ශ්‍රී ලාංකික ධීවරයෝ දරිද්‍රතාව, නය සහ ආන්ඩුවේ නොතැකීමෙන් අන්තයට ම ඇද දැමෙති

[මෙය வட இலங்கை மீனவர்கள் வறுமை, கடன் மற்றும் அரசாங்கத்தின் புறக்கணிப்பால் பேரழிவின் விளிம்புக்குத் தள்ளப்பட்டுள்ளனர் මැයෙන් 2026 අගෝස්තු 1 වන දින දෙමල බසින් පල විය.]

උතුරු පලාතේ ධීවරයන් මෑත දී මුහුන දුන් මුහුදේ අතුරුදන් වීම්, මරන සහ මරනාසන්න සිදුවීම් ගනනාවක් දහස් ගනනක් ධීවර පවුල් මුහුන දෙන කටුක සමාජ කොන්දේසි එලිදරවු කරයි. මේ හුදු අනතුරු නිසා ඇති වූ හුදෙකලා සිදුවීම් නොවේ. මේ උතුරු නැගෙනහිර පලාත් විනාශ කල සිවිල් යුද්ධය, ගැඹුරුවන දරිද්‍රතාවය, කඳු ගැසෙන නයගැති බව, අප්‍රමානවත් මහජන සේවා සහ අනුප්‍රාප්තික ආන්ඩු යටතේ ක්‍රියාවට දැමුනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) කප්පාදු පියවර විසින් ජීවන කොන්දේසිවලට එල්ල කල නිර්දය ප්‍රහාර විසින් ජනිත කෙරුනු තත්ත්වයන් ය. 

මැයි 27 වැනි දා පේදුරු තුඩුවෙන් ධීවර කටයුතු සඳහා ගිය ධීවරයන් සතර දෙනෙක් සෙවුම් මෙහෙයුම් සිදු කරත් තව ම සොයා ගත නොහැකි ව සිටිති. ගුරුනගර්හි ධීවරයෙක් ද සයුරේ දී අතුරුදන් විය. ජූනි 11 වැනි දා, ඩෙල්ෆ්ට් හි පදිංචි ව සිටි 41 හැවිරිදි සිවුදරු පියෙකු වන ජේසුදාසන් ආරෝකියන් ඇන්තනි (සතිස්) බෝට්ටුවෙන් රලු මුහුදට ලිස්සා වැටුනි. දින ගනනාවක් සෙවුම් සිදු කලත් ඔහු සොයා ගත නොහැකි විය. පසු ව ලැබුනු වාර්තා අනුව පෙනී ගියේ ඔහුගේ සිරුර ඉන්දියානු වෙරලට ගසා ගෙන ගොස් ඇති බවයි.

මෙම ඛේදවාචකයන් ජීවිතය ගැට ගසා ගැනීමක යෙදී සිටින ධීවර ප්‍රජාවේ බිය තවත් උත්සන්න කර ඇත.

ජූනි 4 වැනි දා, නාගදීපය සහ ඩෙල්ෆ්ට් අතර මුහුදේ දී බෝට්ටුව අනතුරට පත් වීමෙන් පසු යන්තම් දිවි ගලවා ගත් ධීවරයන් ති දෙනෙක් මුන ගැසීමට ලෝක සමාජවාදී වෙබ් අඩවිය පුංගුඩුතීවු දූපතට ගියේ ය. ඔවුන්ගේ අත්දැකීම උතුරු පලාතේ දහස් ගනනක් ධීවරයන් ධීවර කටයුතුවල යෙදෙන අනාරක්ෂිත තත්ත්වය ගැන හෙලිදරවුකාරී චිත්‍රයක් මවයි.

ජීවන් තවත් ධීවරයන් දෙ දෙනෙකු වන 37 වියැති සාක්‍යසීලන් සරන්රාජ් සහ මෝහන් සමග වෙරලෙන් කිලෝමීටර 24ක් ඈතින් කකුලුවන් අල්ලා ගැනීමට තමන් මුහුදේ එලූ දැල් පරීක්ෂා කිරීමට ගියේ ය. ආපසු ගමනේ දී, එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා ඔවුහු මුහුද මැද අතරමං වූහ.

