සිර දඬුවමකට ලක් ව සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නඩු කටයුත්තක් සඳහා අධිකරනයට ගෙන යාමේ දී, බන්ධනාගාර නිලධාරීන් ඔහුට සිවුර ඇඳීමට ඉඩ නොදී ගිහි ඇඳුම් ඇන්දවීමට විරෝධය පල කරමින් බෞද්ධ සංඝ සංස්ථාපිතය ප්රමුඛ සිංහල-බෞද්ධ ස්වොත්තමවාදී බලවේග, විපක්ෂයේ දේශපාලන පක්ෂ හා ඇතැම් ධනපති මාධ්ය විසින් ප්රතිගාමී උද්ඝෝෂනයක් අවුලුවා ඇත. මෙම උද්ඝෝෂනය මධ්යයේ, ජනාධිපති අනුර කුමාර දිසානායක හා ඔහුගේ ආන්ඩුව ද තමන්ගේ ස්වොත්තමවාදී ගැතිකම පෙන්වා දීමට වහා ම පෙරට පැමින සිටියි.
“අධිකරනයට අපහාස කිරීම” සහ “වාර්ගික ප්රකෝපකරනයන් ඇවිලවීම” සම්බන්ධයෙන් වරදකරු බවට අධිකරනය ලබා දුන් තීන්දුවක් මත සිර දඬුවමට ලක් කෙරුනු ඥානසාර භික්ෂුවට ජනාධිපති පොදු සමාව ලබා දෙන ඉල්ලා එක් කන්ඩායමක් විසින් ලක්ෂ 50 ක “මහජන” පෙත්සමක් අත්සන් කරන අතර තවත් කන්ඩායමක් “සිවුරට සාධාරනය ඉටු කිරීමේ ජාතික කැපවීමේ පූජාව” සහ “නිදහසේ පාද යාත්රාව” නමින් මහනුවර නගරයේ සිට කොලඹ දක්වා පා ගමනක් ආරම්භ කර තිබේ. ඔක්තෝබර් 10 වෙනි දා ආරම්භ කල මෙම පා ගමන 15 වෙනි දා කොලඹට පැමිනීමට නියමිත ය. දිවයිනේ විවිධ පලාත්වල ද තවත් එවැනි පා ගමන් සහ පෙත්සම අත්සන් කිරීම් සංවිධානය කර තිබේ.
ඔක්තෝබර් 5 දා ඥානසාර භික්ෂුවගේ සිරදඬුවම ක්රියාත්මක වීමත් සමග ස්වෝත්තමවාදී උද්ඝෝෂනය දියත් වූ අතර, සිරගත වන භික්ෂූන් බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන ඒමේ දී ඔවුනට චීවරධාරී ව සිටීමට අවකාශ තිබිය යුතු බව පවසමින්, ප්රධාන නිකාය හතරේ නායක භික්ෂුහු, පසුගිය සතියේ, බන්ධනාගාර කොමසාරිස් වෙත ලිපියක් යොමු කලහ. තැති ගත් ජනාධිපති අනුර කුමාර දිසානායක සංඝ ප්රභූවට ආරාධනා කර ඔක්තෝබර් 8 වෙනි දා ඔවුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් විය.
එම සාකච්ඡාවේ දී, බන්ධනාගාරගත වන භික්ෂුන් සම්බන්ධයෙන් අනුගමනය කල යුතු නීති-රෙගුලාසි පිලිබඳ ව, පවත්නා නීති යටතේ වෙනසක් කල නොහැකි බව බයාදු ලෙස සඳහන් කල දිසානායක, ඒ සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන්ට බලපාන විධිවිධාන බෞද්ධ සංස්ථාපිතය සමඟ සාකච්ඡා කර, ඒ අනුව ඒවා සංශෝධනය කරන බවට පොරොන්දු විය. අදාල සංශෝධන සකස් කිරීමට අධිකරන ඇමති හර්ෂ නානායක්කාර ගේ මුලිකත්වයෙන් පුද්ගලයන් පස් දෙනෙකුගේ කොමිසමක් වහා ම පත් කල දිසානායක දෙ සතියක් ඇතුලත එම සංශෝධන ඉදිරිපත් කරන ලෙස ද කොමිසමට නියෝග කලේ ය.
