විශ්වවිද්‍යාල ආචාර්යවරු දහස් ගනනක් වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් වැඩවර්ජනය කරති

[මෙය Thousands of Sri Lankan university teachers strike over pay and conditions මැයෙන් ඉංග්‍රීසියෙන් පල විය.]

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙලා ගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් තමන් තුල පවතින දැඩි කෝපය ප්‍රකාශයට පත් කරමින්, දිවයිනේ සියලු ම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු පසු ගිය සිකුරාදා එක් දින වැඩවර්ජනයක නිරත වූහ. ආචාර්යවරු 7,000ක් පමන සහභාගී වූ මෙම වැඩවර්ජනය හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුරා සියලු ම අධ්‍යයන කටයුතු මුලුමනින් ම පාහේ අඩාල විය.

2026 ඔක්තෝබර් 30 වැනි දින කොලඹ දී විරෝධතාවයේ යෙදෙන විශ්වවිද්‍යාල ආචාර්යවරු

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (ෆූටා) විසින් කැඳවන ලද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මගින් ඉල්ලා සිටියේ, අධ්‍යයන කාර්ය මන්ඩල හිඟයට, දරාගත නොහැකි වැඩ බරට, ප්‍රමානවත් භෞතික හා මානව සම්පත් නොමැතිකමට, වැටුප් විෂමතාවලට, දීමනා කප්පාදුවලට සහ ගුරුවරුන්ගේ සොච්චම් ආදායම් මත පටවා ඇති දැවැන්ත බදු බරට විසඳුම් ලබා දෙන ලෙසයි.

ආචාර්යවරුන් 2,000කට ආසන්න පිරිසක් කොලඹ මධ්‍යයේ පිහිටි සෞන්දර්ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (යූජිසී) දක්වා කිලෝමීටර භාගයක පමන දුරක් පා ගමනින් ගමන් කලහ. “අධ්‍යාපනයට සියයට හයක්,” “නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරනු” සහ “රාජ්‍ය විශ්වවිද්‍යාල රැක ගනු” යන සටන්පාඨ සහිත පුවරු ඔවුහු රැගෙන ගියහ.

පා ගමනට එක්වූවෝ “පොහොසත් රටක්—දුප්පත් අධ්‍යාපනයක්” යන සටන් පාඨය සහිත පුවරුවක් ද රැගෙන ගියහ. එය 2024 මැතිවරනයේ දී ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව භාවිත කල මැතිවරන සටන් පාඨය උපහාසාත්මක ලෙස අනුකරනය කිරීමකි. කොලඹින් පිටත පිහිටි යාපනය විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය ඇතුලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරු ද විරෝධතාවට එක්වීම සඳහා පැමින සිටියහ.

සිකුරාදා පැවති ක්‍රියාමාර්ගය, සැප්තැම්බර් මුල සිට තීව්‍ර වී ඇති ෆූටා විසින් කැඳවන ලද විරෝධතාවල නව ත ම අවස්ථාවයි. සැප්තැම්බර් 9 දින සියලු ම රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මන්ඩල එක් දින විරෝධතා වැඩවර්ජනයක නිරත වූහ.

විශ්වවිද්‍යාල වෙලා ගෙන ඇති අර්බුදය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) නියෝග යටතේ අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩු විසින් රාජ්‍ය අධ්‍යාපනයට අඛන්ඩ ව සිදු කල වියදම් කප්පාදුවල ප්‍රතිඵලයකි. දිසානායක ආන්ඩුව යටතේ මෙම කප්පාදු දැන් තව දුරටත් තීව්‍ර කෙරෙමින් පවතී.

විශ්වවිද්‍යාලවලට ඇතුලත් වන ශිෂ්‍ය සංඛ්‍යාව දෙ ගුනයකට ආසන්න ප්‍රමානයකින් ඉහල ගොස් ඇත. එය 2012 දී 25,000ක් පමන වූ අතර අද වන විට 45,000ක් දක්වා ඉහල ගොස් තිබේ. ෆූටා පවසන පරිදි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට අධ්‍යයන කාර්ය මන්ඩල සාමාජිකයන් 12,000ක් අවශ්‍ය වුවත්, දැනට සේවයේ නියුතු ව සිටින්නේ 5,200ක් පමනි. එනම් අවශ්‍ය සංඛ්‍යාවෙන් අඩකටත් වඩා අඩු හිඟයකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශිෂ්‍ය-ආචාර්ය අනුපාතය තියුනු ලෙස පිරිහී ඇති අතර, ඊට අනුරූප ව අධ්‍යාපනයේ ගුනාත්මකභාවය ද පහත වැටී තිබේ.

