”.
මෙම සාපරාධී යුද්ධය පුරා ම හෙග්සෙත්ගේ හැසිරීමේ මූලික ලක්ෂනයක් වූ කුරිරු සෝපහාසාත්මක යුදකාමීත්වයෙන් යුත් මෙම ප්‍රකාශය ගත යුත්තේ, අනතුරු ඇඟවීමක් ලෙස ය. එයින් අදහස් කල හැක්කේ එක් දෙයක් පමනි: ට්‍රම්ප් පාලනය යුද්ධය උත්සන්න කිරීමේ ඊලඟ හා භයානක ම අදියර සූදානම් කරමින් සිටී—එනම්, හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉරාන භූමියේ පාලනය අල්ලා ගැනීම සඳහා එක්සත් ජනපද පාබල හමුදා යොදා ගෙන ආක්රමනය කිරීම යි.
හෙග්සෙත්ගේ ප්‍රකාශය, මෙතෙක් ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයෙකු කල කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක නොතිබුනු වචන ධාරාවක් සමඟ ගලා ආවකි. “අපේ සතුරන්ට කිසිදු ඉඩක් නැත, අනුකම්පාවක් නැත”—වරක් නොව නැවත නැවතත්, යුද්ධය සඳහා සටන් පාඨයක් ලෙස ඔහු එය ප්‍රකාශ කලේය. ඔහු “සමාවක්, පැකිලීමක් හෝ දයාවක් නොමැති ව” සතුරා ලුහුබැඳ ගොස් මරා දැමීමට දිවුරුම් දුන්නේ ය. “මැදිහත් වීමේ මෝඩ රීති” සමච්චලයට ලක් කරන ගමන් ඔහු “ඔවුන්ගේ තිගැස්ම” ගැන යුරෝපීයයන්ට සමච්චල් කලේ ය. අයතුල්ලා කමේනි ඝාතනය කිරීමෙන් පසු පත් කරන ලද, ඔහුගේ පුතා වන, ඉරානයේ තුවාල ලැබූ උත්තරීතර නායකයා “බියෙන් ඇකිලී” භූගත ව සිටින බව කී ඔහු,“මීයන් ඉන්නෙත් එහෙම තමයි” යනුවෙන් එයට එකතු කලේ ය. ඔහු “අනවරත ව ගුවනින් මරනය සහ විනාශය” ගෙන ඒමට දිව්රුවේ ය.
එය නාසිවාදයේ භාෂාවයි. එය ප්රචන්ඩත්වය ගැන උදම් අනන, එහි වින්දිතයින්ගේ ජීවිත තඹ දොයිතුවකට නොසලකන සහ ඊටත් වඩා විශාල අපරාධ සඳහා ජනගහනය සූදානම් කරන පාලන තන්ත්රයක භාෂාවයි. ස්වයං-ප්‍රකාශිත “යුද ලේකම්” යුද්ධය “අනුකම්පා විරහිත ව” දියත් කරන බවට—මෙය, ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ යුද අපරාධ සඳහා පොලඹවන වාක්‍ය ඛන්ඩයකි—විවෘත ව පුරසාරම් දොඩන විට, එය ඔහු දැනටමත් කර ඇති දේ විස්තර කිරීමක් පමනක් නොවේ. ඔහු ඉදිරියේ දී සිදුවීමට නියමිත දේ ඉඟි කරයි.
සූදානම් කරමින් පවතින්නේ ඉරානයට එරෙහි ගොඩබිම් ආක්රමනයකි. හෙග්සෙත්ගේ තර්ජනවලින් ගම්‍ය වන දේ බ්‍රහස්පතින්දා (12) ප්‍රකාශයට පත් කරන ලද වෝල් ස්ට්‍රීට් ජර්නල් කතුවැකියක පැහැදිලි ව සඳහන් කර ඇති අතර, එහි සඳහන් වන්නේ “සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ එහි ගමනාගමනය කෙරෙහි ඉරානයේ නිෂේධ බලය අඩු කිරීම දැන් ඉලක්කයක් විය යුතු ය. ගැටුමක් දිග හැරෙන විට, යුද අරමුනු ද වෙනස් විය යුතු ය,” යනුවෙනි.