ඔක්තෝබර් 11 දා, ජනාධිපති මාධ්ය අංශය ප්රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම රෙගුලාසි වෙනස් කර බන්ධනාගාරයේ දී සිවුරු ඇඳීමට අවසර දීම සඳහා නව රෙගුලාසි කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇති බවයි. යෝජිත සංශෝධන භික්ෂු නායකයන් වෙත ඉදිරිපත් කර, “සති දෙකක් ඇතුලත” එම යෝජනා සම්මත කිරීමට ආන්ඩුව අපේක්ෂා කරන බව ද ඉහත ප්රකාශයේ සඳහන් වේ.
විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ), ශ්රී ලංකා පොදු ජන පෙරමුන, ශ්රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය (එජාප ) ඇතුලු විපක්ෂයේ ධනපති දේශපාලන පක්ෂ ස්වොත්තමවාදී බලවේග අරඹා ඇති උද්ඝෝෂනයේ මූලිකත්වය ගෙන ඇත.
භික්ෂුවක හෝ වෙනත් ආගමික නායකයෙකු අදාල “ආගමික ආයතනයේ දැනුවත්භාවයකින් හෝ භික්ෂුව හෝ පුජකවරයාගේ කැමැත්තෙන් තොර ව ගිහි ඇඳුමකින් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ඒම නුසුදුසු” බවත් “භික්ෂුත්වය හෝ අදාල වෙනත් ආගමක නිලභාවය පිලිබඳ තීරනය ගත යුත්තේ එම ආගමික ආයතන” බවත් සජබ නායක සජිත් ප්රේමදාස ඔක්තෝබර් 6 දා නිකුත් කල මාධ්ය නිවේදනයක සඳහන් වේ.
“සිවුර ඉවත් කර බන්ධනාගාරයේ රඳවා තැබීමෙන් පැන නැගිය හැකි අර්බුද වලක්වා ගැනීම සඳහා එවක ජනාධිපති මෛත්රීපාල සිරිසේන සමඟත්, කැබිනට් මන්ඩලයේ දී ත් පුලුල් ලෙස සාකච්ඡා කිරීමෙන් පසු”, ඥානසාර භික්ෂුවට මීට පෙර ජනාධිපති සමාව ලබා දීමට තමන් අගමැති ව සිටි 2018 දී පියවර ගත් බව එජාප නායක රනිල් වික්රමසිංහ එජාප නීතිඥ හමුවක දී පවසා ඇත.
ඥානසාර භික්ෂුවට මුලින් ම සිර දඬුවම් පනවනු ලැබුවේ 2018 වසරේ දී ය. ඒ ජනාධිපති මහින් ද රාජපක්ෂ ගේ පාලන සමයේ, 2010 දී අතුරුදහන් වූ දේශපාලන කාටුන් ශිල්පී ප්රදීප් එක්නැලිගොඩ සම්බන්ධ නඩුවේ දී ඔහුගේ බිරිඳ සන්ධ්යා එක්නැලිගොඩට තර්ජනය කිරීම සහ අධිකරනයට අපහාස කිරීම පිලිබඳ ව පවරනු ලැබූ නඩුවක දී වරදකරු වීමෙනි. බරපතල වැඩ සහිත වසර 6 ක සිර දඬුවමක් ඔහුට පනවන ලැබූ අතර, වසරකටත් අඩු කාලයක් තුල ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් “ජනාධිපති පොදු සමාව” ලබා දී ඔහු නිදහස් කෙරුනි.
ඊට එරෙහි ව එක්නැලිගොඩ ගේ බිරිඳ විසින් පවරන ලද නඩුවක් විභාග කල ශ්රේෂ්ඨාධිකරනය, ජනාධිපති පොදු සමාව අවලංගු කර දඬුවමේ ඉතිරි කාලය ඔහු විසින් ගෙවිය යුතු බවට නියෝග කලේ ය. සැඟ වී පොලිසිය මග හරිමින් සිටි භික්ෂුව නැවත අත්අඩංගුවට ගැනීමෙන් පසු දඬුවම ක්රියාත්මක කිරීමට උසාවිය නියෝග කලේ ය.
