[මෙහි පලවන්නේ Indian state elections deliver blow to Modi, amid COVID-19 catastrophe මාතෘකාවෙන් 2021 මැයි 04 දින පලවූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
මාර්තු අග සහ අප්‍රේල් මාසවල පැවැත්වූ නමුත් පසුගිය ඉරිදා ප්‍රතිපල නිකුත් කල, ප්‍රාන්ත මැතිවරන පහක දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ අන්ත දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) ආන්ඩුව විශාල පසුබෑමකට ලක්ව ඇත.
හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂයට, තම ප්‍රධාන ඉලක්කය යැයි හඩ නැඟූ දෙයට වඩා බොහෝ අඩු දෙයකින් සෑහීමකට පත් වීමට සිදු විය. එනම් ඉන්දියාවේ සිව්වන වැඩිම ජනගහනය සහිත ප්‍රාන්තය වන බටහිර බෙංගාලයේ බලය, මම්ටා බැනර්ජි සහ ඇය නායකත්වය දරන ත්‍රිනමූල් කොන්ග්රසයෙන් උදුරා ගැනීමයි.
බැනර්ජි දක්ෂිනාංශික වාචාලයෙකි. 2011 දී ඇය බලයට පත් වූයේ ස්ටැලින්වාදී නායකත්වයෙන් යුත් වාමාංශික පෙරමුන විසින් “ආයෝජක ගැති” ප්‍රතිපත්ති ලෙස තමන්ම හඳුන්වා ගත් පිලිවෙත් ක්‍රියාත්මක කිරීමට එරෙහිව හටගෙන තිබූ මහජන කෝපය ගසාකමිනි. එහෙත් භාරතීය ජනතා පක්ෂය ඇයව විරුද්ධවාදියෙකු ලෙස සැලකූ අතර, බටහිර බෙංගාලයේ ජයග්රහනයක් මගින් තම පන්ති යුද්ධයට, ජාතිවාදී ඒකාධිපති න්‍යාය පත්‍රය කෙරෙහි වැඩෙන විරුද්ධත්වය හමුවේ අවශ්ව ඇති දේශපාලන උත්තේජනයක් ලබා දෙනු ඇතැයි ගනන් බැලීය.
2019 ජාතික මැතිවරනයේදී බටහිර බෙංගාලයේ දී තමන් ලබාගත් සාර්ථක ප්‍රතිඵල මත බලාපොරොත්තු රඳවමින් භාරතීය ජනතා පක්ෂය, බැනර්ජි පරාජය කිරීමේ ව්‍යාපාරයට අතිවිශාල ජවයක් හා සම්පත් ප්‍රමානයක් වැය කලේය. මෝදි සහ ඔහුගේ ප්‍රධාන සඟයා වන ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, බටහිර බෙංගාලයේ රැලි බොහෝ ගනනක් ඇමතූ අතර, ඔවුන් මුස්ලිම් විරෝධී පුරවැසි සංශෝධන පනත ප්‍රවර්ධනය කරමින්, හා “මුස්ලිම්වරු සතුටු කිරීම” සහ “ විදේශීය විනිවිදීම” ඉවසා සිටීම ගැන බැනර්ජිට චෝදනා කරමින්, මැතිවරනය වාර්ගික රේඛා මත නිර්ලජ්ජිත ලෙස ද්රවාන්ත ගත කිරීමට කටයුතු කරන ලදි.
කෙසේ වෙතත්, භාරතීය ජනතා පක්ෂය සිය 2019 ඡන්ද ප්‍රතිශතයට සමානවීමට පවා අසමත් විය. ටීඑම්සී හි ප්‍රතිශතය සියයට 4 කින් ඉහල ගොස් සියයට 48 ට වඩා වැඩි වූ අතර, එය ප්‍රාන්ත සභාවේ අසුන් 294 න් 214 ක් දිනා ගැනීමට සමත් විය.
හයවන විශාලතම ප්‍රාන්තය වන තමිල්නාඩුවේ, භාරතීය ජනතා පක්ෂයේ ප්‍රාදේශීය සගයා වන ඒඅයිඒ්ඩීඒම්කේ වසර 10 ක පාලනයකින් පසු පරාජයට පත්විය. අසල්වැසි දකුනු කේරල ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයට තම එකම ප්‍රාන්ත මන්ත්‍රී ධුරය අහිමි විය.