උත්සන්න කිරීමේ තර්කනය
මෙම අපරාධය සෘජු ව ම පැන නගින්නේ, මෙම නීති විරෝධී යුද්ධය දියත් කිරීමත් සමඟ ඇති වූ වැරදි ගනනය කිරීම්වල ව්‍යසනකාරී ප්රතිවිපාකවලිනි. ඔපරේෂන් එපික් ෆියුරි හි නිර්මාපකයින් විශ්වාස කලේ—නැතහොත් විශ්වාස කල බව කියා සිටියේ—උත්තරීතර නායක කමේනි ඝාතනය කිරීම, ගුවන් ප්‍රහාර මගින් ඉරානයේ සාම්ප්‍රදායික හමුදා හැකියාවන් විනාශ කිරීම සහ ආන්ඩුව “අත්පත් කර ගැනීමට” ජනතාවගෙන් ඉල්ලා සිටීම ඉස්ලාමීය සමූහාන්ඩුවේ වේගවත් බිඳවැටීමට හේතු වනු ඇති බවයි. පාලන තන්ත්රයේ හිස ගසා දැමීම පාලන තන්ත්ර වෙනසක් නිර්මානය කරනු ඇත. යුද්ධය සති කිහිපයකින් අවසන් වනු ඇත.
යුද්ධයට සති දෙකක් ගත වී ඇත ද ඉරාන පාලනය බිඳ වැටී නැත. අයිආර්ජීසී යටත් වී නැත. ඉරානය රටවල් අටකට මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ. නව උත්තරීතර නායක හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට නියෝග කර ඇත. සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදය පාලනයෙන් ගිලිහී යමින් දැන් තෙල් බැරලය ඩොලර් 100 ට වඩා වැඩි වන අතර ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පවසා ඇත්තේ, ගෝලීය තෙල් වෙලඳපොලට ඉතිහාසයේ විශාලතම සැපයුම් බාධාව පැමින ඇති බැවින්, ගෑස් සහ ආහාර මිල ඉහල යන බව යි.
තමා විසින්ම නිර්මානය කරන ලද මෙම ව්‍යසනයට මුහුන දෙන ට්‍රම්ප් පසුබසින්නේ නැත. ඔහු තම ක්‍රියාකාරීත්වය වැඩි කර ගනිමින් සිටී. ඔහු “කොන්දේසි විරහිත ව යටත් වීම” ඉල්ලා තිබේ. ඉරානයේ ඊලඟ නායකයා තෝරා ගැනීමේ අයිතිය තමා සතු බව ඔහු පවසා තිබේ. දැන් ඔහුගේ ආරක්ෂක ලේකම් ප්‍රකාශ කරන්නේ, සමුද්‍ර සන්ධියේ “ගැටුම් පැවතීමට ඉඩ නොදෙන” බවයි—එය, ඉරාන භූමියේ දී මරා දැමීමට හෝ මිය යාමට ඇමරිකානු සොල්දාදුවන් යැවීමේ තීරනයක් සඳහා වන නිලධාරිවාදී සුලාපයකි.
ගොඩබිම් යුද්ධයක් කරා යන ගමන සඳහා නව යෙදවීම්වල (මිලිටරි භටයින් සහ ආයුධවල) අඛන්ඩ ප්‍රවාහයක් හරහා සූදානම් වෙමින් පවතී. එම ජර්නලය විසින් උපුටා දක්වන ලද එක්සත් ජනපද නිලධාරියෙකුට අනුව වෝල් ස්ට්‍රීට් ජර්නලය සිකුරාදා (13) වාර්තා කලේ, ප්රසාරනය වන යුද්ධයේ දී “භාවිතය සඳහා විකල්ප” සැපයීමට සහ අතිරේක යෙදවීම් සඳහා භූමිය සකස් කිරීමට, පැහැදිලි ව ම අමතර නාවික යාත්‍රා 5,000 ක් පමන සහ නාවිකයින් මැද පෙරදිගට යවන බවයි.
මෙම ආක්රමනයෙන් අදහස් වන්නේ කුමක්ද?
සූදානම් කරමින් පවතින දේ කම්කරුවන් සහ තරුනයින් පැහැදිලි ව තේරුම් ගත යුතු ය. ඉරාන වෙරල තීරයේ ගොඩබිම් ආක්රමනයක් සීමිත හෝ පාලනය කල හැකි මෙහෙයුමක් නොවනු ඇත. එය දිග්ගැස්සුනු හා බිහිසුනු ලේ වැගිරීමක් වනු ඇත.
සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද තක්සේරුවක දී, ඕස්ට්‍රේලියානු උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනය (ඒඑස්පීඅයි), එවැනි මෙහෙයුමක්, 1915 ගැලිපොලි ව්‍යාපාරය—ඔටෝමන් භූමියට හමුදා ගොඩබෑමෙන් ඩාර්ඩනෙල්ස් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට බ්‍රිතාන්‍යයන් දැරූ ව්‍යසනකාරී උත්සාහය—සමග සංසන්දනය කලේය. ගැලිපොලිහි දී, නාවික හමුදාවට සමුද්‍ර සන්ධියේ සටන්කරුවන් ඉවත් කිරීමට නොහැකි වූ අතර, නාවික හමුදාවට කල නොහැකි වූ දේ කිරීමට හමුදාව යවන ලදී. ප්‍රතිඵලය වූයේ, මාස අටක සංහාරයක් සහ දෙපාර්ශ්වයේම මිලියන හතරෙන් එකක තුවාල ලැබූ, සමූහ මරන හැර අන් කිසිවක් අත්කර නොගත්, මිත්‍ර පාක්ෂිකයින්ගේ සම්පූර්න ඉවත් වීමක් පමනි. තමන්ගේම භූමියේ සටන් කරන ආරක්ෂකයින්ට ඉන් ඉවත් වීමට නොහැකි බව ඔප්පු විය.
හෝමූස්හි ඒ හා සමාන මෙහෙයුම පිලිබඳ ආයතනයේ තක්සේරුව විනාශකාරී ය. “ඉරාන ජාතිකයින්ට සෑම විට ම අභ්‍යන්තර ආරක්ෂක ආවරන වෙත පසු බා යාමේ හැකියාව අතින් සැලකූ කල,” එය, “ගලිපොලි මෙන් දස ගුනයක (ආක්රමනික සේනාවන්ට) විනාශයක් අත්කර දෙනු ඇත”. සමුද්‍ර සන්ධිය පාලනය කරන ඉරාන වෙරල තීරය කිලෝමීටර් 150 කට - ගැලිපොලි අර්ධද්වීපයේ දිග මෙන් තුන් ගුනයකට -වඩා දුරකට වඩා විහි දී තිබෙන අතර, ආරක්ෂක වලලු ගනනාවකින් පිටුබලය ලබා දෙන කඳුපන්තිවලින් සමන්විත ය. “එක්සත් ජනපද හමුදාවන්ට ආරක්ෂා කොට අඛන්ඩ ව රඳවා ගෙන සිටිය හැකි කිසිදු ආරක්ෂක ස්ථානයක් නොමැත,” ඒඑස්පීඅයි ලිවී ය.
මෙම සටන සඳහා ඉරානය වසර 40 ක් තිස්සේ සූදානම් වෙමින් සිටී. අයිආර්ජීසී විසින් වෙරල තීරය නෞකා-නාශක මිසයිල ශ්‍රේනි, ඩ්‍රෝන් දියත් කරන ස්ථාන, බිම්බෝම්බ දැමීමේ පහසුකම් සහ එහි වෙරලබඩ ආරක්ෂාවේ කොඳු නාරටිය වන සිය ගනනක් වේගවත් ප්‍රහාරක බෝට්ටු බලගන්වා තිබේ. එය සමුද්‍ර සන්ධි කලාපයේ නාවික භටයින් 20,000 ක් යොදවා ඇති අතර, එයට මැරීන් භටයින් 5,000 ක් ද ඇතුලත් වේ. එය උභය- ගුවනින් හා ගොඩබිමින් කෙරෙන- විනිවිදීමක් විකර්ෂනය කිරීම සඳහා විශේෂයෙන් පෙරහුරු අභ්‍යාස පවත්වා ඇත. මිලියන භාගයක ජනතාවක් සිටින ඉරාන නාවික මෙහෙයුම්වල කේන්ද්‍රස්ථානය වන බන්ඩාර් අබ්බාස් සෘජු ව ම සමුද්‍ර සන්ධියේ පිහිටා ඇත.
මෙම වෙරල තීරය තුල ඇමරිකානු ගොඩබිම් සහ සාගර ප්‍රහාරවලට, යටින් බිම්බෝම්බ, ජලයෙන් බෝට්ටු ප්‍රහාර සහ වෙරලෙන් නෞකා-නාශක මිසයිල සහ ඩ්‍රෝන යානා එකතු කරගත් ප්රහාරයන්ට මුහුන දීමට සිදුවනු ඇත. ගොඩබෑමේ දී දිවි ගලවා ගන්නා සොල්දාදුවන්ට එවිට සෑම කඳු වැටියක්ම, සෑම මාර්ගයක්ම සහ සෑම උමං මාර්ගයක්ම දන්නා සහ මිලියන 90 ක ජනතාවකින් සවි ගැන්වුනු ජාතියක බලවේගයන්ට එරෙහි අවිනිශ්චිත භූමි යුද්ධයකට—බිම් බෝම්බ (IED), ගරිල්ලා වැටලීම්, ඩ්‍රෝන් ප්‍රහාර සහ රටේ අභ්‍යන්තර ස්ථානවලින් කාලතුවක්කු ප්‍රහාරවලට—මුහුන දීමට සිදුවනු ඇත.
