සාධාරන ඉල්ලීම් සඳහා වන ගොවීන්ගේ අරගලය ආරක්ෂා කරනු!

වී ප්‍රසම්පාදනය සහ මිල ගනන් වැඩි කරන ලෙස ඉල්ලා මඩකලපුවේ ගොවීහු විරෝධතාවක් පවත්වති. [ඡායාරූපය: Facebook/Battinews] [Photo: Facebook/Battinews]

ශ්‍රී ලංකාව පුරා ගොවීන් දහස් ගනනක්, වී සඳහා සහතික කල සාධාරන මිලක්, දැරිය හැකි මිලකට සහ ප්‍රමානවත් ලෙස පොහොර හා කෘෂි රසායන සැපයීම සහ සහනාධාර ඉන්ධන කෝටාවක් ඉල්ලා ජුනි 16 වන දින සිට විරෝධතාවල නිරත වී සිටිති.

පොලොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුනාමලය, අම්පාර, හම්බන්තොට, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල මෙන්ම අනෙකුත් ප්‍රදේශවල ද ගොවි විරෝධතා පවත්වා ඇත. තම ඉල්ලීම් ඉටු වන තෙක් උද්ඝෝෂනය දිගට ම කර ගෙන යන බව පවසා ඇති ගොවීන්, ආන්ඩුව ප්‍රතිචාර නොදැක්වුවහොත් විරෝධතා කොලඹට ගෙන යන බවට අනතුරු අඟවා ඇත.

ගොවීන්ගේ උද්ඝෝෂනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් පනවා ඇති කප්පාදු පියවර යටතේ දැනටමත් පීඩාවට පත් ව සිටින කම්කරුවන් සහ ගම්බද දුගීන් මත ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධයෙන් ගැඹුරු වූ ආර්ථික අර්බුදයේ බර පටවමින් සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවට එරෙහි ව වැඩෙන මහජන විරෝධයේ කොටසකි.

සාධාරන මිලක් සඳහා වන ගොවීන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, වෙලඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ජූලි 1 වන දා, කියා සිටියේ, පසුගිය කන්නයේ වී මිල දී ගත් අගයට ම මේ කන්නයේ දී ද වී මිලදී ගන්නා බවයි.

ආන්ඩුව ගොවි ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින්, මෙම නිවේදනය නිකුත් කලේ විරෝධතා දැක් වූ ගොවීන්ට එරෙහි තර්ජනවලින් පසු ව ය. ආන්ඩුව කිසිදු විරෝධතාවයකට යටත් නොවන බව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත ප්‍රකාශ කලේ ය. “ආන්ඩුව පෙරලා දැමීමට” උත්සාහ කරන “කසිප්පු ජාවාරම්කරුවන්” විසින් උද්ඝෝෂන සංවිධානය කරන බව පවසමින් නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් විරෝධතාකරුවන්ට මඩ ගැසුවේ ය.

ජුනි 24 වන දින පාර්ලිමේන්තුවේ දී කතා කල ලාල් කාන්ත, වී කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීමේ පිරිවැය රුපියල් 137 ක් දක්වා ඉහල ගොස් ඇති බව පිලිගත් නමුත්, සහල් මිල ඉහල යාමෙන් පාරිභෝගිකයින්ට හානියක් සිදු වන බැවින් ගොවීන් ඉල්ලා සිටින පරිදි වී මිලදී ගැනීමේ සහතික මිල රුපියල් 120 සිට රුපියල් 140 දක්වා වැඩි කිරීමට ආන්ඩුවට නොහැකි බව අවධාරනය කලේ ය.

