අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්න, මිනිස් ජීවිත නොතකන ධනේශ්වර ක්‍රමයට එරෙහි චෝදනා පත්‍රයකි

ගින්න නිවා දැමීමෙන් පසුව වැඩිහිටි නිවාසය දර්ශනය වන අයුරු

ජූනි 2දා අඟුරුවාතොට, බටගොඩ පිහිටි, වැඩිහිටියන් හා මානසික රෝගීන් සඳහා නේවාසික රැකවරනය සලසන නිවාසයක ඇති වූ ගින්නෙන් පුද්ගලයින් 13 දෙනෙකු පිලිස්සී මරනයට පත්වීම, මිනිස් ජීවිත නොතකන ධනපති ආන්ඩුවලට එරෙහි චෝදනා පත්‍රයකි.  

ජුනි 02 වැනි දා සවස 5.45ට පමන අඟුරුවාතොට බටගොඩ පිහිටි “මව්පිය සෙවන සෙනෙහසේ කැදල්ල” නිවාසයේ ඇති වූ ගිනි ගැනීමකින්  එහි නේවාසිකයන් 10 දෙනෙකු ගින්නට පිලිස්සීමෙන් එතැන ම මිය ගිය අතර, ගින්නෙන් බරපතල පිලිස්සුම් තුවාල ලබා හොරන මූලික රෝහලට ඇතුලත් කෙරුනු තවත් ති දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියේ ය. ගින්නෙන් බේරා ගත් පනහක පමන පිරිසක් වැඩිහිටි නිවාසයේ හිමිකරු ලෙස සැලකෙන, “ලොකු අයියා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන  ඉසුරු අනුෂ්ක පෙරේරාට  අයත් ගලපාත ප්‍රදේශයේ ස්ථාපිත වෙනත් නිවාසයකට ගෙනගොස් තිබේ.

 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුට ප්‍රදේශවාසීන්ගෙන්  දැන ගැනීමට  ලැබුනු පරිදි, මෙම ආයතනය පවත්වා ගොස් ඇත්තේ,  ප්‍රදේශයේ හිටපු ග්‍රාම නිලධාරියෙකුට අයත් කුලියට ගත් නිවසක ය. ඔහුගේ අභාවයෙන් පසු එම නිවස මංගල උත්සව ශාලාවක් ලෙසද කලක් භාවිතා කොට තිබේ. වර්ග අඩි 2000 පමන වන තනි තට්ටුවේ නිවාස වපසරියට, මසකට පමන ඉහත දී අමානෝ තහඩුවලින් සෑදූ අතිරේක කොටසක් ද එකතු කර තිබුනි.

ගින්න සීග්‍රයෙන් පැතිරී මේ සා විනාශයක් සිදු කරන තෙක්,   හොරන නගර සභාවේ ගිනි නිවන රථය එහි ආවේ පැයක් පමන ප්‍රමාද වී බව ප්‍රදේශවාසීහු චෝදනා කලහ. එවන් ප්‍රමාද වීමක් මගින් ඇඟවුම් කරන්නේ, මෙවන් හදිසි තත්වයකට මුහුන දීම සඳහා කිසිදු සූදානමක් එහි පැවැතී නැති බවයි. මෙහි නේවාසිකයන් සම්බන්ධයෙන් අනුකම්පාවෙන් කටයුතු කරන ගම්වැසියන්ගේ ප්‍රසංශනාත්මක වෑයම නිසාවෙන් ම පමනක් සෙසු ජීවිත බේරා ගැනීමට හැකි වූ නමුත්, අමුත්තන්ගේ කාමරය, කුස්සිය සහ අලුතින් ගොඩනගමින් තිබූ පිටුපස ගබඩා කාමර හැරෙන්නට නේවාසිකයන් රැඳී සිටි ප්‍රදේශය සම්පූර්නයෙන් ම විනාශ වී අවසන්‍ ය.

විපතට පත් පිරිස බේරා ගැනීමට ඉදිරිපත් වූ තරුනයන් අතරින් දෙදෙනෙකු වන අසේල විදුරංග සහ සඳවිරු ආකාශ් ලෝසවෙඅට මෙසේ විස්තර කලෝ ය:  “ගින්න දැකල අපි වත්තට ඇතුලු වුනේ තාප්පෙන් පැනලා. ගෙය මැද ගිනි ගනිද්දී පිරිසක් දොරවල් අසල උදවු ඉල්ලමින් සිටියා. අපි දොරවල් කඩල ඔවුන් එලියට ගත්තා. පටි වලින් බැඳලා හිටපු අය පටි කපලා එලියට ගත්තා. පිටිපස්සේ සිටපු අය කෑ ගැහුවට  දන්වැල් දාල තිබුනු නිසා ඔවුන් මුදා ගැනීමට බැරිවුනා. පැය භාගයක් විතර ඇතුලත මුලු ගෙය ම ගින්නෙන් වැහිලා ගියා මේ වැඩේට මුලු ගම ම ගියා.” අඟුරු වී තිබූ මලසිරුරුවලින් 6ක් තාමත් හඳුනාගැනීමට නොහැකි වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.   

