සැප්තැම්බර් 17 වැනි දා ත්‍රිකුනාමලයේ සර්ධාපුර මංසන්ධියේ දී දෙමල ජාතික මහජන පෙරමුනේ (දෙජාමපෙ) මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ඇතුලු පිරිසක් මැර ප්‍රහාරයකට ලක්වූහ. එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශ නායකයා ව සිටි ‘දිලීපන්’ අනුස්මරනය කරමින්, සැප්තැම්බර් 15 වැනි දා නැගෙනහිර පලාතේ පොතුවිල් ප්‍රදේශයෙන් ආරම්භ කරන ලද රථ පෙලපාලියේ අදියරක දී මෙම ප්‍රහාරය සිදුවිය. රථ පෙලපාලිය අවසානයේ යාපනයේ නල්ලූර් වෙත ලඟා වීමට නියමිතව තිබුනි.
ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කල 1987 වසරේ සැප්තැම්බර් 15 වැනි දින එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මග පෙන්වීම යටතේ දිලීපන් ඉන්දියානු ආන්ඩුවට ඉල්ලීම් 5ක් ඉදිරිපත් කරමින් යාපනයේ දී මාරාන්තික උපවාසයක් ආරම්භ කලේ ය. උපවාසය හේතුවෙන් සැප්තැම්බර් 25 ඔහු මරනයට පත් විය.
සිංහ කොඩි රැගෙන පැමිනෙන මැර පිරිස “කොටි සමරන්න දෙන්න බෑ” යැයි කියමින් රථ පෙලපාලිය නවත්වා, එහි සිටි පිරිසට පොලුවලින්, හෙල්මට්වලින් සහ ගල් වලින් පන්න පන්නා පහර දෙන ආකාරය සමාජ මාධ්‍ය ජාලාවල සංසරනය වන වීඩියෝ පටවලින් පෙන්නුම් කෙරෙයි. ප්‍රහාරයෙහි ප්‍රධාන ඉලක්කයක් වන්නේ ගජේන්ද්‍රන් ය.
එම රූප රාමුවලට අනුව, පොලිස් නිලධාරියෝ මැර කල්ලියට කවර හෝ බාධාවකින් තොර ව මන්ත්‍රී ඇතුලු පිරිසට පහර දීමට ඉඩ සලසා සිටිති. අවසානයේ පෙලපාලියේ පැමිනි අය ආරක්ෂාවට පලා යන්නේ තම මෝටර් රථ පසුපසට පදවමිනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල තල්දූව සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ රථවාහන හැසිරවීමට යොදවා සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු තත්ත්වය සමනය කිරීමට හැකි උපරිමය සිදු කල බවයි. එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කල ගජේන්ද්‍රන් තමන්ට සිදු කල පහර දීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශවලට චෝදනා එල්ල කලේ ය.
සැප්තැම්බර් 18 වැනි දා ද මෝනිං පුවත්පතට සම්මුඛ සාකාච්ඡාවක් ලබා දෙමින් ඔහු මෙලෙස ප්‍රකාශ කලේ ය. “අපේ ගමනේ ආරම්භයේ සිට බුද්ධි අංශ නිලධාරීන් අප පසු පස හඹා එමින් සිටියා. ඔවුන් එ ලෙස පැමිනෙන්නේ ඇයි දැයි විමසා සිටි විට ප්‍රකාශ කලේ මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිසා මට ආරක්ෂාව සැපයීම සඳහා පසුපසින් පැමිනෙන බවයි. … අපට පහර දුන් කන්ඩායම බුද්ධි අංශ නිලධාරීන් විසින් ම මෙහෙයවන ලද බවට අපට සැකයි.”
ඔහුගේ චෝදනාව කිසිසේත් ම පදනම් විරහිත නොවේ. වාර්ගික ප්‍රකෝපකරනයන් ඇවිලවීමේ සහ දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කිරීමේ කුප්‍රකට වාර්තාවක් මිලිටරිය සතු ව පවතී.
පසු ව පැන නැගි විරෝධය හමුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු හය දෙනෙක් අත් අඩංගුවට ගනු ලැබ ත්‍රිකුනාමලය මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරනු ලැබූහ.
