සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

ප්‍රසිද්ධ රැස්වීම: ඉරානයට එරෙහි එක්සත් ජනපද- ඊශ්‍රායල යුද්ධය නතර කරනු!

ඉරානයට එරෙහි ව උත්සන්න කෙරෙන අධිරාජ්‍යවාදී යුද්ධය සහ ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව කම්කරු පන්තිය මුහුන දෙන කර්තව්‍යයන් සාකච්ඡා කිරීම සඳහා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), අප්‍රේල් මස 07 දා සවස 3.30 ට, පේරාදෙනිය විශ්වවිද්‍යාලය‌ට සමීප, හිඳගල, ඔරියන්ට් අධ්‍යාපන ආයතනයේ දී, “ඉරානයට එරෙහි එක්සත් ජනපද- ඊශ්‍රායල යුද්ධය නතර කරනු!” මැයෙන් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.

ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් පසුගිය පෙබරවාරි 28 දා ආරම්භ කල මෙම නීති-විරෝධී සාපරාධී යුද්ධය සිව්වන සතියට එලැඹ ඇත්තේ, එය ඉරානයෙහි මහජනතාවට පමනක් නොව, සමස්ත මනුෂ්‍ය වර්ගයාට වින කටින ගෝලීය වහ්නිජාලයක් බවට වර්ධනය වෙමින් පවතින බව හාත්පසින්ම පෙන්නුම් කරමිනි.

ස්වාධීන මානව හිමිකම් සංවිධානවලට අනුව යුද්ධයෙන් මේ වන විට ලමුන් ඇතුලු ඉරාන වැසියන් 3000 ට වැඩි පිරිසක් මරනයට පත්ව තිබේ. ඉරාන මූලාශ්‍රවලට අනුව එරට රෝහල් 77 ක් පාසල් 500 ක් පමන විනාශභාග් කර තිබේ.

යුද්ධය ගල්ෆ් කලාපයේ රටවල් ගනනාවකට පැතිර ඇති අතර, සැපයුම් දාම අවහිර වීමෙන්, ඉන්ධන, ගෑස්, පොහොර සහ ආහාර මිල ගනන් සීග්‍රයෙන් ඉහල යෑම ලොවපුරා කම්කරු පීඩිත මහජනයාගේ සාමාන්‍ය ජන ජීවිතය මත දැවැන්ත බලපෑමක් එල්ල කර තිබේ.

එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් අවහිරකොට ඇති, ලොව ප්‍රධාන ඉන්ධන ප්‍රවාහන මාර්ගයක් වන හෝමෝස් සමුද්‍ර සන්ධිය, තමා විසින් නියම කොට ඇති අවසන් කාල සීමාවට පෙර විවෘත නොකලහොත් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන සියල්ල විනාශ කරන බවට ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කරයි.

එක්සත් ජනපදය එහි පිරිහී ගිය ගෝලීය ආර්ථික ආධිපත්‍යය තමා සතු දැවැන්ත මිලිටරී බලය තුලින් යලි ගොඩනගා ගැනීමට දරන මංමුලා සහගත ප්‍රයත්නයේ කොටසක් ලෙස, ඉරානය ඇතුලු මැදපෙරදිග සම්පත් බහුල කලාපය මත්තේ තම ආධිපත්‍ය පිහිටුවා ගැනීම සහ ඇමරිකාවේ ආර්ථික ප්‍රතිවාදීන් වෙත බලශක්ති සැපයුම් සඳහා ප්‍රවේශය වැලැක්වීම එල්ල කර ගනිමින් දියත්කර ඇති මෙම යුද්ධය චීනයට එරෙහි එක්සත් ජනපද යුද මූලෝපායේ කොටසකි.

ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් එල්ල කෙරෙන මෙම තර්ජනය චීනයට පමනක් සීමා නොවන අතර ට්‍රම්ප් දැනටමත් ග්‍රීන්ලන්තය, කැනඩාව හා පැනමා ඇල අල්ලා ගැනීම දක්වා දිගේලි කර තිබේ. ට්‍රම්ප්, ඉරාන යුද්ධයට පෙර, බලශක්ති සම්පත්වලින් අනූන වෙනිසියුලාව තුල තම රූකඩ තන්ත්‍රයක් අටවා ගැනීමේ අරමුනෙන්, එ රටට එක්සත් ජනපද හමුදාව යොදවා, ඡන්දයෙන් තේරී පත් ව සිටි ජනාධිපති මධුරෝ සහ ඔහුගේ භාර්යාව පැහැරගෙන ගියේ ය. ගාසාවේ පලස්තීන ජනයාට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල සමූල ඝාතනය තවදුරටත් ඉදිරියට ගෙනයමින් තිබේ.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව චීනයට එරෙහි එක්සත් ජනපද මූලෝපායේ ප්‍රධාන කලාපීය හමුල්කරු වන අතර, ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව එම මූලෝපායට මුලුමනින්ම ඒකාග්‍ර ව සිටී.

ඉන්දියාවේ යුද අභ්‍යාසයකට සම්බන්ධ වී නැවත යමින් සිටි ඉරානයේ අයිරිස් ඩෙනා නෞකාව ලංකාවේ ගාල්ලට ආසන්නයේ දී ඇමරිකානු යුද යාත්‍රාවකින් එල්ල කල ටොපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමීම හා එහි සිටි නැවියන් 32 ගේ ජීවිත බේරා ගැනීම හා තවත් ඉරාන නෞකාවකට කොලඹ වරායට ඇතැලුවීමට ඉඩදීමේ දී ශ්‍රී ලංකා ආන්ඩුව “මධ්‍යස්ථ” හා “මානවවාදී” ලෙස ක්‍රියා කර ඇතැයි සිදු කරන පුරසාරම්වලට ප්‍රතිකූල ව, දිසානායක ආන්ඩුව ක්‍රියාකරමින් සිටින්නේ, එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ රාජ්‍ය තාන්ත්‍රික සහ මූලෝපායික අරමුනු සඳහා අනුකූල අතරමැදියෙකු ලෙසයි.

මෙම තතු තුල, නව දිල්ලිය හෝ කොලඹ යන දෙක ම, එක්සත් ජනපදය ඩෙනා නෞකාවට එල්ල කල ප්‍රහාරය හෝ එහි කාර්ය මන්ඩලය ඝාතනය කිරීම හෝ නීති විරෝධී යුද්ධය ම හෙලා නොදැකීම අහම්බයක් නොවේ.

ෆැසිස්ට්වාදී ට්‍රම්ප් පරිපාලනයට හෝ කිසිදු අධිරාජ්‍යවාදී බලවතෙකුට කරන ආයාචනා මගින් මෙම යුද්ධය නතර නොකෙරෙන බව සසප අවධාරනය කරයි. ඉරාන ජනතාව ආරක්ෂා කිරීම සහ යුද අපරාධකරුවන් පරාජය කිරීම සඳහා ලෝක ධනවාදයට එරෙහි ව ගෝලීය කම්කරු පන්තියේ දේශපාලන බලමුලු ගැන්වීම අවශ්‍ය වේ. මෙය සාක්ෂාත් කරගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායක පදනම මත පමනි.

යුද්ධයට හේතු, එහි ගෝලීය ඇඟවුම්, ඊට සම්බන්ධ ඓතිහාසික හා න්‍යායාත්මක ගැටලු සහ සියල්ලටත් වඩා එය නැවැත්වීම සඳහා කම්කරු පන්තිය දේශපාලනික ව මැදිහත් වීමේ අවශ්‍යතාවය කථිකයින් සාකච්ඡා කරනු ඇත. මෙම වැදගත් සාකච්ඡාවට සම්බන්ධ වන ලෙස කම්කරුවන්ගෙන් සහ ශිෂ්‍යයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

දිනය : අප්‍රේල් 07 වන අගහරුවාදා

වේලාව : ප.ව. 3.30 සිට 6.00 දක්වා

ස්ථානය : ඔරියන්ට් අධ්‍යාපන ආයතනය, ගලහ පාර, හිඳගල

Loading