[මෙය Trotsky’s My Life: An imperishable contribution to Marxism and world literature මැයෙන්, 2026 ජූනි 01 දා ලෝසවෙඅ හි පල වූ ලිපියේ පරිවර්තනයයි.]
ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රකාශන ආයතනය වන මේහ්රිං වර්ලැග් විසින් ට්‍රොට්ස්කි ගේ ‘මගේ ජීවිතය’ ස්වයං චරිතාපදානය - කෘතියේ අලුත් ජර්මන් මුද්‍රනයක් මේ ග්‍රීෂ්ම සෘතුවේ දී එලි දක්වනු ඇත. 1929 දී ලියූ එම චරිතාපදානය සාහිත්‍යමය අග්‍රකෘතියක් සේ ම විප්ලවීය ඉතිහාසයේ අත්‍යවශ්‍ය ලියවිල්ලක් වේ. ඇමරිකානු සසපයේ ජාතික සභාපති සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් නව මුද්‍රනයට පෙරවදනක් ලියා ඇත. මේ එම පෙරවදනෙහි සිංහල පරිවර්තනයයි.
***
ට්‍රොට්ස්කි “මගේ ජීවිතය - ස්වයං චරිතාපදානයක් ලිවීමේ වෑයමක්” නම් තම කෘතිය ආරම්භ කරන්නේ පහත සඳහන් වචන වලිනි: “අපේ යුගය මතක සටහන්වලින් පොහොසත් ය; සමහරවිට වෙන කවරදාටත් වඩා පොහොසත් ය. ඊට හේතු වී ඇත්තේ කීමට බොහෝ දේ තිබීම ය.” එම නිරීක්ෂනය අවස්ථාවෝචිත ය. පලමු වන ලෝක යුද්ධයට පෙර කාලපරිච්ඡේදයේ, යුද්ධය පැවැති කාල පරිච්ඡේදයේ සහ යුද්ධයෙන් පසු කාල පරිච්ඡේදයේ සිදුවීම්වල දී ප්‍රධාන භූමිකා රඟ දැක් වූ දේශපාලනඥයන් විසින් ලියන ලද බොහෝ ස්වයං- චරිතාපදාන එලිදැක්වීම විස්සේ දශකය (1920 ගනන්) තුල දී සිදු විය. කීමට බොහෝ දේ පමනක් නොව, සාධාරනීකරනය කිරීමට ද හේතු පැහැදිලි කිරීමට ද අනුන්ට චෝදනා කිරීමට ද බොහෝ දේ තිබුනි. වින්ස්ටන් චර්චිල් ගේ වෙලුම් ගනනාවකින් සමන්විත “ද වර්ල්ඩ් ක්‍රයිසිස්” නම් කෘතිය, ඉහත කී කාර්යයන් තුන ම ඔහුටම ආවේනික ප්රතිගාමී වාගාඩම්බරයෙන් යුතු ව එකවර සිදු කරයි. එකල සිටි සෙසු දේශපාලන දැවැන්තයින්ගේ මතක සටහන් ඉතා ඉක්මනින් ජන විඥානයෙන් මැකී ගියේ ය. බහුල වශයෙන්ම ඔවුන්ගේ පොත්, ගැනුම්කරුවන් දුලබ පරන පොත් කඩවල් වලට සහ මහජන පුස්තකාල වලට වී කාගෙන්වත් කරදරයක් නැති ව නිහඬ හා දීර්ඝ විශ්‍රාමික දිවියක් ගත කර ඇත. සමහර අවස්ථාවල අන්තර්ජාලයේ පරන පොත් අලෙවිකරුවෝ මතක සටහන් රචකයන් කීපදෙනෙකු සදාකාලික ව ම මතකයෙන් ගිලිහී යාමෙන් බේරා ගෙන ඇත. දෙවන ලෝක සංග්‍රාමය විසින් චර්චිල්ගේ පලමු පොතට වඩා වචන මිලියනයක් වැඩි පොත් මාලාවකින් තම ජයග්රහන ගැන උදම් අනන්නට අවස්ථාව උදාකර නොදුන්නා නම් ඔහුගේ ‘ද වර්ල්ඩ් ක්‍රයිසිස්’ කෘතියට ද එම ඉරනම ම අත්වීමට ඉඩ තිබුනි.
1929 වර්ෂයේ අවසාන භාගයේ දී ප්‍රකාශයට පත් කොට සියවසක් පමන කල්ගත ව ඇතත්, අදටත් මගේ ජීවිතය හීන නොවූ වැදගත්කමින් යුත් කෘතියක් ලෙස පවතී. නිසැකයෙන් ම, එය ශ්‍රේෂ්ඨ මතක සටහනක් ඉතා ඉහල මට්ටමේ රචනාවක් විය යුතු ය. එ සේ ම එය, ඉතිහාසයේ කිසියම් කාල වකවානුවක ජීවත් ව සිටීම, එසේ ජීවත් වූ කෙනෙකුට දැනෙන්නේ කෙසේ ද යන්න පිලිබඳ හැඟීමක්, සමාජමය, දේශපාලන හා මනෝවිද්‍යාත්මක සිහි කැඳවීම් තුලින් පාඨකයාට ලබා දිය යුතු ය.
ට්‍රොට්ස්කි එම අභියෝග සියල්ල ම සාර්ථක ව ජය ගනී: මගේ ජීවිතය, හුදෙක් “හොඳින් ලියූ” රචනයක් හැටියට විස්තර කිරීම හරියට ටෝල්ස්ටෝයි ගේ යුද්ධය හා සාමය කෘතිය යුද ගැටුම් ගැන උද්යෝගජනක රචනයක් යයි කීම වැනිය. ටොල්ස්ටෝයි ගැන සඳහන අවස්ථාවට අනුචිත නොවේ. මේ දෙදෙනාගේ ජීවිතවල මුල් කාලවල පැවැති වාතාවරනය හා ඔවුන් මුහුන දුන් තත්වයන් අතර සියලු වෙනස්කම් තිබියදීත්, යනොව්කා නම් නොදියුනු ගමේ ට්‍රොට්ස්කිගේ තරුන විය ගත කල ආකාරය පිලිබඳ විස්තරයත් ටොල්ස්ටෝයි සිටුවරයා යස්නායා පොල්යානාවේ පාරම්පරික වතුයායේ ගත කල ජීවිතය පිලිබඳව කරන විස්තරයත් කලා කෘති හැටියට සැසඳිය හැකි ය. ඇත්ත වශයෙන්ම ට්‍රොට්ස්කිට ලේඛකයෙකු හැටියට 19 වන සියවසේ රුසියානු සාහිත්‍යයේ විසල් වෘත්තාන්තමය අවකාශය හා බුද්ධිමය ගැඹුර ප්රගාඪ ලෙස බලපෑවේ ය.
ට්‍රොට්ස්කි ‘මගේ ජීවිතය’ තුල සිහිපත් කරන පරිදි ඔහුගේ පොත් කියවීම ආරම්භ වූයේ වයස හතේ දී පමනය. පුෂ්කින්, නෙක්රසොෆ් සහ ටෝල්ස්ටෝයිගේ කෘති ඔහු උද්දාමයට පත් කලේ ය. ඔහුගේ විඥානයේ මෝදුවීම මත මුල් කාලයේ කියවූ පොතපත විසින් ඇතිකල බලපෑම මෙසේ විස්තර කරයි: “සෑම අලුත් පොතක් ම නුපුරුදු වචන, නුහුරු මානව සබඳතා සහ මිථ්‍යාව සහ යථාර්ථය වෙන්කරන අවිශදභාවය හා අස්ථායිතාව වැනි අලුත් බාධක ගෙන ආවේ ය.”
තම ලමා වියේ සාහිත්‍යය සමග හමුව, රුසියාවේ ස්ටෙප්ස් නම් විසල් තෘනභූමි හරහා රාත්‍රී කාලයේ අශ්ව කරත්ත පැදීමකට ට්‍රොට්ස්කි සමාන කලේ ය. “කරත්ත රෝදවල කිරිකිරිය, එකවර ඇසෙන මිනිස් කටහඬවල්, මග දෙපස තැනින් තැන අඳුර තුලින් මතු වන ගිනිමැලවල එලිය, ආදිය හුරුපුරුදු, එහෙත් අර්ථය හරියාකාර ව ග්රහනය නොවන දේට සමාන ය. සිදු වන්නේ කුමක් ද? අප පසුකර යන්නේ කාගේ අශ්ව කරත්තය ද? එහි ගෙන යන්නේ කුමක් ද?...” කරුනු හෙලිදරව් කරන ප්‍රකාශයක් ඉන්පසු එයි : “දැක ගන්නට, දැන ගන්නට සහ අවබෝධ කර ගන්නට දරුවෙකු තුල නැගී එන පිපාසය සංසිඳවන ලද්දේ වාක්‍යමය දිය බඳුන දෙසට නොනවත්වා ම දෑත දිගු කර, මුද්‍රිත දෑ සියල්ල කෑදර ලෙස කියවා දැමීම විසිනි. මගේ පසුකාලීන ජීවිතයේ සියලු සිත් ගන්නා දේද ශෝකජනක හෝ ප්රමෝදජනක දේ ද මගේ ලමාවියේ කියවීම් තුල නොපැහැදිලි ඡායාවක්, ඉඟියක් හෝ අනාගතය පිලිබඳ ඇඟවීමක් දෙන පැන්සලින් හෝ දිය සායමින් කල චිත්‍රයක් මෙන් ඒ වනවිටත් සටහන් ව තිබුනි…”
තරුන ලෙව් ඩේවිඩෝවිච්, ප්‍රත්‍යන්ත ජනපදයක් වූ යනොව්කාවේ මායිම්වලින් එහා ලෝකයට ප්‍රවේශය මුලින් ලබා ගත්තේ සාහිත්‍යය තුලිනි. පසුකාලීන ව, ඔහුගේ ම අත්දැකීම් — පුද්ගලයා සහ සමාජය අතර එන්ට එන්ට ම සංකීර්න වූ ප්‍රතික්‍රියා, කම්කරු ව්‍යාපාරය, මාක්ස්වාදී න්‍යාය හා සමාජවාදී දේශපාලනය, රුසියානු සහ ලෝක සිදුවීම් වල බර ආදිය — තුලින් අප කලින් කී පැන්සලෙන් හෝ දිය සායමෙන් කලාක් වැනි වූ දල සිත්තම, ට්‍රොට්ස්කි ගේ තීක්ෂන ලෙස විස්තරාත්මක වූ ද විචිත්‍ර වූ ද යුද්ධය හා විප්ලවය මැද ගත කල ජීවිතය පිලිබඳ පැනොරාමික (මුලු වටය ම පෙනෙන) සිනමා පටයක් බවට පරිවර්තනය කලේ ය.
ලේඛකයෙකු ලෙස ට්‍රොට්ස්කි ගේ පෞරුෂය පිලිබඳව කිසිවෙකු වාද කරන්නේ නැත. “නිව් යෝක් ටයිම්ස් පුවත්පත පවා දීර්ඝ ග්රන්ථ විචාරයක් තුලදී මෙසේ සඳහන් කලේය :” න්‍යායාචාර්යවරයෙකු හෝ විප්ලවවාදියකු හැටියට ට්‍රොට්ස්කි ගැන කවරෙකු කුමක් සිතුවත්, ඔහුගේ සාහිත්‍යමය නිපුනතා සහ ඔහුගේ ජීවිතය පිර වූ විචිත්‍ර අත්දැකීම් ඔහුගේ අසාමාන්‍ය ලේඛන කුසලතා උපරිමයෙන් එලිදැක්වීමට අවස්ථාව සපයා දුන් බව ගැන වාදයක් නැත…”
ට්‍රොට්ස්කි ගේ ස්වයං චරිතාපදානය අද වැදගත් වන්නේ එහි සාහිත්‍යමය කාන්තිය නිසා පමනක් නොවේ. ලෝක සාහිත්‍යය තුල එය සතු චිරස්ථායි ස්ථානය ගලා එන්නේ එහි කතුවරයා ඉෂ්ඨ කල දැවැන්ත ඓතිහාසික කාර්යභාරය තුලින් ය. ට්‍රොට්ස්කි ගේ ජීවිතය වනාහි, 1917 බොල්ෂෙවික් විප්ලවය තුල, ලෝකයේ ප්‍රථම කම්කරු රාජ්‍යය පිහිටුවීම තුල, රතු හමුදාව ගොඩනැගීම හා ප්රතිවිප්ලවයට එරෙහි ව එය ලැබූ ජයග්‍රහනය තුල සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරය පිහිටුවීම තුල තීරනාත්මක කාර්ය භාරයක් ඉෂ්ට කල මිනිසෙකුගේ ජීවිතයයි.
එම අසමසම මූලාංගය, ජර්මනියේ මෙන්ම ප්‍රංශයේ සහ එක්සත් ජනපදයේ ද මගේ ජීවිතය කෘතිය පිලිබඳ සමකාලීන ග්රන්ථ විචාර තුල පිලිගනු ලැබීය. කීර්තිමත් ජනමාධ්‍යවේදියකු වූ එමිල් ලුඩ්විග්, බ'ලීන' ටාගබ්ලාට් හි (ජර්මනියේ ප්‍රධානතම ලිබරල් දිනපතා පුවත්පතකි - පරිවර්තක) මෙසේ ලිවී ය : “ශ්‍රේෂ්ඨත ම ලේඛකයෙකු තම පුදුමාකාර විචිත්‍රවත් සැබෑ ජීවිතය පිලිබඳව ලියා ඇති පොත කියවන විට, තවදුරටත් යමෙක් ප්‍රබන්ධ නවකතා කියවිය යුත්තේ හෝ ලිවිය යුත්තේ මන්දැයි මට නොතේරේ...” [“Ein großer Schriftsteller hat hier sein phantastischen leben so geschildert, daß ich nicht begreife, warum man noch immer Romane liest oder gar schreibt.”]
ට්‍රොට්ස්කිගේ දේශපාලනයට තම විරෝධය පැහැදිලි ව ප්රකාශකලවුන් පවා 'මගේ ජීවිතය' කෘතියේ සුවිශේෂී ස්වභාවය පිලිගත්තෝ ය. වෝල්ටර් බෙන්ජමින්ගේ සහකරුවකු වූ වොල්ෆ් සූකර් Die Literarische Welt (සාහිත්‍ය ලෝකය) නම් වාර සඟරාව තුල, “මෙය පසුගිය සියවස් කාල තුල ප්‍රකාශිත වැදගත්ම කෘතිය බව මම නොපැකිල පවසමි...” (2) යයි ප්‍රකාශ කලේ ය.