ආන්ඩුව පාරිභෝගිකයින් ආරක්ෂා කරන බවට කරන ප්‍රකාශය බොරුවකි. ඔහු එසේ ප්‍රකාශ කලේ, සමස්ත මහජනතාව මත කුරිරු කප්පාදු පියවර පනවන ආන්ඩුව පොහොසතුන්ට තව තවත් ධනය ගොඩගසා ගැනීමට සහන සලසන අතර ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), තම සාධාරන ඉල්ලීම් ඉදිරිපත් කරන ගම්බද ජනතාවට එරෙහි ආන්ඩුවේ තර්ජන හෙලා දකී. බරපතල දුෂ්කරතා මැද ගොවිතැනෙහි යෙදෙන දුගී ගොවීන් ආරක්ෂා කරන ලෙස සසප කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව විසින් තීව්‍ර කරන ලද කප්පාදු පිලිවෙත් යටතේ කම්කරුවන් ද ඒ හා සමාන ප්‍රහාරවලට මුහුන දී සිටී. ඇමතිවරුන්ගේ තර්ජනවලින් ඇඟවුම් කෙරෙන්නේ, කම්කරුවන්ට සහ සිසුන්ට එරෙහි ව ප්‍රහාර එල්ල කල ආකාරයට ම ගම්බද ජනතාවට එරෙහි ව පොලිස් මර්දනය සහ මැරයන් මුදා හැරීමට ආන්ඩුව පසුබට නොවන බවයි.

පොහොර සහ ඉන්ධන මිල ඉහල යාම නිසා අක්කරයක වී වගා කිරීමේ පිරිවැය රුපියල් 120,000 සිට රුපියල් 150,000 දක්වා ඉහල ගොස් තිබේ. ආන්ඩුව නිෂ්පාදන පිරිවැයට වඩා අඩු මුදලකට වී මිල දී ගන්නවා පමනක් නොව, වී මිලදී ගැනීම් ද තාවකාලික ව අත්හිටුවා ඇත. එමගින් ගොවීන්ට වී කිලෝග්‍රෑමයක් රුපියල් 80ක් වැනි අඩු මුදලකට පෞද්ගලික වෙලඳුන්ට විකිනීමට බල කෙරෙන අතර ඔවුන්ට විශාල අලාභයක් විඳීමට ද සිදු වෙයි.

අතීතයේ දී, ජනතා විමුක්ති පෙරමුන ගොවීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නෙකු ලෙස පෙනී සිටිමින්, එහි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය (සලගොජස) මගින් විරෝධතා සංවිධානය කලේ ය. 2024 මැතිවරන ව්‍යාපාරයේ දී, ජවිපෙ/ජාජබ නායකයින් ගොවි ජනයා ගේ ගැටලු විසඳන බවට පොරොන්දු වූ අතර, ඔවුන් බලයට පත් වුවහොත් වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 150 ක සහතික මිලක් ලබා දෙන බවට ද පොරොන්දු විය. මේ සියල්ල කලේ ගොවි ජනයාගේ චන්ද ගසාකෑම සඳහාය.

වැඩකරන ජනතාවට දුන් අනෙකුත් සියලුම පොරොන්දු මෙන්ම, දිසානායක ආන්ඩුව මෙම පොරොන්දු ද අතහැර දමා, දැන් වී වගාවට සම්බන්ධ ප්‍රධාන සංගත සහ විශාල සහල් මෝල් හිමියන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරයි.

දරිද්‍රතාවය, උග්‍ර නයගැතිකම, මහා සමාගම් විසින් පාලනය කරනු ලබන, පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරන වල මිල ඉහල යාම සහ පුලුල් ඉඩම් හිඟය ඇතුලු නිදන්ගත ගැටලු වලින් ගොවීහු දශක ගනනාවක් තිස්සේ පීඩා විඳිමින් සිටිති.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනගහනයෙන් බහුතරයක් දුප්පත් ගොවීන්ගෙන් සමන්විත වේ. එම ජනයාගෙන් සියයට 81 ක් බහුමාන දරිද්‍රතාවයෙන් පෙලෙති. ග්‍රාමීය ගොවීන්ගෙන් සියයට 27 ක ට පමන තමන්ගේ ම ඉඩමකට හිමිකමක් නොමැති අතර ඔවුන්ට අස්ථිර බදු පදනම් මත හා කුඩා යැපුම් බිම් වල ගොවිතැන් කිරීම හෝ වී වපුරන සහ අස්වැන්න නෙලන කාලයන් හි දී වැටුප් ශ්‍රමිකයන් ලෙස වැඩ කිරීමට බල කෙරී ඇත.