විපතට පත් පිරිස බේරා ගැනීමට ඉදිරිපත් වූ තරුනයන් අතරින් දෙදෙනෙකු වන අසේල විදුරංග සහ සඳවිරු ආකාශ්

මෙම මධ්‍යස්ථානය ප්‍රමානවත් ආරක්ෂාවකින් සහ අවශ්‍ය ප්‍රමිතියකින් තොරව පවත්වා ගෙන ගොස් ඇති බව පොලිසිය අධිකරනයට වාර්තා කිරීමෙන් අනතුරු ව, ආයතනයේ හිමිකරු, වන  ඉසුරු අනුෂ්ක පෙරේරා  අධිකරන නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

කෙසේ වෙතත්, ආයතනයේ හිමිකරු දුෂ්ඨයෙකු කිරීමට බලධාරීන් මෙන්ම මාධ්‍ය විසින් ගෙනියන වෑයම හෙලාදකිමින් ගම්මු අදහස් දැක්වූහ. නේවාසික රෝගීන් බලා ගැනීමට පෙරේරා සහ සේවක කන්ඩායම ඉතා වෙහෙසක් දැරූ බව අයෙක් සඳහන් කලේ ය. “නේවාසිකයන් උදෑසන නැගිටින්නේ මලමුත්‍ර පිටින්. අයිතිකරු සහ සේවකයන් ඔවුන් පිරිසිදු කිරීමට විශාල වෙහෙසක් දරනවා. ඔවුන්ට අවශ්‍ය බෙහෙත් කෙසෙල්හේනාව හන්දියේ ඇති ෆාමසියකින් ගෙනවිත් දුන් බව මම හොදටම දන්නවා. ලෙඩ වී රජයේ රෝහලකට ඇතුලත් කලත් ලෙඩා ලඟ කෙනෙක් නතර කිරීම පවා ඔහු සිදු කලා.”

සිදුවීම සම්බන්ධයෙන් මහජන කෝපය නැගෙන තත්වයක දී ආන්ඩුව වෑයම් කරන්නේ මෙය නීති විරෝධී ව පවත්වා ගෙන එකක් ය යන මතය ප්‍රචාරය කරමින් ඇඟ බේරා ගැනීමට ය.  මෙම ආයතනය ලියාපදිංචි නොවූ එකක් බව මාධ්‍යයට කියමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂන හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය  උපාලි පන්නිලගේ අවධාරනය කලේ, දැනට රටේ පවතින වැඩිහිටි නිවාස 455 න් ලියාපදිංචි වී ඇත්තේ 148 ක් පමනක් බවයි. මෙම වැඩිහිටි නිවාසවල වැඩිහිටියන් 10,000ක පමන පිරිසක් සිටින බවත් ඔහු සඳහන් කලේ ය.

කිසිදු රජයේ ආයතනයක ලියාපදිංචි කිරීමකින් තොර ව සහ රජයේ නිසි මාර්ගෝපදේශවලට අනුකූල නොවන පරිදි මෙය පවත්වා ගෙන යාම හේතුවෙන්, මේ පිලිබඳව විධිමත් පරීක්ෂනයක් පවත්වා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අඟුරුවාතොට පොලිස් ස්ථානය දැනුවත් කර ඇති බව ද වැඩිහිටි මහ ලේකම් කාර්යාලය නිකුත් කල වාර්තාවේ සදහන් වේ.

 කෙසේ වෙතත්,  ජූනි 6දා “දසත ලංකා” වෙබ් අඩවිය පල කල හෙලිදරව්වක්, බලධාරීන් මෙම මධ්‍යස්ථානය පිලිබඳ නොදැන සිටියේය යන කාරනයේ පල්ල යවා ඇත. මීට මාස 4කට පමන, එනම් පසුගිය පෙබරවාරි 2දා, මෙම රැඳවුම් මධ්‍යස්ථානය පිහිටා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්වරිය මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ පවතින ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කරමින්, ආබාධිත තැනත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා වෙත යවා ඇති ලිපියක් “දසත” වෙබ් අඩවිය පල කලේ ය.  