අධ්‍යයන කාර්ය මන්ඩලයේ නික්ම යාම ආන්ඩුවේ ප්‍රතිපත්තියේ ඍජු ප්‍රතිඵලයකි. ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය යටතේ බොහෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තම ආදායමෙන් සියයට 36ක් දක්වා බදු ගෙවීමට සිදුවේ. ඒ අතර ම, අධ්‍යයන පර්යේෂන සඳහා වෙන් කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන දැවැන්ත ලෙස කපා හැර ඇති අතර, එ මගින් බැරෑරුම් ශාස්ත්‍රීය පර්යේෂන සිදු කිරීමට විශ්වවිද්‍යාලවලට ඇති හැකියාව අහිමි කර තිබේ.

ශිෂ්‍ය නේවාසිකාගාර, විද්‍යාගාර සහ දේශන ශාලා, දැඩි හිඟයකට මුහුන දී සිටින අතර පුස්තකාල පහසුකම් ද ප්‍රමානවත් නොවේ. මෙම තත්ත්වයන්, නිදහස් අධ්‍යාපනයක් සපයන බවට කෙරෙන ප්‍රකාශ විහිලුවක් බවට පත් කරන පරිසරයක් තුල වැඩ කිරීමට සහ අධ්‍යයනය කිරීමට ශිෂ්‍යයන්ට සහ කාර්ය මන්ඩලයට බල කරයි.

විරෝධතාවට සහභාගී වූ ආචාර්යවරුන් තමන් මුහුන දෙන ගැටලු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට පැහැදිලි කලහ.

කොලඹ විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ලක්මාල් පෙරේරා තම විශ්වවිද්‍යාලය මුහුන දෙන ගැටලු මෙසේ විස්තර කලේය.

“පසුගිය ආන්ඩු දෙකේ ම සහ වත්මන් ආන්ඩුවේ කප්පාදු ප්‍රතිපත්ති නිසා නව කථිකාචාර්යවරුන් බඳවා ගැනීම දැඩි ලෙස සීමා කර තිබෙනවා. මේ වසර ආරම්භය වන විට අපේ අධ්‍යයන කාර්ය මන්ඩලයට අලුතින් සාමාජිකයන් 20 දෙනෙකු බඳවා ගැනීමට අවශ්‍ය ව තිබුනත් බඳවා ගැනීමට හැකි වුනේ තුන් හතර දෙනෙකු පමනයි.

“අපට දරාගත නොහැකි වැඩ බරක් පටවා තිබෙනවා. ඒ නිසා අපේ කාර්යයේ ගුනාත්මකභාවය පවත්වා ගෙන යාමට නොහැකි වී තිබෙනවා. අපේ වැටුපෙන් විශාල කොටසක් බදු ලෙස අඩු කරන නිසා ජීවත් වීම දිනෙන් දින දුෂ්කර වෙනවා. විශ්වවිද්‍යාල තුල සිදු වෙමින් පවතින්නේ අයිඑම්එෆ් කප්පාදු පියවරවල කොටසක්.”

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු පැවසුවේ තමන් මීට පෙර වෘත්තීය සමිතිය කැඳවූ විරෝධතාවලට ද සහභාගී වී ඇති බවයි. විශේෂයෙන් ම ස්ථිර, සුදුසුකම් ලත් අධ්‍යයන කාර්ය මන්ඩලයේ බරපතල හිඟයක් පවතින බව ඔහු පැහැදිලි කලේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ අධ්‍යයනාංශ වලට තාවකාලික කථිකාචාර්යවරුන් මත රඳා පැවතීමට සිදු ව තිබේ.