ට්‍රොට්ස්කි කෙරෙහි තම කටුක සතුරු බව නොසඟවා ප්‍රකාශ කල ප්‍රංශ ජාතික ප්‍රති-මාක්ස්වාදී ලිබරලෙකු වූ එලී හලිවි මෙසේ ප්‍රකාශ කලේ ය: “මා කී සීමා කිරීම් ඇතුලත, එවන් මිනිසෙකුගේ ස්වයං-චරිතාපදානයක් බොහෝ විස්තරාත්මක කාරනා සම්බන්ධයෙන් වැදගත් ඓතිහාසික ලියවිල්ලක් වන බව කීම අවශ්‍ය නොවේ...” [3]
ඉයුජින් ඕ'නීල් ගේ (නොබෙල් ත්‍යාගලාභී සුප්‍රකට ඇමරිකානු නාට්‍යකරුවා සහ ලේඛකයා-පරිවර්තක) සගයෙකු වූ නාට්‍ය විචාරක ඇලෙක්සැන්ඩර් බක්ෂි, ‘කරන්ට් හිස්ට්‍රි’ සඟරාවට දීර්ඝ විචාරයක් ලියමින් මෙසේ සඳහන් කලේ ය: ට්‍රොට්ස්කි ගේ මතක සටහන්, “චරිතාපදාන ලිවීමේ කලාවේ චරිත නිරූපනය, කර්කෂ උපහාසය, හා සිත් කලඹවන සිද්ධි ඉදිරිපත් කිරීම අතින් අග්‍රගන්‍ය සාහිත්‍යමය කෘතියක් වීමට අමතර ව, සැකයකින් තොර ව ම සුවිශේෂී වැදගත්කමකින් යුත් ඓතිහාසික ලියවිල්ලකි—වර්තමාන රුසියාවේ සිදුවන නාටකාකාර වෙනස්වීම් හදාරන කිසිවෙකුට නොකියවා අත්හැරිය නොහැකි පොතකි.”[4]
නිසැකයෙන් ම, මගේ ජීවිතය එය ලියන ලද්දේ කවර තත්වයන් යටතේ දැයි සලකන විට, අත්‍යසාමාන්‍ය ජයග්රහනයකි. සෝවියට් රාජ්‍යයේ නිලධාරිවාදී පරිහානියට එරෙහි ව පස් වසරක් තිස්සේ, වඩ වඩාත් තීව්ර වූ වධ හිංසා මැද සිදු කල අඛන්ඩ අරගලයට පසු නිලධරය විසින් එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයෙන් ට්‍රොට්ස්කි පිටුවහල් කරන ලදී. 1928 දී චීන දේශ සීමාව අසල අල්මා අටාවට නායකයා (ට්‍රොට්ස්කි) පිටුවහල් කිරීමෙන් වාම විරුද්ධ පාර්ශ්වය විනාශ කිරීමට අසමත් වූ ස්ටැලින්, ඔහු තුර්කියේ හුදෙකලා කලොත් ඔහුගේ බලපෑම සාර්ථක ව මැඩ පැවැත්විය හැකි වෙතැයි විශ්වාස කලේ ය. එම තීරනය ට්‍රොට්ස්කිට දැනුම් දෙන ලද්දේ 1929 ජනවාරි 20 වන දින දී ය. එම නියෝගය ලැබුනු බවට අස්සන් කිරීමට දුන් පෝරමයේ ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය : “ජීපීයූ වේ තීරනය අන්තර්ගතයෙන් සාපරාධී හා ආකෘතියෙන් අනීතික වේ...” ඔහුගේ බඩු බාහිරාදිය-ඒවා අතර වැදගත් ම වූයේ අත් පිටපත් හා පොත් ය-අසුරා ගැනීම සඳහා දෙන ලද්දේ දවස් දෙකකට අඩු කාලයකි. විදේශ පිටුවහල කරා දිගු ගමන ආරම්භ වූයේ බියකරු තත්වයන් යටතේ ය. තම මතක සටහන්වල අවසාන පරිච්ඡේදයට පූර්ව පරිච්ඡේදයේ දී ඔහු ඒවා විස්තර කරයි:
“විසි දෙ වෙනි දා හිමිදිරි පාන්දර මගේ භාර්යාව, මගේ පුතා සහ මම අප ඇරලවන්නට යන අය සමග බස් රථයකින් ගමනට පිටත් වීමු. හිම හොඳින් තද වූ සුමට පාරක් දිගේ බසය කුර්දේ කඳුවැටියේ මුදුන දක්වා අප රැගෙන ගියේ ය. කඳු මුදුනේ සුලඟින් ගොඩ ගැසුනු විශාල හිම ප්ලාවිත සහ තද සුලං පැවතුනි. අපේ බසය, කුර්දේ කපොල්ලෙන් ඔබ්බට ඇද ගෙන යාමට තිබුනු දැවැන්ත ට්රැක්ටරය එය විසින් ඇදගෙන යමින් සිටි වාහන හතක් සමග කරවටක් දක්වා ම හිමේ එරී ගියේ ය. හිම කුනාටුවේ දී මිනිසුන් හත් දෙනෙක් හා අසුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ශීතයෙන් ගල් වී මිය ගියහ. කිලෝමීටර් තිහක පමන දුරක් පසු කිරීමට අපට පැය හතකට වඩා ගත විය. අයිස් මාවත දිගට ම, හිමේ එරී ගිය, බඩු අදින රෝද නැති හිම කරත්තද ඉදි කරමින් පැවති තුර්කිස්තාන්-සයිබීරියා දුම්රිය මාර්ගය සඳහා ගෙන යමින් තිබූ බඩු බාහිරාදිය ද බොහෝ භූමිතෙල් ටැංකි ද දැකගත හැකි විය. මිනිසුන්ට සහ අශ්වයින්ට අසල තිබූ කිර්ගිස්වරුන්ගේ ශීත සෘතු කඳවුරු වල නවාතැන් ලැබුනි.”
ට්‍රොට්ස්කිට එසේ ගමනේ යෙදී සිටිද්දී මොස්කව් නුවර වාම විරුද්ධ පාර්ශ්වයේ සාමාජිකයෝ - ඔවුන්ගෙන් බොහොමයක් ඔක්තෝබර් විප්ලවයේ පුරෝගාමී නායකයන් වූහ - අත් අඩංගුවට ගනු ලැබූහ. අවසානයේ දී පෙබරවාරි 10 වන දින සන්ධ්‍යා කාලයේ ට්‍රොට්ස්කි, භාර්යාව නටාලියා සහ පුත්‍ර ලෙව් ඔඩෙස්සාවට ලඟා වූහ. එහි ලඟා වූ වහාම ඔවුන් නැව්තොටට රැගෙන ගොස් ‘ඉලිච්’ නම් වූ දුම්නැවට නංවන ලදී. දින දෙකකට පසු දුම් නැව - මගීන් හැටියට එහි සිටියේ ට්‍රොට්ස්කි, ඔහුගේ භාර්යාව සහ පුත්‍රයාත් ජීපීයූ ඒජන්තයන් කීප දෙනෙකුත් පමනි-බොස්පරස් සමුද්‍ර සන්ධියට ලඟා විය. තුර්කියට ගොඩ බැසීමට පෙර, ට්‍රොට්ස්කි එහි ජනාධිපති කෙමල් අටාටර්ක්ට පනිවිඩයක් යැවීය:
“ප්‍රිය මහත්මයානෙනි, කොන්ස්තන්තිනෝපලයේ දොරටුව අසල දී මා තුර්කි දේශසීමාව පසුකල බවත් - මගේ කැමැත්තෙන් නොව බලහත්කාරය නිසා - ඔබේ දේශසීමාව තරනය කරන බවත් දන්වමි. ජනාධිපති තුමනි, කරුනාකර මගේ අවස්ථාවෝචිත ආශිංසන පිලිගන්න…“
එල්. ට්‍රොට්ස්කි. පෙබරවාරි 12,1929
තුර්කියට පැමින පලමු සති වල දී ට්‍රොට්ස්කි, ඔහු සෝවියට් සංගමයෙන් නෙරපීම පිලිබඳව වූ නිමක් නැති විමසීම්වලට ප්‍රතිචාර වශයෙන් ඊට පෙර මාස දෙකේ සිදුවීම් විස්තර කරමින් ලිපි මාලාවක් ලිවී ය. ඒවා අවසානයේ දී ‘සිදුවූයේ කුමක්ද, කෙසේ ද’ (What Happened and How? ) නමින් පොත් පිංචක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. පසු ව මගේ ජීවිතය තුල දී වඩා විස්තරාත්මක ලෙස වර්ධනය කරන ලද්දා වූ ට්‍රොට්ස්කි බලයෙන් පහවීම සම්බන්ධ වැදගත් දේශපාලන කාරනා බොහොමයක් මුලින් ඉදිරිපත් කරන ලද්දේ මේ රචනා තුල ය. ඔහු බලයෙන් පහ කිරීමේ ලා නිලධාරිවාදී කූටෝපායන්ගේ කාර්යය අඩුවෙන් තක්සේරු නොකරන අතර ම ඒවා ද්වීතීයික බව ට්‍රොට්ස්කි අවධාරනය කලේ ය. “අත්‍යවශ්‍ය ප්රශ්නය වන පන්ති බලවේගයන්ගේ වෙනස් වූ පෙලගැස්මත් විප්ලවයේ විවිධ අවදිවල ප්රගමනයත් සමග සසඳන කල්හි පුද්ගල කාන්ඩ ගැසීම් සහ එකතුවීම් ආදිය දරන්නේ ද්වීතීයික වැදගත්කමකි... ” [5]
ස්ටැලින්ගේ ජයග්‍රහනය ඔහුගේ මහා දේශපාලන කෞශල්‍යය නිසා සිදුවූවකැයි විස්තර කෙරෙනු ඇති බව කල්තියා දුටු ට්‍රොට්ස්කි, නිලධාරි තන්ත්රයේ නායකයා “අපේ පක්ෂයේ සිටින කැපී පෙනෙන විශේෂ දක්ෂතාවක් නැති පුද්ගලයා” ලෙස විස්තර කලේ ය. ට්‍රොට්ස්කි, ස්ටැලින්ගේ නැගීම ජනතාවගේ විප්ලවීය පිබිදීමේ පසුබෑමේ සන්දර්භය තුල පිහිටුවී ය. “සෑම යුගයක ම ඊට සරිලන ශ්‍රේෂ්ඨ නායකයෝ සිටිත්. එවැන්නන් නැතිනම් ඔවුන් නිර්මානය කෙරෙනු ඇත...” [6] ප්‍රංශ දාර්ශනික හෙල්වෙෂියස් උපුටා දක්වමින් ට්‍රොට්ස්කි ලිවී ය. ට්‍රොට්ස්කි තමන්ට විරුද්ධ ව සිදු වූ දුෂ්ඨ කුමන්ත්රන හා මඩ ප්‍රහාර නොතකා සිටියේ නැත. ඔහු බලයෙන් පහ වූයේ ඒවා නිසා යයි කිව නොහැක. තම පරාජයට හේතුව අනුන්ගේ දුෂ්ට කුමන්ත්රන යයි කියන දේශපාලන ක්‍රියා මාර්ගයක් අන්ධ හා දුක්ඛිත එකකැයි ඔහු ලිවී ය. “කුමන්ත්රන වනාහි කිසියම් කාර්යයක් තාක්ෂනික ව ඉෂ්ට කර ගැනීමකි. ඊට කල හැක්කේ ද්වීතික වැඩ කොටසක් පමනි. දැවැන්ත ඓතිහාසික ප්‍රශ්න විසඳනු ලබන්නේ දැවැන්ත සමාජ බලවේගයන්ගේ ක්‍රියාකාරිත්වය විසිනි ; කුඩා වෙට්ටු දැමීම් විසින් නොවේ...” [7]
මාමරා මුහුදේ පිහිටි බියුකාඩා දූපතේ ගත වූ මුල් සති කීපය අතිශයින් කලබලකාරී සහ වෙහෙසකර විය. ඔහුගේ දැඩි විනයගත වැඩ රටාව අනුව කටයුතු කරගෙන යාමට සුදුසු නිවසක් සොයා පදිංචි විය යුතු ව තිබුනි. එම කටයුතුවල නියැලී සිටින අතරේ බොහෝ ග්රන්ථ ප්‍රකාශකයෝ ඔහුගේ කෘතීන්ට ප්‍රකාශන හිමිකම් ඉල්ලා ඔහු අමතන්නට වූහ. ලියන්නට තමන්ගේ අදහසක් ඇතැයි ට්‍රොට්ස්කි කලින් ඇඟවීමක් කර තිබුනු ස්වයං චරිතාපදානය ගැන ප්‍රකාශකයෝ විශේෂ උනන්දුවක් දැක්වූහ. මගේ ජීවිතය කෘතියේ මූලාරම්භය හා එය ලිවීම පිලිබඳ අගනා විස්තරයක් වුල්ෆ්ගෑන්ග් ලූබිට්ස් හා පෙට්රා ලූබිට්ස් විසින් ප්‍රකාශයට පත් කර ඇත. එය ඔවුන්ගේ වෙබ් අඩවිය වන www.trotskyana.net ට පිවිසීමෙන් කියවිය හැකිය. ස්වයං චරිතාපදානය ලිවීමේ කටයුතු 1929 අප්‍රේල් මාසයට පෙරාතු දිනයක ආරම්භ වී යයි ඔවුහු සඳහන් කරති. තම රචනයෙහි ඔවුන් විස්තර කරන තරඟකාරී ප්‍රකාශකයන් අතර සිදුවූ තරමක ගැටුම් වලට පසු ව ප්‍රකාශන අයිතිය බර්ලිනයේ ෆිෂර් වර්ලැග් සමාගම විසින් ලබා ගන්නා ලදී.
ඔහු තම සුපුරුදු වේග රිද්මයෙන් ලිවීම පටන් ගත්තේ ය. අල්මා අටාවේ සිටිය දී ම මුල් අත්පිටපත කෙටුම්පත් කිරීම ආරම්භ කරන්නට ඇතැයි සිතිය හැකි නමුත් පොතේ වැඩි හරිය ලියන ලද්දේ බියුකාඩාවේ දී ය. ට්‍රොට්ස්කි මගේ ජීවිතය ලියා නිම කල වේගය පුදුම සහගත ය. එ සේ ම එය පිලිවෙලකට වැඩ කිරීමට තිබූ අතිශය විනයගත හැකියාවට තවත් සාක්ෂියකි. චරිතාපදානයේ කටයුතු කරන අතරේ ම සෝවියට් සංගමය ඇතුලත සිදුවීම් පිලිබඳ ව ලිවීම ද ලෝක සිදුවීම් ගැන අදහස් දැක්වීම ද මෝදු වෙමින් එන ජාත්‍යන්තර වාම විරුද්ධ පාර්ශ්වයේ කටයුතුවලට න්‍යායික හා දේශපාලනික දිසානතිය සැපයීම ද ට්‍රොට්ස්කි දිගට ම කරගෙන ගියේ ය.