ඉන්දියාවේ පාලක පක්ෂය ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයේ සභාග ආන්ඩුවේ ප්‍රධානියා ලෙස තම බලය රඳවා ගත්තේය. එහි එකම සැනසිල්ල වුනේ මිලියන 1.25 ක ජනගහනයක් සහිත යූනියන් ප්‍රදේශයක් සහ හිටපු ප්‍රංශ යටත් විජිතයක් වූ පුන්දුචෙරි හි ය. බෙදීගිය ප්‍රදේශීය කොංග්රස් පක්ෂයේ කන්ඩායමක කනිෂ්ඨ සහකරු ලෙස බලය ලබා ගැනීමට එයට හැකි විය.
මෙම වසන්තයේ දී ඡන්දය පැවැත්වූ ප්‍රාන්ත පහේ මුළු ජනගහනය මිලියන 255 ක් වන අතර, එය සමස්ත ඉන්දියානුවන්ගෙන් සියයට 18 ක් පමන වෙයි.
කොවිඩ්-19 රට පුරා පැතිරීමත් සමඟ ඉන්දියාව වසංගතයේ ගෝලීය කේන්ද්‍රස්ථානය බවට පරිවර්තනය වීමේ තතු හමුවේ මැතිවරන ව්‍යාපාරය දිග හැරුනි. එසේ වුවද, බටහිර බෙංගාලයේ අදියර අටේ මැතිවරනයේ අවසාන අදියර තෙක් මෝදි සහ අනෙකුත් පක්ෂ නායකයන් නොසැලකිලිමත් ලෙස මහා මැතිවරන රැලි පැවැත්වූහ. සමස්ත දේශපාලන සංස්ථාපිතයේම සහයෝගය ඇතිව මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය විසින් මෙහෙයවන ලද්දේ, “ආර්ථිකය විවෘතව” තබා ගැනීම සාධාරනීකරනය කිරීමට සාමාන්‍ය වාතාවරනයක් ඇති බව පෙන්වීම සඳහා හා වෛරසයේ අනතුර ක්‍රමානුකූලව අවතක්සේරු කිරීමට ය.
මිනිස් ජීවිත බේරා ගැනීමට උඩින් ලාභයට ප්‍රමුඛතාවය දීමෙන් ඉන්දියාවේ දූෂිත ධනවාදී ප්‍රභූ පැලැන්තිය, මානව ව්‍යසනයකට මඟ පාදා තිබේ. ඉන්දියාවේ නව කොවිඩ්-19 ආසාදන සාමාන්‍යයය, අප්‍රේල් 7 සිට 100,000 දක්වාත් 17 සිට 200,000 දක්වාත් 24 සිට 300,000 දක්වාත් වර්ධනය විය. එහි ප්රතිවිපාකයක් ලෙස, ඉන්දියාවේ අබලන් සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්වයක් නිර්මානය කරමින් සමූහ වශයෙන් මරනයට පත් විය. ඉන්දියාව පසුගිය දින හත තුල කොවිඩ්-19 මරන 20,000 කට වඩා නිල වශයෙන් වාර්තා කර ඇත. නමුත් මෙය සැබෑ මරන සංඛ්‍යාවෙන් ඉතා සුළු කොටසක් පමනක් බව බොහෝ දෙනා පිලිගනිති. “අප විසින් සිදු කරන ලද සියලුම ආකෘති නිර්මාන වලින්, සත්‍ය මරන සංඛ්‍යාව වාර්තා වන ප්‍රමානය මෙන් දෙගුනයක් හෝ පස් ගුනයක් යැයි අපි විශ්වාස කරමු” යැයි මිචිගන් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ භ්රමාර් මුකර්ජි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට පැවසීය.
වසංගතය සාපරාධී ලෙස පරිහරනය කිරීම, කප්පාදු වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරීම මඟින් ආර්ථිකය “පුනර්ජීවනය” කිරීමට තැත් කිරීම, පුද්ගලීකරනය වේගවත් කිරීම, කෘෂි ජාවාරමට සරිලන ලෙස නීති සම්පාදනය හා කොන්ත්‍රාත්-කම්කරු රැකියා වැඩි කරන හා බොහෝ වැඩ වර්ජන නීති විරෝධී කරන, කම්කරු නීති “වෙනස්” කිරීම සම්බන්ධයෙන් ද චීනයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරය සමඟ ඉන්දියාව තවදුරටත් ඒකාබද්ධ කිරීමේ පියවරයන් සම්බන්ධයෙන් ද මෝදි ආන්ඩුවට එරෙහිව විශාල මහජන කෝපයක් නැඟී ඇත.
