ඉදිරිදර්ශන

ට්‍රොට්ස්කිවාදී නායකයා අධිකරනය ඉදිරියේ පැවැත්වූ දේශනයෙන් ජර්මානු රාජ්‍යය නාසි විලාසයේ ප්‍රතිසමාජවාදී නීති පුනර්ජීවනය කිරීම පිලිබඳ අධි චෝදනා නඟයි

[මෙය 2021 නොවැම්බර් 19 වැනි දින In speech before the court, Trotskyist leader indicts German state’s revival of Nazi-style anti-socialist laws යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජර්මනියේ රහස් ඔත්තු සේවය (Verfassungsschutz) විසින් තමන් 'වාමාංශික අන්තවාදී' සංවිධානයක් ලෙස වර්ගීකරනය කරනු ලැබීමේ තීරනයට එරෙහිව Sozialistische Gleichheitspartei (සමාජවාදී සමානතා පක්ෂය, එස්ජීපීය) පසුගිය බ්‍රහස්පතින්දා ජර්මානු අධිකරනයක් ඉදිරියේ අභියෝග කලේය.

අධිකරනය ඒ සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව නිශ්චිත ලෙස පදනම් වූයේ, 'සමානාත්මතාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සමාජයක්' සඳහා වන එස්ජීපීයේ කැඳවුම විසින් ජර්මානු ව්‍යවස්ථාව උල්ලංඝනය කරනු ලැබෙතැයි ප්‍රභාෂනය කිරීම මත ය. පවත්නා රාජ්‍යය කෙරේ පක්ෂයේ විරුද්ධත්වය සහ එය විසින් ධනේශ්වර ක්‍රමය විවේචනය කරනු ලැබීම ද ව්‍යවස්ථා-විරෝධී බව වැඩි දුරටත් කියා සිටි අධිකරනය, එය අන්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීම සහ එහි කටයුතු සමීපව ප්‍රවීක්ෂනය කිරීම සාධාරනීකරනය කලේය. සමාජය පිලිබඳ මාක්ස්වාදී පන්ති විශ්ලේෂනය මෙන්ම නිෂ්පාදන මාධ්‍යවල ධනේශ්වර අයිතියට ඇති විරුද්ධත්වය ද, ව්‍යවස්ථා-විරෝධී යැයි එහි හෙලා දැකීමට පාත්‍ර විය.

දුරදිග යන මෙම තීන්දුව, මාක්ස්වාදී හා සමාජවාදී සාහිත්‍යය විකිනීම, බෙදා හැරීම හා කියැවීම ව්‍යවස්ථා-විරෝධීයැයි ප්‍රකාශයට පත් කිරීමකට පදනම සම්පාදනය කරයි. Verfassungsschuts - ජර්මානු රහස් පොලිසිය - විසින් ඉදිරිපත් කරන ලද ලේඛනය තුල එස්ජීපීයේ 'අන්තවාදය' සනාථ කිරීම සඳහා ඉදිරිපත් කර තිබුනේ, පක්ෂය, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් රචනය කල ලේඛන ද ඇතුලත් මාක්ස්වාදී සාහිත්‍ය්‍ය බෙදාහැරීම යි.

එස්ජීපීයේ උප සභාපති ක්‍රිස්ටෝර්ෆ් වෑන්ඩ්‍රේයර් නඩු විභාගය හමුවේ පහත දැක්වෙන ප්‍රකාශය කලේය. වඩවඩාත් වර්ධනය වන කම්කරු පන්ති නැගිටීම්වල හා සමාජවාදයේ ජනප්‍රියත්වයේ ඉහල නැඟෙමින් පවත්නා තතු යටතේ ජර්මනියේ පමනක් නොව ලොව පුරාම පාලක පන්ති ඒකාධිපතිවාදී පියවර කරා හැරෙමින් සිටින බවට ඔහු අනතුරු හැඟවීය.

වෑන්ඩ්‍රියර්ගේ අනතුරු හැඟවීම අධිකරනයේ තීන්දුවෙන් සනාථ කෙරී ඇත. අධිකරනය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී තර්කවලට මුලුමනින් පක්ෂ වී ඇත. එස්ජීපීයේ නඩුව ඉවතට දැමූ එය, අධිකරන ගාස්තු ගෙවන ලෙස පක්ෂයට නියෝග කලේය.