මැයි මාසය වන විට පොතේ සැලකිය යුතු කොටසක් ලියා හමාර කර තිබුනි. 1929 සැප්තැම්බරයේ දී ස්වයං චරිතාපදානයේ කටයුතු අවසන් විය. රැඩිකල්-වාමාංශික ඩි ඇක්ටියෝන් (Die Action) සඟරාවේ සමාජවාදී මාධ්‍යකරු සහ කර්තෘ වූ ෆ්‍රෑන්ස් ෆැම්ෆර්ට් ගේ භාර්යාව වූ ඇලෙක්සැන්ඩ්රා රැම් ගෙන් ට්‍රොට්ස්කිට තීරනාත්මක සහයෝගයක් ලැබුනි. ඇගේ ම කුසලතා නිසා සැලකිය යුතු පිලිගැනීමක් සහිත ධීමතියක් වූ ඈ ට්‍රොට්ස්කි ගේ රුසියානු ලියවිල්ල ජර්මන් බසට පරිවර්තනය කලා පමනක් නොව ට්‍රොට්ස්කි ගේ ශාස්ත්‍රීය පර්යේෂන කටයුතුවලට සහාය වූවාය; ෆිෂර් වර්ලැග් ආයතනය සමග සම්බන්ධීකරනය කරමින් ඔහුගේ ප්‍රකාශන නියෝජිතවරිය ලෙස ද ක්‍රියා කලා ය. කලා කෘතියක් හා සමාන වූ ඇගේ පරිවර්තනයේ දී ට්‍රොට්ස්කි ගේ රුසියානු බසට ගැලපෙන ජර්මානු වාක්‍ය ව්‍යූහයකට හැරවීම අවශ්‍ය විය.
ජර්මන් බසෙහි හසලයකු වූ ට්‍රොට්ස්කි ඇගේ කටයුතු ප්‍රවේසමෙන් නිරීක්ෂනය කලේ ය. පරිවර්තන තීන්දු පිලිබඳව ඉඳහිට මත ගැටුම් ද නොතිබුනා නොවේ. ට්‍රොට්ස්කි හා රැම් අතර හුවමාරු වූ ලිපි විශාල සංඛ්‍යාවෙන් දෙදෙනා අතර පැවැති සහයෝගිතාවේ තරම පැහැදිලි වේ. එපමනක් නොව ට්‍රොට්ස්කි සහ රැම් හා ෆ්‍රෑන්ස් ෆෙම්ෆට් අතර ලඟ මිත්‍රත්වයක් ද වර්ධනය විය. ජර්මන් පරිවර්තනයේ පෙරවදනට ලියූ 1929 සැප්තැම්බර් 14 දාතම දරන පසු සටහනක දී ට්‍රොට්ස්කි තම පරිවර්තිකාවට උනුසුම් බුහුමන් පිරිනැමීය : “මේ පොත ජර්මන් පාඨකයා ඉදිරියේ තබන මේ අවස්ථාවේ දී, ඇලෙක්සැන්ඩ්රා රෑම් රුසියානු මුල් කෘතිය ජර්මන් බසට පරිවර්තනය කලා පමනක් නොව එහි ඉරනම පිලිබඳව නිරන්තරයෙන්ම සොයා බලමින් සැලකිලිමත් වූ බව ද සටහන් කර තැබීමට කැමැත්තෙමි. ඒ සමගම ඇයට මගේ නිර්ව්‍යාජ ස්තුතිය පුදකරමි…”
මගේ ජීවිතය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ව එලඹුනු වර්ෂවල දී, රෑම්ට හා ෆෙම්ෆර්ට්ට ද ෆැසිස්ට්වාදයේ සහ ස්ටැලින්වාදයේ සතුරන්ට මුහුන දීමට සිදු වූ තදබල දුෂ්කරතා අත්විඳීමට සිදු විය. හිට්ලර් බලයට පත් වූ 1933 මාර්තුවේ දී ඔවුහු රටින් පලා ගියහ. මුලින් චෙකොස්ලොවේකියාවේ පදිංචි වූ ඔවුහු ඡායාරූප ශාලාවක් පවත්වාගෙන යාම මගින් ජීවිතය ගැට ගසා ගැනීමට ප්රයත්න දැරූ හ. ඔවුන්ගේ තත්වය අවදානම් සහිත විය. ඔවුන් නැවතී සිටි සුඩෙටන් ප්‍රදේශයේ නාසීන්ට පක්ෂ පිරිස් බහුලවීම නිසා ඔවුන් නිරන්තර ව ම අනතුරට මුහුන දී සිටියහ. රෑම් සහ ෆෙම්ෆර්ට්, ට්‍රොට්ස්කි සමග පැවැත් වූ සම්බන්ධය ප්‍රසිද්ධ එකක් වූයෙන් චෙක් ස්ටැලින්වාදීන් ඔවුන් දෙස බැලුවේ වපර ඇසිනි. 1936 ඔක්තෝබරයේ දී රැම් සහ ෆෙම්ෆර්ට් පැරිසියේ පදිංචියට ගියහ. රෑම් එහිදී ට්‍රොට්ස්කි ගේ ‘ස්ටැලින් ගේ අපරාධ’ (The Crimes of Stalin) නම් කෘතිය පරිවර්තනය කිරීමෙහි නියැලිනි.
1939 සැප්තැම්බරයේ දී යුද්ධය පුපුරා ගිය විට ප්‍රංශයේ තුන්වන සමූහාන්ඩුව ෆෙම්ෆර්ට්ලා ජර්මානු “සතුරු විදේශිකයන්” ලෙස නම්කර සිරගත කලේ ය. ෆ්‍රෑන්ස්, බෝර්ඩෝ අසල පිහිටි කඳවුරකට ද ඇලෙක්සැන්ඩ්රා දකුනු ප්‍රංශයේ ගුර්ස් අසල කඳවුරකට ද යවන ලදහ. දෙ දෙනා ම සිර කඳවුරු වලින් පලා යාමට සමත් වූ අතර, 1940 ගිම්හානයේ දී පර්පිනන්හි දී එකිනෙකා හා එකතු වූ ඔවුහු පලමු ව මාසේයි හරහා ලිස්බනයට ද එතැනින් නිව්යෝක් නුවරට ද ගොස් අවසානයේ 1941 සරත් සෘතුවේ දී මෙක්සිකෝ සිටි නගරයටද ලඟා වූහ. ඒ වන විට මෙක්සිකෝ හි උප නාගරික පෙදෙසක් වූ කොයෝවාකාන් හි දී, 1940 අගෝස්තුවේ දී, ට්‍රොට්ස්කි ඝාතනය කරනු ලැබ තිබුනි. සිය සැමියාගේ අභාවයෙන් පසු 1954 දී ජර්මනියට ආපසු පැමිනි රැම් සිය ජීවිතයේ අවසන් අවුරුදු බර්ලින් නුවර ගත කලා ය.
තවමත් ට්‍රොට්ස්කිගේ උරුමය වෙනුවෙන් කැප ව සිටි ඇය ‘මගේ ජීවිතය’ කෘතියේ නව ජර්මන් මුද්‍රනයක් මෙන් ම ඇය විසින් ම පරිවර්තනය කරන ලද ට්‍රොට්ස්කි ගේ තවත් ශ්‍රේෂ්ඨ ත ම කෘතියක් වූ ‘රුසියානු විප්ලවයේ ඉතිහාසය’ සංක්ෂිප්ත ජර්මන් මුද්‍රනයක් ද එලිදැක්වීමට ෆිෂර් වර්ලැග් ආයතනය පෙලඹවීමට ඇය සමත් වූවා ය.
ඇලෙක්සැන්ඩ්රා රැම් 1963 ජනවාරි 17 වෙනිදා අභාවප්‍රාප්ත වූ අතර බර්ලින් - චාලොටන්බර්ග් සුසාන භූමියේ යුදෙව් අංශයේ භූමදාන කරන ලදී. ‘ඇලෙක්සැන්ඩ්රා රැම්-ෆෙම්ෆර්ට් : ප්‍රති-ජීවිතයක්’ [ Alexandra Ramm-Pfemfert: Ein Gegenleben] නමින් ඇගේ චරිතාපදානයක් 2004 දී ප්‍රකාශයට පත්විය. එහි කතුවරිය වූයේ ජුලියානා රෑන්ක් (Julijana Ranc) ය. පොතේ උප ග්‍රන්ථයේ රැම් හා ෆෙම්ෆර්ට් විසින් ට්‍රොට්ස්කිට යැවූ ලිපි 54ක් ද ට්‍රොට්ස්කි විසින් ඔවුන්ට එවූ ලිපි 33ක් ද අඩංගු වෙයි. ‘මගේ ජීවිතය’ ( Mein Leben) කෘතියේ නව මුද්‍රනයක් නිකුත් වන මේ අවස්ථාවේ දී ට්‍රොට්ස්කි ගේ මතක සටහන් ප්‍රකාශයට පත් කිරීමට එතරම් ඉහලින් දායක වූ රැම් හා ෆෙම්ෆර්ට් ගේ මතකය වෙනුවෙන් උපහාර දැක්වීම අවස්ථාවෝචිත වේ.
ට්‍රොට්ස්කි ගේ චරිතාපදානය ලියැවුනේ ලෝක ඉතිහාසයේත් ඔහුගේ ජීවිතයේත් තීරනාත්මක හැරවුම් ලක්ෂයක දී ය. 1930 ගනන්වල ව්‍යසනයන් ගෙන ආ, මහා අවපාතයට මග පෑදූ වෝල් වීදියේ කඩා වැටීම සිදු වූයේ මගේ ජීවිතය ප්‍රකාශයට පත් කිරීමට සති කීපයකට පෙර ය. එය සංගීත සංධ්වනියක් වී නම්, එහි ධ්වනිය සහ ලය මානය ජවයෙන් හා ලාලසාවෙන් පිරි වේග රිද්මයේ එකක් [“alla marcia con fuoco ”] විය.
ට්‍රොට්ස්කි ගේ වෙලුම් තුනක චරිතාපදානය ලියූ අයිසැක් ඩොයිෂ්චර් ( Isaac Deutscher) තම තුන්වන වෙලුමේ දී, ට්‍රොට්ස්කි ‘මගේ ජීවිතය’ ලිවීමට ඉක්මන් වූවා වැඩි බව කියයි. සාහිත්‍යමය නිර්මානයක් හැටියට එම කෘතියේ තිබෙන ඕජෝගුනය තිබියදීත්, එය, තමන්ගේ දේශපාලන පරාජයේ පරිමානය හා තීරනාත්මක ස්වභාවය හරිහැටි ග්රහනය කර නොගත් මිනිසකුගේ කෘතියකැයි ඩොයිෂ්චර් කියයි. පොතේ ආස්ථානය හා ධ්වනිය සාරදර්ශී වැඩිය; ට්‍රොට්ස්කි ලියන්නේ ස්ටැලින්ට එරෙහි සටනින් සිදු වූ පරාජය පිලි නොගත් කෙනෙක් පරිද්දෙනි. ඩොයිෂ්චර්, ට්‍රොට්ස්කි ෂෙලී සමග, “තමාගේ ප්‍රොමීතියස්, ජුපිටර් ඉදිරියේ දනින් වැටී අවසානය කරා යාම ඉවසා ගත නොහැකි වූ ෂෙලී සමග, (සුප්‍රකට ඉංග්‍රිසි කිවිවර පී. බී. ෂෙලී) සංසන්දනය කරයි. ” ශෝකාන්ත නාට්‍යයක කතා නායකයාට හැම පැත්තෙන් ම ව්‍යසනකාරී ප්‍රහාර එල්ලවීමට මොහොතකට පෙර තමන්ගේ අනාගත අවස්ථාවන් පිලිබඳව කතා නායකයන් තුල පවතින නොගැඹුරු අතාත්වික භාවය ට්‍රොට්ස්කි තුලද වින...” [8] යනුවෙන් චෝදනා කිරීමට තරම් ඔහු දුර යයි.
ඩොයිෂ්චර් අඟවන්නේ ට්‍රොට්ස්කි ස්වයං චරිතාපදානය ලිවීම ප්‍රමාද කලා නම් සහ 1930 ගනන්වල සිදු වූ ව්‍යසනයන් දුටුවා නම්, ඔහුට මගේ ජීවිතය කෘතිය පුරා ආවිලයනය වී තිබෙන ආත්ම විශ්වාසය සහ සාරදර්ශනය පවත්වා ගෙන යාමට හැකි නොවනු ඇත යන්න ය. 1939 දී ලියන මතක සටහනක්, 1929 දී ලියූ මතක සටහනකට වඩා අඳුරු, ට්‍රොට්ස්කි තම ජීවිතය කැපකල ව්‍යාපාරයේ සාර්ථකත්වය පිලිබඳ සැක-සංකාවන්ට ඉඩ තබන ලියවිල්ලක් වනු ඇත. මෙම විවේචනය, ස්ටැලින්ට විරුද්ධ ට්‍රොට්ස්කි ගේ අරගලය මුල සිට ම අසාර්ථක වීමට නියමිත ව තිබුනු එකක් හා හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම ප්‍රායෝගික නොවූ පරමාදර්ශී මනෝරාජික ව්‍යාපෘතියක් ය යන ඩොයිෂ්චර් ගේ විශ්වාසය පිලිඹිඹු කරයි.
