[මෙය Sri Lankan government institutes huge fuel price increases යන මැයෙන් 2026 මාර්තු 27 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය ආරම්භ වූ දා සිට, ශ්‍රී ලංකා ආන්ඩුව, ඉන්ධන මිල සියයට 26 සිට 30 දක්වා ප්රමානයකින් තියුනු ලෙස වැඩි කර ඇති අතර, එමඟින් වැඩ කරන ජනතාව මත වඩාත් විශාල බරක් පටවා ඇත. ඉන්ධන මිල ඉහල යාම ප්‍රවාහන ගාස්තු, ආහාර මිල සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ මිල ගනන්වල ඉහල යාම් මාලාවක් ප්‍රේරනය කර තිබේ.
ශ්‍රී ලංකාවේ මතුවෙමින් පවතින අර්බුදය කලමනාකරනය කිරීමට තම ආන්ඩුව සමත් බව ප්‍රකාශ කිරීමෙන් පසු, ජනාධිපති අනුර කුමාර දිසානායක, විදුලි හිඟය, ඉහල යන පිරිවැය සහ විදුලි බිඳවැටීම් පිලිබඳ අනතුරු ඇඟවීමක් සිදුකිරීම දක්වා ආපසු හැරී තිබේ.
මාර්තු 17 වන දින රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවක දී සහ මාර්තු 20 වන දින පාර්ලිමේන්තු කතාවක දී, දිසානායක, යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාව “බාහිර කම්පනයකට” මුහුන දී ඇති බව අවධාරනය කලේ ය. ගෝලීය බලශක්ති සැපයුම්වලට ඇති තර්ජන පෙන්වා දුන් ඔහු, මිල වැඩි කිරීම හැර ආන්ඩුවට වෙනත් විකල්පයක් නොමැති බව ප්‍රකාශ කලේ ය.
දිසානායක හෝ ඔහුගේ ආන්ඩුව ඊශ්‍රායලය සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඉරානයට එරෙහි ව සිදු කල සාපරාධී යුද්ධය හෙලා දැක නැත. ඒ වෙනුවට, ව්‍යාජ “මධ්‍යස්ථභාවයක්” පවත්වා ගෙන ගොස් ඇත. ඇත්ත වශයෙන් ම, යුද්ධය පිලිබඳ පෙර ප්‍රකාශයක දී, තෙල් සැපයුම් සහ ගෝලීය ආර්ථිකය කඩාකප්පල් කරන ප්‍රධාන සාධකය ලෙස දිසානායක විසින්—ඇමරිකානු-ඊශ්‍රායල ආක්රමනයට එරෙහි ව ඉරානය විසින් පලිගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස—හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හුවා දක්වා ඇත.
එය උග්‍රවීමේ අවදානම ඉහල ය. බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 60 ක් ආනයනය කරන ශ්‍රී ලංකාව වැනි රටකට—ඉන් වැඩි කොටසක් ආනයනය කෙරෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ය—යුද්ධය බරපතල බලපෑමක් ඇති කරයි. දිවයින තුල දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දැඩි කප්පාදු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලකෙරී ඇති තත්වයන් යටතේ, විදුලිබල උත්පාදනය, ප්‍රවාහනය සහ එහි ආර්ථික ක්‍රියාකාරකම් වලින් වැඩි ප්‍රමානයක් රඳා පවතින්නේ බලශක්ති ආනයනය මත ය.
දිසානායක තම කතාවල දී IMF ගැන සඳහන් කලේ ඉතා අල්ප වශයෙනි. එසේ වුව ද, මැද පෙරදිග අර්බුදයට ආන්ඩුවේ ප්‍රතිචාරය IMF ඉල්ලීම් සමඟ සමීප ව බැඳී ඇත. ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ඇප නය ගිවිසුමේ නියමයන් යටතේ, ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය විනයක් පවත්වා ගත යුතු අතර, ප්‍රාථමික ගිනුම් අතිරික්තය සියයට 2.3 ක් පෙන්වීම, ඉන්ධන සහ විදුලිය සඳහා මිල සහනාධාර ඉවත් කිරීම සහ පෞද්ගලීකරනය ඇතුලු අනෙකුත් රාජ්‍ය අංශයේ වියදම් කපා හැරීම අවශ්‍ය වේ. IMF හි ප්‍රමුඛතාවය වන්නේ විදේශ නය ආපසු ගෙවීමයි.
