කාටූන් ශිල්පී සජිත් බන්ඩාරගේ කාටූන් ෆේස්බුක් පිටුව මකාදැමීම භාෂනයේ නිදහසට ප්‍රහාරයක්!

කාටූන් ශිල්පී සජිත් බන්ඩාරගේ කාටූන් පලකරන ෆේස්බුක් ගිනුම මකා දැමීම, ප්‍රකාශනයේ නිදහසට එල්ල කල ප්‍රහාරයක් ලෙස සලකා එය හෙලාදකින සමාජවාදී සමාජවාදී සමානතා පක්ෂය (සසප),  එය වහාම ප්‍රතිස්ථාපනය කිරීමට  බලකරන ලෙස සිතනමතන කම්කරුවන් ශිෂ්‍යයන් හා තරුනයින් මෙන්ම සියලුම ෆේස්බුක් පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටී.

කාටූන් ශිල්පී සජිත් බන්ඩාර

අප්‍රේල් 29දා සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් බන්ඩාර මෙසේ පැහැදිලි කර තිබින:

'මාගේ facebook ගිනුමට මේ මස 22 වන දින සවස යම්කිසි පුද්ගලයෙක් අනවසරයෙන් ඇතුලුවීමට උත්සාහ කරන බවට මා හට facebook හරහා පනිවිඩයක් ලැබුනි. ඒ මොහොතේ මාගේ ගිනුමේ ආරක්ෂිත බවට මා වහාම කටයුතු කල නමුත්, ටික වේලාවකින් මාගේ facebook ගිනුම lock කර ඇති බවට facebook හරහා පනිවිඩයක් ලැබුනි. ඉන් පසු දින දෙකක් පමන වන තුරු මට ගිනුමට ඇතුල්වීමේ හැකියාව නොමැති විය. පසුව 24 වන දින දහවල් වන විට නැවත මා හට මාගේ facebook ගිනුම ට පිවිසීමට හැකියාව ලැබුනි. නමුත් ගිනුම පරීක්ෂා කර බලන විට මාගේ “Sajith Bandara” cartoon page එක මකා දමා තිබුනි.

'Sajith Bandara” cartoon page එක මකා දමා කාටූන් ශිල්පියෙකු ලෙස මාගේ නිදහස් ප්‍රකාශනයේ අයිතියට එල්ල කල ප්‍රහාරය තරයේ හෙලා දකිමි.”

සිද්ධිය පිලිබඳව ලෝක සමාජවාදී අඩවිය (ලෝසවෙඅ) විමසූ විට බන්ඩාර කීවේ, ඔහු දැන් ෆේස්බුක් සමාගමේ මේ පිලිබඳව අදාල අංශවලට පැමිනිලි කිරීම සඳහා සූදානම් වෙමින් සිටින බවයි. මෙය  පරිඝනක දූෂකයෙක් (hacker-පරිගනක යොදාගෙන අනවසරයෙන් දත්ත ලබාගන්නා) විසින් සිදුකලේ ද නැතිනම් ෆේස්බුක් අඩවිය මගින් සිදුකලේ ද යන්න තවමත් පැහැදිලි නැති නමුත්, ධනේශ්වර සංස්ථාපියට එරෙහි තමන්ගේ කාටූන්වල දේශපාලන අන්තර්ගතය නිසැකවම මෙම ක්‍රියාවට හේතුව වියහැකි බව බන්ඩාර සඳහන් කලේ ය.

බන්ඩාර, ශ්‍රී ලංකා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය පවත්වන ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උලෙලේ වසරේ විශිෂ්ඨතම කාටූන් ශිල්පියා ලෙස 2019 සහ 2022 වසරවලදී සම්මාන ලැබූ විශිෂ්ඨ කාටූන් ශිල්පියෙකි. ඔහුගේ කාටූන් පලකල ෆේස්බුක් පිටුව සැලකිය යුතු බලපෑමක් සහිත 24,000කට ආසන්න ෆේස්බුක් පරිශීලකයන් පිරිසක් අනුගමනය (Follow) කරමින් තිබූවකි. අධිරාජ්‍යවාදී යුද්ධය හා යුද අපරාධ, ප්‍රජාතන්ත්‍රීය අයිතීන්වලට එරෙහි ප්‍රහාර සහ විශේෂයෙන්ම, ජාත්‍යන්තර අරමුදලේ (අයිඑම්එෆ්) විෂකුරු කප්පාදු පිලිවෙත් යනාදිය බන්ඩාරගේ කාටූන් තුල තියුනු විවේචනයට බඳුන්වූ අතර, උක්ත ප්‍රහාර කෙරෙහි දහස් සංඛ්‍යාත පිරිසකගේ අවධානය යොමු කරවීමට ඒවා සමත් විනි.