කෙසේ වෙතත්, මගේ ජීවිතය ලිවීමට ට්‍රොට්ස්කි තීන්දුව ගත් කාල වකවානුව අත්තනෝමතික එකක් නොවේ. එය දේශපාලන හා පෞද්ගලික කාරනා අතර අන්තර්- ක්‍රියාකාරිත්වයේ ප්රතිඵලයකි. ඔහු තම ප්‍රස්තාවනාව තුල පැහැදිලි කල පරිදි, “එය ලොවට බිහිවීම සිදු වූයේ කර්තෘගේ ක්‍රියාකාරී දේශපාලන ජීවිතයේ ඇති වූ විරාමය නිසා ය. කලින් දැකිය නොහැකි ව තිබුනු, එහෙත් අහම්බයක් නොවූ, මගේ ජීවන ගමනේ එක් නැව්තොටක් වූයේ කොන්ස්තන්තිනෝපලයයි. මම මෙහි කඳවුරු බැඳ සිටිමි —එයද පලමු වතාවට නොවේ—ඊලඟට සිදුවන්නේ කුමක්දැයි ඉවසීමෙන් බලා සිටිමි. විප්ලවවාදියෙකුගේ ජීවිතයේ කිසියම් දෛවෝපගතභාවයක් තිබීම වැලැක්විය නොහැක. ඒ හෝ මේ ආකාරයෙන්, කොන්ස්තන්තිනෝපලයේ විරාමය, ඊලඟ සිදුවීම මට ඉදිරියට යාමට අවස්ථාව දෙන තෙක්, ජීවිතය දෙස ආපසු හැරී බලන්නට සුදුසුම මොහොත විය…”
ට්‍රොට්ස්කිගේ ස්වයං චරිතාපදානය “අහිමි ව ගිය කාලය” පිලිබඳ අතීතකාමී හැරී බැලීමක් හෝ ගෙවුනු දිවිය හෝ චින්තනය පිලිබඳ දුක්ඛදායක භාවනාවක් නොවේ. “පොත, මගේ සමස්ත ජීවිතය ම කැප කල අරගලයේ ම අඛන්ඩතාවයයි. මම එය තුල සිද්ධි විස්තර කරමි; චරිත අනුලක්ෂනය කරමි; ඇගයීම කරමි; ඒ අතරේ ම —වැඩිපුර අවස්ථා වල පහර දෙන ගමන් ම — ආත්මාරක්ෂක ද වෙමි. වඩා ඉහල අර්ථයකින්, ස්වයං චරිතාපදානයක් විෂයබද්ධ එකක් බවට පත් කල හැකි එක ම ක්‍රමය එයයි. එනම් පෞරුෂයන්ගේ, පැවැති තත්වයන්ගේ සහ එම යුගයේ වඩාත් ම ප්රාමානික ප්රකාශනයක් බවට එය පත් කිරීමෙනි...” ව්‍යාජ හා රැවටිලිකාර වෙස් මුහුන යටින් “මවා පාන මධ්‍යස්ථභාවයේ” ආකල්පය හා ලීලාව ඔහු ප්‍රතික්ෂේප කලේ ය. “මා ගැන ම ලියන්නට සිදුවීමේ අවශ්‍යතාවට මා ඉඩ දුන් පසු, —තමන් ගැන නොලියා ස්වයං චරිතාපදානයක් ලිවීමට මේ දක්වා කිසිවෙක් සමත් වී නැති නිසා— මගේ සහකම්පනයන් හා විකම්පනයන් ද මගේ ආදරයන් හා වෛරයන් ද සැඟවීමට කිසිත් කරුනක් නැත…”
මගේ ජීවිතය, ට්‍රොට්ස්කි ගේ අන් සියලු ලිපි ලේඛන මෙන්ම තියුනු ලෙස විවාදශීලී ය. මෙය සාටෝප ලේඛන ශෛලියක් හෝ ඔහුගේ පුද්ගලික චරිත ලක්ෂනයක් නොවේ. ඔහු පැහැදිලි කල පරිදි “දේශපාලන විවාද වනාහි, අපේ යුගයේ තිබෙන්නාක් වැනි සම්පූර්නයෙන් ම පරස්පර විරෝධයන්ගෙන් පිරි සමාජ ජීවිතයේ ගතිකයන්ගේ පිලිබිඹුවකි. අපි හැම දෙනා ම ජීවිත කාලයක් තිස්සේ ඒවා අත්දකිමින් සිටිමු. අපි එය ආශ්වාස කරමු. එය තුල ජීවත් වෙමු. අද යුගයේ ගති සොබාවට විශ්වාසවන්ත වන්නට නම් අපට විවාදශීලී නොවී සිටිය හැක්කේ කෙසේද?...”
‘මගේ ජීවිතය’ කෘතියේ සාරාංශයක් ලිවීමට උත්සාහ කිරීම ඔහුගේ කතාව මුල් වරට කියවන පාඨකයාට එහි බුද්ධිමය හා සෞන්දර්යාත්මක බලපෑම අහිමි කිරීමක් වනු ඇත. මම ස්වයං චරිතාපදානයේ සංක්ෂිප්ත සටහනක් පමනක් ඉදිරිපත් කරමි.
පොතේ මුල් පරිච්ඡේද පහ ඔහුගේ ලමා විය, තරුන විය හා යෞවනය සිහිපත් කිරීමට වෙන්කර ඇත. ට්‍රොට්ස්කි ඔහුගේ ලමා වියේ හමු වූ අති විශාල සංඛ්‍යාවක් වූ චරිත, සමහරුන් ආදරයෙන් ද සමහරුන් සහකම්පනයෙන් ද සමහරුන් අප්‍රසන්නතාවයෙන් ද තවත් සමහරුන් විරල නොවන කටුක සරදමින් ද සිහිපත් කරයි.
ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී න්‍යායවාදියා, ඉදිරියට සිදුවීමට තිබෙන මහා දේශපාලන සිද්ධි සහ තම ලමා වියේ අත්දැකීම් අතර සෘජු හා සුපැහැදිලි සම්බන්ධයක් පෙන්වන අතීතයටත් වලංගු වන දෘෂ්ටිමය වට්ටෝරුවක් තම රචනය මත පැටවූයේ නැත.
ඒ වෙනුවට ඔහුගේ කථනය, අලුත් හා තේරුම් කර නොදුන් අත්දැකීම් ද ඒවාට (ලමා වියේ) යනොව්කාවෙන් හා (යෞවනයේ) ඔඩෙස්සාවෙන් එහා ලෝකය සමග තිබෙන සම්බන්ධය ද ගැන හසරක් නැති දරුවකුගේ විඥානය වර්ධනය වන ආකාරය ප්රතිනිර්මානය කරයි. ඔහු සමාජ හා පන්ති සම්බන්ධතා සමාජ- විද්‍යාඥයකුගේ නියතාර්ථයෙන් ඉදිරිපත් කරනු වෙනුවට ඒවායේ වර්ධන දිසාව පෙන්නුම් කරයි, ඇඟවුම් කරයි. අවශ්‍ය විට පුලුල් සමාජමය සන්දර්භය වටහා ගැනීමට උවමනා කරන අමතර තොරතුරු සපයයි.
ඊට පසු එන පරිච්ඡේද වීර කාව්‍යයක් වැන්න. යමෙක් ‘මගේ ජීවිතය’ කෘතියේ පෙල, එහි තිබෙන ස්වයං චරිතාපදාන ආකෘතියෙන් වෙන්කර ගත්තත් එය විසිවන සියවසේ ඉතිහාසය පිලිබඳ ප්‍රධානත ම ලියවිල්ලක් වනු ඇත. එහි ආඛ්‍යානය 1905 රුසියානු විප්ලවය, පලමු ලෝක යුද්ධය ආරම්භ වීම, දෙවන ජාත්‍යන්තරයේ බිඳවැටීම, පෙබරවාරි විප්ලවය පුපුරා යාම, බොල්ෂෙවික් වරුන් බලය අල්ලා ගැනීම, රුසියානු සිවිල් යුද්ධය, ලෙනින්ගේ අභාවය හා ඒ සමග පැමිනි සෝවියට් තන්ත්රය තුල අරගලය, බ්‍රිතාන්‍යයේ මහා වැඩවර්ජනය සහ 1927 චීන විප්ලවයේ පරාජය ආදිය පුලුල් ව ආවරනය කරයි.
ඓතිහාසික සිදුවීම් පිලිබඳ ට්‍රොට්ස්කි ගේ අවබෝධය, මනුෂ්‍ය වර්ගයා ගේ ඉරනම හැඩගස්වන වෛෂයික බලවේගවල ක්රියාකාරීත්වයේ සන්දර්භය තුල තමන්ගේ ක්‍රියාවන් පිහිටුවීමට ඔහුට හැකියාව ලබා දුන්නේ ය. න්‍යායික වශයෙන්, - සුවිශේෂය තුල සමස්තය දැකීම හැටියට විස්තර කල හැකි-ඉතිහාසය පිලිබඳ එම මට්ටමේ අන්තර්-ඥානයක් ට්‍රොට්ස්කිගේ ලේඛන කෞශල්‍යයේ නිර්නායක අංගයක් විය. ප්‍රධාන ත ම නොවන්නා වූ කාරනා තුල පවා ඉතිහාසයේ තර්කනය ක්‍රියාත්මක වන ආකාරය ඔහු දිටී ය. ඔහුගේ පුද්ගලයන් චරිතායනය කිරීම ක්ෂමා විරහිත නිරවද්‍යභාවයක් ලබා දුන්නේ ය. ට්‍රොට්ස්කි, ඔවුන්ගේ පෞද්ගලිකත්වයන්ගේ සුවිශේෂ චරිත ලක්ෂන පුලුල් සාමාජීය ඕනෑ එපාකම් හා දේශපාලන ප්රවනතාවලට සම්බන්ධ කලේ ය.
දෙවන ජාත්‍යන්තරයේ නායකයන් චිත්‍රයට නැගීමේ දී ට්‍රොට්ස්කිගේ මෙම කුසලතාව ප්‍රදර්ශනය විය. ඔහු 1914 ට පූර්වයෙන් සිටි ප්‍රධාන නායකයන් සියලු දෙනා ම පාහේ — ඕගස්ට් බෙබෙල්, ජෝර්ජි ප්ලෙඛානොව්, කාල් කවුට්ස්කි, ජූලියස් මාටොව්, ෂෝන් ෂෝරේස්, රෝසා ලක්සම්බර්ග්, රුඩොල්ෆ් හිල්ෆර්ඩින්ග්, වික්ටර් ඇඩ්ලර්, කාල් රෙනර් සහ රැම්සේ මැක්ඩොනල්ඩ් පවා — හමු වී, ඔවුන් හා කතාබහ කර හෝ අඩු ම වශයෙන් ඔවුන්ගේ කථා වලට සවන් දී හෝ තිබේ. දේශපාලකයන් තුල-ඔහුගේ සතුරන් අතර පවා - ශ්‍රේෂ්ඨ චරිත ලක්ෂන ඔහු හඳුනාගත්තා නම්, ඒවා එලිපිට ම අගය කිරීමට ඔහු පසුබට නොවී ය. ෂෝන් ෂෝරේ (1859 -1914, දෙවන ජාත්‍යන්තරයේ ප්‍රංශ පාර්ලිමේන්තු මන්ත්‍රී-පරිවර්තක) සිහිපත් කරමින් එම ශ්‍රේෂ්ඨ කථිකයා ගැන ට්‍රොට්ස්කි මෙසේ කියයි : “කඩා හැලෙන දිය ඇල්ලක් සේ ප්‍රබල වූ තම කථාව අතරේ, ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික සංස්කෘතියක ප්‍රතිබිම්බයක් වන් ආලෝකයක් ඔහුගේ මුහුනේ දිස් කරවන මහත් වූ සොමි ගුනයක් එක් කිරීමට ඔහු සමත් ය. ඔහු කතාව පටන්ගත් විට ගස්ගල් පෙරලෙයි; හෙනසැර වන් හඬින් මිහිතලය කම්පිත වෙයි; එහෙත් එයින් ඔහුගේ දෙ සවනට කිසිවිටෙක හානියක් නැත...”
1907 සිට 1914 දක්වා වියානාවේ ගත කල ඔහු තුල ඕස්ත්රියාවේ සමාජ ප්රජාතන්ත්රවාදී නායකයන් විසින් ඇතිකලේ ඊට වඩා හාත්පසින් ම වෙනස් ප්‍රතිරූපයකි. ඕස්ත්රියාවේ ප්රමුඛ සමාජ ප්රජාතන්ත්රවාදී නායකයෝ උගත් මිනිසුන් වුවත් ඔවුන් තුල කිසියම් ස්වයං-තෘප්තිමත් භාවයක හා විප්ලවවාදියකුගෙන් බොහෝ දුරස්තර වූ ෆිලිස්තීනභාවයක සේයාවක් ට්‍රොට්ස්කි දිටීය. ට්‍රොට්ස්කි ඊලඟ රුසියානු විප්ලවය කම්කරු පන්තිය අතට බලය ලබා දෙනු ඇතැයි රෙනර්ට කී විට “උපරිම විනීතභාවයෙන් රෙනර් දුන් පිලිතුර, ඊජිප්තුවේ ආචීර්න කල්පික ෆාරාවෝ රජෙක් තරම් විප්ලවවාදී අපෝහකයෙන් දුරස්තර වී” යයි ට්‍රොට්ස්කි කියයි. එම තක්සේරුව නිවැරදි බව 1938 දී නාසීන් ඕස්ත්‍රියාව යටත්කර ගැනීම රෙනර් විසින් අනුමත කිරීමෙන් ඔප්පු විය.
වික්ටර් ඇඩ්ලර් විහිලුවට මෙන් කී “ඓතිහාසික භෞතිකවාදයට වඩා ලෝක විනාශය හොඳය” යන වචන, සියල්ලට ම වඩා ඕස්ත්‍රියානු සමාජ ප්රජාතන්ත්රවාදය අරටුවට ම ඛාදනය කරන ජාතිකවාදය ඇතුලු “සියල්ල ඉවසා දරා සිටින” වර්ගයේ සංශයවාදයක් බව ට්‍රොට්ස්කි දුටුවේ ය.
මේ පිරිසේ රූප ගැලරියට ප්‍රතිවිරුද්ධ ව ට්‍රොට්ස්කි, කාල් ලීබ්නෙක්ට් — න්‍යායවාදියෙකු නොව, “ක්‍රියාවට බසින”, ආවේගශීලී වුවත් වික්‍රමාන්විත, “සැබෑ දේශපාලන ප්‍රතිභාවෙන්” සහ “අප්‍රමාන ධෛර්යයෙන් හා මූලිකත්වය ගැනීමේ ගුනයෙන් යුත්” මිනිසෙකු ලෙස පිහිටුවයි.
ට්‍රොට්ස්කි, ඔහුගේ යුද විරෝධී, විප්ලවවාදී මාධ්‍ය භාවිතය නිසා යුරෝපයෙන් පිටුවහල් කරනු ලැබ, ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට ලඟා වීමත් සමග 1917 වර්ෂය ආරම්භ විය. වර්ෂය අවසාන වූයේ, ට්‍රොට්ස්කි නැවත වරක් පෙට්රොගාඩයට පැමින තාවකාලික ආන්ඩුව පෙරලා දැමීමට කටයුතු සංවිධානය කරද්දී ය. 1917 සිදුවීම් පිලිබඳව ට්‍රොට්ස්කි ගේ විස්තරය, වෙනසක් ඇති කිරීම කල නොහැක්කක් යයි ද වෙනසක් ඇති වුවත් එය හොඳ අතට නම් විය නොහැකි යයි ද යන විශ්වාසය තුල මුල් බැස ගත් අන්තයට ම ඇට්ටර වූ දේශපාලන සංශයවාදය පවා සුව කිරීමට සමත් ය.
