ශ්‍රී ලංකාවට තවත් ජාමූඅ නය වාරික ලැබෙයි; කප්පාදු දැඩි කරන ලෙස බලපෑම්

[මෙය 2026 ජූනි 3 වැනි දින Sri Lanka receives further IMF loan installments and demands for escalating austerity මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

මැයි 27 දින, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධායක මන්ඩලය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 695ක් වන නය වාරික දෙකක් ශ්‍රී ලංකාවට මුදා හරින ලද අතර, ඒ අනුව ජාමූඅ මගින් මෙතෙක් ලබා දී ඇති සමස්ත මුදල ඩොලර් බිලියන 2.4ක් දක්වා ඉහල ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ විස්තීරන අරමුදල් පහසුකමට අදාල ඇප නය දීමේ වැඩපිලිවෙලෙහි පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන සඳහා ජාමූඅ හි අනුමැතිය ලැබීම, ආන්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවල සාර්ථකත්වයේ සාක්ෂියක් ලෙස කොලඹ දේශපාලන සංස්ථාපිතය, මහා ව්‍යාපාරිකය සහ ආයතනික මාධ්‍ය විසින් වහා ම හුවා දක්වන ලදී. එහෙත් මෙම ප්‍රතිපත්ති යනු, කම්කරුවන්ගේ සහ දුප්පත් ජනතාවගේ ජීවන හා සමාජ තත්ත්වයන්ට එරෙහි ව එල්ල කෙරෙන කුරිරු ප්‍රහාරයන් අඛන්ඩ ව ක්‍රියාවට නැංවීම මිස අන් කිසිවක් නොවේ.

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කන්ඩායමේ ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ හමුවෙයි [Photo: President’s Media Division]

නව අරමුදල් ලබා ගැනීම සඳහා, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු මැයි 13 දින ජාමූඅ විධායක මන්ඩලය වෙත “එකඟතා ලිපියක්” (Letter of Intent) යවමින්, මූල්‍ය විනය පවත්වාගෙන යාමට සහ තාවකාලික සහන පියවරයන් ඉවත් කිරීමට ආන්ඩුව කැප වී සිටින බවට සහතික වූහ.

මෑතක දී ඇති වූ කම්පනයන්ට—එනම් දිත්වා සුලි කුනාටුව සහ ඉරානයට එරෙහි ව දියත් වූ ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධයට—ප්‍රතිචාර වශයෙන් හඳුන්වා දුන් සියලු ම බලශක්ති සහනාධාර සහ සහන පියවරයන් සැප්තැම්බර් මාසය වන විට සීමා කර ක්‍රමයෙන් ඉවත් කරන බව එම ලිපියෙන් පොරොන්දු වී ඇත. ජාමූඅ හි මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම මත පදනම් ව පමනක් ඕනෑ ම අතිරේක සමාජ ආධාරයක් ලබා දෙන බව දිසානායක එහි දී අවධාරනය කලේ ය.

ජාමූඅ නය මුදල් නිදහස් කිරීම, කම්කරුවන්ට සහ ග්‍රාමීය දුප්පතුන්ට එරෙහි ප්‍රහාර තීව්‍ර කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන සහ දැඩි කප්පාදු ඉල්ලීම් සමඟ ගැට ගැසී ඇත.

ඒවාට පහත සඳහන් දෑ ඇතුලත් වේ:

  • ඉන්ධන සහ විදුලිය සඳහා “පිරිවැය පියවා ගන්නා මිල නියම කිරීම්” අඛන්ඩ ව පවත්වා ගෙන යාම.
  • මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා වන මූල්‍ය ප්‍රතිපත්තිය දිගට ම ක්‍රියාත්මක කිරීම. “ආයෝජන පරිසරය වැඩිදියුනු කිරීමට සහ වර්ධන විභවය ඉහල නැංවීමට” නම් “වැඩි විනිමය අනුපාත නම්‍යශීලීතාවයක්” සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන අවශ්‍ය බව ජාමූඅ ප්‍රකාශ කර තිබේ.
  • වාහන, ආදායම් බදු හෝ වැට් (VAT) සඳහා ඉහල බදු ඇතුලත් කරමින් “බදු පදනම” පුලුල් කිරීම. පුලුල් මහජනතාවකට බලපාන පරිදි, නේවාසික නිවාස සඳහා වන බදු ඇතුලු දේපල බදු පැනවීමට ජාමූඅ මීට පෙර යෝජනා කර තිබිනි.