මෙම වෙරල තීරය අල්ලා ගැනීම සඳහා දස දහස් ගනනක හෝ සමහර විට ලක්ෂ ගනනක භට පිරිසක් අවශ්‍ය වනු ඇත. මූලික ප්‍රහාරයේ දී, අඛන්ඩ ව සිදු වන වාඩිලෑමේ දී සහ එක් එක් “සීමිත” අරමුනු ප්‍රමානවත් නොවන බව ඔප්පු වන විට මෙහෙයුමේ නොවැලැක්විය හැකි ව්‍යාප්තියේ දී සිදුවන හානි විනාශකාරී වනු ඇත. ඒවා මනිනු ලබන්නේ මේ දක්වා මරා දමා ඇති දුසිම් ගනනින් නොව, සිය ගනන්, දහස් ගනන්වලිනි—එනම්, වියට්නාමයෙන් පසු ඇමරිකානු ජනගහනය දැක නැති පරිමානයකිනි.
මේවා ඇමරිකානු මරන පමනක් ම වනු ඇත. මිනාබ්හි ප්‍රාථමික පාසලකට එල්ල වූ එක් ප්‍රහාරයකින් අවම වශයෙන් ලමුන් 175 දෙනෙකු අලුකර දමන ලද ගුවන් මෙහෙයුම ඇතුලු ප්‍රහාරවලින්, දැනටමත් දහස් ගනනක් බවට පත් ව ඇති ඉරාන මරන සංඛ්‍යාව අතිවිශාල ලෙස වැඩි වනු ඇත. අපේක්ෂා කල යුතු දේ හෙග්සෙත් අපට පවසා ඇත. “අනුකම්පා විරහිත” සහ “දැවැන්ත පරිමානයෙනි;” “අනවරතව ගුවනින් ගෙනෙන මරනය සහ විනාශය.”
පුලුල් ව්‍යසනය
ගොඩබිම් ආක්රමනයක් මුලු මැද පෙරදිග ම ගිනිබත් කර ගෝලීය ගැටුමක් දක්වා වර්ධනය වනු ඇත. ඊශ්‍රායලය දැනටමත් ගාසා තීරයේ ජන සංහාරය ලෙබනනයට බෝම්බ හෙලීමක් දක්වා ව්‍යාප්ත කරමින් සිටින අතර, සිය ගනනින් මිය ගොස් ලක්ෂ ගනනින් ඔවුන්ගේ නිවෙස්වලින් පලවා හරිනු ලැබේ. යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් හෝමූස් සමුද්‍ර සන්ධියේ මුර සංචාරය සඳහා යුද නැව් යවා ඇත.
ඉරානය රටවල් අටක ඇමරිකානු කඳවුරු සහ මිත්‍ර පාක්ෂික යටිතල පහසුකම් වලට පහර දී තිබේ. ඉරාන භූමියට ගොඩබෑමක්, ඇමරිකානු කඳවුරු වලට බැලස්ටික් මිසයිල ප්‍රහාර තීව්ර කරනු ඇත, ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාර පුලුල් කරනු ඇත, රතු මුහුදේ නැව් ගමනාගමනයට හූති ප්‍රහාර එල්ල කරනු ඇත, සහ ගල්ෆ් අරාබි තෙල් යටිතල පහසුකම් වලට සෘජු ප්‍රහාර එල්ල කරනු ඇත, එමඟින් තෙල් බැරලයක මිල ඩොලර් 150 හෝ 200 දක්වා ඉහල ගොස් ලෝකය අවපාතයකට ඇද දැමිය හැකි ය.