ජර්මන් අධිරාජ්‍යවාදී ආන්ඩුව සමග බ්‍රෙස්ට්-ලිටොව්ස්ක් හි දී පැවැති සාම සාකච්ඡා පිලිබඳ ට්‍රොට්ස්කි ගේ විස්තරය ඊලඟට එයි. කිසියම් අධි-තාත්වික, විකාර රූපී ස්වභාවයක් දේශපාලන වාතාවරනයෙහි විය. “මනුෂ්‍ය වර්ගයා දැක තිබුනු වඩාත්ම විප්ලවවාදී ආන්ඩුවේ නියෝජිතයන්, ලෝකයේ පාලක පන්ති අතරින් අන්ත ප්රතිගාමී ම කල්ලිය සමග එක ම සාකච්ඡා මේසයේ වාඩි කරවීමට ඉතිහාසය විසින් නියම කර තිබුනි...” යයි ට්‍රොට්ස්කි ලියයි. සාම සාකච්ඡා බොල්ෂෙවික් පක්ෂය මත තදබල පීඩනයක් ඇති කලේ ය. ජර්මනුන් ගේ ඉතා දැඩි කොන්දේසි නොතකා වහා ම යුද්ධය නතර කරන ලෙස ලෙනින් කල ඉල්ලීමට පක්ෂයේ සැලකිය යුතු පිරිසක් විරුද්ධ වූහ. ජර්මන් අධිරාජ්‍යවාදීන්ගේ විසකුරු මංකොල්ලකාරී ස්වභාවය හෙලිදරව් කොට, එමගින් රටේ කම්කරු පන්තියේ කැරලිකාරී මනෝභාවය උත්සන්න කිරීමේ මාර්ගයක් ලෙස සාම සාකච්ඡා යොදා ගැනීමට ට්‍රොට්ස්කි බලාපොරොත්තු විය. ලෙනින්ගේ ස්ථාවරයට පක්ෂපාත පිරිස පැහැදිලි සුලුතරයක් ව තිබුනු බොල්ෂෙවික් පක්ෂයේ දෙකඩවීමක් වලක්වා ගැනීමේ අපේක්ෂාවෙන්, ගිවිසුමක් අස්සන් නොකර යුද්ධය අවසන් කිරීමට බොල්ෂෙවික් නියෝජිත පිරිස තීන්දු කල බව ප්‍රකාශ කල යුතු යයි ට්‍රොට්ස්කි යෝජනා කලේ ය.
ට්‍රොට්ස්කි ගේ ප්‍රකාශයෙන් ඇති වූ කම්පනය අඩු වී ගිය වහාම ජර්මන් හමුදාව ප්‍රහාරය යලි ආරම්භ කලේ ය. නමුත් බහුතරය බවට පත්වීමට මදි වී තිබුනු ඡන්දය, ට්‍රොට්ස්කි විසින් සපයන ලදින්, ජර්මනිය සමග සාම ගිවිසුම අස්සන් කරවීමට ලෙනින්ට හැකි විය. බ්‍රෙස්ට්-ලිටොව්ස්ක් හි දී ට්‍රොට්ස්කි ක්‍රියා කල ආකාරය අපරීක්ෂාකාරී සහ ලෙනින්ට සතුරු එකක් ලෙස අර්ථ දැක්වීමට ස්ටැලින්වාදීහු පසු ව උත්සාහ කලහ. නමුත් ඇලෙක්සැන්ඩර් රබිනොවිච් ගේ “බොල්ෂෙවික් වරුන් රාජ්‍ය බලයේ” (Bolsheviks in Power) නම් කෘතිය තුල සාම සාකච්ඡාවල දී ට්‍රොට්ස්කි ගේ ප්‍රතිපත්තිමය හා ශූර ක්‍රියා කලාපය පිලිබඳව සම්පූර්න විස්තරයක් අඩංගු වේ. සෝවියට් හැදෑරීම් තුල නිතර හමු නොවන ගුනාංගයක් වූ ඓතිහාසික සත්‍යය වෙනුවෙන් කැපවීම, රබිනොවිච් ගේ ඉතා ප්‍රවේසමෙන් ලේඛනාගාර ගවේෂනය කොට සිදුකල පර්යේෂන තුලින් සංලක්ෂිත වේ. බොල්ෂෙවික් විප්ලවයේ ඉතිහාසය මුසාකරනය කිරීමට කැමතිවීම හා එහි නායකයන්ට - සියල්ලන්ට ම පෙර ලෙනින්ට හා ට්‍රොට්ස්කිට - මඩ ගැසීමට කැමති වීම, යහමින් මුදල් ලැබෙන කීර්තිමත් ආයතනවල ඉහල තනතුරු හා පොත් ප්‍රකාශන ආයතනවල ලාභදායක ගිවිසුම් ඇතිකර ගැනීමේ නිසැක මාර්ගයක් විය.
1902 වර්ෂයේ ඔවුන්ගේ ප්‍රථම මුනගැසීමේ සිට 1922-1923 ශීත සෘතුවේ ස්ටැලින් ගේ ක්‍රියා කලාපයට විරුද්ධ ව එකතු වී ක්‍රියා කල අවසාන සති කීපය දක්වා වර්ෂ 20 පමන කාලයක් ලෙනින් සමග පැවති තම සංකීර්න දේශපාලන හා පුද්ගලික සබඳතා ට්‍රොට්ස්කි විස්තර කරයි. ට්‍රොට්ස්කි, ලෙනින් සමග තමාගේ පැවති මතභේද සැඟවූයේ නැත. එසේම 1924 දී සිදු වූ ලෙනින්ගේ මරනින් පසු, ස්ටැලින් තන්ත්රය තම අවශ්‍යතා සඳහා ම, ලෙනින් පිලිබඳ සෑම සඳහනක් මත ම පැට වූ ඔහු දේවත්වයට නංවන නියාලු ස්වරය ද ට්‍රොට්ස්කි ප්‍රතික්ෂේප කලේ ය. “ඔව්, ලෙනින්, මනුෂ්‍යයකුට විය හැකි විසල් ම තරමේ සුධීමතකු වී” යයි ට්‍රොට්ස්කි ලියයි. නමුත් ඔහු කිසි ම වරදක් නොකරන ස්වයංක්‍රිය ගනක යන්ත්‍රයක් නොවීය. ඔහු තම තත්වයේ සිටි වෙනත් ඕනෑ ම කෙනෙකුට වඩා වැරදි අඩුවෙන් කලේ ය; නමුත් ඔහුටත් වැරදි සිදු විය, ඔහුට භාර ව තිබු කාර්යයේ විෂය පථයේ සුවිසල්භාවය නිසා ම සිදු වූ වැරදි ද එ සේ ම සුවිසල් විය.”
ඔක්තෝබර් විප්ලවයට පසු ව ආ සිවිල් යුද්ධය පිලිබඳ පරිච්ඡේද පහ, රතු හමුදාව නිර්මානය කිරීම සහ එය ජයග්‍රහනය ලබාගත් ආකාරය පිලිබඳ අපූර්ව අන්තර් ඥානයක් ලබා දෙයි. අප ඉදිරියේ තිබෙන කාල පරිච්ඡේදය තුල දී මහත් සේ වටිනා පාඩම් එයින් සැපයෙන නිසා, එය ප්‍රවේසම් සහිත අධ්‍යයනයක් ඉල්ලා සිටී. ට්‍රොට්ස්කිගේ විස්තරය අති විශිෂ්ට වන්නේ එය දේශපාලනමය කරුනු, සංවිධානමය කරුනු සහ යුද්ධ කිරීමේ බිම් මට්ටමේ මෙහෙයුම් කටයුතු පිලිබඳ කරුනු සියල්ල විචිත්‍ර ලෙස කැටි කරන ලද ගද්‍ය රචනයක් තුල ඒකාබද්ධ කරන නිසා ය. කථා නායකයා සහ ඉතිහාසඥයා යන දෙදෙනා ගේ ම කාර්යය එකවර ඉෂ්ට කරමින්, ස්වයං-උත්කර්ෂ කතාවක සේයාවකදු නොමැති ව, විප්ලවවාදී යුද හමුදාවක ආඥාපතිත්වය දැරීම කවරාකාරදැයි ට්‍රොට්ස්කි පැහැදිලි කරයි.
ට්‍රොට්ස්කිට කිසි ම පූර්ව යුද පුහුනුවක් තිබුනේ නැත. ඔහු මාධ්‍යවේදියකු හා විප්ලවවාදී පිටුවහලකු විය. එසේ තිබිය දී ත්, දල වශයෙන් මිලියන පහක භට පිරිසකගෙන් සමන්විත යුද හමුදාවක් අලුතෙන් ම නිර්මානය කර, සාර්ගේ හමුදාව කැඩී විසිර යන තතු යටතේ, රට පුරා පුලුල් ලෙස පැතිර ගිය ව්‍යාකූලත්වය මැද, සියලු තොටුපොලවල් අවහිර කර තිබිය දී, සුදු හමුදාවල් ගනනාවකුත් විදේශීය ආක්රමනික හමුදාවලුත් සමග සටන් කොට අවුරුදු තුනකට අඩු කාලයකින් ජයග්‍රහනය ලබා ගැනීමට ඔහු සමත් විය. කවර ඓතිහාසික මිම්මකින් ගත්තත් එය අසමසම කාර්ය සාධනයකි. ආයතනික ව්‍යාකූලත්වය පැවති තත්ත්වයන්ට මැදිහත් වී වැදගත් ම ව්‍යුහාත්මක තීන්දු දෙක තුනක් හඳුනා ගෙන, විරෝධතාවන් යටපත් කොට, එකී තීන්දු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිපුනතාවෙන් සහිත මිනිසුන් සොයා ගෙන, පෞද්ගලික ජවයේ හා දේශපාලන බලධාරීත්වයේ සවිය මත සමස්ත හමුදාව ම පවත්වා ගෙන යාමට ට්‍රොට්ස්කි සමත් විය. ඔහුගේ සන්නද්ධ දුම්රිය මෙය සංකේතවත් කලේ ය. එම දුම්රිය එකවරම ජංගම හමුදා මූලස්ථානයක්, මුද්‍රනාලයක්, විනිශ්චය සභාවක්, සැපයුම් ගුදමක් හා දේශපාලන බලධාරිත්වයේ උපකරනයක් විය.
බොල්ෂෙවික් පක්ෂය තුල වර්ධනය වෙමින් ආ අරගලය මත අවධානය නාභිගත කල, පොතේ අවසාන පරිච්ඡේද වඩාත් ම විවාදශීලී ඒවා ය. මතක සටහන් ලේඛකයාගේ අතීතය දෙස ආපසු හැරී බලන ශෛලිය, තීරනාත්මක ලෙස යුද බිමේ ක්‍රියාකාරී සටනේ නිරත සේනාධිනායකයකුගේ ශෛලිය බවට මාරු වේ. ට්‍රොට්ස්කි ලියන්නේ ඒ වන විටත් දිග හැරෙමින් පැවති දේශපාලන අරගලය ගැන විස්තර කරන පෙරාතු සය වසරේ සිදුවීම් ගැන ය. එය, 1923 ලෙනින්ගේ අසනීප තත්වයේ අවසන් අදියර සමග ආරම්භ වී 1929 දී ට්‍රොට්ස්කි සෝවියට් සංගමයෙන් නෙරපීමෙන් අවසන් වෙයි. “ඔබ අතින් බලය ගිලිහී ගියේ කෙසේ ද?” යන ප්‍රශ්නයට මෙම පරිච්ඡේද වලදී ට්‍රොට්ස්කි පිලිතුරු දෙයි. ට්‍රොට්ස්කි ගේ කාලයේ දී මෙන් ම අදත් තමන්ගේ දේශපාලනය සම්ප්‍රදායික උපයෝගිතාවාදී (අවස්ථාවට සරිලනවා නම් ඕන ම එකක් කරන දේශපාලනය) රාමුව තුල නිර්වචනය කර ගන්නා අයට, බලය අහිමි වීම පෙනෙන්නේ අත්වැරැදි හා ස්ථානෝචිත හා කාලෝචිත උපාමාරු දැමීමේ අසමත්කම ලෙස ය.
“බලය නැතිවීම “සාක්කු ඔරලෝසුවක් හෝ සාක්කු සටහන් පොතක් නැතිවීම” වැනි දෙයක් නොවේ” යයි ට්‍රොට්ස්කි ලියයි. විශේෂයෙන්ම විප්ලවයක විවිධ අදියරවල දී හෝ කාල පරිච්ඡේදවල දී බලය මාරු වූ ආකාරය විෂ්ලේෂනය කරන විට විවිධ ප්රවනතාවන් හා පුද්ගලයන් ගේ නැගීමට හා බැසීමට හේතු සොයා ගත යුත්තේ විෂයබද්ධ තත්වයන් තුල ය. 1917 රුසියාවේ පන්ති අරගලයේ ප්‍රබල විදාරනය, ලෙනින් හා ට්‍රොට්ස්කි අප්රකටභාවයේ සිට බලයේ කොත් මුදුන දක්වා ඔසොවා තැබුවේ ය. ඔවුන්ගේ දේශපාලන හා පුද්ගලික ජීවිතයේ මෙම විපර්යාසය කොතරම් පුදුමාකාර වේගයකින් සිදු වී ද යත්, බොල්ෂෙවික් කැරැල්ල දා රාත්‍රියේ ලෙනින් “Es schwindelt” (එය හිස කරකැවිල්ල ඇති කරනවා වැනි - dizzy) යයි ට්‍රොට්ස්කිට කීය. ට්‍රොට්ස්කි ගේ බලපෑම් ඇති කිරීමේ හැකියාවේ හා බලයේ පරිහානියට යටින් පැවතියේ ඉහත කී පන්ති අරගලයේ විදාරනයේ ප්රතිවිරුද්ධය වූ ද වඩා දිග්ගැස්සුන දේශපාලන රාජ්‍යවාදී ක්‍රියාවලිය හා සෝවියට් සංගමයේ දේශසීමාවලින් එහා යුරෝපීය කම්කරු පන්තියේ පරාජයන් නිසා ඇති වූ විප්ලවීය උද්වේගයේ පසුබෑම හා එකතැන පල්වීම, නිර්ධන පන්තියේ හුදෙකලා වීම හා හති වැටීම, රාජ්‍යයත් පක්ෂ යන්ත්‍රයත් නිලධාරිවාදී වීම හා 1921 නව ආර්ථික ප්‍රතිපත්තිය සමග ශක්තිමත් වූ සුලු ධනේශ්වර තට්ටුව පක්ෂය තුල බලවත් වීම ආදී කාරනා ය.