එස්ජීපීය මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරනු ඇති අතර, අන්ත දක්ෂිනාංශික අනතුරට හා සමාජවාදයට එල්ල කෙරෙන ප්‍රහාරයට එරෙහිව ප්‍රතිරෝධය බලමුලු ගන්වනු ඇත. මෙම වැදගත් නිවේදනය ප්‍රවේශමින් කියවිය යුතුයැයි ද, පුලුල් ලෙස බෙදා හැරිය යුතුයැයි ද අපි කියා සිටිමු.

ක්‍රිස්ටෝර්ෆ් වෑන්ඩ්‍රේයර් සහ උල්රිච් රිපර්ට් අධිකරනය තුල (ඡායාරූපය: ලෝසවෙඅ)

සභාපතිතුමනි, අප විසින් මෙම පැමිනිල්ල ඉදිරිපත් කරන ලද්දේ මක්නිසාද යන්නත්, එය අත්‍යාධික වැදගත්කමකින් යුතුයැයි අප සිතන්නේ මන්ද යන්නත් කෙටියෙන් පැහැදිලි කිරීමට මම කැමැත්තෙමි.

Sozialistische Gleichheitspartei (සමාජවාදී සමානතා පක්ෂය), විප්ලවවාදී මාක්ස්වාදයේ සම්ප්‍රදායයන් තුල පිහිටා හිඳිමින්, සමාජය සමාජවාදී ලෙස පරිවර්තනය කිරීමේ අරමුන වෙනුවෙන් ජනගහනයේ බහුතරයක් දිනා ගැනීමට සටන් කරයි. අපි මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, නිෂ්පාදන මාධ්‍යවල පෞද්ගලික අයිතිය අහෝසි කිරීම හා ආර්ථිකය ප්‍රජාතන්ත්‍රකරනය කිරීම මඟින් එකී අයිතිවාසිකම් ඒවායේ පූර්න ප්‍රතිඵල කරා ගෙන ඒම වෙනුවෙන් පෙනී සිටිමු.

ලෝකය පුරා ඒකාධිපතිවාදය හා අන්ත දක්ෂිනාංශික බලවේග ශක්තිමත් කෙරෙන්නේ නිශ්චිතවම, ධනපති ක්‍රමයේ සීමාව ඉක්මවා යාම්, දැවැන්ත සමාජ අසමානතාවය, වර්ධනය වෙමින් පවත්නා යුදවාදය හා වසංගතය තුල 'ජීවිතවලට ඉහලින් ලාභය' පිහිටුවීමේ කුරිරු පිලිවෙත ද විසිනි.

ජනවාරි 6 වන දින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලය පැහැර ගැනීමේ ප්‍රයත්නය, බ්‍රසීලයේ ජයර් බොල්සොනාරෝගේ බලග්‍රහනය සඳහා සූදානම, සහ ස්පාඤ්ඤ මිලිටරියේ දක්ෂිනාංශික කුමන්ත්‍රනය මඟින් පෙන්වා දෙනු ලබන්නේ, සෑම තන්හිම පාලක පන්තීන් වැඩෙන විරුද්ධත්වයේ තතු හමුවේ එම පිලිවෙත් ක්‍රියාවට නැංවීමට ඒකාධිපතිවාදී විධික්‍රම මත පදනම් වෙමින් සිටින බවයි.

මානව ඉතිහාසයේ බරපතලම අපරාධවලට වග කිවයුතු රට වන මෙහි - ජර්මනියේ - මෙම වර්ධනයන් පවතින්නේ අතිශය ඉහල මට්ටමකය. අන්ත දක්ෂිනාංශික ඕල්ටර්නේටිව් ෆෝ ජර්මනි (ඒඑෆ්ඩී) සංවිධානය රාජ්‍ය යන්ත්‍රනය තුලට මුලුමනින් සමෝධානය කරනු ලැබ ඇත. සරනාගතයන් මහා පරිමානයෙන් පිටුවාහල් කිරීම, ජනයා මහා පරිමානයෙන් හිතාමතාම ආසාදනයට ගොදුරු කිරීම සහ රාජ්‍ය යන්ත්‍රය සන්නද්ධ කිරීම පිලිබද ඒඑෆ්ඩීයේ වැඩපිලිවෙල බොහෝ දුරකට සියලු පක්ෂ විසින් භාවිතයට යොදනු ලැබ ඇත.