ජීවන් සහ මෝහන්

“අපි දවල් 1.30ට විතර අපේ ඥාතීන්ට සිදු වූ දේ ගැන දැනුම් දුන්නා. අපි හිතුවේ අපිව බේර ගන්න කවුරු හරි එයි කියලා. ඒත් කවුරුත් ආවේ නෑ,” යැයි සරන්රාජ් පැවසී ය.

ඔවුන් සතු ව තිබුනේ පාන් රාත්තල් දෙකක් සහ වතුර ලීටර් පහක් පමනි. රාත්‍රිය පුරාවට ම බෝට්ටුව රලු වන මුහුදට පෙරලෙන්නට නොදී පවත්වා ගැනීමට ඔවුන්ට සටන් කිරීමට සිදු වුනේ බලාපොරොත්තුවෙන් සිටි උදවු තවමත් නොලැබුනු තත්ත්වයක දී ය.

මාතාගල්හි සිට පැමිනි ධීවරයන් දෙ දෙනෙකු විසින් හිමිදිරියේ බේරාගනු ලබන තෙක් ඔවුන්ට මෙසේ රැඳී සිටීමට සිදු විය. එම ධීවරයෝ අනතුරට පත් ව සිටි ධීවරයන්ගේ ජංගම දුරකථන ක්‍රියාවිරහිත ව තිබූ බැවින් ඔවුන්ගේ ඥාතීන්ට ඇමතුම් ලබා දී ඔවුන් ගැන දැනුවත් කිරීමටත් දෝෂය නිරාකරනය කර ගෙන වෙරලට යාමට ප්‍රමානවත් ඉන්ධන ලබා දීමටත් කටයුතු කලහ.

කෙසේ නමුත්, ගොඩබිමට ලඟා වීමට මත්තෙන් නැවතත් ඉන්ධන අහවර විය. පසු ව, නාවික හමුදාවට මුන ගැසුනු පාවෙමින් තිබූ බෝට්ටුව වෙරලට ඇද ගෙන එනු ලැබුනි.

ධීවරයන් පවසන්නේ මෙම අන්තරායන්ට මුහුන දී මුහුදු යෑම හැර තමන්ට අන් විකල්පයක් නැති බවයි.

“හැමෝ ම අපිට දොස් කියනවා අයහපත් කාලගුනය යටතේ මුහුදු ගියා කියලා. නමුත් අපි එහෙමයි කියලා ගෙදෙට්ට වෙලා ඉන්නේ කෝමද? ජීවන වියදම දෙගුන වෙලා. ඉන්ධන මිල දෙගුන වෙලා. නය ගෙවන්න පොලී ගෙවන්න ලමයින්ට උගන්වන්න තියෙනවා. මේ කොන්දේසියි අනතුරු නොතකා අපට මුහුදු යන්න බල කරන්නේ,” යැයි සරන්රාජ් පැවසී ය.

සරන්රාජ් තම පවුල සමග

සරන්රාජ් වයස අවුරුදු 17 පටන් ධීවරයෙකු වශයෙන් රැකියාව කර ඇත. ඔහු සතු ව ඇති පැරනි බෝට්ටුවත් අශ්ව බල 8ක් වන එන්ජිමත් ගැඹුරු මුහුදට යාම සඳහා සුදුසු නොවේ. වසරේ ඇතැම් කාලවල දී ඔහු අන් අයගේ බෝට්ටුවල වැටුප් ශ්‍රමිකයෙකු ලෙස සේවය කරයි. එවිට ලැබෙන්නේ සියලු ම වියදම් අයින් කල විට ඉතිරි වන දෙයින් පංගුවක් පමනි.

ඔහුගේ අත්දැකීම පෙන්වා දෙන්නේ සුලු පරිමාන ධීවර කර්මාන්තය දිගින් දිගට ම විනාශයට යන ආකාරයයි. බෝට්ටු හිමිකරුවන්ට පවා තව දුරටත් කර්මාන්තය කර ගෙන යාම ආර්ථික ව අසීරු වන තත්ත්වයක් යටතේ ඒවා විකුනා දමා ඉහල යන සූරා කෑමේ කොන්දේසි යටතේ තම ශ්‍රමය විකිනීමට සිදු වෙයි. 

“ධීවර කර්මාන්තය දිගට ම කර ගෙන යාමට මට නය ගැනීමට සිදු ව තිබෙනවා. සීසන් එක සවුත්තු වුනොත් නය ගෙවා ගන්න බැරි වෙනවා. එතකොට මට නය ගෙවන්න නය ගන්නට වෙනවා. මම දැන් රැකියාවක් කරන්නෙ මගේ පවුල නඩත්තු කරන්න නෙවෙයි; ගත්තු නය සහ පොලී ගෙවන්නටයි,” යැයි ජීවන් පැහැදිලි කලේ ය.

බහුතරයක් සුලු පරිමාන ධීවරයන් මුහුන දෙන යථාර්ථය මෙයයි. සෑම මුහුදු ගමනක දී ම, ඉන්ධන මිලට ගැනීමට, එන්ජින් නඩත්තු කිරීමට, හානි වූ දැල් අලුත්වැඩියාවට සහ පවුලේ දෛනික වියදම්වලට නය ගැනීමට සිදු වෙයි. ධීවර අස්වැන්න කඩා වැටී ඇති නිසා ආදායමට වඩා වියදම් වැඩි ය. මින් නය කඳු ගැසෙයි. රැකියාවෙන් දුප්පත්කමින් මිදෙනු වෙනුවට රැකියාව කිරීමට නය ගැනීමට සිදු වීමේ විසම චක්‍රයක ඔවුහු සිර වී ඇත. 

වෙරලට ගෙන එනු ලැබූ ධීවරයන් මුන ගැසීමට රජයේ නිලධාරීහු සහ දේශපාලනඥයෝ කුරිකට්ටුවාන් ජැටියට පැමින සිටියහ. ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කරුනානන්දන් ඉලංකුමාරන් දිවිගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ධීවරයන්ට මාස දෙකක් ඇතුලත ආරක්ෂක උපකරන සමග බෝට්ටු දෙකක් ලබා දෙන බවට පොරොන්දු විය.

“අපිට රුපියල් 10 000ක් වටිනා බඩු ලැබුනා. නමුත් අපේ ගැටලුව ඒක නොවෙයි. අපි ආයෙත් මුහුදට යන කොට අපේ ජීවිතවලට තියෙන සහතිකය මොකක්ද?” යැයි සරන්රාජ් ප්‍රශ්න කලේ ය.

තමන් අනතුරට පත් බව වහා ම දැන්වූවත් වගකිව යුතු බලධාරීන්ගේ කල් පමා වූ ප්‍රතිචාරය ඔහුගේ දෝෂදර්ශනයට ලක් විය. නාවික හමුදාව ඥාතීන්ට දැනුම් දී තිබුනේ අතුරුදහන් වීමක් ගැන පොලිස් දැනුම් දීමකින් තොර ව තමන්ට සෙවුම් කන්ඩායමක් පිටත් කර හැරිය නොහැකි බවයි. ඔවුන්ගේ ඥාතීන්ට අනතුර වූ මුලු දවස ම වැය වූයේ මෙම නිල පටිපාටීන් අනුගමන කිරීමටයි.

“අපි අනතුර දැනුම් දුන්නට පස්සේ කිසිදු කන්ඩායමක් අපිව සොයා ගෙන පැමිනියේ නෑ. පසුව නාවික හමුදාව අපිව වෙරලට ගෙන ආ බව ඇත්ත. නමුත් අපි ඒ වන විටත් මුලු රාත්‍රියක් රලු මුහුද සමග අපේ ජීවිත රැක ගන්න පොර බදල තිබුනේ.”

තවත් මෑත ඛේදවාචකයක් උතුරු පලාතේ ධීවර ප්‍රජාව මුහුන දෙන ව්‍යසනය විශද කරයි.

ජූලි 9 වැනි දා, වඩුක්කොඩෙයි හි බටහිර අරාලි පෙදෙසේ පදිංචි සිවකුමාර් නොගැඹුරු මුහුදේ අතින් කකුලුවන් අල්ලමින් සිටිය දී වලිප්පුව සෑදීමෙන් මුහුදේ ගිලී මිය ගියේ ය.

සිවකුමාර්

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඔහුගේ නිවසට ගිය විට ඔහුගේ 70 හැවිරිදි මව සෙල්ලයියා කෝකිලවානි තම පවුල මුහුන දෙන ව්‍යසනකාරී කොන්දේසි පැහැදිලි කලා ය.

සිවකුමාර්ට පෙර දී සුලු පරිමාන ධීවර බෝට්ටුවක්, එන්ජිමක් සහ දැල් තිබුනි. නමුත් අඩු වෙන මාලු අස්වැන්නත්, කඩා වැටෙන ආදායමත් නිසා ඔහුට ඒවා විකිනීමට බල කෙරුනි. කුලී කම්කරුවෙකු ලෙස දිවි ගැට ගසා ගැනීමට පෙලඹුනු ඔහු අමතර ආදායමකට නොගැඹුරු වෙරල තීරයේ කකුලුවන් අතින් ඇල්ලීමේ නිරත විය.

ඔහු තම බිරිඳගෙන් වෙන් වී වසර 18කි. ඔහු සෑම මසක ම තම නව යොවුන් පුතාගේත් දියනියගේත් වියදම් සඳහා රුපියල් 10 000ක් ගෙවයි. ඒ සමග ම, ඔහුට තම  වයෝවෘද්ධ මවත්, සැමියා විසින් අතහැර දමනු ලැබූ 42 හැවිරිදි වැඩිමහලු සොහොයුරියත්, මානසික ආබාධයකින් පෙලෙන 36 වියැති සහෝදරයාත් නඩත්තු කිරීමට සිදු විය. කෝකිලවානි පවසන ආකාරයට මෙම ආර්ථික පීඩනය ඔහුගේ අපස්මාර රෝගී තත්ත්වය උග්‍ර වීමට හේතු විය. නමුත් පවුලට අන් ආදායම් මාර්ගයක් නොවීම හේතුවෙන් ඔහුට මෙම අවදානම් සහගත රැකියාවේ දිගට ම නිරත වීමට සිදු විය.

සිවකුමාර්ගේ මව කෝකිලවානි, අක්කා සහ සහෝදරයා

“අපේ පවුලට ප්‍රමානවත් ආදායමක් නැති නිසා අපිට කෑම සහ අනෙකුත් අවශ්‍ය දේ අහල පහල කඩවලින් නයට ගන්නට සිදු වුනා. අපිට දැන් රුපියල් 60000ක විතර නයක් තියෙනවා කඩවලට ම,” කෝකිලවානි පැවසුවා ය.

තම මානසික අබාධයකින් පෙලෙන පුතුට වෛද්‍යාධාර ලබා ගැනීමට නිරතුරු ව ගෙන යන අරගලය ඇය විස්තර කලා ය.

“මානසික ආබාධයකින් පෙලෙස මගේ පුතාව මාස දෙකකට වතාවක් සායනය සඳහා යාපන ශික්ෂන රෝහලට ගෙනියන්න ඕන. ඒකටත් ලොකු වියදමක් යනවා. ඉස්සරහට මේ වියදම් කෝම පියවන්නද කියලා හිතා ගන්න බෑ. මේ වෙනකන් ආන්ඩුවෙන්වත් තේරුමක් ඇති ආධාරයක් අපට ලැබිල නෑ.”

බොහෝ ග්‍රාමීය පවුල් මුහුන දෙන දුඃඛිත සමාජ තත්ත්වය ඇගේ ප්‍රකාශයෙන් නිරාවරනය වෙයි.

“අපිට ආන්ඩුවෙන් ලැබෙන එක ම ආධාරය මාසික ව ලැබෙන රුපියල් 10000ක්. අපේ ගමට පානීය ජල පහසුකම් නෑ. සෑම දින දෙකකට ම වරක් ලීටර 40ක් බැගින් බවුසරයක් මගින් බෙදා හරිනවා. නමුත් ඒකටත් අපි මාසික ව රුපියල් 200ක් ගෙවන්න ඕන.”

මේ සිදුවීම් එලිදරවු කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාජබ ආන්ඩුව පසුගිය වසරේ මැතිවරන උද්ඝෝෂනවල දී ලබා දුන් පොරොන්දු සහ වැඩ කරන ජනතාව මුහුන දෙන යථාර්ථය අතර ඇති දැවැන්ත ආගාධයයි.

ආන්ඩුව ඉන්ධන සහනාධාර, වැඩිදියුනු කල ධීවර පහසුකම්, මුහුදු යන ධීවරයන්ට ආරක්ෂාව, මුහුදු පත්ලේ දැල් අදින මහ ව්‍යාපාරික ට්‍රෝලර් යාත්‍රා ඇතුලු උතුරු පලාතේ ධීවරයන්ගේ ප්‍රශ්න ගනනාවකට විසඳුම් ආන්ඩුව පොරොන්දු විය. නමුත් ධීවරයන් පවසන්නේ මෙම පොරොන්දු තම ජීවන මට්ටම් ඉහල නංවා නැති බවයි.

ඒ වෙනුවට, ආන්ඩුව දිගින් දිගට ම අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමමින් සිටියි. සහනාධාර කප්පාදුව, රාජ්‍ය වියදම් කප්පාදුව සහ ජාත්‍යන්තර නය හිමියන් සතුටු කිරීමට ක්‍රියාවට දමන ප්‍රතිපත්ති කම්කරුවන්, ගොවියන් සහ ධීවරයන් මත බර පටවන අතර  මූල්‍ය ප්‍රාග්ධනයේ සහ මහ ව්‍යාපාරවල අවශ්‍යතා ආරක්ෂා කරයි.

ජීවන්, සරන්රාජ්, සහ කෝකිලවානි ගේ අත්දැකීම පෙන්වා දෙන්නේ උතුරු පලාතේ ධීවරයන් මුහුන දෙන අර්බුදය හුදෙක් අයහපත් කාලගුනයට හෝ අවාසනාවන්ත හදිසි අනතුරුවලට ඌනනය කල නොහැකි බවයි. එය මුල් බැස ඇත්තේ ජීවනෝපාය විනාශය, දිගුකාලීන නය, අප්‍රමානවත් සෞඛ්‍ය සේවය, කඩා වැටෙන සමාජ සේවා, අර්ථවත් සමාජ සුභ සාධනයක් නොමැතිකම සහ සමාජ ජීවිතයේ හැම අංශයක් ම පුද්ගල ලාභයට යට කරන ආර්ථික ක්‍රමය තුලයි.

දිනෙන් දින යන ඉහල යන සංඛ්‍යාවලින් සුලු පරිමාන ධීවරයෝ තම නිෂ්පාදන මාධ්‍ය අහිමි කරනු ලැබ කුලී කම්කරුවන් බවට නැතහොත් වෙනත් අස්ථිර රැකියාවන්වල යෙදීමට පිරිහෙලනු ලැබෙති. සෙසු ධීවරයෝ අනාරක්ෂිත බෝට්ටුවල නැතහොත් අනාරක්ෂිත කොන්දේසි යටතේ වෙරල ආශ්‍රිත ව තම පවුල් ජීවත් කරවීමට ධීවර රැකියාවේ නිරත වෙති. යලි යලිත් සිදුවල මෙ වැනි මරන ශ්‍රී ලංකාවේ දුගී ග්‍රාමීය ජනතාව අලලා ගෙන ඇති පුලුල් සමාජ අර්බුදයේ වඩාත් ශෝචනීය ප්‍රකාශනයෝ වෙති.

ධීවරයන් මුහුන දෙන හදිසි කර්තව්‍ය වන්නේ අයිඑම්එෆ් කප්පාදුවට, සමාජ අසමානතාවය සහ ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහි පුලුල් කම්කරු පන්තික විරෝධය සමග තම අරගල ඒකාබද්ධ කිරීමයි. මේ සඳහා ධීවරයන් ජීවත් වන ග්‍රාමීය ප්‍රදේශවල ධනේශ්වර දේශපාලන පක්ෂවලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු වෙයි.

සමාජවාදී සමානතා පක්ෂයේ කැඳවුමට ප්‍රතිචාර දක්වමින් කයිට්ස් දූපතේ ධීවරයන් ක්‍රියාකාරී කමිටු සඳහා ආරම්භකත්වයන් ගෙන ඇත. මෙ බඳු කමිටු ගොඩනැගීම සඳහා අප සෙසු ප්‍රදේශවල ධීවරයන්ට ද දේශපාලනික සහය ලබා දෙමු. ඒ සඳහා අප හා සම්බන්ධ වන්න. 

වැඩිදුර කියවන්න

Loading