රටේ ආර්ථිකයේ අවදානම IMF නිලධාරීන් විසින් පිලිගෙන තිබේ. IMF ප්‍රකාශිකා ජූලි කොසැක්, මෑතක දී, ශ්‍රී ලංකාව මැද පෙරදිග ගැටුමට “සැලකිය යුතු ලෙස නිරාවරනය වී ඇති” බව ප්‍රකාශ කර තිබේ. ඇපදීමේ ඊලඟ වාරිකය සමාලෝචනය කිරීම සඳහා IMF නියෝජිත පිරිසක් මාර්තු 26 සිට අප්‍රේල් 6 දක්වා කොලඹට පැමිනීමට නියමිත ය.
ජීවන තත්වයන්ට ඇති බලපෑම දැනටමත් දරුනු ය. ඉන්ධන මිල ඉහල යාම ඉක්මනින් ම මුලු ආර්ථිකය පුරා ම ව්‍යාප්ත වී ඇත. ලංගම හා පෞද්ගලික බස් ගාස්තු සාමාන්‍යයෙන් සියයට 12.19 කින් ඉහල ගොස් ඇති අතර, අනෙකුත් ප්‍රවාහන සේවා ගාස්තු ද වැඩි කර තිබේ; එය ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මිල ඉහල යාමට හේතු වී තිබේ. පිසුම් ගෑස් සහ භූමිතෙල් මිල පිලිවෙලින් සියයට 8 කින් සහ සියයට 30 කින් ඉහල ගොස් ඇත. ලංකා විදුලිබල මන්ඩලය අවම වශයෙන් සියයට 13 ක ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා ඇත.
පොහොර ආනයනයන්ගෙන් සියයට 36 ක් කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පැමිනෙන බැවින් සහ ඒවා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට සිදුවන බැවින් ගොවීහු බරපතල ගැටලු වලට මුහුන දී සිටිති. ගැටුම ආරම්භ වූ දා සිට වඩාත්ම තීරනාත්මක පොහොර නිෂ්පාදනය වන යූරියා වැනි නයිට්රජන් පාදක නිෂ්පාදන සඳහා මිල ගනන් ලෝක වෙලඳපොලේ සියයට 30 ත් 40 ත් අතර ප්රමානයකින් ඉහල ගොස් තිබේ.
ආන්ඩුව වී (එනම්, සහල් නිෂ්පාදනය) සඳහා පොහොර බෙදා හැරීම සීමා කර ඇති අතර, එයින් අදහස් වන්නේ, එය මැයි සිට අගෝස්තු දක්වා යල කන්නයේ අස්වැන්න කෙරෙහි දැඩි ලෙස බලපානු ඇති බවයි. එලවලුවලින් ගොවීන් ලබන ආදායම් පහත වැටී ඇත්තේ, වෙලඳපොලට භාන්ඩ ප්‍රවාහනය කරන බොහෝ ට්‍රක් රථවල ඉන්ධන හිඟකම නිසා ය.
2022 දී රට විදේශ නය ගෙවීම පැහැර හැරීමෙන් පසු පනවන ලද මංමුලා සහගත පියවරයන් ප්රතිරාවය කරමින්, පරිභෝජනය සීමා කිරීම සඳහා ආන්ඩුව QR කේත පදනම් කරගත් ඉන්ධන සලාකන ක්‍රමයක් නැවත හඳුන්වා දී ඇත; එය විශේෂයෙන් ත්‍රිරෝද රථ සහ අනෙකුත් කුලී රථ රියදුරන්ගේ දුෂ්කරතා තීව්ර කර තිබේ. මහජන විරෝධයක් ඇති වේ යැයි බියෙන්, ආන්ඩුව ඉන්ධන පිරවුම්හල්වලට හමුදාව සහ පොලිසිය යොදවා ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්ධන සඳහා ප්‍රමානවත් ගබඩා ධාරිතාවක් නොමැති අතර එම නිසා නිතිපතා කෙරෙන නැව්ගත කිරීම් මත රඳා පැවතීමට සිදු ව තිබේ. 2022 අර්බුදයේ දී දක්නට ලැබුනු පරිදි, සුලු ප්‍රමාදයක් පවා හිඟයන් සහ දිගු පෝලිම් බිහි කිරීමේ අවදානමක් ඇත.