“ශිෂ්‍යයන්ට මුහුන දීමට සිදු වී තිබෙන්නේ අධික ලෙස තදබද වූ යටිතල පහසුකම්, ප්‍රමානවත් උපකරන නොමැති විද්‍යාගාර හා නවීන ඩිජිටල් ඉගෙනුම් මෙවලම් වෙත සීමිත ප්‍රවේශයන් ආදී ගැටලුවලටයි. මේ සීමාවන්ට අමතර ව දැඩි හා සාම්ප්‍රදායික විෂය මාලා සහ ප්‍රමානවත් රාජ්‍ය අරමුදල් නොමැතිකම හා ඩිජිටල් පරතරය ඇතුලු පුලුල් කලාපීය ගැටලු ද පවතිනවා” යැයි එම කථිකාචාර්යවරයා වැඩිදුරටත් පැවසී ය.

විරෝධතාව අවසානයේ ෆූටා නායකයෝ කොලඹ බස්නාහිර පලාත් සෞන්දර්ය නිකේතනයේ “සම්මන්ත්‍රනයක්” පැවැත්වූ අතර, විශ්වවිද්‍යාල මුහුන දෙන ගැටලු ආන්ඩුවේ “උනන්දුවක් නොමැතිකමේ” හෝ “ගැටලු තේරුම් ගැනීමට අසමත් වීමේ” ප්‍රතිඵලයක් ලෙස නිරූපනය කිරීමට එහි දී උත්සාහ කලහ.

FUTA ලේකම් චාරුදත්ත ඉලංගසිංහ (දකුනේ සිට තෙ වැනියා) සෙසු වෘත්තීය සමිති නායකයන් සමගින් ශ්‍රී ලංකාවේ අයිඑම්එෆ් දූත පිරිසේ ප්‍රධානී පීටර් බෘවර් මුන ගැසෙයි [Photo: Facebook/FUTA]

පා ගමන අතරතුර යූජීසී ඉදිරිපිට පැවැත්වූ කෙටි විරෝධතාවේ දී ෆූටා ලේකම් චාරුදත්ත ඉලංගසිංහ, අර්බුදය සම්බන්ධ වගකීමෙන් ආන්ඩුව නිදහස් කරමින්, වගකීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් මත පැටවීමට උත්සාහ කලේ ය. “සභාපතිවරයෙක් ඉන්නවා, උප සභාපතිවරයෙක් ඉන්නවා. නමුත් ඔවුන් සත පහකටවත් වටින්නේ නැහැ. අපට මේ වගේ කොමිෂන් සභාවක් අවශ්‍ය නැහැ” යැයි ඔහු ප්‍රකාශ කලේ ය.

මෙය හිතාමතා සිදු කරන විකෘති කිරීමකි. ආන්ඩුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ඉටු කිරීම ප්‍රතික්ෂේප කරන්නේ උනන්දුවක් හෝ අවබෝධයක් නොමැති නිසා නොව, අධ්‍යාපන වියදම් කපා හැරීම තම අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලේ අත්‍යවශ්‍ය අංගයක් වන නිසා ය.

මාධ්‍ය අමතමින් ඉලංගසිංහ ප්‍රකාශ කලේ, “මෙම ගැටලුවලට විසඳුම් ලබා නොදුනහොත් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින මේ රටේ සියලු දෙනා සමග එක් ව අපේ ක්‍රියාමාර්ග තීව්‍ර කරනවා” යනුවෙනි. කෙසේ වෙතත්, එම ක්‍රියාමාර්ග කවරේදැයි ඔහු පැහැදිලි කලේ නැත.

පසුගිය වසර දෙක තුල වත්මන් ආන්ඩුව සමග ෆූටා සාකච්ඡා රාශියක් පවත්වා ඇති නමුත් “ඒ සියල්ල නිෂ්ඵල වූ” බව ඉලංගසිංහ පිලිගත්තේ ය.

මෙම සාකච්ඡාවල නිෂ්ඵලභාවය, ෆූටා හි ධනේශ්වර ගැති ඉදිරිදර්ශනයේ බංකොලොත්භාවය හෙලිදරව් කරයි. අධ්‍යාපනය සඳහා රාජ්‍ය වියදම් දල ජාතික නිශ්පාදනයෙන් සියයට 6 දක්වා ඉහල නැංවීම, විශ්වවිද්‍යාල යටිතල පහසුකම් ප්‍රතිසංස්කරනය කිරීම, ප්‍රමානවත් අධ්‍යයන කාර්ය මන්ඩලයක් බඳවා ගැනීම සහ ශිෂ්‍යයන්ට නිසි පහසුකම් සැපයීම ඇතුලු ආචාර්යවරුන්ගේ ඉල්ලීම් අයිඑම්එෆ් වැඩපිලිවෙලේ රාමුව තුල ඉටු කල නොහැක. කිසිදු විරෝධතා ක්‍රියාමාර්ගයකට හෝ වැඩවර්ජනයකට ආන්ඩුවේ පිලිවෙත වෙනස් කිරීමට බලපෑම් කල නොහැක.

