ඉදිරිදර්ශන

ජෙන්සන් හුවාං ඉවත් කිරීම සහ එක්සත් ජනපද–චීන ගැටුම තීව්‍ර කිරීමේ උද්ඝෝෂනය

[මෙය The ouster of Jensen Huang and the campaign to escalate the US-China conflict මැයෙන් 2026 නොවැම්බර් 17දා ඉංග්‍රීසි බසින් පල විය.]

එන්වීඩියා හි හිටපු සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං, 2026 ජූනි 16දා, ටෙක්සාස්හි ශර්මන් නගරයේ කොහෙරන්ට් සමාගමේ නිෂ්පාදන පහසුකම් පුලුල් කිරීමේ උත්සවයක් ආරම්භ වන තෙක් බලා සිටී. [AP Photo/Jeffrey McWhorter] [AP Photo/Jeffrey McWhorter]

ලොව විශාල ත ම අර්ධ සන්නායක නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මෙන් ම කෘතිම බුද්ධි (AI) උත්පාතයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන පුද්ගලයෙකු වන හුවාං ඉල්ලා අස්වූයේ, චීන සමාගම්වලට පරිගනක සැකසුම් බලය කුලියට දීමේ ව්‍යාපාරයක නිරත විධායක නිලධාරියෙකු සමඟ ඔහු සමීප සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය බවට ඔක්තෝබර් 29 දා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පල කල චෝදනාවෙන් අනතුරු ව ය. එම විධායක නිලධාරියා චීන ඔත්තුකරුවෙකු බවට ඇමරිකානු නිලධාරීන් චෝදනා කල බව ද ටයිම්ස් පුවත්පත සඳහන් කලේ ය.

ට්‍රම්ප් පරිපාලනය තුල සිටින වඩාත් ම ආක්‍රමනශීලී චීන විරෝධී කන්ඩායම් සහ එක්සත් ජනපද බුද්ධි අංශවල ප්‍රමුඛ කොටස් සමඟ පෙලගැසී සිටින ඩිමොක්‍රටික් පක්ෂය මෙම ව්‍යාපාරයට නායකත්වය දී ඇති අතර, රිපබ්ලිකන් පක්ෂයේ විශාල කොටස් ද ඊට එක් වී තිබේ. යුක්‍රේනයේ යුද්ධය තීව්‍ර කරන ලෙස එය ඉල්ලා සිටි ආකාරයට ම, ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය තුල ඔවුන් දකින අස්ථාවර සහ ගනුදෙනුමය ප්‍රවේශය පිලිබඳ ව අතෘප්තිමත් පාලක පන්තියේ බලගතු කොටස් වෙනුවෙන් ඩිමොක්‍රටික් පක්ෂය කතා කරයි.

ඉරිදා, සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් නායකයා ලෙස චක් ෂූමර් වෙනුවට පත්වීමට උත්සාහ කරන සෙනෙට් සභික ක්‍රිස් වැන් හොලන්, ඒබීසී නාලිකාවේ This Week වැඩසටහනේ දී ට්‍රම්ප්ට චෝදනා කලේ, “ඉතා ඉහල මට්ටමේ චිප්ස් චීනයට යැවීමේ ප්‍රශ්නයේ දී ඔහු මූලික වශයෙන් ජනාධිපති ෂීගේ පැත්ත ගනිමින් සිටින” බවයි. “ප්‍රමාද වීමට පෙර ඉහල ඇමරිකානු තාක්ෂනය වෙත චීනයට ඇති ප්‍රවේශය කපා හැරීම” සඳහා නීති සම්පාදනය කරන ලෙස ෂූමර් සෙනෙට් සභා රැස්වීමේ දී ඉල්ලා සිටියේ ය. ජනවාරි මාසයේ දී වානිජ කටයුතු පිලිබඳ කමිටුවේ සභාපතිත්වයට පත්වීමට නියමිත සෙනෙට් සභික මරියා කැන්ට්වෙල්, පරිපාලනය “තම අසාර්ථකත්වය සම්බන්ධයෙන් වගකීම භාරගත යුතු” බව ලිවී ය.