ට්‍රොට්ස්කිට හා ජාත්‍යන්තරවාදී නොනවතින විප්ලව න්‍යායට විරුද්ධ අරගලයට ස්ටැලින් විසින් තනි රටේ සමාජවාදය පිලිබඳ ප්රතිගාමී ක්‍රියාමාර්ගය සපයා දීමට පෙර පවා පක්ෂ නායකත්වයේ දේශපාලන මානසිකත්වයේ හා ජීවන රටාවේ පෙනෙන-දැනෙන වෙනසක් ඇති වී තිබුනි. ස්වයං-තෘප්තිමත් බව, නොගැඹුරු බව හා සදාචාරාත්මක පරිහානිය පක්ෂය තුල පැතිර යාම එහි බල තුලනයේ වෙනසක් සංඥා කලේ ය. එක් විශිෂ්ට ඡේදයක දී, දේශපාලන කමිටු සාමාජිකයන් අතර සාමාන්‍ය කතාබහක්, ඔහු කාමරයට ඇතුල්වන විට එක වර ම නතර වන ආකාරය ඔහුගේ අවධානයට ලක් වූ ආකාරය ඔහු සඳහන් කරයි. “මට බලය අහිමි වෙමින් පවතින බවට මෙය නිශ්චිත ඇඟවීමක් වී යයි ඔබට කීමට පුලුවන.” සැබවින් ම ලෙනින්ගේ අභාවය ට්‍රොට්ස්කි හුදෙකලාවීමේ ප්‍රධාන සාධකයක් විය. නායකත්වය දීමේ දී ඔවුන් දෙදෙනා ගේ සහයෝගිත්වය, බල සම්බන්ධතාවල ප්‍රබල විෂයබද්ධ අංගයක් විය. 1926 දී ලෙනින් ගේ භාර්යාව වූ නඩෙස්ඩා කෘප්ස්කායා, ලෙනින් ජීවත් ව සිටියා නම් ඔහු පවා තන්ත්රය විසින් සිරගත කරන්නට ඉඩ තිබුන බව කල්පනා කලා ය.
ට්‍රොට්ස්කිට විරුද්ධ මඩ ප්‍රහාර ව්‍යාපෘතිය දියත් කෙරුනේ මෙම නිලධාරිවාදී ප්රතිගාමීත්වයේ පසුබිම තුල ය. ට්‍රොට්ස්කි “ගම්බද ගොවි ජනතාව අඩුවෙන් තක්සේරු කලේ ය” යන මුසාවාදයෙන් පටන් ගත් මෙම ව්‍යාපෘතියේ ඉලක්කය වූයේ, ට්‍රොට්ස්කි පෞද්ගලික ව කුඩුපට්ටම් කර දැමීමත් ඔක්තෝබර් විප්ලවයේ ක්‍රියාමාර්ගයෙන් හා නොනවතින විප්ලවයේ ඉදිරි දර්ශනයෙන් කැඩී ගැනීම සාධාරනීකරනය කිරීමත් සෝවියට් හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඕනෑ එපාකම් ඉවත් කර ඒ වෙනුවට ස්ටැලින් විසින් නායකත්වය දෙන ජාතිකවාදී නිලධරයේ ඕනෑ එපාකම් පිහිටුවා ගැනීමත් ය.
කොමියුනිස්ට් පක්ෂය තුල ඇවිලුනු අරගලයේ විවිධ අදියරවල් ට්‍රොට්ස්කි විස්තර කරයි. මෙම අරගලය මුලුල්ලේ ම, ස්ටැලින්වාදී තන්ත්රයේ ප්‍රතිපත්ති පිලිබඳව ට්‍රොට්ස්කි හා වාම විරුද්ධ පාර්ශ්වයේ විවේචන, සිදුවීම් විසින් සනාථ විය.
ට්‍රොට්ස්කි සහ ඔහුගේ ආධාරකරුවන් කොමියුනිස්ට් පක්ෂයෙන් ද 1927 දී කොමියුනිස්ට් ජාත්‍යන්තරයෙන් ද නෙරපා හැරීම සහ ට්‍රොට්ස්කි 1928 දී අල්මා අටාවට ද අවසානයේ 1929 දී සෝවියට් සංගමයෙන් ද නෙරපා හැරීම මගින් කූටප්රාප්තියට පත් කල මර්දනය හැර, විවේචන වලට පිලිතුරු දීමේ වෙනත් ක්‍රමයක් ස්ටැලින්ට තිබුනේ නැත.
ට්‍රොට්ස්කි තම චරිතාපදානය අවසන් කරන්නේ “වීසාවක් නැති ග්‍රහ ලෝකය” නමැති පරිච්ඡේදයෙනි. ඔහු සෝවියට් සංගමයෙන් නෙරපා හැරි විට බටහිර යුරෝපීය රටකට ඇතුල් වීමේ අයිතිය ලබා ගැනීමට ට්‍රොට්ස්කි උත්සාහ කලේ ය.
ට්‍රොට්ස්කිට ජර්මනියේ දේශපාලන සරනාගත භාවය ලබා දෙන බවට ජර්මන් රයිෂ්ටාගයේ සභාපති කල ප්‍රකාශයට පසු ට්‍රොට්ස්කි ජර්මන් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කලේය. ආන්ඩුව වහා ම රයිෂ්ටාගයේ සභාපති ගේ ප්‍රකාශය නිශේධ කලේය. ට්‍රොට්ස්කිට ජර්මනියේ දොර විවෘත නොවේ. එ සේ ම බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා නෝර්වේ ද ඔහුගේ වීසා අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කලේ ය. “සරනාගත අයිතිය පිලිබඳ බටහිර යුරෝපීය ප්රජාතන්ත්රවාදී රාජ්‍ය ලැයිස්තුවේ නම් කියවීම මට මිනිත්තු කීපයකට වඩා හාස්‍යය සැපයී ය. එය හරියට, ප්රජාතන්ත්රවාදී මූලධර්ම යන තේමාව යටතේ රඟ දක්වන සමස්ත යුරෝපීය ඒකාංක ප්‍රහසන නාට්‍යයක් නරඹන්නා වැන්න.”
බලය අහිමි වීමේ තත්වයට හැඩ ගැසීමට ට්‍රොට්ස්කි සමත් වූයේ කෙසේදැයි දැන ගැනීමට වුවමනා වූ අයට ඔහු මෙසේ පිලිතුරු දුන්නේය : “මම ඓතිහාසික ක්‍රියාවලීන් පුද්ගලයන්ගේ ඉරනම් මනින මිම්මෙන් මනින්නේ නැහැ. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස, මම මගේ ඉරනම, එය සමාජ සංවර්ධනයේ ක්‍රියාදාමය සමග ලිහිය නොහැකි ලෙස ගැටගැසී තිබෙන ආකාරය වෛෂයික ව තක්සේරු කර ගෙන, එය ආත්මීය ව විඳිනවා...” ඔහු සිය ජීවිතය ශෝඛාන්ත නාටකයක් ලෙස දුටුවේ නැත. ඒ වෙනුවට, “මම විප්ලවයේ පරිච්ඡේද දෙකේ වෙනස දැන හඳුනමි...”
එහෙත් විප්ලවයමත් කුමක් ද? එය සාධාරන එකක් ද? ට්‍රොට්ස්කි පහත දැක්වෙන තක්සේරුව සපයා දෙයි :
“රුසියාවේ කම්කරු පන්තිය බොල්ෂෙවික් වරුන්ගේ නායකත්වය යටතේ, මනුෂ්‍ය වර්ගයාට කලින් කලට එන මේ උන්මත්තක ආක්ෂේපයන් තුලින් ගමන් කිරීමට සිදු නොවන අයුරින්, වඩා ඉහල සංස්කෘතියකට පදනම දමන්නා වූ, ජීවිතය අලුතෙන් ගොඩ නැගීමකට උත්සාහයක් දැරූහ. ඔක්තෝබර් විප්ලවයේ අර්ථය එයයි. නිසැකයෙන් ම, විසඳීමට බාරගත් ගැටලුව තවමත් විසඳී නැත. එය මුඛ්‍යාර්ථයෙන් ම, විසඳීමට දශක ගනනාවක් අවශ්‍ය වන්නා වූ ගැටලුවකි. එ පමනක් නොව, ඔක්තෝබර් විප්ලවය සමස්ත මානව සංහතියේ ම නව ඉතිහාසයක ආරම්භක ලක්ෂය ලෙස සැලකිය යුතුය…”
මගේ ජීවිතය ජර්මන් මුද්‍රනය ප්‍රකාශයට පත් වූයේ ට්‍රොට්ස්කි ගේ 50 වන ජන්ම දිනය යෙදුනු මාසයේ දී ම ය. 1917 බොල්ෂෙවික් විප්ලවයේ ප්‍රධාන නායකයකු හැටියටත් රතු හමුදාවේ නිර්මාතෘ හැටියටත් සිවිල් යුද්ධයේ ජයග්‍රහනය සංවිධානය කල පුද්ගලයා හැටියටත් ඔහුගේ කාර්ය භාරය කොතරම් අනුස්මරනීය වුව ද ලේඛකයා සහ විප්ලවවාදියා හැටියට ට්‍රොට්ස්කි ගේ ශ්‍රේෂ්ඨතම කාර්ය භාරය තිබුනේ තව ඉදිරියට ය. තුර්කියේ බියුකාඩාවේ ගත කල සිවු වසර තුල ඔහු රුසියානු විප්ලවයේ ඉතිහාසය ලියා අවසන් කලා පමනක් නොව ජර්මනියේ ෆැසිස්ට්වාදයේ නැගීම සමග මතු වූ තර්ජනය, අසමසම දූරදර්ශී භාවයකින් විෂ්ලේෂනය කල දේශපාලන ලිපි මාලාවක් ද ලිවී ය. ජර්මනියේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කේපීඩීය) සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් ඉදිරිපත් කල “සමාජ ෆැසිස්ට්වාදය” නම් අති-වාමවාදී ප්‍රතිපත්තිය කර්කෂ විවේචනයට ලක් කලේ ය.
ස්ටැලින්වාදීන්ගේ අන්ත විනාශකාරී ප්‍රතිපත්තියේ ප්‍රතිඵල වශයෙන් 1933 දී හිට්ලර් බලයට පත් වූ පසු, ට්‍රොට්ස්කි හතර වෙනි ජාත්‍යන්තරය ගොඩනැගීම සඳහා කැඳවුම නිකුත් කලේ ය. 1933 ජුලි මාසයේ දී, ප්‍රංශයට ඇතුල් වීමට අවසානයේ දී ට්‍රොට්ස්කි අවසර ලබා ගත් නමුත් 1935 දී ඉන් පිටවීමට ඔහුට බල කෙරින. පසුව නෝර්වේ රටේ ආන්ඩුව ට්‍රොට්ස්කි ට රටට ඇතුල්වීමට අවසර දුන්නේය. 1936 අගෝස්තු මාසය මුල දී, අද දක්වා ම සෝවියට් කම්කරු රාජ්‍යයේ පරිහානිය හා ස්ටැලින්වාදී තන්ත්රයේ ප්‍රති- විප්ලවවාදී ස්වභාවය පිලිබඳ ශ්‍රේෂ්ඨතම විශ්ලේෂනය හැටියට පවතින ‘පාවා දුන් විප්ලවය’ (The Revolution Betrayed) ලියා අවසන් කලේ ය.
මෙම විශ්ලේෂනය, කම්කරු රාජ්‍යයේ ඉදිරි පැවැත්ම සඳහා සෝවියට් නිලධරය පෙරලා දමා දේශපාලන විප්ලවයක් තුලින් කම්කරු ප්රජාතන්ත්රවාදය යලි පිහිටුවීම අවශ්‍ය බව ස්ථාපිත කලේ ය. ට්‍රොට්ස්කි නිලධර තන්ත්රය හෙලා දැක සති කීපයක් තුල එහි නිරවද්‍යභාවය තහවුරු කරමින්, ත්‍රස්ත සමය හා බොල්ෂෙවික් වරුන්ගේ සමස්ත කේඩරය ම පාහේත් කම්කරු පන්තියේ සමාජවාදී නායකයනුත් සමාජවාදී බුද්ධිමතුන් අතරින් වඩාත් ම වැඩි දියුනු නියෝජිතයනුත් සංහාරය කිරීමේ ආරම්භය සටහන් කල මොස්කව් හොර නඩු තුනෙන් පලමු වැන්න ආරම්භ විය.
ස්ටැලින්වාදී තන්ත්රයේ පීඩනය යටතේ නෝර්වේ රටේ සමාජ ප්රජාතන්ත්රවාදී ආන්ඩුව, ට්‍රොට්ස්කි ෆැසිස්ට් ඒජන්තයෙකැයි මොස්කව් නුවරින් නිකුත් වූ අමූලික මුසාවන්ට පිලිතුරු දීමට නොහැකි වන ලෙස ට්‍රොට්ස්කි හුදෙකලා සිර භාරයේ තැබීය.
දෙසැම්බරයේ දී මෙක්සිකෝවේ ජනාධිපති ලසාරෝ කාඩේනාස්ගේ ආන්ඩුව ට්‍රොට්ස්කිට සරනාගතභාවය පිරිනැමීය. ට්‍රොට්ස්කි සහ නටාලියා සෙඩෝවා 1937 ජනවාරි 9 වනදා මෙක්සිකෝවට ලඟා වූහ. ඔහු වහා ම මොස්කව් හොරනඩු ප්‍රසිද්ධියේ හෙලා දකිමින් ඒවා ගැන “ප්‍රති-නඩු විභාගයක්” ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කලේ ය. ජනවාරි 30 දා ඉංග්‍රිසි භාෂාවෙන් ට්‍රොට්ස්කි පැවැත් වූ, චිත්‍රපටයක සංරක්ෂනය වී තිබෙන කථාවක දී, මෙසේ කීය :
“මට විරුද්ධ ව ස්ටැලින් ගේ නඩුව ගොඩනගා ඇත්තේ පාලක කල්ලියේ අවශ්‍යතාව සඳහා නවීන ත ම වධ දීමේ ක්‍රම පාවිච්චි කරමින් බලෙන් ලබාගත් අසත්‍ය පාපොච්චාරන මත ය. චේතනාව අතින් ද ක්‍රියාවට නැගීම අතින් ද සිනොවියෙව්-කමනෙව්ට හා රඩෙක්-පියාටකොව්ට එරෙහි මොස්කව් නඩු විභාගය තරම් දුෂ්ට අපරාධයක් ඉතිහාසයේ නැත... ඒවාට උපත දුන්නේ කොමියුනිස්ට් වාදය නොවේ; සමාජවාදය නොවේ; ස්ටැලින්වාදය යි. එනම් ජනතාව මත පැටවුන නිලධරයේ වගවීමෙන් තොර ආඥාදායකත්වය යි.”
“දැන් මගේ ප්‍රධාන කාර්යය කුමක් ද? සත්‍යය හෙලිදරව් කිරීමයි. සැබෑ අපරාධකරුවන් සැඟ වී සිටින්නේ චෝදකයන්ගේ ලෝගු අස්සේ බව පෙන්වා දීම හා ඔප්පු කිරීමයි.”
