සෙවනගල සීනි කර්මාන්තශාලාවේ කම්කරුවෝ 1,000කට වැඩි පිරිසක් වැඩ වර්ජනයක

[මෙය Sri Lanka: More than 1,000 workers strike at Sevanagala Sugar Factory මැයෙන් 2026 සැප්තැම්බර් 2 වැනි දා ඉංග්‍රීසි බසින් පල විය.]

ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දරන ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව කෙරෙහි වැඩෙමින් පවතින කෝපය සටහන් කරමින්, කොලඹ සිට කිලෝමීටර් 236ක් දුරින් පිහිටි රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවතින සෙවනගල සීනි කර්මාන්තශාලාවේ කම්කරුවෝ අගෝස්තු 25දා සිට අඛන්ඩ වැඩ වර්ජනයක නිරත ව සිටිති. ජීවන වියදම ඉහල යාමට සරිලන වැටුප් වැඩි වීමක් ඉල්ලා මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති අතර, ස්ථිර, අනියම් සහ කොන්ත්‍රාත් කම්කරුවෝ 1,000කට ආසන්න පිරිසක් ඊට එක් ව සිටිති.

දිගු කලක් ප්‍රමාද කර ඇති වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරුවන් ඉදිරිපත් කල ඉල්ලීම මීලඟ වැටුප් දිනයට පෙර විසඳන බව ජූලි මස අවසානයේ දී කලමනාකාරීත්වය ඔවුන්ට සහතික විය. කෙසේ වෙතත්, අගෝස්තු 25දා වැටුප් ලැබුනු විට කම්කරුවන්ට පෙනී ගියේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව ය. මෙය ක්ෂනික ව ඔවුහු වැඩවර්ජන ක්‍රියාමාර්ගයට තල්ලු කර දැමුවේ ය.

සෙවනගල සීනි කර්මාන්තශාලාව

 මෙම වැඩ වර්ජනය ආරම්භ කරන ලද්දේ කර්මාන්තශාලාවේ ක්‍රියාත්මක වන වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ය. මෙම කරුන පෙන්නුම් කරන්නේ පන්ති අරගලය මර්දනය කිරීමේ දී කලමනාකාරීත්වයේ සහ ආන්ඩුවේ උපකරන ලෙස ක්‍රියා කරන මෙම සංවිධාන කෙරෙහි සාමාන්‍ය කම්කරුවන් තුල වැඩෙමින් පවතින අවිශ්වාසය හා කෝපයයි.

එම වෘත්තීය සමිති නම්:  එක්සත් ජාතික පක්ෂයට (එජාප) අනුබද්ධ ජාතික සේවක සංගමය (NEU), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පාලනය කරන නිදහස් සේවක සංගමය, ප්‍රගතිශීලී සේවක සංගමය සහ සීනි කර්මාන්ත වෘත්තිකයන්ගේ සංගමය යනාදිය යි.

වැඩ වර්ජනයට ප්‍රතිචාර දක්වමින් ආන්ඩුව කර්මාන්තශාලාව වසා දැමුවේ, ආර්ථික පීඩනයක් එල්ල කරමින් කම්කරුවන්ට තම ඉල්ලීම් අත්හැරීමට බල කිරීමේ අරමුනෙනි. එහෙත් එම ක්‍රියාව කම්කරුවන් බියගැන්වීම වෙනුවට, ඔවුන්ගේ කෝපය තවදුරටත් ගැඹුරු කරමින් වැඩ වර්ජනය අඛන්ඩ ව පවත්වා ගෙන යාමට ඇති ඔවුන්ගේ අධිෂ්ඨානය වඩාත් දැඩි කලේ ය.

ලංකා සීනි සමාගමේ සභාපති වසන්ත අතුල කුමාර මෙම වැඩ වර්ජනය “නීති විරෝධී” එකක් ලෙස හෙලා දැක්කේ ය. ඇතැම් කර්මාන්තශාලා කම්කරුවන්ට අනෙකුත් රාජ්‍ය අංශ කම්කරුවන්ට වඩා ඉහල වැටුප් ලැබෙන බව ඔහු මාධ්‍යයට පැවසූ අතර, “අපි අවශ්‍ය පියවර ගනිමින් ඉන්නෙ. … නීති විරෝධී වැටුප් ගෙවීමට අපි සූදානම් නැහැ” යනුවෙන් ප්‍රකාශ කලේ ය.