සැප්තැම්බර් 19 දා කොලඹ දී පැවැත්වීමට නියමිතව තිබූ දිලීපන් සැමරුමක් ද අවලංගු කිරීමට ආන්ඩුව කටයුතු කලේය. අධිකරන නියෝගයක් මගින් එය වාරනය කෙරුනේ තහනම් කල සංවිධානයක නායකයකු සැමරීම සහ මහජන අපහසුතාවක් පැන නැගිය හැකි ය යන කාරනා ඉදිරිපත් කරමිනි. මෙම රැලියට පහරදීම සඳහා සිංහල වර්ගවාදීන්ට කැඳවුම් කල පෝස්ටර් සැප්තැම්බර් 18 වැනි දින කොලඹ නගරයේ ප්‍රදර්ශනය කෙරුනි.
සමාජවාදී සමානතා පක්ෂය (සසප), දෙජාමපෙ හි සහ එල්ටීටීඊයේ දේශපාලනය සමග පවත්නා තම අශමනීය විරුද්ධත්වය අවධාරනය කරමින්, ත්‍රිකුනාමලයේ මැර ප්‍රහාරය, මරදානේ පැවති රැස්වීමට එල්ල වූ තර්ජනය සහ එයට පැනවූ වාරනය හෙලා දකී. දෙජාමපෙ හි දෙමල ජාතිකවාදයටත් එල්ටීටීඊ යේ දෙමල බෙදුම්වාදයටත් එකහෙලා විරුද්ධවන සසප, ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීමට සිංහල සහ දෙමල කතා කරන කම්කරුවන් අතර සටන් වදි.
ත්‍රිකුනාමලයේ ප්‍රහාරය ඇතුලු සිද්ධි මාලාව දිග හැරුනේ, දිනෙන් දින දරුනු වන සමාජ කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාර සම්බන්ධයෙන් කම්කරු පන්තිය තුල කැකෑරෙන කෝපයක් වර්ධනය ව ඇති තත්ත්වයක් තුලයි. මේ සතිය මුල දී ම දින දෙකක දුම්රිය වර්ජනයක් පුපුරා ගියේ ය. වෘත්තීය සමිති වලට තවදුරටත් මෙම පන්ති අරගල පාලනය කරගෙන සිටීම කල නොහැකි තත්ත්වයක් ජාතිකවත් ජාත්‍යන්තරවත් වර්ධනය වෙමින් පවතී.
කෙසේ නමුත් පන්ති අරගලයේ කවර හෝ පුපුරා යාමක් පසුගිය වසරේ දැවැන්ත මහජන නැගිටීම අත්පත් කර ගත් ධාරිතාවන් කරා වර්ධනය වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ඇතුලු පාලක කවයන් අතර උත්සුකයන් පවතී. ප්‍රජාතන්ත්‍ර-විරෝධී නව අනපනත් ස්ථාපිත කිරීම ඇතුලු පියවර මගින් රාජ්‍ය මර්දන යන්ත්‍රය ශක්තිමත් කර ගැනීමටත්, වැඩෙන මහජන ව්‍යාපාරය වාර්ගික රේඛා තුල අවමංගත කිරීමටත් ඔවුන්ට අවශ්‍ය ව ඇත.
උතුරු-නැගෙනහිර සිංහල-බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමට යැයි කියමින් පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල සහ හිටපු නාවික හමුදා නිලධාරියෙකු වන සරත් වීරසේකර වැන්නන්ගේ මූලිකත්වයෙන් වර්ගවාදී උද්ඝෝෂනය උත්සන්න කෙරී ඇත්තේ ඒ අනුවයි.
අනෙක් අතට, චීනයට එරෙහි තම යුද මූලෝපායික වැඩකටයුතු වලට ශ්‍රී ලංකාව මුලුමනින්ම ඒකාග්‍ර කර ගැනීමේ අරමුනෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සහ ඉන්දියාව කොලඹ ආන්ඩුවට යොදන පීඩනයේ එල්ලී, කොලඹ පාලනයෙන් වරප්‍රසාද දිනා ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටින දෙමල ධනපති පන්තිය ද, සිංහල සහ දෙමල කම්කරුවන් තම පන්ති අවශ්‍යතාවන්ගේ පදනමින් එක් ව සටන් කරනු දැකීම ඉවසන්නේ නැත.