ගින්න නිවා දැමීමෙන් පසුව වැඩිහිටි නිවාසය

ලිපියට අනුව, 2024 නොවැම්බර් මාසයේ ආරම්භ කර තිබෙන මෙම මධ්‍යස්ථානය, කලුතර දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේරුපිට ආබාධිත නිවාසයට අනුබද්ධ ව එක්සත් සරන සේවා පදනම මගින් පවත්වාගෙන යයි.  ලිපිය මෙම නිවස්නයේ පවතින බරපතල ප්‍රශ්න ගනනාවක්  අවධාරනය කර ඇත: 

*ආරම්භයේදී මානසික රෝගී කාන්තාවන් සඳහා පමනක් වෙන් වුනු මෙම නිවාසය,  මේ වනවිට මානසික රෝගී පිරිමි පුද්ගලයින්ට ද රැකවරනය සැලකීම සිදු කරයි- කාන්තා නේවාසිකයන් 28ක් සහ පිරිමි නේවාසිකයන් 20ක් ;  එමෙන්ම භාරකරුවන් සිටින, මුදල් ගෙවීම සිදුකරන පුද්ගලයින්ද, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා යොමු කරන භාරකරුවන් නොමැති රෝගීහු ද මෙහි නේවාසික ව සිටිති;  දහවල් කාලයේ මෙම පරිශ්‍රයේ ම අවට ගත කරන පිරිමි නේවාසිකයන්, රාත්‍රි කාලයේ දී එම වසමේ ම කුලී පදනම මත ලබාගත් වෙනත් නිවසක් වෙතට යොමු කරනු ලබයි.

* මෙම නේවාසිකාගාරයේ උපරිම ධාරිතාව නේවාසිකයන් 15 දෙනෙකු සඳහා පමනි; එක ම ඇඳ නේවාසිකයන් දෙදෙනෙකුට වෙන්වන අවස්ථා මෙන්ම ඇඳක් නොමැති ව සිටින නේවාසිකයෝ ද නිවාසය තුල නිරීක්ෂනය වෙති; නිවාසය ඇතුලත දැඩි දුර්ගන්ධය මෙන් ම අපිරිසිදු බවක් ද නිරීක්ෂනය වේ; නේවාසිකයන් ගනනට සාපෙක්ෂක ව පවතින වැසිකිලි [මෙම ලියුම්කරු නිරීක්ෂනය කල පරිදි වැසිකිලි 2ක් පමනි, එහි තිබුනේ] සහ නාන කාමර ප්‍රමානය ප්‍රමානවත් නැත; නේවාසිකාගාරය තුල සෞඛ්‍යාරක්ෂිතභාවය පවත්වා ගෙන යාමට ප්‍රමානවත් උත්සහායක් නැත; නිවාසය පිටුපස ආරක්ෂිත වැටක් නොවීම නිසා නේවාසිකයන් නිවාසයෙන් පැන යාම ද වාර්තා වේ; නිවාසය තුල කෙටි කාල සීමාවක් ඇතුලත මරන කීපයක් සිදු වී ඇත. 

ප්‍රාදේශීය ලේකම්වරියගේ ලිපියේ ඉතිරි කොටසින් පෙන්නුම් කරන්නේ, වසම්භාර නිලධාරීන්, සමාජ සේවා නිලධාරීන් සහ වනිතා සංවර්ධනය නිලධාරීන් මෙන්ම ඇය විසින් ද මෙම ආයතනය අධීක්ෂනයට ලක් කරමින් “ධාරිතාව ඉක්මවා නේවාසිකයන් ඇතුලත් කර ගැනීම” යනාදී ගැටලු ගනනාවක් පෙන්වා දී ඇති නමුත්,  ආන්ඩුවේ බලධාරීන්  ඒවා විසඳීම සඳහා මොන ම මැදිහත්වීමක් වත් සිදුකර නැති බවයි. 

වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ප්‍රශ්නයෙන් කෙතරම් ඇඟබේරා ගැනීමට වෑයම් කලත්, පීඩිත ජනයා සම්බන්ධයෙන් මෙම ආන්ඩුවේ නොතැකීම ගැන මහජනයා සීග්‍රයෙන් අවබෝධ කරගනිමින් සිටින ආකාරය ලෝසවෙඅ සමග කතා කල බොහෝ ජනයාගෙන් ප්‍රකාශයට පත් විය.  