ආයෝජක-හිතැති ආර්ථික ප්‍රතිසංස්කරන මගින්, දැරිය හැකි ප්‍රමානයේ රාජ්‍ය නය සඳහා ප්‍රවේශය දැඩි ලෙස සීමා කර ඇත. බැංකු නය ලබා ගැනීමට හැකි ව ඇත්තේ ගොවීන්ගෙන් සියයට 10 කට පමන ය. සියයට 60 කට ආසන්න ප්‍රමානයක් අනාගත අස්වැන්නෙන් නය ගෙවීමට බැඳ තබන පෞද්ගලික සහල් මෝල් හිමියන් සහ ගිනි පොලියට නය දෙන්නන් මත යැපෙති.

නියඟ සහ ගංවතුර ඇතුලු දරුනු කාලගුනික ව්‍යසනයන්ට ද ගොවීහු මුහුන දෙති. දෙසැම්බර් මාසයේ ඇති වූ දිට්වා සුලි කුනාටුවෙන් කෘෂිකර්මාන්තයට පුලුල් විනාශයක් සිදු විය. ලෝක බැංකු ඇස්තමේන්තු වලට අනුව, කුඹුරු හෙක්ටයාර 108,000 ක් පමන ඉන් විනාශ විය.

ගම්බද ගොවීන් දශක ගනනාවක් පුරා මුහුන දෙන අර්බුදය, අනුප්‍රාප්තික ධනේශ්වර ආන්ඩු විසින් අනුගමනය කරන ලද කුරිරු ආර්ථික ප්‍රතිපත්තිවලින් ඔද්දල් වී ඇත.

1950 සහ 1970 අතර ජාතිකවාදී “ස්වයංපෝෂිත” ප්‍රතිපත්ති යටතේ ස්ථාපිත කරන ලද ආධාර ලබා දීමේ සීමිත පියවර පවා 1977 දී විවෘත වෙලඳපොල ආර්ථික වැඩපිලිවෙල හඳුන්වා දීමෙන් පසු ව ක්‍රමයෙන් විසුරුවා හරින ලදී. 1950 ගනන්වල සිට පැවති පොහොර සහනාධාරය ක්‍රමක්‍රමයෙන් අඩු කරන ලදී. ගොවීන්ගේ නිෂ්පාදන මිල දී ගෙන නය ලබා දුන් සමූපකාර විසුරුවා හරින ලදී. වී අලෙවි මන්ඩලයේ මිලදී ගැනීමේ මෙහෙයුම් සීමා කෙරුනි; රජය සතු වී ගබඩා පහසුකම් ද අහෝසි කර තිබේ.

සීඅයිසී, හේලීස් සහ බවර්ස් වැනි පෞද්ගලික සංගත වලට රජය සතු ගොවිපලවල් විකුනන ලදී. ඒ සමඟම, වී සහ සහල් වෙලඳපොල යන දෙකෙහි ම ආධිපත්‍යය දරන බලවත් සහල් මෝල් ඒකාධිකාරයන් මතු විය.

මෑත වසරවල දී, වඩ වඩාත් නරක අතට හැරෙන කොන්දේසි වලට එරෙහි ව ගොවීන් නැවත නැවතත් විරෝධතා දක්වා ඇත. 2021 දී, රජයේ සහනාධාර කප්පාදු පියවරවල කොටසක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැන වූ පොහොර ආනයන තහනමට එරෙහි ව ගොවීන්ගේ අඛන්ඩ විරෝධතා පැන නැගුනි. රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට බල කෙරුනු, මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහභාගි වූ 2022 මහජන නැගිටීමට ගම්බද ජනතාව ද දැඩි ලෙස සහාය දැක්වූහ.