වැඩ වර්ජනය නීති විරෝධී එකක් ලෙස හංවඩු ගැසීමට දරන මෙම උත්සාහය, කම්කරුවන්ට කාර්මික ක්‍රියාමාර්ගවල නිරත වීමට ඇති ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ල කරන ප්‍රහාරයකි. සභාපතිවරයාගේ ප්‍රකාශ මගින් පිලිබිඹු කෙරෙන්නේ, යහපත් වැටුප් සඳහා කම්කරුවන් ඉදිරිපත් කරන ඉල්ලීම් කෙරෙහි ජවිපෙ/ජාජබ ආන්ඩුව දක්වන සතුරුභාවයයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමඟ අදහස් දක්වමින් එක් කම්කරුවෙක් මෙසේ පැවසී ය: “මෙම විරෝධතාව ආරම්භ කිරීමට පෙර අපි මාස ගනනක් බලා සිටියා. වැඩ වර්ජනයට එක් වී සිටින්නේ නිෂ්පාදන අංශයේ කම්කරුවන් පමනක් නොවෙයි; ප්‍රවාහන කම්කරුවනුත් ඊට සහභාගි වෙනවා.”

ජ්‍යෙෂ්ඨ මට්ටමේ කම්කරුවකු සෙවනගල කම්කරුවන්ට අධි වැටුප් ලැබෙන බවට කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කලේ ය. ඊට පටහැනි ව, සමාගම විසින් වැටුප් සහ දීමනා කපා හැර ඇති බවත්, එම කප්පාදු රුපියල් 7,500 සිට රුපියල් 30,000 දක්වා වන බවත් ඔහු පැවසී ය.

“මේ සම්බන්ධයෙන් අපි කම්කරු කාර්යාලයට පැමිනිලි කලා. නමුත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් ලැබුනේ නැහැ” යැයි කම්කරුවා කීවේ ය. “ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාට පැමිනිලි කලා ම අපට කිව්වේ, සේවක අවශ්‍යතා පිලිබඳ තක්සේරුවක් සිදු කල පසු ව පමනක් මේ ගැන සලකා බැලිය හැකි බවයි. නමුත් එවැනි තක්සේරුවක් කවදාවත් සිද්ධ වුනේ නැහැ.”

වැටුප් සංශෝධනය කරන තෙක් කම්කරුවන්ට දීමනාවක් ලබා දෙන ලෙස තමන් ඉල්ලා සිටි බව ඔහු පැහැදිලි කලේ ය. මීට වසරකට පමන පෙර හිටපු සභාපතිවරයා රුපියල් 5,000ක වැටුප් සංශෝධන දීමනාවක් හඳුන්වා දී තිබුන ද, වත්මන් සභාපතිවරයා එය නතර කර ඇති බව ඔහු සඳහන් කලේ ය.

තම මූලික වැටුප රුපියල් 36,000ක් පමනක් බවත්, දීමනා ඇතුලු ව අතට ලැබෙන සමස්ත වැටුප රුපියල් 76,000ත් 80,000ත් අතර වන බවත් එම සේවකයා පැවසී ය. එයින් රුපියල් 50,000කට වැඩි මුදලක් නය වාරික ගෙවීමට වැය වන බැවින්, ජීවත්වීම සඳහා ඔහුට ඉතිරි වන්නේ ඉතා සුලු මුදලක් පමනි.

තවත් කම්කරුවෙක් මෙසේ පැවසී ය: “සාමාන්‍ය කම්කරුවෙකුගේ මූලික වැටුප රුපියල් 18,000ක් පමනයි. සියලු දීමනා එකතු කල පසුවත් සාමාන්‍ය කම්කරුවෙකුට මාසයකට අතට ලැබෙන්නේ රුපියල් 50,000කට අඩු මුදලක්.” මෑත වසරවල දී කර්මාන්තශාලාවේ සේවයේ නියුතු කම්කරුවන්ගේ සංඛ්‍යාව අඩු වී ඇති බව ද ඔහු වැඩි දුරටත් පැවසී ය.

තවත් කම්කරුවෙකු පැවසුවේ, රක්ෂන ආවරනය සහ ප්‍රසාද දීමනා ඇතුලු දීමනා හතක් කපා හරින බව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉෂාන් සේනක ධර්මවර්ධන පෙන්වා දී ඇති බවයි. “සමස්තයක් ලෙස දීමනා 18ක් තිබෙනවා. ඉන් දීමනා හතක් කපා දැමුව හොත් මාසික වැටුප රුපියල් 23,500කින් අඩු වෙනවා. මේ කාරනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටියත්, අපට කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ,” යැයි ඔහු පැවසී ය.