ආන්ඩුවේ ආයෝජක ගැති ප්‍රතිපත්තිවලට විරෝධය දැක්වීමට සහ මෝදි ආන්ඩුව විසින් පසුගිය වසන්තයේ දී සූදානමකින් තොරව හා ව්‍යසනකාරී ලෙස ක්‍රියාවට නැඟූ අගුලු දැමීම මගින් ජීවනෝපාය අහිමි වූ මිලියන සිය ගනනකට හදිසි ආධාර ඉල්ලා පසුගිය නොවැම්බර් 26 වන දින පැවති මහා වැඩ වර්ජනයකට දස ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ එක් වූහ. පසුගිය සැප්තැම්බරයේ දී පාර්ලිමේන්තුව තුලින් පැනවූ කෘෂි ව්‍යාපාරයට පක්ෂපාතී නීති තුන අවලංගු කරන ලෙස ඉල්ලා නොවැම්බර් මස අග සිට දස දහස් ගනනක් සහ සමහර විට ලක්ෂ ගනනක් ගොවීන් අගනුවර දිල්ලියට යාබදව කඳවුරු බැඳ සිටියේය.
කෙසේ වෙතත්, මෝදි ආන්ඩුවට එරෙහි කෝපය සහ ඉන්දියානු කම්කරුවන් හා පීඩිතයන් සූරාකෑම තීව්ර කිරීම සඳහා ඉන්දීය පාලක ප්රභූවේ පුළුල් තල්ලුවට එරෙහිව ඇති වූ කෝපය, මැතිවරන ප්‍රතිඵලයෙන් ඉතා විකෘති ප්රකාශනයක් පමනක් ප්‍රකාශයට පත්විය. මේ සඳහා ප්‍රධාන හේතු දෙකක් තිබේ.
පලමුවෙන්ම, අප්‍රේල් 6 වන විට බටහිර බෙංගාලය හැර අනෙකුත් සියලුම ප්‍රාන්තවල ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වී තිබුනි. එනම්, කොවිඩ්-19 ආසාදන රැල්ල ඇත්ත සුනාමියක් බවට පත්වීමට පෙර හා ඉන්දියාව කොරෝනා වයිරසය ජය ගනිමින් සිටින බව දේශපාලන සංස්ථාපිතය සහ ආයතනික මාධ්‍ය එකමුතුව අවධාරනය කරමින් සිටි කොන්දේසි යටතේ ය.
දෙවනුව හා වඩා වැදගත් දෙය නම්, භාරතීය ජනතා පක්ෂයේ මැතිවරන විරුද්ධවාදීන් ඉන්දියාවේ කම්කරුවන් හා පීඩිතයන් අතර දැඩි ලෙස අපකීර්තියට පත්වීමයි. පාලක පන්තියේ සමාජීයව ගිනි අවුලුවන සුලු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට ඔවුන්ම ඉටු කරන ලද භූමිකාව නිසා ය. මෑතක් වන තුරුම ඉන්දියානු ධනේශ්වරය වඩාත් කැමැත්ත පල කල ජාතික ආන්ඩුව වූ කොංග්රස් පක්ෂය හා ප්‍රධාන ස්ටැලින්වාදී පක්ෂ දෙක වන ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හෝ සීපීඑම් සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) සම්බන්ධයෙන් මෙය සියල්ලටම වඩා සත්‍යයකි.
2019 දී, දෙවන වරටත්, ඉන්දියාවේ පහල පාර්ලිමේන්තුවේ ආසනවලින් සියයට 10 ක්වත් දිනා ගැනීමට අසමත් වූ කොන්ග්රස් පක්ෂයට ප්‍රාන්ත මැතිවරන ප්‍රතිපල, තවත් දැඩි පහරක් එල්ල කර තිබේ. කේරලයේ සහ ඇසෑම් හි වත්මන් ආන්ඩු ඉවත් කිරීමට කොංග්‍රසය දැරූ උත්සාහය අසාර්ථක වූ අතර, බටහිර බෙංගාලයේ පැවති ආසන 23 ම අහිමි කරගත් එය පුන්දුචෙරියේදී බලයෙන් පහ විය.