සිය වැඩපිලිවෙල අඛන්ඩ ව පවත්වා ගෙන යාම රඳා පවතින්නේ “පිරිවැය පියවා ගැනීමේ” මිලකරනය, ආදායම් ඉහල නැංවීම, විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය මූල්‍ය කලමනාකරන ප්‍රතිසංස්කරන සහ “ආයෝජන පරිසරය” වැඩිදියුනු කිරීමේ පියවරයන් මත බව ජාමූඅ නැවත නැවතත් අවධාරනය කලේ ය.

මෙම නය අනුමැතිය ලැබෙන්නේ ගෝලීය අස්ථාවරත්වය උත්සන්න වෙමින් පවතින පසුබිමක ය. ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධය සහ පුලුල් මැදපෙරදිග ගැටුම මගින් “ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සැලකිය යුතු ලෙස නරක අතට හැරී ඇති අතර අවදානම් තත්වයකට නැඹුරු කර ඇතැයි” ජාමූඅ අනතුරු ඇඟවී ය.

2025 වසරේ පැවති සියයට 5ක වර්ධනයට සාපේක්ෂ ව, මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3ක් දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටෙනු ඇති බවට එය අනතුරු ඇඟවී ය. උද්ධමනය පසුගිය වසරේ පැවති සියයට 2.1 සිට වසර අවසානය වන විට සියයට 6.1ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ. උද්ධමන අනුපාතය සියයට 7ක් තරම් ඉහල මට්ටමකට යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය වෙත පැවසී ය.

ජාමූඅට අනුව, ඉහල යන තෙල් මිල, දුර්වල සංචාරක ආදායම සහ බාහිර පීඩනයන් දැනටමත් රටේ බිඳෙනසුලු ආර්ථික ප්‍රකෘතිමත් වීම අස්ථාවර කරමින් තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මැදපෙරදිග අතිශයින් තීරනාත්මක වන අතර, දිවයිනේ ඉන්ධන ආනයනයෙන් විශාල කොටසක් සපයන්නේ එයයි. එ සේ ම විදේශගත කම්කරුවන්ගේ ප්‍රේෂන ආදායමෙන් අඩකට වඩා වැඩි ප්‍රමානයක් ලැබෙන්නේ ද, ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ප්‍රධාන සංක්‍රමනික මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන්නේ ද මැදපෙරදිග කලාපයයි.

පෙබරවාරි 28 දින ඇමරිකාව ඉරානයට එරෙහි ව ආක්‍රමනශීලී යුද්ධය ආරම්භ කල දා සිට ඉන්ධන මිල සියයට 50කට ආසන්න ප්‍රමානයකින් ඉහල ගොස් ඇත. ජාමූඅ විසින් පනවන ලද සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව විසින් ක්‍රියාවට නංවන ලද “පිරිවැය පියවන  මිල” සූත්‍රය මත පදනම් ව, මෙම කාලය තුල පමනක් මිල සිව් වතාවක් ඉහල දමා ඇත.

ඉරාන යුද්ධයේ බලපෑම සහ ඒ ආශ්‍රිත ගෝලීය අවිනිශ්චිතතාවයේ ප්‍රතිඵලයක් ලෙස, පෙබරවාරි 28 සිට ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 8කින් පමන පහත වැටී ඇති අතර එය දිගින් දිගට ම උච්චාවචනය වෙමින් පවතී. මෙහි ප්‍රතිඵලයක් ලෙස සියලු ම අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල යමින් පවතී.

2025 වසරේ දී ආන්ඩුව සිය ආදායම් ඉලක්ක සැලකිය යුතු ලෙස ඉක්මවා යාම සම්බන්ධයෙන් ජාමූඅ ආන්ඩුවට ප්‍රශංසා කලේ ය. බදු ආදායම නාටකාකාර ලෙස ඉහල ගිය අතර, එමඟින් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.4ක ප්‍රාථමික අතිරික්තයක් ඇති කිරීමට හැකි විය. මෙය ජාමූ අරමුදලෙහි සියයට 2.3ක ඉලක්කයට වඩා බෙහෙවින් ඉහල අගයකි. මෙම උපයා ගැනීම් වැඩකරන ජනතාවගෙන් සූරාකනු ලැබුවේ විවිධ බදු ඉහල නැංවීම් සහ අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීම් මගිනි.