අගෝස්තු 31 සඳුදා කම්කරුවන් සහ කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන් අතර පැවති සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොර ව අවසන් විය. තම ඉල්ලීම් ඉටු කරන තෙක් අරගලය අඛන්ඩ ව පවත්වා ගෙන යන බව කම්කරුවෝ ප්‍රකාශ කලහ.

කර්මාන්තශාලාව තුල සේවකයන්ගේ ජීවනෝපාය සඳහා පමනක් නොව, අවට ප්‍රදේශයේ උක් වගාවේ නිරත පවුල් 5,000කට ආසන්න සංඛ්‍යාවක ජීවනෝපාය සඳහා ද කේන්ද්‍රීය වැදගත්කමක් දරයි. මෙම පවුල් සමාගම සමඟ ගිවිසුම්ගත “බාහිර වගාකරු” (out-grower) ක්‍රමයක් යටතේ කටයුතු කරයි. 1985 දී හඳුන්වා දුන් මෙම ක්‍රමය යටතේ ගොවි පවුල් වෙත ඉඩම් වෙන් කෙරෙන අතර, සමාගම විසින් පොහොර, උක් පැල, නය පහසුකම් සහ යන්ත්‍රෝපකරන සපයයි. එම වියදම් උක් සඳහා ගෙවීම් කිරීමේ දී අයකර ගනු ලැබේ. ඊට හිලව් වශයෙන්, ගොවීන් තම සමස්ත අස්වැන්නම එම කර්මාන්තශාලාවට පමනක් අලෙවි කිරීමට බැඳී සිටිති.

උක් ගොවීහු තවත් බරපතල ගැටලු රැසකට මුහුන දෙති. සමාගම නියමිත වේලාවට පොහොර සපයා නැති අතර, මෙම වසරේ උත්සව අත්තිකාරම් මුදල ද ලබා දී නැත. එ මෙන් ම දැනටමත් කර්මාන්තශාලාවට භාර දී ඇති උක් දඬු සඳහා වන ගෙවීම් ප්‍රමාද කර හෝ ලබා නොදී රඳවා ගෙන තිබේ. ට්‍රැක්ටර් සහ අනෙකුත් යන්ත්‍රෝපකරන ලබා ගැනීමේ දී ද ගොවීන්ට ප්‍රමාදයන්ට මුහුන දීමට සිදු ව තිබේ.

සඳුදා, උක් ගොවීන් 300කට පමන පිරිසක් සෙවනගල කර්මාන්තශාලාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. ඔවුන් විරෝධය පල කලේ, තමන් විසින් සපයන ලද උක්දඬු සඳහා ගෙවීම් කිරීමට සමාගම අඛන්ඩ ව අසමත් වීම සම්බන්ධයෙනි.

සෙවනගල කර්මාන්තශාලාවේ අර්බුදය, ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් සිටින පුලුල් ප්‍රහාරයේ ප්‍රතිඵලයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) නියෝග යටතේ ආන්ඩුව කප්පාදු පියවර ක්‍රියාත්මක කරමින් සිටින අතර, එම පියවර රැකියා, වැටුප්, පොදු සේවා සහ ග්‍රාමීය දුප්පතුන්ගේ ජීවන තත්ත්වයන් විනාශ කරමින් තිබේ.

ජවිප‌ෙ/ජාජබ 2024 දී බලයට පැමිනියේ කම්කරුවන්ට, ගොවීන්ට සහ සමාජයේ අනෙකුත් පීඩිත ස්ථරවලට හදිසි සහන ලබාදෙන බවට ව්‍යාජ ජනප්‍රියවාදී පොරොන්දු ලබා දෙමිනි. අයිඑම්එෆ් සමඟ වඩාත් “මානුෂීය” ආර්ථික ප්‍රතිපත්තියක් පිලිබඳ ව සාකච්ඡා කරන බවටත්, රාජ්‍ය සතු ව්‍යවසායන් පෞද්ගලීකරනය හෝ ප්‍රතිව්‍යුහගත නොකරන බවටත් එය පොරොන්දු විය. මෙම පොරොන්දු සියල්ල අසත්‍ය බව ඔප්පු වී තිබේ.

අගෝස්තු 23 දා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කලේ, 2027 දී රාජ්‍ය සතු ව්‍යවසායන් 33ක් වසා දැමීමට කැබිනට් මන්ඩලය තීරනය කර ඇති බවයි. ඊට කන්තලේ සහ හිඟුරාන සීනි සමාගම් ද ඇතුලත් වේ. පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා ද ප්‍රතිව්‍යුහගත කිරීමකට, පෞද්ගලීකරනයකට හෝ ඈවර කිරීමකට මුහුන දී සිටී.