ට්‍රම්ප්ගේ චීන සංචාරය සිදුවන පසුබිම තුල මෙම උද්ඝෝෂනය තීව්‍ර කෙරෙමින් පවතී. ට්‍රම්ප් සඳුදා වොෂින්ටනයෙන් මැනිලා සහ ෂෙන්සෙන් බලා පිටත් ව ගියේ ය. එහි දී බ්‍රහස්පතින්දා ඔහු චීන ජනාධිපති ෂී ජින්පිං සමඟ මෙම වසරේ පැවැත්වෙන තුන් වැනි හමුවට සහභාගි වන අතර, ඉන් අනතුරු ව ඇමරිකානු, චීන සහ රුසියානු ජනාධිපතිවරුන්ගේ පලමු ත්‍රෛපාර්ශ්වික හමුවට ද එක්වනු ඇත. න්‍යෂ්ටික අවි සහ ඉරානයට එරෙහි යුද්ධය පිලිබඳ ව මෙම නායකයන් ති දෙනා සාකච්ඡා කරනු ඇතැයි ධවල මන්දිරය පවසයි.

මෙම උද්ඝෝෂනය පිටුපස සිටින බලවේග, සමුලුව පිලිබඳ ව ම නොසන්සුන්තාවකින් පසු වෙති. නොවැම්බර් 11 දා, විදේශ කටයුතු සහ සන්නද්ධ සේවා පිලිබඳ කමිටුවල ජ්‍යෙෂ්ඨ ඩිමොක්‍රටික් සාමාජිකයන් වන නියෝජිත ග්‍රෙගරි මීක්ස් සහ ඇඩම් ස්මිත් මෙන් ම සෙනෙට් සභික ජැක් රීඩ් ද ප්‍රකාශ කලේ, ට්‍රම්ප් සහ ඔහුගේ නියෝජිතයන් වන ජැරඩ් කුෂ්නර් සහ ස්ටීව් විට්කොෆ් “පුටින් වෙනුවෙන් වැඩ කරමින් සිටින” බවත්, “පුටින් ප්‍රතිචාර දක්වන්නේ ශක්තියට පමනක්” බවත් ය. නොවැම්බර් 12 දා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත ට්‍රම්ප්ට අනතුරු ඇඟවූයේ මෙසේ ය: “එන්වීඩියා සමාගමේ වඩාත් ම දියුනු චිප්ස් අපනයනය සම්බන්ධ සීමාවන් ලිහිල් කරවා ගැනීම සඳහා ෂී මහතා සමුලුවේ දී විශාල වෙලඳ පොරොන්දු ලබා දිය හැකි ය. ජනාධිපතිතුමනි, මෙම මී පැනි උගුලට හසු නොවන්න.”

අසමානතාවට, යුද්ධයට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරවලට මහජනතාව අතර පැතිර පවතින විරෝධය ප්‍රකාශයට පත් වූ නොවැම්බර් 3 මැතිවරනයේ දී ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රසයේ සභා දෙකෙහි ම පාලනය දිනා ගත්තේ ය. එහෙත් ඔවුන් ප්‍රතිචාර දක්වා ඇත්තේ එම ජනවරම මුලුමනින් ම ප්‍රතික්ෂේප කරමිනි. සමාගම්වලට වාසිදායක සහන සහ කප්පාදු පිලිබඳ ව ට්‍රම්ප් පරිපාලනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පොරොන්දු වන අතර ම, චීනයට එරෙහි වඩාත් ආක්‍රමනශීලී ප්‍රතිපත්තියක්, යුක්‍රේනයේ යුද්ධය තීව්‍ර කිරීමක් සහ මැද පෙරදිග අධිරාජ්‍යවාදී ආධිපත්‍යය තහවුරු නොකර ඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීම පිලි නොගැනීම සඳහා ඔවුහු බලපෑම් කරති.

ඇලිස් හුවාං චීන බුද්ධි අංශ වෙනුවෙන් සේවය කල බවට කිසිදු සාක්ෂියක් එක්සත් ජනපද බුද්ධි අංශ හෝ ටයිම්ස් පුවත්පත ඉදිරිපත් කර නැති අතර, ආන්ඩුව ඇයට එරෙහි ව කිසිදු චෝදනාවක් ගොනු කර ද නැත. ඇය පිලිබඳ ව රැස් කර ගත් බුද්ධි තොරතුරු “ඇය බීජිං වෙනුවෙන් ඔත්තුකාරියක ලෙස කටයුතු කල බව සනාථ නොකරන” බව සීඑන්එන් වාර්තා කර තිබේ. සඳුදා ට්‍රම්ප් ද ඇය ඔත්තුකාරියක ද යන්න තමන්ට නිශ්චිත නැති බව ප්‍රකාශ කලේ ය.

නොවැම්බර් 13 දා වොෂින්ටන් පෝස්ට් පුවත්පත ලිවූයේ, හුවාංගේ ඇද වැටීම “අවසානයේ දී ආරම්භ කරන ලද්දේ” රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ විසින් බවයි. ඔහු ට්‍රම්ප් වෙත ඉදිරිපත් කල සංදේශය සීඅයිඒ වාර්තාවක් පදනම් කරගෙන සකස් කල නමුත්, “එම ආයතනයේ වාර්තාකරනය තමන්ගේ ම වඩාත් දැඩි ප්‍රකාශන රටාවකට අනුව නැවත සකස් කලේ ය.” “චීනය සම්බන්ධයෙන් වඩාත් දැඩි ප්‍රතිපත්ති කරා ජාතික න්‍යාය පත්‍රය යොමු කිරීම සඳහා මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උකුස්සන් සූදානමින් සිටින” බව ද පෝස්ට් පුවත්පත වැඩි දුරටත් සඳහන් කලේ ය.

හුවාංගේ ඉරනම චීනයේ ක්‍රියාකාරකම්වලට වඩා බෙහෙවින් ම සම්බන්ධ වන්නේ එක්සත් ජනපද බුද්ධි අංශවල මෙහෙයුම්වලට ය. චීනයට එරෙහි වඩාත් ම ආක්‍රමනශීලී පියවර ඉල්ලා සිටින ඩිමොක්‍රටික් පක්ෂය සහ පරිපාලනයේ කොටස්, ප්‍රතිපත්තිමය වෙනසක් බලහත්කාරයෙන් ඇති කිරීම සඳහා ලිංගික අපවාදයක් සහ ඔප්පු නොකල ඔත්තු බැලීමේ චෝදනාවක් යොදා ගනිමින් සිටින අතර, එම අරමුන මහජනතාවගෙන් වසන් කරති.

හුවාංගේ විරුද්ධවාදීන් විරෝධය පල කරන්නේ චීනය සම්බන්ධයෙන් ඔහු අනුගමනය කල ප්‍රතිපත්තියට ය. හුවාංගේ ස්ථාවරය වූයේ චීනයට අලෙවි කිරීම මගින් කෘතිම බුද්ධිය සම්බන්ධ තරගය එක්සත් ජනපදය ජයග්‍රහනය කරනු ඇති බවයි. “මා දිගු කලක් තිස්සේ පවසා ඇති පරිදි, කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් චීනය ඇමරිකාවට වඩා නැනෝතත්පර කිහිපයක් පමනක් පිටුපසින් සිටී” යැයි හුවාං 2025 නොවැම්බර් 5 දා නිකුත් කල ප්‍රකාශයක සඳහන් කලේ ය. “ඉදිරියෙන් දිව යමින් ලොව පුරා සංවර්ධකයන් දිනා ගැනීම මගින් ඇමරිකාව ජයග්‍රහනය කිරීම අතිශයින් වැදගත්‍ ය.”

හුවාං මාස ගනනාවක් තිස්සේ සිදු කල බලපෑම් කිරීමේ ව්‍යාපාරයෙන් අනතුරු ව, 2025 දෙසැම්බර් මාසයේ දී ට්‍රම්ප්, එන්වීඩියා සමාගමේ H200 චිප්ස් චීන සමාගම්වලට අලෙවි කිරීම අනුමත කලේ ය. එම ආදායමෙන් සියයට 25ක් එක්සත් ජනපද ආන්ඩුවට හිමි විය.

වොෂින්ටන් පෝස්ට් සහ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත්වල කර්තෘ මන්ඩල මෙම අපවාදය යොදා ගෙන චිප් අපනයනය මත දැඩි පාලනයන් පනවන ලෙස ඉල්ලා සිටියි. නොවැම්බර් 12 දා පෝස්ට් පුවත්පත ලිව්වේ මෙම සිද්ධිය “ලිංගික අපවාදයකට වඩා බොහෝ දුරට විහිදෙන” එකක් බවයි. “චීනය භූ-දේශපාලනික සතුරෙකු නොව ආර්ථික තරඟකරුවෙකු ලෙස සලකන ට්‍රම්ප්ගේ සමීප කවයේ ඇතැමුන් බෙදා ගන්නා බොලඳ දැක්ම හුවාං අනුගමනය කර ඇති” බව ජර්නල් පුවත්පත ලිවී ය. අපනයන තහනම්වල පවතින හිඩැස් වසා දැමීම “ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා” විභව ක්ෂේත්‍රයක් ලෙස ද එය නම් කලේ ය.