පොලිසිය, රහස් ඔත්තු සේවා හා හමුදාව තුල අන්ත-දක්ෂිනාංශික ත්‍රස්තවාදී ජාල ක්‍රියාත්මක වෙමින්, ආයුධ රැස් කිරීමේ ද, සතුරන්ගේ ලැයිස්තු සකස් කිරීමේ හා 'X දිනයේ දී' (X දිනය ලෙස හඳුන්වනු ලබන්නේ ජර්මනියේ බන්ඩස්වර්හි විශේෂ බලකාය තුල ඇතැම් කොටස් විසින් 2017 දී වාම-වාදී දේශපාලනඥයන් ඝාතනය කිරීමට කරන ලදැයි කියන කුමන්ත්‍රනයට අදාල දිනයයි) දේශපාලන විරුද්ධවාදීන් දහස් ගනනින් සංහාරය කිරීම සඳහා වැඩ කිරීමේ ද යෙදී සිටිති. හැලී හා හනවුහි ත්‍රස්තවාදී ප්‍රහාර සහ වෝල්ටර් ලුබර් ඝාතනය ද ඉතා බැරෑරුම් අනතුරු හැඟවීම්‍ ය.

මෙම තත්වය තුල ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ කාර්යාලය (Verfassungsschutz, රහස් ඔත්තු සේවය) දක්ෂිනාංශික අනතුරට එරෙහිව මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීමට සටන් වදින්නන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙමින් සිටී. රහස් ඔත්තු සේවය අපේ පක්ෂය සම්බන්ධයෙන් ප්‍රවීක්ෂනයක් පවත්වා ගෙන යාමත්, වාමාංශික හා සමාජවාදී ආස්ථානයන් කොටින්ම ව්‍යවස්ථා-විරෝධී ආස්ථානයන් ලෙස නිවේදනය කිරීම මඟින් එම පක්ෂය අපකීර්තියට හෙලීමත්, ෆෙඩරල් ආන්ඩුව විසින් සාධාරනීකරනය කරනු ලැබේ.

අභ්‍යන්තර කටයුතු පිලිබඳ ෆෙඩරල් අමාත්‍යංශයේ නඩු ගොනුවෙන් ඔබට දැක ගත හැකි පරිදි, 'සමානාත්මතාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සමාජයකට පක්ෂව තර්ක කිරීම', මාක්ස් හා එංගල්ස් පිලිබඳව ධනාත්මකව සඳහන් කිරීම, යුදවාදය හා ජාතිකවාදය විවේචනය කිරීම, සහ යුරෝපා සංගමය ප්‍රතික්ෂේප කිරීම, තහනම් කිරීමට නියමිත අදහස් ලැයිස්තුවට දැනටමත් ඇතුලත්‍ ය. මෙම පදනම මත, විචාරාත්මක සමාජ විද්‍යාඥයන්ට හෝ වැඩ වර්ජනය කරන කම්කරුවන්ට පමනක් නොව, පොත් අලෙවිසැල්වලට පවා අපරාධ චෝදනා නැඟිය හැකිය.

කෙසේවෙතත්, ඇත්ත වශයෙන්ම මේ කිසිවකින් මූලික ප්‍රජාතන්ත්‍රවාදී පර්යාය කඩ කෙරන්නේ නැත. ඊට පටහැනි ලෙස, මෙම රට තුල නිරවශේෂවම පාහේ, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් වැදී ඇත්තේ, මෙම ප්‍රතිපත්තීන් අනුගමනය කල විප්ලවවාදී කම්කරු ව්‍යාපාරයයි. පෘසියානු පන්ති-තුනේ ඡන්ද ක්‍රමයට එරෙහිව නැඟී සිටියේ මාක්ස්වාදී සමාජ ප්‍රජාතන්ත්‍රය වන අතර, අවසානයේ ජර්මනියට නිදහස් හා සමාන මැතිවරන ක්‍රමයක් දිනා දෙන ලද්දේ 1918 වසරේ කම්කරුවන්ගේ හා සෙබලුන්ගේ නැඟී සිටීම මඟින් පමනෙකි.

හිට්ලර් රීචයේ චාන්සලර්වරයා ලෙස පත්වීමේ දී හා ඔහුට ඒකාධිපති බලතල හිමි කර දීමේ දී සියලු ධනපති පක්ෂවල සහයෝගය ඊට හිමි විය. මක්නිසා ද යත්, ඔහු සංවිධිත ශ්‍රම බලකාය කුඩු පට්ටම් කරතැයි ඔවුහු අපේක්ෂා කලෝය. ඊට එරෙහි වූයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එස්පීඩීය) සහ කොමියුනිස්ට් පක්ෂය (කේපීඩීය) පමනෙකි. තව ද, ෆැසිස්ට්වාදය නැවැත්වීම සඳහා කම්කරු පක්ෂ දෙකේ එක්සත් පෙරමුනක් ඇති කල යුතුයැයි තදබල ලෙස පෙනී සිටියේ ලියොන් ට්‍රොට්ස්කිය.