සෙවනගල කර්මාන්තශාලාව 2002 දී පෞද්ගලීකරනය කරන ලද අතර 2011 දී එය නැවත රාජ්‍ය අයිතියට පවරා ගන්නා ලදී. එතැන් සිට පත් වූ අනුප්‍රාප්තික සමාගම් සභාපතිවරු ප්‍රකාශ කර ඇත්තේ, “කාර්ය මන්ඩල අවශ්‍යතා තක්සේරුවක්” නොමැති ව, කර්මාන්තශාලාවේ අවශ්‍යතාවන් නොසලකා කම්කරුවන් බඳවා ගෙන ඇති බවත්, ඔවුන් අනෙකුත් රාජ්‍ය අංශ සේවකයන්ට වඩා ඉහල වැටුප් ලබන බවත්‍ ය.

වර්ජනයට සියලු ම වෘත්තීය සමිති දක්වන සතුරුකම මගින්, රැකියා, වැටුප් සහ සේවා කොන්දේසිවලට එල්ල කෙරෙන ප්‍රහාරවල දී කලමනාකාරිත්වයට සහ ආන්ඩුවට සහාය දීමට ඔවුන් සූදානම් බව පැහැදිලි වේ. ශ්‍රී ලංකාව පුරා ම, වෘත්තීය සමිති නිලධරය කම්කරු පන්තිය මත අයිඑම්එෆ් ඇන වූ කප්පාදු න්‍යාය පත්‍රය පැටවීම සඳහා ආන්ඩුව සහ සමාගම් කලමනාකාරිත්වයන් සමඟ සමීප ව කටයුතු කර තිබේ.

 කම්කරුවන්ට මෙම ධනපති ගැති සංවිධාන හරහා තම අයිතීන් ආරක්ෂා කිරීමට හෝ කිසිදු අරගලයක් සංවිධානය කිරීමට නොහැකි ය. ඔවුන් වෘත්තීය සමිතිවල සහ ධනපති පක්ෂවල පාලනයෙන් ස්වාධීන ව, සෑම වැඩබිමක ම, වතුකරයකම සහ කම්කරු පන්ති ප්‍රදේශයකම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු ය. මෙම කමිටු සමන්විත විය යුත්තේ කම්කරුවන් විසින් ම ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත්කර ගන්නා, අවශ්‍ය විටෙක නැවත කැඳවිය හැකි නියෝජිතයන්ගෙනි.

වර්ජනයේ නිරත සෙවනගල කම්කරුවන් එවැනි ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීමේ මූලිකත්වය ගත යුතු ය. වැටුප් කප්පාදු, රැකියා කප්පාදු, කර්මාන්තශාලා වසා දැමීම් සහ ආන්ඩුවේ සමස්ත කප්පාදු වැඩපිලිවෙලට එරෙහි පොදු අරගලයකට එක් වන ලෙස ඔවුන් පැලවත්ත, කන්තලේ සහ හිඟුරාන සීනි කර්මාන්තශාලාවල කම්කරුවන්ට මෙන්ම උක් ගොවීන්ට ද ආරාධනා කල යුතු ය.

 තම අස්වනු මිල දී ගැනීමට සහ හිඟ ගෙවීම් සිදු කිරීමට සමාගම අසමත් වීම සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත උක් ගොවීන් ද මෙම අරගලයට එක් කර ගත යුතු ය. එ ලෙස ම, සහතික කල මිලක් සහ යහපත් ජීවනෝපායක් සඳහා අරගල කරන වී ගොවීන් සහ අනෙකුත් දිලිඳු ග්‍රාමීය නිෂ්පාදකයන් ද මෙම අරගලයට සම්බන්ධ කරගත යුතු ය.

 ශ්‍රී ලංකාවේ කම්කරුවන් මුහුන දෙන්නේ ද ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවකට එරෙහි ව එල්ල කෙරෙන රැකියා, වැටුප් සහ සමාජ සේවාවන්ට එල්ල වන ප්‍රහාරය ම ය. යුද්ධයට, කප්පාදුවට සහ ආඥාදායකත්වයට එරෙහි එක්සත් ජාත්‍යන්තර අරගලයක් තුල ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු, ඉන්දියාවේ සහ අනෙකුත් රටවල කම්කරුවන් සමඟ ඒකාබද්ධ කිරීම සඳහා මූලික මට්ටමේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) ගොඩනැගිය යුතු ය.   

Loading