ජවිපෙ/ජාජබ ආන්ඩුව මේ වසරේ වියදම් කපා හැරීම අරමුනු කරගත් සිය “අධ්‍යාපන ප්‍රතිසංස්කරන” ක්‍රියාත්මක කිරීම ආරම්භ කලේ ය. “ශ්‍රම වෙලඳපොල ඉලක්ක කරගත් අධ්‍යාපනයක්” රටට අවශ්‍ය බව දිසානායක ප්‍රකාශ කලේ ය. යෝජිත ක්‍රමය යටතේ හයවන ශ්‍රේනියේ සිට ම ශිෂ්‍යයන් වෘත්තීය පුහුනුවට යොමු කෙරෙන අතර, උසස් පෙල සමත් වූ පසු වෘත්තීය විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වීමේ මංපෙත් විවෘත කෙරේ.

මෙම වැඩපිලිවෙලේ කොටසක් ලෙස 2034 වන විට ශ්‍රී ලංකාව තුල නව විශ්වවිද්‍යාල 50ක් පිහිටුවන බව දිසානායක නිවේදනය කලේ ය. එහෙත් දැනට පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල 17 පුලුල් කිරීමක් සිදු නොකරන අතර, ආන්ඩුව ඒවා හඳුන්වන්නේ සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල ලෙස ය. බොහෝ ආචාර්යවරුන් අනතුරු අඟවා ඇති පරිදි, ජවිපෙ/ජාජබ ආන්ඩුව විශ්වවිද්‍යාලවල “ස්වාභාවික මරනය” ලෙස හඳුන්වන ක්‍රියාවලිය වේගවත් කරමින්, අධ්‍යාපනය මුලුමනින් ම පෞද්ගලීකරනය කිරීම දෙසට ගමන් කරමින් සිටී.

ලොව පුරා ධනේශ්වර ආන්ඩු සහ පාලක ප්‍රභූන්, ඓතිහාසික ව උසස් අධ්‍යාපනයේ අරමුන වූ ශිෂ්‍යයන්ගේ බුද්ධිමය, සමාජීය හා සංස්කෘතික පෞරුෂය පුලුල් ලෙස වර්ධනය කිරීමේ සාම්ප්‍රදායික මෙහෙවර ක්‍රමානුකූල ව අත් හැර දමා තිබේ. ඒ වෙනුවට ඔවුන් පටවමින් සිටින්නේ ලාභය, කප්පාදුව සහ මිලිටරිවාදය විසින් නියම කරනු ලබන ආකෘතියකි.

2026 ඔක්තෝබර් 30 වැනි දා කොලඹ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පාගමන

2012 දී ෆූටා දශක තුනක් තුල දිවයිනේ පැවති දීර්ඝ ත ම කාර්මික ක්‍රියාවන්ගෙන් එකක් වූ දින 100ක වැඩවර්ජනයකට නායකත්වය දුන්නේ ය. එහි ඉල්ලීම් වූයේ වැටුප් සියයට 20කින් ඉහල නැංවීම සහ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීමයි. එකදු ඉල්ලීමක් හෝ දිනා නොගෙන, ආන්ඩුවේ හිස් පොරොන්දු මත පදනම් ව ආචාර්යවරුන් නැවත සේවයට යවමින් වෘත්තීය සමිති නායකත්වය එම වැඩවර්ජනය පාවා දුන්නේ ය.

රාජපක්ෂ ආන්ඩුව සහ එහි කප්පාදු පියවර පෙරලා දැමූ 2022 මහජන නැගිටීම අතරතුර, ෆූටා නායකත්වය ශ්‍රී ලංකාව “දැඩි බංකොලොත්භාවයක ගිලී සිටින” බවත්, අයිඑම්එෆ් මැදිහත්වීම “කනගාටුදායක” වුවත් එය “වැලැක්විය නොහැකි” බවත් ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කලේ ය.