ඇත්තෙන්ම, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පහර දෙමින් සිටින්නේ සහ, සෑම විටම සමාජවාදීන් දඬු ගැසීමට කටයුතු කර ඇති මුලුමනින්ම ඒකාධිපතිවාදී රාජ්‍යයක ජීව ගුනය තුල හිඳිමින් තර්ක කරන්නේ අන් කිසිවෙකු නොව අභ්‍යන්තර කටයුතු පිලිබඳ ෆෙඩරල් අමාත්‍යාංශයයි.

එස්ජීපීය සිය ආස්ථානයන් ඉදිරිපත් කිරීමේ දී සුවිශේෂී ලෙසම නෛතික හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම භාවිතා කරන බවත්, එය ප්‍රචන්ඩත්වය සඳහා කැඳවීම් නොකරන බවත් අමාත්‍යාංශය පිලිගනියි. එය [අමාත්‍යාංශය], අපේ පක්ෂය පිලිබඳ රහස් තොරතුරු සේවයේ ප්‍රවීක්ෂනය සහ 'වාමාංශික අන්තවාදීන්' ලෙස පක්ෂය අපකීර්තියට ලක් කිරීම, මුලුමනින් ම පදනම් කරන්නේ, අප සමාජවාදී අදහස් ඉදිරිපත් කිරීම මත ය.

මෙම වර්ගයේ අවධානාත්මක යුක්තිය (Gesinnungsjustiz) - එනම්, අදහස් හෝ විශ්වාසවලට එරෙහිව අධිචෝදනා නැඟීම - 1852 දී කොලෝං කොමියුනිස්ට් නඩු විභාග පැවැත්වෙන අවස්ථාව වන විටත් ව්‍යවහාර විය. එහිදී විත්තිකරුවන්ට ඇත්තෙන්ම සිදු කල අපරාධ සඳහා නොව, හුදෙක්ම ඔවුන් දේශපාලනිකව අවබෝධ කොට ගෙන සිටි දේ වෙනුවෙන් දඬුවම් පමුනුවන ලදී.

ජර්මන් රීචය පිහිටුවා කෙටි කලක් තුල, 1872 මාර්තුවේ, සමාජවාදී කම්කරුවන්ගේ නායකයන් දෙදෙනෙකු වූ ඕගස්ට් බෙබෙල්ට සහ විල්හෙල්ම් ලිබ්නෙක්ට්ට බලකොටුවක පිහිටි සිර ගෙයක දෙවසරක සිර දඬුවම් ලබා දෙන ලදී. ඒ, ජර්මානු යුදවාදයට එරෙහිව ඔවුන්ගේ ජනමාධ්‍යවේදී කටයුතු නිසාය.

නාසීහු, කොමියුනිස්ට්වාදීන්ට එරෙහි ඔවුන්ගේ රාජ්‍ය භීෂනයේ කොටසක් ලෙස, මෙකී අවධානාත්මක යුක්ති විනිශ්චයේ නෛතික සම්ප්‍රදාය ආන්තික මට්ටමට ගෙන ගියෝය. සෑම දේශපාලන විරුද්ධවාදියෙකුම තුරන් කිරීමට, සිර ගත කිරීමට හා මරා දැමීමට ඉඩ ලැබෙන පරිද්දෙන් අපරාධවල වගකීම වඩවඩාත් සංයුක්ත ක්‍රියාවන්ගෙන් වෙන් කරන ලදී. 1930 ගනන් තරම් ඈත කාලයක දී, අලුතින් නිර්මානය කෙරුනු ජනතා අධිකරනය, උපරිම රාජ්‍ය ද්‍රෝහීත්වය සඳහා සූදානම් වීම පිලිබඳ 83 වන ඡේදය අර්ථකථනය කලේ, කොමියුනිස්ට්වාදීන්ට, මුලුමනින්ම ඔවුන් අවබෝධ කොට ගෙන සිටින දේ මත පමනක් පදනම්ව මරන දඬුවම ලබා දිය හැකි වන පරිදිය.