එල්ටීටීඊ සංවිධානයේ මිලිටරිමය විනාශයේ මූලය ද, ඉන්දියාව සහ එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් මත යැපීමේ මෙම බංකොලොත් දේශපාලන පිලිවෙතයි.
1987 දී ඉන්දියාව ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට මැදිහත් වූයේ, දෙමල ධනේශ්වරයට කොලඹ ආන්ඩුවෙන් යම් සීමිත වරප්‍රසාද තහවුරු කර දී එල්ටීටීඊ ය ඇතුලු දෙමල සන්නද්ධ කොටස් නිරායුද කර මර්දනය කිරීමට සහ දකුනේ නොසන්සුන්තා මර්දනය කර කලාපීය ධනේශ්වර පාලනය ස්ථාවර කිරීමටයි. ශ්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ව්‍යාපාරයේ ජයග්‍රහනයක් තම රටේ දේශපාලනය අස්ථාවර කරනු ඇතැයි ඉන්දියාව ගනන් බලා තිබුනි. නමුත් ඉන්දියානු ධනේශ්වරය මත බලාපොරොත්තු රඳවා සිටි එල්ටීටීඊ සංවිධානය ඉන්දු-ලංකා ගිවිසුමට සහාය දුන්නා පමනක් නොව, ඉන්දියන් හමුදාව ම්ලේච්ඡත්වය මුදා හරින තෙක් එම මංමුලාවේ ගැලී සිටියේ ය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්තඩංගුවට ගත් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරු-නැගෙනහිර සිංහල ජනපදකරනය නතර කිරීම ආදී ඉල්ලීම් ඉදිරිපත් කල දිලීපන්ගේ උපවාසයමත් එවැනි වඳ උපායන් මගින් පීඩනය යොදා ඉන්දියානු ධනේශ්වරය නම්මා ගත හැකි ය යන මිථ්‍යාවෙන් නිර්නිත වූවක් විය.
දෙමල ජාතිකවාදය අද ද, ඉන්දියානු ධනේශ්වරය උතුරු නැගෙනහිර දෙමල ජනතාවගේ ආරක්ෂකයා ලෙස පෙන්නුම් කරයි. මෝදි ආන්ඩුව, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නැයි වික්‍රමසිංහ-ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනු ආන්ඩුවට යොදන පීඩනය දෙමල මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ගැන කවර හෝ කැක්කුමකින් යොදන්නක් නොව, චීනයට එරෙහි ව කලාපීය බලය තහවුරු කර ගැනීමේ සහ ලංකාවේ ධනේශ්වර පාලනයේ ස්ථාවරත්වය තහවුරු කිරීමේ අරමුනින් කෙරෙන මැදිහත් වීමක් පමනි.
වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම පක්ෂ එක්ව පාවා දුන් දැවැන්ත මහජන නැගිටීමකින් පසු ජාත්‍යන්තර පන්ති අරගල රැල්ලක වර්ධනය මධ්‍යයේ නැවතත් අරගලයට මාවත් සොයමින් සිටින දෙමල හෝ සිංහල තරුනයන්ට දිලීපන්ගේ වඳ උපවාස ක්‍රියාමාර්ගයෙන් හෝ එල්ටීටීඊයේ බෙදුම්වාදී සන්නද්ධ අරගලයෙන් ගත හැකි පාඩමක් නොමැත. ඔවුන්ගේ ඉදිරි මාවත විය යුත්තේ අධිරාජ්‍යවාදයට හෝ ඉන්දියානු ධනේශ්වරයට කනපින්දම්කීම නොව කම්කරු පන්තිය දේශපාලනික ව බලමුලු ගන්වා ගනිමින් කලාපීය සමාජවාදී සමූහාන්ඩු සංගමයකට සටන් වැදීම ය.
කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු මත පාදක ව කම්කරුවන්ගේ සහ ගම්බද ජනයාගේ සම්මේලනයක් සසප කැඳවුම් කරන්නේ මේ ඉදිරිදර්ශනය මත ය. ආන්ඩුව ඇතුලු ධනපති පාලක පංතියේ වාර්ගික භේදකරනයට එරෙහි ප්‍රහාරයේ තුඩ බවට එය පත් වනු ඇත.