මේ සියල්ල පිටුපස ඇත්තේ දරුනුතම අනතුරයි. ඉරානයට එරෙහි ව න්‍යෂ්ටික අවි භාවිත නොකර සිටීම ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන වැනි දැඩි භූගත ඉලක්ක සඳහා නිර්මානය කර ඇති ඊනියා “උපායාත්මක” න්‍යෂ්ටික අවි—හෝ B61-11 වැනි පොලොව විනිවිද යන බෝම්බ—කිලෝටොන් සිය ගනනක හෝ දස දහස් ගනනක, එනම්, හිරෝෂිමා විනාශ කල බෝම්බය මෙන් බොහෝ පරිමානයක විනාශයක් ගෙන එයි.
“අනුකම්පා විරහිත ව” යුද්ධ කරන, ඝාතනය කිරීමට “උපරිම බලය” ලබා දෙන බවට ඔහුගේ යුද ලේකම් පුරසාරම් දොඩන, ජාත්‍යන්තර නීතියේ සහ ප්රජාතන්ත්රවාදී පාලනයේ සෑම සම්මතයක් ම බිඳ දැමූ ජනාධිපතිවරයෙකු වන මෙම ජනාධිපතිවරයා 1945 සිට පවතින න්‍යෂ්ටික තහනමට ගරු කරනු ඇතැයි උපකල්පනය කල නොහැකි ය.
කලෙක සිතා ගත නොහැකි වූ න්‍යෂ්ටික අවි භාවිතය, ඉරාන වැසියන්ගේ සහ සෑම තැනක ම සිටින කම්කරුවන්ගේ ජීවිත වැදගැම්මකට නැති ලෙසත්, නීතියේ සීමාවන් පිලිකුල් සහගත ලෙසත් සලකන පරිපාලනයක් අත දී සැබවින්ම වියහැකි දෙයක් බවට පත් ව ඇත.
යුද්ධය නවත්වනු—කම්කරු පන්ති ව්‍යාපාරය ගොඩනඟමු
ඩිමොක්රටික් පක්ෂය මේ අපරාධය නවත්වන්නේ නැත. ඔවුන් යුද්ධයට අරමුදල් සපයා දී තිබේ.
පෙබරවාරි මාසයේ දී, ට්‍රම්ප්—2026 සැප්තැම්බර් දක්වා හමුදාවට අරමුදල් සපයමින්—මැද පෙරදිගට මිලිටරි වත්කම් වැඩි කරමින් සිටිය දී, ඩොලර් ට්‍රිලියන 1.2 ක ආන්ඩුවේ වියදම් පනතක් සම්මත කිරීමට ඩිමොක්රටික් මන්ත්‍රීවරුන් 21 දෙනෙකු තීරනාත්මක ඡන්ද සංඛ්‍යාවක් ලබා දුන්නේ ය—එය 217 ට 214 ක ඡන්දයකින් සම්මත විය. පක්ෂ නායකයින් තම විරෝධතා ක්‍රියාවලිය සහ මුල් කෙටුම්පත පිලිබඳ ප්‍රශ්නවලට—යුද්ධයේ උපායමාර්ගික අරමුනු බෙදා ගන්නා සහ එහි අසාර්ථකත්වයන් සමඟ සම්බන්ධ වීමේ දේශපාලන ප්‍රතිවිපාක ගැන පමනක් බිය වන දේශපාලනඥයන්ගේ ආචාරශීලී ක්‍රියා පටිපාටිමය පැමිනිලිවලට—සීමා වී සිටිති. ඩ්‍රොප් සයිට් නිවුස් වාර්තා කල පරිදි, සෙනෙට් සභාවේ ඩිමොක්රටික් මන්ත්‍රීවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ඉරානයට “අවසානයේ මිලිටරිමය වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය විය” යැයි විශ්වාස කලහ—”ඔවුන්ට ට්‍රම්ප් ලවා එය කරවා ගැනීමට අවශ්‍ය වූයේ හරියට ම ඒ නිසා ය.”
යුද්ධයට හවුල් වන ධනේශ්වර දේශපාලන ආයතන එය නවත්වන්නේ නැත. එය නැවැත්විය හැකි වනු ඇත්තේ, කම්කරු පන්තියේ සංවිධානාත්මක ප්‍රතිරෝධය මගින් පමනි.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙම අනතුරු ඇඟවීම සහ මෙම කැඳවීම නිකුත් කරයි: භයානක අපරාධයක් සූදානම් වෙමින් පවතී. ඉරාන ආක්රමනය, පරම්පරා ගනනාවකින් නොදුටු පරිමානයේ සංහාරයක් දියත් කරනු ඇත. එය නැවැත්විය යුතු ය.