ජයග්‍රාහී ඩීඑම්කේ නායකත්වයෙන් යුත් මැතිවරන සන්ධානයේ කොටසක් ලෙස තමිල්නාඩුවේ කැබිනට් තනතුරු කිහිපයක් එයට ලබා ගත හැකි වනු ඇත. එහෙත් රාජ්‍ය මන්ත්‍රන සභා ආසන 234 න් 133 ක්ම ලබා ගනිමින් ඩීඑම්කේ පක්ෂයට පැහැදිලි බහුතරයක් තිබේ.
ස්ටැලින්වාදීන් විසින් කේරලයේ වාම ප්රජාතන්ත්රවාදී පෙරමුන (එල්ඩීඑෆ්) ආන්ඩුව නැවත තේරී පත් වීමේදී විශාල වැඩ කොටසක් ඉටු කලේය. දැන් ස්ටැලින්වාදීන් බලයේ සිටින එකම ආන්ඩුව එය පමනි. සාමාජිකයින් 140 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රන සභාවේ, ආසන 99 ක් එල්ඩීඑෆ් දිනා ගත් අතර, සීපීඑම් 62 ක් ද, සීපීඅයි 17 ක් ද, ඉතිරි 20, කොංග්‍රසයෙන් කැඩී ගිය කන්ඩායමක් වන කේරල කොන්ග්රසය (එම්) සහ මෑතක් වනතුරු කොන්ග්‍රසයේ සගයෙක් වූ වාර්ගික ඉන්දියානු යූනියන් මුස්ලිම් ලීගය අතර ද බෙදී ගියේය.
වසර 40 කට පසු කේරල ප්‍රාන්ත මැතිවරනයකදී, එල්ඩීඑෆ් සහ කොන්ග්රසය ප්රමුඛ එක්සත් ප්රජාතන්ත්රවාදී පෙරමුන අතර බලය මාරු නොවූ පලමු අවස්ථාව මෙය විය. කේරලයේ නැවත බලයට පත්වීමේ අපේක්ෂාව කොන්ග්‍රසයට දැඩිව තිබුනි. 2019 ජාතික මැතිවරනයේදී එහි සන්ධානය ප්‍රාන්තයේ ආසන 20 න් 19 ක් දිනා ගත්තේය. එහෙත් එල්ඩීඑෆ් වෙත දකුනෙන් පහර දුන් එහි උද්ඝෝෂනය ව්‍යර්ථ විය. මේ අතර, බොහෝ ව්‍යාපාරික මාධ්‍ය, එල්ඩීඑෆ් ආන්ඩුවට හා විශේෂයෙන් කේරල මහඇමති සහ සීපීඑම් දේශපාලන මන්ඩල සාමාජික “කපිතාන්” පිනරෙයි විජයන් ගේ “කාර්යක්ෂම” පරිපාලනය - එනම්, ඔවුන් සොච්චම් සමාජ සුභසාධන යෝජනා ක්‍රම සමඟ ධනේශ්වර සංවර්ධනය සංයෝජනය කිරීම - ගැන ප්‍රශංසා කලහ.
කේරලයෙන් පිටතදී සීපීඑම් සහ සීපීඅයි පක්ෂ, කොන්ග්රස් පක්ෂයේ මැතිවරන සගයන් වූ අතර එහි ඉරනම බොහෝ සෙයින් බෙදා ගත්හ. තමිල්නාඩුවේ දී, සීපීඑම් සහ සීපීඅයිය, ඩීඑම්කේ “සමාජ සාධාරනත්වය” වෙනුවෙන් පෙනී සිටීන්නේය යන ප්‍රෝඩාවට තල්ලුව දෙමින්, එහි කනිෂ්ඨ සහකරුවන් ලෙස ආසන දෙකක් දිනා ගැනීමට සමත් වූහ.
බටහිර බෙංගාලයේ දී ස්ටැලින්වාදීන්, කොන්ග්රස් පක්ෂය හා මෑතකදී පිහිටුවන ලද ඉන්දියානු අනාගමික පෙරමුන සමඟ මැතිවරන සන්ධානයක සිටි අතර කොන්ග්‍රසයට වඩා නින්දිත ලෙස පරාජයට පත්විය. සීපීඑම් යන්තම් සියයට 4.68 ක චන්ද ප්‍රමානයක් ලබා ගත් අතර, සීපීඅයි සියයට 0.2 ක් ලබාගති. ස්ටැලින්වාදීන් ඔවුන් සහ ඔවුන්ගේ වාම පෙරමුන එකදු ආසනයක් හෝ දිනා ගැනීමට සමත් වූයේ නැත. මෙය සිදුවූයේ 1977 සිට 2011 දක්වා වාම පෙරමුන අඛන්ඩව වසර 34 ක් පාලනය කල ප්‍රාන්තයක ය.