ප්‍රදේශයේ කුඩා කඩහිමියෙක් ලෝසවෙඅට මෙසේ කීවේ ය: “සිදු වූ විනාශය ගැන මට දැනෙන්නේ විශාල සංවේගයක්. ආන්ඩුව වගකීම පැහැර හැරීම තමයි ප්‍රධාන ප්‍රශ්නය. දැන් ආයතනයේ අයිතිකරු අත් අඩංගුවට අරගෙන තිබෙනවා. සමහරවිට එයාට දඬුවම් කරාවි, එහෙම කලා කියල ප්‍රශ්නය විසඳ‍ෙන්නේ නැහැ. මේ වැනි සුභසාධන සඳහා අත්‍යවශ්‍ය කෙරෙන ප්‍රතිපාදන ආන්ඩුව කපල දමනවා. ඒ අතර වැඩිහිටියන් බලාගැනීමට පුලුවන් ආර්ථික තත්වයක නොවෙයි තරුන පරම්පරාව පසුවන්නේ. ඔවුන්ට රැකියා නැහැ. තිබෙන රැකියාවල දීර්ඝ කාලීන වැඩමුර තිබෙන්නේ. මෙවැනි ලාභ තැන්වලට යොමුවන්නේ වෙන විකල්පයක් නැති නිසා. ආන්ඩුව සල්ලි ඉතුරු කලා කියල පංපෝරි ගහන්නේ මෙවැනි ආකාරයට එකතු කරගත් මුදල් නිසා කියන එක තේරුම් ගන්න පුලුවන්.”

ඇත්ත වසයෙන් ම, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) රුදුරු කප්පාදු පියවර ක්‍රියාවට දැමීමේ කොටසක් ලෙස, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ සුභසාධනය සඳහා වියදම් දැවැන්ත  ලෙස කපා දමා ඇති අතර, එහි වන්දිය ගෙවීමට සිදු ව ඇත්තේ මිලියන සංඛ්‍යාත වැඩ කරන ජනයාට හා සමාජයේ අතිශයින් ම පීඩිත කොටස්වලට ය. මෙම නිවස්නය සම්බන්ධ ව, උක්ත සඳහන් කල ප්‍රාදේශීය ලේකම්වරියගේ ලිපිය තුල සඳහන් නොතැකීම් පිලිබඳව කාරනාවල් ඇත්තට ම ගලා එන්නේ, සමස්ථයක් ලෙස පීඩිත ජනයා සම්බන්ධ ආන්ඩුවේ නොතැකීම මගින් මිස, මෙම ආයතනයේ පාලකවරයාගේ හුදු පෞද්ගලික දුෂ්ඨ කමකින් නොවේ.

මෙවැනි ඛේදවාචකයක් ලංකාවේ වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. පසුගිය වසරේ නොවැම්බරයේ අවසානයේ  දිට්වා සුලු කුනාටුව සමග ඇති වූ මා ඔය පිටාර ගැලීමත් සමග පන්නල - මාකඳුර, නාලවලාන ප්‍රදේශයේ පිහිටි ‘වෙල්කම්’ වැඩිහිටි ගම්මානයේ සිටි වයස අවුරුදු 70- 90 ත් අතර වැඩිහිටියන් 12 දෙනෙකු ජල ගැල්මට හසු වී මරනයට පත් වී තිබේ. බීබීසීය ගම්වැසියන් උපුටා දක්වමින් සඳහන් කලේ, නිවාසය ජලයෙන් යටවන මොහොතේ එහි කිසිදු භාරකරුවෙකු හෝ ආරක්ෂක නිලධාරියෙකු නොසිටි බවයි.

කොරෝනා වසංගතය  සමයේ දී ද ධනපති ආන්ඩු හිතාමතා ම වයෝවෘද්ධ අය පහසු මරනයට අත් හැර දමා තිබූ අතර එය ලෝක ප්‍රපංචයක් විය.  

මෙම සිදුවීම් මගින් ඉස්මත්තට එන්නේ, සමාජයේ වඩාත් ම අවධානයට ලක්විය යුතු සහ රැකවරනය ලැබිය යුතු කොටසක් වන වැඩිහිටියන් හා ආබාධිත අය ආන්ඩුව සාපරාධී ලෙස නොතකා හැර ඇති බවයි. වාර්තාවලට අනුව, රටේ අවුරුදු 60ට ඉහල වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහල යමින් පවතී. මේ වන විට සෑම පුද්ගලයන් 100කට ම 18 දෙනෙක් අවුරුදු 60 වැඩි පුද්ගලයින් වන අතර මෙය 2012 වසරේ සියයට 12.4 සිට සීග්‍ර වැඩි වීමකි.