මාක්ස්වාදී පන්ති විශ්ලේෂනය මානව ගරුත්වයට පටහැනි බවට වන අභ්‍යන්තර කටයුතු පිලිබඳ ෆෙඩරල් අමාත්‍යාංශයේ කියාපෑම ද නයට ගෙන ඇත්තේ මෙකී ඒකාධිපතිවාදී තන්ත්‍රයන්ගෙනි. මෙම ආස්ථානයට අනුව, 'මානව ගරුත්වය' උල්ලංඝනය කෙරෙන්නේ ලමා දරිද්‍රතාවය, නිවාස නැතිකම හෝ කොරෝනා වයිරස වසංගතය තුල සිදුවන මහා පරිමාන මරන විසින් නොව, සමාජ අසමානතාවයට එරෙහි වීම විසිනි. ධනපති ක්‍රමය යටතේ පන්ති ප්‍රතිවිරෝධතා ප්‍රහීන වී යතැයි විශ්වාස නොකරන ඕනෑම අයෙකු ව්‍යවස්ථාවේ සතුරෙකැයි ඔවුහු ප්‍රකාශ කොට සිටිති.

මේවා නිශ්චිත ලෙසම බිස්මාර්ක් සිය සමාජවාද-විරෝධී නීති සාධාරනීකරනය කිරීමට භාවිතා කල තර්ක වේ. එම නීති, 'මහජන සාමයට, විශේෂයෙන්ම ජනගහනයේ පන්ති අතර සමගියට අන්තරායකර වන අයුරින් එලිමහනට පැමිනෙන, පවත්නා රාජ්‍යය හෝ සමාජ පර්යාය පෙරලා දැමීම අරමුනු කොට ගත් සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී හෝ කොමියුනිස්ට් අභිලාෂයන්' සහිත ඕනෑම සංවිධානයකට එරෙහිව එල්ල කෙරුනු ඒවාය.

නාසීන්ගේ Volksgemeinschaft (මහජන සමාජය) වැඩ පිලිවෙලේ හදවතේම පැවතුනේ රාජ්‍යය විසින් පනවන ලද පන්ති සමගියයි. 1933 මැයි මාසයේ පොත් ගිනි තැබීමේ සමයේ නැඟුනු 'අග්නි සටන්පාඨ' අතරින් එකක් මෙසේ විය: 'පන්ති අරගලයට හා භෞතිකවාදයට එරෙහිව, මහජන සමාජය හා ජීවිතය පිලිබඳ පරමාදර්ශී ආකල්ප වෙනුවෙන්! මම මාක්ස්ගේ හා කෞට්ස්කිගේ ලේඛන ගිනිදැල්වලට භාර දෙන්නෙමි.'

සමාජවාදී විප්ලවයක් 'මහජන කැමැත්ත පිලිබඳ ප්‍රකාශනයක් විය නොහැක; මක්නිසාද යත්, වැඩිමනත්ම වශයෙන් කිවහොත් මහජනයාගේ කොටස් සිය අදහස් තහවුරු කරගන්නා අතරතුර මහජනයාගේ අනෙකුත් කොටස්වල ව්‍යවස්ථාපිත අයිතීන් මර්දනය කෙරෙනු ඇති නිසායැ'යි නිවේදනය කිරීමේ දී, අභ්‍යන්තර කටයුතු පිලිබඳ ෆෙඩරල් අමාත්‍යාංශය සිය විතර්කවල ප්‍රතිගාමී තර්කනය ප්‍රකාශයට පත් කරයි. මෙය, 'සමාජවාදී විප්ලවයේ මාවත තුල ප්‍රචන්ඩත්වය භාවිතා කෙරෙන්නේ ද යන්න නොතකා' වලංගු වේ.

මෙහිදී, නිෂ්පාදන මාර්ගවල පෞද්ගලික හිමිකම් දැරීම සඳහා පටු ප්‍රභූවකට ඇති අයිතිය, බහුතරය යටත් වී සිටිය යුතු සුපිරි-මූලික අයිතියක් බවට ප්‍රකාශයට පත් කෙරේ. හිට්ලර්, ෆ්‍රැන්කෝ හා පිනෝෂේ වැනි ආඥාදායකයෝ, මෙම තර්කන රේඛාව ඔස්සේ යමින් අත්‍යන්ත නිගමන උකහා ගත්තෝය: ඉදින් බහුතරය සමාජවාදී අදහස් කරා නැඹුරු වෙත් නම්, ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා මර්දනයේ කෲරතම විධික්‍රම පවා භාවිතා කිරීම යුක්තියුක්තය.

ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය තුල නිර්ධන පන්තිය සන්නද්ධ කිරීමට කැඳවුම් කරන 1938 හතරවැනි ජාත්‍යන්තරයේ ප්‍රාරම්භක වැඩ පිලිවෙලට අප සහාය දෙන්නේය යන්න මත අපේ පක්ෂයට දෝෂාරෝපනය කිරීමේ දී, අභ්‍යන්තර කටයුතු පිලිබඳ ෆෙඩරල් අමාත්‍යාංශය මෙම සංකල්පවලට කෙතෙක් සමීපදැයි හෙලිදරව් වේ.

මට සමාවන්න, එහෙත් කම්කරු පන්තියේ සන්නද්ධ නැඟිටීමක් යනු, මානව ඉතිහාසයේ බරපතලම අපරාධ, එනම්, ජර්මනිය නැගෙනහිර සිදු කල සමූලෝත්පාඨන යුද්ධය සහ යුදෙව් විරෝධී මහා ජනඝාතනය [Holocaust] වැලැක්වීමේ එකම මාවත විය හැකිව තිබින.

ලියොන් ට්‍රොට්ස්කි තරම් විශද ලෙස මෙය දුටු අන් අයෙක් නොවූහ. කිසිවෙකුට අසම අයුරින් ඔහු නාසීන් විසින් බලය අල්ලා ගනු ලැබීමේ ප්‍රතිවිපාක පිලිබඳව අනතුරු හැඟවීය. කම්කරු සංවිධාන වනසා ලීම මෙන්ම දෙවැනි ලෝක යුද්ධය ද, එපමනක් නොව, යුරෝපීය යුදෙව් ජනයාගේ කායික මූලෝත්පාඨනය පවා, ඔහු පෙරදුටුවේය. ලිපි හා ලේඛන ගනනාවක් මඟින් ට්‍රොට්ස්කි, ෆැසිස්ට්වාදය වැලැක්වීම සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා කොමියුනිස්ට් පක්ෂවල එක්සත් පෙරමුනකට පක්ෂව තර්ක කලේය.

එබැවින් ට්‍රොට්ස්කිවාදීහු ගෙස්ටාපෝව විසින් කෲර වධ බන්ධනයන්ට පාත්‍ර කරනු ලැබූහ. 1937 දී ඩැන්සිෂ්හි අධිකරනයක් ට්‍රොට්ස්කිවාදීන් දස දෙනෙකුට දීර්ඝකාලීන සිර දඬුවම් පැනවීය. නාසීන්ගේ දඩයමට පාත්‍ර වූ ට්‍රොට්ස්කිවාදීන්ගෙන් එක් අයෙකු වූයේ යුදෙව් ප්‍රශ්නය පිලිබඳ මාක්ස්වාදී අධ්‍යයනයක කර්තෘවරයා වූ ඒබ්‍රහම් ලියොන් ය. නාසීන් විසින් අල්ලා ගනු ලැබූ බෙල්ජියම හා ප්‍රංශය තුල නීතිවිරෝධී සමාජවාදී කටයුතු සිදු කල ඔහු, අවුෂ්විට්ස් සිර කඳවුරේ ගෑස් කාමර තුල දී ඝාතනයට ලක් විය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දැන් නැවත හිංසාවන්ට පාත්‍ර කෙරෙන්නේය යන කරුන විසින් උලුප්පා දැක්වෙන්නේ, නිල දේශපාලනයේ බිහිසුනු දක්ෂිනාවර්ත විස්ථාපනයයි.

අවසාන වශයෙන්, කේපීඩීය තහනම් කරමින් ලබා දුන් තීන්දුවට යලි පන පිහිටුවීමට සහ එය එස්ජීපීයට එරෙහිව පාවිච්චි කිරීමට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් දරන ලද ප්‍රයත්නය සුවිශේෂී ලෙසම වංක එකකි. එය එසේ වන්නේ, හුදෙක්ම එම මුල් තීන්දුවට පැරැනි නාසි ප්‍රභූන්ගේ තල්ලුව ලැබීම හා එම තීන්දුවමත් ව්‍යවස්ථා විරෝධී ලෙස පැමිනීම නිසාම නොව, එය ස්ටැලින්වාදී කේපීඩීය ඉලක්ක කොට ගත්තක් වීම ද නිසාය. ට්‍රොට්ස්කිවාදය යනු ඔවුන් 'මාක්ස්-ලෙනින්වාදය'යැයි අදහස් කරන ස්ටැලින්වාදයේ සංශෝධනයක් ලෙස විස්තර කිරීමේ දී, අභ්‍යන්තර කටයුතු පිලිබඳ ෆෙඩරල් අමාත්‍යාංශය සුවිශේෂීව ම පවා ස්ටැලින්වාදය හා ට්‍රොට්ස්කිවාදය සමාන කරයි.

යථාර්ථයේ දී, ට්‍රොට්ස්කි හා වාම විපාර්ශ්වය, ඔක්තෝබර් විප්ලවය තුල මූර්තිමත් වූ මාක්ස්වාදී මූලධර්ම ස්ටැලින්වාදී ප්‍රති-විප්ලවයට එරෙහිව ආරක්ෂා කලෝය. සෝවියට් සංගමය තුල ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයක් කරා වූ දිශානුයෝජනය ආරම්භයේ සිටම මෙම මූලධර්මවලට ඇතුලත් විය.

ස්ටැලින්වාදී ප්‍රජා පීඩනය හා සැබෑ සමාජවාදී පිලිවෙත් අතර පවත්නා යා කල නොහැකි අගාධය, ට්‍රොට්ස්කිවාදීන් ලෙස චෝදනා කරමින් ලක්ෂ ගනනක් කොමියුනිස්ට්වාදීන් ඝාතනය කර දැමුනු 1930 ගනන්වල මහා විමෝචනයන් තුල දී අනාවරනය විය. ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාන්ඩුව (නැගෙනහිර ජර්මනිය) තුල ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය සඳහා ස්ටැලින්වාදීන්ට එරෙහිව සටන් වැදුනු ඔස්කා හිප් වැනි ට්‍රොට්ස්කිවාදීන්ට දීර්ඝකාලීන සිර දඬුවම් පනවන ලදී.

ස්ටැලින්වාදී මර්දනයේ මුල්ම ගොදුරු බවට පත් ට්‍රොට්ස්කිවාදීන්, ස්ටැලින්වාදය හා එහි ව්‍යාජ-මාක්ස්වාදී යුක්තියුක්තකරනයන් පිලිබඳව වග කිව යුතුයැයි ෆෙඩරල් ආන්ඩුව දැන් නිවේදනය කරයි! මාක්ස්වාදය පිලිබඳ ස්ටැලින්වාදී විකට රූප මත සිය තර්කවලින් වැඩි කොටස පදනම් කරන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, එය මාක්ස්වාදයේ අව්‍යාජ හඬට එරෙහිව තර්ක කිරීම සඳහා යොදා ගත හැකියැයි බැරෑරුම් ලෙස සිතයි!

අභ්‍යන්තර කටයුතු පිලිබඳ ෆෙඩරල් අමාත්‍යාංශයේ නඩු පිටපත වූ කලී, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ ෆෙඩරල් කාර්යාලයේ ඉහත ප්‍රධානියා වූ හාන්ස් ජෝර්ජ් මාසෙන් දෛනික පදනමකින් සරන යන එකී රැඩිකල් දක්ෂිනාංශික සංවේදනවලම ප්‍රකාශයට පත් වීමකි. මෙම මතභේදයට විෂය වී ඇති 2017 Verfassungsschutz වාර්තාවට එස්ජීපීය ඇතුලත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ද මාසෙන් ය. 2018 නොවැම්බරයේ දී, චෙම්නිට්ස්හි දී රැඩිකල් දක්ෂිනාංශික කැරලි පැවැති බව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව හා 'එස්පීඩීය තුල රැඩිකල් වාමාංශික බලවේග' පිලිබඳව නන්දෙඩවීමෙන් පසු මාසෙන්ට විශ්‍රාම යාමට බල කෙරින. එවක් පටන්, රහස් තොරතුරු ආයතනයේ හිටපු ප්‍රධානියාගේ නව රැඩිකල් දක්ෂිනාංශික ආක්‍රෝෂ පරිභවවලින් තොර දිනයක් ගත නොවූ තරම්‍ ය.

Verfassungsschutz ආයතනයමත්, තමන් විසින් මූල්‍ය සම්පාදනය කරනු ලැබ පාලනය කෙරෙන දක්ෂිනාංශික අන්තවාදී ත්‍රස්තවාදී ජාල සමඟ සමීපව සම්මිශ්‍ර වී සිටී. මෙසේ මූල්‍ය සම්පාදනය කිරීමේ හා පාලනය කිරීමේ ක්‍රියාවලිය යම් දුරකට සිදු කෙරෙනුයේ එහි ඔත්තුකරුවන් හරහාය. මෙම ජාලයන්හි නායකයන් බොහෝ කොටම නිදැල්ලේ සිටින හා ඔවුන්ගේ ව්‍යුහයන්ට අත ගසා නොමැති අතරවාරයේ, රහස් ඔත්තු සේවය වාමාංශික හා සමාජවාදී කන්ඩායම්වලට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සිටියි.

ඉහල උසාවියේ සභාපතිතුමනි, ඉදින් ඔබ මෙම ඒජන්සියට පක්ෂව හා මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී තර්කවලට පක්ෂව තීන්දුවක් දුන්න හොත්, ඉන් දුරදිග යන ප්‍රතිවිපාක ඇති වනු ඇත. නාසි තන්ත්‍රය අවසාන වී වසර හැත්තෑ හයකට පසුව යලිත් වරක් සමාජවාදී අදහස් ව්‍යවස්ථාවට පටහැනියැයි නිවේදනය කෙරෙනු ඇත. එය මාක්ස්වාදී සාහිත්‍යය විකුනන පොත් අලෙවි සැල්, විචාරාත්මක විද්‍යාර්ථීන් හා වැඩ වර්ජනය කරන කම්කරුවන් පිලිබඳ තොරතුරු සෙවීමේ ප්‍රවීක්ෂන පැවැත්වීම සඳහා සහ නීති විරෝධී කිරීම සඳහා අවශ්‍ය බිම් සකස්කිරීම සිදු කරනු ඇත. ඒ වූ කලී, පොලිස් රාජ්‍යයක් දිශාවට තැබෙන පියවරක් වනු ඇත.

එස්ජීපීය ආරක්ෂා කිරීම සඳහා අප විසින් සුප්‍රසිද්ධ Change.org වේදිකාවේ පලකරන ලද පෙත්සමකට කෙටි කාලයක් තුල ජර්මන් භාෂාව කථා කරන රටවලින් අත්සන් 5,420 ක් සහ ඊට අමතරව වෙනත් රටවලින් අත්සන් සිය ගනනක් ලැබී තිබීමේ හේතුව ද එයයි.

'අප - ගුවන් තොටුපොල සේවකයන් - WISAG සමූහයට එරෙහිව ගෙන ගිය අපේ අරගලයේ දී අපට සහාය දුන් එකම පක්ෂය වූයේ එස්ජීපීයයි,' යනුවෙන් WISAG විසින් සේවය නවත්වන ලද ගුවන් තොටුපල බිම් සේවකයෙකු වන, සිය සගයන් සමඟ මාස ගනනක විරෝධතා සංවිධානය කල කෙමලෙද්දීන් බෙන්ලි නිවේදනය කොට ඇත. 'එස්ජීපීයට එල්ල කෙරෙන ප්‍රහාරයක් යනු සූරාකෑමට, වැඩ නැවැත්වීමට, වැටුප් සොරකමට සහ කොරෝනා වෛරස වසංගතයට එරෙහිව සටන් වදින සියලු කම්කරුවන්ට එරෙහිව එල්ල කෙරෙන ප්‍රහාරයකි.'

ආරක්ෂිත අධ්‍යාපනය සඳහා වන ආරක්ෂක කමිටුවල සාමාජිකා ක්ලෝඩියා මෙසේ ලියා ඇත: 'අපේ දරුවන්ගේ ආරක්ෂාවට හා ඔවුන් වසංගතයෙන් රැක ගැනීමට කැප වූ පක්ෂයක් පාලනය කිරීමට ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ කාර්යාලය කටයුතු කිරීම කිසිසේත්ම සිතා ගත නොහැක්කකි. දෙමවුපියන්, ලමුන් හා ගුරුවරුන් සමඟ උරිනුර ගැටී, #shadowfamilies (විගාමික ශ්‍රමිකයන්ගේ පවුල්) හා සමඟ, ඔවුන් වසංගතය තුල අතරමං නොවන පරිද්දෙන් නැඟී සිටි එකම පක්ෂය වූයේ එස්ජීපීයයි!'

අත්සන් 5,457 සහ මෙම නඩුවට අතිශය වැදගත් කමක් ලබා දෙන්නා වූ ද, අභ්‍යන්තර කටයුතු පිලිබඳ ෆෙඩරල් අමාත්‍යාංශයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී තර්කනයට එරෙහිව බලගතුම භාෂිතයෙන් විරෝධය දක්වන්නා වූ ද කම්කරුවන්, තරුන තරුනියන් හා බුද්ධිමතුන් තබා ඇති අපමන ප්‍රකාශ සටහන් අපි ඔබට ඉදිරිපත් කරමු.