ඔහුගේ මෙම කාටූන්, ආන්ඩු ගැති හෙංචයියන්ගේ විෂකුරු විවේචනවල හා හෙලාදැකීම්වලට ලක්වූ අතර, මේවා හුදෙක්ම කිසිදු පදනමක් නැති අවලාද නැගීම් පමනක් බව  බන්ඩාර ලෝසවෙඅයට  සඳහන් කලේ ය. වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය (ජවිපෙ/ජාජබ) බලයට පත්ව, අයිඑම්එෆ් වැඩපිලිවෙල අඛන්ඩව ඉදිරියට ගෙනයාම ගැන ඔහු ඇඳි විවේචනාත්මක කාටූන්වලට එරෙහිව මෙම අවලාද ව්‍යාපාරය ක්‍රමානුකූලව උග්‍ර කෙරුනු බව ද කාටූන් ශිල්පියා සඳහන් කලේ ය.

ඔහුගේ කාටූන් ෆේස්බුක් පිටුව මකාදැමීමට පැය දෙකකට පමන එහි පලකල කාටූනයෙන්, උතුරේ චෙම්මනි සමූහ මිනීවලවල් සම්බන්ධ පරීක්ෂනය ආන්ඩුව විසින් දැනුවත්වම යටපත් කර දමාතිබීම ගැන බලගතු ලෙස ඇඟවුම් කර තිබිනි. ව්‍යාජ ප්‍රජාන්ත්‍රවාදී වහන්තරාවක් දමා සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුවට හා එහි ගැත්තන්ට එවන් විවේචන වහකදුරු ලෙස හැඟෙන බවට සැකයක් නැත. ඔහුගේ මෑතම කාටූන් අතර සම්මානලාභී ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන්ගේ කෘති සියගනනක් ශ්‍රී ලංකා රේගුව විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට රඳවා තබා ගැනීම පිලිබඳව විවේචනාත්මකව විලක්ෂනය කර තිබිනි.

බලයට පැමින වසරකුත් මාස කීපයක් ගතවෙන තැන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුවේ විෂකුරු ස්වභාවය වඩාත් හෙලිදරව්වී තිබෙන අතර, ආන්ඩුවට එරෙහි කම්කරුවන්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුලු විරුද්ධවාදීන් මර්ධනය කිරීම සඳහා රුදුරු ත්‍රස්තවාදය වැලක්වීමේ පනත හා මාර්ගගත ආරක්ෂන පනත යනාදිය යොදා ගැනීම ක්‍රමානුකූලව ගෙන යමින් පවතී.

පහත පලවන්නේ ඒවායින් ලේඛනගත උදාහරන කීපයකි: 

*2024 නොවැම්බර්: මියගිය එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්, මාවීරර් නාල් වටා සිටින බව පෙන්වන ෆේස්බුක් සටහනකින් පසුව, සීඅයිඩී/සීටීඅයිඩී ය, යාපනයේ දෙමල තරුනයෙකු වන මනෝහරන් කජෙන්දෲපන් අත්අඩංගුවට ගැනීම. පීටීඒ යටතේ අත්අඩංගුවට ගත් අතර, එය ප්‍රකාශනයට අදාල වරදක් ලෙස සැලකුවේ ය.

*2025  මාර්තු:  ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට විරුද්ධ ස්ටිකරයක්  ඇලවීමෙන් පසු, පලස්තීන සහයෝගීතා ක්‍රියාකාරකම් සඳහා මොහොමඩ් රුස්ඩි නම් මුස්ලිම් තරුනයෙකු පීටීඒ යටතේ රඳවා තබා ගැනීම. මානව හිමිකම් කොමිසම පසුව පැවසුවේ, මෙම නඩුව ප්‍රකාශනයට එරෙහිව පීටීඒ භාවිතා කිරීමේ අන්තරාය පෙන්නුම් කරන බවයි.

*2025 මැයි: ආන්ඩුව, විරුද්ධවාදීන් නිහඩ කිරීමට හා අන්තර්ගත කරුනු ඉවත් කිරීමට ඉඩ ලැබෙන පුලුල් බලතල සහිත මාර්ගගත ආරක්ෂන පනත-එය අහෝසි කරන බවට මැතිවරන පොරොන්දු තිබියදීත්- නොවෙනස්ව රඳවා ගත්තේය.

*2024 ඔක්තෝබර් සිට: මානව හිමිකම් ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීම. පොලිසිය මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන තම්බිරාසා සෙල්වරානි ද, පසුව සීටීඅයිඩීය සිවිල් සමාජ ක්‍රියාකාරිනියක වන වාසුකි වල්ලිපුරම් සහ තවත් අය කැඳවූ අතර, ඔවුන්ගේ සම්බන්ධතා, ක්‍රියාකාරකම් සහ ජාත්‍යන්තර සංචාර පිලිබඳව ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරුනි. මෙම කැඳවීම් සැලකුනේ,  විරුද්ධ මතයන් දැරීම ත්‍රස්ත කිරීම සඳහා සිදුකල ඒවා ලෙස ය.

*2024 දෙසැම්බර්: සිය රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා දක්වමින් සිටියදී පොලිසිය පාසල් සංවර්ධන නිලධාරීන්ට පහර දී හතර දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

*2025 මාර්තු සහ මැයි: මාර්තු මාසයේදී පොලිසිය විරෝධතාවේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් 27 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය; මැයි මාසයේදී නැවතත් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත් අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය වටා ප්‍රධාන ප්‍රදේශවල විරෝධතා තහනම් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝගයක් නිකුත් කරන ලදී.

*2024 ඔක්තෝබර්, 2025 අප්‍රේල් හා 2025 අගෝස්තු:  වාර්තා කිරීමක් සම්බන්ධයෙන් මඩකලපුවේ මාධ්‍යවේදී සෙල්වකුමාර් නිලන්තන් අත්අඩංගුවට ගැනීම; වාර්තාකරු ෆසීර් මොහොමඩ්ට අධිකරනයේදී බාධා කිරීම; සහ ඔහුගේ සමාජ මාධ්‍ය සටහන් සහ මානව හිමිකම් වාර්තාකරනයට  සම්න්ධව දෙමල මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන් සීටීඅයිඩියට කැඳවීම.

*2025 මැයි: ජනාධිපතිවරයාගේ ෆේස්බුක් රූපයක් සම්බන්ධයෙන්, ජනාධිපති මාධ්‍ය අංශයේ පීඩනයෙන් පසු ලහිරු හර්ෂනට ඔහුගේ පෞද්ගලික ෆේස්බුක් පිටුවෙන් ඡායාරූපයක් ඉවත් කිරීමට බල කෙරුනු බව වාර්තා විය.

*2025 දිට්වා සුලුකුනාටුවෙන් අනතුරුව හදිසි නීතිය ප්‍රකාශයට පත් කල ආන්ඩුව අද දක්වාමත් එය පවත්වා ගෙන යයි. මෙම නීතියේ කුරුරු ස්වභාවය අනාවරනය කරමින්, මහජන ආරක්ෂක (නියෝජ්‍ය) ඇමැති සුනිල් වටගල, “අපහාසාත්මක” හෝ “අසත්‍ය” මාර්ගගත අන්තර්ගතයන්ට එරෙහිව හදිසි නීති රෙගුලාසි භාවිතා කරන ලෙස පොලිසියට නියෝග කලේ ය.

මේ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන්ගෙන් කීපයක් පමනි. 

නිදහස් භාෂනයේ අයිතියට එල්ල කෙරෙන ප්‍රහාරයේ අවසන් ඉලක්කය වන්නේ, ආන්ඩුවට එරෙහි පුලුල් කම්කරු පන්තික විරෝධය තලා දැමීම යි. අයිඑම්එෆ් කප්පාදු තීව්‍ර කිරීමත් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මර්දනය කිරීමත් එකින් එකට ගමන් කරන්නේ එබැවිනි. මෙම ප්‍රහාරවලට එරෙහිව බලමුලු ගැන්වෙන ලෙස සිතනමතන කම්කරුවන්, තරුනයින්, ශිෂ්‍යයින්ගෙන් හා අවශේෂ කොටස්වලින් අපි ඉල්ලා සිටිමු.

Loading