ධනේශ්වර පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කල, ජවිපෙ /ජාජබ සහ අනෙකුත් ධනේශ්වර පක්ෂ, වෘත්තීය සමිති නිලධරයන් සහ ව්‍යාජ වම්මු විසින් මහජන ව්‍යාපාරය දේශපාලනික ව පීලි පන්නවා ඇමරිකානු ගැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති පදවියට පත් කිරීමට කොන්දේසි සකස් කලේ ය. වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු න්‍යාය පත්‍රය දියත් කල අතර එය දැන් දිසානායක ආන්ඩුව විසින් තීව්‍ර කරනු ලැබේ.

අනෙකුත් වෘත්තීය සමිති නිලධරයන් මෙන් ම, ජවිපෙ නායකත්වයෙන් යුත් සලගොජස ද ආන්ඩුවට පූර්න සහයෝගය දෙයි. අනෙකුත් ගොවි සංවිධාන සහ ඊනියා ස්වාධීන කන්ඩායම් ද ආන්ඩුවට ආයාචනා කිරීමෙන් ගොවීන්ගේ දැවෙන ගැටලු විසඳා ගත හැකි බවට මිත්‍යාවක් පතුරුවමින් කවර හෝ අව්‍යාජ අරගලයක් වර්ධනය වීම වැලැක්වීමට කටයුතු කර ඇත.

මෑතක දී මෙම විරෝධතා සංවිධානය කල ගොවි සංවිධාන ද රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධිත අතර ඒ හා සමාන මිත්‍යාවන් ප්‍රවර්ධනය කරමින් සිටියි.

දශක ගනනාවක ගොවි අරගල සහ විරෝධතාවල අත්දැකීම වී ඇත්තේ කුමන ධනේශ්වර ආන්ඩුවක් යටතේ වුව ඔවුන්ගේ කිසිදු ගැටලුවක් විසඳිය නොහැකි බවයි. ඒ වෙනුවට සිදු වී ඇත්තේ, එම ගැටලු තවත් ගැඹුරු වීමයි.

ග්‍රාමීය ජනතාව මෙම ගොවි සංවිධාන විසින් ඉදිරිපත් කරන ධනේශ්වර ගැති ඉදිරිදර්ශනය ප්‍රතික්ෂේප කල යුතු ය. ඔවුන් සියලු ධනේශ්වර පක්ෂවලින් දේශපාලනික ව බිඳී තම ඉල්ලීම් සඳහා සටන් කිරීමට තමන් ජීවත්වන ප්‍රදේශවල හා දිස්ත්‍රික්ක මට්ටමින් ගොවි ක්‍රියාකාරී කමිටු පිහිටුවා දිවයින පුරා සම්බන්ධීකරනය කල යුතු ය.

එවැනි කමිටු පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට සහ සහාය වීමට සසප සූදානම් ය. ගොවීන්ගේ අර්බුදය විසඳීම සඳහා අත්‍යවශ්‍ය ඉල්ලීම් ලෙස අපි පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කරමු:

* බීජ, පොහොර, කෘෂි රසායන සහ කෘෂිකාර්මික උපකරන දැරිය හැකි මිලකට.

* කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා සහනදායී මිල ගනන් සහතික කිරීම, වී ගබඩා පහසුම්කම්.

* බැංකු සහ පෞද්ගලික නය දෙන්නන්ට ගෙවිය යුතු සියලු සමුච්චිත නය කපා හැරීම සහ සහනදායී නය

* සියලුම ගොවීන්ට ඉඩම්.

මෙම ඉල්ලීම් කිසිවක් ජවිපෙ/ ජාජබ ආන්ඩුවට බලපෑම් කිරීමෙන් සාක්ෂාත් කරගත නොහැකි ය. ඒ සඳහා ජවිපෙ/ ජාජබ ආන්ඩුව ඇතුලු ධනේශ්වර පාලනයට එරෙහි අරගලයක් අවශ්‍ය වේ.