ඒ සමඟම, විදේශ මුදල් සඳහා ප්‍රවේශය ඇති විශාල සමාගම්වලට පෞද්ගලික ව ඉන්ධන ආනයනය කිරීමට ආන්ඩුව අවසර දී ඇත; සාමාන්‍ය ජනතාව ඉහල මිල ගනන්වලට සහ සලාක ක්‍රමයකට මුහුන දෙන අතරතුර ආන්ඩුව මහා ව්‍යාපාර ආරක්ෂා කරයි.
පාලක ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ද IMF හි කප්පාදු පියවර ඉදිරියට ගෙන යාමට ඉන්ධන අර්බුදය භාවිතා කරයි. ඉන්ධන පරිභෝජනය අඩු කිරීමේ මුවාවෙන්, රාජ්‍ය අංශයේ සමහර කොටස්වල දින හතරක වැඩ සතියක් හඳුන්වා දී ඇත; මෙය තාවකාලික විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇතත්, පිරිවැය අඩු කිරීම අරමුනු කරගත් තවත් කප්පාදු සලකා බලමින් තිබේ.
යුද විරෝධී හැඟීම් ඉහල යාම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමට බල කල 2022 කැරැල්ල අභිබවා යා හැකි නව මහජන නැගිටීමක් අවුලවනු ඇතැයි, දිසානායක ආන්ඩුව බිය වේ. මාර්තු 17 වන දින විමසූ විට, දිසානායක එවැනි උත්සුකයන් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ 2022 නැගිටීම ආර්ථික බිඳවැටීම හේතුවෙන් නොව දූෂනයෙන් හා ඒකාධිපතිවාදයෙන් සම්භව වූවක් බවයි.
යුද විරෝධී හැඟීම් ගසා කෑම සඳහා, සමගි ජන බලවේගය ඇතුලු විරුද්ධ පක්ෂ, ආන්ඩුව යන්තමට විවේචනය කරයි. එක්සත් ජනපද සහ ඊශ්‍රායල ආක්රමනය, ඇමරිකානු කඳවුරු සඳහා සත්කාරකත්වය දරන ගල්ෆ් රාජ්‍යයන්ට ඉරානය විසින් එල්ල කරන ලද පලිගැනීමේ ප්‍රහාරවලට සමාන කරමින්, සජබ නායක සජිත් ප්‍රේමදාස, යුද්ධයේ දී දෙපාර්ශ්වය ම හෙලා දකින ලෙස ආන්ඩුවෙන් සහ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා තිබේ.
බොහෝ දුරට ප්‍රධාන ධනේශ්වර පක්ෂ සමඟ පෙලගැසී සිටින වෘත්තීය සමිති, යුද අර්බුදය මධ්‍යයේ කම්කරුවන්ට එරෙහි ව උත්සන්න වන ප්‍රහාර සම්බන්ධයෙන් නිහඬ ය. යුද්ධයට පෙර, සෞඛ්‍ය, විදුලිබල සහ අධ්‍යාපන අංශවල වෘත්තීය සමිති නායකයෝ අරගල මැඬ පැවැත්වීමට, කාර්මික ක්‍රියාමාර්ග සීමා කිරීමට සහ ඒකාබද්ධ කම්කරු පන්ති ව්‍යාපාරයක මතුවීම අවහිර කිරීමට කටයුතු කලහ.
රැකියා සහ සේවා කොන්දේසි ආරක්ෂා කිරීම සඳහා කම්කරුවන්ගේ අරගල, යුද්ධයට සහ එහි නිර්මානකරුවා වන ධනේශ්වර ක්‍රමයට එරෙහි සටනෙන් වෙන් කල නොහැක. මෙම අරගලය ඉදිරියට ගෙන යාම සඳහා, කම්කරු පන්තිය වෘත්තීය සමිතිවලින් බිඳී, ජාත්‍යන්තර කම්කරු සන්ධානයේ කොටසක් ලෙස සාමාන්‍ය කම්කරුවන්ගේ ස්වාධීන කමිටු පිහිටුවා ගත යුතු ය.
ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව සහ පීඩිතයින් මුහුන දෙන්නේ, ජාත්‍යන්තර ව කම්කරුවන් මුහුන දෙන මූලික ගැටලුවලට ම ය. අර්බුද සහ කප්පාදු චක්‍රය අවසන් කිරීමටත්, වඩාත් පුලුල් ලෝක යුද්ධයක් කරා ඇද වැටීමේ අවදානම නිමා කර දැමීමටත් හැකියාව ඇත්තේ සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ ඒකාබද්ධ කම්කරු පන්ති ව්‍යාපාරයකට පමනි.