පරිපාලනය තුල පවතින මෙම ගැටුම දැන් විවෘත ව මතු වී තිබේ. භාන්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සිකුරාදා ප්‍රකාශ කලේ, භාන්ඩාගාර දෙපාර්තමේන්තුව, රාජ්‍ය දෙපාර්තමේන්තුව, පෙන්ටගනය සහ වෙලඳ නියෝජිතයා යන සියලු පාර්ශ්වයන්ට මෙගාස්පීඩ් සමාගම අසාධු ලේඛනගත කිරීමට අවශ්‍ය වූ නමුත්, “පෑන ඇත්තේ” වානිජ දෙපාර්තමේන්තුව සතු ව බවයි. ඉරිදා ඔහු එන්වීඩියා සමාගම තුල “දැවැන්ත වෙනස්කම්” සිදු කරන ලෙස ඉල්ලා සිටි අතර, “ඔවුන්ගේ ආදායම සහ ලාභය ඉහල නංවා ගැනීම සඳහා සමාගම මෙම බැලූ බැල්මට නීති විරෝධී අලෙවියන් ඉදිරියට තල්ලු කරමින් සිටින්නේදැයි” ප්‍රශ්න කලේ ය. කැබිනට් මන්ඩලය තුල සිටින හුවාංගේ ප්‍රධාන ත ම සගයා වන වානිජ ලේකම් හොවාඩ් ලට්නික් දෙසැම්බර් 10 දා සෙනෙට් බැංකු කමිටුව හමුවේ සාක්ෂි දීමට නියමිත ය. ට්‍රම්ප්ගේ උපදේශකයන්ගෙන් ඇතැමුන් ඔහු ඉවත් කිරීම පිලිබඳ ව සාකච්ඡා කරමින් සිටින බව සීඑන්එන් වාර්තා කරයි.

හුවාංගේ තත්ත්වය කිසි සේත් ම අවසන් තීරනයකට පැමින නැත. ඔහු යලි එම තනතුරට පත් කරන ලෙස ඉල්ලා එන්වීඩියා අධ්‍යක්ෂ මන්ඩලය වෙත යොමු කල විවෘත ලිපියකට සඳුදා වන විට අත්සන් 180,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබිනි. මේ සතියේ ට්‍රම්ප් සමඟ චීනයට යාමට නියමිත ටෙස්ලා ප්‍රධානී ඊලොන් මස්ක් ද එයට අත්සන් කර තිබිනි. හුවාං යලි පැමිනීම සම්බන්ධයෙන් තමන්ට “කිසිදු විරෝධයක් නැති” බව ට්‍රම්ප් සඳුදා ප්‍රකාශ කල නමුත්, අධ්‍යක්ෂ මන්ඩලය ඒ පිලිබඳ ව සලකා බලමින් නොසිටින බව වාර්තා වේ.

පාලක පන්තිය තුල පවතින මෙම ගැටුමේදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) කිසිදු පාර්ශ්වයක් නොගනී. කඳවුරු දෙකෙන් එකක්වත් “සාමය” වෙනුවෙන් පෙනී නොසිටින අතර, ඔවුන් දෙපාර්ශ්වයට ම ඇත්තේ එක ම අරමුනක් සඳහා වූ වෙනස් මූලෝපායන්‍ ය: එනම් ඇමරිකානු ධනවාදය විසින් ලෝකය ආධිපත්‍යයට නතු කර ගැනීමයි.

චීනයට එරෙහි ව වසර ගනනාවක් තිස්සේ ආර්ථික යුද්ධයක් ගෙන ගිය ද, එරට තාක්ෂනික සංවර්ධනය නතර කිරීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය අසමත් වී තිබේ. ට්‍රම්ප් 2018 දී චීන භාන්ඩ මත තීරුබදු පැනවූ අතර, 2019 දී චීන විදුලි සංදේශ සමාගමක් වන හුවාවේ (Huawei) අසාධු ලේඛනයට ඇතුලත් කලේ ය. ජනාධිපති ජෝ බයිඩන් 2022 ඔක්තෝබර් මාසයේ දී වඩාත් ම දියුනු චිප්ස් චීනයට අලෙවි කිරීම තහනම් කලේ ය.

අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ AI දර්ශක වාර්තාව සොයා ගෙන ඇත්තේ, “එක්සත් ජනපදය සහ චීනය අතර කෘතිම බුද්ධි ආකෘතිවල කාර්යසාධනයේ පරතරය ප්‍රායෝගික ව අවසන් වී ඇති” බවයි. මාර්තු මාසය වන විට හොඳ ම ඇමරිකානු ආකෘතිය හොඳ ම චීන ආකෘතියට වඩා සියයට 2.7කින් ඉදිරියෙන් සිටියේ ය. මෙම මාසයේ දී චීනයේ අලිබබා සමාගම නිෂ්පාදනය කල Wan 3.0 ආකෘතිය, පෙල (text) ආදානයෙන් ශබ්දය සහිත වීඩියෝ නිපදවන වැඩසටහන් ශ්‍රේනිගත කරන Artificial Analysis ලැයිස්තුවේ පලමු ස්ථානයට පත් විය.

චීනයට ඇමරිකානු චිප්ස් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් වොෂින්ටනයට මෙම තත්ත්වය ආපසු හැරවිය නොහැකි ය. දිගුකාලීන ව පමනක් නොව, මධ්‍යකාලීන ව පවා එය කල නොහැකි ය. චිප්ස් සහ කෘතිම බුද්ධි ආකෘති නිෂ්පාදනය තනි ගෝලීය ක්‍රියාවලියක් වන අතර, එහි දී චීනය ලෝක නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයකි. යුද්ධයකට එලඹීම හැරුනු විට, ලෝකයේ දෙ වැනි විශාලත ම ආර්ථිකයේ නැගීම නතර කිරීමට ඇමරිකානු අධිරාජ්‍යවාදයට නොහැකි ය.

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය (SEP), අගෝස්තු මාසයේ පැවති සිය නව වැනි ජාතික සම්මේලනයේ දී සම්මත කල යෝජනාවක මෙසේ සඳහන් කලේ ය: “කෘතිම බුද්ධිය ලෝකය අධිරාජ්‍යවාදී ලෙස යලි බෙදා ගැනීමේ නව ක්‍රියාවලියේ කේන්ද්‍රීය සාධකයක් බවට පත් ව තිබේ.” ලෝකය ජාතික රාජ්‍යයන්ට බෙදා තිබීම යල්පැන ගිය තත්ත්වයක් වන අතර, එය තාක්ෂනයේ වෛෂයික සංවර්ධනය සමඟ ගැටුමක පවතී.

ඇමරිකානු පාලක පන්තියේ කිසිදු කන්ඩායමක් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදයෙන් ගොඩ ඒමට ප්‍රගතිශීලී විසඳුමක් ඉදිරිපත් නොකරන අතර, ෂීගේ හෝ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ආන්ඩු ද එවැන්නක් ඉදිරිපත් නොකරයි. කම්කරු පන්තිය තමන්ගේ ම ස්ථාවරයක් අනුගමනය කල යුතු ය: වෙලඳ යුද්ධයට, ආරක්ෂනවාදයට සහ යුද්ධයට එරෙහි ව එක්සත් ජනපදයේ, චීනයේ සහ අනෙකුත් සෑම රටක ම කම්කරුවන්ගේ එකමුතුව ගොඩනැගීමත්, ධනේශ්වර පීඩනයේ සහ යුද්ධයේ උපකරනයක් බවට පත් කර ඇති කෘතිම බුද්ධිය, මානව වර්ගයා දරිද්‍රතාවයෙන් හා පීඩනයෙන් මුදා ගැනීමේ මෙවලමක් බවට පරිවර්තනය කිරීමත් එම ස්ථාවරයයි.

එම යෝජනාව අවසන් වන්නේ මෙසේ ය: “කම්කරු පන්තිය කෘතිම බුද්ධිය තමන් අතට ගත යුතු ය. තම ශ්‍රමය විසින් නිර්මානය කර ඇති සියලු නිෂ්පාදන බලවේග ද එ ලෙස ම තමන් අතට ගත යුතු ය. ඒවා කොල්ලකා තමන් සතු කර ගෙන සිටින කතිපයාධිකාරය අස්වාමික කර, සමාජවාදී පදනම් මත ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කල යුතු ය.”

Loading