අන්තර්වාර ආන්ඩුවක් පිහිටුවන ලෙස ජවිපෙ සහ සමගි ජන බලවේගය (සජබ) කල ඉල්ලීම්වලට ෆූටා සිය සහාය ලබා දුන්නේ ය. වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධාන සමග එක් ව, මහජන නැගිටීම පාර්ලිමේන්තු ආවෘත අන්තයකට හරවා යැවීමට එය ක්‍රියා කලේ ය. එ මගින් අපකීර්තියට පත් ව සිටි, එක්සත් ජනපද ගැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමේ මාවත සකස් කල අතර, වික්‍රමසිංහ පසු ව අයිඑම්එෆ් ඇප නය ගිවිසුමට අත්සන් තැබී ය.

වික්‍රමසිංහ අයිඑම්එෆ් වැඩපිලිවෙලට අත්සන් තැබීමෙන් පසු, ෆූටා නායකයෝ, අන්තර්ජාලය ඔස්සේ මෙන් ම මුහුනට මුහුනලා ද අයිඑම්එෆ් නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වූ වෘත්තීය සමිති නිලධාරීන් අතර වූහ.

2024 නොවැම්බර් 22 දින කොලඹ දී අයිඑම්එෆ් නිලධාරීන් සමග පැවති හමුවකින් පසු ව ෆූටා නිකුත් කල නිවේදනයක මෙසේ සඳහන් විය:

“බදු බර සමතුලිත කිරීම සඳහා බදු ජාලය පුලුල් කිරීමේ අවශ්‍යතාව අයිඑම්එෆ් පිලිගත් අතර අපේ උත්සුකයන් ද පිලිගත්තේ ය. ... මෙම සංවාදය අනාගතයේ දී යම් සහනයක් ලබා ගැනීමට පදනම සකස් කර ඇතැයි අපි ශුභවාදී වෙමු.”

වෙනත් වචනවලින් කිව හොත්, ෆූටා නායකත්වය දිසානායක ආන්ඩුවේ කප්පාදු ප්‍රතිපත්ති සමග මුලුමනින්ම එකඟ වී සිටී.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ෆූටා හි බංකොලොත්, ධනේශ්වර ගැති ඉදිරිදර්ශනයෙන් බිඳී, සෑම අධ්‍යාපන මට්ටමක දී ම පූර්න අරමුදල් සහිත, ප්‍රමානවත් කාර්ය මන්ඩලයන්ගෙන් සමන්විත, නිදහස් රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කර ඉදිරියට ගෙන යන සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කල යුතු බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරයි. ධනවාදයේ රාමුව තුල නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කල නොහැකි ය යන යථාර්ථයට ඔවුන් මුහුන දිය යුතු ය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අප යෝජනා කරන්නේ, ෆූටා නිලධරයෙන් ස්වාධීන ව, ආචාර්යවරුන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කර ගනු ලබන තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු සෑම විශ්වවිද්‍යාලයක ම පිහිටුවන ලෙසයි. එමගින්, සටන, වෘත්තීය සමිති නිලධාරීන්ගේ අත්වලින් තම අතට යුතු ය. මෙම කමිටු ශිෂ්‍යයන්ගේ සහ අනධ්‍යයන සේවකයන්ගේ නියෝජිතයන්ට ද විවෘත විය යුතු ය.

අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ සටන කම්කරු පන්තියේ පුලුල් අරගලයෙන් වෙන් කල නොහැක. ලාභ පද්ධතිය අහෝසි කොට, ආර්ථිකය බහුතර ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා ප්‍රතිසංවිධානය කිරීමෙන් සහ විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කිරීමෙන් පමනක් නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සමාජ සේවා සංවර්ධනය සඳහා අවශ්‍ය සම්පත් නිදහස් කරගත හැකි ය.

මෙම අරගලය අතට ගන්නා ලෙසත්, නොවැම්බර් 10 වන දින පස්වරු 4ට කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී සමාජවාදී සමානතා පක්ෂය විසින් පවත්වනු ලබන ප්‍රසිද්ධ රැස්වීමට සහභාගී වන ලෙසත් අපි ආචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading