[මෙය Geethananda Balasuriya Jayasekara (1955–2026): A fighter for Trotskyism මැයෙන් 2026 ජූලි 7දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]
ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ද එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ද දීර්ඝ-කාලීන සාමාජිකයෙකු වූ, පක්ෂය තුල ගීතා නමින් ප්‍රකට ව සිටි ගීතානන්ද බාලසූරිය ජයසේකර සහෝදරයාට අවසන් බුහුමන් දැක්වීම ජූලි 1දා කොලඹ දී සිදු විය.
පක්ෂ සාමාජිකයන්, හිතවතුන් හා ඥාතීන් සියයක් පමන දෙනා මෙම අවස්ථාවට සහභාගි වූ හ. ඔවුහු, බොරැල්ල කනත්තේ ප්‍රධාන ද්වාරයේ සිට කිලෝමීටරයක පමන දුරක් අවමඟුල් පෙරහැරේ ගමන් කොට, ගීතා සහෝදරයාට සසපයේ උපහාරය දැක් වූ රැස්වීම් ශාලාවට පැමිනියහ.
සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර, ලෝසවෙඅ ජාතික කර්තෘ කේ. රත්නායක, පක්ෂ නායකයින් වන විලානි පීරිස් හා එම්. දේවරාජා සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ කැඳවුම්කරු වන කපිල ප්‍රනාන්දු රැස්වීම ඇමතූහ. ගීතාගේ ඥාති පුත්‍ර රජීව් ජෝර්ජ් ඔහුගේ ඥාතීන් වෙනුවෙන් කතා කලේ ය. සසප (ඕස්ට්‍රේලියාව) ජාතික ලේකම් ෂෙරිල් ක්‍රිප්ස්ගෙන් හා එහි ලෝසවෙඅ ජාතික කර්තෘ පීටර් සිමන්ඩ්ස්ගෙන් ශෝඛ පනිවුඩ ලැබුනි.
සැප්තැම්බර් 13දාට යෙදී තිබුනු ගීතාගේ 71 වැනි උපන් දිනයට මාස දෙකකට පෙර ඔහු මියගියේ ය. 1983 දී පක්ෂයට බැඳුනු ඔහු, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) හා එහි ලංකා ශාඛාව වන සසපයේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයන්ට, තම ජීවිතයේ දශක හතරක් කැප කලේ ය.
අධික උන තත්ත්වය හා කැස්ස හේතුවෙන් ප්‍රතිකාර ලැබීම සඳහා, ගීතා කොලඹ ජාතික රෝහලට ජුනි 24දා ඇතුලත් කරන ලදී. ඉන් දවස් පහකට පසු ව ජුනි 29දා, දිගට ම පැවතුනු උන රෝගය හේතුවෙන් ජනනය වූ හෘදයාබාධයකින් ඔහු මිය ගියේ ය.
දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක පස් වැන්නා ලෙස, වයඹ පලාතේ හලාවත දී 1955 වසරේ ගීතා උපත ලැබුවේ ය. ඔහුගේ පියා හිටපු කෘෂිකර්ම උපදේශකවරයෙකු විය. කොලඹ ජීවත් වූ ඔහු සුප්‍රකට ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ ය. ඔහුගේ එක් වැඩිමහල් සහෝදරියක් කීවේ, වයස අවුරුදු නවයේ පටන් ම ඔහු රෝගී තත්ත්වයන්ගෙන් පෙලුනු බව යි.
ඔහු උද්‍යෝගිමත් හා කාර්යශූර ශිෂ්‍යයෙකු වුව ද රෝගී තත්ත්වය ඔහුගේ අධ්‍යාපනයට බාධා කලේ ය. ගීත ගායනා වැඩ සටහන් හැරුනු විට, වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ඔහුට සහභාගි වීමට නො හැකි විය. විද්‍යා විෂයයන් හදාරා උසස් පෙල විභාගය සමත් වීමට ඔහුට හැකි වුව ද හෘද වස්තුවේ රෝගී තත්ත්වය ඔහු වැඩිදුර අධ්‍යාපනයට යොමු වීමෙන් වැලැක්වී ය.
ගීතාගේ පාසල් සමයේ 1974 දී හා යලි 1994 දී, හෘද කපාට සැත්කම් දෙකකට ඔහු භාජනය විය.
විකොස ආරම්භක ප්‍රධාන ලේකම් හා ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදයේ ප්‍රමුඛ නායකයෙකු වූ ද ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ ද කීර්ති බාලසූරිය සහෝදරයාගේ බලපෑම, ඔහුගේ දේශපාලන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. 1987 දෙසැම්බර් 18දා, හදිසි හෘදයාබාධයකින් කීර්ති වයස අවුරුදු 39 දී අකාලයේ මිය ගියේ ය.
තවමත් ශිෂ්‍යයෙකු ව සිටිය දී, 1970 ගනන් අග භාගයේ දී, විකොස තරුන ව්‍යාපාරය වූ තරුන සමාජවාදියෝ (වයිඑස්) සංවිධානයට ගීතා බැඳුනේ ය. ට්‍රොට්ස්කිවාදය අධ්‍යයනය කිරීම ආරම්භ කල ඔහු, විකොස දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත විය. 1980 ගනන් මුල දී, ඔහු පක්ෂයට බැඳුනේ ය. ඒ වන විට පුද්ගලික ගනිත ගුරුවරයෙකු ලෙස වැඩ කරමින් සිටි ඔහු, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැගීමට සමස්ත කාලය කැප කරනු වස්, එම රැකියාව අතහැර දැමී ය.
උත්සන්න වුනු පන්ති ආතතීන් මධ්‍යයේ ගීතා පක්ෂයට බැඳුනේ ය. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව, එහි වෙලඳපොල-ගැති පිලිවෙත් හා සමාජ ජයග්‍රහන කඩාකප්පල් කිරීමට එරෙහි ව ඉස්මතු වුනු කම්කරු-පන්තික ප්‍රතිරෝධය බෙදීම සඳහා දෙමල-විරෝධී වර්ගවාදය ක්‍රමානුකූල ව ඇවිස්සී ය. 1983 දී ක්‍රියාවට දැමුනු, සමස්ත දිවයින අලලාගත් දෙමල වර්ගයට එරෙහි සංහාරයක්, බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි දිග්ගැස්සුනු වාර්ගික යුද්ධයකට රට තල්ලු කලේ ය.
ආන්ඩුවේ සිංහල ස්වෝත්තමවාදී උද්ඝෝෂනයටත්, මිලිටරි-පොලිස් මර්දනයටත්, ප්‍රතිගාමී යුද්ධයටත් විරුද්ධ වීමේ දී විකොස නායකත්වය ගත්තේ ය. සමාජවාදය සඳහා දේශපාලන අරගලයේ කොටසක් ලෙස, දිවයිනේ උතුරින් හා නැගෙනහිරින් හමුදා භටයින් ඉවත් කරගන්නා ලෙස බල කරමින්, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතුවට කැඳවුම් කලේ විකොස/සසප පමනි.
ධෛර්යය සම්පන්න ව මෙම දේශපාලන අරගලය පක්ෂය දියත් කලේ, මැරයන්ගේ ප්‍රචන්ඩ ප්‍රහාරවලට ද පොලිස්-මිලිටරි මර්දනයට ද මුහුන දෙමිනි. අභාවප්‍රාප්ත සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් ඇතුලු නායක සහෝදරවරු අත්අඩංගුවට ගැනුනෝ ය.
යුද්ධයට එරෙහි ව උද්ඝෝෂනයේ යෙදී සිටිය දී, ගීතා සහ තවත් සහෝදරවරු දෙදෙනෙක් ප්‍රහාරයට ලක් වුනි. විකොස සිංහල හා දෙමල භාෂා පුවත්පත් විකුනමින් සිටිය දී, කොලඹ බහු-වාර්ගික කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශයක් වන කොටහේනේ දී, එජාප ආන්ඩුව සමග පෙලගැසී සිටි වර්ගවාදී මැරයෝ ඔවුන්ට පහර දුන් හ. ඔවුන් තිදෙනා ම රෝහල්ගත කරන ලදහ.
පක්ෂයේ සාහිත්‍යය බෙදා හැරීම සඳහා, ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප), ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ හා නව සම සමාජ පක්ෂයේ රැස්වීම්වල උද්ඝෝෂන සංවිධානය කිරීමේ දී ගීතා නායකත්වය ගත්තේ ය. අපේ කන්ඩායම් ඉවත් කිරීමට සංවිධාකයින් උත්සාහ කල විට, ධෛර්යය සම්පන්න ව ඔවුන්ට අභියෝග කල ගීතා පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කලේ ය.
පක්ෂයේ ට්‍රොට්ස්කිවාදී උරුමය පිලිබඳ ව ගීතා තමන්ට ඉවසිලිවන්ත ව අධ්‍යාපනය ලබා දුන් බව සහෝදරවරු මතක් කරති. 1917 රුසියානු විප්ලවයේ සම-නායකයා වූ ද හතරවන ජාත්‍යන්තරය ආරම්භ කල තැනැත්තා වූ ද ලියොන් ට්‍රොට්ස්කිගේ ඝාතනය පිලිබඳ ව හජාජාක දියත් කල ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පරීක්ෂනය සම්බන්ධයෙන් ඔහුට ඉතා හොඳ දැනුමක් තිබුනි.
බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂයේ අවස්ථාවාදී නායකත්වයෙන් 1985-1986 භේද වී, අව්‍යාජ ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීමේ සටනේ දී ගීතා හජාජාක පාර්ශවයේ සිටියේ ය. හජාජාක අවකාශය හා පාඨකත්වය යෝධ ලෙස ප්‍රසාරනය කරමින්, 1998 ලෝසවෙඅ දියත් කිරීම පිලිබඳ ව ඔහු සුවිශේෂී ලෙස උද්‍යෝගීමත් ව සිටියේ ය.
ලෝසවෙඅ සිංහල භාෂා අංශයේ ලිපි පල කිරීමේ වගකීම ගීතා භාරගත්තේ ය. 2002 දී ආරම්භ කරන ලද එම වැඩකටයුතුවල ඔහු තම අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මරනය සිදු වීමට මාස තුනකට පෙර දක්වා ම නිරත විය. සිංහල භාෂාවෙන් ලියන ලද ලිපිවල ද ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන ලද ලිපිවල ද සෝදුපත් බැලුවේ ඔහු ය.
අත්‍යවශ්‍ය නිශ්චිතභාවයෙන්, පැහැදිලිකමින් හා අධිකාරීත්වයෙන් යුතු ව, පක්ෂයේ දේශපාලන ඉදිරි දර්ශනයන් කම්කරුවන්ට හා තරුනයන්ට සන්නිවේදනය කිරීමේ දී, ඔහුගේ නිරවද්‍ය සෝදුපත් බැලීම් උපකාරී විය. පක්ෂය විසින් පසුගිය දශක දෙක පුරා පලකරන ලද මාක්ස්වාදී කෘතිවල සෑම සිංහල පරිවර්තනයක ම පාහේ සෝදුපත් බැලුවේ ඔහු ය. විජේ ඩයස් සම්පූර්න කල අවසන් ප්‍රධාන පරිවර්තන වැඩකටයුත්ත වූ ට්‍රොට්ස්කිගේ “ප්‍රන්සය කොයිබට ද?” කෘතියේ සිංහල සංස්කරනය ඔහු වැඩකල අවසන් කෘතිය විය.
ගීතා සංස්කෘතිමය පුද්ගලයෙකු වූ අතර, අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක දී සහයෝගය දීමට ඉදිරිපත්වීම ඇතුලු ඔහුගේ මානුෂීය ගුනාංගයන් හේතුවෙන් පක්ෂයේ සහෝදරවරු ඔහුට ආදරය කල හ. කලාව සම්බන්ධ ඔහුගේ උනන්දුව පන්නර ගැන්වුනේ, ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ කීර්තිගේ බලපෑමෙනි. සංගීතය හා කාව්‍යකරනය ගැන සැලකිය යුතු දැනුමක් සහිත ව සිටි ඔහුට, ගායනා කිරීමේ හැකියාව ද තිබුනි. විශේෂයෙන් ම බීතෝවන්ගේ සංධ්වනියන්ට ආදරය කල ඔහු, පලල් ලෙස ඉන්දියානු සංගීතය හා සංගීතඥයින් ඉහලින් අගය කලේ ය.
සම්භාව්‍ය ගායක ඩබ්ලිව්. ඩී. අමරදේව, නාට්‍ය නිෂ්පාදක ධම්ම ජාගොඩ සහ නැසීගිය සසප සහෝදරියක වන කොලඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පියසීලී විජේගුනසිංහ ඇතුලු ප්‍රමුඛ පෙලේ සංස්කෘතික චරිත සමගින්, ජාත්‍යන්තර ගීතයේ සිංහල සංස්කරනය ගායනා කිරීමට, එක් අවස්ථාවක දී ගීතා සහභාගි විය.
පක්ෂයේ සියලු සහෝදරවරුන්ටත්, අනාගතයේ දී සමාජවාදය සඳහා අරගලය සියතට ගන්නා සියල්ලන්ටත්, ට්‍රොට්ස්කිවාදී සටන්කරුවෙක් යනුවෙන් අර්ථවත් වන්නේ කුමක් ද යන්න පිලිබඳ ආදර්ශයක් ලෙස ගීතාගේ ජීවිතය නැගී සිටී. පක්ෂය තුලත් ජාත්‍යන්තර ව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුලත් ඔහු පිලිබඳ මතකය සදාකල් රැඳෙනු ඇත.