භාරතීය ජනතා පක්ෂය සහ ටීඑම්සී අතර මැතිවරන ධ්රැවීකරනය සම්බන්ධයෙන් ස්ටැලින්වාදීන් බටහිර බෙංගාලයෙන් තමන් අතුගා දැමීමට දොස් පැවරීමට උත්සාහ කරයි. නමුත් , ඔවුන් දශක ගනනාවක් තිස්සේ පන්ති අරගලය මර්දනය කිරීම, ධනේශ්වර සංස්ථාපිතයට ඒකාබද්ධ වීම සහ සහයෝගයදීම හා 1991 න් පසු ධනේශ්වරයේ “නව ආර්ථික ප්‍රතිපත්තිය” ක්‍රියාත්මක කිරීමේ දී මූලික කාර්යභාරයක් ඉටු කිරිමේ ප්‍රතිඵලය මෙය විය.
ගොර්බචෙව් සහ සෝවියට් ස්ටැලින්වාදී නිලධරය විසින් පැවති සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කිරීම ගැන සතුටු වූ සීපීඑම් සහ සීපීඅයිය, එක්සත් ජනපදය ප්රමුඛ ධනවාදී කඳවුරට ඉන්දියාව මුළුමනින්ම ඒකාබද්ධ කල වොෂින්ටනය සමඟ වඩාත් සමීප සබඳතා වර්දනය කල, මධ්‍යම ආන්ඩු වලට මුක්කු ගැසීය. මේවා බොහොමයක් කොංග්‍රසයේ ආන්ඩු විය. මේ අතර, බටහිර බෙංගාලයේ ඔවුන්ගේ වාම පෙරමුනු ආන්ඩුව, ගොවීන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම, තොරතුරු තාක්ෂන අංශයේ වැඩ වර්ජන තහනම් කිරීම, පෞද්ගලීකරනය ක්‍රියාත්මක කිරීම හා සමාගම් බදු කප්පාදු කිරීමේ පිලිවෙත් අනුගමනය කරන ලදි.
භාරතීය ජනතා පක්ෂයට හා හින්දු අධිපතිවාදී දක්ෂිනාංශයට එරෙහිව සටන් කිරීමේ නාමයෙන් ධනපති කොන්ග්රස් පක්ෂයට සහ දක්ෂිනාංශික කුල හා ප්‍රාදේශීය-වාර්ගික පක්ෂ රැසකට කම්කරු පන්තිය දේශපාලන වශයෙන් යටත් කිරීම යුක්ති සහගත කිරීමට ස්ටැලින්වාදීන් දශක ගනනාවක් තිස්සේ වැඩ කර තිබේ. දිගටම පවතින දරිද්‍රතාවය, දිනෙන් දින ගැඹුරු වන සමාජ අසමානතාවය, මහජන සේවාවන් අවුල් කිරීම සහ පලල්ව පැතිරුන දූෂනය මූලික ලක්ෂනය වූ, 2004 සිට 2014 දක්වා ඉන්දියාව පාලනය කරන ලද කොංග්රස් නායකත්වයෙන් යුත් යූපීඒ වැනි “වම” සහ “වම” සහය දක්වන ආන්ඩු වල කටුක ප්‍රතිඵල කෙරෙහි ඇති වූ මහජන කෝපය හා කලකිරීම ප්‍රයෝජනයට ගැනීමෙන් භාරතීය ජනතා පක්ෂය හා ප්රතිගාමීත්වය ශක්තිමත් වීම මෙහි අවසාන ප්‍රතිඵලය විය.
භාරතීය ජනතා පක්ෂය සහ එහි සහෝදර සංවිධානය වන රාෂ්ට්‍රිය ස්වයංසේවාක් සංගමය (ආර්එස්එස්) කම්කරු පන්තියට හා ගම්බද පීඩිතයින්ට මාරාන්තික තර්ජනයක් බවට කිසිදු සැකයක් නැත. නමුත් ඔවුන් පරාජය කල හැක්කේ, කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීගෙන, පීඩිත ජනතාව එහි නායකත්වය යටතේ පෙලගැස්වීමෙන්, ඉන්දීය ධනවාදයට සහ එහි සියලු දේශපාලන නියෝජිතයින්ට එරෙහිව සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන අරගලය හරහා පමනි.