මීට අමතර ව, ඉස්ලාම් ආගමට අපහාස කිරීම සහ ආගමික වෛරය ඇවිස්සීම සම්බන්ධයෙන් මාස නවයක තවත් සිර දඬුවමක් 2025 දී ඔහුට නියම කෙරුනි. එම නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් ඥානසාර භික්ෂුව විසින් ඉදිරිපත් කර තිබු පෙත්සම ප්රතික්ෂේප කරමින් අභියාචනා අධිකරනය 2026 ඔක්තෝබර් 07 වන දා මුල් සිර දඬුවම එ ලෙස ම ස්ථිර කලේ ය.
2012 පමන ඇරඹූ “බොදු බල සේනා” සංවිධානයේ ප්රධාන ලේකම් ලෙස ඥානසාර භික්ෂුව ක්රියාකල බව ද එවක ආරක්ෂක ලේකම් ව සිටි ගෝඨාභය රාජපක්ෂ හා මිලිටරි සංස්ථාපිතයේ සහාය ඊට ලැබුනු බවට ද තොරතුරු ප්රකට විය. තමන් එවැනි සහයක් නොදුන් බව ආරක්ෂක අංශ ප්රකාශ කල ද බොදු බල සේනා ඇතුලු සිංහල-බෞද්ධ අන්තවාදී සංවිධාන විසින් 2013-2014 වසර වල ක්රිස්තියානි හා මුස්ලිම් ආගමික ස්ථාන 200කට ආසන්න සංඛ්යාවකට හා මුස්ලිම් ව්යාපාරික ස්ථාන වලට ප්රචන්ඩ ප්රහාර එල්ල කිරීම එ වැනි සහයක් නොමැති ව සිදු කල නොහැකි විය.
2013 ජනවාරි මාසයේ මහනුවර බූවැලිකඩ කඩමන්ඩියේ මුස්ලිම් සුලු ව්යාපාරිකයන්ට සහ 2014 ජනවාරි මාසයේ අලුත්ගම මුස්ලිම් වැසියන්ට සහ සුලු ව්යාපාරිකයන්ට එරෙහි ව එවන් ප්රචන්ඩ ප්රහාරයන් එල්ල කෙරුනි. බොදු බල සේනාව විසින් උසිගන්වන ලද වර්ගවාදී මැරයන් විසින් අලුත්ගම දී මුස්ලිම්වරුන්ට අයත් නිවාස හා ව්යාපාර ස්ථාන කොල්ලකා, ගිනි තැබූහ. මෙම මුස්ලිම්වරුන් දෙදෙනෙකු සහ දෙමල ජාතිකයෙකු ඝාතනයට ලක් වී තවත් 60 දෙනෙකු පමන තුවාල ලැබූ හ. මෙම සියලු ප්රකෝපකාරී ක්රියාවන් සිදු කෙරුනේ එවක පාලන බලයේ සිටි මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ පූර්න පිටුබලය ඇති ව ය.
ආරම්භයේ සිට ම, කම්කරු පන්තිය වාර්ගික බෙදීමකට ලක් කරමින් සිය පන්ති පාලනය රැක ගැනීමේ ලා දෙමල විරෝධී සිංහල ස්වෝත්තමවාදය ඇවිලවීමට ප්රමුඛ ව ම බෞද්ධ සංස්ථාපිතයේ සහයෝගය ලබා ගත් කොලඹ ධනපති පන්තිය ක්රියා කලේ ය. 1956 සිංහල භාෂාව රාජ්ය භාෂාව ලෙසත්, 1972 දී බෞද්ධාගම රාජ්ය ආගම ලෙසත් ව්යවස්ථාගත කොට තහවුරු කෙරුනි.
සමාජ-දේශපාලන අර්බුදය තීව්ර කෙරුන සෑම අවස්ථාවක දී ම තම අත් ශක්තිමත් කර ගැනීමට සහ කම්කරු පන්තිය බෙදා වෙන් කිරීමට, සිංහල ආධිපත්යවාදී මතවාදය සහ දෙමල-විරෝධී අන්තවාදය දිගු කලක් තිස්සේ යොදා ගෙන ඇත. දෙමල ජනයාට එරෙහි දශක තුනක ප්රචන්ඩ හා ලේ වැකි වර්ගවාදී යුද්ධය සිංහල ධනපති පාලක පන්තියේ මෙම ප්රතිගාමී පිලිවෙත කුලු ගැන්වීමකි.
දිසානායක නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුන එහි උද්යෝගිමත් උද්ඝෝෂකයෙකි. දිසානායක මෙම වසරේ මැයි 27 පැවති රාජ්ය වෙසක් උත්සවයේ දී අභ්යන්තර සංඝාධිකරන මගින් සිවුරු හැර යාමට නියෝග කිරීමට පෙර, රටේ නීති යටතේ බෞද්ධ භික්ෂූන් අත්අඩංගුවට ගැනීම හෝ අපරාධ චෝදනා එල්ල කිරීම වැලැක්වීම සඳහා තම ආන්ඩුව නීති සංශෝධන හඳුන්වා දෙන බව ප්රකාශ කලේ ය. නව නීති අනුව, භික්ෂූන්ට එරෙහි චෝදනා බෞද්ධ විනය යටතේ විමර්ශනය කිරීමට සංඝාධිකරන පිහිටුවා ගැනීමට ඉඩ සැලසෙන බවත්, එ මගින් ඔවුන් වරදකරුවන් වී සිවුරු හැර යාමට නියෝග ලද හොත් පමනක්, රටේ සාමාන්ය නීති යටතේ ඔවුනට එරෙහි ව නඩු පැවරිය හැකි බව ද ඔහු එහි දී සඳහන් කලේ ය.
ජනතා විමුක්ති පෙරමුන/ ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවක් බලයට පත් වුව හොත්, බුද්ධාගමට ව්යවස්ථාවෙන් හිමි කර දී ඇති “ප්රමුඛ ත ම ස්ථානය” ආරක්ෂා කරන බවත්, ශ්රී ලංකාවේ “ඒකීය රාජ්යය, භෞමික අඛන්ඩතාව සහ ජාතික ආරක්ෂාව” වෙනුවෙන් තම පක්ෂය “අතිමහත් කැපකිරීම්” සිදු කර ඇති බවත් 2024 ජනාධිපති මැතිවරනයට දින කිහිපයකට පෙර ලංකා බෞද්ධ සම්මේලනයේ නායකයන් ඉදිරියේ දී පක්ෂයේ ප්රමුඛ නායකයෙකු මෙන් ම, වත්මන් විදේශ කටයුතු ඇමති විජිත හේරත්, සහතික විය.
පසුගිය වසරක කාලය තුල දී ප්රමුඛ භික්ෂූන් ඇතුලු භික්ෂුන් සිය ගනනක් අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත. රාජ්ය ලමා ආරක්ෂක කාර්යාංශය ට අනුව භික්ෂූහු 300කට ආසන්න සංඛ්යාවක් ලමා අපයෝජන චෝදනා ලැබ සිටිති. ඒ අතර අනුරාධපුර අටමස්ථානාධිපති වූ පල්ලේගම හේමරතන ද සිටින අතර වයස අවුරුදු 15 ක ගැහැනු ලමයෙකුට ලිංගික අතවර කිරීම ඔහුට එරෙහි චෝදනාවයි. පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම මඟ හැර සිටි අතර පසු ව ඔහු අත්අඩංගුවට ගැනුනේ ඔහුට එරෙහි ව පුලුල් මහජන විරෝධයක් ඇවිලෙන තතු තුල පමනි. තායිලන්තයේ සිට මත්ද්රව්ය ගෙන ඒම සම්බන්ධයෙන් ද භික්ෂූන් 22 ට චෝදනා එල්ල වී ඇත.
ඥානසාර භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම නිමිත්ත කර ගනිමින් සංඝ සංස්ථාපිතය සහ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන් විසින් “බෞද්ධ චීවරය රැක ගැනීමේ” උද්ඝෝෂනයේ එල්ලය, මහජනතාව ඉදිරියේ අපකීර්තියට පත් වෙමින් පිරිහීමට ලක් ව ඇති බෞද්ධ සංස්ථාපිතයේ ආධිපත්යය යලි තහවුරු කර ගැනීමයි.
මෙම දක්ෂිනාංශික උද්ඝෝෂනය ඉස්මත්තට ගැනෙන්නේ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්රහාරයන්ට එරෙහි ව මහජන විරෝධය වර්ධනය වන කොන්දේසි තුල ය. ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්රායල සාපරාධී යුද්ධයෙන් තීව්ර වී ඇති ගෝලීය ආර්ථික අර්බුදයේ බර, ජාත්යන්තර මූල්ය අරමුදලේ කප්පාදු පිලිවෙත් හරහා ජවිපෙ/ජාජබ ආන්ඩුව කම්කරුවන් සහ දුගී ජනතාව මත පටවමින් සිටී. එමගින්, තම රැකියා, වැටුප්, සමාජ තත්ත්වයන් සහ ජීවන මට්ටම්වලට එල්ල කෙරෙන ප්රහාරයට එරෙහි ව කම්කරුවන්, ගම්බද දුගීන් සහ තරුනයන් අතර ආන්ඩුවට එරෙහි පුලුල් විරෝධයක් වර්ධනය වෙමින් පවතී. 2022 මහජන නැගිටීම ධනපති පාලකයන් ඉදිරියේ යලි හොල්මන් කරයි. ජවිපෙ/ජාජබ ආන්ඩුට කම්කරු පන්තිය තුල වාර්ගික, ආගමික භේද ඇවිලවීම සඳහා එවන් දක්ෂිනාංශික ව්යාපාරයක් විපක්ෂවල අත යටට යා නොදී, තම සහයට ගැනීම අවශ්ය වී ඇත.
කම්කරු පන්තිය සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී බලවේගවල මෙම ප්රතිගාමී උද්ඝෝෂනය බරපතල අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු බවත් ඊට එරෙහි ව සිංහල දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතුව සඳහා සටන් කරන ලෙසත් සමාජවාදී සමානතා පක්ෂය (සසප)ඉල්ලා සිටියි. පරාගතවාදී බෞද්ධ සංස්ථාපිතය හා එහි සංඝ නායකයෝ හැම විට ම ආන්ඩුවල හා පාලක පන්තියේ ආරක්ෂක අත්ගෙඩියක් ලෙස ක්රියාකලහ. ජාත්යන්තර මුල්ය අරමුදලේ කප්ප්පාදු ප්රහාර හා ප්රජාතන්ත්රවාදී අයිතීන් මැඬීමට ඔවුන්ගේ සහයෝගය ලැබේ.
ප්රජාතන්ත්රවාදී හා සමාජ අයිතීන් සුරක්ෂිත කිරීමේත්, සැබෑ සමානාත්මතාව ස්ථාපිත කිරීමේත් මූලික කොන්දේසිය ලෙස රාජ්යය, ආගමෙන් මුලුමනින් ම ස්වාධීන කිරීම අවශ්ය බව සසප අවධාරනය කරයි. “රාජ්යය සහ ආගම මුලුමනින්ම වෙන් කරනු!”, “සියලු ආගමික හා වාර්ගික වරප්රසාද අහෝසි කරනු!” “සිංහල-බෞද්ධ ඒකීය ව්යවස්ථාව අහෝසි කරනු!” කම්කරු පන්තියේ ඉල්ලීම් වේ.
ප්රජාතන්ත්රවාදී හා සමාජ අයිතීන් සහතික කල හැක්කේ ධනවාදය විප්ලවීය ලෙස පෙරලා දමා, සමාජවාදී ආර්ථික පිලිවෙතක් හා අනාගමික ව්යවස්ථාවක් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමෙන් පමනි. එය ජාත්යන්තර සමාජවාදය සඳහා වන පුලුල් අරගලයේ අත්යවශ්ය කොටසකි.
වැඩිදුර කියවන්න
- බොදු බල සේනා වේ ප්රතිගාමී දේශපාලනය
- ජනාධිපති සමාවෙන් නිදහස ලැබූ ඥානසාර භික්ෂුව ප්රකෝපකාරී ක්රියාවලට පිටපොට ගසයි
- බොදු බල සේනා හා මියන්මාර බෞද්ධ අන්තවාදී සංවිධානය පෙල ගැසෙති
- ශ්රී ලංකාවේ බොදුබල සේනා සංවිධානය මුස්ලිම්-විරෝධී ප්රචාර උත්සන්න කරයි
- බොදු බල සේනාව මුස්ලිම්-විරෝධී ප්රකෝපකරනයන් මාලාවක් දියත් කරයි