ආන්ඩුවේ මැයි මාසය සඳහා වන දරිද්‍රතා රේඛාව එක් පුද්ගලයෙකුගේ පැවැත්ම සඳහා මසකට රුපියල් 17,117ක් ($52) දක්වා ඉහල නංවා ඇති අතර, සාමාජිකයින් හතර දෙනෙකුගෙන් යුත් පවුලක මූලික වියදම් පියවා ගැනීමට රුපියල් 70,000ක මාසික ආදායමක් පවා දැන් ප්‍රමානවත් නොවේ. සමහර සමීක්ෂනවලින් පෙනී යන්නේ පවුලකට ජීවන තත්ත්වය පවත්වා ගැනීම සඳහා දැන් මසකට අවම වශයෙන් රුපියල් 150,000ක්වත් අවශ්‍ය වන බවයි.

ලෝක බැංකුව විසින් 2025 ඔක්තෝබර් මාසයේ දී කරන ලද සමීක්ෂනයකට අනුව, දරිද්‍රතාවය සියයට 22කට ආසන්න ඉහල මට්ටමක පැවති අතර, ජනගහනයෙන් තවත් සියයට 10ක් දරිද්‍රතා රේඛාවට යාන්තමින් ඉහලින් ජීවත් වූහ.

ජාත්‍යන්තර ආයෝජකයින් සහ මහා ව්‍යාපාරිකය වෙනුවෙන් නව ප්‍රහාරයන්ට සූදානම් වෙමින්, ආන්ඩුව “ආර්ථික යුද්ධය ජය ගැනීමට” අධිෂ්ඨාන කරගෙන සිටින බව දිසානායක මෑතක දී පැවැති උත්සවයක දී ප්‍රකාශ කලේ ය. බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ව ශ්‍රී ලංකා රාජ්‍යය ලැබූ කුරිරු වාර්ගික යුද ජයග්‍රහනය සැමරීම සඳහා මෙම උත්සවය පැවැත්විනි. දැන්, ධනේශ්වරයේ ගැඹුරු වන අර්බුදයේ බර කම්කරුවන් සහ දුප්පතුන් මත පැටවීම සඳහා “ආර්ථික යුද්ධයක්” දියත් කරනු ලැබේ.

බලශක්ති අමාත්‍ය අනුර කරුනාතිලක සඳුදා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයක පැවැති උත්සවයක දී අදහස් දක්වමින් කියා සිටියේ, අනෙකුත් රටවලට සාපේක්ෂ ව ශ්‍රී ලංකාව ඉන්ධන මිල ඉහල දමා ඇත්තේ “අඩු ප්‍රතිශතයකින්” බවයි. “විදේශ විනිමය සංචිත ක්ෂය වීම වැලැක්වීම සඳහා පරිභෝජනය අඩු කරන ලෙස” ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. මෙහි ගැබ් ව ඇති අදහස නම්, ආන්ඩුව ඉන්ධන මිලෙහි තවත් විශාල වැඩිවීමකට සූදානම් වන බවයි.

මහා ව්‍යාපාරිකයන් අයිඑම්එෆ් නය වාරිකය සහ සමාලෝචනය උද්‍යෝගයෙන් පිලිගෙන ඇත. ලංකා වානිජ මන්ඩලය මෙම අනුමැතිය අගය කල අතර ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරන, තරඟකාරීත්වය වැඩිදියුනු කිරීම සහ “පෞද්ගලික අංශය ප්‍රමුඛ කරගත් වර්ධනයට” අනුබල දෙන ප්‍රතිපත්ති අඛන්ඩ ව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේ ය.

විශේෂයෙන් ම පිරිවැය පියවන ඉන්ධන මිලකරනය පවත්වා ගෙන යාම, විනිමය අනුපාතය ආරක්ෂා නොකිරීම—එනම් රුපියල තවදුරටත් කඩා වැටීමට ඉඩ හැරීම—සහ ආයෝජකයින් දිරිමත් කිරීමේ පියවරයන් ක්‍රියාවට නැංවීම පිලිබඳව එය අවධාරනය කලේ ය.

මේ අතර, විපක්ෂ දේශපාලන පක්ෂද ජාමූඅ ඉල්ලා සිටින පරිදි කප්පාදුව දැඩි කිරීමට සිය සහයෝගය පල කර ඇත.