“නාසි ගෙස්ටාපෝවේ මට්ටමට වැටී ඇති ස්ටැලින්ගේ පොලීසිය ජීපීයූව විසින් නිර්මානය කර තිබෙන මුලා කිරීම්, බොරු චෝදනා ඇටවීම්, ඉතිහාසය විකෘති කිරීම්, මඩ ගැසීම් ආදී විෂබීජ තුරන් කොට වාතය පිරිසිදු කිරීම සඳහා ප්‍රති-නඩු විභාගයක් අවශ් ය...” බව ට්‍රොට්ස්කි ප්‍රකාශ කලේය: [9]
ඇමරිකානු දර්ශනවාදියකු වූ ජෝන් ඩුවී ගේ සභාපතිත්වයෙන් පරීක්ෂන කොමිසමක් පිහිටුවන ලදී. ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියකු වූ දියෝගෝ රිවේරාට අයත් කොයෝවාකාන් හි නිවසක වාසය කල ට්‍රොට්ස්කි ගෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා කොමිසම කොයෝවාකාන් වලට පැමිනියේ ය. අප්‍රේල් 10 වෙනි දා සිට 17 වෙනි දා දක්වා පැවැති සාක්ෂි විභාගයේ දී ට්‍රොට්ස්කි කොමිසමේ සාමාජිකයන් විසින් ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් තම සමස්ත දේශපාලන ජීවිතය ම ආවරනය කලේ ය.
ඉංග්‍රීසි භාෂාවෙන් කල ඔහුගේ අවසාන ප්‍රකාශයේ දී ඔහු මෙසේ පැවසී ය :
“සාර්ථකත්වයන් හා අසාර්ථකත්වයන් ගෙන් අඩුවක් නැති මගේ ජීවිතයේ අත්දැකීම්, මානව වර්ගයාගේ දීප්තිමත්, නිර්මල, සුපැහැදිලි අනාගතය ගැන මගේ විශ්වාසය අහෝසි නොකලා පමනක් නොව, ඊට ප්‍රති විරුද්ධ ලෙස විනාශ කල නොහැකි ගති සොබාවක් ලබා දුන්නේ ය. වයස දහ අටක තරුනයකු ලෙස රුසියාවේ ප්‍රාන්ත නගරයක් වූ නිකොලායෙව් හි කම්කරු නිවාසවලට මා රැගෙන ගිය තර්ක බුද්ධිය, සත්‍යය හා මිනිසුන් අතර සහයෝගීතාව ආදිය පිලිබඳ මගේ විශ්වාසය අදත් එ ලෙස ම නොනැසී සංරක්ෂනය වී පවතී…”[10]
ට්‍රොට්ස්කි ගේ සාක්ෂි පිලිබඳ දීර්ඝ විමර්ශනයකට ද ලියවිලි අති විශාල සංඛ්‍යාවක් හා මොස්කව් නඩු විභාග වල පිටපත් පරීක්ෂා කිරීමට ද පසු ව 1937 දෙසැම්බරයේ දී කොමිසම තම අවසන් වාර්තාව නිකුත් කලේ ය. එය ට්‍රොට්ස්කි “නිවැරදිකරු” බවත් මොස්කව් නඩු විභාග බොරු චෝදනා මත ඇට වූ “හොර නඩු” බවත් තීන්දු කලේ ය.
ඩුවී කොමිසමේ (පරීක්ෂන කොමිසම පුලුල් ලෙස හැඳින්වුන පරිදි) වාර්තාව තිබිය දී ත් බොහෝ ලිබරල් බුද්ධිමතුන් මොස්කව් නඩුවල නෛතිකභාවය ගැන විශ්වාසය දිගට ම පල කලහ. එය “මහජන පෙරමුනු” දේශපාලනයේ යුගය, එනම් ලිබරලුන් සෝවියට් රහස් පොලීසිය වූ ජීපීයූව සමග සන්ධාන ගත වූ යුගය විය. යුරෝපයේ හා ඇමරිකාවේ ධනපති ආන්ඩුවලට ස්ටැලින්වාදීන්ගේ සහයෝගය ලබා දීම වෙනුවෙන් හුවමාරුවට සෝවියට් තන්ත්රය විසින් විප්ලවවාදීන් ඝාතනය කිරීමට මධ්‍යම පන්තික ලිබරල් බුද්ධිමතුන් ගේ සහයෝගය ලැබුනි.
හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම සඳහා ට්‍රොට්ස්කි සූදානම් වෙද්දී ස්ටැලින් තන්ත්රය එහි නායකත්වයට එරෙහි ප්රචන්ඩ ප්‍රහාරයක් දියත් කලේ ය. 1937 ජුලි මාසයේ දී ට්‍රොට්ස්කි සමග නෝර්වේ රටේ දී සමීප සහයෝගයෙන් වැඩකල අර්වින් වුල්ෆ් ජීපීයූව විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කරන ලදී. ඊට මාස දෙකකට පසු ජීපීයූවෙන් කැඩී ගොස් හතරවන ජාත්‍යන්තරය සමග සහයෝගිතාව ප්‍රකාශ කල ඉග්නස් රීස් ස්විට්සර්ලන්තයේ දී ඝාතනය කරන ලදී. 1938 පෙබරවාරියේ දී ට්‍රොට්ස්කි ගේ පුත්‍රයා සහ සමීපතම දේශපාලන හවුල්කරුවා වූ ලියොන් සෙඩොව් පැරිසියේ දී ඝාතනය කරන ලදී. 1938 ජුලි මාසයේ දී හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනය පැවැත්වීමට යම්තම් මාස දෙකක් තිබිය දී එහි ලේකම් වූ රුඩොල්ෆ් ක්ලෙමන්ට් පැරිසියේ දී ඝාතනය කරන ලදී.
එම සියලු ඛේදජනක සිදුවීම් මධ්‍යයේ ට්‍රොට්ස්කි තම ජීවිතයේ වැදගත් ම කාර්යය ලෙස ඔහු සැලකූ කාර්යය — එනම් මාක්ස්වාදයේ දේශපාලන ක්‍රියාමාර්ගය ආරක්ෂා කිරීමත් කම්කරුවන් හා තරුනයන් අලුත් පරම්පරාව තුල සමාජවාදයේ පැවැත්ම සහතික කරලීමත් — පිලිබඳ කටයුතු දිගට ම කර ගෙන ගියේ ය. 1930 ගනන්වල අවසානය වන විට ලෝක සමාජවාදී විප්ලවයේ ධජය ඔසොවා සිටීමට හා ඉදිරියට ගෙන යාමට වෙන කිසිවෙක් ඉතිරි ව සිටියේ නැත. 1935 මාර්තු 25 වන දින ඔහු තම දිනපොතේ සටහනක, 1917 නැගිටීම හා පසු ව එලඹි සිවිල් යුද්ධය තුල තම කාර්ය භාරය නිසැක ව ම වැදගත් වූ නමුත් “නැතුවම බැරි එකක් නොවූ” බව ලිවී ය. එම තක්සේරුව සමග එකඟ නොවීමට මේ ලිපියේ ලේඛකයා නැඹුරු වෙයි. බලය අල්ලා ගැනීම හා සිවිල් යුද්ධයේ ජයග්‍රහනය තුල ට්‍රොට්ස්කි ගේ කාර්යභාරය තීරනාත්මක වූ බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ. එම කරුන ඓතිහාසික විවාදයක් සඳහා විවෘත වුවත් මාක්ස්වාදය හා සමාජවාදයේ අනාගතය ආරක්ෂා කිරීම සඳහා 1930 ගනන්වල ඔහු ඉෂ්ට කල වැඩ කොටස පිලිබඳ ඔහුගේ තක්සේරුව සම්පූර්නයෙන් ම සාධාරන ය.
“නමුත් දැන් මා විසින් ඉටුකල යුතු ව තිබෙන කාර්යය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘නැතුව ම බැරි’ එකක් වී තිබේ. මේ ප්‍රකාශයේ කිසිම උද්ධච්ච භාවයක් නැත. පූර්වයෙන් වූ ජාත්‍යන්තරයන් දෙකේ බිඳ වැටීම ඒවායේ නායකයන්ට විසඳීමට කිසිත් ධාරිතාවක් නොවූ ගැටලු ඉදිරිපත් කලේ ය. මගේ පුද්ගලික ජීවිතයේ නැගීම් හා බැසීම් මේ ප්‍රශ්නයට මා මුනගැස් වූ අතර එම වැදගත් අත්දැකීම් ඒවා විසඳීම සඳහා මා සන්නද්ධ කලේ ය. මා හැර, දෙ වන හා තුන් වන ජාත්‍යන්තරවල නායකයන්ගේ හිස්වලට ඉහලින් අලුත් පරම්පරාවක් විප්ලවවාදී විධික්‍රමයෙන් සන්නද්ධ කිරීමේ කාර්යය කල හැකි වෙනත් කිසිවකු නැත. එ සේ ම ‘නරක ම පාපය, වයස 55 ඉක්මවා ජීවත් වීමය’ යන ලෙනින්ගේ අදහස සමග (නොඑසේ නම් ටර්ගනීෆ් [රුසියානු ලේඛක, 1818-1883] ගේ අදහස සමග) සම්පූර්නයෙන්ම එකඟ වෙමි ! අඛන්ඩතාව සහතික කිරීම සඳහා මට අඩු ගනනේ තව අවුරුදු පහක්වත් නොකඩවා වැඩ කිරීම අවශ්‍යය…”[11]
ට්‍රොට්ස්කිට හරියට ම තිබුනේ තවත් අවුරුදු පහක් පමනි. ස්ටැලින්වාදී ඝාතකයකු විසින් එල්ල කල ප්‍රහාරයකින් සිදුවූ තුවාලවලින් 1940 අගෝස්තු 21 වනදා ඔහු මිය ගියේ ය. මෙම අපරාධය, ඔක්තෝබර් විප්ලවයේ ඉතිරි ව සිටි එක ම නායකයාත් සම්භාව්‍ය මාක්ස්වාදී ක්‍රියාමාර්ගයේ සහ සම්ප්රදායේ ශ්‍රේෂ්ඨත ම නියෝජිතයාත් ජාත්‍යන්තර කම්කරු පන්තියට අහිමි කලේ ය. දේශපාලන උත්කෘෂ්ට බුද්ධි ප්‍රභාව නැතත් අත්දැකීම් හා පලපුරුද්ද අතින්වත් ඔහුට සමකල හැක්කෙක් ජීවතුන් අතර නොවීය. නමුත් ජීවිතයේ අවසාන වර්ෂවල ඔහු ඉෂ්ට කල කාර්යභාරය මාක්ස්වාදී ව්‍යාපාරය අභාවයට යාමෙන් බේරා ගත්තේ ය. ස්වයං-චරිතාපදානය ලියා නිම කල දින සිට 1940 අගෝස්තුවේ ඔහුගේ ඝාතනය අතර කාල පරිච්ඡේදයේ දී ඔහු හතරවන ජාත්‍යන්තරය නිර්මානය කර වර්තමාන යුගයේ සමාජවාදී ව්‍යාපාරයේ මූලික කර්තවයන් නිර්වචනය කලේ ය.
ලෙනින්ට වඩා වර්ෂ 16 ක් ජීවත් වූ ට්‍රොට්ස්කි, විසිවන සියවස පුරාවටත් විසි එක්වන සියවස තුලටත් පන්ති අරගලයේ ගමන්මග තීරනය කරන දැවැන්ත දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කලේ ය, ඒවාට ප්‍රතික්‍රියා කලේ ය. ඒවා පෙර දැකීමට පවා සමත් විය.
සෝවියට් සංගමයේ පරිහානිය, ෆැසිස්ට් වාදයේ නැගීම, ධනපති ප්රජාතන්ත්රවාදයේ කුනු වීම, යටත් විජිත හා අර්ධ යටත් විජිත රටවල ධනපති ජාතිකවාදී ව්‍යාපාරවල ද්‍රෝහිත්වය, ලෝක ආධිපත්‍යයේ මට්ටමට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නැගීම සහ අවසානයේ දෙවන ලෝක යුද්ධය පුපුරා යාම ආදිය දැකීමට ප්‍රමානවත් තරම් කාලයක් ඔහු ජීවත් විය. අවසනට සඳහන් කල සිද්ධිය, එනම්, “ගෝලීය ධනවාදයේ සහ ජාතික රාජ්‍ය පද්ධතියේ ප්රතිවිරෝධතාවන්ට දැක්විය හැකි එක ම සාධනීය මූලෝපායික ප්‍රතිචාරය වන්නේ ලෝක සමාජවාදී විප්ලවයයි” යන නොනවතින විප්ලව න්‍යායේ කේන්ද්‍රීය තර්කය ඔප්පු කලේ ය.
මනුෂ්‍ය සංහතියේ පැවැත්ම රඳා පවතින මෙම ඓතිහාසික ව අවශ්‍ය වන කර්තව්‍යය සඳහා කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය පිලිබඳ අර්බුදය විසඳිය යුතු වේ. සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරය, පිහිටුවන ලද්දේ එම කාර්යය ඉෂ්ට කිරීම සඳහා ය. යුද්ධයේ ප්‍රතිපලය කුමක් වුවත් දිග්ගැස්සුන විප්ලවීය හා ප්රතිවිප්ලවීය කැලඹීම් වලින් සමන්විත කාල පරිච්ඡේදයක් ඉදිරියට එනු ඇතැයි ට්‍රොට්ස්කි අපේක්ෂා කලේ ය. විස්මයජනක පූර්වඥානයක් හා සුධීමත්භාවයක් ප්‍රදර්ශනය කරමින් 1940 මැයි මාසයේ දී ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය:
“ධනේශ්වර ලෝකයට දීර්ඝකාලීන මර ලතෝනිය හැර වෙනත් එලියට ඒමට මාවතක් නැත. අවුරුදු ගනන් නැත්නම් දශක ගනන් පවතින යුද්ධ, මහජන නැගිටීම්, කෙටි සාම කාලවල්, ආදිය සඳහා අප සූදානම් විය යුතු ය. තරුන විප්ලවවාදී පක්ෂය මෙම ඉදිරි දර්ශනය සඳහා පදනම් විය යුතු ය. එයට තමන්ගේ කටයුතු පරීක්ෂනයට ලක් කිරීමටත් අත්දැකීම් සමුච්චනය කර ගැනීමටත් මේරූ දේශපාලන පක්ෂයක් බවට පත් වීමටත් ඉතිහාසය විසින් උවමනා තරම් අවස්ථා ලබා දෙනු ඇත. පෙරමුනු බල ඇනියේ භට පිරිස් බද්ධ වී සවිමත් වීම ඉක්මන් වූ තරමට ලේ වැකි කැලඹීම් පවතින කාලය කෙටි වනු ඇත; අපේ ග්‍රහලෝකයට විඳින්නට සිදුවන හානිය අඩු වනු ඇත. නමුත්, නිර්ධන පන්තියේ නායකත්වයට විප්ලවවාදී පක්ෂයක් පත් වන තුරු දැවැන්ත ඓතිහාසික ගැටලුව නොවිසඳෙනු ඇත. සිද්ධීන් වර්ධනය වන වේගය, ලය මානය සහ කාල පරාසයන් ආදිය විශාල වැදගත් කමක් දැරුවත් ඒවා අපේ පොදු ඓතිහාසික ඉදිරි දර්ශනයවත් අපේ ප්රතිපත්තිවල දිසානතියවත් වෙනස් කරන්නේ නැත. නිගමනය සරල එකකි. නිර්ධන පන්තියේ පෙරමුනු බල ඇනියට අධ්‍යාපනය ලබා දීම හා එය සංවිධානය කිරීමේ ආයාසයන් දස ගුනයකින් වැඩි ජවයකින් සිදු කල යුතු ය. හතරවන ජාත්‍යන්තරයේ කාර්යය හරියට ම එයයි…”[12]
86 වසරකට පෙර ලියන ලද මෙම ඉදිරි දර්ශනය එදාටත් වඩා බලගතු ආකාරයෙන් වර්තමාන ලෝකයට අදාල වේ. විසි වන සියවසේ ඉතිහාසය තුල යෝධ චරිතයක් වූ ට්‍රොට්ස්කි 21 වන සියවසේ දේශපාලනය තුල ද දැවැන්තයකු ලෙස පෙනී සිටින්නේ ඒ හේතුව නිසා ය. වර්තමාන ලෝකයේ කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය හැටියට, මාක්ස්වාදයේ න්‍යාය ද (නොනවතින විප්ලවය) මූලෝපාය ද (ලෝක සමාජවාදී විප්ලවය) සංවිධානය ද (හතරවන ජාත්‍යන්තරය) ඔහුගේ නාමය සමග, බැඳී පවතී. ට්‍රොට්ස්කිවාදය විසිඑක්වන සියවසේ මාක්ස්වාදය යි.
ට්‍රොට්ස්කි සහ ට්‍රොට්ස්කිවාදයේ අවතාරය පාලක ප්රභූවේ ද ඔවුන් පසුපස ගාටන මාධ්‍යවේදීන්ගේ හා ශාස්ත්රාලිකයකයන්ගේ ද සිත් තුල හොල්මන් කරයි. ඔවුන් කිසි දා ඔක්තෝබර් විප්ලවය අමතක නොකරනු ඇත; ඊට නායකත්වය දීම ගැන ට්‍රොට්ස්කිට කිසිදා සමාව නොදෙනු ඇත.
ට්‍රොට්ස්කිගේ ජීවිතය හෙලා දකින, හෑල්ලුවට ලක් කරන, මදි පුංචි කරන, සහ මුසාකරනය කරන චරිතාපදානයන් අද ප්‍රකාශන ව්‍යාපාරිකයන්ගේ ප්‍රධාන වෙලඳ භාන්ඩයක් වී ඇත. රොබට් සර්විස්, ඉයන් තැචර් හා ජෙෆ්රි ස්වේන් යන බ්‍රිතාන්‍ය මහාචාර්ය වරුන්ගේ කෘති මෙම ශානරය ආදර්ශනය කරයි. “ජනමතය ගැඹුරට ම ස්පර්ශ කල විට, ඉඳහිට යමෙක් පුදුම කරවන දෙය වන්නේ මනුෂ්‍යයාට බොරු කීමට ඇති ධාරිතාවයි” යන ට්‍රොට්ස්කිගේ ප්‍රකාශය මේ පොත් නිසා සාධාරනීකරනය වේ. මෙම කාර්යයේ දී සර්විස් හා තැචර් සුවිශේෂී නිපුනතාවක්, —එය විලිලැජ්ජා නැතිකමක් යයි යමෙකුට කිව හැකි ය— ප්‍රදර්ශනය කරති. සර්විස්, ට්‍රොට්ස්කි ගේ යුදෙව් සම්භවය අවධාරනය කිරීම සඳහා ඔහුගේ නම ලෙව් වෙනුවට ලීබා යනුවෙන් වෙනස් කරයි. තැචර් ද ඒ හේතුව නිසා ම ට්‍රොට්ස්කි ගේ පෙලපත් නාමය අවුස්සයි. ඔහු නැවත නැවතත් ට්‍රොට්ස්කි “බ්‍රොන්ස්ටීන්” යන නමින් එනම්, ඔහු ලෝක-ප්‍රසිද්ධ වූ ට්‍රොට්ස්කි යන දේශපාලන ආරූඪ නාමය පාවිච්චි කිරීමට 1902 දී පටන්ගත් පසු කිසිදා පාවිච්චි නොකල නමින් හඳුන්වයි. තැචර් ද, බ්‍රොන්ස්ටීන් යන පෙලපත් නාමය ට්‍රොට්ස්කි එක් පිටුවහල් රටක සිට තවත් එකකට මාරු වන සෑම අවස්ථාවක දී ම පාවිච්චි කරයි: “බලව, අයාලේ යන යුදෙව්වා...!” ඔහුගේ මෙම සාහිත්‍යමය මඩ ගැසීමට ආවේශය ලබාගත්තේ අනිකෙකුගෙන් නොව පිටුවහල් කරනු ලැබූ විප්ලවවාදියා ගැන “ලියොන් ට්‍රොට්ස්කි, නොහොත් බ්‍රොන්ස්ටීන්” යන මාතෘකාවෙන් රචනාවක් ලියූ කලින් ද සඳහන් කල වින්ස්ටන් චර්චිල් ගෙනි.
ට්‍රොට්ස්කි ගේ බලය අහිමි වීමට ප්‍රධාන හේතුව ඔහු වෙත තිබුනා යයි කියන, පක්ෂ නායකත්වයේ සහෝදරවරුන් දෙස පවා උපහාසාත්මක පිලිකුලෙන් බලන බුද්ධිමය උද්ධච්චභාවය යයි ද ඔහුගේ පෞරුෂය ඉතාම දෝෂ සහගත හා අප්‍රියජනක එකක් වී යයි හුවා දැක්වීමට ගන්නා උත්සාහය ඔහු අපකීර්තියට පත් කිරීමේ ප්‍රධාන තේමාවක් විය. සියලු ට්‍රොට්ස්කි චරිතාපදානවල ඔහුට පහර දීම සඳහා නිතර ම ප්‍රචාරය කරන කතාවක් නම්, පක්ෂ රැස්වීම් වල දී පක්ෂයේ එදිනෙදා දෛනික කටයුතු ගැන වගේ වගක් නැති ව, ප්‍රංශ නවකතා පොතක් දිග හැර ගෙන එහි ගැලී සිටියා යයි කියන කතාවයි.
එම කතාව විසින් නිර්මානය කරන නාටකාකාර චිත්‍රය දෙස බලන්න: පක්ෂ නායකයෝ මේසයක් වටා වාඩි වී න්‍යාය පත්‍රය අනුව බැරෑරුම් ලෙස ශීර්ෂයෙන් ශීර්ෂයට කරුනු සාකච්ඡා කරති. නමුත් ට්‍රොට්ස්කි? ඔහු පැත්තකට වී පොතක් තුල — එයත් ප්‍රංශ නවකතාවකි, රුසියානු එකක් නොවේ— කතා කරන වියලි දේවල්වලින් වෙහෙසට පත් ලීලාවෙන් මුහුන ඔබා ගෙන සිටී. කවර සංස්කෘතිකමය උද්ධච්චභාවය ප්‍රදර්ශනය කිරීමක්ද? වෛරය ජනිත කිරීම සඳහා මීට වඩා වෙනත් හොඳ ක්‍රමයක් තිබේද? මෙම ප්‍රබන්ධ කතාවේ එක් ගැටලුවක් තිබේ: එය මුලින්ම ප්‍රචාරය කරන ලද්දේ ඔහුගේ ප්‍රතිවාදී සතුරන් විසිනි. ට්‍රොට්ස්කි දේශපාලන කමිටු රැස්වීම්වල දී සම්මත පටිපාටිය උල්ලංඝනය කල බවට හෝ ප්‍රංශ නවකතාව පිලිබඳ කතාව හෝ කිසිවෙකු විසින් නැවත කී බවට එකදු සාක්ෂියක් හෝ ඔප්පු කල හැකි ලිඛිත සාක්ෂියක් වත් නැත.
එම කතාව නැවත නැවත කීමට පූර්වාදර්ශය වූ මුල්ම වාර්තාව එහි අභූත ස්වභාවය පිලිගනී. මුල්වරට 1959 දී ප්‍රකාශයට පත්කල අයිසැක් ඩොයිෂ්චර් ගේ ට්‍රොට්ස්කි චරිතාපදානයේ දෙවන වෙලුම වූ “ප්‍රොෆට් අන්ආම්ඩ්” (නිරායුද අනාගත වක්තෘ) හි තමන් මොස්කව් නුවරට ගිය ගමනක දී එය අසන්නට ලැබුනු බව ඔහු කියයි. වහාම කතාවේ සත්‍යාසත්‍යතාව පිලිබඳ සැක පහල කරමින් තමන්ට එය කීවේ කවුදැයි ඔහු නොකියයි. “කතාව ප්‍රබන්ධයක් වුවත් එය හොඳින් ගෙතූ ප්රබන්ධයකි, මන්ද යත්, එය පුද්ගලයාගේ මනෝභාවය පිලිබඳව යමක් කියන බැවිනි... ”[13]
පසුව එම කතාව නැවත නැවතත් උපුටා දැක් වූ බොහෝ වාරවල දී ඩොයිෂ්චර් ගේ වියාචනය (තමන් එය කෙලින්ම නොකියන බව-disclaimer) නොතකා හරිනු ලැබේ. ඩොයිෂ්චර් ගේ “හොඳ ප්‍රබන්ධය” අවිවාදාත්මක ඓතිහාසික සත්‍යයක් බවට ද පිලිතුරු බැඳීමට ඉඩක් නැති අධි චෝදනාවක් බවටද පත් වේ. කතාවේ තිබෙන වක්‍රෝත්තිය හා නොගැලපෙනකම් නිශ්ශබ්ද ව නොසලකා හරිනු ලැබේ. විටෙක දී ට්‍රොට්ස්කි ගේ නොහික්මුනු හැසිරීම මධ්‍යම කාරක සභා රැස්වීමකට මාරු කෙරේ. තවත් විටෙක එය සිදු වන්නේ වඩා කුඩා සහ පුද්ගල සම්බන්ධතා වඩා සමීප දේශපාලන කමිටුවේ දී ය. අවුලක් නැත. “හොඳ ප්‍රබන්ධය” එයට නියමිත වැඩ කොටස ඉටුකර අවසාන ය. කතාවේ හැටියට, පලමුවෙන් ම, ට්‍රොට්ස්කි තමුන්ගේ ම වල සියතින් ම කපා ගනී. දෙවනු ව, එය ට්‍රොට්ස්කි ගේ ඉහල සංස්කෘතික මට්ටම හා ජාත්‍යන්තරවාදය ඔහුට ම එරෙහි ව පිහිටුවයි. ප්‍රංශ නවකතාවක් වෙනුවට රුසියානු නවකතාවක් ඔහුගේ අතේ තැබුවා නම්, එම ප්‍රතිඵලය ම ලැබේ ද? තෙවනුව එය, ට්‍රොට්ස්කි මගේ ජීවිතය කෘතියේ විස්තර කරන, ඔහුට බලය අහිමි වීමට හේතු පාදක වූ දේශපාලන කරුනු වලින් අවධානය ඉවතට යොමු කරයි.
අවසාන විග්රහයේ දී ට්‍රොට්ස්කි ට එරෙහි ව එල්ල කරන ලද මුසාවාදයන් සමාජවාදය අපකීර්තියට පත් කිරීම සඳහා, එනම් ධනපති ක්‍රමයට විකල්පයක් තිබේ ය යන විය හැකියාවට ම පහර දීම ඉලක්ක කරගත් ඒවා ය. ට්‍රොට්ස්කි ගේ ජීවිතය සහ දේශපාලන සංකල්ප, සෝවියට් රාජ්‍යයේ පරිහානිය අනිවාර්යයෙන් ම සිදු වීමට තිබුනු එකක් නොවන බව ද ස්ටැලින්වාදය වනාහි සමාජවාදය ප්රතිගාමී ව ප්‍රතික්ෂේප කිරීමක් බව ද අවසානයේ දී කම්කරු රාජ්‍යය විසුරුවා හැර ධනවාදය පුනරුත්ථාපනය කිරීමට පාර කැපූ එම මෘග ඒකාධිපතිත්වයට විකල්පයක් තිබූ බව ද සාක්ෂි දරයි.
මගේ ජීවිතය කෘතිය “අපේ යුගය” යයි නම් කල හැකි ය. සියවසක් ගත වී ගියත් ඉතිහාසය විසින් ස්වයංචරිතාපදානය පසු කොට ගොස් නැත. අප අද ජීවත්වන දවස් ඔහු තේරුම් ගනු ඇත. තාක්ෂනය අති දැවැන්ත ලෙස වර්ධනය වී ඇතත් ගැටලු ඒවායේ හරයෙන් ම නොවෙනස් ව පවතී, ඒවායේ පරිමානය බොහෝ නරක අතට වෙනස් වී තිබේ. මෙම සමාජ ක්රමයේ මර ලතෝනිය ට්‍රොට්ස්කි අපේක්ෂා කලාට වඩා දිග්ගැස්සී ඇතත් ඓතිහාසික ඉදිරි දර්ශනය තවමත් එහි වලංගු භාවය රඳවා ගෙන සිටී. ධනපති ක්‍රමය සමාජවාදයට ඉඩදී යා යුතු ය.
ට්‍රොට්ස්කි ගේ ම වචනවලින් මෙය අවසන් කරමි : “මෙය එතරම් ම සුපැහැදිලි ය ; කොතරම් සුපැහැදිලි ද යත්, ඉතිහාසය පිලිබඳ මහාචාර්යවරුන්ටත් වර්ෂ බොහෝ ගනනකට පසු එය තේරුම් යනවා ඇත...”
April 20, 1930.
“Leo Trotzki oder Die Dialektik der Revolution,” Die Literarische Welt, 3 Januar 1930.
Revue des sciences politiques, vol. 54, 1931, p. 150.
June 1930, p. 474 .
Writings of Leon Trotsky 1929, (New York: Pathfinder, 1975), p. 36.
Ibid, p. 37.
Ibid, p. 43.
The Prophet Outcast – Trotsky: 1929-1940 (New York: Vintage Books, 1965), pp. 221-22.
Writings of Leon Trotsky 1936-37 (New York: Pathfinder, 1978), p. 179.
The Case of Leon Trotsky (New York: Merit Publications, 1968), pp. 584-85.
Diary in Exile (New York: Atheneum, 1963), p. 47.
Writings of Leon Trotsky 1939-40 (New York: Pathfinder, 1973), p. 218.
The Prophet Unarmed: Trotsky 1921-29, New York: Vintage Books, 1965, pp. 249-50 [Emphasis added].