කම්කරු පන්තිය තම ග්‍රාමීය සගයන්ගේ සහායට පැමින, මෙම ඉල්ලීම් දිනා ගැනීමට අවශ්‍ය කොන්දේසි නිර්මානය කල යුතු ය. මෙම අරගලයේ කොටසක් ලෙස, කෘෂිකර්මාන්තයට අරක් ගෙන සූරා කන

* හේලීස්, සීඅයිසී, බවර්ස්, බ්‍රවුන්ස් සහ ඩීමෝ වැනි පොහොර, කෘෂි රසායන සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරන නිෂ්පාදනය කරන විශාල සමාගම්;

* ගොවීන් සූරාකන පොලියට නය දෙන බැංකු සහ මූල්‍ය ආයතන;

* සියලුම ප්‍රධාන සහල් මෝල් සහ විශාල සහල් අලෙවිකරන සමාගම් ආදී සියලුම ප්‍රධාන ව්‍යවසායන්

කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම සසප ඉල්ලා සිටී:

මෙම පියවර, ප්‍රධාන සමාගම්, කර්මාන්ත, වතු, බැංකු, ප්‍රධාන ආර්ථික ව්‍යවසායන් සහ රාජ්‍ය සංස්ථා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම ඇතුලු සමාජවාදී ප්‍රතිපත්ති සඳහා වන පුලුල් අරගලයේ කොටසකි. ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල අහෝසි කිරීම සහ විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීම ද කම්කරු පන්තියේ කේන්ද්‍රීය ඉල්ලීම් විය යුතු ය.

මෙම පියවර ක්‍රියාත්මක කල හැක්කේ ගොවි ජනතාවගේ ද සහාය ලබා ගන්නා කම්කරු පන්තියටයි. එනම්, ධනේශ්වර පක්ෂවලින් තීරනාත්මක ලෙස දේශපාලනික ව බිඳී ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලවෙලක් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි.

මෙම අරගලය ඉදිරියට ගෙන යාම සඳහා ධනපති පක්ෂවලින්, වෘත්තීය සමිති තන්ත්‍රයෙන් සහ ව්‍යාජ වමෙන් ස්වාධීන ව තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා සසප කම්කරුවන් අතර උද්ඝෝෂනයේ යෙදී සිටී.

මෙම අරගලයට මුලෝපායික එල්ලයක් ඇත. කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන සටනේ දී, කම්කරු පන්තිය, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ක්‍රියාකාරී කමිටු සම්බන්ධීකරනය කිරීමෙන් ග්‍රාමීය දුප්පතුන් තමා වටා රැලිකර ගත යුතු ය. මෙම ක්‍රියාකාරී කමිටු මගින් කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ ඉදිරිදර්ශනය සසප ඉදිරිපත් කරයි. ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීම සඳහා සංවිධානාත්මක හා බල පදනම ලෙස මෙම සම්මේලනය ගොඩනගා ගත යුතු ය.

මෙම වැඩපිලිවෙල පදනම් වී ඇත්තේ 1917 රුසියාවේ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයට මුලෝපායික ඉදිරිදර්ශනය හා මෙහෙයුම සැපයු ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මතයි. සියවස් ගනනාවක් තිස්සේ ගොවි හා අනෙකුත් පීඩිත ජනයා මැඬලනු ලැබ සිටි වැඩවසම්වාදී පීඩනය හා ධනේශ්වර සූරා කෑම පෙරලා දමා ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විසඳීමේ පලමු තීරනාත්මක පියවරයන් ගැනීමට හැකි වූයේ එම සමාජවාදී විප්ලවය මගිනි. ලංකාවේ ධනපති පන්ති පාලනයෙන් මැඬලනු ලැබ සිටින ගොවි ජනතාවගේ බරපතල ප්‍රශ්න විසඳිය හැක්කේ එම විප්ලවවාදී මාවත ගැනීමෙන් පමනි.

මෙම වැඩපිලිවෙලට සටන් කිරීමට එක්වන ලෙස සසප කම්කරුවන්ගෙන් සහ ගම්බද ජනයාගෙන් ඉල්ලා සිටී.

Loading