රුපියලේ අගය පහත වැටී ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන් ගැඹුරු වෙද්දී, සමගි ජන බලවේගය (සජබ) ප්‍රමුඛ විපක්ෂ පක්ෂ මැයි 21 දින රැස් වී, සර්ව පාක්ෂික සමුලුවක් කැඳවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරනය කල නමුත් ආන්ඩුව එය නොසලකා හැරියේ ය. වත්මන් වැඩසටහන 2027 මාර්තු මාසයෙන් අවසන් වන බැවින් සහ රට තවමත් දැඩි විදේශ සංචිත හිඟයකට මුහුන දී සිටින බැවින්, “අනුප්‍රාප්තික ජාමූඅ වැඩසටහනක්” සඳහා උත්සාහ කරන ලෙස සජබ නායක සජිත් ප්‍රේමදාස ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

අභ්‍යන්තරයෙන් මහජන විරෝධයක් වර්ධනය වෙමින් පවතින බව පාලක පන්තිය හොඳින්ම දනී. රජයේ මුද්‍රන දෙපාර්තමේන්තු සේවකයින් 1,000කට වැඩි පිරිසක් පසුගිය සතියේ එක්දින වර්ජනයක නිරත වූ අතර, වැටුප් කප්පාදුව සහ පෞද්ගලීකරන පියවරයන් නවත්වන ලෙස ඉල්ලා උද්ඝෝෂනයක නිරත වූහ.

පෞද්ගලීකරනය කිරීමේ පියවරක් ලෙස සමාගම් හයකට අනුයුක්ත කර ඇති විදුලිබල මන්ඩල සේවකයින් 20,000ක් පමන, තමන්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි පිලිබඳ පවතින අවිනිශ්චිතතාවය හේතුවෙන් වඩ වඩාත් නොසන්සුන් වෙමින් සිටිති. කම්කරු විරෝධයක් පුපුරා යාම වැලැක්වීම සඳහා වෘත්තීය සමිති නිලධාරී තන්ත්‍රයන් ආන්ඩු.ව සහ සමාගම් කලමනාකාරිත්වය සමඟ අඛන්ඩව සාකච්ඡාවල නිරත වෙති.

ඉන්ධන, විදුලිය සහ ආහාර මිල ඉහල යාම රට පුරා දැඩි කෝපයක් අවුලුවාලමින් තිබේ.

ආන්ඩුව මෙම සමාජ නොසන්සුන්තාවයට ප්‍රතිචාර දක්වමින් සිටින්නේ රාජ්‍ය මර්ධන උපකරන ශක්තිමත් කිරීමෙනි. පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් සේවා 15ක් සහ සියලුම වැදගත් ආයතන ආවරනය වන පරිදි අත්‍යවශ්‍ය මහජන සේවා රෙගුලාසි නැවත වරක් දීර්ඝ කලේය. මේ අතර, මැයි 7 වැනිදා දීර්ඝ කරන ලද දරුනු හදිසි නීති රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වේ. විපක්ෂයේ පක්ෂ මෙම මර්ධනකාරී රෙගුලාසිවලට පූර්න සහයෝගය දක්වයි.

අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යටතේ, සියලුම කාර්මික සටන් ක්‍රියාවන් තහනම් කර ඇති අතර, ඊට සහභාගී වන්නන් සහ ප්‍රචාරකයින් සිරගත කිරීම, රැකියාවෙන් නෙරපා හැරීම සහ රාජ්‍ය සේවය සඳහා යලි නොගැනීම ආදිය පිලිබඳ තර්ජන පවතී. හදිසි නීති රෙගුලාසි යටතේ, ත්‍රිවිධ හමුදාව බලමුලු ගැන්විය හැකි අතර, පවතින නීතිමය අයිතිවාසිකම් අභිබවා යාම, පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම මෙන්ම වාරන පැනවිය හැකිය.

පාලක ප්‍රභූවේ සෑම අංශයකම සහය ඇතිව ආන්ඩුව වඩ වඩාත් ඒකාධිපති පාලන ස්වරූපයන් කරා ගමන් කරමින් සිටී. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට සහ මෙම සමාජ විනාශයට එරෙහි විය හැකි එකම මඟ වන්නේ, කම්කරු පන්තිය සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟා, ග්‍රාමීය මහජනතාව ඒ වටා සංවිධානය කර ගනිමින් කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන් වැදීම පමනි.

Loading