මෙරට මහජන සෞඛ්‍ය වියදම් සම්බන්ධයෙන් ජවිපෙ/ජාජබ ආන්ඩුව ද ඇතුලු සියලු ධනේශ්වර ආන්ඩුවල නොතැකීම ඇති තරම් පැහැදිලි කර තිබේ.  2025 වසරේ දී සෞඛ්‍ය සඳහා දිසානායක ආන්ඩුව රුපියල් බිලියන 383ක් වෙන් කල අතර මෙය, 2024 වසරේ දී වෙන් කල මුදල වන රුපියල් බිලියන 410ට වඩා සැලකිය යුතු කප්පාදුවකි. මේ හේතුව නිසා, සෞඛ්‍ය කාර්ය මන්ඩලය බඳවා ගැනීම්, මානසික රෝගීන් ද ඇතුලු බරපතල රෝගීන් සඳහා අනිවාර්යෙන් ලබා දිය යුතු ජීවිතාරක්ෂක ඖෂධ ඇතුලු ඖෂධ වර්ග සිය ගනනක් හිඟය මෙන් ම සීසීටී ස්කෑන් යන්ත්‍ර යනාදියේ දැවැන්ත හිඟයක් පැතිර පවතී.

මානසික සෞඛ්‍ය  සම්බන්ධයෙන් ගත් විට, ඒ සඳහා සමස්ත සෞඛ්‍ය අයවැයෙන් වෙන් කර ඇත්තේ සියයට 1.6ක් පමනි.  අතිශයින් ම ඛේදනීය සංඛ්‍යා ලේඛනයක් වන්නේ, මිලියන 22ක ජනගහනයක් සිටින රටේ මනෝවිශේෂඥ වෛද්‍යවරු ඇත්තේ  108 දෙනෙක් ය යන්නයි. මේ තත්වය සහ අනෙකුත් සමාජයීය හා ආර්ථික කාරනා නිසාවෙන් මානසික රෝගී ඇති අයගෙන් කිසියම් ම හෝ මනෝ ප්‍රතිකාරයක් ලබන්නේ සියයට 13.3ක ප්‍රමානයක් පමනි. 

බටගොඩ වැඩිහිටි නිවාසයේ මානසික ආබාධවලින් පෙලෙන නේවාසිකයන්ට අයුතු ලෙස සලකා තිබීම සම්බන්ධයෙන්, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල විරෝධය පාන විවේචකයෝ,  මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් ධනපති ආන්ඩුවේ මෙලෙස  දැනුවත් ව සිදු කරන මාරක නොතකා හැරීම සම්බන්ධයෙන් මුලුමනින් ම මුනිවත රකිති.

විසඳුම හුදෙක් පෞද්ගලික සත්කාර නිවාස දැඩි ලෙස නියාමනය කිරීම හෝ ධනපති ආන්ඩුවට  ආයාචනා කිරීම නොවේ:  අතලොස්සක් ධනපති ලාභ උදෙසා  නොව, මානව අවශ්‍යතා වෙනුවෙන්  සමාජය මූලික ව ම ප්‍රතිසංවිධානය කිරීම ය. අයිඑම්එෆ් ඇන වූ වියදම් කප්පාදු ආපසු හැරවීමත්, දැවැන්ත ලෙස මහජන අරමුදල් යෙදවූ මානසික සෞඛ්‍ය සේවා, මනෝචිකිත්සක රෝහල්, ප්‍රජා සත්කාර මධ්‍යස්ථාන සහ ආධාරක ජාල ප්‍රතිසංස්කරනය කිරීම සහ පුලුල් කිරීම ක්ෂනික ඉල්ලීම් අතර වේ.

වඩා හොඳ කාර්ය මන්ඩල, වැටුප් සහ කොන්දේසි සඳහා සටන් කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු හරහා සංවිධානය විය යුතු ය. මානසික රෝග බොහෝ දුරට මුල් බැස ගෙන ඇත්තේ, දරිද්‍රතාවය, යුද්ධය, අවතැන් වීම, විරැකියාව, නය සහ සමාජ අනාරක්ෂිතභාවය වැනි සමාජ තත්වයන් තුල ය. එබැවින් යහපත් මානසික සෞඛ්‍ය රැකවරනයක් සපයමින්, පුලුල් මානසික දුක් වේදනා ජනනය කරන සමාජ තත්වයන් මුලිනුපුටා දැමිය හැකි වන්නේ, මනුෂ්‍ය අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදනය කම්කරු පන්තිය විසින් මෙහෙයවනු ලබන සමාජවාදී පරිවර්තනයකට පමනකි. 

Loading