යුද්ධයේ ආර්ථික ප්‍රතිවිපාක—ගෑස් මිල ඉහල යාම, ආහාර පිරිවැය ඉහල යාම, සමාජ අවශ්‍යතාවලින් දිනකට ඩොලර් බිලියනයක් හමුදා යාන්ත්රනයට හැරවීම—කෙලින් ම පතිත වන්නේ වැඩ කරන ජනතාවගේ උර මතට ය. ඉරාන වෙරල තීරයේ මිය යාමට යවනු ලබන සොල්දාදුවන් කම්කරු පන්තියේ දූ පුතුන් ය. ඓතිහාසික ව පීඩාවට පත් වූ රටක් වන ඉරානයේ, තම රට ආරක්ෂා කර ගැනීමේ දී මරා දමනු ලබන අය, ඇමරිකානු කම්කරුවන්ගේ පන්ති සහෝදර සහෝදරියන් වේ.
විදේශයන්හි සාපරාධී යුද්ධ සහ රට තුල සමාජ අර්බුදය අතර සම්බන්ධය වියුක්ත නොවේ. ඉරානයට පහර දීමට පෙර මාස සහ සති කිහිපය තුල, ට්‍රම්ප් පරිපාලනය, අයිසීඊ නියෝජිතයන්ගෙන් නගර පුරවා දමා, ඇමරිකානු පුරවැසියන් ඝාතනය කරමින් සිටියේ ය.
ඉරානයට එරෙහි යුද්ධය උත්සන්න කිරීම සඳහා, එක්සත් ජනපදය තුල ම ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට එල්ල වන ප්‍රහාර තීව්ර කිරීම අවශ්‍ය වනු ඇත. සමස්ත ඇමරිකානු සමාජයම යුද්ධයේ ඉල්ලීම්වලට යටත් වනු ඇත. මෙහි අර්ථය වන්නේ, සමාජ වැඩසටහන් මත දැවැන්ත ප්‍රහාරයක් සහ දේශපාලන විරුද්ධත්වය අපරාධකරනය කිරීමක් ය
ඉරානයට එරෙහි යුද්ධයට විරුද්ධව ගැඹුරින් මුල් බැසගත් මහජන විරෝධයක් පවතී. මෙම විරුද්ධත්වය සංවිධානය කර දේශපාලනිකව මෙහෙයවිය යුතුය.
ඔබේ සේවා ස්ථානය, ඔබේ පාසල, ඔබේ ප්‍රජාවන් යුද්ධයට එරෙහිව බලමුලු ගන්වන ලෙස ලෝසවෙඅ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. නිර්ලජ්ජිතව මුඛපූට්ටු කරගෙන සිටින වෘත්තීය සමිති නිලධරයන්ට පටහැනි ලෙස, ස්වාධීන ක්රියාකාරීයාකාරී කමිටු පිහිටුවන්න. යුද්ධයට එරෙහි අරගලය, අධිරාජ්‍යවාදී යුද්ධයේ පූජාසනය මත පුදනු ලබන සමාජ අයිතිවාසිකම්, එනම්, යහපත් වැටුප්, සෞඛ්‍ය සේවා, නිවාස සහ අධ්‍යාපනය සඳහා වන සටනට සම්බන්ධ කරන්න. තමන් සේවය කරන්නේ ජනතාවට නොව, පාලක පන්තියේ අවශ්‍යතාවලට බව නැවත වරක් පෙන්නුම් කර ඇති, ඇමරිකානු ධනවාදයේ පක්ෂ දෙකම (රිපබ්ලිකන් සහ ඩිමොක්රටික්) ප්‍රතික්ෂේප කරනු.
යුද්ධයට එරෙහි සටන යනු එයට උපත දෙන ධනේශ්වර ක්‍රමයට එරෙහි සටන යි. සමාජවාදය මනෝරාජික පරමාදර්ශයක් නොවේ. එය පැවැත්මේ අනිවාර්ය අවශ්‍යතාවයකි.
වැඩිදුර කියවන්න
- ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය නැවැත්වීම වෙනුවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැවැත් වූ හදිසි වෙබිනාර් රැස්වීම සමාජවාදී මූලෝපාය පැහැදිලි කරයි
- ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සමූල ඝාතක යුද්ධය මධ්‍යයේ එක්සත් ජාතීන් ඉරානයේ ස්වයං-ආරක්ෂක ප්‍රහාර හෙලා දකී
- ඉන්දියන් සාගරයේ සමූහ ඝාතනය: අයිරිස් ඩෙනා නෞකාවට එල්ල වූ ටෝපිඩෝ ප්‍රහාරය
